විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  ගමන

  කොටස් තුනක් පුරා අපි ආව කොන් ටිකි ගමනේ අවසානය දකින්නයි අද සූදානම් වෙන්නේ. මේ ගමනේ ත්‍රාසය මුසුවූ සිදුවීම් ඇත්තේ මේ කොටසෙයි. මෙහි මුල් කොටස් තුන ඔබ කියවා නැත්නම්,

  පළමුවැනි කොටස මෙතනින් 

  දෙවැනි කොටස මෙතනින්
  තුන්වැනි කොටස මෙතනින්  කියවන්න.

  තෝර් හෙයඩල් හොඳින්ම දැන සිටියා, මේ ගමන ඉතා වියදම් අධික ගමනක් බව. තමන්ගේ රටේ සිට සැතපුම් දස දහස් ගණනක් නැවෙන් ගොස් පේරු රාජ්‍යයට ලඟා විය යුතුයි. ඒ සඳහා හය දෙනෙකුට වියදම් කල යුතුයි. අවශ්‍ය උපකරණ සහ අනෙකුත් බඩු බාහිරාදිය සපයාගෙන රැගෙන යායුතුයි. පේරු රාජ්‍යයේ නැවතී හිඳිමින් අවශ්‍ය අමු ද්‍රව්‍ය සොයාගෙන යාත්‍රාව නිර්මාණය කල යුතුයි. ගමන අවසන් කර ආපසු තම රටට පැමිණිය යුතුයි. මේ සඳහා මුදල් සොයා ගැනීම සිතූ තරම් පහසු වුනේ නැහැ. අවසානයේදී පෞද්ගලිකවම ණයට ගත් මුදල් සහ ඇමරිකානු එක්සත් ජනපද යුද හමුදාවෙන් පරිත්‍යාග වශයෙන් ලද මුදල්ද යෙදවීමෙන් තමයි මේ කටයුත්ත සාර්ථක කරගත්තේ. තවද පේරු රාජ්‍යයෙන් ඔවුන්ට නොමිලේ නාවික යාත්රාන්ගන පහසුකම් ලබා දුන්නා. එමෙන්ම ඉපැරණි යාත්‍රා පිරිබඳ චිත්‍ර සහ රූප සටහන්ද ලැබුන  අතර එවැනි යාත්‍රා ඉදිකිරීම ඒ පිලිබඳ විශේෂඥයන් විසින් පියවරෙන් පියවර නිරීක්ෂණය කොට වාර්තාගත කෙරුනා. නවීන උපකරණ ලෙස කැමරා, ගුවන්විදුලි යන්ත්‍ර, අත් ඔරලෝසු, සටහන් පත්‍ර, කැලෑ පිහියා මෙන්ම මුහුදේදී මාර්ගය සොයන සෙක්ස් තන්තුව (Sextant) නමැති උපකරණයක්ද රැගෙන ගියත්, හෙයඩල් කිව්වේ, එයින් ගමනේ මූලික අරමුණට කිසියම් බලපෑමක් එක් නොවන බවයි.   

  ඇත්තටම කොන් ටිකි යාත්‍රා කරනවා කියා දැනගන්නේ කොහොමද?   

  එතනදී නම් නවීන තාක්ෂණය පාවිච්චි කරන්න වුණා. මොකද මෙය පර්යේෂණාත්මක ගමනක්. ගමන යන්නේ විද්වතුන් පිරිසක්. ඉතින් ඔවුන්ගේ තත්වය නිරීක්ෂණය කරන්න වෙනත් යාත්‍රා ඒ පසුපස යැව්වොත් ඔවුන් තනියම ගමන ගියා කියන්න බැහැ. එකල චන්ද්‍රිකා තාක්ෂණය තිබුනේ නැහැ ඔවුන්ව නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණ ගුවන් යානා යෙදවීමට කිසිම රටක ඉදිරිපත් වුනේ නැහැ. ඉතා අධික වියදම් නිසා. මේ සියල්ල සලකා ඔවුන්ට සිදුවුනා පණිවිඩ හුවමාරු යන්ත්‍ර රැගෙන යන්න. (නූට් හෆ්ලන්ඩ් දෙවැනි ලෝක යුද සමයේ රහසිගත් පණිවිඩ හුවමාරු විශේෂඥයෙක්, නෝර්වේ හමුදාවේ මේජර් වරයෙක්. ඔහු තමයි පණිවිඩ හුවමාරුවේ ප්‍රධානියා එවැනිම හමුදා පණිවිඩ හුවමාරු විශේෂඥයකු වූ ටෝශියන් රාබිත් වැඩේට හවුල් වුණා)

ඔවුන් ගෙනගිය පණිවිඩ හුවමාරු යන්ත්‍ර මෙසේයි.

1. ආධුණික ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරුවන් විසින් පාවිච්චි කරන කෙටි තරංග ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර දෙකක්. (Ameture Radio set) (National Radio Company NC 173 Model) මේවා අද දකින්නට නොලැබෙන වැකුම් ටියුබ් හෙවත් වෑල්ව් (Vacuum Tube = valve)  වලින් ක්‍රියා කරන යන්ත්‍ර. අද ඒ වෙනුවට යොදන්නේ සංගෘහිත පරිපථ (Intregated Circuits = IC)

2. දෙවැනි ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය විශේෂ ක්‍රියාන්විත විධායකය (British Special Operation Executive = SOE) නම් අංශය පාවිච්චි කළ, මාර්ක් 2 වර්ගයේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක්.

3.  එම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා අවශ්‍ය බැටරි දෙකක්. හදිසියකදී එම ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරවීමට පමණක් සෑහෙන බලයක් උපදවාගත හැකි අතින් කරකවන විදුලි ජනක යන්ත්‍රයක්. (Electricity Generator)

  මේ ගුවන්විදුලි යන්ත්‍ර වතුරට ඔරොත්තු දෙන හමුදා ගුවන්විදුලි යන්ත්‍ර වුනත්, මුහුදු රල අනපේක්ෂිත ලෙස වැදීමෙන් ක්‍රියා විරහිතවූ අවස්ථා තිබුනා. කෙසේ වෙතත් මේ යන්ත්‍ර භාවිත කර, සමහර අවස්ථා වලදී සැතපුම් දස දහසකටත් වඩා ඈතින් පිහිටි, නෝර්වේ රාජ්‍යය සමග පණිවිඩ හුවමාරු කරගන්නට ඔවුන් සමත් වුණා. නමුත් ඔවුන් බොහෝවිට කලේ කතා කිරීම නොවේ. “සියල්ල හොඳින් සිදුවෙනවා” “All Well” යන සංඥාව නොකඩවා ප්‍රචාරය කිරීමයි.  ඔවුන්ගේ යාත්‍රාවට පණිවිඩ හුවමාරුව සඳහා ලබාදී තිබුන සංඥා නාමය (Call Sign) වුයේ LI2B (ලීමා ඉන්ඩියා ටූ බ්‍රාවෝ) ලීමා, ඉන්ඩියා, බ්‍රාවෝ, යනු මොනවාද යන්න මෙතනින් බලන්න.

පිටත්වීම


33 න් හැවිරිදි තරුණයකු වූ, නෝර්වේ ජාතික තෝර් හෙයඩල් ගේ  නායකත්වයෙන් යුත්, ගවේෂක පිරිස රැගත් කොන් ටිකි යාත්‍රාව, ඒ  ෙඑතිහාසික චාරිකාව අරඹමින්, ක්‍රිස්තු වර්ෂ 1947 ක් වූ අප්‍රේල් මස 28 වැනි දින අපරභාගයේදී පේරු රාජ්‍යයේ ‘කැලාඕ’ වරායෙන් ගමන ආරම්භ කළා.

   යාත්‍රාව දියත් කිරීම බොහොම චාම්ව එහෙත් සියළු ගෞරව සහිතව සිදු කෙරුනා. කැලාඕ වරායේ නවතා තිබුණු විවිධ නාවික යාත්‍රා වලින් ද, ඒ වරාය තුල සහ වරායෙන් පිටත ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබුණු විවිධ නාවික යාත්‍රා වලින් ද, කොන් ටිකියට බාධා ඇතිවෙතැයි සිතුන නිසා, පේරු නාවික හමුදාවට අයත් ‘ගාඩියන් රියොස්‌’ නමැති ටග් යාත්‍රාවෙන් (අලියා බෝට්ටු කියලත් කියනවා) කොන් ටිකිය මුහුදේ සැතපුම් 50 ක් දුරට ඇදගෙන ගියා. කොන් ටිකිය ගමන් කලේ මුහුදේ තිබෙන දිය වැලක් හෙවත් සාගර ප්‍රවාහයක් (Ocean Current)ආධාර කරගෙනයි. (අද ද නාවික යාත්‍රා මේ ක්‍රමය අනුගමනය කරනවා) කොන් ටිකිය ගමන් කලේ, ලෝකයේ විශාලතම සාගර ප්‍රවාහය වන හම්බෝල්ට් ප්‍රවාහය ආධාර කරගෙනයි. (Humboldt Current) දියවැලක් හෙවත් සාගර ප්‍රවාහයක් කියන්නේ, මුහුදේ කිසියම් නිශ්චිත දිශාවකට ගලන ජල ප්‍රවාහයක්. එය ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් සැඩ පහරක් මෙන් මුහුදු ජලය තුල ක්‍රියාත්මක වෙනවා. ඒවා ඇතිවීමට විවිධ හේතු බලපානවා.

   මෙතැන් සිට මේ ගමනේ විස්තර ලබාගැනීමට තිබෙන එකම මූලාශ්‍රය වන්නේ, තෝර් හෙයඩල් විසින් කොන් ටිකියෙහි පවත්වාගෙන ගිය සටහන් පොතයි. (Log Book) එහි ඉතා වටිනා තොරතුරු ඇතුලත්ව තිබෙනවා. මේ තියෙන්නේ ඒ පොතේ පින්තුරයක්. ඊට පහලින් තිබෙන්නේ හෙයඩල් තම අත් අකුරින් එහි තැබූ සටහන් සහිත පිටු දෙකක්.

ගමන පටන් ගන්න කලින් මුහුදු රැල්ලකට අසුවූ යාත්‍රාව වරායේ ජැටියක ගැටුනත් එතරම් හානියක් වුනේ නැහැ. හෙයඩල් 1947 අප්‍රේල් මස 27 වැනිදා සිට සටහන් යොදන්නට පටන් අරන් තිබෙනවා. ගමන පිටත් වූ දිනයේ සටහන් අනුව, හවස 5 ට පමණ තමයි ඔවුන්ගේ යාත්‍රාව කැලාඕ වරායෙන් පිටතට ඇවිත් තිබෙන්නේ. පළමුවැනි සටහනේම තිබෙනවා, එක් එක් පුද්ගලයාට අයිති කාර්යභාරය. ඒ මෙසේයි.

1. තෝර් හෙයඩල්  = නායක

2. හර්මන් වට්සින්ගර් = උප නායක සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරි

3. එරික් හෙසල්බර්ග් = මග පෙන්වන්නා (නියාමක)

4.  නූට් හෆ්ලන්ඩ් සහ ටෝශියන් රාබි = ගුවන්විදුලි පණිවිඩ හුවමාරු කරුවෝ

5. බෙන්ග්ට් ඩනියල්සන් = සත්කාරක කටයුතු (Steward)

  පළමු වැනි දිනයේ සිටම ඔවුන් දිනපතා එක් අයෙක් (විශේෂයෙන් රාත්‍රී කාලයේදී) අවදියෙන් යාත්‍රාවේ ගමන නිරීක්ෂණය කරමින් සිටියා. පළමු වැනි දිනයේදී ඒ රාජකාරි යෙදී තිබුන අයුරු, සටහන් පොතේ තිබෙන්නේ මෙසේයි. රාත්‍රී 8 සිට 10 දක්වා නූට්, 10 සිට 12 දක්වා හර්මන්, 12 සිට 2 දක්වා තෝර්, 2 සිට 4 දක්වා බෙන්ග්ට්, 4 සිට 6 දක්වා එරික්, 6 සිට 8 දක්වා ටෝශියන්.

  මා කලින් සඳහන් කලාක් මෙන් කොන් ටිකිය ශාන්තිකර සාගරයේ සැතපුම් 50 ක් දුරට ඇදගෙන යාම දිගටම සිදු කෙරුනා. එය අවසන් වුනේ පසුදා එනම් අප්‍රේල් 29 වැනිදායි. එදින උදේ 9.30 ට පමණ කොන් ටිකිය ඇදගෙනයන කඹය කැඩුනා. තෝර් සහ එරික් දෙදෙනා, හදිසි අවස්තාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කොන් ටිකියේ තිබුන, කුඩා ඩිංගි බෝට්ටුවෙන් ඉදිරියට ගොස්, යලි කඹය ගැට ගැසුවා. හරියටම දවල් 12.00 ට ඇදගෙන යාමේ සීමාවට හෙවත් සැතපුම් 50 දුරට, කොන් ටිකිය ළඟාවුණා. එහිදී කොන් ටිකිය, ඉමක්‌ කොනක් නොපෙනෙන ශාන්තිකර සාගරයේ තනිකර දමා, මෙතෙක් එය ඇදගෙන පැමිණි ගාඩියන් රියොස්‌ යාත්‍රාව, ඔවුන්ට සුබ පතා ආපසු හැරුනා.

  මුලින්ම යාත්රිකයන් සිය ගුවන්විදුලි පණිවිඩ හුවමාරු ක්‍රම අත්හදා බැලූ අතර එය සාර්ථක වුණා. මහ සයුර ක්‍රම ක්‍රමයෙන් රළු වන්නට පටන් ගත්තා. මහා මුහුදු රැළි ඔවුන්ගේ යාත්‍රාව වේගයෙන් ඉහලට ඔසවා අතහැරියත්, පැරණි තාක්‍ෂණය බොරුවක් නොවෙයි යන්න ඔප්පු කරමින් යාත්‍රාව ජලයේ නොගිලී ගමන් කලා.

  යාත්‍රික පිරිස විමතියට පත් කරමින්, මහා තල්මසෙක්, යාත්‍රාව අසලින්ම ගමන් කළේ, උගේ හිසෙන් වතුර මලක් විදිමින්. විවිධ මාලුවර්ග දකින්නට ලැබුණු අතර, අති විශාල පියාමැස්සන් විශේෂ තැනක් ගත්තා. යාත්‍රා තට්ටුවට යටින්, මුහුදු රළ, වේගයෙන් පහර දෙන්නට පටන්ගත්තා. යාත්‍රාව කඩදාසි ඔරුවක්‌ මෙන් රැළි සමග එහෙ මෙහෙ විසි වුනත්, පෙරලුනේ නැහැ. රාත්‍රී කාලය වනවිට මුහුද වඩාත් රළු වුණා. එ නිසා දෙදෙනෙක් එක වර මුර කිරීමට තීරණය කළා. මේ අතර නූට් හට මුහුදු රෝගය  (Sea Sickness) වැළඳුනා. ඔහුට විවේක ගන්නට ඉඩ හැර, සෙසු පිරිස කාලය බෙදාගෙන යාත්‍රාවේ කටයුතු කළා. රාත්‍රී කාලයේදී මහා දිය රැළි යාත්‍රාවේ තට්ටුවටත් ඉහළින් වදින්නට පටන් ගත්තා. මේ නිසා සමහර අවස්ථා වලදී සියලු දෙනාට සිදු වුණා, තමන්ව කඹයකින් යාත්‍රාවේ කුඹ ගහට හෝ කනුවකට තබා බැඳ ගන්නට. නැත්නම් රළ පහරින් මුහුදට විසිවී යන්නට පුලුවන්.

  මුහුදේ ගතකල සෑම දිනයකම ඔවුන් අලුත් අත්දැකීමක් ලැබුවා. බල්සා කඳන් පෙඟුණු ස්වභාවයක් පෙන්නුම් කිරීම නිසා, ඔවුන්ගේ සිත් තුල කිසියම් චකිතයක් ඇතිවුනා. සමහරෙක් හොරෙන්ම තම කැලෑ පිහි බල්සා කඳන් වලට බස්සවා බැලුවා. නමුත් ඔවුන්ට වැටහුණා, ඒ පෙඟුණු ස්වභාවය තිබෙන්නේ, අඟල් දෙකක පමණ ඝනකමට පමණක් බව. එය, බල්සා කඳක් ජලයේදී හැසිරෙන ආකාරය බව, ඔවුන් අවබෝධ කරගත්තා. සමහර කඹ බල්සා කඳන් තුලට කාවැදී තිබුනත්, ඒවා තවත් තදවී තිබෙනවා හැර, යාත්‍රාවට එයින් හානියක් නැති බවද පෙනීගියා.

තම පාවිච්චිය සඳහා ජලය රැගෙන ගොස් තිබුනත් වැසි ජලය එකතු කරගැනීමටත් ඔවුන් අමතක කලේ නැහැ. ඒ සමග ඔවුන් නිරීක්ෂණය කල මත්ස්‍ය වර්ග, ජලජ ශාක වර්ග, කාලගුණික වාර්තා, හෙයඩල්ගේ සටහන් පොතේ ඇතුලත් වෙනවා.  ඒවා ඉතා දීර්ඝ විස්තර නිසා මෙහි ඇතුලත් කරන්නේ නැහැ. හෙයඩල් තම චාරිකා විස්තරය පසුව මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා. මේ තියෙන්නේ එයයි.

  හෙයඩල් සහ පිරිසට  සහ පිරිසට මේ මහා සාගර චාරිකාවෙන් පසු පළමු වරට ගොඩබිමක් දකින්නට ලැබෙන්නේ 1947 ජූලි මස 30 වැනිදායි. ඒ පොලිනීසියානු දූපත් සමූහයෙම, කොරල් පර වලින් සෑදුනු, ‘පූකා පූකා’ නමැති දූපතයි.  ඒ වනවිට ඔවුන් පේරු රාජ්‍යයෙන් පිටත්වී, දින 97 ක් මහ සයුරේ ගමන් කර තිබුනා. හෙයඩල්  මේ චාරිකාව ආරම්භ කිරීමට පෙර කල ගණනය කිරීම් වලදීද කියා තිබුනේ, අවම වශයෙන් දින 97 ක් වත් යාත්‍රා කිරීමට සිදුවන බවයි.  ඔවුන් ගේ ගමන අවසන් කරන්න සිදුවුනේ බලාපොරොත්තු රහිත ආකාරයකටයි. කොරල් පර වලින් ගහන සාගර ප්‍රදේශයකදී ඔවුන්ගේ යාත්‍රාව හදිසියේම කොරල් පරයක හිරවූ අතර, පසුව නැගුන මුහුදු රළ මගින්, පොලිනීසියාවට අයත් ටුවාමොටු (Tuamotu) නමැති දූපත් කොටසට අයත්, ඒ කාලයේ ජන ශූන්‍ය දූපතක් වූ, රරොයියා (Raroia) දූපතේ වෙරල වෙත තල්ලු කරනු ලැබුවා. ඒ 1947 අගෝස්තු මස 7 වැනිදායි. මේ දූපතේ අතරමංව දින කීපයක් සිටින අතර, ඒ ප්‍රදේශයට ධීවර කටයුතු සඳහා පැමිණි පොලිනීසියානු ජාතිකයන්, ඔවුන්ගේ කැනූ (Canoe) නමැති ඔරු වලින් පැමිණ, මේ වීරයන් ගේ කතාව අසා, පිරිස පිළිගෙන යාබදව පිහිටි ජනාවාස දූපතක් වෙත ගෙනගොස් නැටුම් ගැයුම් සහිත උත්සව පවත්වා උපහාර පිදුවා. අවසානයේදී ඔවුන්ව බාරගත්, ප්‍රංශයට අයත්, ‘තමාරා’ නමැති කුඩා නැව, කොන් ටිකියද ඇදගෙන, පොලිනීසියානු දූපත් අසල පිහිටි, තහිටි දූපත් (Tahiti Islands) වෙත ගමන් කළා. වීරයන් පිරිස ගෙදර එන්නට පිටත් වුනේ එහි සිටයි.   

  ඒ වීර චාරිකාව අවසන් වුනේ එලෙසයි. ඒ 1947 අගෝස්තු මාසය. මේ ක්‍රිස්තු වර්ෂ 2012 අගෝස්තු මාසයයි. මේ වීර චාරිකාව සිදුවී දැන් වසර 65 ක් ගෙවී තිබෙනවා. හෙයඩල් සහ පිරිස වීරවරයින් ලෙස පිලි ගැනුනා. ලෝකය පුරාම ඔවුන්ගේ කීර්ති කදම්බය පැතිර ගියා. ඔවුන්ගේ යාත්‍රාව විශේෂ නැවක් මගින් නොර්වේ වෙත රැගෙන ගොස් කොන් ටිකි කෞතුකාගාරය (Kon Tiki Museum) නමින් විශේෂ කෞතුකාගාරයක තැන්පත් කෙරුණා. මේ චාරිකාවෙන් නොනැවතුණු හෙයඩල්  තවත් මෙවැනි වීර චාරිකා කීපයකම යෙදුනා. 

හෙයඩල්ගේ  පෞද්ගලික ජීවිතයෙන් බිඳක්


උපත :- 1914 ඔක්තෝබර් 6 නොර්වේ රාජ්‍යයේ ලාර්වික් ප්‍රදේශයේදී


අධ්‍යාපනය:- නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් උපාධියක්ද පශ්චාත් උපාධියක්ද ලබාගත්තේය.


විවාහ ජීවිතය :- හෙයඩල් තෙවරක් විවාහ දිවියට ඇතුලත් විය.

පළමුවැනි විවාහය ‘ලිවූ කචේරෝන් තොර්ප්’ සමග 1937 දී. තෝර් හෙයඩල් කනිෂ්ට නමැති පුතා සහ බ්ලෝන් නමැති පුතාද ලැබුනේ මේ විවාහයෙනි. දික්කසාදයෙන් කෙලවර විය. 

දෙවැනි විවාහය 1949 ‘ඉවොන් සයිමන්සන්’ සමග. දියණියන් තිදෙනෙක් ලැබුණි. දික්කසාද විය. ඒ පිලිබඳ වරද තමාගේ බව ඔහු කියා ඇත.

1991 දී ඔහු ‘ජැකලීන් බීයර්’ සමග විවාහ විය. ඔහු ඇය සමග පදිංචිව සිටියේ කැනරි දූපත්හි ටැනනරිෆ් නුවරය.

  අසාමාන්‍ය දේශ ගවේෂකයකු, මානව විද්‍යාඥයකු, මානව ශිෂ්ඨාචාරය පිලිබඳ ලෝකයේ දැක්ම පුළුල් කල චින්තකයකු වූ තෝර් හෙයඩල්, සිය පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා, පවුලේ හිතවතුන්ද සමග, ඉතාලියේ ‘කොලා මිශේරි’ ප්‍රදේශයට ගොස් සිටියදී, මොලයේ තිබුණු පිළිකා තත්වයක්, හදිසියේ උත්සන්න වීම හේතුවෙන්, ක්‍රිස්තු වර්ෂ 2002 ක් වූ අප්‍රේල් මස 18 වැනි දින අභාවප්‍රාප්තවුණා.

තෝර් හෙයඩල් ගේ දේහය ඔහු මියගිය ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කෙරුනා.නොර්වේ රජය ඔහු වෙනුවෙන් ඔස්ලෝහි ආසන දෙව්මැදුරේ විශේෂ අවමංගල්‍ය යාඥා මෙහෙයක් 2002 අප්‍රේල් 26 වැනි දින පවත්වා,  ඔහුට රාජ්‍ය ගෞරව ලබා දුන්නා. තෝර් හෙයඩල් 20 වැනි සියවසේ විශිෂ්ඨතම නොර්වීජියානුවා ලෙසටයි අදටත් සලකන්නේ.

හෙයඩල් වෙනුවෙන් කැනරි දූපත්හි සහ නොර්වේ රාජ්‍යයේද ස්මාරක ඉදි කෙරුනා.

  හෙයඩල් සහ පිරිස එකතු කරගත් සමහර වාර්තා මුහුදු ජලය වැදීම නිසා විනාශ වුනා. ඔවුන් පටිගත කරගත් සමහර සිනමා පටිද (වීඩියෝ කැමරා/ඩිජිටල් කැමරා ඒ කාලයේ තිබුනේ නැහැ) එලෙස විනාශවූ අතර සමහර ඒවා පොලිනීසියවේදී සොරකම් කර තිබුනා. අපි මීළඟට බලමු මේ කතාව පිළිබඳව වීඩියෝ පට කීපයක්.

  මේ පළමුවැනි වීඩියෝවේ තිබෙන්නේ හෙයඩල් සහ පිරිස විසින් පටිගත කරගෙන, හානියට පත් නොවී ඉතිරිවූ සිනමා පටි කොටස් යොදාගෙන, සාදන ලද වාර්තා චිත්‍රපටියක්. එහි පසුබිම් කථනය තිබෙන්නේ නොර්වික් භාෂාවෙන්. මේ සඳහා සබැඳියාව සොයාදුන් අරුණි ශපිරෝට මගේ විශේෂ ස්තුතිය හිමිවෙනවා.

   හෙයඩල් සහ පිරිස විසින් පටිගත කරගත් වර්ණ සිනමා පටි වලින්, හානියට පත් නොවී ඉතිරිවූ කොටස් එකතු කර සැකසු වාර්තාවක් මේ.

  ආධුනික කැමරා ශිල්පියකු විසින් නොර්වේහි කොන් ටිකි කෞතුකාගාරය තුලදී පටිගත කල වීඩියෝ පටයක් මීළඟට තිබෙනවා. මේ වීඩියෝවෙන් ඔබට ඒ අපූරු යාත්‍රාව මෙන්ම එම කෞතුකාගාරය තුල ඇති බොහෝ දේ දැකිය හැකියි. (කැමරාව හැසිරවීමනම් අතිශයින් දුර්වලයි)

  කොන් ටිකිය පිලිබඳ සම්පූර්ණ වාර්තා චිත්‍රපටිය ඔබට මෙතනින් බාගත කරගන්න පුළුවන්. 1951 දී නිපදවූ මේ චිත්‍රපටිය තෝර් හෙයඩල්ගේ  අධ්‍යක්ෂණයක් වන අතර මෙයට සම්මාන රැසක් ලැබී තිබෙනවා.

http://thepiratebay.se/torrent/4285003/

කොටස් හතරකින් යුක්තවූ මේ ඉතා දීර්ඝ ලිපිය ඉවසීමෙන් යුක්තව කියවූ ඔබ සැමට මා අනේක වාරයක් කෘතඥ වෙනවා. මෙයින් ඔබේ දැනුමට යමක් එකතු වූවානම්, මේ ලිපිය සැකසීමට මා දරන ලද වෙහෙස එයින් නිවී යනවා. මේ ලිපිය මා අවසන් කරන්නේද මිනිසාට ලෝකය තුල සීමා නැති බව හෙයඩල් විසින් කල ප්‍රකාශයකින්.

මූලාශ්‍ර

http://www.kon-tiki.no/logbook.php

http://www.nndb.com/people/752/000026674/

http://www.greatdreams.com/thor.htm

http://www.coopertoons.com/caricatures/kontikiexpedition.html

http://en.wikipedia.org/wiki/Kon-Tiki

Comments on: "20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (අවසාන කොටස) Expedition Kon Toki (Final Episode)" (38)

  1. අති විශිෂ්ඨයි සර්…

    මේ වගේ අමුතු දෙයක් කරන්න මටත් ආසාවක් ඇතිවුනා.. ඇත්තටම ඔබතුමාගේ රචනා ශෛලිය නිසා කොන්ටිකියෙ හිටියාක් මෙන් දැනුනා.. වීඩියෝ ටිකත් පස්සෙ බලන්නම්..

    මම කලින්ම අහන්න හිටිය ප්‍රශ්නය තමයි.. ‘පරණ තාක්ෂණේ නම් මොකටද රේඩියෝ සංඥා? ‘ ඒකට උතතරේ ලැබුනා..

    “සෙක්ස් තන්තුව (Sextant) නමැති උපකරණයක්” මෙතන නියම පරිවර්තනයක්නෙ.. 🙂

    අර දූපතට ‘පුකා පුකා’ කියලා නම ලැබිච්ච හැටි දන්නේ නෑ නේද?

    මුහුදු රෝගය ගැනත් ටිකක් කිවානම්..

    ස්තුතියි!

    • අපේ භාෂාවෙන් සමහර ඉංග්‍රීසි වචන වලට දීලා තියන පරිවර්තනය අමු කුණුහරප. කිසිම තේරුමක් ඇති වචනයක් නෙවෙයි සෙක්ස් තන්තුව කියන එක. සෙක්ස් තන්තුව ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.

      දූපතේ නම පොලිනීසියානු නමක් බව පමණයි ලැබුණු විස්තර වල තියෙන්නේ.

      මුහුදු රෝගය මටත් එක වරක් හැදුනා, යුද්ද කාලේ කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය බලා නැවෙන් එනකොට. කැරකිල්ල, වමනය, මහන්සි ගතිය තමා දැනෙන්නේ. පෙති දෙකක් දුන්නා නාවික හමුදාවෙන්. ඒක බීලා පැය බාගයකින් විතර හරිගියා. නමුත් සමහර අයට දවස් ගණන් තියනවාලු. මට කිව්වා මීට පස්සේ දුරගමන් සඳහා නැවකට නගිනවානම් මොකුත් නොකා නගින්න, පැයක් ගමන් කලට පසු කන්න කියලා.

      • දූපතට නම ලැබුන කතාව මම දන්නවා.. හැබැයි කතාව ටිකක් දිගයිනෙ.. දිග වැඩි නිසා ඔබතුමා එය පළ නොකරයි කියා සිතනවා..

      • කෙටියෙන් කියන්නම්. කැමතිනම් පමණක් පබ්ලිශ් කරන්න.

        ඒ පසළොස්වන සියවසේ ආරම්භයයි. වර්ෂ 1453දී කොන්ස්තන්තිනෝපලය මුස්ලිමුන්ගේ අතට පත්වීමත් සමඟම එතෙක් ප්‍රාණවත්ව පැවති යුරෝපීය වෙළඳාමට කණකොකා හඬන්නට විය. වෙළඳාමේ කප්පිත්තන්වූ මුස්ලිම්වරු කොන්ස්තන්තිනෝපලය හරහා වැටී තිබූ යුරෝපීයන්ගේ වෙළඳ මාර්ග වසා දමා තම තරඟකාරීන් මදකට අඩපණ කළෝය. මෙසේ ගොඩබිම් වෙළඳ මාර්ග අහිමිවීමෙන්
        පීඩනයට පත් යුරෝපීහු සමුදුර තරණය කර නව වෙළඳ මාර්ග සොයායෑමේත් තම තමුන්ගේ රාජ්‍යයන් විශාල කරගැනීම පිණිස නව රටවල් ඈඳාගැනීමේත් ව්‍යාපෘතියට මුල පිරූහ.

        එකල නව රටවල් අයත් කරගැනීම තරඟයක්ව පැවතිණි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මෙන්ම ස්පාඤ්ඤ, ප්‍රංශ ආදී ජාතීන්ද නව මං සොයා ඉමක් නොපෙනෙන මහ සයුර මතින් යාත්‍රා කරන්නට විය. අලුතින් හඳුනාගන්නා රට රටවල් යටත් කරගැනීම සඳහා ඒ ඒ රටවල අභ්‍යන්තරික ප්‍රශ්නද මහත් මහත් රුකුලක් විය. තමුන්ට එරෙහිව නැගී එන කැරලි ආදිය මැඩපැවැත්වීම සඳහා මේ බාහිර ජාතීන්ගේ උදව් ලබාගැනීමට රජවරු නොපැකිළෙද්දී කැරලිකරුවෝද රජු එළවා දැමීම සඳහා පිහිට පැතූහ.

        ඉන්දියන් සාගරයේ දූපත් රාජ්‍යයක් වූ ලංකාව තුළද මේ අකාරයේ මැදිහත් වීම් රාශියක් දකින්නට ලැබුණි. පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් පිළිවෙලින් ලංකාවේ අණසක පැතිරූහ. නමුත් ලංකාවට ගිජුවූ යුරෝපීය ජාතීන් මොවුන් පමණක්ම නොවේ. 1671 දී ප්‍රංශයෝද යම් මැදිහත් වීමකට සැරසුණහ. ඒ ඒවනවිට ලංකාවේ කොටසක් පාලනය කළ ලන්දේසීන්ට විරුද්ධව රාජසිංහ නම් රජුට සහයවීම සඳහායි.

        අද්මිරාල් DE La Haye ගේ මූලිකත්වයෙන් යුතු ප්‍රංශ යුධ නැවක් කොට්ටියාර් බොක්කේ නැංගුරම් දමා ලංකා ඉතිහාසයේ ප්‍රංශ බලපෑමේ මුල් පර්ච්ඡේදය ඇරඹීමට සූදානම් විය. නමුත් ඒ වනවිට ලන්දේසීන් අතින් රැවටීමකට භාජනයවී සිටි ලංකාවේ රජු තවත් බටහිර ජාතියක් විශ්වාස කිරීමට මැලි වීම ලංකා රාජ්‍යය තවත් ජාතියකට යටත් වීමේ අවදානම මකා දැමීය. බලාපොරොත්තු සුන්වූ අද්මිරාල් නැවත සිය නැව වෙත පසුබසිද්දීම මේ ආරංචිය එවකට ඉන්දියන් .සාගරයේ අණසක පතුරුවාගෙන සිටි ලන්දේසීන්ට සැලවූහ.

        තම සතුරා මඩිනු රිසිවූ ලන්දේසීහු වහ වහා එදෙසට යුධ නැව් මෙහෙයවීමත් සමඟ බියෙන් තැතිගත් ප්‍රංශ භටයෝ වහා තම නෞකාවෙන් පලා යන්නට විය. අවාසනාවකට කොට්ටියාර් බොක්කෙන් නැව පිරිසිදු කිරීම සඳහා නංවාගත් සිංහල කුලී සේවකයින් ඉවත් කිරීමටවත් කාලයක් නොතිබුණි. දිගට හරහට එල්ලවූ කාලතුවක්කු වර්ෂා මධ්‍යයේ හැකි තරමින් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් පසු බසින්නට ප්‍රංශයෝ උත්සාහ කළහ. ස්ථානෝචිතව ක්‍රියා කළ ප්‍රංශ නාවිකයෝ අනතුරට පත් නැවත් ගලවාගෙන ඉන්දියන් සාගරයෙන් පිටමං විය.

        නමුත් නැවේ කරදර එතකින් නිමවූයේ නැත. පෙරලා ප්‍රංශය බලා යද්දී සුභපැත්මේ තුඩුවේදී වූ දරුණු කුණාටුව නැව මුලා කළේය. ගමන් මග අත්ලාන්තික් සාගරය හරහා වැටී තිබුනද කුණාටුව කළ මංමුලාව ඔවුන් පැසිෆික් සාගරයට තල්ලු කිරීමට සමත් විය. බැලූ බැලූ තැන ගොඩබිමක් නොතිබුනත් ඔවුහු දිගින් දිගටම යාත්‍රා කළේ ජීවිත ගලවා ගැනීමේ අභිලාශයෙනි. කොරල්පරයෙන් ගහන සාගර කලාපයකට ඇතුලු වීමත් සමඟ නැවේ ඉදිරිගමන පහවුවෙන් කළ හැක්කක් වුයේ නැත. කාලතුවක්කු ප්‍රහාර, කුණාටු ආදියට ලක්වී පණ අදිමින් ආ නැව කොරල්පරයක හිරවී සම්පූර්ණයෙන් මළේය.

        නැවට ජීවය දීමට කළ උත්සාහය ප්‍රයෝජනයක් නොවන බව වටහාගත් නැවියෝ ජීවිතාරක්ෂක බෝට්ටුවකින් ඉදිරිය තරණය කිරීමට තීරණය කළෝය. මේ වනවිට විවිධ රෝගාබාධ නිසා බොහෝ සේවකයන් මියගොස් සිටි නමුදු සිංහල සේවකයෝ නිරුපද්‍රිතව සිටියෝය. හබල් ගෑමේ කාර්‍යය ඔවුන් සතුවිය. කෑම බීම පටවාගත් ජීවිතරක්ෂක බෝට්ටුව ඉදිරියට ඇදුණි. එහෙත් කීපදිනක් යාත්‍රා කළත් ගොඩබිමක්
        ඔවුන් අහලකවත් නොවීය. ආහාරත් අවසාන විය. ඔවුන්ට තිබූ අන්තිම විකල්පය වූයේ මුහුදෙන් අල්ලාගත් මසුන් අමුවෙන් ආහාරයට ගැනීමයි.

        මෙය නාවිකයන් නොවූ සිංහලයන් කවදාවත් ලැබූ අත්දැකීමක් නොවේ. එහෙත් දිවි රැක ගැනීමට කළයුත්තක්ම විය. නමුත් ආගන්තුකවූ අමු මාලු ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිගත්තේ නැත. එහෙත් වාසනාව ඔවුන් අත්හැරගොස් තිබුනේ නැත.
        යාන්තමින් ගොඩබිමක සේයාවක් මතුවුනේ හබල් ගෑ සේවකයෝ ආහාර අජීර්ණයෙන් පීඩා විඳිද්දීය. දූපත දැකීමෙන් සතුටට පත් ඔවුහු තම ලෙඩ රෝග අමතක කර වහ වහා හබල් ගෑවේ දූපතට ගොස් ශරීර කෘතය පහසුවෙන් කරගන්නා අටියෙනි.

        දූපත ආසන්නවත්ම ඔවුන් සිටියේ ඉහුලාගතහැකි බරක නොවේ. ඔවුන්ගේ බාසාවෙන් “අම්මෝ …. …. ” (අධෝමුඛයට කියන වචනය) කියමින් සිංහලයෝ වතුරට පැන්නේ බෝට්ටුව නැවැත්වීමටත් පෙරය.

        ප්‍රංශ ජාතික නැවියන්ට මෙය ඉතා පුදුම කාරණාවක් විය. මුහුදු ගමනේ කෙළ පැමිණි තමන්වත් කිසිදා නොදැන සිටි දූපත ලංකාවැසියන් ‘පූකා පූකා’ යන නමින්ම දැන සිටිම පුදුමයට කාරණාවකි. දූපතේ නම කියමින් දූපත වෙත දිවයෑම ඔවුන් මවිත කළේය. ඔවුන් තමන් ‘පූකා පූකා’ දූපත යටත් කරගත් බව ප්‍රංශයට දැන්වූවේ අසලින් ගමන් කළ නැවක ආධාරයෙනි. මෙම දූපත අද දක්වාම ප්‍රංශ යටත් විජිතයකි.

        කාලයාගේ අවෑමෙන් ප්‍රංශ බස හැදෑරූ සිංහලයෝ ප්‍රංශ කතුන් විවාහ කරගෙන එහිම පදිංචි වූහ.

        – උපුටා ගැනීම ප්‍රංශ භාෂාවෙන් රචිත le grand mensonge පොතේ සිංහල අනුවාදනයෙනි.

        මම නම් හිතන්නේ නෑ මේක පබ්ලිස් කරාවි කියලා. 🙂

        • පොතේ තව විස්තර සහ යටත්පිරිසෙයින් e book එකක් ලෙස හෝ බාගත කරගත හැකි ක්‍රමයක් කියන්න. මූලාශ්‍ර පෙන්වන්න. එවිට විශ්වසනීයත්වය තහවුරු වෙනවා.

          • Jen,Tonya has done a great job I adore what she has created!! Focal points , great art, and clean lines!!I have an Artful Offering and great Interview at my sixxAeotoKarena.rt by Karena

      • පොතේ නම ඉංග්‍රීසියට පරිවර්තනය කොට බලන්න.. ඕක බොරුවක්.. ඒකයි මම කිව්වෙ කැමතිනම් පබ්ලිස් කරන්න කියලා..

      • හපෝයි.. ඕක ඇත්තට ගන්න එපා.. විවාදයක් නෑ ඕක බොරුවක්…

        මොකද ඔය කතාව ලිව්වෙත්.. පොතට නම තිබ්බෙත් මමමයි… 🙂

  2. // මෙයින් ඔබේ දැනුමට යමක් එකතු වූවානම්, //

    ආයෙත් අහලා.. යමක් නෙමේ ගොඩක් එකතු වුනා…

    මේවගේ අවදානම් ගමනක නිරත වෙන්න කොච්චර නිර්භීත කමක් අවශ්‍යද !

    කිසිදා නොදැන සිටි මේ කතාව සොයා පල කල විචාරක මහතාට පින්.

    • ඇත්තටම හිතලා බලන්න දැනට අවුරුදු 65 කට පෙර, මොන පහසුකම් තිබිලද ඔවුන් මේ ගමන ගියේ. අන්තිමට දූපතක අතරමං වුනාම මොනවා හිතෙන්න ඇද්ද?
      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

  3. මහාලොකු දේවල් නැති උනත් පොඩි පොඩි දේවල් එකතු කරගෙන ලොකු ගමනක් යන්න පුළුවන්. හැම ක්ෂේයකටම අදාලයි. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේදී උනත් තියන පහසුකම් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. කතා සීරිස් එකෙන් ඔය දේ තමයි මගේ හිතට වැදුනේ.
    නොදන්නා දේවල් සිංහල බ්ලොග් වලට එකතුකරන විචාරකට බොහොම ස්තුතියි.. ජය වේවා!!

    • ඇත්තෙන්ම මේ කතා මම බොහෝ විට ඉලක්ක කරන්නේ මේවා කියවන තරුණ පරපුරටයි. ඔවුන්ගේ සිතේ යම වෙනසක් ඇතිකිරීමයි මගේ බලාපොරොත්තුව. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

  4. අර ලිපියෙ අන්තිමට දාලා තියෙනThor Heyerdahl සීමාවන්/Borders ගැන කියමනෙන් ලොකූ දෙයක් කියැවෙනවා නේද විචාරක?

    අර sextant කියන උපකරණය දැක්කාම මට මතක් වුනා කතාවක්.

    එක ආයතන ප්‍රධානියෙක් විශ්‍රාම යන වෙලාවෙ කාර්යාලෙ අනිත් අය සාදයකුත් පවත්වලා තෑග්ගකුත් දෙන්න කල්පනා කලාලු. මිනිහාට බෝට්‍ටුවකුත් තියෙන නිසා සෙක්ස්ටන්ට් එකක් අරන් දෙන්න කල්පනා කරලා. කාන්තාවො ගියාලු ක්‍රීඩා භාණ්ඩ විකුනන සාප්පුවකට. ගිහින් ඇහුවලු සෙක්ස්ටන්ට් තියෙනවද කියලා.

    එදා ඉඳලා තියෙන වෙළඳ සේවකයා අලුත් කෙනෙක්ලු. මිනිහා කියනවාලු, “මැඩම්, අපි ගාවෙ ඕනෙ ජාතියක ටෙන්ට් තියෙනවා. මැඩම්ලාට කැමති දෙයක් ඒවා ඇතුලෙ කරගන්න පුලුවන්!” කියලා.

    • අපරාදේ මනුස්සයෝ. මේ කතා මෙහෙම නිකම් කමෙන්ට් වල ලියලා දාන්න එපා. කතා හැටියට ඉදිරිපත් කරන්න.

      බොහොමයක් මිනිස්සු මියගියාම තමයි ඔවුන්ගේ අගය වැටහෙන්නේ. හෙයඩල් ගැන වුනත් එහෙමම තමයි.

      • කමක් නෑ විචාරක, එහෙම ප්‍රතිපත්තියක්ම නැතිවුනත් මම සාමාන්‍යයෙන් බ්ලොග් එකේ ලියන්නෙ මගෙම ජීවිතය සහ අත්දැකීම් ගැන විතරයි. ම්ම්ම් සමහරවිට අනිත් අයගෙ අත්දැකීමුත් ලියනවා. නමුත් මේවා මගෙ නිර්මාණ නෙවෙයිනෙ. ඔය Reader’s Digest එකේ හෙම කියවපුවා. මතක තියෙන හැටියට සිංහලෙන් ලියනවා. හෙහ් හෙහ් 😀

      • ක්සැන්ඩර් | Xander said:

        Sorry Ma’am we have no toilet papers but we do have number 1 sand papers.. 🙂 I remember this old story.. 🙂 thanks Dude..

  5. සමස්තයක් විදියට ගත්තම මේ පෝස්ටු පෙළ ඉතාමත් අනර්ඝයි කියලා කට පුරා කියන්න පුලුවන්… මේ සදහා ඔබගත් අනේක වෙහෙස ගැන වැටහීමකුත් ඇතිකර ගන්න පුලුවන්… කියවන්නන්ගේ යහපත වෙනුවෙන් ගත් මේ වෑයමට අප වඩාත් ස්තූතිවන්ත විය යුතුයි… ඡායාරූප,වීඩියෝ ආදි රූපමය සාක්ෂි වලින් පරිපූර්ණ වී තිබීම ඉතාම වැදගත් කාරණයක්…

    විචාරක තුමාට මා ආරාධනය කරනවා කාමරය පැත්තට ඇවිල්ලා අම්පාර කුඩා භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කරන්න උත්සාහ කරන සත්කාරය පිළිබද කියවලා ඒ සදහා සම්බන්ධ කර ගත හැකි සම්පත් දායකයෙක් වේ නම් දැනුවත් කරන්න කියලා.

  6. ක්සැන්ඩර් | Xander said:

    අපුරුයි විචාරක මහත්තයෝ.. හරියට මමත් කොන්ටිකියේ ගියා වගේ දැනුනා.. මේ ටිකේම සද්ද නැතුව කියවනවා.

  7. අපූරු කතාවක්, දීර්ඝ ලිපියක් අපි වෙනුවෙන් සැකසීම ගැන ස්තූතියි. නැවත නැවත මේ වගේ අපි අහලවත් නැති වීර වික්‍රමාන්විතයන් ඉදිරිපත් කරන්න කියල ඉල්ලීමකුත් කරනව.

  8. ලෝකය රසවත් වෙන්නේ කළ යුතු දේවල් පමණක් කරමින් ඉන්නා අය නිසා නෙමෙයි, තුර් හයර්ඩාල් (http://www.forvo.com/word/thor_heyerdahl/) වැනි, විචාරක වැනි, ඔවුන් වෙතින් අපෙක්ෂා කරනවාට වඩා වැඩියෙන් අනගි ලෙසින් යමක් කරනා අය ලොව ඉන්නා නිසායි!!!!!

  9. ප්‍රංශ භාෂාවේ le grand mensonge හි තේරුම The Big Lie යන්නයි, කවිකාරිගෙන් ඇහැව්වා නම් හරියට ම දැනගන්න පුළුවන්. ඒ පොත ප්‍රබන්ධයක් මිසක් සත්‍ය කතාවක් නෙමෙයි නේද?

  10. කතා සෙට් එකම කියෙවුවා ඔන්න කොන් ටිකි කතාවේ

  11. ඇත්තටම අපිව මුහුදු චාරිකාවක් එක්ක ගෙන ගියා වගෙයි. ගොඩක් ලොකු දැනුමක් හම්බුනා.

    වැක්‍යුම් ටියුබ් අපේ ගෙදර තිබුනා පරණ ටීවී එකක. ඒවා නම් දැකලා තියෙනවා ඒක නිසා. 🙂

    • ඔබ දැනුමට යමක් එක්කර ගත්තානම් එයින්ම මා මේ ලිපිය ලියන්න දැරූ වෙහෙස නිවෙනවා.
      අපි කුඩා කාලයේ ගෙදර තිබුන රේඩියෝ වැඩකලේ වැකුම් ටියුබ් හෙවත් වෑල්ව් වලින්. 1960 දශකයේදී එළිමහන් සංගීත සංදර්ශන තිබුනෙත් වෑල්ව් ශබ්ද විකාශන (Amplifires) යොදාගෙන. පැය තුනක් විතර ගියාම පැය බාගයක විවේකයක් අවශ්‍යයි රත්වූ ශබ්ද විකාශන නිවෙන තුරු. ඒ වෙලාවට සංගීතය බලන්න ආව අය අහල පහල තැනකින් රත් වෙනවා 😀

  12. මෙව්වා හෙනට රහයි

  13. නොදන්නා තොරතුරු රැසක් දැනුමට එකතු කරගත්තා
    කෝරලේ වලව්ව

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: