විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  අපේ කතා නායකයා වන තෝර් හෙයඩල් ඉපදුනේ 1914 ඔක්තෝබර් මස 6 වැනිදා, නොර්වේ රාජ්‍යයේ, ‘ලාර්වික්’ නමැති ප්‍රදේශයේදී. ඔහු සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව පිලිබඳ උගතකු මෙන්ම මානව විද්‍යාඥයකු ද වුනා. මුළු ලෝකය පුරාම ඔහුගේ නාමය පැතිර ගියේ, 1947 වර්ෂයේදී ඔහු සිදුකල ත්‍රාසජනක සාගර චාරිකාව නිසයි. එහි ඇති විශේෂත්වය කුමක්ද? එහි ඇති විශේෂත්වය වන්නේ නූතන යුගයේ මිනිසකු, වසර දහස් ගණනක් පැරණි තාක්ෂණයට අනුව ජල යාත්‍රාවක්‌ සාදා, මහා සාගරයේ කිලෝමීටර් 8000 ක දුරක්, දින 101 ක් තිස්සේ, නිරුපද්‍රිතව ගමන් කිරීමයි. ඔහු, තම සගයන් පස් දෙනෙකුද සමග, මේ යාත්‍රාවෙන්, දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ සිට, ශාන්තිකර සාගරය තරණය කරමින්, පොලිනීසියානු දූපත් දක්වා ගමන්කලා. මේ ගමනේ අරමුණ කුමක්ද? තෝර් හෙයඩල් මානව විද්‍යාඥයෙක්. ඔහු විවිධ මානව වර්ග පිළිබඳව තම මතවාද ලොවට ඉදිරිපත් කලා. ඔහුගේ එක් මතයක් වූයේ, වර්තමානයේදී එකිනෙකට කිසිදු සබඳකමක් නැති මානව වර්ගයන් අතර, අතීතයේදී සබඳතා තිබෙන්නට ඇති බවත්, ඒ සබඳතා ගොඩනගාගන්නට සහ පවත්වාගන්නට, ඔවුන් වසර දහස් ගණනකට පෙර, මෙලෙස ඉතා නොදියුණු ජල යාත්‍රා භාවිත කරමින්, සාගර තරණයේ යෙදෙන්නට ඇති බවත්ය. ඔහුගේ මතයට, විරුද්ධ මත දරන්නන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වුනා. එයින් නොසැලුන ඔහු, සිය මතය ප්‍රායෝගිකවම තහවුරු කරන්නටයි, මේ වීර චාරිකාවේ යෙදුනේ. පහත දැක්වෙන රූපයෙන් පෙන්වන්නේ මේ වීර චාරිකාවේ සැලසුමයි.

  වචන දහස් ගණනකින් මේ විස්තරය ලිවිය හැකි වුනත්, ඒ වචන දහස් ගණන මේ ගමනේ වැදගත්කම සහ ත්‍රාසය විස්තර කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම පින්තූර හෝ වීඩියෝ කොටස් ඇතුලත් කිරීමට උත්සාහ කරනවා.

  තෝර් හෙයඩල් මත්පැන් නිෂ්පාදනයේ බලපත්‍රලත් විශේෂඥයකුගේ පුත්‍රයා. නමුත් ඔහු ඒ කර්මාන්තය වෙත නොවෙයි යොමු වුනේ. නව යොවුන් වියේදීම ඔහු උනන්දු වුනේ සත්ත්ව විද්‍යාව හැදෑරීමටයි. ඔහු තම නිවසේ සත්ත්ව විද්‍යාව පිලිබඳ කුඩා කෞතුකාගාරයක් පවා ආරම්භ කලා ශිෂ්‍යයකු වශයෙන් සිටියදී. ඔහු ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව යන විෂයයන් ඇතුලත් උපාධි පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතරම ඔහු පෞද්ගලිකව අධ්‍යයනයේ නිරතවුනා පොලිනීසියානු සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව. මේ සඳහා ඔහු ආධාර කරගත්තේ එවකට ඔස්ලෝහි විසූ, ධන කුවේර වයින් වෙළඳ ව්‍යාපාරිකයකු සතුව තිබුණු, එවකට, පොලිනීසියාව පිළිබඳව ලෝකයේ තිබුණු හොඳම පොත්පත්, සඟරා සහ ලිපි ලේඛන එකතුවයි. එම එකතුව කොපමණ වටින්නේදැයි කිවහොත්, පසු කලෙක, ඔස්ලෝ විශ්වවිද්‍යාලය විසින් එය මිලදීගත් අතර, පසුව ඒ සියල්ල, පර්යේෂණ කරන්නන්ගේ ප්‍රයෝජනය සඳහා, කොන් ටිකි කෞතුකාගාරයේ තැන්පත් කලා. තෝර් හෙයඩල් දැඩි කැපවීමකින් හා වෙහෙසකින් යුක්තව සොයාගත් කරුණු ජර්මනියේ බර්ලින් නුවර විශේෂඥයන් වෙත වාර හතකදී දිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘතියක් සූදානම් කෙරුණු අතර, හෙයඩල්ගේ සත්ත්ව විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරුන්ගේ අනුග්‍රහයද ඒ සඳහා ලැබුනා. ශාන්න්තිකර සාගරයේ හුදෙකලාව පිහිටි දූපත් නිරීක්ෂනය කිරීමටත්, ඒවායේ ජීවත්වන සත්ත්ව වර්ග, එහි පැමිණියේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමටත්, මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබුනා.  

 

කල් යද්දී ඔහු පොලිනීසියානු දූපත් කාමියකු බවට පත්වුනා. ඔහුගේ කාලය බොහෝවිට ගෙවුනේ මාක්වේසස් දූපත් (Marquesas Islands) යනුවෙන් හැඳින්වුන කුඩා දූපත් 15 කින් පමණ සමන්විත වූ, පොලිනීසියානු දූපත් වලයි. ඔහු වඩාත් ප්‍රිය කලේ පොලිනීසියානු දූපතක් වූ ෆාටු හිවා (Fatu Hiva) හි කාලය ගතකරන්නටයි.

  මා ඉහතදී ද සඳහන් කලාක් මෙන්, හෙයඩල් විශ්වාස කලේ, දකුණු ඇමෙරිකානු ජන කොට්ඨාශ විසින් ප්‍රාග් කොලොම්බියානු යුගයේදී, ඉතා නොදියුණු මුහුදු යාත්‍රා භාවිත කර, ශාන්තිකර සාගරය තරණය කර ගොස්, පොලිනීසියානු දූපත්හි ජනාවාස පිහිටවූ බවයි. (එහෙත් මේ මතය අද මානව විද්‍යාඥයන් පිළිගන්නේ නැහැ) දැන් ඔහු සූදානම් වන්නේ සිය මතය තහවුරු කිරීමටයි. ඔහු තම ගමන සඳහා, ඔහු මෙන්ම නිර්භීත දක්ෂ සගයන් පස් දෙනෙකු තෝරාගත්තා.

යාත්‍රිකයෝ :-

  හෙයඩල් තම කණ්ඩායම තෝරාගත්තේ මෙහෙමයි .

1. එරික් හෙසල්බර්ග්  – Erik Hesselberg (නෝර්වීජියානු ජාතික පළපුරුදු නාවික යාත්රිකයෙකි. කොන් ටිකි යාත්‍රාවේ නියමුවාය. පසුකාලීනව වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකි.

2. බෙන්ග්ට් ඩනියල්සන් – Bengt Danielsson (ස්වීඩන් ජාතික මානව විද්‍යාඥයෙක්)

3. නූට් හෆ්ලන්ඩ් – Knut Haugland (දෙවැනි ලෝක යුද සමයේදී ජර්මානු ආක්‍රමණ වලින් නොර්වේ රාජ්‍යය නිදහස් කරගැනීමට සටන් කල සටන් කාමියෙක් මෙන්ම කෞතුකාගාර අධ්‍යක්ෂ වරයෙක්)

4. ටෝශියන් රාබි – Torstein Raaby ( කොන් ටිකි යාත්‍රාවේ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු ක්‍රියාකරු, නූට් හෆ්ලන්ඩ් මෙන් නෝර්වීජියානු ජාතික සටන් කරුවෙකි)

5.  හර්මන් වට්සින්ගර් – Herman Watzinger (නෝර්වීජියානු ජාතික යාන්ත්‍රික ඉංජිනේරු වරයෙකි. ජලය සහ එහි හැසිරීම, (ජල විද්‍යාව) සහ කාලගුණය පිලිබඳ විශේෂඥ වරයෙකි. කොන් ටිකි යාත්‍රාවේ කාලගුණ විද්‍යාඥ වරයාය)

6.  හෙයඩල් ගේ සුරතල් ගිරවා ‘ලොරිටා’ – Lorita

  ඉහත දැක්වෙන පින්තූර, මේ සියලු දෙනාම මැදි  වයසට පත්වු පසුව සහ සමහර අය ඊටත් පසු ගත් පින්තූර බව අමතක කරන්න එපා. (ගිරවා ඉතින් ගිරවාමනේ) මෙන්න තියනවා ගමන ගිය දවස්වල මේ කට්ටියගේ පෙනුම කොහොමද කියලා බලාගන්න පුළුවන් පින්තූරයක්.

  දැන් ඉතින් ගමන යන්න කණ්ඩායම සම්පූර්ණයි. නමුත් කෝ යාත්‍රාවක්‌. අනිත් කාරණේ තමයි හෙයඩල් ගේ මතය අනුව මේ ගමන යන්න ඕනේ අවුරුදු දහස් ගණනකට පෙර දකුණු ඇමරිකානු ගෝත්‍රිකයන් විසින් තැනූ නොදියුණු යාත්‍රා වලට සමාන යාත්‍රාවකින්. ඒ නිසා මුලින්ම ඔවුන්ට සිදු වෙනවා දකුණු ඇමරිකාවට ගිහින් එවැනි යාත්‍රාවක්‌ හදන්න. හෙයඩල් ගේ මතය එක අතකින් ඔහුටම අභියෝගයක්. මන්ද තම මතය සනාථ කිරීමටනම් ඔහු කිසිදු නවීන නාවික යාත්‍රා ඉදිකිරීම් ක්‍රමයක් යොදා නොගත යුතුයි. එමෙන්ම කිසිදු බාහිර ආධාරයකින් තොරව යාත්‍රා කලයුතුයි.  

  ඔන්න ඉතින් ඔබට බලා ඉන්න වෙනවා මේ පිරිස දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයට ගිහින් ඒ රටේ ඉපැරණි තාක්ෂණය අනුව යාත්‍රාව හදන තුරු. හැබැයි ඉපැරණි කිව්වට එය අරුම පුදුම තාක්ෂණයක්. යාත්‍රාවේ නිර්මාණය ඔබව විශ්මයට පත් කරනවා සිකුරුයි.

 කෙසේ වෙතත් මේ යාත්‍රාව ගැන කෙටි වීඩියෝ වාර්තාවක් ඔබට පෙන්වන්නට මා කැමතියි. කොන් ටිකි යාත්‍රාව තැන්පත් කර ඇති කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා වන්නේ තෝර් හෙයඩල් ගේ පුත්‍රයා වන ‘තෝර් හෙයඩල් කනිෂ්ඨ’ යි. (Thor Heyerdahl Junior) පහත දැක්වෙන්නේ ඔහු විසින් තම පියා සහ පිරිස චාරිකාවේ යෙදුන ඒ යාත්‍රාව පිළිබඳව 2009 වසරේදී කරන ලද විස්තරයක්.

ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු.

Advertisements

Comments on: "20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (දෙවැනි කොටස) Expedition ‘Kon Tiki’ (Part Two)" (32)

  1. දැන්නම් ටිකක් නිදිමතයි. හෙට උදේටම කියවල කමෙන්ට් කරන්නම්.

    • ඕනෑ තරම් කාලය අරගෙන කියවන්න.

    • ඒ විදියෙ මුහුදු ගමනක් කියන්නෙ කොයිතරම් අවදානම් සහගත දෙයක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මම උනත් එදා හිටියනම් හිතන්නෙ මේ මිනිස්සුන්ට පිස්සුද, මේ සියදිවි හානිකරගන්න හදන්නෙ කියල. ඉතිං එහෙම අපවාද අහගෙන තමන්ගෙ මතය වෙනුවෙන් මෙච්චර අවදානමක් ගන්න ඔහු ඉතා අධිෂ්ඨානශීලී, ධෛර්ය සම්පන්න මිනිසෙක් වෙන්න ඇති. ඉතිරි කොටසත් ඉක්මනින් ලියන්න විචාරක මහත්තය, අපි බලං ඉන්නව.

      • තෝර් හෙයඩල් තවත් මෙවැනි චාරිකා කීපයක්ම ගිහින් තියනවා. 1952, 1955 සහ 1969 යන වර්ෂ වල තමයි ඒ චාරිකා ගිහින් තියෙන්නේ. නමුත් වඩාත් ප්‍රසිද්ධ මේ කොන් ටිකි චාරිකාවයි. ඔහු තම මතය ප්‍රයෝගිකවම ඔප්පු කිරීම තමයි වැදගත්.
        ඉතිරි කොටස් දැනට සංස්කරණය වෙමින් පවතිනවා.

  2. පසසන්ඩ වදන් නෑ විචාරක මහතා.. පසසන්ඩ වදන් නෑ..ඔබට ගොඩක් ස්තූතියි මේ කවදාවත් අහලා නොතිබුන වීර චාරිකාවක් ඉතා වෙහෙසිලා හොයලා සුපුරුදු පරිධි උපරිමයෙන් ඉදිරිපත් කළාට..

    මම පොඩි කාලෙ ඉඳලම හරි ආසයි මුහුදු චාරිකා ගැන කියවෙන කතාවලට..නැව් වලින් ගිහින් ඒවා අනතුරට පත්වෙලා දූපතකට යන කතා හරිම ආසාවෙන් කියෙව්වෙ. එතකොට බෝබි ඩික්…ඒකත් හරිම ආසාවෙන් කියවපු පොතක්.. මේකත් ඒවගේම නොවුනත් මුහුදු චාරිකාවක් හින්දා හරිම ආසයි.

    ඉතිරි කොටස් එනකම් දෑස් අයා බලා සිටිමි… කොටස් නොකරම දිගටම දැම්මනම් හොඳයි කියලා හිතෙනවා..

    • බොහොම ස්තුතියි ඇගයීමට. කොටස් වලට නොකැඩූවොත් මාධ්‍ය රූපත් එක්ක බලනවිට දිග වැඩි වෙයි කියලා හිතුන නිසයි මෙහෙම කලේ. මාධ්‍ය රූප සැකසීම තමයි අමාරුම වැඩේ. ඊළඟ කොටසේදී යාත්‍රාව හදලා ඊටත් පස්සේ කොටසේදී ගමන යමු.

    • @ සෙන්නා,

      ඉස්සර මමත් ආසයි ඔය නැව් ගමන් ගිහින් අතරමං වෙච්ච කතා කියවන්න.. ඒත් පස්සෙ තේරුනා ඔක්කොම එකම ටයිප් කියලා… නැවක යනවා.. නැව කුණාටුවට අහුවෙනවා.. දූපතකට ගොඩ බහිනවා.. නැවේ බඩු වලින් ප්‍රයෝජන අරන් ජීවත් වෙනවා.. තව නැවක් එනවා.. බේරෙනවා… ඉතින් අමුතුවෙන් කියවන්න දෙයක් නෑනෙ..

      • ඔන්න මම වගේම තනි වෙච්ච ගෑනු ළමයෙක් ඉන්න දූපතක් හම්බවෙන විදිහේ කතාවක් වුනානම් කොච්චර හොඳද.

      • හරී,

        ඒත් මම ඒවට ආසයි බන්.. අදටත් ආසයි.. ජේ බී සේනානයක අනුවාදයක් කරලා තිබුනා ” රණරාල” කියලා.. මතකද.. පස්සෙ ඒක කේජී කරුණාතිලක මහත්තයා අසංශික්ප්තව පරිවර්තනය කරලා තිබුනා.. මට ඒකෙ නම දැන් මතක නෑ..

        තව එකක් තමයි කොරල් දූපත.. මම දඩුගම පුස්තකලයෙන් ඉස්සෙල්ලම අරගන කියවපු පොත ඒක .. බලපන්කො අදටත් මතකයි..

        මුහුදු ගමන් කතාවලට මම නම් මාරම ආසයි..

        ඒවා ප්‍රබන්දනේ…විචාරක මහත්තයා දැන් කියන්නෙ ඇත්තම කතාවක්නෙ.. ඒකයි විශේෂත්වය…

        • ජී.බී. සේනානායක, කේ.ජී. කරුණාතිලක වැනි සාහිත්‍යධරයන්ගේ පොත් කියවුවානම් ඔබ හරි වාසනාවන්තයි. ඒ පොත්වල මුල් පිටපත් (ඉංග්‍රීසි) හොයාගෙන කියවා බලන්න එවිට අලුත් අත්දැකීමක් ලැබෙනවා.

  3. කියෙව්වට පස්සෙ මකුළු දැල් බැඳෙන රුවල් නැව ගරාජ් එකෙන් එළියට ගන්න හිතුනා.

    • ගෙදර අලංකරණයට තියන එකක්ද?

      • නැහැ නැහැ මුහුදෙ යන්න පුළුවන් එකක්. දෙන්නෙක්ට නිදාගන්න කුටියකුත් තියෙනවා. රුවල් දෙකක්. සුදු අප්පුහාමියි මායි රුවල් නැව් චාරිකා වලට කැමති දෙන්නෙක්. මේ ගිම්හානයේ එළියට ගත්තෙ නැහැ.

        • අහන්නත් ආසයි. හඳපානේ රවුමක් යන්නේ නැද්ද සුදු අප්පුහාමිට ඇහෙන්න හොඳ සිංහල කවියක් දෙකක් කියාගෙන. මම 1970 දශකයේනම් ගංවතුරේ ඔරු පැදලා තියනවා ඇති වෙන්ඩ.

  4. මේ කතාව දැනසිටියේම නෑ.. මේ පුද්ගලයින් අදත් ජීවත් වෙනවාද? අහන්න නම් ප්‍රශ්න කීපයක්ම ආවා. කතාව අවසාන වූ පසුව අහන්නම්..

    • තෝර් හෙයඩල් 2002 දී මියගියා. (කතාව අන්තිමට කියන්නම්) අනික් සියලුදෙනාත් මියගිහින්. එරික් හෙසල්බර්ග් 1972 දී, බෙන්ග්ට් ඩනියල්සන් 1997 දී, නූට් හෆ්ලන්ඩ් 2009 දී, ටෝශියන් රාබි 1964 දී, හර්මන් වට්සින්ගර් 1986 දී.

  5. නෝර්වේ කස්ටිය කොහොමත් මුහුදු ගමන් වලට කප් ගහපු සෙට් එකක්.
    ආපහු කව්රුත් නොදන්නා කතාවක්, ස්තුතියි විචාරක,,,

  6. ක්සැන්ඩර් | Xander said:

    වටිනා කියන සටහනක්. ඒත් මගේ ප්‍රශ්නේ ඇයි දැන් මානව විද්‍යාඥයින් මේ තියරිය පිලි නොගන්නේ?

    • තෝර් හෙයඩල් කිව්වේ පොලිනීසියානු වැසියන් දකුණු ඇමරිකාවෙන් සංක්‍රමණය වූවන් කියලයි. නමුත් වර්තමාන පිළිගැනීම වන්නේ පොලිනීසියානුවන් ඒ කලාපයේම මුල් වැසියන් ලෙසයි.

  7. බොහොම රසවත් වීර චාරිකාවක්. මම මේ කථාව පාසල් අවධියේදී කියෙව්වා මතකයි. සිංහල පරිවර්ථනය කාගේද කියලානම් මතක නැහැ.
    ඒ වගේම මේ වාර්ථා චිත්‍රපටිය ජාලයෙන් බාගත කර‍ගෙන බොහොම මෑත කාලයේදී නරඹපු බවත් මතකයි.
    ඇත්තටම බොහෝම වටිනා වැඩක් අපේ අළුත් පරපුරටත් මේ වීර චාරිකාව ගැන විස්තර කියන එක.

    • ඇත්ත වශයෙන්ම මෙය සමහර අයගේ මතකයේ තවමත් තියනවා. ඒ අයගේ මතකය අලුත් වෙන්නත්, නොදන්නා අයට අලුත් දැනුමක් ලබා දෙන්නත් තමයි මෙය ලියන්නේ. බොහම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  8. එරික් සෝල්හයිම් එන්න කලින් මමත් නෝවීජියන්ස්ලට කැමතියි මොකද මගෙ ප්‍රියතම ABBA සංගීත කණ්ඩායමේ Annifrid Lingstad නෝර්වීජියන් නිසා. ඔන්න දැන් ආයෙමත් උනන්දුයි. 😀

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    • Dude ලා හෙවත් ජේත්තුකාරයෝ කවදත් ඉතින් ඒ වගේ අයට කැමතියිනේ. මගේ ළඟ තිබුනේ ABBA කැසට් දෙකක්. මේ මෑතකදී මම එයාලගේ සින්දු ගොඩක් ඩවුන්ලෝඩ් කරගෙන සීඩී එකක් රයිට් කරගත්තා පෞද්ගලික වින්දනට පමණක්. 1980 ගණන්වල මා හඳුනාගෙන හිටියා අධ්‍යාපන මනෝවිද්‍යාව පිලිබඳ විශේෂඥ වරියන් දෙදෙනෙක් ස්වීඩන් ජාතික. අපි අබා හෝ ඇබා කිව්වට එයාලා කියන්නේ අබ්බහ් කියලයි.

  9. කොහෙන්ද අප්පේ මෙව්වා හොයා ගන්නේ

  10. Hello Wicharaka, I am your newest frz here mate. I have read this story over 20 yrs ago and can still vividly remember it. Also I have travelled to a few Polynesian islands. I am really fascinated by the simple lifestyles of these people who are so cut off from the rest of the world.

    One correction if I may suggest to your informative article is that the extent of Polynesia in your map is incorrect. The Polynesian archipelago extends from Hawaii in the north to Newzealand in the south. CHeck out this link;

    cheers for now.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: