විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 ත්‍රිවිධ හමුදාවේ නිලයන් සහ එහි නිල ලාංඡන ගැන ලිපියක් ලිවීමට බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබෙනවා. ඒ ලිපිය ඉදිරිපත් කරන්නට පෙර එක් එක් රෙජිමේන්තු වල සාමාන්‍ය සෙබළකු හඳුන්වන ආකාරය ඉතා කෙටි ලිපියකින් කියා දෙන්නටයි මේ උත්සාහ කරන්නේ. ඔබ බොහෝ දෙනෙකුගේ ඥාතීන්, හිතවතුන් ඇතිනේ යුද හමුදාවේ. ඔවුන්ගේ නමට ඉදිරියෙන් ලියන නිල නාම සමහරවිට ඔබට තේරුම් ගැනීමට අපහසු මෙන්ම තරමක් විකාරරූපී බවක්ද ඇති බව පෙනීගොස් ඇති. ඉතින් එ ගැටළු සහගත බව ලිහන්නයි මේ උත්සාහය. ඉදිරියේදී සියලුම නිළ හඳුන්වා දෙනවා. අද සාමාන්‍ය සෙබලා ගැනයි ලියන්නේ.

සාමාන්‍යයෙන් ඕනෑම රැකියාවකට හෝ වෘත්තියකට අදාළ නිලනාම තිබෙනවා, ඒ ගැන ඊට පෙර අහලා නැති කෙනෙකුට අවබෝධ කරගැනීමට අපහසු. රජයේ එක්තරා කාර්යාලයකට ලිපියක් ලැබුනලු ස.සු.කො.බ.කො. කියලා අත්සන් කරලා. ඒක දැකපු ඒ කාර්යාලයේ විෂයය ලිපිකරු සටහනක් දැම්මලු මො.කො.ය.කො. කියලා. මේක දැකපු කාර්යාලයේ ලොක්කා අර විෂයය ලිපිකරු ගෙන්වලා, පොළොවේ අඩි හප්පමින් කෑගැහුවලු මොකද තමුසේ මේ ලිපියේ මොකොයකො කියලා ලිව්වේ, මේ ලිපිය එවලා තියෙන්නේ සහකාර සුරාබදු කොමසාරිස් බටහිර කොට්ඨාශය කියලා දන්නේ නැද්ද? කියලා. ලිපිකරු කිව්වලු කවුද සර් ඕවා දන්නේ. මම ඔය ලියලා තියෙන්නේ මොහු කොහෙද යවන්නේ කොහොමද කියලයි, කියලා කිව්වලු. ඒ වගේම මට මතකයි අපි පාසල් යන කාලයේ පොත්වල තිබුනා අ.ග්‍ර.ප්‍ර.උ.ම.ලේ. කියලා තනතුරක්. ඒ කියන්නේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම් කියන එකයි.

ඉතින් ඒ චූර්ණිකාවෙන් පස්සේ මා ඔබව රැගෙන යන්නේ යුද හමුදාවට අලුතෙන්ම බැඳුන සෙබළකු සහ සෙබළියක හඳුන්වා දෙන්නටයි. හමුදාවට අලුතෙන්ම බැඳී පුහුණුව ලබන සොල්දාදුවා හඳුන්වන්නේ ආධුනික සෙබළ  යනුවෙන්. (Recruit – රෙක්රූට් ) ඒ සඳහා යුද හමුදාවේදී පාවිච්චි කරන කෙටි යෙදුම තමයි ආසෙ. අපි හිතමු ඒ.බී. ගුණපාල කියන තරුණයා හමුදාවට බැඳී පුහුණුව ලබනවා කියලා ආධුනික සෙබළකු ලෙස. පුහුණුව ලබන කාලයේදී, ඔහුගේ නම ලියන්නෙත්, කවුරු හරි හමුදා නිලධාරියකු ඇසුවොත් කියන්නෙත් , ආධුනික සෙබළ ගුණපාල ඒබී  යනුවෙන්. යුද හමුදාවේ බලලත් නිලධාරි 1 (මේ නිළය හා අනෙකුත් සියලු නිළ පිළිබඳව ඉදිරියේ එන ලිපියකින් විස්තර කරනවා) සහ ඊට ඉහල නිලධාරීන්ගේ හැර, ආධුනික සෙබලාගේ පටන් බලලත් නිලධාරි 2 දක්වා සියලු නිලයන්ගේ නමේ මුල අකුරු ලියන්නේ නමට අගින්. ඒ නිසයි ඉහත ආසෙ ගුණපාල ඒබී කියා මුල අකුරු අගට ලියා තිබෙන්නේ. එමෙන්ම මුල අකුරු ලිවීමේදී අකුරු අතර තිත් තබන්නේ නැහැ, කිසිදු නිලයකට අයත් කෙනෙකුගේ නම ලිවීමේදී. ඉතින් ගුණපාල අධිකාරි ලත් නිලධාරියකු වුනානම් ඔහුගේ නමට ඉදිරියෙන් තමයි මුලකුරු ලියන්නේ අපි හිතමු ගුණපාල කපිතන් (Captain) කෙනෙක් කියා, එවිට ලියන්නේ කපිතන් ඒබී ගුණපාල යනුවෙන්.

දැන් ආධුනික  සෙබළා එතන තියලා, යමු ආධුනික සෙබළිය වෙතට. හා. . . . හා. . . . ඔච්චර ලංවෙන්න එපා. නිකම් බලලා යන්න විතරනේ ආවේ. තව කොහොම තියෙයිද අර සුවඳ හමන නයිට් ගාඩ් එක දැක්කානම්? ආධුනික සෙබලියත් රෙක්රූට්ම තමයි. වැඩි විශේෂයක් නැහැ. නමුත් එයා ආසෙ නෙවෙයි ආකාසෙ ඒ කියන්නේ ආධුනික කාන්තා සෙබළ කියන එකයි. සාමාන්‍යයෙන් හමුදා කඳවුරකට ඇතුළුවීමේදී/පිටවීමේදී කඳවුරේ ප්‍රධාන දොරටුව අසල ඇති මුර හලේ (Guard Room) තමන්ගේ හමුදා අංකය,නිළය,නම,පිටවීයාමට හේතුව, එසඳහා ඇති අවසරය, ආදිය සටහන් කල යුතුයි. (නිලධාරීන් නොවන අය පමණයි) ඇතුළුවීමේදී ප්‍රධාන ගේට්ටුවේ ඉන්න සෙබලාට සැකයක් තිබේනම්, ඒ එන්නේ තමන් නොදන්නා කෙනෙකු බව, හමුදාපති ආවත් ඔබ කවුද කියා විමසිය හැකියි. ඔන්න ඉතින් සෙබළියක් වගේ කෙනෙක් එනවලු කඳවුරට ඇතුළුවෙන්න. ගේට්ටුවේ රාජකාරියේ හිටිය සෙබළා ඇයව දන්නේ නැහැ. අනික දැන් කළුවර වැටීගෙන එන වෙලාව. සෙබළා ඇහුවා ‘කවුද?’ කියලා. ‘ආකාසේ චන්ද්‍රා ඒවී’ කියාගෙන කෙල්ල කඳවුර ඇතුලට යන්න හැදුවා. සෙබළා තුවක්කුව ඇගේ බෙල්ලට තියලා කිව්වා ‘මේ නංගි. . .  චන්ද්‍රයා නම් ආකාසේ තව ටිකකින් ඒවී, ඒක මාත් දන්නවා, අද පෝයනේ. මැරුම්කන්නේ නැතුව නම කියපන්’ කියලා. බලනකොට ඒ කෙල්ල ආධුනික කාන්තා සෙබළ චන්ද්‍රා. මුල අකූරු තමයි ඒවී. A V.

(වරක් අපේ මේජර් ජෙනරල් කෙනෙකු ගමන් කල වාහනය, සාමාන්‍ය සෙබළකු විසින්, රාත්‍රියකදී, කොළඹ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී, නැවැත්වුවා. ජෙනරල් හිටියේ නිළ ඇඳුමෙන්. සෙබළා ජෙනරල්ට අචාර කර ‘සර් කවුද’ කියා විමසුවා. ජෙනරල් කිව්වා,’ මම ජෙනරල් අහවලා’ කියලා. සොල්දාදුවාකිව්වා ‘මම සර්ව දන්නේ නැහැ, කරුණාකරලා හැඳුනුම්පත දෙන්න’ කියලා. ජෙනරල් හැඳුනුම්පත පෙන්නුවාම සෙබළා නැවතත්  ජෙනරල් ට අචාර කර, ‘බොහොම ස්තුතියි සර්’ කිව්වා. ජෙනරල් පිටත්ව ගියා. පසුවදා ඔහුව තම කාර්යාලයට ගෙන්වූ ජෙනරල්, ඔහුව ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කළා. හරියට රාජකාරිය කල නිසා.)

ආධුනික සෙබළා පුහුණුව අවසන්වී විසිර යාමෙන් (paas out) පසු සාමාන්‍ය සෙබළකු බවට පත් වෙනවා. එවිට ඔහු තම නමට ඉදිරියෙන් ලියන්නේ සාසෙ යනුවෙන් සාමාන්‍යයෙන් පාබල හමුදාවක සෙබළකු සහ සමහර සේවා ඒකක (හරි. . . .  හරි. . . .  පාබල මොනවද සේවා මොනවද පස්සේ ලිපියකින් කියනවා) සෙබළුන් තමයි සාසෙ යනුවෙන් හැඳින්වෙන්නේ. හමුදාවේ එක් එක් රෙජිමේන්තු තමන්ට විශේෂවූ සම්ප්‍රදායයන් අනුව තමයි සාමාන්‍ය සෙබලාව නම් කරන්නේ. ඒ අනුව සෙබළකු සාමාන්‍ය සෙබළ ලෙසත්, රෙජිමේන්තුවට ආවේනික විශේෂ නම් වලින් තමන්ගේ සාමාන්‍ය සෙබලාව හඳුන්වන රෙජිමේන්තුත් මෙසේයි. (නම වෙනස් වුනත් තත්වයෙන් වෙනසක් නැහැ. සියලු දෙනාම සාමාන්‍ය සෙබළු)

මෙහි දක්වා ඇත්තේ මූලික වර්ගීකරණය පමණයි. මෙයට ව්‍යතිරේක වශයෙන් යෙදෙන නිළ නාම ඇතත් ඒවා මෙහි දක්වා නැහැ. ඊළඟ ලිපියකින් ඒ පිලිබඳ විස්තර බලාපොරොත්තුවන්න.

Advertisements

Comments on: "ආසෙ, ආකාසෙ, සාසෙ, රසෙ, තුසෙ, ඉසෙ, පුසෙ, සංසෙ, රෝසෙ, කාසෙ, මොනවද අනේ මේ" (76)

  1. වටිනා කියන විස්තරයක්.
    …
    …ඊළඟ ලිපිය එනතෙක් බලා සිටිමින්………..

  2. ටිකක් අසීරුවෙන් අවබෝධ කරගන්න ඕන කරුණු ටිකක් සරලව කියන ගමන් ඒ සම්බන්ධ විහිළු කතා ටිකකුත් කියල තියන නිසා ඒකාකාරී ගතිය නැතිවෙල තියනව. අනිත් තොරතුරුත් ඉක්මනට ලියන්න විචාරක මහත්මයා, කියවන්න බලාගෙන ඉන්නව ආසාවෙන්.

  3. හිකිස්. මොකොයකො ?

    මමත් කලින් අහලා තිබුනා, “ආකාසේ තාරුකා එල්ලේ” කියන එක.

  4. කවුළුව said:

    බුද්ධිත් මෙවගේ එකක් ලියලා තිබුනා.ඒකේ තිබ්බේ ආකාසෙ තාරුකා එල්ලේ’

  5. දන්නෙ නැති ගොඩක් දේවල් තියන විස්තරයක්. මැද්දෙන් හිනාත් යනවා. ජය !

  6. ආසෙ, ආකාසෙ, සාසෙ, රසෙ, තුසෙ, ඉසෙ, පුසෙ, සංසෙ, රෝසෙ, කාසෙ ඔක්කොම ගැන දැනගත්තා.. පුරෝගාමී බලකාය කියන්නෙ මොකක්ද?

    බනි 1 = CSM, බනි 2= CQ නේද?

    මම හිතුවෙ හමුදාවෙ ඉන්න සියලුම දෙනාගෙ නම්වල මුලකුරු පස්සෙ කියලයි.. අද තමා හරියට කතාව දන්නෙ.. ‘ආකාසේ චන්ද්‍රා ඒවී’

    අර ලාකො වෙච්ච සාසෙගෙ කතාව ඇහුවම මට කාලෙකට කලින් නිලධාරියෙක් කියපු කතාවක් මතක් වුනා.. යුද්ධෙදි එක සාසෙ කෙනෙක්වත් මැරිලා නෑ..

    කොට්ට උර කාරයො දන්නව නේද?

    අවසාන වශයෙන්, විරාමයක් ගන්නවා කිව්වාම මම හිතුවෙ ආයෙ මාසෙකටවත් ලිපියක් දකින්න නොලැබේවි කියලයි.. දැන් සතුටුයි..

    • පුරෝගාමී බලකාය මූලික වශයෙන් කරන්නේ ඉදිකිරීම්, මංමාවත් සැකසුම්, වැනි කටයුතු සඳහා අධාරක සේනාවක් ලෙස ක්‍රියා කිරීමයි.
      බලලත් නිලධාරි I = Worrant Officer Class I (WO I)
      CSM = Company Seargeant Major ඒ තනතුර දරන්නේ බලලත් නිලධාරි II (WO II) නිලයේ කෙනෙක්.
      CQ මෙය ලිවිය යුත්තේ CQMS ලෙසයි. CQMS = Company Quarter Master Seargeant මේ තනතුර දරන්නේ මාණ්ඩලික සැරයන් නිලයේ කෙනෙක්. මාණ්ඩලික සැරයන් සැරයන්ට ඉහළ බනි II ට පහළ නිලය.මේ ගැන පසුව සවිස්තරව ලියනවා.
      යුද්දෙදි සාමාන්‍ය සෙබළු මැරුණේ නෑ කියන්නේ, මියගිය පසු ඔවුන් ඊළඟ නිලයට උසස් කරන නිසයි.
      මොන විරාමද? ඉල්ලීම් ලැයිස්තුව දැක්කම බයත් හිතෙනවා.

      • පුරෝගාමී බලකායේ මූලස්ථානය තියෙන්නේ කළුතර මතුගම හරහා පැලවත්තේ නේද‍? මට මතක විදහට ආදර්ශ පාඨය “ශ්‍රමය ජාතියක ජීවයයි” . මම ගිහින් තියෙනවා මාළු හදන හැටි සෙබළුන්ට කියලා දෙන්න. එකේ තියෙන පොකුණු වල මාළුත් දැම්මා.
        පුරෝගාමී බලකායේ මූලස්ථානය තියෙන්නේ කළුතර මතුගම හරහා පැලවත්තේ නේද‍? මට මතක විදහට ආදර්ශ පාඨය “ශ්‍රමය ජාතියක ජීවයයි” . මම ගිහින් තියෙනවා මාළු හදන හැටි සෙබළුන්ට කියලා දෙන්න. එකේ තියෙන පොකුණු වල මාළුත් දැම්මා.
        කොට්ට උර කාරයා කියන්නේ කව්ද? මොනවාද?

        • මෑතකදී තමයි කළුතරට ගෙනිච්චේ. ඊට කලින්නම් තිබුනේ කොළඹ. ආදර්ශ පාඨය නම් මට මතක නැහැ. කොට්ට උර කාරයා ගැන ලියලා තිබුනේ හරී නේද? ඔන්න හරී, පැහැදිලි කිරීමක් දෙන්න.

    • විචාරක මහත්මයා ඒ ගැන අහලා නැද්ද? එක අතකට මේක ශිෂ්‍ය භටයන් අතර තියෙන ව්‍යවහාරයක් විතරද මන්දා? ශිෂ්‍ය භටයො කඳවුරේ නිලධාරීන් අමතන්නෙ මෙහෙමනෙ.. (ඇහෙන්න නෙමෙයි)

      2 ලුතිතන්- තරුව
      ලුතිතන් – තරු දෙක
      කපිතාන් – තරු තුන
      මේජර් – රාජ්‍යය ලාංඡනේ

      ඊට අමතරව ඉන්නවා ආධුනික නිලධාරී (ආනි). මේ ගොල්ලන්ට අර උඩ කිව්ව කට්ටියට වගේ උරහිසේ තියෙන පටිවල පළඳින්න ලාංඡන නෑ. ඒ වෙනුවට සුදුපාට රෙදි වැස්මකින් ඒ පටි වහලයි තියෙන්නෙ.. පටි වලට උරයක් දැම්මා වගේ.. ඉතින් ඒ ගොල්ලන්ට කියන්නේ කොට්ට උරේ…

      විචාරක මහත්මයා තව පැහැදිලි කරයි..

  7. මඳක් දැනගෙන හොඳට දැනගන්න ආසාවෙන් හිටපු ක්ශේෂ්ත්‍රයක්…. ස්තූතියි මේ ලිපියට.

  8. මාරයාගේ හෝරාව... said:

    ” ආධුනික සෙබලියත් රෙක්රූට්ම තමයි. වැඩි විශේෂයක් නැහැ. නමුත් එයා ආසෙ නෙවෙයි ආකාසෙ”

    කොහොමත් සමහරු ආපු අළුතම වගේ ඉන්නේ ආකාසේ තමා…:D අත්දැකීමෙන් කියන්නේ…
    —————————

    “කිතුල්ගල ලෙව්වන්දූව ආරච්චිගේ මල්ලප්පු” සාමාන්‍ය සෙබලෙක් විඳියට හමුදාවට බැඳුන වෙලාවේ නම ලිව්වේ කොහොමද..?

    —————————

    හොඳ ලිපියක්.. ඒ දවස්වල ඔය අකුරු බස්සට දැමිල්ල ගැන කියපු කතා එමටයි… හුගක්ම ගුවන් සෙබලියෝ පුහුණුවට ආව දවස්වල…

    • ඔය වගේ උදාහරණ රාශියක් තියනවා මාරයෝ. ලි . . ය. . .න්. . .න. . .ට. . . ලෑ. . ජ්. . ජ. . යි
      යුද හමුදාවට මුලින්ම නිලධාරිනියන් බඳවාගෙන පුහුණු කරපු කාලේ මම හිටියේ දියතලාව කඳවුරේ. ඒ නිලධාරිනියන්ව පුහුණු කරන්න ඇවිත් හිටියා එංගලන්ත යුද හමුදාවේ නිලධාරිනියන් පිරිසක්. කියලා වැඩක් නෑ මාරයෝ ඔයා හිටියනම් එහෙම . . . . . . . .

  9. ඉල්ලීම් ලැයිස්තුව දැක්කම බයත් හිතෙනවා

    ජීවිතයෙන් සමුගන්න දවස වෙනකං මහත්තයට ඔය පරිප්පුව කන්ඩ වෙනවා.

  10. නියමයි විචාරක අයියේ,
    මටත් මේවා අංඟකොරොස් වෙලා තිබෙබේ,
    සුපිරියට ලියල තියනවා

  11. ක්සැන්ඩර් | Xander said:

    ආසාවෙන් කියෙව්වා. මේ මම නොදන්නා දේවල්. ඉතින් කඩාගෙන ඇවිත් කියවලා යන්නේ. දිගටම ලියන්න ඔබට දිරිය ලැබේවා.. බොහොම ස්තුතියි ලිපියට.

    • ස්තුතියි ක්සැන්ඩර්, ඔබ මුහුණ දුන් අවාසනාවන්ත සිද්ධිය ගැන කනගාටුව ප්‍රකාශ කිරීමට පවා අමතක වුනේ මට එය අසා ඇතිවූ කෝපය නිසයි. පරෙස්සමෙන් වැඩ කරන්න.

  12. අපේ දෙපාර්තමේන්තුවෙත් පුරුද්දක් තියෙනවා තනතුර අවසානයට අනුයුක්ත වෙලා ඉන්න සේවා ස්ථානය කෙටියෙන් දක්වන (උදා. – ප්‍රධාන කාර්යාලය – ප්‍ර. කා.) ඒත් මම දෙපාර්තමේන්තුවෙ ‘පුහුණු කේන්ද්‍රය’ ට අනුයුක්ත වෙලා ඉන්න නිසා මට ඒ විදියට මගෙ සේවා ස්ථානය කෙටියෙන් දක්වන්න බෑ.

    • කියලා වැඩක් නෑ. මතකද ඉස්සර ගුවන්විදුලියේ ප්‍රචාරය වුනා ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, තිදෙනා ඉදිරිපත් කල විනෝද සමය. එහි එක වැඩසටහනකදී අමාරිස් අයි‍යා (සැමුවෙල්) ගේ මුල අකුරු සමහ නම අහනවා හාමු මහත්තයා. (ඇනස්ලි) එතකොට අමාරිස් අයියා කියනවා පී.කේ. අමාරිස් කියලා. හාමු මහත්තයා කියනවා මොකටද ඉංග්‍රීසි, සිංහලෙන් කියන්න කියලා. එතකොට අමාරිස් අයියා කියනවා ‘පුවක්පිටියේ කේවට්ටයලාගේ’ අමාරිස් කියලා.

      • කලකට පෙර පාර්ලිමේන්තුවෙ විවාදයක් ගියාලු මන්ත්‍රීවරුන්ගේ නම් සිංහලෙන් කියන්න ඕනා කියලා.. හරියට විජමු ලොකුබණ්ඩාර කියලා කියනවා වගේ.. හැබැයි මේකට එක් මන්ත්‍රීවරයෙක් විරුද්ධයි.. නම මුනිදාස ද සිල්වා..
        ‘මම ඔය වැඩේට සම්පූර්ණයෙන් විරුද්ධයි ස්වාමිනී. ඕකෙන් මට වෙන්නෙ අපහාසයක්’
        ‘තමුන්නාසේලා කියන්නෙ හුංගම කංකානමලාගේ මුනිදාස ද සිල්වා වන මට මුලකුරු ශුද්ධ සිංහලෙන් ලියන්න කියලද?’

        සැ.යු. කතාව ප්‍රබන්ධයක්ද නැතහොත් සත්‍යයැක්දැයි මම නොදනිමි.

        • ඇයි දෙයියනේ දැන් කාලේ මේක මගේ නම වුනානම්, මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනානම්, මම ඉහලින්ම කැමති වෙනවා. මොකද මන්ත්‍රී වරියෝ මගේ නම ඒ විදිහට කියනකොට කොච්චර මිහිරිද?

      • ඇයි අර පුන්‍යසිරියි කමලාවතියි ලොරියක් අරන් ඒකට දාපු නම..

      • රෝසිලා පබාලා එහෙමද?

  13. “ගේට්ටුවේ ඉන්න සෙබලාට සැකයක් තිබේනම්, ඒ එන්නේ තමන් නොදන්නා කෙනෙකු බව, හමුදාපති ආවත් ඔබ කවුද කියා විමසිය හැකියි…”

    විමසන්න නම් පුළුවන්..? විමසුවට පස්සෙනේ වැඩේ තියෙන්නේ… 😀 හමුදාපතිත් අර මේජර් ජෙනරල් වගේ හැසිරුනොත් හොදයි…

    – ප්‍රයිවෙට් බීට්ල් බෙයිලී…

    • නැහැ එහෙම වෙන්නෙම නැහැ. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. මා දන්නා එක නිලධාරියකු ඉන්නවා නිල ඇඳුමේ උරහිසේ අඳින්න ඕනේ තරු ඔලුවේ ඇඳගත්ත. එයා 1990 ගණන්වල වවුනියාවේ සේවය කරද්දී රාත්‍රී කාලයේදී ගියා බංකර් පරීක්ෂා කරන්න. එක බංකරයක මුරයේ සිටි සොල්දාදුවා ‘කවුද එන්නේ’ කියලා ඇහුවා. අර නිලධාරියා හිතන්නේ ඔහු එන වෙලාව සියලු දෙනා දැන සිටිය යුතුයි කියලයි. ඉතින් කෝපයට පත් නිලධාරියා ‘උඹලගෙ අම්මා’ කියලා උත්තර දුන්නා සොල්දාදුවා ‘අපේ අම්ම ඉන්නේ ගෙදරනේ ප. . හිටු තොගේ කොළ බොක්ක එලියට අදින්න’ කියලා තුවක්කුව කොක් කළා (වෙඩි තැබීමට සූදානම් කළා) ‘හෝව් හෝව් මම යකෝ, මම කැප්ටන් . . . ගල’ කියලා නිලධාරියා මර බයේ කෑගැහුවා. මෙය සම්පූර්ණ සත්‍ය කතාවක්.

      • LTTE කාරයෝ බංකර් වලට ඇවිත් හැංගිලා ඉදන් කුණුහරුප කියල කෑ ගහනවා කියල මම අහල තියනවා.

        • මෙහෙමයි වුනේ. සමහර ප්‍රදේශ වලදී උන් අපේ බංකර් වලට ඇසෙනතෙක් මානයේ තිබුණු උන්ගේ බංකර් වල ඉඳලා කෑගැහුවා. ස්පීකර් දාලා කෑ ගැහුවා. ඒ අපේ කාලතුවක්කුවල ඉලක්කය හොඳ නැති කාලේ. ඉලක්කය හරි ගියාට පස්සේ (. . . . . .) හැබැයි අර ඊනියා සාම ගිවිසුම කාලේ උන් අපිට සරම උස්සලා පෙන්නපු අවස්ථා තිබුනා.

      • බිමට වැටෙන ගෙඩි වලට වඩා ගහේ තියෙන ගෙඩි වැඩී, රසයි… ගහ හෙල්ලුවාම තමයි ඒවා එකක් දෙකක් වැටෙන්නේ… ඇනෝ හරි මේ හංගගෙන ඉන්න ඒවා ලියන්නකෝ 😀

      • අර සෙබලා හිතුවද දන්නේ නැනේ LTTE කාරයෝ මේ සැරේ නම් කුණුහරුප කියන් බංකරේටම එනවා කියලා.

      • යුද්දෙට ගියාම ඔහොම විකාරයි විහිලුයි කරන්න යන අයට ඉක්මනටම ආපහු එන්න වෙනවා කියල අහල තියෙනවා පෙට්ටියක.

  14. මෙන්න තවත් අතුරු ප්‍රශ්නයක්.. ආසෙ හමුදාවට බැඳිලා නැද්ද? ආසෙ කෙනෙක් පැනගියොත් ඔහුට බලපැවැත්වෙන්නෙත් අනිත් අයට පැනවෙන නීතිමද? නැතිනම් ‘ගිය එකා ගියාවෙ’ කියලා නිකා ඉන්නවද?

    • හමුදාවට බඳවා ගන්නේ සුදුසුකම් පරීක්ෂා කරලා, සම්මුඛ පරීක්ෂණ තියලා, වයිද්ය පරීක්ෂණ තියලා ඉවර වෙලානේ, පුහුණු කාලෙදිත් වැටුපක් ගෙවනවානේ. ඉතින් ඒකා හමුදාවට අයිතියිනේ. ඌ පැනලා ගියොත් අල්ලාගෙන ආයුතුමයි. අල්ලාගෙන ඇවිත් හමුදා නීතිය අනුව ක්‍රියාකළ යුතුමයි. (අම්මපා ඔයා එහෙම කෙනෙක්ද?)

  15. ඔය සමහර කදවුරු වලට යද්දී රහස්පද (password) හෙම කියන්න ඕන නේද?තව අර අතේ දාන පටියේ (අතේ කිව්වට මැණික් කටුව හරියේ) පාටත් එක එක වෙලාවට වෙනස් වෙනවා කියලා අහල තියෙනවා. ඒවා වැරදුනොත් හෙම අර සෙබලා, කපිතාන් තුමාට කිව්ව දේ ඇත්තටම වෙනවා කියලත් අහල තියෙනවා.

    • යුද හමුදා ක්‍රියාන්විත රාජකාරී වලදී හඳුනාගැනීම ඉතාම වැදගත්. ඔත්තු සෙවීම ඉතා දියුණු නිසා. තමන්ගේම කඳවුරේ වුනත් සියලුම දෙනාටම ඇතුළුවිය නොහැකි තැන් තිබෙනවා. ක්‍රියාන්විත මැදිරිය, (Operation Room = Ops Room) අවි සහ පතරොම් ගබඩා, එවැනි තැන්. එසේම කාලතුවක්කු, යුද ටැංකි, ආදිය රඳවා තබන ස්ථානත් රහස්‍යභාවය ඉහලින්ම රකින ස්ථානයි. ඉතින් මේ සඳහා යොදන එක උපක්‍රමයක් තමයි හඳුනා ගැනීමේ වර්ණ පටි. මේවා සමහර විට පැයෙන් පැය වෙනස් කරනවා. එසේ කරන්නේ දැඩි ආරක්ෂාව පවත්වාගනීමටයි. දැන් ඔබ අතේ තියන වර්ණ පටිය ගලවා වෙනත් වර්ණයක් අඳින්න කියා ගුවන්විදුලි පණිවිඩයකින් කිව හැකියි. උදාහරණ:- ‘දැන් බළලා’ කිව්වොත් නිල්පාට, ‘දැන් කොටියා’ කිව්වොත් රතුපාට, වගේ එක් එක් වර්ණයට රහස් වචනයක් යෙදිය හැකියි. ඒ විදිහට කියනකොට එය දන්නා අය හැර වෙනත් අයට හිතාගන්න බැහැ මේ මොකක්ද කිව්වේ කියලා. රහස් පදය සකසන්නේ වචන දෙකක් ගැලපීමෙන්. උදාහරණ:- ‘කළු බල්ලා’ යනු අද දිනයේ රාත්‍රී කාලය සඳහා අනුමත රහස් පදය යයි සිතන්න. මම රාත්‍රී මුරයේ ඉන්න වෙලාවට ඔබ මා දෙසට එනවා යයි සිතන්න. මුලින්ම මම කියන්නේ නවතිනු කියලයි. (නැවතුනේ නැත්නම් බඩුම තමයි) ඔබ නැවතුනාම මම කියනවා ‘කළු’ කියලා. ඔබ ‘බල්ලා’ කිව්වොත් (මට නෙවෙයි හොඳේ) ඔබ අපේ කෙනෙක්. හඳුනාගැනීම සම්පූර්ණයි. වෙන වචනයක් කිව්වොත් ඒ ඔබ මේ ලෝකයේදී කතාකරන අන්තිම වචනය තමයි. මේ වචනත් දිනපතා හෝ අවශ්‍යතාව අනුව වෙනස් කරනවා.

      • “වෙන වචනයක් කිව්වොත් ඒ ඔබ මේ ලෝකයේදී කතාකරන අන්තිම වචනය තමයි”

        එතකොට අමතකවෙලා තිබුනොත්.. කැලේ ක්‍රියාන්විතයකට ගිය සෙබලෙක් අතුරුදහන්වෙලා ඉඳලා පස්සෙ ආවොත්..

        • මම දැනුවත්ව එහෙම ආපු අවස්ථා කීපයක් තියනවා.ඔවුන් කලේ බංකර් පේලිය අසලට දවල් කාලයේ ඇවිත් කෑ ගහලා තමන් කවුද කියා හඳුන්වා දීමයි.

      • අර එංගලන්තේ ඉදන් ඇවිත් හොරෙන් කොටින්ව බලන්නේ ගිහින් පස්සේ ඇහැක් නැති කර ගත්තේ මාධ්‍ය නෝනා ඒ වැඩේ කර ගත්තෙත් රැ ඉදිරි ආරක්ෂක වළල්ලේ බංකරයක් ලගට ඇවිත් නේද? (ආපහු ගිහින් මොන මොන කතා කීවත්.)

      • ලනුව කාල ගිහින් ගිහින් කියුවේ හරියට අපි එයාව හොයල හොයල වෙඩි තිබ්බා වගේනේ. මම හිතන්නේ එයාට තුවාල සිද්ද උනේ අත් බෝම්බ ප්‍රහාරයකින්.
        ලගදි ඔය වගේම සෙල්ලමක් දන්නා ගිහින් එයාටත් අවසන් ගමන් යන්න උනානේ.

        • ඔයවගේ දේවල් සම්බන්ධ පරීක්ෂණ කරන සහ රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කරන උසස් හමුදා නිලධාරියෙක් හිරියා 1990 ගණන්වල වවුනියාවේ. ඒ කාලේ රාජ්‍යනොවන සංවිධාන වලින් සමහරක් කොටි හිතවාදී ඒවා. අර නිලධාරියා තමන්ගේ කාර්යාලට ඇතුළුවන තැන පාපිස්සක්‌ දැම්ම කොටියකුගේ රූපය තියන. සමහර රාජ්‍ය නොවන සංවිධාන නිලධාරින් ඒ පාපිස්ස උඩින් ආවේ මූණ කොරහක්‌ විතර කරගෙන.

      • ඔය රාජ්‍ය නොවන සංවිධාන වල හිටින වැඩි හරියක් අය “දෙමල ජනතාවගේ අරගලය සාධාරණයි” කියන තැන සිට “වෙනම රටක් ඕන” කියන මතය තියන අය තමා ඉන්නේ. තව කට්ටියක් හිතන් ඉන්නේ හමුදාව කොටින්ට කොටින්ට ගහන්න ඕන කඩදාසි උණ්ඩ වලින් කියලා.
        තවත් කට්ටියක් හිතන් ඉන්නේ හමුදාව යුද්ද කරන්නේ සාමන්‍ය ජනතාව එක්ක කියලා (ඇයි එයාලට අනුව කොච්චර යුද්ද කලත් ඒ පැත්තෙන් මැරිලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව විතරනේ).

        • මට මෙතන ලියාගන්න බැරි දේවල් තියනවා ඔකුන් ගැන. සමහර එවුන් ඉන්නවා බිත්තියකට හේත්තු කරලා වෙඩි තියලා මරන්න හිතෙන.

  16. ලිපියෙන් වගේම පාඨක ප්‍රතිචාර වලිනුත් ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි.

  17. දවසක් 2LT කෙනෙක් අලුතෙන් ආපු සොල්දාදුවෙකුගෙන් ඇහුවලු.
    “සෝල්ජර්, ඩොලර් 100ක් මාරු කරන්න තියෙනවද?
    සොල්දාදුවා කියන්වා, “තියෙනවා මචං”
    “මොනවා යකෝ එහෙමද ඔ‍ෆිසර් කෙනෙකුට කතාකරන්නෙ?
    “සොරි සර්”
    “හරි අපි ආයෙම ට්‍රයි කරමු. සෝල්ජර්, ඩොලර් 100ක් මාරු කරන්න තියෙනවද?”
    “සර්, නෑ සර්.” සොල්දාදුවා ඒක කිව්ව විදිය විචාරකට විස්තර කරන්න ඕනෙ නෑනෙ, සීරුවෙන් හිටගෙන….:)

  18. පොඩි ගැටලුවක්… අපි දැකල තියනව හමුදාවල් වල පහල නිලයන්ට එක්වරම යම් ක්‍රියාවක් නිසා උසස් වීම් ලැබෙනව. කොහොමද අනිත් ක්ෂේත්‍ර වල වගේ නියමිත පටිපාටියක් නැතුව ඉහල නිලධාරියා පටස් ගාලා ප්‍රමොෂන් දෙන්නෙ?

    • නියමිත පටිපාටියක් තිබෙනවා. ඒ තමයි යුද හමුදා පනතින් ඒ ඒ නිලධාරීන්ට ලැබී තිබෙන බලතල. උදාහරණයක් වශයෙන් බල ඇණියක අණදෙන නිලධාරියකුට පුළුවන් සාමාන්‍ය සෙබළකු ඊළඟ නිලය වන ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන්න. නැත්නම් ලාන්ස් කෝප්‍රල් වරයකු කෝප්‍රල් නිලයට උසස් කරන්න. මෙහිදී ඔහුට ලැබෙන්නේ තාවකාලික නිලයයි. නියමිත කාලසීමාව තුල ඔහු නිල උසස්වීමේ පරීක්ෂනයෙන් සමත් වුනොත් නිලය ස්ථිර වෙනවා. නැතිනම් නිකම් නිල නාමය විතරයි. නිලයට අදාළ වැටුප ලැබෙන්නේ නැහැ. නමුත් අර උසස්වීම දෙන්නේ සේවය අගය කිරීමටයි. හැබැයි තාවකාලික නිලය වුනත් ඒ නිලයට අදාළ බලතල ඔහුට ලැබෙනවා. එහෙත් අධිකාරි ලත් නිලධාරීන් (2 වැනි ලුතිතන් සිට ඉහලට) හට එවැනි උසස්වීමක් නියමිත පටිපාටියෙන් බැහැරව දීමට බලය ඇත්තේ ජනාධිපතිතුමාට පමණයි.ජනාධිපතිතුමාට පුළුවන් අද 2 වැනි ලුතිතන් හෙට ජෙනරල් නිලයට උසස් කරන්න. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් වැඩක් වෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහ යුද හමුදා පනතෙන් ලැබී ඇති මුක්තිය සහ බලතල නිසා.

      • battle field promotion නැත්නම් field promotion කියන්නේ මේවටද?

      • දැන් ඔය නියමිත පරිපාටිය මොකක්ද? (හී හී ප්‍රශ්නේ කොට උනාට මේක ටිකක් දිග උත්තරයක් දෙන්න වෙන ප්‍රශ්නයක්) මම අහල තියන විදිහට අධිකාරී ලත් නිලධාරියෙකුට කාලයත් සමග විනය ප්‍රශ්න නැත්නම් විභාග පාස් කර කර ක’නල් නිලය දක්වා ඉහලට යන්න පුළුවන්.

        • සාමාන්‍ය සෙබළකු ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කිරීමටනම් බොහෝවිට ඔය නීතිරීති දිහාම බල බලා ඉන්නේ නැහැ. සේවා කාලය අවුරුදු තුනක් හතරක් වනවිට සුදුසුකම් සලකා බලා එය ලබා දෙනවා. නමුත් ලාන්ස් කෝප්‍රල් සිට කෝප්‍රල් දක්වා උසස් කිරීම සඳහා පවත්වන පාඨමාලාව සමත් විය යුතුයි. එය සෙබළකුගේ ජීවිතයේ කඩඉමක්. කෝප්‍රල් නිලය ස්ථිර කරන දිනය තමයි සමස්ථ යුද හමුදාව තුලම ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය රඳා පැවතීමට බලපාන්නේ. එතැන්සිට ඉදිරියට ලැබෙන උසස්වීම් දීම සඳහා සලකා බලෙන වැදගත්ම සාධකය වන්නේ කෝප්‍රල් නිලය ස්ථිර කල දිනය. හමුදාවේ කිසිම නිලයක් එක වරම ස්ථිරව ලබාදෙන්නේ නැහැ. ලාන්ස් කෝප්‍රල් නිලය සහ 2 වන ලුතිතන් නිලය හැර. තාවකාලික කෝප්‍රල් නිලයේ වසරක්වත් සිටිය යුතුයි නිලය ස්ථිර කිරීමට. සමහරවිට පරීක්ෂනයකටත් පෙනීසිටීමට සිදුවෙනවා නැවතත්. එලෙසම ඉන් ඉහලට තිබෙන සැරයන්, මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරි 2, බලලත් නොලධාරි 1, යන තනතුරු පමණක් නොවෙයි, ලුතිතන්, කපිතන්, මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, වැනි නිලයන්ට පවා මුලින්ම පත් කරන්නේ තාවකාලිකවයි.නිලධාරියකුට විභාග තියෙන්නේ දෙකයි. ලුතිතන් සිට කපිතන් දක්වා උසස් කිරීමේ පරීක්ෂණය සහ කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ පරීක්ෂනය. එතැන්සිට විනය පමණක් නොව අනෙකුත් සියලු වෘත්තීය සුදුසුකම් සහ ජ්‍යෙෂ්ඨත්වයද සලකා බලා තමයි උසස්වීම් දෙන්නේ, හමුදාපති ලෙස ලුතිතන් ජෙනරල් නිලය දක්වාම.

      • යුධ හමුදාවේ සැහෙන පිරිසක් මේජර් නිලයේ සිටිනවා නේද? එම නිලයේම විශ්‍රාම යාම පවා සැහෙන වෙනවා නේද?

        • මේජර් නිලයේ සෑහෙන පිරිසක් ඉන්නට හේතුව ඉන් ඉහල නිල වලට උසස්වීම් ලැබෙන්නේ ඇබෑර්තු තිබෙන ආකාරය මත වීම නිසයි. ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනුමත සංඛ්‍යාවක් (Cadre) තිබෙනවා එක් එක් නිලය අනුව සිටිය හැකි. යුද්ධයෙන් පස්සේ සෑම නිලයකින්ම පාහේ විශාල පිරිසක් විශ්‍රාම ගියා. ගැසට් පත්‍රය බැලුවොත් එහි සඳහන් වෙනවා ත්‍රිවිධ හමුදාවේම විශ්‍රාම යාමේ විස්තර.

  19. මට ආකාසෙ කෙනෙක් හොයල දෙනවද,,, හී හී,,,

    ජනාධිපතිතුමාට පුළුවන් අද 2 වැනි ලුතිතන් හෙට ජෙනරල් නිලයට උසස් කරන්න. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්න බැහැ. // හෑ,,, එතකොට පුත්තර රත්නයව අඩු වයසින් නාවුක හමුදාපති කරන්න ඇහැක්ද?

    • ආකාසෙ ලා හරි ගණන්. එහෙම ලේසියෙන් ගන්න බැහැ. අපේ ජනාධිපති තුමා අර උගන්ඩාවේ ඉඩි අමීන් වගේ ක්‍රියා කලොත් පුතාව නාවික හමුදාපති කලහැකියි.

      • මට මතක විදිහට නම් සාමාන්‍ය සෙබළෙක් හරි ලාකො කෙනෙක් වෙලා හිටිය අජන්ත මෙන්ඩිස් මේ වෙද්දී ලුතිනන් හෝ කපිතාන්වරයෙක් ලෙසට ජනාධිපතිතුමා විසින් උසස් කරලා තියෙනවා

        • ඕව් ඔබ හරි. ඔහු හිටියේ කාලතුවක්කු හමුදාවේ බොම්බඩියර් කෙනෙක් හැටියටයි මට මතක විදිහට. ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැක්වූ දස්කම් නිසා, යුද හමුදාපති තුමාගේ නිර්දේශ මත, ජනාධිපති තුමා විසින් ඔහු අධිකාරියට පත් කරනු ලැබුවා.

  20. විචාරකතුමා මොකද්ද මේ RFT කියන්නේ ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: