විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 නොර්වේ රාජ්‍යයෙහි අගනුවර වූ ඔස්ලෝ හි ඇති නාවික කෞතුකාගාරයන්හි, නෝර්වීජියානු ජාතික  ආදී නාවිකයන් විසින් නිපදවුණු, මිල කල නොහැකිවූත්, අපූර්ව වූත්, යාත්‍රා ප්‍රදර්ශනය කරනු ලැබේ. එයින්ද  වඩාත් සිත් ගන්නේ, අලංකාර මෙන්ම, අසමාන සුන්දරත්වයකින් යුත්, වයිකින්ග් (Viking) යාත්‍රා තුනකි.

 එහෙත්, ඒ අසලම ඇති තවත් කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන , එයටම ආවේනික සුන්දරත්වයකින් හෙබි, කොන් ටිකි (Kon Tiki) යාත්‍රාව, මොහොතකට ඔබේ හුස්ම ගැනීම පවා නවත්වන තරමේ විශ්මිත නිමැවුමක් වන අතරම, එය නිපදවූ, එහි නැගී මහා වීර චාරිකාවක යෙදුනු, අසාමාන්‍ය ගවේෂක, මහා මානව විද්‍යාඥ, නෝර්වීජියානු ජාතික තෝර් හෙයඩල්  Thor Heyerdahl පිළිබඳව මහත් ගෞරවනීය හැඟීමක් ඔබ තුල උපදවයි. (මේ නම මා මෙහි දක්වන්නේ නෝර්වීජියානු උච්ඡාරණය අනුව නොව ඉංග්‍රීසි උච්ඡාරණය අනුව බව කාරුණිකව සලකන්න)

 එකක් අඩි දෙකක පමණ විෂ්කම්බයකින් යුත්, එමෙන්ම එකක් අඩි 30 – 45 අතර දිගකින් යුත් බල්සා Balsa නමැති දැව කඳන් නවයක් ගෙන, දිගින් වැඩිම කඳ මැදට සිටිනසේ තබා, හරස් දඬු යොදා, එම දඬු වලට කඹ යොදා ගැටගසා ශක්තිමත් පහුරක් ලෙස සාදා, බට පතුරු විශේෂයකින් සාදනලද යාත්‍රා තට්ටුවක්ද සකසා, ඒ තට්ටුව මත ඉදිවුන විවෘත කුඩා පැලකින්ද යුතු, මේ යාත්‍රාව, දෙපාද අට්ටාලයක ඇටවූ, හතරැස්  රුවලක් සහ යාත්‍රාවේ පතුළට යටින් සවිකල, වරල් හැඩයේ ස්ථිර හබල් පෙති (Centreboard) පහකින් සහ යාත්‍රාව හැරවීමට ආධාරවන ප්‍රධාන හබලකින්ද (Steering-0ar)යුක්ත විය.

මේ කතාව මා ජීවිතයේ මුල් වරට කියවුයේ 1970 දශකයේ මුල භාගයේදී බව මතකය. මුලින්ම එය කියවුයේ නවයුගය පුවත්පතෙනි. ඉංගිරිසිය හැකිවූ පසු ඒ භාෂාවෙන්ද කියවුයෙමි. එවකට ලේක්හවුස් ආයතනයෙන් පළකළ නවයුගය ටැබ්ලොයිඩ් පුවත්පත් අප වැනි පාසල් සිසුන්ට දැනුම සාගරයක් නොව දැනුම සප්ත මහා සාගරයක් ම විය. එහෙත් 1970 දශකයේ අග භාගයෙන් පසු දේශපාලනීකරනයවූ ලේක්හවුසිය අද වනවිට දුගඳ හමන දේශපාලන පල්වලක්වී හමාරය. එදා සිට මෙතෙක් පැවති සියලු රජයයන් යටතේ එහි පිරිහීම ඉක්මන් විය. එදා සත පනහේ විශ්ව විද්‍යාලය ලෙස හැඳින්වුන සිළුමිණ පුවත්පත, අද සත පහක්වත් වටින්නේ නැති වන්දිභට්ට පත්තර කඩමාල්ලක් වී තිබීම, අතිශයින් කනගාටුදායකය. එකල අප සතියකට වරක් නවයුගය පත්‍රය පල කරනතුරු බලා සිටින්නේ, තම පෙම්වතිය එනතුරු බස් නැවතුමේ රැඳී සිටින පෙම්වතකු මෙන් නොඉවසිල්ලෙනි. මන්ද, පෙම්වතිය සමග කරන කතාබහ තරම්ම වැදගත් කරුණු දහස් ගණනකින් යුත්, විවිධ විෂයානුබද්ධ ලිපි විශාල ගණනක් නවයුගය පත්‍රයේ තිබුන අතර, ඒ තොරතුරු කියවීමෙන් අපතුල ඇතිවූ බුද්ධි වර්ධනය විශ්මය ජනකය. ඒ ලිපි නැවත නැවත කියවීමට තරම් රසවත් ලෙස එදා ලියවුනේ අදමෙන්, තුට්ටුදෙකේ වචන පාවිච්චි කරන ඊනියා ලේඛකයන් අතින් නොව, විශිෂ්ඨ ලේඛකයන් අතිනි. එසේ නැවත නැවතත් ඒවා කියවීමේ ප්‍රතිඵලය වුයේ අද දක්වාම ඒ දැනුමෙන් සෑහෙන කොටසක් අප මනසෙහි රැඳී තිබීමය. (එහෙත් නවයුගය පත්‍රය මිලදී ගැනීමට අම්මාගෙන් සත 25 ක් ඉල්ලාගනීමට නම් වරු ගණනක් අයාචනා කලයුතු වුයේ අපි සැබැවින්ම දුප්පතුන් වූ නිසාමය) එකල කාලීන තොරතුරු Current Affairs පිලිබඳ විශිෂ්ට දැනුමක් අප සතුවිය. පොත්ගුල්ලන් බවට පත් අපි පුස්තකාල ආක්‍රමණය කරමින් ඔලුව පුරවා ගත්තේ, ඩීමන් ආනන්දගේ පටන් එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සිරිගුනසිංහ, කරුණාසේන ජයලත්, මහගම සේකර,  මෙන්ම බටහිර සම්භාව්‍ය රචකයන්ගේ නිර්මාණ වලිනි. ගුවන්විදුලියෙන් ජෝතිපාලට, මිල්ටන් පෙරේරාට, මොහිදීන් බෙග්ට ලතා වල්පොලට සවන් දුන්නත්, අමරදේවයන්ගේ මධුවන්තියේ රසයද නොමඳව වින්දෙමු. (මධුවන්ති යනු, එකල රාත්‍රී කාලයේ පටන් ගෙන, මහ රෑ අවසන් කරන, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය නම් වූ විශිෂ්ඨ ගුවන් විදුලි සේවයෙහි, අමරදේව ශූරීන් හා මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි මහා වියතුන් ඉදිරිපත් කල හරවත් සංගීත වැඩසටහනකි) අනේ එකල ‘නාලිකා’ තියා ‘බට’ වත් නොතිබුණි. නමුත් ගුවන් විදුලියේ ඇසීමට දෑ අපමණ විය.සිනමාව, සංගීතය, නවකතා, කෙටි කතා පිළිබඳව, සමාජය පිළිගත් විද්වතුන්ගේ විවේචන, විමර්ශන, සංවාද විවාද, අපි පුවත්පත් වලින් කියවුයෙමු. දැනුදු ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රචාරය වන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට සවන්දෙන/නරඹන මම 80% ක පමණ සාර්ථකත්වයකින් යුතුව සිතින් පිළිතුරු දෙමි. කියවීමට, ඇහුම්කන්දීමට, දැනුම සෙවීමට, අපව පෙලඹවූ ගුරුවර, දෙමාපිය, වැඩිහිටියෝ බුදු වෙත්වා.

පාසලෙන් පැවරෙන තම දරුවන්ගේ ගෙදර වැඩ කිරීම, තමන්ගේ කාර්යයක් බවට පත්කරගෙන වෙහෙසෙන දෙමවුපියන් අද කාලයේ දකින විට, මට ඇතිවන්නේ අනුකම්පාවකි. ඒ දෙමවුපියෝ ද අසරණයෝය. එක පිරිසක් තුළ දැනුම ඇතත්, එය තම දරුවාට දෙන්නට අවස්ථාවක් නැති තරමට ඔවුහු මුදල් හම්බකිරීමේ යෙදී සිටිති. තවත් පිරිසක්, වනපොත් කොට විභාග සමත්වූ බැවින් මෙලෝ හසරක් මස්තිෂ්ක කුහරයේවත් රැඳී නැති අසරණයෝය. ටියුෂන් අධ්‍යාපනය තුළමැ ගිලීගිය දරුවෝ, අපිස් ජීවිත වලටමැ ඇතුළු වෙති. උපාධියක්ද, පශ්චාත් උපාධියක්ද, එම්.එස්.සී. උපාධියක්ද දරන මා වැඩිමහල් දියණිය අද රුපියල් 10000 දීමනාවකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කඹුරයි. ඒ කුලී වැඩේද ලබාගත්තේ, මා බිරිඳ, යන්තම් සාමාන්‍ය පෙලට උගත්, දෙස්පාලුවකුගේ දෙපාමුලට හත් අට වතාවක් බඩගෑමෙන් අනතුරුවය.  මා දියණිය සතු දැනුම කුමක්දැයි මා කලකිරීමට පත්වන්නේ, පෙරකී ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක අසන පැන කීපයකට පිළිතුරු දීමට ඇය උත්සාහ කිරීමේදීය. චන්ද්‍රිකා රූපවාහිනියෙන් ඇය නරඹන්නේ හඩු හින්දි නාලිකා මිස, දැනුම වර්ධනය වන කිසිවක් නොවේ. යටත් පිරිසෙයින් ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක්වත් නරඹන්නේ නැති ඔවුන්ගේ අනාගත දරුවන්ටද අත්වන්නේ, අර ඉරණමම නොවේද?

චූර්ණිකාව දිග වැඩි වුවද නොකියාම බැරි කරුණු කිව්වෙමි. මේ ලිපියේ දෙවැනි කොටසින් ප්‍රස්තුතයට බසිමි. මතු ද මෙවැනි වීර චාරිකා අත්දැකීම් (Adventure Expeditions) පිලිබඳ මා මතකය අවුස්සා, සොයා, ඔබ දැනුවත් කරන්නෙමි.

Advertisements

Comments on: "20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (පළමුවැනි කොටස) – Expedition ‘Kon Tiki’ (Part One)" (60)

  1. කතාව කියන්න කුතුහලය ඇවිස්සුවා. ඔය වයිකිංවරුන් ගැන ෆිල්ම් දෙකතුනක්ම මමත් බලලා තියෙනවා. මේ කතාවත් ඉතින් කියවලාම බලන්න ඕනේ 🙂

  2. කෝ.. තෝර් හෙයඩල්?.. 🙂

    අපේ තාත්තලාට ඉස්සර ඉස්කෝලෙ ගුරුවරු කියන්නෙ භාෂාව හදාගන්න නම් පත්තර කියවන්න කියලලු.. දැන් තියෙන පත්තර බැලුවම ඔක්කොටම කලින් පත්තරකාරයින්ගෙ භාෂාව හදන්න ඕනෙ..

    මෑතකදී කසිකබල් පත්තර අතරේ හොඳ පත්තරයකට තිබුනෙ ‘මව්බිම’. මේ කියන්නෙ තහනමට ඉස්සර කාලෙ.. පිටු වැඩි ගනනක් තිබුණා වගේම ගොඩක් ඒවල තිබුණෙ ඉතිහාසය ආදී වැදගත් දේවල්… ඒත් තහනමෙන් පස්සෙ ඒකත් අසූචි හැලියක් වෙලා.. මූලිකවම රනිල් එලවීම අරමුණෙන් තමයි පත්තරේ වදින්නෙ..

    සිළුමිණ කියන්නෙ නිකම්ම නිකන් දැන්වීම් ගොඩක්නෙ.. වැඩිපුර තියෙන්නෙ එක එකාගෙ ඕපදූප.. මිනිස්සු හොරගෑණු අරන් ගිය හැටියි.. ගෑණු හොර මිනිස්සු එක්ක ගිය හැටියි.. ඔක්කොම අනුන්ගෙ කුණු.. ඉංග්‍රීසි පත්තර නම් තවත් තරමක් හොඳ තත්වයේ තියෙනවා නේද?

    • ඇත්ත වශයෙන්ම ලංකාවේ පලවන ඉංග්‍රීසි පුවත්පත් විතරයි පුවත්පත් කලාවේ අචාරධර්ම බොහෝදුරට රැකගෙන ඉන්නේ. එයට හේතුව ඒවා කියවන පාඨකයන් වැඩි දෙනා ඒ පත්තර නොමග යනවානම් ඉවත දමන නිසයි. සිංහල පත්තර බොහොමයක්, ඔබ කිව්වා වගේ ඕපාදූප වලින් තමයි ජනප්‍රියත්වය රැකගෙන ඉන්නේ. එයට අනික් පැත්තෙන් වග කියන්න ඕනේ ඒ රසයට හුරුවූ පාඨකයන්මයි.
      තෝර් හෙයඩල්ගේ පින්තූරය ගැන ප්‍රශ්නයක් තියනවාද? මම දැන් බලද්දිත් පින්තූරය තිබෙනවා.

    • ඒකනං ඇත්ත හරී දැන් මව්බිමේ ඔතන බත් එකත් ඉක්මනට පිලිණු වෙනවා

  3. මමත් කොන්ටිකි යාත්‍රාව කියලා සිංහල පරිවර්තනයක් කියවලා තියනවා. අපේ තාත්තා අරන් දීපු ඒ පොත මම අවුරුදු ගණනාවක් සැරින්සැරේ කියවලා රස වින්දා. මගේ ප්‍රියතම චරිතය ප්‍රධානියා වන හෙයර්ඩල් නෙවෙයි, එයාගේ මිත්‍ර නම මතක නැති රැවුල්කාර විද්‍යාඥයා. ඔවුන් මුහුද මැදදී සේයාපටයක් ඩිවලොප්කරන්න අවශ්‍ය අයිස් (අඩු උෂ්ණත්වයේ ජලය) හදාගත්ත විදිහ මගේ හිතේ තාමත් චිත්‍රපටයක් වගේ ඇඳිලා තියනවා.

  4. මා කුඩා කාලයේදී කොන්ටිකි යාත්‍රාව නමින් සිංහලට පරිවර්තනය වූ පොතක් කියවුවා මතකය.පරිවර්තකයා කව්දැයි හරිහැටි මතක නැත.ඉතා රමණීය වීර චාරිකාවක් ලෙස මෙම කොන්ටිකි යාත්‍රාවේ ගමන සැලකිය හැකිය.ඔබට ස්තුතියි මහත්මයා.

  5. ඉතුරු ටික දානකන් බලන් ඉන්නවා.. හොද හරිය එතන නේද.

    අව්රුදු දහයක් දොළහක් යනකොට දැනුම පුපුරා යනවලු. ඒ කියන්නේ අව්රුදු දොළහකට පෙර පැවති සාමාන්‍යය දැනීම, දැන් ඒ වයසේ ළමයෙකුගේ සාමාන්‍යය දැනීමට වඩා වෙනස්. අපේ ළමයින්ට අපිට වඩා sms, internet අනං මනං පුළුවන් නොවැ.

    • පුපුරා ගිහිල්ලද පැලිලා ගිහිල්ලද මම දන්නේ නැහැ, දෙවරක් චක්කරේ බලන්නත් කැල්කියුලේටරේ නැතුව බැරි පරපුරක්නේ ඉන්නේ. පෙම්පතක් නොලියපු, පෙම් කවක් නොලියපු, එස් එම් එස් ප්‍රේමය මොන තරම් පුස්සක්ද? ඕනෙම ඔට්ටුවක් අල්ලන්නම්, අන්තර්ජාලයේ සිල්ලර භාෂාවෙන් ලියන බහුතරයකට ඉංග්‍රීසි කෑලි හෝ ජරා සිංහල කෑලි නොදමා වචන 500 ක රචනයක් ලියන්න බැහැ පැය 1 1/2 ක් තුල.

    • අපේ ළමයින්ට අපිට වඩා sms, internet පුළුවන් බව හැබෑව. ඒත් ඔවුන් ඒ තුළින් සොයායන දැනුම, සොයාගන්නා දැනුම කුමක්ද? ඒවායේ පාලනයක් තිබේද? (වි)රූපවාහිනී මාධ්‍ය තුලින් පෙන්වන අසම්මතයන්ට ආහාර සැපයීම විනා ගැඹුරක් ඇති කරුණු කාරණා සොයායන්නේ (මමත් ඇතුඏව) කීයෙන් කී දෙනාද?

      • පිහිය නෙවෙයි නරක, පිහිය පාවිච්චි කරන විදිහයි නරක. මම කියන්නේ රූපවාහිනය උදේ පටන් රෑ වෙනතුරු අධ්‍යාපනික වැඩසටහන් පෙන්විය යුතුයි කියන ඔලමොට්ටල අදහස නෙවෙයි. රූපවාහිනියෙන් පෙන්වන්නේ මොනවද අද. කාමය, කෑම බීම, (බොහෝ ඒවා අනවශ්‍ය කෑම බීම මෙන්ම සාමාන්‍ය මිනිහෙකුට හදන්න බැරිතරම් මිල අධික කෑමබීම) මෝස්‌තර හා රූපලාවන්‍යය, (හරියට ඒවා නොකලොත් මැරෙයි කියන තරම් අනතුරු ඇඟවීම් සහිතවයි කියන්නේ)දේශපාලන පම්පෝරි සහ වෛරය, අගමුල නැති වැල් වැනි, ඕපාදූප, අනියම් සබඳතා, සම්පප්‍රලාප, ප්‍රවර්ධනය කරන ඊනියා ටෙලි විහිලු, හොටං පයිසි පං එක දැනිලා වර්ගයේ සින්දු කෑලි නටන සොකඩයෝ, ඔච්චරයිනේ.
        සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි දීලා බලන්න බැරි ඩිස්කවරි වැනි නාලිකා පෙන්නන්න බැරි මුන්ගේ ඔලුවලට හෙන ගහලා තියන නිසයි. දේශපාලන වල් බල්ලන්ගේ අමන හෙන්චයියන් තීරණ ගන්නන් බවට පත් වෙලා සිටින නිසයි.

      • // සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි දීලා බලන්න බැරි ඩිස්කවරි වැනි නාලිකා පෙන්නන්න බැරි මුන්ගේ ඔලුවලට හෙන ගහලා තියන නිසයි. //

        ඇත්ත විචාරක මහත්මයා. ඉස්සර ජාතික රූපවාහිනියෙ ඩිස්කවරි ප්‍රෝගෑම් පෙන්නුව දවල් දවසෙත්, රාත්‍රී 10 න් වගේ පසුත්. මම ගොඩක් ආසාවෙන් බැලුව ඒ දවස්වල. විශේෂයෙන් සතුන්ගෙ හැසිරීම් රටා ගැන, රටරටවල සංචාරය කරන ඒව, යම් යම් දේවල් නිපදවන හැටි වගේ එව්ව මම ගොඩක් කැමැත්තෙන් බැලුව. ඒත් එක්වරම ඒව නැවැත්තුව. ඊට පස්සෙ එයාල උදේ ඉඳන් අඳින්න, උයන්න, සරසන්න, මහන්න මෙකි නොකී හැම කහල ගොඩම පෙන්නන්න ගත්ත උදය විකාශයක් පටන් අරන්. රෑටත් මොක්කු හරි ටිකක් ගෙන්නල වාචාල සාකච්ඡා, දැන් නම් හැම මඟුලකම ස්ටාර්ස්ල තෝරනව. අයිටීඑන් එක කාලයක් නැෂනල් ජියෝග්‍රැෆි ප්‍රෝගෑම් පෙන්නුව හවසට පැය දෙක තුනක්, උනුත් ඒක නැවැත්තුව. කෙහොමටත් මම දැන් ටීවී බලන එක නවත්වල තියෙන්නෙ, හදිසියෙ ඕන කරන වැඩසටහනක් තිබුනොත් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලනව.

      • ක්සැන්ඩර් | Xander said:

        මම කියන්න හිටිය ටික DDT කියලා. මමත් ඩිස්කවරි ගොඩක් ආසාවෙන් බලපු කෙනෙක්. ඊට අමතරව නැෂනල් ජියෝග්‍රෆි හිස්ටරි චැනල් මගේ ප්‍රියතම වැඩසටහන්. මේ ඔක්කොටම වඩා මම කාටුන් බැලුවා. සිංහල හඬ කවපු බාල ඒවා නෙවෙයි. නියම ඉංග්‍රීසි කාටුන්.. ඒ දෙයින් මගේ ඉංග්‍රීසි දැනුම වැඩි උනා. හින්දි ෆිල්ම්ස් බැලුවා. ඒ වුනත් හින්දි යම්තාක් දුරකට මම එතනින් ඉගන ගත්තා.

        ඒත් අද? මං ටීවී බලන්නෙම නෑ. ඊටවඩා මට ඔන්ලයින් බලන්න පුළුවන් හිස්ටරි චැනල් එක. ඩිස්කවරි එක. එක්කෝ ඩවුන්ලෝඩ් කරගෙන. ඒ මට ඇති.

        • ඇත්තටම මුට්ට කරගහන නාටාමි කෙනෙක් හැන්දෑවට වැඩ ඇරිලා ගංජා සුරුට්ටුවක් ගහන එකෙයි, ලංකාවේ බොහෝ දෙනෙක් දැන් කාලේ බලන ටෙලි නාට්‍ය බැලිල්ලෙයි අතර එතරම් වෙනසක් නැහැ. ගංජා සුරුට්ටුවෙන් අර මිනිහා විනාශ වෙනවා. අපේ කට්ටිය නින්දට යන්න කලින් වයිරය, ඉරිසියාව, කාමය, අනියම් ප්‍රේමය, ඔලුවට දාගන්නවා. ළමයින්ටත් ඒ දහ ජරාව බලන්න දෙනවා. සමහරු මගතොටේදී, කාර්යාලයේදී ඒවා අත්හදා බලන්නත් යනවා. ඉතින් රටක් දියුණු වෙයිද? මේවට වග කියන්න ඕනේ අම්බරුවෝ මේවා නොදන්නවා නෙවෙයි. උන් ගිලිලා ඉන්න පංච කාම සම්පත්තියෙන් එලියට ඇවිත් බලන්න උන්ට ඕනෙකමක් නැහැ.

      • ක්සැන්ඩර්, ඔන්ලයින් හිස්ටරි චැනල් එක බලන්නෙ කොහොමද කියන්ඩකො.. මම සෑහෙන දගලපු වැඩක් ඕක.. සල්ලි ගෙවලද බලන්ඩ ඕනා ?

      • ක්සැන්ඩර් | Xander said:

        මේ කතාවට ඔබතුමාගේ කටේ මොකවත් දාන්නද කියලයි මම කල්පනා කරන්නේ.. ඇත්ත. සහතික ඇත්ත. මිනි මරණ හැටි, අනියම් සම්බන්ධතා හදාගන්න හැටි වල ඉඳලා ගෙදර අපායක් කරගන්න ඕනේ කරන ඔක්කොම සුදුසුකම් ටික කියලා දෙන්න අද මේ යන ප්‍රවීනා මහගෙදර අංජනම වගේ නාට්ටි වලට පුළුවන්.

        මට සිරස එක්ක වගේම ඔව්ව කරන අනික් එවුන් එක්ක තියෙන්නේ මරාගෙන කන කේන්තියක්.

        • මේවා ගැන හොඳ කතිකාවක් පටන් ගන්න පුළුවන් ජාතික නාලිකා කරන්නේ, වන්දිභට්ට කමේ යෙදීම සහ, අර කුණු ජරාවම අනුකරණය කර, කිසිදු රඟපෑමේ හැකියාවක් නැති සීනිබෝල යොදවා අච්චාරු හැදීමයි. ගුරුවරුන්ට යුතුකමක් තියනවා ළමයින්ට මේවා පහදලා දෙන්න. නමුත් ඒගොල්ලොත් ඉන්නේ ඒ අච්චාරු ලෝකයෙමයි. හේතුව ඔවුන් ගුරුවරු වෙන්නේ පාසලට පමණයි.

  6. මම ඔය Balsa ගැන මුලින්ම ඇහුවේ ඔය පොත කියවද්දි. ඔය ගස් ‍තෝරන්නත් ඔවුන් ගිය වග මතකයි.
    විචාරක වගේම මමත් නවයුගය ලෝලියෙක්. Reader’s Digest ලෝලියෙක්!
    ඉතින් කියවමු කොන් ටිකි යාත්‍රාව ගැන!

  7. මේක නම් මම කවදාවත් අහලා තිබුන කතාවක් නෙමේ.. ආසාවෙන් ඉන්නෙ දෙවෙනි කොටස එනකම් මොකක්ද මේ කියලා බලන්ඩ..

    ඔබ ඔය නවයුගය එනකම් බලන් හිටියා වගේ මට මතකයි අපි විදුසර එනකම් බලාගන හිටියා.. ඒ අතර චිත්‍රකතාත් බැලීමේ අවසරය නිරායාසයෙන් ලැබුනෙ තාත්තා චිත්‍රකතා ගෙදරට ගෙන කියවීමට පුරුදු වී සිටි නිසාය. අලුත් පත්තර වල තීන්ත සුවඳ අදටත් මගෙ නහයට දැනෙනව වගේ..

    දැන් නම් කිව්වත් වගෙ ඔක්කොම මඥ්ඥන්…ඔක්කොම බොළද රසඥතාවය වෙනුවෙන් තමා සැකසෙන්නෙ.. ඉස්සර ගුවන් විදුලියෙන් මුවන් පැලැස්ස, මොනරතැන්න, කාලි දූපත වගේ නට්‍යය රසවින්දා අදටත් මතකයි..සිරස ගුවන් විදුලිය මුල් කලයේ හොඳ නිර්මාණ කරමින් හොඳ ගමනක ආරම්භයක් පෙන්නුවද පසුව නා නා ප්‍රකාර හේතු නිසා විනාශවී ගියා..

    එක අතකට බලපුවම ඔය ඔක්කොම අපිට හිතෙන් හැටිද කියලත් හිතෙනවා.. අතීතයෙ විඳි දේවල් ලස්සනට පෙනීම ජීවිතයේ ස්වභාවයයි නේද ? අතීතකාමය කියන්නෙ ඕකට නේද ?

    ඒවයින් වැඩක් නෑ .. “කොන් ටිකී” ගැන කියවන්ඩ ආසාවෙන් බලාගන ඉන්නෙ..

    • මා කිසිසේත් අතීත කාමයෙන් පෙලෙන්නෙක් නොවේ. වර්තමාන පරපුරේ මා ප්‍රියකරන ලේඛන/රංගන/ගායන/නර්තන/ගීත රචක කලාකරුවන් සෑහෙන්න ඉන්නවා.මුදල ඉස්සර කරගත් කිසිදු සමාජයක කලා නිර්මාණ බිහි නොවේ. රසඥතාව දියුණු නොවේ. බහුතරයක් සතු මොට්ට රසඥතාවයේ ප්‍රතිඵල තමයි අපි අද අත්විඳින්නේ.

      මොකද සැවුලාගේ විලාපයෙන් පස්සේ මොකුත් නැත්තේ?

      • “සිරස ගුවන් විදුලිය මුල් කලයේ හොඳ නිර්මාණ ” ඔව් මට මතකයි මුල්කාලෙ ගියා ලෝකෙ ප්‍රසිද්ධ ලේඛකයන්ගේ කෙටිකතා.. ඒවගේම සරලොක් කතා.. එව්වා නම් කියලා වැඩක් නෑ..

        ඒත් පස්සෙ කාලෙක අනික් ගුවන් විදුලි නාලිකාවල ජනප්‍රිය වුනු ‘අනේ පනේ’ බොළඳ
        පෙම්කතා නාට්ටි නැගලා යනකොට සිරසත් එව්වා පටන් ගත්තා..

        ඔය කුණු කතා හොයන එක අපේ රටේ සිරිතක් ද මන්දා?
        දැන් බලන්න පත්තරවල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ ඒ වගේම බ්ලොග් අවකාසෙත් වැඩිපුර නැගලා යන්නෙ ඒ වගේ එව්වනෙ.. මෙව්වා ඒවා දෙන මිනිස්සුන්ගෙ වැරදිද එව්වා ඉල්ලන මිනිස්සුන්ගෙ වැරදිද හිතාගන්න බෑ..

        • ඔය කුණු නිර්මාණ කාරයන්ගේ නිදහසට කියන අමු තිත්ත කුණුහරපයක් තමයි ප්‍රේක්ෂකයන්ගේ අභිමතයට අනුව තමයි නිර්මාණ කරන්නේ කියන එක. සිරසට ඕනේ කලේ නියම තැනට සිරස ඔබාගන්නයි. සිරසේ මුලින් හිටිය බොහෝදෙනෙක් සිරස අත හැරියේ ඒ හෙළුව එලිවූ පසුවයි. අද ගුවන්විදුලි නාලිකා, (ඒවා එකක්වත් සේවා නෙවෙයි කිසිම සේවයක් සපයන්නේ නැති කුණු ගලන නාලිකා) අසන්නන්ව රඳවා තබාගන්නේ වැඩසටහන්වල ගුණාත්මක භාවයෙන් නෙවෙයිනේ. බඩුමලු, සල්ලි, තව ඔය එක එක වැදෑමහවල් තෑගී දීලානේ. සෑම මිනිසේකුගේම පහත් රසය ඇවිස්සීමට දක්ෂවූ තරමට තමයි ඔය සියලුම ගුවන්විදුලි/රූපවාහිනී නාලිකා අද කාලයේ පවතින්නේ.

      • වැඩ ටිකක් වැඩියි විචාරක මහතා.. මැරිලා මැරිලා කාමරේට ආපුවාට පස්සෙ, ඔලුව කඩාගන ලියන්ඩ හිතක් නෑ.. තියන එකක් කියවලා කමෙන්ට් එකක් දාගන ආතල් එකේ ඉන්ඩ තමා හිත.. ඒ වුනත් මේ දවස් වල හීනියට වගේ පරිවර්තනයක් යනවා.. අර බෝරා ගැන.. 🙂

        ප්‍රධානම කාරනේ මට මේ මගුල දැන් එපා වෙලා තියෙන්නෙ…

        • සෙන්නා, මටත් වෙලාවකට හිතෙනවා මේක නවත්තලා දාන්න. නින්දට වැටෙනකොට ඔලුවට එනවා මාතෘකාවකට සුදුසු දෙයක්. ආයෙත් නැගිටලා කොලේක පොඩි සටහනක් දානවා. එපාම වෙන්නේ ටයිප් කිරීම. කියවනවිට ලියවෙන ක්‍රමයක් තිබුනනම් කොච්චර හොඳද? මාසෙකට එකක්වත් දාන්න බලන්න. බෝරා (ටෝ. . ) හොඳයි හුඟ දෙනෙක් ආසාවෙන් කියවයි.

      • ඇයි සෙන්නට අපිව එපා වෙලාද දැන්. 😀

  8. චූර්ණිකාව දිග වැඩි වුවද නොවුවද ඔබ කියන්නේ පරම සත්‍යයයි.. කියවීමේ පුරුද්දෙන් මිදුනු පරම්පරාවන් බිහිකිරී‍මේ සාපය, පාසලෙන් සාහිත්‍යය ඉවත් කිරීමේ සාපය අද අප ඇස් පනාපිටම දකින්නට තිබේ.. දිග සුසුමක් හෙලා හිත හදාගන්නවා ඇරෙන්නට වෙන කුමක් කරන්නද..!!??

    • සුසුම් හෙලීමෙන් පළක් නොවේ. අප කවුරු කවුරුත් අපේ දරුවන්ට ඒ අමා ගඟුල නැවතත් විවෘත කර දිය යුතුය. කිසිදු දෙස්පාලුවෙක් යලි ඒ දේවල් පාසල වෙත ගෙන නොඑනු ඇත.

      • ගෙන එන්නට පාසල් ඉතිරිවන සෙයක් නොපෙනේ.

        • ඒකත් ඇත්ත තමයි. ඔය අයියා එදා ඉඳලම ඉතින් ටියුෂන් කඩ කාරයානේ. එයත් එක්ක මමත් ටියුෂන් පන්තියක ඉගැන්නුවා 1976 දී. ඒ කාලේ ඉඳලම සල්ලි පස්සේ දිවීම සහ ගෑනු ළමයින්ට අනුකම්පාව තමයි තිබුනේ. අනික් අයියානම් නිකම්ම බයියා නිසා කීමට දෙයක් නැත.

  9. වැඩි විස්තර කෙසේදැයි නොදනිමි. ආයතනය ගැනත් නොදනිමි එහෙත් මේ දැන්වීම දැකි නිසා එය බෙදා ගන්නට හිතුවා: http://lirneasia.net/2012/07/we-are-recruiting-junior-researcher/

  10. අද කතාවෙ වීරය තෝර් හෙයඩල් නෙවි, විචාරක මහත්තයනේ. 🙂 ඒ වුනාට ඒකත් නරකම නෑ. මටත් ඔය වගේ කලකිරීමක් තියෙනව දැන් තියෙන සමහර විකාර වැඩ ගැන, ඒක ඉතිං හුඟ දෙනෙක්ට පොදු සංසිද්ධියක්නේ. ඉතිරි ටික කියවන්න ආසාවෙන් ඉන්නව, ඉක්මනට ලියන්න.

    • ඇත්තටම මමත් මුලින් කියන්න ගියේ මා පාසල් යන කාලයේ දැනුම හොයපු හැටි ගැන. නමුත් එක්වරම සිතට ආ ආවේගයත් කලකිරීමත් නිසයි ටිකක් දිගට කරුණු ලියවුනේ. ඉක්මනින් ඉතිරි කොටස දෙන්නම්.

  11. අම්මයි අප්පච්චියි එකතු කරපු නවයුගය, රසවාහිනී, ශ්‍රී, සඟරා, මම එකතු කරපු නවයුගය මිහිර පත්තර තවමත් සුරක්ෂිතව තියනවා. ඒ දවස්වල ආස කරන රේඩියෝ වැඩසටහන් දෙකක් තමයි සඳැල්ල (ලූෂන් බුලත්සිංහල ) සහ සැරිසර (ප්‍රේමකීර්ති ).

    උඩ ෆොටෝ එකේ ඉන්න N.Q. සූරියබණ්ඩාර සමන්ත සූරියබණ්ඩාරගේ පියා නේද?

    • ඔය සඟරා ටික රත්තරන් වලට වඩා වටිනවා.ඒවා ආශ්‍රයෙන් ලියන්න පටන්ගන්නකො හොඳ ලිපි පෙළක්. සූරියබන්ඩාරගේ කතාව මම අහලා තිබුනත් සනාථ කරගන්න හේතු නැති නිසයි එහෙම ලිව්වේ නැත්තේ. පින්තූරය ගත්තේ Sri lanka Army 50 Years on Souvenir එකෙන්.

  12. මේ චාරිකාව ගැන පොතක් කියෙව්වා පොඩි කලේ. පුතාට අරගෙන දෙන්න බැලුව ,පොත් කඩවල එක නැහැ. WEB SITE එකවත් පෙන්නන්න පුළුවන් වේවි නේද ?

  13. ක්සැන්ඩර් | Xander said:

    කොහෙද, මේ ටිකේ වැඩ වැඩියි සැහෙන්න. ඒ අස්සෙම හීනියට ටිකක් ලියාගෙනත් යනවා.
    මේක කියෙව්වාම මම බැලුවේ මේ මොකක්ද කියලා. ඇත්තටම මම මේ කතාව දන්නේ නෑ. අදමයි ඇහුවේ. ඒ හින්දා ඔබතුමාගේ කතාව එනකම් බලා ඉන්නවා.

    • දෙවැනි කොටස සංස්කරණය කරමින් පවතිනවා. තුන්වැනි කොටසකටත් යන්න වෙයි වගේ. එහෙම වුනොත් නීරස වෙයිද මන්දා.
      වැඩ වැඩිනම් දිග ලිපි නොලියා කෙටි ලිපි කීපයක් ලියන්න. එකවර පලකරන්න බලාගෙන.

  14. සත්තකින්ම විචාරක තුමා ඔබගේ දුවනිය උදාහරනයකට ගෙන කීදේ හිසනමා පිලිගනිමි.70 දශකයේ ඉපදුනු මාවැන්නන්ට ඒ කාල්යේ ඉගැනුමට..,විනෝදාංශයට තිබුනේ මොනවාද..? අද මෙන් හරසුන් දේනොව.,යම් දෙයක්,යම් ආදර්ශයක් ඉගැනුමට ගතහැකි දේ නොවේද..?
    අපිට කවි කියාදෙන්න අපේ ආච්චිලාට ඒ දිනවල වෙලාව තිබුනි. දැන් අපේ අම්මලාට අපේ ගෙවල් වල පැමින මගේ දරුවන්ට කවි,ගාථා,උපමා,සිංදු..යනාදිය කියාදීමට..සුන්දර වූ රාත්‍රියන් නැත. එය ටී.වී යන්ත්‍රය විසින් සොරාගෙන ඇත.
    අනික් කාරනය අපේ නිවෙස් වලට දැන් වගේ පත්තර ගත්තේද නැත..මිහිර,විජය..යන පත්තර කුඩාකාලයේ ගත්තද..ගෙදරට සීනි ඔතාගෙන ආ පත්තර කැබැල්ලද කියවීමේ පුරුද්දක් අපිට තිබුනි. එහෙත් දැන් ලමයින් විශය මූලික කාරනා මිසක් වෙන දෙයක් නැත.
    ඔබ කුමක් හෝ ලොකු කාරනයක් කියන්නට තතනන බව පෙනේ…ඉදිරියට බලමු..!

    • මට දුක මේකයි. අපි එස්.එස්.සී. පාස් වෙනකොට බය නැතුව පාසලේ පන්තියකට ගිහින් උගන්නන්න හිතේ හයිය වගේම දැනුමත් තිබුනා. දැන් දැනුම සොයායන්න මොනවද අඩු? මේ පහසුකම් අපිට තිබුනානම් අපි කොහේ නවතියිද? මම අදටත් දැනුම හොයන්නේ පරලොකෙට ගෙනියන්නද? මේ විදිහට හරි කාට හරි බෙදා දෙන්න නෙවෙයිද? මම කියන්නේ සංස්කෘතික පොලීසි දාන්න කියලා නෙවෙයි. යතාර්ථය අවබෝධ කරදීමේ වැඩ පිළිවෙලක් තිබිය යුතුයි කියන එකයි.
      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

  15. ඉදිරියට ලියන්න ඉන්න කොටසට හානියක් වේ නම් සබැඳිය ඉවත් කරන්න.

  16. ඉතාම වැදගත් පොස්ට් එකක්…මහන්සිය නම් අපතේ යන්නේ නැහැ ඔබේ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: