විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   මෙලොව තුල අතීතයේදීත් තිබුණු, වර්තමානයේත් තිබෙන, අනාගතයේත් අනිවාර්යයෙන්ම තිබෙනු ඇතැයි සිතෙන යුද්ධ කිරීම, මානව වර්ගයා මෙලොවෙන් තුරන් වනතුරුම පවතීයැයි සිතිය හැකියි. සමහරවිට ලෝකය විනාශ වන්නේද එවැනි යුද්ධයකින් නොවෙයි කියා කිව හැක්කේ කාටද? බොහෝ දෙනෙකු සිතන්නේ නවීන යුද ගුවන් යානා, යුද ටැංකි, යුද නැව්, විශාල භට පිරිස් තිබේනම් යුද්ධය පහසුවෙන් ජයගත හැකිවෙයි කියායි. එහෙත් ඇත්ත තත්වය එය නොවේ. යුද්ධයක ජයග්‍රහණය රඳා පවතින්නේ යුද්ධයට එළඹුන දෙපාර්ශවය හෝ ඊට වැඩි පාර්ශව ගණන යුද මූලධර්ම කොතෙක් දුරට සාර්ථකව අනුගමනය කරන්නේද යන්න මත ය.

  යුද්ධයක ජයග්‍රහණය බලාපොරොත්තු රහිතව ගිලිහෙන අවස්ථා මෙන්ම පහසුවෙන් ලඟා කරගන්නා අවස්ථාද ඇත. එහෙත් හොඳින් කරුණු සොයා බැලුවොත් ඒ සෑම අවස්ථාවකදීම සංග්‍රාමික මූලධර්ම (Principles of War) බලපා ඇති බව පැහැදිලිව පෙනීයයි.

  සාමාන්‍යයෙන් යුද මූලධර්ම යන්න ලෝකයේ එක් එක් ප්‍රබල රටවල් අනුගමනය කරන්නේ තමන්ගේ අත්දැකීම් හා පළපුරුද්ද පදනම් කරගෙන, තමන් විසින්ම සකසාගත්, අචාරධර්ම පද්ධතියක් ලෙසය. ලොව ප්‍රබල රටවල් වන ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, වැනි රටවල් සාමාජිකත්වය දරන නේටෝ (NATO)සංවිධානයටවත් ඒ සියළු රටවල් එක්ව පිළිගන්නා පොදු සංග්‍රාමික මූලධර්ම මාලාවක් නැහැ. ඉදින් මේ සංග්‍රාමික මූලධර්ම යනු මොනවාද?  එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ කරුණු විස්තර කිරීමටයි මා සූදානම් වන්නේ.

  මෙහිදී ඔබට එක කරුණක් පැහැදිලිව කිව යුතුයි. මේ ලිපිය ඉදිරියට කියවාගෙන යද්දී, නීරස යැයි සිතෙන්නේ නම්, වහාම කියවීම නවත්වන්න. පසු අවස්ථාවක නැවත කියවන්න. එවිටත් එය නීරසනම් නැවත කිසිවිටකත් කියවන්න එපා. මේ කරුණු යුද කලාවේ (Art of War) තරමක් ගැඹුරු කරුණු ලෙසයි සැලකෙන්නේ.

  නවීන විද්‍යාවෙන් යුද්ධයට කොතරම් විශාල පිටුබලයක් ලැබුනත්, යුද්ධයක් සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම, අප සිතන තරම් පහසු දෙයක් නොවේ. ඒ සඳහා අත්දැකීම් බහුල, අතිශූර චින්තනයකින් යුත්, උපක්‍රම විශේෂඥයන්ගේ (Tactician) ක්‍රියාකාරී දායකත්වය අනිවාර්ය වෙයි. යුද උපක්‍රම යනු හුදෙක් බලය පාවිච්චි කිරීම පමණක් නොවේ. ත්‍රිවිධ හමුදාවේ සේවය කරන සෑම දෙනා තුලම ‘හමුදා දැනුම Military Knowledge’ අඩු වැඩි වශයෙන් තිබේ. එහෙත් සංග්‍රාමයක් මෙහෙයවන මහ සෙනෙවියකු තුළ තිබිය යුතු සුවිශේෂී ගුණාංග, දැනුම, නායකත්වය ඉතාම තීරණාත්ම සාධක වෙනවා. එවැනි මහ සෙනෙවියකු ගන්නා එක් වැරදි තීරණයකින් භටපිරිස් රාශියකගේ ජීවිත අහිමිවී, වටිනා යුද උපකරණද සතුරා අතට පත්විය හැකියි. එවැනි වර්ගයේ සෙනෙවියන්ද අපේ හමුදාවේ සිටි අතර ඔවුන් ගත් මෝඩ තීරණ නිසා අපේ හමුදාවට බරපතල හානි සිදුවුනා.  ශ්‍රී ලංකාව තුලදී මෙතෙක්, කැපී පෙනෙන ලෙස, නියම නායකත්ව ලක්ෂණ, සංග්‍රාමික සැලසුම් සැකසීමේ හැකියාව, සාර්ථක ඉදිරි දැක්මක් තිබීම, ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබීම, වැනි ලක්ෂණ මා දැක ඇත්තේ, මහ සෙනෙවියන් දෙදෙනෙකු තුළ පමණි.

    ඒ ලුතිතන් ජෙනරල් ඩී. එල්. කොබ්බෑකඩුව සහ ජෙනරල් ජී. එස්. සී. ෆොන්සේකා යන මහ සෙනෙවියන් දෙදෙනාය.

    යුද්ධය වර්තමානය වනවිට බොහෝ දුරට මුහුණට මුහුණලා කරන සටන් වලට වඩා දුර සිට කෙරෙන පහරදීම් වලට සහ සැඟවී සිට කෙරෙන පහරදීම් වලට සීමාවී ඇත. අද ලෝකයේ බොහෝ දුරට දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික යුද්ධ (Conventional Wafare) වලට වඩා සාම්ප්‍රදායික නොවන (Unconventional Warfare) යුද්ධ සහ සන්විධානාත්මක ත්‍රස්තවාදී සටන් මැඩලීම සඳහා කෙරෙන ප්‍රති ත්‍රස්තවාදී (Counter Terrorism) හෝ ප්‍රති විප්ලවවාදී  සටන් (Counter Revolutionary Warfare) ය. මෙහිදී මා ඒ සටන් ක්‍රම ගැන විස්තර කිරීමට නොයන්නේ ඒවා ඉතා දීර්ඝ විස්තර බැවිනි. කෙටියෙන් කියතොත් සාම්ප්‍රදායික යුද්ධ සිදුවන්නේ යටත්පිරිසෙයින් රටවල් දෙකක් හෝ කීපයක් අතරය. ත්‍රස්තවාදී හෝ විප්ලවවාදී සටන් එක රටක් තුළ වුවද සිදුවියහැකි බව, ලංකාවේ මෑත ඉතිහාසය ගැන දන්නා ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

  ලෝකයේ එක් එක් ප්‍රබල රටවල් සංග්‍රාමික මූලධර්ම Principles of War වශයෙන් පිළිගන්න කරුණු එක සමාන නොවේ. තම අත්දැකීම්ද, චින්තනයද පදනම කරගනිමින් සැකසුනු විවිධ මූලධර්ම අනුව කටයුතු කිරීමට‍ ඒ ඒ රට පුරුදුවී සිටී. ලෝකයේ මුලින්ම සංග්‍රාමික මූලධර්ම පිලිබඳ මතවාද ප්‍රකාශ කළ අය අතරින් චීන ජාතික මහ සෙනෙවියකු මෙන්ම යුද කලාවේ දාර්ශනිකයකු වශයෙන් සැලකෙන වන ‘සුන් සු Sun Tzu’ හට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. මා මෙම ලිපියෙන් ඔබට හඳුන්වාදීමට යන්නේ, ලෝකයේ රටවල් බහුතරයක් විසින් සංග්‍රාමික මූලධර්ම ලෙස පිළිගන්නා කරුණු 10 පිළිබඳවයි.

 පුංචි කතාවක්:-

  කලකට ඉහත අපේ රටේ හිටියා රැස් විහිදෙන නියෝජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක්. බොහොම කෙටි කලකට සීමාවූ හමුදා සේවයකුත් ඔහුට තිබුන අතර, ඉතා ඉහල හමුදා නිලයක් ඔහුට ලැබී තිබුනේ දේශපාලනය තුලින් ලැබුණු ඥාති සංග්‍රහය නිසයි. දෙවැනි ලුතිතන් සිට එක වරම ලුතිතන් කර්නල් නිලය දක්වා, උසස්වීම් ලැබූ මොහු, ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වුනා. මොහු තරමක් දැඩි පාලකයෙක්. මොහු වරක් යුද හමුදාවේ කර්නල් වරයකුට කිසියම් ක්‍රියාන්විතයක් කරන ලෙස අණ දුන්නා. එවකට ඒ කර්නල් වරයා හිටියේ සබරගමුව පළාතේ දකුණු කොටස භාරවයි. ඔහු, දැනට ගුරු වෘත්තියේ සිටින, දක්ෂ ජනප්‍රිය ගායිකාවකට, ගී පද රචනා කීපයක් කරදුන් බවද මතකයි. මා දන්නා තරමින් අද ඔහු ඕස්ට්‍රේලියාවේ ජීවත්වනවා. කර්නල් වරයාට ලැබුන නියෝගය, දේශපාලන අදහස් මත ගත් අසාධාරණ නියෝගයක්. ඒ නිසා ඔහු එය ඉටු කිරීම ප්‍රතික්ෂේප කළා. අර ඇමතිවරයා ඔහුව දුරකතනයෙන් අමතා ඇසුවා ‘ඇයි මගේ නියෝගය ඉටු නොකළේ’ කියා. එවිට අර කර්නල් වරයා කිව්වා, එය ඉතා අසාධාරණ නියෝගයක් බවත්, ඔහුට පිළිපදින්නට හැකි යුද හමුදාපතිගෙන් ලැබෙන නියෝග පමණක් බවත්. එයින් කෝපයට පත් ඇමති වරයා කිව්වා, ‘අයිසේ මමත් කර්නල් කෙනෙක්’ කියා. එවිට අර කර්නල් කිව්වා ‘ඇත්තද, එහෙනම් කර්නල් මට කරුණාකරලා කියනවද යුද්ධයේ මූලධර්ම 10 මොනවද කියලා’. . . . . . . . .  සංවාදය එතැනින්ම නැවතුනා. අර කර්නල් දැන සිටියා, පිනට උසස්වීම් ලද මේ පින් කර්නල්, හමුදා දැනුම අතින් පුස්සෙක් බව. එමෙන්ම කර්නල්ට වැටහුනා, තමන්ගේ මේ ප්‍රකාශය නිසා, තමන් බරපතල පළිගැනීමකට ලක්වන බව. ඒ නිසා ඔහු, පහුවදාම ලිඛිත ඉල්ලීමක් කර, සිය කැමැත්තෙන් හමුදාවෙන් ඉල්ලා අස්වුණා. ඉන්පසු පිට රටකට ගියා ජීවිතය බේරාගන්න. මේ රටට හොඳ සෙනෙවියෙක් අහිමි වුනා.

   සංග්‍රාමික මූලධර්ම 10 පණ දාගෙන කටපාඩම් කළයුතු යුගයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ හැම හමුදා නිලධාරියාටම එනවා. ඒ ලුතිතන් සිට කපිතන් දක්වා උසස් කිරීමේ විභාගය සහ කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ විභාගයට මුහුණදීම සඳහායි. (නිලධාරියකුට තියෙන්නේ ඒ විභාග දෙක පමණයි. එතනින් එහා උසස්වීම් ලැබෙන්නේ සුදුසුකම් අනුවයි) හොඳයි, මෙතැන්සිට අපි බලමු මොනවද මේ සංග්‍රාමික මූලධර්ම කියන්නේ කියලා. හොඳින් මතකතබාගන්න හමුදාවේදී උගන්වන්නේ යුද්ධය විද්‍යාවක් නොව කලාවක් කියලයි. ‘Art of War’

සංග්‍රාමික මූලධර්ම Principles of War

1. සටනේ අරමුණ තෝරාගැනීම සහ එම අරමුනෙහිම එල්බ සිටීම.

    Selection and Maintenance of the Aim.

      සංග්‍රාමයක අරමුණු තිබිය නොහැකියි. එක අරමුනයි තිබිය හැක්කේ. මේ මුලධර්මය සංග්‍රාමික මූලධර්ම අතරින් ප්‍රධානතම මුලධර්මය වන අතර සටනේ මුල්ගල ලෙසද සැලකෙනවා. කලින් කලට වෙනස් වෙන වැනෙන අරමුණක් සහිතව සංග්‍රාමයක් පවත්වාගත නොහැකියි. ඒ නිසා ඉතා හොඳින් සිතා බලා තම සටනේ අරමුණ තෝරාගත යුතුයි. එක කාලෙකට කියනවා එල් ටී ටී ඊ යට ගහලා පරාජය කරනවා කියලා. තව කාලෙකදී කියනවා සාකච්ඡා කරනවා කියලා. ඒවා වැනෙන අරමුණු. එයින් ලැබුණු අයහපත් ප්‍රතිඵල ඔබට නැවත කියන්න අවශ්‍ය නැහැනේ.  අන්තිමට අපි තීරණය කරා ගහනවාමයි කියලා. ඒ අරමුණ පවත්වාගෙන ගියා මොන ප්‍රශ්න ආවත්. ඒ නිසා සටන දිනුවා.

2. චිත්ත ධෛර්යය (ආත්ම විශ්වාසය) පවත්වාගැනීම – Maintenance of Morale

       සංග්‍රාමයක් දිනන්නට හමුදාවේ සියලු දෙනා තුළ උනන්දුව, ඕනෑකම, අවබෝධය, හිතේ හයිය අවශ්‍යමයි. සොල්දාදුවන් සටනට එළඹෙන්නේ, ඔවුන් තුල, රටේ දේශපාලන නායකත්වය මෙන්ම, යුද හමුදා නායකත්වය පිළිබඳව ඇතිවන විශ්වාසය හේතුවෙන් සිදුවන, ස්වයං පෙළඹවීමක්ද සහිතවයි. එවැනි නායකත්වයන් තුළ, සංග්‍රාමයේ අරමුණ, හරය, වටිනාකම, පිළිබඳව සොල්දාදුවා තුළ කිසියම් අභිමානයක් ජනිත වෙනවා. එකා පිට එකා මැරී වැටුනත් ඉදිරියට යනවා කියන හැඟීම ඇතිවන්නේ, සොල්දාදුවාගේ සිත තුළ, ඉහත සඳහන් හේතු නිසා ඇතිවන චිත්ත ධෛර්යය විශාල බලපෑමක් ඇති කරන නිසයි. එයින් සොල්දාදුවා ‘මේ මගේ හමුදාව’ නමැති කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්නවා. එමෙන්ම තමන්ට හමුදාවෙන් ලැබෙන සහයද තේරුම් ගන්නවා. මේ නිසා චිත්ත ධෛර්යය සටනක තීරණාත්මක සාධකයක්.

3. ආක්‍රමණශීලී ක්‍රියා – Offensive Action

       තමන් යෙදී සිටින ක්‍රියාන්විතය, ජයග්‍රහණය තහවුරු කරගන්නා තුරු නොකඩවා පවත්වාගෙන යාම සඳහා, හමුදා අනදෙන්නෙකු විසින් තම හමුදාව නිබඳවම ආක්‍රමණශීලී කටයුතු සඳහා යොමු කරනවා. එයින් අවසන් අරමුණ තහවුරු කරගැනීම සඳහා අවශ්‍යවන අඩිතාලම වැටෙනවා. අපි යුද පෙරමුණේ නිකම් බලා ඉන්නවාට වඩා එක අඟලක් ඉදිරියට යාම වැදගත්. රාත්‍රියේදී, බඩගාගෙන ඉදිරියට ගොස්, සතුරු බංකර් දෙක තුනක් වැනසුවොත්, අපේ ඉදිරි ගමනට රුකුලක්. එය සම්පූර්ණ යුද්ධයේ ඉතා සුළු කොටසක් වුවත්, ඉදිරියට යාමට මග පාදා ගැනීමක්.


4. ආරක්ෂාව – Security

      ආරක්ෂක හමුදා වලටත් ආරක්ෂාව අවශ්‍යයි. කිසියම් ක්‍රියාන්විතයක (Operation) යෙදීමේදී, ඒ සඳහා යොදවන භටපිරිස් වලට, බාධා වලින් තොරව තම කාර්යය කරගෙන යාමට නම්, සතුරු බලවේග වලින්, බලාපොරොත්තු සහගත නොවන ලෙස එල්ලවන ප්‍රහාර වලින්, ක්‍රියාන්විත කණ්ඩායම් ආරක්ෂා කලයුතුයි. ඒ සඳහා අවශ්‍ය තරම් භට පිරිස් වෙනමම යෙදවිය යුතුයි. ඔවුන්, ප්‍රධාන ක්‍රියාන්විතයේ සිටින භට පිරිස් වලට ආරක්ෂාව සපයන අතර, අවශ්‍ය වෙලාවට සතුරාට ප්‍රති ප්‍රහාර දෙමින්, ප්‍රධාන ක්‍රියාන්විතයේ අරමුණ නොබිඳී පවත්වාගෙන යාමටත්, ඉලක්ක අත්පත් කරගැනීමටත්, අවස්ථාව උදා කර දිය යුතුයි.

5. විශ්මයජනක බව – Surprise

     විශ්මයජනක ලෙස හෙවත් සතුරා පුදුමයට පත් කරමින් එල්ල කරන ප්‍රහාර වල වාසිය, තමන්ට අයිතිවීමේ ප්‍රතිඵලය වන්නේ, ක්‍රියාන්විතයේ ඉදිරි ගමන සාර්ථක වීමයි. මෙය ක්‍රියාන්විතයක සාර්ථකත්වය කෙරෙහි බෙහෙවින්ම බලපාන මූලධර්මයකි. කලින් සැලසුම්කල ප්‍රහාරයක් වුවද, හදිසියේ සැලසුම්කල ප්‍රහාරයක් වුවද, සතුරා බලවත් කම්පනයටත්, භීතියටත්, පත් කරමින්, කලයුත්තේ කුමක්ද යන්න සිතාගත නොහැකිවන පරිදි, අවුලකට පත් කරමින්, බලාපොරොත්තු රහිත වෙලාවක, බලාපොරොත්තු රහිත දිශාවකින්, බලාපොරොත්තු රහිත උපක්‍රම යොදවා පහරදීමෙන්, විශ්මය ජනක බව රැකගත හැකිය.

 6. බල සංකේන්ද්‍රණය – Concentration of Force

       තම අරමුණ උපරිම මට්ටමෙන් ඉටු කරගැනීම සඳහා, අවශ්‍ය අවස්ථා වලදී, අවශ්‍ය ස්ථානයකදී හෝ ප්‍රදේශයකදී (සංකල්පමය වශයෙන්ද, භෞතික වශයෙන්ද, චිත්ත ධෛර්යය වශයෙන්ද) යෙදවිය හැකි බලය, තීරණාත්මකව සහ හැකි උපරිමයෙන් එකට සම්මිශ්‍රණය කර ඒ බලය ක්‍රියාන්විතය වෙත යොමු කිරීමයි, මේ මුලධර්මයෙන් අදහස් කෙරෙන්නේ. එල්.ටී ටී. ඊ. සංවිධානය සමග කළ අවසන් සටනේදී අපේ ත්‍රිවිධ හමුදාවම එක අණදීමක් යටතේ එකම හමුදාවක් ලෙස ක්‍රියා කිරීම උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

7.  ප්‍රයත්නය අරපිරිමැසුම්දායක වීම – Economy of Effort

       කිසියම් ක්‍රියාන්විතයක් සඳහා යොදවන භටපිරිස් ප්‍රමාණය, යුද්ධෝපකරණ ප්‍රමාණය, යොදවන බලයේ ප්‍රමාණය, අදාළ අරමුණ සාර්ථකව ඉටුකරගැනීම සඳහා ප්‍රමාණවත් බව අණදෙන්නා විසින් සාධාරණ ලෙස සිතා බලා පූර්ව නිගමනයකට එළඹිය යුතුය. භට පිරිස් බිල්ලට දීම, යුද්ධායුධ විනාශවීම හෝ සතුරා අතට පත්වීමට ඉඩදීම නොකළ යුතුය. තමන් යුදවන බලය සතුරාට පමණක් සහ සිවිල් ජනතාවට අවම හිරිහැර වන පරිදි යෙදවිය යුතුය.

      තවත් පුංචි කතාවක්:-

      මම කපිතන් නිලයේ සිට මේජර් නිලය දක්වා උසස් කිරීමේ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණයට මුහුණ දුන්නේ, අනුරාධපුරයේ තිරප්පනේ ප්‍රදේශයට ආසන්න තලගුරු රජමහා විහාරය අසල පිහිටි කඳු මුදුනක සිටයි. මෙහිදී මට ප්‍රහාරක සැලැස්මක් සාදා, එය විශාල කොලයක ඇඳ, ඒ ප්‍රදේශයේ සිතියමට අනුව, භූමියේ ඒ ඒ තැන්, කඳු මුදුනේ සිට, පරීක්ෂණ මණ්ඩලයට පෙන්වමින්, විස්තර කිරීමට සිදුවුනා. මට තිබුනේ පහල භූමියේ ඈතින් තිබුන කුඩා නිවසක් එල්.ටී.ටී.ඊ. පිරිසක් සැඟවී සිටින ස්ථානයක් ලෙස සලකා 50 – 60 පමණ භට පිරිසක් යොදවා පහරදී, ඒ සතුරු පිරිස  විනාශ කිරීමයි. මෙහිදී මට අපේ හමුදාවේ ප්‍රබලම කාලතුවක්කුව වන මිමී 130 කාලතුවක්කු සහාය (කි මී 27 ක් දුරට වෙඩි තැබිය හැකියි) සහ යුද ටැංකි දෙකක සහාය ඇති බව පරීක්ෂණ මණ්ඩලය කිව්වා. මම ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. ‘මොකද ඔයා මේ අලුත්ම ආයුධ පාවිච්චි කරන්නේ නැත්තේ’ කියා මණ්ඩලය මගෙන් ඇසුවා. මම පෙන්වා දුන්නා, ප්‍රහාරක භට පිරිස ඒ ස්ථානයට යන්නට පෙර කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර, එය වැරදුනොත්, සතුරු පිරිස අනිවාර්යයෙන්ම පැන යන බවත්, ප්‍රහාරක භට පිරිස් ඒ ස්ථානයට ළඟාවී සිටියදී, කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කලොත්, අපේ භට පිරිස්ද ඊට ගොදුරු වියහැකි බවත්.  එමෙන්ම මා පෙන්වා දුන්නා යුද ටැංකි දෙක ඒ නිවස දෙසට ගියොත්, යුද ටැංකිවල අධික ශබ්දය නිසා සතුරා පැන යන්නට හොඳටම ඉඩ කඩ ඇති අතර, ඒ කැලෑ ප්‍රදේශය තුළ, යුද ටැංකි රියදුරාට හරි හැටි ඉදිරිය නොපෙනෙන නිසා, යුද ටැංකි නාශක ආර්.පී.ජී (Rocket Propellig Grenade = RPG) ප්‍රහාරයකට ලක්විය හැකි බව. ඒ ස්ථානයේ සතුරන් හතත් පහළොවත් අතර ප්‍රමාණයක් ඉන්න බවටයි ප්‍රශ්නයේ සඳහන්ව තිබුනේ. ඉතින් ප්‍රයත්නයේ අරපිරිමැසුම්දායක බව සලකා, මා ගත් තීරණය නිවැරදි නිසා, මා පරීක්ෂනයෙන් සමත් වුනා. මතක තබාගන්න අරමුණ. ඒ සතුරන් විනාශ කිරීමයි අරමුණ. එයයි කලයුත්තේ. කාලතුවක්කු හෝ යුද ටැංකි යොදවා ඔවුන් පලවා හැරීම නොවෙයි.

8. නම්‍යශීලී බව – Flexibility

       යුද්ධයකදී පවතින වාතාවරණය කොයි මොහොතේ කුමන අතකට හැරේද යන්න පූර්ව කථනය කිරීම, අතිශයින්ම අපහසුය. සමහර විට කොහෙත්ම කිව නොහැකිය. මෙහිදී අණදෙන්නා මෙන්ම භටපිරිස්ද තත්වානුරූපව ක්ෂණිකව අනුවර්තනය විය යුතුය. ඒ අනුවර්තනය අවම කාලයක් තුළ, උපරිම වේගයෙන්, විශ්වසනීයත්වයෙන්,කඩිසරව සහ ඉතා බුද්ධිමත්ව කළ යුතුය. නව තත්වයට නිසි ප්‍රතිචාර දැක්විය යුතුය. මෙතෙක් කරගෙන ආ ක්‍රියා මාර්ගය අතහැර, ක්ෂණිකව නව ක්‍රියාමාර්ගය අනුගමනය කලයුතුය.

9. සහයෝගය – Cooperation

       සංග්රාමයකදී භටපිරිස් අතර සහයෝගය තිබීම අතිශයින් වැදගත් වෙයි. භටපිරිස් පොදු හැඟීමෙන් තොරව ඒකක, රෙජිමේන්තු, බලසේනා, ආදී වශයෙන් බෙදී සිටියහොත්, යුද බිමේදී විනාශ වීමට ඇති ඉඩකඩ බොහෝය. මේ නිසා යුද භූමියේ තමන්ගේ යාබද පෙරමුණුවල සිටින භටපිරිස් අතර අවබෝධය සහ සහයෝගය අනිවාර්යයෙන් තිබිය යුතුය. හදිසි අවස්ථාවකදී තමන්ගේ සහාය සහෝදර භටපිරිස් වෙත ලබාදිය යුතුය. අණදෙන්නන් තුළ ඒ පිලිබඳ පූර්ව අවබෝධයක් තිබිය යුතුය. සංග්‍රාමයේ සෑම අවස්තාවකදීම කණ්ඩායම් හැඟීමෙන් යුතුව ජීවිත තර්ජනය, අනතුරුදායක බව, පැටවෙන බර දරා ගැනීම, වැනි අවස්ථාවලදී සහයෝගයෙන් ක්‍රියා කිරීම වැදගත්ය.

10. නොකඩවා පැවතීමේ හැකියාව – Sustainability

       යුද හමුදාවක ඇති ස්වාධීනව සිටිමින් බලය පවත්වාගෙන යාමේ අරමුණ ඉටුවන්නේ, අවශ්‍ය පිටුබලය ලබාදී ඒ හමුදාව නොකැඩී නොබිඳී පවත්වාගෙන යාමෙනි. එය කිසි විටක දැනට තිබෙන තත්වයෙන් ඉහලට මිස පහලට නොපැමිණිය යුතුය.

    මා ඔබට මේ ඉදිරිපත් කලේ ලෝකයේ රටවල් බොහොමයක් අනුගමනය කරන සංග්‍රාමික මූලධර්මයි. දැන් මා ඔබට කියන්නේ වෙනස් දෙයක්. හොඳින් බලන්න. නැවත කියවා බලන්න. මේ මූලධර්ම අපේ සාමාන්‍ය ජීවිතයටත් යොදාගත හැකියි. ජීවිතයත් සටනක්. මෙහිදී කලයුත්තේ මේ මූලධර්ම යුද්ධය වෙනුවට ජීවිතය යන්න ආදේශ කොට නැවත ඒ ඔස්සේ සිතා බැලීමයි. එය ඔබට බාරයි. ඔබ මේ ලිපිය අවසානය දක්වා කියෙව්වානම් ඔබේ ඉවසීමද ඉහල බව ප්‍රශංසා මුඛයෙන් කියනවා.

   

Advertisements

Comments on: "යුද්ධ කරන්නම ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න." (91)

  1. //ඔබ මේ ලිපිය අවසානය දක්වා කියෙව්වානම් ඔබේ ඉවසීමද ඉහල බව ප්‍රශංසා මුඛයෙන් කියනවා.//

    අනේ මේකන් පිලිගන්ඩ බෑ මහත්තයෝ,

    කොහොමටත් තව දෙතූන් පාරක් බලනවා ,නොතේරිච්චා තේරුම් ගන්ඩ

  2. අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජීවිතයේදී මේ කරුණු අනුගමනය කරන්න පුලුවන් නම් එතැන දිනුම තියෙනවා. ‘සුන් සු ත් කියලා තියෙන යුධ මූලධර්ම මේවාමද ? නැත්නම් ඊට වඩා වෙනස් ඒවාද ?

  3. සුපිරිම සුපිරි ලිපියක්.. Sun Tzu කියෙවුවත් මෙච්චර වැට‍හෙන්නෙ නෑ.. 🙂

  4. අනේ මංදා මම මොකක් හරි දකිමින් ඉන්නවා.. කණගාටුවක් තමා හිතේ තියෙන්නෙ.. ඒක අර ප්‍රයෝජනවත් දෙයක් විනාශ වෙන්ඩ යනකොට දැනෙන කණගාටුවක්.. විස්තර කරන්ඩ හරියට තේරෙන්නෑ..

  5. ක්සැන්ඩර් | Xander said:

    ශා.. නියම ලිපියක් විචාරක මහත්තයෝ.. අර ප්‍රයත්නයේ අරපිරිමසුම් බව ගැන කියද්දී ඔබතුමා කියපු කතාව කියවපු මට එකපාර හිතට ආවේ කුඹියෙක් මරන්න බෝම්බ ගහනවා වගේ කියලා.. හතත් පහලවත් අතර ගානක් ඉන්න තැනකට ටැංකි දෙකකිනුයි පත ආටිලරි එකකිනුයි ගහන එක වියදම අතිනුත් පාඩු ද මන්දා.. ඊට හොඳා තිහක් විතර එක්ක ගිහින් වටකරලා දෙනවා බැටේ.. (මට හිතෙන හැටි කිව්වේ.. පණ්ඩිත කතාවක්ද මන්දා.)

  6. නියමයි… මම මේ කල්පනා කලේ නොදැනුවත්ව හෝ මේ කරුණු දහයම පාහේ අඩු වැඩි වශයෙන් මාත් පාවිච්චි කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ… හැබැයි යුද්ධ වලදි නෙමෙයි… ගැටවර කාලේ පිස්සුවෙන් වගේ Age of Empires, Warcraft III වගේ පරිඝනක ක්‍රීඩා කරද්දී…

    Maintenance of Morale නම් පාවිච්චි වුන බවට මතකයක් නෑ… හැබැයි දැන් තියෙන අලුත් වර්ෂන් වල ඒවත් ඇති… ඒ ඇර අනිත් ඒවා නම් උපරිමේටම…

    සැබෑවටම ත්‍රස්තවාදීන්ගේ ඔළුකටු කුඩුකරපු මනුස්සයෙක් එක්ක කම්පියුටර් ගේම් වල යුද්ධ ගැන කතාකරන එක විහිළුවක් තමයි… ඒත් ඉතින් අපි ඇත්ත යුද්ධ කරලා තියෙන එකක්යැයි… 😀

    • War Games කියලා එකක් අපිත් පුහුණුවේදී කරනවා. මෙහිදී අඩි 30 x 20 විතර ප්‍රමාණයේ වැලි ආකෘතියක් (Sand Model) ආධාර කරගනිමින්, කණ්ඩායම් දෙකකට බෙදී, යුද උපක්‍රම භාවිත කරමින්, එකිනෙකාට පහර දෙන සැලසුම් හදා, ඒවා සාකච්ඡා කරනවා. හරිම අමාරුයි. හබැයි පරිගණක ක්‍රීඩා ආකාරයට සැකසු යථාරුප දර්ශන (real time simulation) ලෝකයේ සමහර රටවල හමුදා පුහුණුව සඳහා යොදාගන්නවා. ඔන්න ගහනවානම් ගේම් 😀

    • strategic war games නම් මාත් පට්ට ආසාවෙන් ‍සෙල්ලම් කරපුවා තමා.. ගැටවර කාලෙ විතරක් නෙවෙයි, දැන් වුනත් අහුවුනොත් අතාරින්න හිතෙන්නෙ නෑ.. නිකංම නිකං වෙඩිතියලා මරලා දාන ‍විකාර ගේම්වලටවඩා අරවා කොච්චර සිරාද.. විශේෂයෙන්ම Age of Empires වගේ ඒවා සෙල්ලම් කරද්දි ඒත් එක්කම ඒ ඒ civilisations ගැන අපට ලැබෙන background knowledge එක.. 🙂

      • ඇත්තෙන්ම නිකම් අහින්සක මිනිසුන් ඉවක් බවක් නැතුව මරා දැමීම සහ සැලසුම් සහගත සංග්‍රාමයක් අතර බරපතල වෙනසක් තිබෙනවා. යුද පුහුණුව සඳහා රටකින් රටකට ගියත් යුද්ධයට අමතරව ඒ රටේ සංස්කෘතික ලක්ෂනත් ඉගෙන ගන්න ලැබෙනවා.

  7. ඉතාම අගනා ලිපියක්….
    මෙවැනි ලිපි තවත් තවතවත් ඕනෑ………

  8. පළවෙනි එකයි, අරපිරිමැසුම්දායක බවයි … මේ පැත්තෙ පාලකයන්ට වැටහෙන්නෙ නැතිම කොටස් දෙක.

    • මේ කරුණු 10 ඇතුලත් දේශනය අපේ කැබිනට් මණ්ඩලයට එක වරක් කරන්න මට අවස්ථාවක් ලැබුනොත්. . . . .. . . . 😀

      • එයාලට නම් මේවා තේරේවි කියලා මට හිතෙන්නෑ විචාරක.තේරුනත් ගල් ගිල්ලා වගේ බලං ඉඳීවි..නැත්තම් විචාරක මහත්තයට නොසෑහෙන්න ස්තුති කරලා පොඩි තෑග්ගක් එක්ක ගෙදර එවාවි..

        • එහෙම නැත්නම් පාර්ලිමේන්තු රැස්වීම් වලදී වගේම ගොරෝද්දේ ඇද ඇද බුදියගෙන ඉඳියි දේශනය අවසන් වෙනතුරු. අන්තිමට නැගිටලා මහා හඬින් කතාවක් කරයි මේවා විදේශීය කුමන්ත්‍රණ කියලා. 😀

  9. Once I’ve saw on a documentary how did viet-cong used Sun Tzu’s principals; specially on ‘tet offensive’ and its on american army’s officer’s reading list. So i guess his principals are still acceptable to modern warfare. this isn’t really topic related, how did our forces used snipers? Did they deployed them with regular troops as a support group or as a independent unit? I heard that LTTE used them first against our forces. When did sri lankan army decided to ‘utilize’ snipers? And did SLA really done any airborne operations?

    • First of all I really appreciate your contribution. Well, There’s no argument on Suz Tzu’s philosophy and Battle tactics, wicih is vallied forever. USA Troops learned a lesson in Vietnaam and those Viet Cong tactics are using in counter terrorism lessons even today by a number of Armies in the World. Sri Lanka Army adopted Snipers after LTTE. even 81mm Motar, 120mm Motar, 40mm Grenade Launcher, NVD, RPG, found with LTTE before the same introduced to SLA. Art of Snipers we learned sweet, as well as bitter experiance in the field at the initial stages. However at the latter parts of the LTTE war, we used our Sripers in accordence with international standerds and got wonderful results. We used them with small operation teams and with LRRP as well. Airborn ops. ofcourse yes, specially in Kilinocchi , Batticaloa areas. (CDO & SF Regts)

  10. සිවිල් ජනතාව වශයෙන් අපට හසුනොවන වැදගත් තොරතුරු රාශියක් කියවූවෙමි…. ඔබ කියූ කර්නල් මහපාරේ බාබකියු වූ ආරක්ෂක ඇමති විය යුතුය….

    • මමනම් හිතන්නේ මේවගේ දේවල් බොරුවට හංගගෙන ඉඳීමේ තේරුමක් නැහැ කියලයි. මොකද මේවා කියවලා රාජ්‍ය විරෝධී යුද්ධයක් සංවිධානය කරන්න බැහැ.

      හරියට හරි සිරා. ඔයා කියන ඇමති තමයි.

  11. විචාරක මහත්තයෝ මේ වගේ ඒවට අපි ආසයි අනිවාර්යයන්ම කියවනව ඒකනිසා බය නැතුව තව දාන්න

  12. “මෙහිදී ඔබට එක කරුණක් පැහැදිලිව කිව යුතුයි. මේ ලිපිය ඉදිරියට කියවාගෙන යද්දී, නීරස යැයි සිතෙන්නේ නම්, වහාම කියවීම නවත්වන්න. පසු අවස්ථාවක නැවත කියවන්න. එවිටත් එය නීරසනම් නැවත කිසිවිටකත් කියවන්න එපා. මේ කරුණු යුද කලාවේ (Art of War) තරමක් ගැඹුරු කරුණු ලෙසයි සැලකෙන්නේ.” මට මතක් වුනේ අර කියවන්න එපා කිව්ව කමෙන්ටුව..

    “සාම්ප්‍රදායික යුද්ධ (Conventional Wafare) වලට වඩා සාම්ප්‍රදායික නොවන (Unconventional Warfare) යුද්ධ සහ සන්විධානාත්මක ත්‍රස්තවාදී සටන් මැඩලීම සඳහා කෙරෙන ප්‍රති ත්‍රස්තවාදී (Counter Terrorism) හෝ ප්‍රති විප්ලවවාදී සටන් (Counter Revolutionary Warfare) ය.” මේවා ගැනත් සුලුවෙන් කියන්නයි තිබුනෙ..

    මට නම් මේ ලිපිය නීරස නෑ.. ඒත් කෙනෙකුට නීරස යැයි හැඟීම වළක්වන්ට තිබුනා පින්තූර කීපයක් දාලා.. පින්තූර කිව්වෙ ඒ ඒ මූලධර්මය නිරූපණය කරන එව්වා..

    දෙවන ලෝක යුද්ධ කාලෙ සෙබළු මොකෝ මූණට මූණ වෙඩි තියාගන්නෙ?

    “කලකට ඉහත අපේ රටේ හිටියා රැස් විහිදෙන නියෝජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක්.” මට මතක්වුනේ උඩරට එක්කෙනා.. ඒත් එයාව මැරුවේ නෑනෙ.. මගෙ චූටි මොලේට වැටහෙන්නේම නෑ..

    සාමාන්‍ය ජීවිතයට යොදාගන්න බලන්න ඕනෙ..

    ස්තුතියි!

    • යුද්ධ ක්‍රම ගැන වෙනම ලියන්නේ නැතුව මෙතනම ලියන්න ගියානම් මහා වැල්වටාරමක් වෙනවා. ඒ නිසා පසුව ලියන්නම්.

      මමනම් හිතන්නේ මුහුණට මුහුණ ලා කදඩු සටන් කරපු සෙබළු තමයි නියම වීරයෝ.

      අර ඇමති ගැන ටිකක් වෙලා මතක කලාම මතක වෙයි. එයා නැති වෙනකොට ඔයා පුන්චියිනේ. තාත්තාගෙන් අහන්න.

      • “දෙවන ලෝක යුද්ධ කාලෙ සෙබළු මොකෝ මූණට මූණ වෙඩි තියාගන්නෙ?” මේ ප්‍රශ්නය විචාරක මහත්මයාට පැහැදිලිවෙලා නැති හැඩයි..

        මම දෙවන ලෝක යුද්ධයේ දැක ඇති දර්ශන අනුව දෙපැත්තේම සෙබළු පෙළියක් ඉදිරියට එයි මූණට මූණ හිඳගෙන වෙඩි තියා ගනියි. ඉන්පසු තවත් පේළියක් පැමිණ නැවත් වෙඩි තියාගනී.. කිසිම ආවරණයක් නෑ. උපක්‍රම භාවිතා නොකර මේ විදිහට දෙපැත්තේම ජීවිත විනාශ කරගන්නේ ඇයි?

        මේ වනතෙක් ආරක්ෂක ඇමති වූ ජෙනරාල් ලා දෙදෙනයි ඉන්නෙ.. දෙන්නම ඥාති
        සංග්‍රහයෙන්නෙ ජෙනරාල් වුනේ.. එක්කෙනෙක් ස්වාභාවික මැරුනු නිසා අනිත් කෙනාව ගන්නම්.. දියවඩන නිළමේ කෙනෙක් නේද?

        • ලෝකයේ යුද්ධ උපක්‍රම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දෙවැනි ලෝක යුද සමයේ සිටි හමුදා සාමාජිකයන්ගේ මානසිකත්වය නෙවෙයි අද තියෙන්නේ. ඒ කාලේ මුහුණට මුහුණ ලා වෙඩි තබා ගැනීම වීර කමක් අද මෝඩ කමක්.

      • “දියවඩන නිළමේ කෙනෙක් නේද?” නෙමෙයි දියවඩන නිළමේ කෙනෙක්ගේ නමක් නේද?

    • බොහොම වැදගත් ලිපියක් විචාරක මහත්තයා,මේ විදියේ දේවල් බෙදා ගන්න ඒක හුඟක් වටිනවා..

      හරීන්ද්‍ර,ඔයා කියන සෙබළු පේලියක් කිසිම ආවරණයක් නැතුව වෙඩි තියා ගන්න දර්ශණය ඔයා දකින්න ඇත්තේ The Patriot චිත්‍රපටයේ වෙන්න ඕනේ,ඇත්තටම ඒක WWII නෙමෙයි,ඇමෙරිකානු විප්ලවය (1775–83)
      ඔයාට WWII ගැන නියම විදියට දකින්න ඕනේ නම්
      * Saving Private Ryan
      * Letters From Iwo Jima
      * Flag of Our Fathers
      * Enemy at The Gates
      * Pearl Harbor
      වගේ චිත්‍රපටයක් හොයාගෙන බලන්න,මේ කීපයක් විතරයි,තව හුඟක් තියෙනවා,ඒවායේ ඔයාට දකින්න පුළුවන් විචාරක මහත්තයා කියලා තියෙන මූලධර්ම අනුගමනය කරන විදිය වගේම,හරියට පිළිපදින්නේ නැතුව ගන්න තීරණ නිසා වෙන විනාශයත්..

  13. Thank you! 🙂 this is the documentary – http://www.youtube.com/watch?v=LlzX2u6W_uw

    Why did we are the last to adopt modern technology and weaponry? I know LTTE had the advantage of being terrorists and didn’t had the need of official ‘procedures’ regarding that but still.

    Thank you for the info, How do the army chose snipers? is it a volunteer force like Special operations forces and then chose sharpshooters then train them or assign sharpshooters after basic training?

  14. ඇත්තටම ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි…මම ඔබතුමාගේ කියවපු ලිපිවලින් වඩාත්ම හිතට වැදුන ලිපිය කියලා මේ ලිපිය කියන්න පුළුවන්. ඒ මොකද මම මේ වෙලාවේ ලොකු ප්‍රශ්නෙක හිටියේ විසදාගන්න අමාරු. ඒත් දැන් හිතෙනවා ඒක ඒ හැටි දෙයක් නෙමෙයි කියලත්.

    • බොහොම ස්තුතියි ටිරෝන් ඔබේ අදහස් දැක්වීමට. මේ මූලධර්ම ගැලපෙන්නේ යුද්ධයට පමණක් නොවේ කියා මා කිව්වදේ ඔබ හොඳින් අවබෝධ කරගෙන තිබීම සතුටක්. ප්‍රහාරක සැලැස්ම කියන මාතෘකාව පසුව දෙන්නම්. එය මීටත් වඩා වැදගත් වෙනවා එදිනෙදා ජීවිතයට.

  15. බර අවි නොමැතිව සුළු භට පිරිසක්ද සහිතව පොලිස් විශේස කාර්ය බලකාය කල සේවාවේදී ඔබ විසින් සඳහන් කල බොහෝ මුලධර්ම භාවිතා කර ඇති බව සිතමි.කුඩා කණ්ඩායම් යොදාගෙන මෙහෙයුම් දියත් කිරීම, නිරතුරුව තම කඳවුරෙන් පිටත නිරීක්ෂක කණ්ඩායම් තැබීම.අනෙකුත් කඳවුරු වල ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුව සුදානම් කල ආධාරක කණ්ඩායම් පිහිටුවා තිබීම වැනි බොහෝ ආරක්ෂක පියවරවල් තම අතීත සාර්ථක යුගය තුල ඔවුන් විසින් භාවිතා කර තිබුණි.

    • සංග්‍රාමික මූලධර්ම අනුව සෑම විටම සහ සෑම අවස්ථාවකටම කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත ගැලපෙන්නේ නැහැ. අවස්ථාවට අනුව තමයි තීරණය කලයුත්තේ යොදවන භට පිරිසේ ප්‍රමාණය, භාවිත කරන අවි, ප්‍රහාරයට යන මාර්ගය, ආපසු එන මාර්ගය, අධාරක භටපිරිස් ආදිය. එවැනි සැලසුම් සෑදීමේ විෂයය තරමක් සංකීර්ණයි. ඉඩක් ලදොත් පසුව විස්තර කරන්නම් ප්‍රහාරක සැලැස්මක්‌ හදන හැටි.

  16. හොඳ ලිපියක්. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.

    ආරක්ෂක ඇමති ගැන.
    මගේ අදහස අනුව නම් ඔබ සඳහන් කල ඇමති ලංකාවේ සිටි ඉතා දක්ෂ ඇමති කෙනකි. සියලුම මිනිසුන්ට මෙන්ම ඔහුගේද අඩුපාඩු නොතිබිය නොහැක. නමුත් ඔහු විශේෂයෙන්ම පළමු යුද නීතිය ඉතා තදින් එල්බ සිටි පුද්ගලයකි. විශේෂයෙන් ඔහුට විධායකයෙන් ලැබුන සහයෝගය ඉතා අඩු මට්ටමක තියබිදී අරමුණ කරා ගමන් නොසැලී කිරීම අගය කල යුතුය.

    එසේම වත්මන් ආරක්ෂක ඇමති ද යුධයේදී ඉතා දක්ෂව තමන්ගේ කාර්ය කල පුද්ගලයකි, නමුත් ඔහුට විධායකයෙන් ලැබුන සහයෝගය ඉතා ඉහලය.

    මෙම දෙදෙනාගේම මා දකින සමානකම නම් දෙදෙනාම තුල වූ හමුදා පුහුණුවයි (අඩු හෝ වැඩි). මෙම හමුදා පුහුණුව දෙදෙනාම තම අරමුණ කරා යාමට උදව් වූ බව මගේ අදහසයි.

    • ඕව් ඒ ඇමතිතුමා තුල දක්ෂකම් තිබුනා. ඔහු මුලාසනයගත් හමුදා සාකච්ඡා කීපයකට මමත් සහභාගී වුනා. ඔහු වැවිලි කරුවෙකු සහ පරිපාලකයකු ලෙස අතිශයින් සාර්ථකයි. ඔහුගේ ඔලුවට හමුදා නිලය කියන කටු ඔටුන්න නොපළඳුවා නම් හොඳයි.

      • ඒ අදසට නම් මම 100% එකඟයි. එසේ ඌවා නම් බොහෝ විට ඔහුට ලංකාවේ ජනාධිපති වීමට පවා අවස්ථාව තිබුණා.

  17. නිවැරදි කිරීමක් :
    එසේම වත්මන් ආරක්ෂක ඇමති ද යුධයේදී යන්න
    එසේම වත්මන් ආරක්ෂක ලේකම් ද යුධයේදී ලෙස නිවැරදි විය යුතුය.

  18. අපි දන්න ඩිශුම් ඩිශුම් යුද්දයට වඩා වැඩි දෙයක්නේ…

    මුළු ලිපියෙම අගය දෙතුන් ගුණයකින් වැඩි වුනේ අන්තිම වාක්‍යය කිහිපය නිසා… ඒ ටික තමයි මගේ හිතට අල්ලලාම ගිය ටික…

    • ඇත්තටම සමහර අය හිතාගෙන ඉන්නේ යුද්ධ කරන්න හරිම පහසුයි සෙබළු සහ ආයුධ තියනවනම් කියලා. එහෙම අය තමයි ඔය බොළඳ විවේචන කරන්නේ. නමුත් හමුදාවට ඒ විවේචන වලින් වැඩක නැහැ. තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන යනවා මිසක්.

  19. හොද ලිපියක්, බොහොම ස්තුතියි මේ දැනුම බෙදා ගන්නවට…

  20. ෆොර්වර්ඩ් රෝල් ගහලා රෑට රෑට රිපොර්ටින්ග් කරලා ඉගෙනගත්ත මේවා සාමාන්‍ය ජීවිතේටත් ඉතාම වැදගත් කියලා තේරුණේ පස්සෙ කාලෙක.

    ඔය කර්නල් නිසාත් පස්සේ ආව කර්නල්ලා නිසාත් අහිමි වුන ටැලන්ටඩ් ඔෆිසර්ලා එමටයි!

  21. Sun Tzu ගැනත් කියපු නිසා ඔන්න උන්නැහේ යුධ්දෙදි පාවිච්චි කරපු කෙටි ක්‍රම ගැන අන්ග සම්පූර්ණ වාර්ථා වැඩසටහනක් ….
    http://topdocumentaryfilms.com/art-war/

  22. සමහර කියුම් වලින් විචාරක මහත්තයා පාඨකයා ගැන අවතක්සේරු කලාවත්ද මන්දා …:)
    මම මේ ගැන නම් කවදාවත් කියවලා තිබුනේ නෑ..ගොඩක් ස්තුතියි..අර උපක්‍රම වලට දක්ෂ යුධ සෙන්පතීන් දෙන්නා ගැනත් දවසක ලියන්න පුළුවන්ද?

    • අනේ මම එහෙම අවතක්සේරු කිරීමක් නෙවෙයි කලේ. නීරස දෙයක් දිගටම කියවාගෙන ගිහිල්ලා බැනලා දාන කමෙන්ට්ස් වලින් වලකින්න අවශ්‍ය නිසයි කිව්වේ නීරස නම් කියවන්න එපා කියලා.
      අර සෙන්පතියන් ගැනත් ලියන්නම්.

  23. ඔබතුමාගේ සරල පැහැදිලි කිරීම නිසා ගොඩක් දේවල් මේ වෙද්දී පැහැදිලි

  24. ඉතාම වැදගත්..මම නම් සංග්‍රාමික මූලධර්ම 1 කියවද්දිම හිතුන මේක ජීවිතේට ආදේශ කරගන්න පුලුවන් එක එක වැඩ වලදී කියල..(එහෙම වැඩකුත් තිබේ)..අන්තිමේදී ඔබතුමත් ඒකම කියල තියෙනව නේ.. 😀

    බොහොම ස්තූතියි..ඔබට ජය

  25. පුලුවන් නම් අවසන් ඊලාම් සටනේදී භාවිතා උන යුද මූල ධර්ම මධ්‍යස්ථ විස්තරයක් කරන්න.(ජයග්‍රහණ හා පරාජයන් විශ්ලේෂ්ණයක් ඈතුලත්ව.)

    • මා ඉතාම කනගාටු වෙනවා පහත සඳහන් හේතු නිසා ඔබේ ඉල්ලීම ඉටු කරන්නට නොහැකි වීම ගැන.
      1. අවශ්‍ය නිවැරදි විස්තර සහ සිතියම් සොයාගැනීමට නැත.
      2. ඒ කාලයේ පුවත්පත්වල පළවූ විස්තරවල අඩුපාඩු තිබෙනවා. පැරණි පුවත්පත් සොයා ඒ විස්තර ගත්තත් නිවැරදි නැහැ.
      3. සමහර තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය මෙන්ම ත්‍රිවිධ හමුදා මුලස්ථාන මගින්ද රහසිගත තොරතුරු ලෙස වර්ගීකරණය කර තිබෙන නිසා ලබාගත නොහැකියි.

      • මම මෙහෙම අහන්න නම්. අවසන් යුද්ධය දින්නෙ කුඩා කණ්ඩයම් මගින් ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමය අත් හදා බෑලීම සාර්ථක වීම නිසාද? එය කාගේ නිර්මාණයක්ද?

        • 1. කුඩා කණ්ඩායම් ක්‍රමය අවසන් සටනේදී පමණක් යොදාගත් ක්‍රමයක් නෙවෙයි.
          2. අවසන් සටනේදී යොදාගත්තේ කුඩා කණ්ඩායම් ක්‍රමය පමණක්ම නෙවෙයි.
          3. කමාන්ඩෝ සහ විශේෂ බලකාය තමයි මුලින්ම කුඩා කණ්ඩායම් ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කලේ.
          4. 1980 දශකයේ අග භාගයේදී වෙනත් රෙජිමේන්තු, ඒකක, ඒ කරමය පුහුණුවී, කමාන්ඩෝ සහ විශේෂ බලකාය කරනවාට වඩා අඩු මට්ටමෙන් ක්‍රියාත්මක කළා. (ඉදිරියට යන දුර ප්‍රමාණය සහ ගත කරන කාලය අර රෙජිමේන්තු දෙක තරමින්ම කලේ නැහැ)
          5. ජෙනරල් සරත් ෆොන්සේකා යාපනයේ ආඥාපති ලෙස කටයුතු කල අවධියේදී, සියලුම ඒකක වලින් තෝරාගත් භටපිරිස් සඳහා, විශේෂ ක්‍රියාන්විත පුහුණු පාඨමාලාවක් හඳුන්වා දුන්නා. එය බොහෝදුරට විශේෂ බලකායේ කුඩා කණ්ඩායම් ක්‍රමයට සමාන වූ අතර, එයින් ක්‍රියාන්විත වලට මහත් රුකුලක් ලැබුනා.

  26. what were the overall strategies? they are not confidential. is n’t it?

    • Please note that it was a combined operation of three forces. overall command was under the Ministry of Defence. Ground forces (Army) moved in Divisions, Task Forces, Special Units and so on. Therefore it is very difficult to explain sratergies, without knowing correct facts. It was a very vital concept. However main stratergies were ‘Block ans Assault’, “Encirclement and Destroy’, ‘Infiltration’, and so on.

  27. වටිනා කරුනු රාශියක් නැවත,නැවත කියවා සිතට ගතයුතුයි..!

  28. පුළුවන් නම් ජනාධිපති ආරක්ෂක අංශය ගැන පැහැදිලි කරන්න පුලුවන්ද? (close protection වලට ඉන්න අය ගැන වටේ ඉන්න අය ගැන නෙවෙයි) ඔවුන් අයිති වෙන්නේ පොලිස්සියටද හමුදාවටද? ඔවුන්ව ‍තෝරගන්නේ/බඳවා ගන්නේ කොහොමද? පත්තරේකවත් මම ඒගොල්ලො ගැන නම් විස්තර තියෙනවා දැකලා නෑ.

  29. Art Of War අනිවා ජනප්‍රිය ලිපි පෙළක් වේවි. කියන්න දෙයක් නෑ අනික්ව වගේමයි +++.
    ඔක්කොම එකපාර කියෙව්වා. මට ඉවසීම තියනවද මන්ද….
    මම දන්නා තරමට අර “සුන් සු” කියල තියනව. ශක්තිමත් තැනට නැතුව දුර්වල තැනට ගහන්න කියල. නමුත් මට හොදටම මතකයි ජනරාල් ෆොන්සේකා දවසක් කීවා ශක්තිමත් තැනට අපි වඩාත් ප්‍රහාර එල්ල කළා. එවැනි තැන් තෝරා ගෙන ඒ ස්ථාන වලට වැඩිපුර ප්‍රහාර දියත් කළා , වගේ “සුන් සු” ගේ මතයට තරමක් පටහැනි දෙයක්…. මෙය සත්‍යද.

    අර ඔබ කියපු ඇමති… plantation section එක හැදුවේ හමුදා නීති වගේ හන්ද. වතු අධිකාරිවරු පණ දමාගෙන වැඩ. කම්කරුවෝ නැත්නම් ක්ලාක්ල දැම්මල හරි වැඩ කෙරුව. නැත්නම් සතියකින් අතුරුදහන් වෙන්නත් සෑහෙන ඉඩකඩක් තිබ්බ. අහන්න දෙයක් නෑ, අර කියපු හමුදා නිලධාරියත් රට නොගිය නම් 90% ශුවර් පෙට්ටිය තමා උරුමෙ.
    නමුත් සමහර තද ගති හන්ද මිනිස්සු හැදුන. නමුත් මිනිස්කම අමතක නීති රීති වලින් වැඩක් නෑ. අන්තිමට තුම්මුල හන්දිය ලග අවසන් තිත තිබ්බ.

    • පරණ පොරොන්දු කීපයකුත් තියනවා ඉටු කරන්න. තුවක්කු, යුද්ධ ටැංකි, තුවක්කු කාරයෝ, ගැන. ‘යුද කලාව’ ගැන කරුණු ගොඩක් තියනවා. දැනට ඒවා ගොනු කරමින් පවතිනවා.

      ජෙනරල් ෆොන්සේකාගේ ප්‍රකාශය සහ මතය හරි. යුද්ධය දිනුවේ, ඔහු ඉර පෙන්නලා ඒ හඳ කිව්වොත්, මුළු හමුදාවම ‘ඔව් ඒ හඳ’ කියන තැනට හෙවත්, එක අණකට හා දැඩි විනයකට හමුදාව පත්කල නිසයි.

      අර ඇමතිතුමාට වැරදුනේ හමුදා නීති සිවිල් ආයතන පාලනයට යොදාගත් නිසයි. සමහර හමුදා නීති අදටත් සිවිල් පාලනයට අනිවාර්යයෙන්ම යොදාගත යුතුයි. නමුත් හැම හමුදා නීතියක්ම නොවේ. ඒකයි මම මීට පෙර පිලිතුරකත් කිව්වේ ඔහුට ලැබුන හමුදා නිලය දරාගන්න ඔහුට බැරිවුනා කියලා.

  30. //ඇත්තෙන්ම නිකම් අහින්සක මිනිසුන් ඉවක් බවක් නැතුව මරා දැමීම සහ සැලසුම් සහගත සංග්‍රාමයක් අතර බරපතල වෙනසක් තිබෙනවා.//

    මේ කථාවත් එක්ක මම එකඟයි. ඒ වගේම මේ කරුණු වලින් ගොඩක් අපිට සාමාන්‍ය ජීවිතයේදීත් වැදගත් වෙනවා. ඇත්තෙන්ම ගොඩක්ම වටින කරුණු ටිකක් තමා විචාරක මහත්මයා ඉදිරිපත් කරලා තියෙන්නේ.

  31. //ඒ නිසා ඔහු, පහුවදාම ලිඛිත ඉල්ලීමක් කර, සිය කැමැත්තෙන් හමුදාවෙන් ඉල්ලා අස්වුණා. ඉන්පසු පිට රටකට ගියා ජීවිතය බේරාගන්න. මේ රටට හොඳ සෙනෙවියෙක් අහිමි වුනා.//

    ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ මෙයාද?

  32. මම නොදන්නා දෙයක් ඉගෙනගත්තා

  33. මුල ඉඳල අගටම කියෙව්වා. අර තලගුරු විහාරේ කියන්නේ ගල් කුලම පාසේ යන කොට තියෙන්නේ වවුල්ලු ගුහාවක් තියෙන පන්සල නේද? අපිත් ඒ පන්සලට ගියා දම්මික කියලා හාමුදුරු නමක් තමයි ලොකු හාමුදුරුවෝ. හරි ශෝක් පළාත(මම දන්නේ නැහැ න් යට මටනම් හරි ශෝක්)
    කෝරලේ වලව්ව

  34. […] පාවිච්චි කරනවා. මේ අයගෙන් ඇහුවොත්, යුද්ධයේ මූලධර්ම දහය මොනවාද කියලා, ඇඳගෙන ඉන්න වස්තරේම […]

  35. ඔන්න ඔක්කොම කියෙවුව්වා ඇත්ත මේවා අපේ ජීවිතේට යොදා ගන්න පුළුවන් ඇත්තටම වටින ලිපියක් අනිත් දේ තමා අපි වීඩියෝ ගේම් ගහන්නේ call of duty වගේ ඒවගේ නම් ඔය මුල දරම නෑ නමුත් ගේම් එක උනත් අපට් ජය ගන්න පුළුවන් හරි වෙලාවේ හරි දේ කොලොත් පමණයි නේද ?ඒවා ඉතින් සැබෑ ලෝකෙත් එක් ක සසදන්න බෑ .

    • පරිගණක ක්‍රීඩා කියන්නේ ෆැන්ටසියක් පමණයි. ඒ ක්‍රීඩාවක, ඔබ වෙඩි තියන තුවක්කුවක්, ඇත්තටම ඔබ අතට දුන්නොත්, ඔබට එයින් මොකුත් කරගන්න බැහැ. පරිගණකයේදී එය දැක්කාට වඩා, හාත්පසින්ම වෙනස් නිසා.

      මේ මූලධර්ම අපේ ජීවිතයටයෝදාගන්න පුළුවන් නම් ජීවිතය වඩාත් හොඳින් සැලසුම් කරගන්න, කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා.

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: