විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  අපූරු යාත්‍රාව

  කොන් ටිකි කතාවේ තුන් වැනි කොටසටයි ඔබ මේ පිවිසුනේ. මෙහි කලින් පළවූ කොටස් නොබැලුවානම්,
පළමුවැනි කොටස මෙතනින්
දෙවැනි කොටස මෙතනින් බලන්න.

  හෙයඩල් සහ ඔහුගේ සගයන් පස් දෙනාත්, හෙයඩල් ගේ සුරතල් ගිරවා වූ ‘ලොරිටා’ ත්, නෝර්වේ රටේ සිට පේරු (පීරු කියලත් කියනවා) රාජ්‍යය බලා ආවේ දකුණු ඇමරිකානු වැසියන්, ඉතා ඈත අතීතයේදී, ඉතා නොදියුණු යාත්‍රා භාවිත කරමින්, ශාන්තිකර සාගරය තරණය කර ගොස්, පොලිනීසියානු දූපත් ජනාවාස කළා’ කියන, හෙයඩල් ගේ  මතය සනාථ කිරීම සඳහා එවැනි යාත්‍රාවක්‌ සාදා ඒ ආකාරයේම මුහුදු ගමනක යෙදෙන්නයි.

  හෙයඩල් ගේ මතය අනුව මේ යාත්‍රාව සෑදිය යුත්තේ දකුණු ඇමරිකානු වැසි වනාන්තර වල වැවෙන එක්තරා ගස් වර්ගයකින් ගන්න, දැව කඳන් උපයෝගී කරගෙනයි. මේ ගස් වර්ගය සහ එයින් ලබාගන්න දැව වර්ගය හඳුන්වන්නේ ‘බල්සා Balsa’ යන නමින්. මෙය විශේෂ කාර්යයක් නිසාත්, මෙය විශේෂ දැව වර්ගයක් නිසාත්, මෙය විශේෂ මුහුදු ගමනක් නිසාත්, අතීතයේදී සාගර තරණයේ යෙදුන දකුණු ඇමරිකානු වැසියන්ගේ යාත්‍රා සාදා තිබුනේද මේ දැවයෙන්ම නිසාත්, මේ දැව වර්ගය ගැන ඔබත් යම් අවබෝධයක් ලබා තිබීම වැදගත්. ඒ නිසා අපි මුලින්ම බලමු බල්සා කියන්නේ කෙබඳු ශාකයක්ද කියා.

   බල්සා ගස් හොඳින් වැඩෙන්නේ දකුණු ඇමරිකාවේ සහ නිව්ගීනියාවේ පිහිටි උෂ්ණ තෙත් වනාන්තර වල. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Orchoroma lagopus යන්නය. හොඳින් ජලය බැසයන බෑවුම් සහිත බිමක් සහ වසර පුරා පැතිරුණ වර්ෂාපතන රටාවකුත්, මේ ශාකයේ මනා වර්ධනය සඳහා අවශ්‍යයි. බල්සා ගසක් අවුරුදු 6 ත් 10 ත් අතර කාලයකදී එහි උපරිම වර්ධනයට ලඟා වෙනවා.  එවැනි ගසක් සාමාන්‍යයෙන් අඩි 90 ක් පමණ උසට වැවෙන අතර අඟල් 45 ක හෝ ඊටත් වැඩි වටප්‍රමානයකින් යුක්ත වෙනවා.  මේ ශාකය සතු අමුතු ලක්ෂණ කීපයම තියනවා. එයින් පළමුවැන්න තමයි මෙහි ඇති සැහැල්ලු බව.  මේ පිළිබඳව ඇති දීර්ඝ විස්තර කියවා බැලීමේදී පෙනී යන්නේ මෙය කිරල ශාකය මෙන්  සැහැල්ලු එහෙත් ඇල්බීසියා හෝ කොට්ට පුළුන් ශාකයක ඇති තරමක් තද ගතියෙන්ද යුක්ත බවයි. මෙම ශාකයේ දැව  අද බහුල වශයෙන් යොදාගන්නේ විවිධ උපකරණ නිෂ්පාදනය කිරීමටයි. ඒ අතරින් ප්‍රධාන තැනක ගන්නේ සෙල්ලම් ගුවන් යානා, විවිධ යාන වාහන වල ආකෘති, කැටයම්, කෘත්‍රිම මල් ආදියයි. ගෘහ භාණ්ඩ වල කොටස් සෑදීමටද යොදාගන්නවා. 

  මා, බල්සා ශාකය පිලිබඳ තරමක් දිග මේ විස්තරය ඔබවෙත ඉදිරිපත් කලේ මෙය අපේ රටේ දකින්නට නොලැබෙන ශාකයක් නිසාත් මේ කතාවේ ඉදිරියේදීද මේ ශාකය ගැන වරින්වර සඳහන් වන නිසාත්. ඒ නිසා ඉදිරි කොටස් වලදී ඔබතුල ගැටළු මතු නොවනු ඇතැයි විශ්වාස කරනවා.

හෙයඩල් සහ පිරිස යන්නට සූදානම් වන්නේ ඉතා භයානක ගමනක්. ඉමක්‌ කොනක් නැති ශාන්තිකර සාගරයේ කිලෝමීටර් 8000 ක් දුර මේ යාත්‍රාවෙන් ගමන් කිරීම එක අතකට හිතාමතා දිවි නසාගැනීමක් විය හැකියි. ඔවුන්ගේ ආධාරයට වෙනත් කිසිදු යාත්‍රාවක්‌ ඔවුන් සමග ගමන් කරන්නේ නැහැ. බේරාගැනීමේ කාර්යය සඳහා කිසිවකු නැහැ. අදමෙන් GPS තාක්ෂණය එදා තිබුනේ නැහැ, අඩු ගණනේ ඔවුන් සිටින ඉසව්වවත් සොයාගැනීමට. ඔවුන් මේ ගමන යන්නේ වසර දහස් ගණනකට පෙර මානවයින් ගේ තාක්ෂණය අනුගමනය කරමින්.  හෙයඩල් මුලින්ම කලේ තම යාත්‍රාව සඳහා හොඳ සැලැස්මක් සකසා ගැනීමයි. පහතින් පෙන්වන්නේ ඒ සැලැස්මයි.

  මේ සැළැස්ම සකස් කරගැනීම සඳහා විශේෂ අධ්‍යයනයක යෙදෙමින් පර්යේෂණ යාත්‍රා අත්හදා බලන්නටත් හෙයඩල්ට සිදුවුනා. අවසානයේදී ඒ අත්දැකීම් ද එකතුකර ගනිමින් ඔහු තම යාත්‍රාව සෑදීමට තෝරා ගත්තේ දකුණු ඇමරිකාවේ තිබෙන හොඳම බල්සා ගස් වැවෙන ඉක්වදෝරයෙන් ගෙන්වාගත් බල්සා කඳන් වලිනුයි.

හෙයඩල් තම යාත්‍රාවේ පදනම ලෙස යොදාගත්තේ හොඳින් වැඩුණු බල්සා කඳන් නවයක්. හොඳින් මතක තබාගන්න මේ යාත්‍රාවේ කොතනකවත් ලෝහමය ද්‍රව්‍ය ඒ කියන්නේ යටත්පිරිසෙයින් එක යකඩ ඇණයක් වත් නැහැ යාත්‍රාව සෑදීමට භාවිත කල. සියල්ල ඒකට සවිකර සකස්කර තිබෙන්නේ විවිධ ප්‍රමාණයේ ලනු සහ කඹ වලින් බැඳීමෙන්.

  අපි දැන් බලමු කොන් ටිකි යාත්‍රාවේ ඉදිකිරීම පිලිබඳ තාක්ෂණික විස්තර . යාත්‍රාව ඉදිකෙරීම සඳහා ගත් දිගම බල්සා කඳ, මීටර් 13.7 ක් දිගයි (අඩි 45) වටප්‍රමානය සෙ.මී 60 ක්, (අඩි 2) මේ කඳන් අතර මීටරයක පරතරයක් තබා, මීටර් 5.5 ක් (අඩි 18) දිග, සෙ.මී. 30 ක වටප්‍රමානයකින් (අඩි 1)  යුත් බල්සා කඳන් හරස් අතට තබා, හණ නූලෙන් අඹරන ලද  සෙ.මී. 3.1 (අඟල් 1  3/4) මහත කඹ වලින් බැන්දා. මෙසේ ප්‍රධාන කඳන් අතර මීටරයක පරතරයක් තැබුවේ හබල් පෙති සවි කිරීමට සහ රළු මුහුදු රල එකවර යාත්‍රාවට පහර දීමේදී ඒ පහරේ බලය අඩු කරගන්නයි. හබල් පෙති කුඥ්ඥ සවි කරන ආකාරයට බල්සා කඳන් වල යට පැත්තෙන් සවි කෙරුනා.

  ප්‍රධාන කුඹ ගස සකස් කෙරුනේ A අකුරේ හැඩයට කෝනාකාරව ඇමිණු ලී රාමුවක් සමග  යාකල මීටර් 8.8 ක් උස (අඩි 29) කණුවකින්. මේ සියල්ල සඳහා යොදාගත්තේ කඩොලාන ශාක. යාත්‍රා තට්ටුව සැකසීම සඳහා විවිධ අත්හදා බැලීම් රාශියකට පසු, දෙකට පලන ලද උන බම්බු සහ ඒ මත සවි කෙරුණු බට පතුරු සහ පැතලි ලී පතුරු වලින් සාදාගත් පැලැල්ලක් තෝරා ගැනුනා.  කුඹ ගසට පසුපසින් යාත්‍රා තට්ටුව මත කුටියක්‌ හෙවත් කැබින් එකක් ඉදි කෙරුනා. ඒ සඳහා සියුම්ව වියාගත් උණබට පතුරු යොදා ගැනුනා. එම කුටිය මීටර් 4.2 (අඩි 14) දිග, මීටර් 2.4 ක් (අඩි 8) පළල, මීටර් 1.2 – 1.5 උස (අඩි 4 – 5) එකක් ලෙස සකසුනා. එහි වහලයට වසා තිබුනේ වියලාගත් කෙසෙල් කොළ. යාත්‍රාවේ පසුපස කොටස හෙවත් ඇණියේ, ප්‍රධාන හබල්පත සවි කෙරුනා. එය සාදා තිබුනේද කඩොලාන ශාක වලින් ලබාගත දැව වලින්. එය මීටර් 5.8 ක් (අඩි 19) දිග එකක්. එහි හබල්පත දේවදාර දැවයෙන් තැනුනා.  

     කොන් ටිකි යාත්‍රාවට ප්‍රධාන රුවලක්ද ඊට ඉහළින් පිහිටි තවත් රුවලක්ද යාත්‍රාව හසුරවන තවත් කුඩා රුවලක්ද සවිකර තිබුනා. ප්‍රධාන රුවල දිගින් මීටර් 4.6 ක් (අඩි 15) සහ පළලින් මීටර් 5.5 ක් (අඩි 18) වුනා. රුවල් වල පිහිටෙන් යාත්‍රා කිරීම සහ අවශ්‍යවිට හබල් ගෑම හැර යාත්‍රාව පැදවිය හැකි වෙනත් ක්‍රමයක් තිබුනේ නැහැ.

යාත්‍රාවේ ගෙනගියේ මොනවාද?

  මෙය අසාමාන්‍ය මුහුදු ගමනක් වූ නිසා යාත්‍රාවේ අනවශ්‍ය දේ කිසිවක් ගෙනයා නොහැකියි. ඒ නිසා යාත්‍රාවේ ගෙන යායුතු දේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්නට හෙයඩල් සහ පිරිසට සිදුවුනා. ප්‍රදාන වශයෙන් අහාර සහ ජලය සඳහා විශේෂ තැනක දෙන්නට සිදුවුණා. මේ තමයි ගෙනගිය දේවල්. ජලය පිරවූ කෑන් 56 ක් (ලීටර් 1041 = ගැලුම් 275) පොල් ගෙඩි 200 ක්, බතල, දියලබු ගෙඩි, වෙනත් පලතුරු වර්ග.

  මේ හැර ඇමරිකා එක්සත් ජනපද යුද හමුදාවේ උපකරණ පාලක බලකායෙන් ලබාදුන්නා, හමුදා භටයන් යුද බිමේදී පාවිච්චි කරන, ක්ෂණිකව ආහාරයට ගතහැකි කෑම පැකට්, ටින් කෑම වර්ග, සහ වෙනත් ජීවිතාරක්ෂක උපකරණ. ඒ අතර කුඩා රබර් ඩින්ජියක්ද තිබුනා.

  ඔවුන් තවත් ආකාරයකින් ආහාර සපයා ගත්තා. ඒ මුහුදු මාළු අල්ලාගැනීමෙන්. කොලේ යන හරකා කොලෙන් ටිකක් කනවානම්, මුහුදේ යන මිනිහාට මුහුදු මාළු කන්නටම වෙනවානේ. මේ පිරිස අල්ලාගත් මත්ස්‍ය වර්ග අතර පියාමැස්සන්, ඩොල්ෆින්, කහ වරල් සහිත කෙලවල්ලන්, ගල් මාළු මෙන්ම මෝරුන් ද සිටියා.

 කොන් ටිකි යාත්‍රාවට ඒ නම ලැබුනේ කොහොමද?

  දකුණු ඇමරිකානු මානව වර්ග පිළිබඳව තෝර් හෙයඩල් විසින් කරන ලද පර්යේෂණ වලදී දැනගත් කරුණක් වුයේ දකුණු ඇමරිකාවේ ඉපැරණි ගෝත්‍රයක් වූ ඉන්කා ගෝත්‍රිකයන් හිරු දෙවියන් ඇදහීම කල බවයි. හෙයඩල්ගේ මතය අනුව පොලිනීසියානු දූපත් ජනාවාස වීඒමට ඒ ගෝත්‍රිකයන් මුල්වූ බවයි කියන්නේ. ඒ ගෝත්‍රිකයන්, ඔවුන්ගේ භාෂාවෙන්, හිරු දෙවියා = Sun God යන්න හැඳින්වූ නම තමයි ‘කොන් ටිකි’ ඔන්න ඔහොමයි නම ලැබුනේ. කොන් ටිකියේ ප්‍රධාන රුවලේ ඒ ගෝත්‍රිකයන් විසින් හිරු දෙවියන් දැක්වූ ආකාරයටම හිරු දෙවියන්ගේ රූපය ඇඳ තිබුනා. මේ පින්තූරයේ එය පෙනෙනවා.

 ඊළඟ කොටසේදී ගමන ගොස් අවසන් කරමු.

 

Advertisements

Comments on: "20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (තුන්වැනි කොටස) Expedition Kon Tiki (Part Three)" (26)

  1. නියමයි.. මාර ආසාවෙන් කියෙව්වා.. ඔබට ස්තූතියි..

    ප්‍රශ්ණ දෙකක ආවා;

    1. ඔවුන් පොල් ගෙනිච්චේ ඇයි ? මම දන්න විදිහට යුරෝපීයන් පොල් පරිහරනය කරන්නේ නෑ. ඒ නිකම්ම පලා මද කෑමට විය හැකිද ?

    2. ඇමෙරිකනු හමුදාවෙන් සැපයූ ක්ශ්ණික ආහාර භාවිතා කළානම් ඔවුන් අතීතයේ ගමන් කළ ආකාරයෙන්ම ගමන් කළා කියන්ඩ බෑ නේද ?

    • ඔබේ නිගමන දෙකම හරි. පොල් වලින් අපි වගේ කෑම හදන්න දන්නේ නැහැ ඔවුන්.කෙලින්ම පොල්ගෙඩි පලා කෑමට ගන්නයි ගෙනගියේ. බටහිර රටවල බොහොමයක් අය අදටත් දන්නේ නැහැ කුරුම්බා බොන්න.
      අතීතයේ ක්‍රමය 100% ක් අනුගමනය කලානම් ඔවුන් මාළු අල්ලාගෙන කමින් යන්න ඕනේ. නමුත් ගමන් වාර්තාවේ තිබෙනවා ඇමරිකන් හමුදාවෙන් ලබාදුන් ආහාර ගෙනගිය බව.
      ඇගයීම පිළිබඳව ස්තුතියි.

  2. “ඔවුන් මේ ගමන යන්නේ වසර දහස් ගණනකට පෙර මානවයින් ගේ තාක්ෂණය අනුගමනය කරමින්.

    හෙයඩල් මුලින්ම කලේ තම යාත්‍රාව සඳහා හොඳ සැලැස්මක් සකසා ගැනීමයි.”

    ඉහත වැකි දෙක පරස්පරයි වගේ.. පැරණි තාක්ෂණය භාවිතා කළා නම් නව සැලැස්මක් මොකටද?

    “කොලේ යන හරකා කොලෙන් ටිකක් කනවානම්” තේරුනේ නෑනෙ..

    GPS තිබ්බත් පාවිච්චි කරන්න ඔට්ටු නෑනෙ..

    • හෙයඩල් තම යාත්‍රාව සඳහා ඒ ඉපැරණි යාත්‍රා සැලසුම් කීපයක් අධ්‍යයනය කළා. එයින් හොඳම එකක් තෝරා ගත්තා කියන අදහසයි මම කිව්වේ.

      ඉස්සර දැන්වගේ ගොයම් කපලා වී ඇට වෙන්කළේ යන්ත්‍ර වලින් නෙවෙයිනේ. හරකුන් ලවා පෑගීමෙන්. ඒකට කියන්නේ කොළ පාගනවා කියලා. හරක් ඒ ගොයම් කොලේ (ගොයම් කොලේ කියන්නේ කමතේ රවුමට ගොඩ ගහපු ගොයම් ගොඩ) පාගමින් රවුමට යන අතර ගොයම් ගස් ඉතා සුළු ප්‍රමාණයක් කනවා. ඒකයි කිව්වේ.

      GPS තිබුනානම් හොරෙන්ම එකක් ගෙනියයිද දන්නේ නැහැ. 🙂

      • කමත් භාෂාවෙ ‘ගොයම් කොලේ‘ ගැනයි කොල්වින් ආර්. ද. සිල්වා මහත්තය ගැනයි නඩු විභාගයකදි වෙච්චි සිද්ධියක් සම්බන්ධ ජනප්‍රිය කතාවකුත් තියෙනව නේද?

        • ඕව් එතැනදී සිදුවුනේ වචනය වහලා ගැහීමක්. සාමාන්‍යයෙන් කමත් භාශාවෙදිනේ කමතේ ගොඩගසා තිබෙන ගොයම් ගොඩට ‘ගොයම් කොලේ’ කියන්නේ. ඉතින් එක මිනිහෙක් මේ ගොයම් කොලේකට මුවාවෙලා ඉඳලා තව මිනිහෙකුට වෙඩි තියලා මරුවා. ඇසින් දුටු සාක්ෂියකින් කියවුනේ විත්තිකරු ගොයම් කොලේට මුවා වෙලා ඉඳලා වෙඩි තිබ්බා කියලයි. කොල්වින් ආර් ද සිල්වා මහතා තමයි විත්තියේ නීතීඥයා.නඩුව දවසේ ඔහු උසාවියට ගියේ ගොයම් ගහකින් කඩාගත් කොලයක්ද අරගෙනයි. ඔහු උසාවියේදී පැමිණිල්ලෙන් ප්‍රශ්නකලා මේ තරම් සිහින් කොලේකට මිනිහෙක් කොහොමද මුවාවෙන්නේ කියලා. විත්තිය නඩුවෙන් නිදහස් වුනා. ඒ වගේම තමයි එතුමා කතාකල සතාසිවම් නඩුවත්.

      • අර වංගෙඩි මෝල්ගස් මිනී මරපු නඩුවනේ. 😀

        මමත් ඔය අපරාධ නඩු විභාග ගැන කියවන්න කැමතියි. ශ්‍රීමත් සිඩ්නි ස්මිත්ගෙ MOSTLY MURDER කෘතිය ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් කියල අභය හේවාවසම් මහත්මය සිංහලට පරිවර්තනය කරල තියෙනව. (දැන් නම් මම හිතන්නෙ පොත ටිකක් ලොකු නිසා කාණ්ඩ දෙකකට එන්නෙ. මගේ ළඟ තියෙන්නෙ පරණ මුද්‍රණයක තනි පොතක්.) ඒ පොතේ ඔය සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනව. ඇත්තෙන්ම ශ්‍රීමත් සිඩ්නි ස්මිත් ඔය නඩුවට පුද්ගලිකවම විශේෂඥ සාක්‍ෂි දීමටත් නඩුව පවත්වාගෙන යන්න උපදෙස් දෙන්නත් ලංකාවට ඇවිත් තියෙනව.

        මොකද කියන්නෙ විචාරක මහත්මයා, ඔබතුමා දන්න කියන කථා ටිකක් ලියමුද අපිටත් දැනගන්න. 🙂

        • එවැනි මිනීමැරුම් සම්බන්ධ ලිපි මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ලත් ලිව්වා නේද? හරිම රසවත් මෙන්ම පුදුම සහගත තොරතුරු ඒවායේ තිබෙනවා.

          ළඟදීම . . . . . ළඟදීම . . . . . ළඟදීම . . . . . එකක් දෙනවා. දැන් එය සංස්කරණය වෙමින් පවතිනවා. ඔබ සියලු දෙනා නරක ළමයින් බවට පත් නොකරන හොඳ වචන සෙවීමේ අමාරුව නිසයි ප්‍රමාද වුනේ. ඔන්න කියවලා මට කියන්න එපා අපිවත් නරක් කරනවා මේ මිනිහා කියලා. 🙂 🙂 🙂

      • මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ලගෙ පොතේ නම මතක හැටියට ‘නිහඬ සාක්‍ෂි‘ ද කොහෙද, මම ඉස්කෝලෙ 10 පන්තියේ ඉද්දි ඔය පොත කියෙව්වෙ පුස්තකාලයකින් අරගෙන. කීප දවසක් බැලුව බුක් ෂොප්වල ඒකෙ අළුත් මුද්‍රණයක් හම්බ වුනේ නෑ තවම ගන්න. ආසයි ආයිත් කියවන්න ඒ පොත.

        බ්ලොග් කියවන්න එන නෙට් එකේ රවුම් ගහන එවුන්ගෙ ආයෙ මොනව නරක් වෙන්නද විචාරක මහත්තය, ඔන්න ඔහේ ලියල දාන්ඩ අනේ. 😀 😀 😀

  3. මට මතක හැටියට 70ව දශකයේ විතර මේ ගැන ලියවුනා නවයුගය පත්තරේ.ඒ කාලෙ හැම මාසෙම 12 වෙනිදයි 26 වෙනිද්යි නවයුගය එනකම් බලාගෙන ඉන්නවා.මම හරිද මන්දා බෙනඩික්ට් දොඩම්පෙගමද ලිව්වෙ?

  4. සමාවෙන්න
    මම තුන්වෙනි කොටස කියවල ඉවරවෙලා කමෙන්ට් එකත් දාල ඉවරවෙලා තමයි පලවෙනිකොටස බැලුවෙ.එතකොටයි දැක්කෙ ඔබතුමා නවයුගයෙ ගිය ලිපිය ගැන සඳහන් කරල තියනව.අවුරුදු ගානක නවයුගය එකතුවක් මගෙලඟ තිබුනා දැන්නම් මොනවවෙලාද දන්නෙ නෑ.අපිට ඉතින් ඒ කාලෙ තිබුන ඉන්ටෙර්නෙට් එකවගේ දෙයක් නවයුගය.

  5. ඒ කාලෙට අදාලව මේ වැඩේට සැලකිය යුතු තරමෙ වියදමකුත් යන්න ඇති නේද? හෙයඩල්ට තමන්ගෙ අදහස තහවුරු කරන්න මේ වගේ, ඒ කාලෙ මිනිස්සු වැඩි දෙනෙක් මෝඩ කමක් ලෙස සැලකූවයි කියල හිතන්න පුළුවන් මේ වැඩේට කවුරු හරි අනුග්‍රහය දැක්වුවද නැත්නම් ඔවුන්ගෙ පුද්ගලික වියදමින් කළ දෙයක් ද?

  6. අදත් වෙඩි වගේ. අනික් කෑල්ලත් දාන්න විචාරක.

  7. අද තමයි කොටස් 3ම කියවලා අවසන් වුනේ… මේ සිද්ධිය මම මීට පෙර අහලා තිබුනේ නෑ… පෝස්ටුව සදහා උපයෝගී කරගෙන තිබෙන තොරතුරු හා ඡායාරූප මගින් ඉතා හොද විස්තරයක් කියවන අපට ලබා දී තිබීම පිළිබද අනේකවාරයක් ස්තූතියි…. නෝර්වේ කියන්නෙ ධීවර කර්මාන්තයට ලෝක ප්‍ර‍සිද්ධ රටක් නිසා නෝර්වේ ජාතිකයන්ගේ ජානගතවත් මේ හැකියාවන් ඇති කියලයි මට හිතෙන්නෙ…. ඊළග කොටසත් කියවන්න ආසාවෙන් බලා ඉන්නවා…. ජය!

    • ඇගයීමට බොහොම ස්තුතියි. මේ කතාවට තොරතුරු රාශියක් ඇතුලත් නිසයි හැකි තරම් මාධ්‍යරූප යොදන්නට අදහස් කලේ, ඒ සඳහා කොපමණ වෙහෙසක් දරන්නට සිදුවුනත්. ඔබ නෝර්වේ වැසියන් ගැන කියා තිබුනදේ හරි. ඔවුන් ඉතා ඈත අතීතයේ සිටම ආක්‍රමණශීලී මුහුදු ගමන් වලටත් ප්‍රසිද්ධයි. වැඩි දුර විස්තර මෙතනින් බලන්න.

  8. මේක කරන්න බෑ,.. ම​ට මේ බ්ලොග් එක මගඈරෙනවා… මොකක් හරි කරන්න වෙනවා මේකට.

    සෑහෙන විස්තර දැන ගත්තා…

  9. ලිපි පහක්ම මම මිස්කරගත්ත හන්දා ඉඩක් ලද වේලාවේ වේගයෙන් කියෙව්වා , මට එහෙම හරියන් නැති හන්දා නැවත වරක් පස්සේ බලන්නං, ( මම කොහොමත් දෙතූන් පාරක් බලන බ්ලොග් කිහිපය අතරින් එකක් මේක)

  10. ක්සැන්ඩර් | Xander said:

    ඔන්න අද තමයි මේ ටික කියෙව්වේ.. ඒ තරමට වැඩ.. මොකක් කරන්නද?
    කමෙන්ට් ටික එක්ක උත්තර වලින් තවත් දැනුමක් ලැබුනා.. බොහොම ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: