විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


බිස්මාර්ක් යුද්ධ නැව පිළිබඳව ගෙන එන ලිපි මාලාවේ තුන්වැන්න සහ අවසාන ලිපියයි මේ. පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කියවූ ඔබෙන් ලද ප්‍රතිචාර මා බෙහෙවින් අගය කරනවා. ඇත්තවශයෙන්ම බිස්මාර්ක් සිද්ධිය සම්බන්ධයෙන් මා අධ්‍යයනය කල තොරතුරු සමුදාය අනුව, සියලු කරුණු කාරනා ඇතුලත් කොට ලියන්නේනම්, යටත්පිරිසෙයින් ලිපි පහක්වත් ලිවිය යුතුයි. එහෙත්, බ්ලොග් කියවන්නන්, ඉතා දීර්ඝ ලිපි කියවීමට මෙන්ම, කොටස් ගණනාවක් කරා යන ලිපිද, (රැල්ලේ යන මාතෘකා හැර) කියවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව, බ්ලොග් ලෝකයට පැමිණ තවම අවුරුද්දක්වත් ගතකර නැති මා, හොඳින් අවබෝධ කරගත්තා. ඒ අනුවයි මේ ලිපි හැකි තරම් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ.

බිස්මාර්ක් නැවේ තිබුණු ප්‍රධාන කාලතුවක්කු අට කාලතුවක්කු දෙකේ පද්ධති හතරක් වශයෙන් සවි කර තිබුණු බව ඔබට මතක ඇති. එම කාලතුවක්කු අට්ටාල ඒ, බී, සී, ඩී, අනුපිලිවෙල අනුව ඇන්ටන්, බ්රූනෝ, සීසර්, සහ ඩෝරා යනුවෙන් නම්කර තිබුන අතර ඒ සඳහා කොඩි හතරක් ලබාදී තිබුනා. මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපියේදී මා සඳහන් කල ආකාරයට මේ කාලතුවක්කු වලින් නිකුත් කෙරුනේ සෙ.මී. 38 හෙවත් අඟල් 15 ක විෂ්කම්බය සහිත, එකක් කි.ග්‍රෑ. 800 ක් බර උණ්ඩයි.

මෙය එවකට ලොව වෙනත් කිසිම යුද නැවක නොතිබුණු සුපිරි වෙඩි බලයක්. බිස්මාර්ක් නොබියව උතුරු අත්ලාන්තික් සාගරයට පිවිසුනේ තමන් සතු සුපිරි බලය ගැන අධි තක්සේරුවකට එළඹෙමින්. ආධාරක නැව් 14 ක් තිබුනද ප්‍රදාන චරිතය බිස්මාර්ක් නැවටත් සහාය චරිතය ප්‍රින්ස් එව්ජින් නැවටත් රඟපාන්නට සිදුවුනා. තමන් ගැන තිබුන අධි තක්සේරුව, අධිමානය, බිස්මාර්ක් නැවට විනාශය ළඟාකරදුන් ආකාරය ඉතාම නාටකීය සිදුවීම් මාලාවක්. අදටත් ඉතා විවාදාත්මකවූ සිදුවීමක්ද සහිත ඒ පුරාවෘත්තයේ උච්ඡතම අවස්තාවටයි දැන් අපි එළඹෙන්නේ.

 ජර්මානු නාවික තාක්ෂණයේ අග්‍රඵලය ලෙස හැඳින්විය හැකි බිස්මාර්ක් 1940 අගෝස්තු මස 24 වැනිදා අධිකාරියට පත්කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ මිල කල නොහැකි නැවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තව දුරටත් අත්හදා බැලීමේ චාරිකාවල යොදනු ලැබුවේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේයි.

1941 මැයි මස 5 වැනිදා ජර්මානු ආඥාදායක ඇඩෝල්ෆ්ට් හිට්ලර් තම මහ සෙනෙවියන්ද පිරිවරාගෙන බිස්මාර්ක් සහ ටර්පිට්ස් යන නැව් වල නිරීක්ෂණ චාරිකාවක යෙදුනා. (1945 නොවැම්බර් මස 12 වැනි දින, බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාරයකින්, ටර්පිට්ස් විනාශ වුනා) එම චාරිකාව අවසානයේදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී අතිශයින් රහසිගත රයින්උබුන්ග් මෙහෙයුම හෙවත් Operation Rheinübung සඳහා බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් යන නැව්  දෙක සූදානම් බව අද්මිරාල්  ලුට්ජෙන්ස්  Lütjens හිට්ලර් වෙත වාර්තා කළා.

 ඒ අනුව 1941 මැයි මස 19 වැනි දින ක්‍රියාන්විතය ආරම්භ කිරීමට හිට්ලර් නියෝග කළා. ජර්මනියෙන් පිටත්වූ බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් පරිවාරක යාත්‍රා සමූහයකින්ද යුක්ත වුනා. ආරක්ෂාව, ආධාර සැපයීම, මුහුදු වෙඩි ඇතිරීම, කුඩා පරිමානයේ ප්‍රහාර එල්ල කිරීමද ඒ පරිවාරක යාත්‍රාවල කාර්යභාරය වුනා. ඒ සමගම ගුවන් යානා වලින්ද ආරක්ෂාව ලබා දුන්නා. මැයි මස 20 වැනිදින බිස්මාර්ක් අණදෙන්නාවූ ලින්ඩ්මාන් තම නැවේ ශබ්ද විකාශන මගින් කාර්ය මණ්ඩලයට දැනුම දුන්නා කරන්නට යන්නේ කුමක්ද යන්න. ක්‍රියාන්විතයේ අරමුණ වුනේ ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අත්ලාන්තික් සාගරය ඔස්සේ සිදුකෙරෙන නාවික යාත්‍රා ගමනාගමනය හදිසි ප්‍රහාර මගින් අදාළ කර දැමීම සහ උතුරි අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ පාලනය සියතට ගැනීමයි.

 උතුරු අත්ලාන්තික් සාගරයට පිවිසුන ජර්මානු යුද නැව් පෙළ ස්වීඩනයට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රාවක රහසිගත නිරීක්ෂණයට ලක්වුනා. එහි ප්‍රතුඵලය වුනේ ස්වීඩනය දැනුවත්වීම සහ ස්වීඩනයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මගින් බ්‍රිතාන්‍යයද දැනුවත් වීමයි.

කෙසේ වෙතත් හැන්ගිමුත්තම් කෙළිමින් උතුරු අත්ලාන්තික් සාගරයට පිවිසුනද බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ උකුසු ඇසින් ගැලවීමට නොහැකි බව ජර්මන් නාවික යාත්‍රා පෙළ දැන සිටියා. මැයි මස 23 වැනිදා බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය දිගේ හැකි උපරිම වේගයෙන් දකුණු දෙසට එන්නට පටන්ගත්තා.

 ජර්මන් යාත්‍රා පෙළ බ්‍රිතාන්‍ය ප්‍රහාරක යාත්‍රාවක්‌ වන සෆෝක් නැවේ නිරීක්ෂණයට ලක්වූ බවත් සටන ඇරඹීමට සිදුවන බවත් ලුට්ජෙන්ස් අවබෝධ කරගත්තා. ඔහු ප්‍රින්ස් එව්ජින් ට අණදුන්නා සෆෝක් වෙත පහර දෙන ලෙස. ප්‍රහාරය එල්ලවූ වහාම සෆෝක් පසුබැස්සා. සෆොක්හි සහයට ආවේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේම නෝෆෝක් නැවයි. එය සෆෝක් ට වඩා ප්‍රබලයි. නැව් දෙක එක්ව ආක්‍රමණිකයා පසුපස පන්නන්නට පටන්ගත්තා. ඒ නැව් ආසන්නවත්ම බිස්මාර්ක් තම මහා කාලතුවක්කු වලින් පහර දුන්නා. එයින් සිදුවුනේ සුළු හානි පමණයි බ්‍රිතාන්‍ය යාත්‍රා දුම් වෙඩි යොදා ආවරණයක් ගෙන පසුබැස්සා. ලුට්ජෙන්ස් එක්වරම බිස්මාර්ක්ට අනකලා අංශක 180 ක ආපසු හැරී බ්‍රිතාන්‍ය යාත්‍රා ලුහු බඳින ලෙස.  නමුත් බිස්මාර්ක්ගේ වෙට්ටුව තේරුම්ගත් බ්‍රිතාන්‍ය යාත්‍රා ඝන අඳුරේ ගැඹුරු මුහුදේ නොසෙල්වී සැඟවී සිටියා. පසුදින අලුයම ප්‍රින්ස් එව්ජින් නැවේ රේඩාරයට බ්‍රිතාන්‍ය නැව් දෙක අසුවුනා.  ඔවුන්ට අවබෝධ වුනා බ්‍රිතාන්‍ය යාත්‍රා තමන්ගේ ගමන්කිරීමේ දිශාව, වේගය, නැව් ගණන ආදී සියලු විස්තර රැය පුරාම බ්‍රිතාන්‍යය වෙත ලබා දෙන්නට ඇතිබව. ඒ සමගම බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අති ප්‍රබල යුද නැව් වූ ‘හුඩ්’ සහ ‘ප්‍රින්ස් ඔෆ් වේල්ස්’ යන නැව් දෙක ජර්මන් නැව් පෙළ සොයා එමින් තිබුනා.

  මෙම නැව් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් ලාන්ස්ලොට්‌ හොලන්ඩ් ගේ අණදීම යටතේ කටයුතු කළා. මීටර් 26000 ක දුර සිට සිය රේඩාර් මගින් ජර්මානු නැව් අල්ලාගත් හුඩ්, කාලතුවක්කු ප්‍රහාර ආරම්භ කළා. ප්‍රින්ස් ඔෆ් වේල්ස් ද ඒ සමගම ප්‍රහාර ආරම්භ කළා. නමුත් තමන් පහර දෙන්නේ බිස්මාර්ක්ට කියා සිතමින්, හුඩ් පහර දුන්නේ ප්‍රින්ස් එව්ජින්ටයි. තමන් පහර දෙන්නේ ප්‍රින්ස් එව්ජින්ට කියා සිතමින්, ප්‍රින්ස් ඔෆ් වේල්ස් පහර දුන්නේ බිස්මාර්ක්ටයි. ලින්ඩ්මාන් ගේ ඉවසීමේ සීමාව පැන්නා. ඔහු තම අණදෙන්නා වූ ලුට්ජෙන්ස් ගෙන ඉල්ලා සිටියා ‘මගේ පස්ස පැත්ත අස්සෙන් ඇවිත් මගේ නැවට ගහන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා ප්‍රති ප්‍රහාර දෙන්න අවසර දෙන්න’ කියා. නමුත් ලුට්ජෙන්ස් ප්‍රති ප්‍රහාර සඳහා ඉක්මන් වුනේ නැහැ. ඒ වනවිර උදෑසන හිරු එලිය යන්තමින් පතිත වෙමින් තිබුනා ලුට්ජෙන්ස් බිස්මාකයට අණ කළා ප්‍රති ප්‍රහාර දෙන ලෙස.

  හුඩ් සහ ප්‍රින්ස් ඔෆ් වේල්ස් තම ඉදිරිපස ජර්මන් නැව් දෙසට හරවා තිබුන අතර ජර්මන් නැව් සිය බඳ පෙදෙස බ්‍රිතාන්‍ය නැව් දෙසට හරවා තිබුනා. මෙහි වාසිය අත්වුණේ ජර්මන් නැව් වලටයි. මන්ද, එක වරම ඉදිරිපස සහ පසුපස කාලතුවක්කු අටෙන්ම බ්‍රිතාන්‍ය නැව් වලට පහරදීමට හැකියාව ලැබුනා. තත්වයේ බරපතලකම අවබෝධ කරගත් අද්මිරාල් හොලන්ඩ් තම නැව් ද පසෙකට හැරවූවා. නමුත් මේ අතර ජර්මානු නැව් වලින් ප්‍රහාර එල්ලවන්නට පටන්ගත්තා. හුඩ් නැවේ සුළු ගින්නක් අති කිරීමට එක ප්‍රහාරයක් සමත්වූ අතර වහාම ගින්න නිවා දැමුවා. ජර්මානු නැව් මෙතෙ තැබූ වෙඩි මගින් බ්‍රිතාන්‍ය නැව් වලට අති නිවරදි දුර තේරුම්ගෙන තමන්ගේ තුවක්කු වල ඉලක්කය නිවැරදිව සීරු මාරු කරගෙන එක වරම බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් නැව් දෙකෙන්ම හුඩ් වෙත මහා පරිමාන කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා.

මෙහිදී හුඩ් සහ ප්‍රින්ස් ඔෆ් වේල්ස් ආරක්ෂක පියවරක් වශයෙන් ඔවුන්ගේ කාලතුවක්කුද සම්පූර්ණයෙන් සතුරා දෙසට හැරවීමට කටයුතු කළා. නමුත් ජර්මන් නැව් බ්‍රිතාන්‍ය නැව් දෙකටම හැරෙන්නටවත් ඉඩ නොදී දිගටම පහර දෙන්නට පටන්ගත් අතර ජර්මන් පරිවාර ප්‍රහාරක යාත්‍රා නෝෆෝක් සහ සෆෝක් නැව් ආධාරයට  ඒම වැලැක්වීම සඳහා එම

 නැව් දෙකටද පහරදීම ඇරඹුවා. මාරක හෝරාව එළඹුනා. බිස්මාර්ක් නැව තම මහා කාලතුවක්කුවකින් පිටකළ කිලෝ 800 උණ්ඩයක් හුඩ් නැවේ තට්ටුව පසාරු කරගෙන ගොස් වෙඩි උණ්ඩ ගබඩාව තුල පුපුරා ගියා. මේ පිපිරීමෙන් හුඩ් නැව දෙකට කැඩුනා. බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ පතාක යෝධයකු බඳු හුඩ් නැව, අති දැවැන්ත බිස්මාර්කයේ නිර්දය ප්‍රහාරයට ලක්වීමෙන් 1941 මැයි මස 23 වැනිදා උදෑසන මුහුදේ ගිලී ගියේ, තම කාර්ය මණ්ඩලයේ 1419 දෙනාගෙන් තුන් දෙනෙකුගේ පමණක් ජීවිත ඉතිරි කරමින්.

මීළඟට ජර්මානු නැව් ප්‍රින්ස් ඔෆ් වේල්ස් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා. ප්‍රති ප්‍රහාර එල්ල කරමින්ම පසු බසින්නට පරිස් ඔෆ් වේල්ස් ට සිදුවුනා. නමුත් තම කාලතුවක්කු ප්‍රහාර මගින් බිස්මාකයේ තට්ටුවට හානි කරන්නටත් එයින් මුහුදු ජලය නැව තුලට ඒමේ අවදානමක් අති කරන්නටත් ප්‍රින්ස් ඔෆ් වේල්ස් ට හැකිවුනා.

 මහා සටන ඇරඹුණේ මෙතැන්සිටයි. සතුරාගේ මේ නින්දනීය ප්‍රහාරයෙන් කැළඹුන බ්‍රිතාන්‍ය රජය සියලු ශක්තිය යොදා සතුරා නිර්දය ලෙස මර්දනය කිරීමට පිඹුරුපත් සැකසුවා. බ්රිතාන්ය අගමැති වින්ස්ටන් චර්චිල් කියා සිටියේ මොන ක්‍රමයකින් හෝ බිස්මාකය ගිල්ලවිය යුතු බවයි.

තම රාජ්‍යයේ අබිමානය වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීමට බ්‍රිතාන්‍ය රජය ඉටාගත්තා ඒ අනුව බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ පධාන පෙලේ සියලුම යුද නැව් සටනට කැඳවනු ලැබුවා. උතුරු අත්ලාන්තික් සාගරයේ සාමාන්‍ය නාවික ගමනාගමනයට ආරක්ෂාව සපයමින් සිටි යුද නැව් සහ ප්‍රධාන පෙලේ ප්‍රහාරක යාත්‍රා පවා යොදවාගනු ලැබුවේ මොනම ආකාරයකින් හෝ තවත් නැවක් බිස්මාකයේ බිල්ලට දීමට බ්‍රිතාන්‍යය කිසිසේත් කැමති නොවූ නිසයි.

කෘසර් වර්ගයේ ප්‍රහාරක යාත්‍රා වලට අමතරව ප්‍රධාන තැනක ගත්තේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ඉතිරි යෝධයන් ලෙස හැඳින්විය හැකි, ආක් රෝයල්, වික්ටෝරියස් (මෙය ප්‍රහාරක ගුවන් යානා සහිත නැවකි), කිං ජෝර්ජ් 5, රොඩ්නි, වැනි මහ යුද නැව් ය.

 ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැව බිස්මාර්ක් නැවෙන් පහර කා අඩපන වී තිබුනත් ආපසු  බිස්මාර්ක් වෙත් එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් තුනක් බිස්මාර්ක් වෙත වැදී තිබුනා.එකක් බිස්මාර්කයේ ඉදිරිපස කෙලවරට ආසන්නව වැදුන අතර එයින් බිස්මාර්කය තුලට මුහුදු ජලය ඇතුළුවීමේ අවදානමක් ඇති කිරීමට සමත් වුනා. දෙවැන්න ටෝර්පිඩෝ බෝම්බ වලින් ආරක්ෂා වීමට යොදා තිබෙන ඝන යකඩ බඳේ වැදී සුළු හානි අති කළා. තුන්වැන්න ජීවිතාරක්ෂක බෝට්ටුවක් කඩාගෙන ගොස් නැව තුලට වැටී පුපුරා නොගොස් ඉතිරි වුනා.

කෙසේ වෙතත් ප්‍රින්ස් ඔෆ් වේල්ස් නෞකාව සිය ආරක්ෂාව වෙනුවෙන් පසුබහින්නට තීරණය කළා. තමන් විසින් හුඩ් හෝ ඒ සමාන නැවක් ගිල්ලවූ බවත් තවත් විශාල නැවක් හානිකර එලවා දැමූ බවත් ජර්මානු නාවික සෙනෙවි ලුට්ජෙන්ස් වාර්තාකලා ජර්මන් රජය වෙත.

 ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැවේ ප්‍රහාරයට ලක්වීමෙන් බිස්මාර්කයේ සමබරතාව ඉතා සුළු වශයෙන් වෙනස් වුනා. ලුට්ජෙන්ස් තීරණය කළා බිස්මාකය සහ ප්‍රින්ස් එව්ජෙන් නැවත උතුරු අත්ලාන්තික් සාගරට යා යුතු බව. නමුත් මේ වනවිට ඔවුන්ට බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් එල්ලවියහැකි තර්ජනයට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ.

බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ප්‍රධාන යුද නැව් සහ අනෙකුත් සියලු ප්‍රහාරක යාත්‍රා වහාම ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය ප්‍රදේශයට ගෙන්වාගෙන බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජෙන් ලුහුබැඳ යාමට බ්‍රිතාන්‍ය රජය තීරණය කළා. ඒ අනුව මුලින්ම එක් වූයේ සැහැල්ලු ප්‍රහාරක යාත්රායි. රොඩ්නි වැනි විශාල නැව් ඉන්පසු එක්වුණා. ප්‍රහාරක ගුවන් යානා ගෙනයන නැව් දෙකක්, ප්‍රහාරක යාත්‍රා 13 ක්, සබ්මැරීන වලට පහර දෙන යාත්‍රා 21 ක්, සතුරු නැව් හඹා යාම සඳහා යොදවනු ලැබුවා. මේ වනවිට පලාගිය ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැව සිය ප්‍රධාන තුවක්කු දහයෙන් නවයක් ම යථා තත්වයට පත්කරගෙන තිබුනා. ලුට්ජෙන්ස් උත්සාහ කලේ හානිවී ඇති ප්‍රින්ස් එව්ජෙන් අලුත්වැඩියා කිරීම සඳහා හොර රහසේම පිටත්කර යවන්නට. නමුත් අයහපත් කාලගුනට නිසා එය වැළකී ගියා.  කෝපයට පත් ලුට්ජෙන්ස් නැවතත් බිස්මාකය බ්‍රිතාන්‍ය ලුහු බඳින්නන් දෙසට හැරුණු අතර මුලින්ම පැමිණි සෆෝක් ප්‍රහාරක යාත්‍රාවට පන බේරාගෙන ආපසු හැරෙන්නට වුනා.

නෝෆෝක් සහ සෆෝක් යන යාත්‍රා දෙකේ අණ දෙන්නාවූ රියර් අද්මිරල් ෆ්‍රෙඩ්රික් වේක් වෝකර් ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැවද එකතු කර ගනිමින් ප්‍රති ප්‍රහාර සැලැස්මේ මූලික පියවර ගනු ලැබුවා.

 බිස්මාර්ක් හි අවධානය වෙනතකට යොමුකිරීම සඳහා සෆෝක් ප්‍රහාරක යාත්‍රාව බිස්මාර්ක් දෙසට එන බව පෙන්වා වෙනතකට යොමු කළා. ඒ අතර ප්‍රින්ස් ඔෆ් වේල්ස් කල්යල් බලා තම සියලුම කාලතුවක්කු එකවර වෙඩි තැබීමේ ක්‍රමයට යොදාගනිමින් (salvo) ප්‍රහාර 12 ක් බිස්මාර්ක් වෙත එල්ල කල අතර බිස්මාර්ක් එවැනිම ප්‍රහාර 9 කින් ප්‍රින්ස් ඔෆ් වේල්ස් වෙත ප්‍රතිචාර දැක්වුවා. මේ ප්‍රහාර වලින් දෙපාර්ශ්වයටම කිසිදු හානිය වුයේ නැහැ. සිදුවූ එකම දෙය මේ සටන අවස්තාවක් කරගනිමින් ප්‍රින්ස් එව්ජෙන් හෙමින් මාරුවී යාමයි. බිස්මාර්ක් නැවතත් උතුරු අත්ලාන්තික් සාගරය වෙත යාමට සූදානම් වනවාත් සමගම බ්‍රිතාන්‍ය නැව් කණ්ඩායම බිස්මාර්කයේ බඳ පෙදෙස ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගත්තා.

හුඩ් නැව ගිල්ලවා දැමූ සටනේදී සිදුවූ හානි නිසා බිස්මාර්කයේ වේගය පැයට නාවික සැතපුම් 27 – 28 පමණ අඩුවී තිබුනා. මෙය කින්ග් ජෝර්ජ් 5 නැවේ උපරිම වේගයට සමාන වුනා. බිස්මාර්කයේ වේගය අඩු නොවුනානම් එය ප්‍රංශයේ ශාන්ත නසයර් වරාය වෙත පැන යන්නට එකාන්තවම ඉඩ තිබුනා.

 මැයි මස 25 වැනිදා සවස 4.00 පමණ වනවිට බ්‍රිතාන්‍ය නාවික අද්මිරල් ටෝවී විසින් ප්‍රහාරක ගුවන්යානා රැගත් වික්ටෝරියස් නැව සටනට යොමු කරනු ලැබුවා. ඒ සමගම කෘසර් වර්ගයේ සැහැල්ලු ප්‍රහාරක යාත්‍රා 4 ක් ද සටනට එළඹුනා. වික්ටෝරියස් නැවෙන් ෆුල්මර් වර්ගයේ ගුවන්යානා 6 ක් ද, ටෝර්පිඩෝ බෝම්බ හෙලන ස්වොර්ඩ් ෆිෂ් වර්ගයේ ගුවන්යානා 9 ක් ද, පිටත්වුනා, බිස්මාර්කයට පහරදීමට. මෙහෙදී ගුවන් ප්‍රහාර ගැන එකල එතරම් අත්දැකීම් නැති නියමුවන්ගේ වැරදි ප්‍රහාර නිසා තමන්ටම අයත් නෝෆෝක් ප්‍රහාරක යාත්‍රාව නූලෙන් බේරුනා. මේ කලබගෑනිය නිසා රහසිගත බව බිඳුන අතර බිස්මාර්කයට ප්‍රහාරය ඉව වැටුනා. බිස්මාර්කය තමන්ගේ පළමුවැනි සහ දෙවැනි ගුවන්යානා නාශක තුවක්කු බතරොයි දෙකම උපරිම වෙඩි බලයෙන් ක්රියාකරවූ අතර එයින් බ්‍රිතාන්‍ය යානා වලට හානියක් නොවුනත් ගුවන් ආරක්ෂාව ලැබුනා. ඒ අතරම තමාට එල්ලවූ ටෝර්පිඩෝ ප්‍රහාර 9 න් 8 කින්ම ගැලවීමට හැකිවූ අතර එක් ප්‍රහාරයකින් බඳේ  ඉතා ඝන තහඩුවට සුළු හානි සිදුවුනා.

කෙසේ වෙතත් ප්‍රහාරයේ අතුරු ප්‍රතිඵල බිස්මාර්කය වෙත යම් යම් අවාසනාවන්ත බලපෑම් ඇතිකළා. පළමුවැනි සටන්දී නැවේ ඇණියට සිදුවූ හානි වලින් මුහුදු ජලය කාන්දුවීමේ හේතුවෙන්, බොයිලේරු දෙකක් අතහැර දැමීමට සිදුවීම, විදුලි පද්ධතියක දිශා මතුවීම, වේගය තවත් අඩාලවීම එයින් ප්‍රදාන කාරණායි. සමහර වස්ථා වලදී වේගය නාවික සැතපුම් 12 දක්වා පහත වැටුනා. මේ අතර බ්‍රිතාන්‍ය නාවික කණ්ඩායම හඹායාම අරඹා තිබුනද යූ බූට්‌ නමැති ජර්මානු සබ්මැරීන පිලිබඳ භීතිය නිසා වරින් වර ගමන විලාශය වෙනස් කරමින් ලුහු බැඳීම සිදුකලා. බ්ස්මාර්ක් ලුට්ජෙන්ස් ගේ ශූර මොලයෙන් දුන් උපදෙස් අනුව බ්‍රිතාන්‍ය නාවික රේඩාර් වලට හසුවීමෙන් වැලකීමට මුහුදේ විශාල රවුම් ආකාරයේ මාර්ගයක් අනුගමනය කල අතර එය සාර්ථක වුනා. සතුරා තම අතෙදුරින් සිට අතුරුදන් වීමෙන් බ්‍රිතාන්‍ය නාවික බලමුළුව වියරු වැටුන අතර ඔවුන් මුළු උතුරු අත්ලාන්තික් සාගරයම පීරන්නට වුනා.  මෙවැනි අවස්ථාවකදී අත්‍යවශ්‍ය බ්‍රිතාන්‍යයට අයත් ආක් රෝයල් යුද නැව ජිබ්රෝල්ටාර් පෙදෙසින් පිටත්ව අත්ලාන්තික් සාගරය වෙත එමින් සිටියද ඒ සඳහා තව දිනක්වත් ගතවන බව පෙනීගියා.

 බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා බොහොමයක් බිස්මාර්ක් සොයන්නට ගොස් මග වරද්දාගත්තා. මේ අතර ජර්මන් ගුවන්විදුලි පණිවිඩ හුවමාරු වලට රහසේ සවන්දුන් බ්‍රිතාන්‍ය නාවික හමුදාව තේරුම ගත්තා බිස්මාර්ක් උත්සාහ කරන්නේ තම පාලනයට නතු කරගෙන තිබුණු ප්‍රංශයේ බ්‍රෙස්ට් වරාය වෙත යාමට බව. මේ වනවිට ඉන්දන අවසන් වෙමින් පවතී නිසා බ්‍රිතාන්‍ය යුද නැව් කීපයකටම සටනින් ඉවත්වීමට සිදුවුනා. සටනට ආ හැකි කින්ග් ජෝර්ජ් 5 සහ රොඩ්නි යන නවුකා දෙක පිහිටියේ බොහෝ දුරින්. මේ නිසා ආක් රෝයල් නැව සටනට යොමු කරන්නට තීරණය කළා. බිස්මර්කයට නොදැනෙන පරිදි ඒ පසුපස යන්නට බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ෂෙෆීල්ඩ් ප්‍රහාරක යාත්‍රාව සමත් වුනා. ආක් රෝයල් නැවේ ස්වොර්ඩ්ෆිෂ් යානා බිස්මාර්කය තිබෙන ඉසව්ව සොයාගත් අතර ෂෙෆීල්ඩ් ගැන දැන නොසිටි බැවින් එයටද පහර දුන්නත් වාසනාවකට මෙන් ටෝර්පිඩෝ පුපුරා නොයාමෙන් ෂෙෆීල්ඩ් විනාශ වුනේ නැහැ.

ස්වොර්ඩ්ෆිෂ් ප්‍රහාර වලින් දෙකක් බිස්මාර්ක් වෙත දැඩි බලපෑම එල්ල කළා නැව හැරවීමට යොදාගන්න රඩර් නමැති කොටස් දෙකෙන් එකක් ටෝර්පිඩෝ ප්‍රහාරයෙන් අකර්මන්‍ය වුනා.

දැන් බිස්මාර්කයට ඉදිරියට යා නොහැකියි. සුක්කානම මඳක් වමාර කරකවා හිරකලවිට වාහනයක් ඒ පැත්තට රවුම් හැඩයට පමණක් යාහැකි වෙනවාක් මෙන් බිස්මාකයටද යාහැකි වුනේ මුහුදේ විශාල රවුමක පමණයි. රඩරයේ ඒ පැත්ත පුපුරවා හරින්නට යෝජනාවක් ආවද එයින් හානිය තවත් වැඩිවෙයි සිතා අත්හැරියා. තමන්ගේ ඉරණම බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් ලියා අවසන් බව ලුට්ජෙන්ස් අවබෝධ කරගත්තා. නැව තව දුරටත් ධාවනය කල නොහැකි බවත්, තමන් අවසාන උණ්ඩය දක්වා සටන් කරන බවත්, තම නායකයාවූ හිට්ලර් ට සුබ පතන බවත්, අද්මිරාල් ලුට්ජෙන්ස් ගුවන්විදුලි පණිවිඩ මගින් ජර්මනියට දැන්වූවා. ඉන්පසු තම පසුපසින් හොල්මන් කරන ෂෙෆීල්ඩ් යාත්‍රාවට ප්‍රහාරය එල්ල කල නමුත් ෂෙෆීල්ඩ් පසුබැස ගැලවී ගියා.

මේ අතර කපිතාන් ෆිලිප්ස් වීයන් යටතේ බ්‍රිතාන්‍ය ඩිස්ට්‍රොයර් යාත්‍රා 5 ක් සටනට යොමු කරවන ලද අතර ඔවුන්ගේ කාර්යභාරය වූයේ රාත්‍රිය පුරා විවේකයක් නොලැබෙන පරිදි බිස්මාර්කය සටනේම පවත්වා ගැනීමයි. ඩිස්ට්‍රොයර් යාත්‍රා එය මැනවින් ඉටුකලා. මීටර් 12000 තරම් බිස්මාර්ක් වෙත ආසන්නව සිට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. නමුත් ඩිස්ට්‍රොයර් නවුකා මගින් එල්ල කල කිසිදු ටෝර්පිඩෝ ප්‍රහාරයක් බිස්මාර්ක් වෙත වැදුනේ නැහැ.

පසුදින අලුයම බිස්මාර්ක් නාවිකයන් එහි තිබුලු සැහැල්ලු ගුවන්යානය මුහුදට පහත් කර ගුවන්ගත කිරීමට උත්සාහ කලේ බිස්මාර්කයේ යුද සටහන් පොත (War Diary) සහ හුඩ් නැවට පහර දීමේ වාර්තා ජර්මනිය වෙත යවන්නටයි. නමුත් මීට පෙට ප්‍රින්ස් ඔෆ් වේල්ස් නැවෙන් එල්ලවූ ප්‍රහාර හේතුවෙන් ගුවන්යානය පිටත් කරන කැටපල්ට් නම් උපකරණයට හානිවී තිබුණු බැවින් ඒ අදහස අතහැර දැමූ නාවිකයෝ යානය මුහුදට තල්ලු කර දැමුවා.

1941 මැයි මස 27 වැනිදා උදේ වනවිට බිස්මාර්ක් වෙත ළඟාවූ කින්ග් ජෝර්ජ් 5 සහ රොඩ්නි යන නවුකා සිය සම්පූර්ණ වෙඩි බලය යොදා බිස්මාර්ක් වෙත පහර දෙන්නට පටන්ගත්තා. බිස්මාර්ක් වෙතින් දරුණු ප්‍රති ප්‍රහාර එල්ල වුවද ඉක්මනින්ම බිස්මාර්කය දැඩි හානිවලට ලක්වුනා. රොඩ්නි වෙතින් එල්ලවූ අඟල් 16 විෂ්කම්බය සහිත අධිබල කාලතුවක්කු උණ්ඩයක් වැදීමෙන් බිස්මාර්කයේ ඉදිරිපස සැකිල්ල මුළුමනින් විනාශවුණා. උදෑසන 9.00 පමණ වනවිට අද්මිරල් ටෝවී ප්‍රහාරයේ පාලනය සියතට ගත්තා. බිස්මාර්ක් වටකර පහරදීම එතැන්සිට ඇරඹුනා. උදෑසන 09.31 වනවිට බිස්මාර්කය මුළුමනින් නිහඬ කරවන්නට බ්‍රිතාන්‍ය නාවික හමුදාව සමත් වුනා.

 තවත් එක් දෙයක් ඉතිරිවී තිබුනා. ඒ බිස්මාර්ක් මුහුදේ ගිල්ලවීමයි. සදාකාලික නින්දට යැවීමයි. එතැන් සිට ඒ කාර්යය ආරම්භ වුනා. මේ වනවිටත් බිස්මාර්ක් මඳක් වම් පැත්තට ඇලවී තිබුන අතර නැවේ ඇණිය දෙසින් මඳක් ගිලී තිබුනා. කිංග ජෝර්ජ් 5 සහ රොඩ්නි අඩපන වූ සතුරාට නාවික සැතපුම් 8 ක තරම් සමීපයට පැමිණ කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා. මීළඟට මේ ජවනිකාවට අවතීර්ණ වුයේ නෝෆෝක් සහ ඩෝසෙට්ෂයර් යාත්‍රා යුගලයයි. ඔවුන්ද තම උපරිම වෙඩි බලය බිස්මාර්ක් වෙත එල්ල කළා. ගිලුණු බිස්මාර්කයෙන් දිවි බේරාගත් ජර්මන් නාවිකයකු පසුව ප්‍රකාශ කල ආකාරයට මේ ප්‍රහාර වලින් ලුට්ජෙන්ස් සහ ලින්ඩ්මාන් දෙදෙනාම මියගියා.

උදෑසන 10.00 වනවිට කාලතුවක්කු උණ්ඩ 700 කට වඩා බිස්මාර්ක් වෙත එල්ල කරනු ලැබ තිබුනා. මුළු බිස්මාර්කයම සුනු විසුනු වෙමින්, ගිනි ජාලා වලින් වැසෙමින්, එකම අපායක් බවට පත්වෙමින් තිබුනා. උදෑසන 10.35 වනවිට සෙමෙන් තම වම් පැත්තෙන් මුහුදට ඇලවුණු බිස්මාර්ක් අවරය දෙසින් මුහුදේ ගිලෙන්නට පටන්ගත්තා. 10.35 වනවිට ජලයේ ගිලීගිය බිස්මාර්කයෙන් පැනගත් ජර්මානු නාවිකයන් දිවි බේරාගැනීමට උත්සාහ කරමින් ජලයට පැනගත්තා. ඩෝසෙට්ෂයර් ප්‍රමුඛ යාත්‍රා වලින් ඒ නැවියන් බේරාගත්තා. ඒ ප්‍රදේශයට පසුව පැමිණි ජර්මානු සබ්මැරීනයකින් තවත් තිදෙනෙකු බේරාගත්තා.කෙසේ වෙතත් 2200 ක්‌ පමණවූ බිස්මාර්ක් කාර්ය මණ්ඩලයෙන් දිවි බේරාගැනීමට සමත්වූයේ 114 ක්‌ පමණයි.

  දෙවැනි ලෝක යුද සමයේ ලෝකය හෙල්ලූ බිස්මාර්ක් එලෙස සදහටම සමුගත්තේ ඒ පිලිබඳ මතකයන් රැසක් මෙන්ම මතවාද කීපයක්ද ඉතිරි කරමින්. එයින් එක මතයක් වන්නේ බිස්මාර්ක් ගිලුනේ බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා ප්‍රහාර වලින් නොව, තම රටේ සහ නාවික හමුදාවේ අභිමානය රැක ගනිමින් බිස්මාර්ක් කාර්ය මණ්ඩලය විසින්ම නැව ගිල්ලවූ (scuttling) බවයි.

කෙසේ වෙතත් මෙය අද දක්වාම විවාදාත්මක කරුණක් ලෙස පවතින අතර එය වෙනම සාකච්ඡා කලයුතු කරුණක්. පහත දැක්වෙන්නේ ගිලුණු බිස්මාර්කයේ ඡායාරූප කීපයක්.

මෙම ඡායාරූප මෑතකාලීනව කල ගවේෂණ වලදී ලබාගත් ඒවායි.

 බිස්මාර්කය පිළිබඳව තොරතුරු ගවේෂණ දෙවැනි ලෝක යුද සමයෙන් පසු කීප වරක් සිදුවී තිබෙනවා. පළමුවැනි ගවේෂණය සිදුකර තිබෙන්නේ රොබට් බැලාඩ් නමැති සාගර විද්‍යාඥයකු විසින් 1989 දී. එමෙන්ම 2001 ජූනි මාසයේදී Woods Hole Oceanographic Institute නමැති ඇමෙරිකානු සාගර විද්‍යා ආයතනය මගින් 2001 ජූනි මාසයේදී දෙවැනි ගවේෂණය සිදුකලා. තුන්වැනි ගවේෂණය සිදුකලේ ටයිටනික් වැනි චිත්‍රපට රැසක අධ්‍යක්ෂවරයා වන ලෝකප්‍රකට ජේම්ස් කැමරන් විසින් 2001 ජූලි මාසයේදී. මෙහි දැක්වෙන්නේද ඔහුගේ ගවේෂණයේදී ලබාගත් ඡායාරූපයි.

බිස්මාර්ක් පිලිබඳ සජීවීකරණ සහ වීඩියෝ දර්ශන කීපයක් ඔබවෙත ලබාදෙන්නට අදහස් කරනවා. පහතින් දැක්වෙන්නේ ඒවායි.

1959 දී සී.එස්.ෆොස්ටර් නමැති ලේඛකයා විසින් ‘බිස්මාර්කයේ අවසන් දින නවය’ ‘The Last Nine days of Bismarck’ යනුවෙන් ලියනලද වෘතාන්තය පදනම් කරගෙන ‘බිස්මාර්කය ගිල්ලවනු’ ‘Sink The Bismark’ යනුවෙන් චිත්‍රපටියක් 1960 වසරේදී නිපදවුනා මේ එයින් කොටසක්.

මීළඟට ඔබට දකින්නට ලැබෙන්නේ දෙවැනි ලෝක යුද සමයේදී සිනමා පටිගතකල අති දුර්ලභ දර්ශන පෙළක්. මෙහි බිස්මාර්ක් නැව, හුඩ් නැවට එරෙහිව ක්‍රියාකළ ආකාරය දැක්වෙනවා.

බිස්මාර්ක් නැවේ අවසන් සටන පිලිබඳ සජීවීකරණයක් පහත දක්වනවා.

පහත දැක්වෙන්නේ, ජේම්ස් කැමරන් විසින්, බිස්මාර්ක් පිළබඳව කළ ගවේෂණය අළලා නිපදවන ලද, වාර්තා චිත්‍රපටියෙන් කොටසක්.

පසු සටහන

මෙය මා සිතා සිටියාට වඩා අතිශයින් දීර්ඝ ලිපියක් බවට පත්වුනා. එයට හේතුවුනේ අත්හල නොහැකි කරුණු රාශියක් ඇතුලත් කරන්නට සිදුවීමයි. කෙසේ වෙතත් මා මූලාශ්‍ර වලින් ලබාගත් බොහෝ කරුණු සංක්ෂිප්ත කලේ පාඨක අවධානය නොබිඳී තබාගැනීමටයි. මේ ලිපිය ඉවසීමෙන් කියවූ ඔබ සැමට හද පත්ලෙන්ම ස්තුතිවන්ත වනවා.

විශේෂ ස්තුතිය

තමන්ට මේ ලිපිය ලිවීමේ හැකියාව සහ පහසුකම්ද තිබියදීත්, මහාත්මා ගුණය, මානුෂික බව සහ පරිත්‍යාගශීලී බව පෙන්වමින් මේ ලිපිය ලිවීමට මට අවස්ථාවදී දිරි ගැන්වූ සෙන්නා ට.

ජර්මානු පුද්ගල නාම සහ ස්ථාන නාම නිවැරදිව ලිවීම පිළිබඳව මා දැනුවත් කළ LA ට. la200020002000@gmail.com

මූලාශ්‍ර:-

විකිපීඩියා විශ්වකෝෂය

http://www.beyondcurricula.com/wwii/europeantheater/bismarck.html

http://www.kbismarck.com/crew/interview-brzonca.html

http://www.bismarck-class.dk/bismarck/bismarck_menu.html

http://www.kbismarck.com/

Advertisements

Comments on: "නිර්භීත සතුරා ‘බිස්මාර්ක්’ – Battleship Bismarck – (තුන්වැනි කොටස) ‘අවසන් සටන’ ‘The Final Battle’" (73)

  1. “එහෙත්, බ්ලොග් කියවන්නන්, ඉතා දීර්ඝ ලිපි කියවීමට මෙන්ම, කොටස් ගණනාවක් කරා යන ලිපිද, (රැල්ලේ යන මාතෘකා හැර) කියවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව, බ්ලොග් ලෝකයට පැමිණ තවම අවුරුද්දක්වත් ගතකර නැති මා, හොඳින් අවබෝධ කරගත්තා.”
    …
    …+++++++

  2. ජේම්ස් කැමරන් කරපු ගවේෂණ චිත්‍රපටියේ පෙන්නුවා වගේ මතකයි “බිස්මාක් නැවේ ගිලීමට හේතුවක් විදිහට ප්‍රධාන නියමු කුටිය වගේම නැවේ බඳ කොටස්වල ශක්තිමත් බවේ අඩුකම”
    …
    …ඒ චිත්‍රපටියේ බොහොම හැඟීම්බර අවස්ථාව වුනේ බිස්මාක් නැවේ සේවය කරපු ඒ ගවේෂණ චිත්‍රපටියට සම්බන්ධ වුණු ජර්මන් සොල්දාදුවන් බිස්මාක් ගිලුණු ස්ථානයේදී තමන්ගේ මියගිය සොයුරු සෙබලුන් සිහි කරලා මල් කළඹක් තැන්පත් කරපු එක.

  3. උදෙන්ම කියවන්නම්..

    • උදේට කාලා පටන් ගත්තොත් දවල්ට කන වෙලාව වෙනකොට අවසන් කරන්න පුළුවන් වෙයි.

    • “1945 මැයි මස 5 වැනිදා නිරීක්ෂණ චාරිකාවක යෙදුනා.”
      “1941 මැයි මස 19 වැනි දින ක්‍රියාන්විතය ආරම්භ කිරීමට හිට්ලර් නියෝග කළා. ” මෙතන වැරදීමක් වගෙයි..

      “දුම් වෙඩි” නොපෙනී යන්න දාන එව්වද?
      අර සංදර්ශනවලදී දුම් යවන්න පාවිච්චි කරන බෝම්බයක් වැනි වෙඩිල්ල මිලදී ගත හැක්කේ කොහෙන්ද?

      1419?? යුධ නැවක මෙතරම් විශාල පිරිසක් ඉන්නවද?

      “රේඩාර් වලට හසුවීමෙන් වැලකීමට මුහුදේ විශාල රවුම් ආකාරයේ මාර්ගයක් අනුගමනය කල අතර එය සාර්ථක වුනා.” මේක තේරුනේ නෑනෙ..

      • මේ ලිපි පෙළේ මුල්ම ලිපිය හරිම කම්මැලියි කියලා මම කිව්වනෙ.. අද කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.. මේ ලිපිය හරිම ආසාවෙන් කියෙව්වා.. කැම්මැලි කියා අතහැරියා නම් මෙබඳු සාරවත් ලිපියක් මග හැරෙනවා.. පතින් ඇති වීඩියෝ නැරඹීමට අවශ්‍යය නැතිවන තරමටම ඔබතුමාගේ විස්තරය චිත්තරූප මවනවා..

        නමවත් නොදැන සිටි නෞකාව පිළිබඳ දැන් බොහෝ දේ දන්නවා.. ඔබට බොහෝම ස්තුතියි! ඒවගේම සෙන්නටත් LA ටත් ස්තුතියි!

        • සමහර කතා ප්‍රවෘත්ති ආරම්භයේදී එතරම් රසවත් නැහැ. නමුත් ඉවසීමෙන් කියවාගෙන ගොස් එහි හරය උකහාගත් විට රසය දැනෙනවා. අගය කිරීම ගැන ස්තුතියි.

      • 1945 වැරදියි. එය නිවැරදි කරන්නම්. බොහොම ස්තුතියි පෙන්වා දුන්නාට. දුම් වෙඩි වලින් මහා දුම් වලාකුලක් ඇති කරනවා. මුහුදේදී නැවක් වැහෙන්නට මෙවැනි වලාකුලක් ඇති කල හැකියි දුම් වෙඩිල්ලකින්. හැබැයි තද සුළඟක් ඇත්නම් වැඩක් නැහැ. කාලතුවක්කු වලිනුත් එවැනිම දුම් බෝම්බ ගසා යුද භූමියේ විශාල ප්‍රදේශයක් ආවරණය කල හැකියි. එවිට එයට මුවාවී යුද ටැංකි සහ භට පිරිස් එහා මෙහා කරගත හැකියි. දුම් වෙඩි මිලදීගන්න නැහැ ලංකාවෙනම්. එහෙම තිබුනානම් මොන මොන දේවල් වෙයිද? යුද නැවක 2000 ක් ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයි. අවශ්‍යතාවය අනුව තමයි භට පිරිස් යොදවන්නේ. වම් පැත්තේ රඩර් ඒක කැඩුන නිසා කෙලින් අතට යන්න බැහැ. ඉතින් බිස්මාර්ක් කලේ වමට වක්‍ර වූ ලොකු රවුමක යමින් සතුරු නැව් වල රේඩාර් වලට අසු නොවී සිටීමට උත්සාහ කිරීමයි.

      • පිළිතුරුවලට බෝම ස්තුතියි!

        දුම් වෙඩි ලෙස මම අදහස් කළේ අර සමහර සංදර්ශනවලදී රතුපාට, නිල්පාට, කොළපාට දුම් පිටකරන දුම් වෙඩි ගැනයි.. අපේ ශිෂ්‍යභට ආචාර පෙළපාලියකදී එයින් එකක් ගෙනවා.. හැබැයි පොළොවේ ගහලවත් පත්තු කරගන්න බැරිවුනා.. අන්න ඒවා විකුණන්න තියෙනවද කියලයි ඇහුවෙ..

        • මමත් කිව්වේ ඒවා ගැන තමයි. ත්‍රිවිධ හමුදාවේ සමහර අය බිග් මැච් වලට ඕවා ගෙනල්ල ගැහුවා. හමුදා විවාහ මංගල්‍ය වලදී ගැහැව්වා. ඒ දෙකම බරපතල වැරදි. එයින් සිවිල් සමාජය හිතුවා, ඒවා ඕනේ කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒවා කිසිම තැනක විකුනන්න නැහැ.

      • කවුද දන්නෙ.. මම හිතුවා ඒවා පත්තු කරන්න නීතියෙන් තහනමක් නෑ කියලා.. මා ආසාවෙන් හිටියෙ එකක් ගෙනත් පත්තු කරන්න.. 😦

  4. සුපිරියි..විචාරක මහතා..බිස්මාක් ජීවන අන්දරය මුල සිට සරලව ලස්සනට දීලා තියනවා.. ඔබ මේකට කොච්චර මහන්සි වෙලාද කියලා පේනවා. මහන්සියේ ප්‍රතිඵලය සුපිරියි.

    තව තවත් මෙවැනි කතා ඉදිරියේදීත් ලියවේවියැයි බලාපොරොත්තු වෙන අතර ඒ සඳහා ශක්තිය හා ධෛර්යය පතමි !!

    විශේෂ ස්තූතිය නම් අනවශ්‍යය දෙයක් ලෙසයි මට හිතෙන්නෙ. ඔබ මේ කාර්යය ඒ වෙනකොටත් ආරම්භ කොට තිබුණ නිසා, ඔබට ඉඩදී ඉවත් වීම කෙතරම් හොඳද කියා හිතුණේ මේ ලිපිය කියවූවාට පසුවයි. මා අතින් මෙය මෙතරම් සම්පූර්ණ ලෙසත්, නිර්මාණාත්මකවත් නිම නොවෙන බව සහතිකයි.

    ජයම පතමි !!.

    • ඔබට බොහොම පින් සෙන්නා. ඔබේ ආශිර්වාදය නිසයි මේ ලිපිය මෙතරම් හෝ සාර්ථක බවකට පැමිණියේ. ඉතිහාස කතා, යුද වාර්තා, කවදාවත් පරණ වෙන්නෙවත්, පාඨක අවධානයෙන් ගිලිහෙන්නෙත් නැහැ. ඔබ ඊළඟට අත ගසන්නට යන කාර්යයත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනය කරනවා. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  5. සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් ලිපි කිහිපයක ප්‍රින්ට්අවුට් ගත්තෙමි 🙂

    • කියවීම තරම් මිනිසෙකුගේ අධ්‍යාත්මය වර්ධනය කරන වෙනත් දෙයක් නැති තරම්. බොහොම ස්තුතියි ඔබට මේ ලිපිය කියවීම ගැන.

  6. ඇනෝපිලිස් said:

    මේක මරේ මරු…… ඊලඟට ස්නයිපර් තුවක්කු ගැන මේ වගේම එකක් ඕනේ….

    • ස්නයිපර් වගේම දැනට ටික කලක සිට පෝලිමේ තියන තුවක්කු තුනකුත් තියනවා. ඉඩ ලැබෙන ආකාරයට හැකි ඉක්මනින් දෙන්නම්. මේ ලිපිය ඇගයීම ගැන ස්තුතියි.

  7. ඩිලාන් said:

    මේ ටිකේම කියවලා කමෙන්ට් නොකර හොරෙන් මාරු උනා,,ඒත් අද නම් කමෙන්ට් කරලම යන්න හිතුනා,, ලිපියට මහන්සි වෙලා තියන තරමට කමෙන්ට් කරලා ස්තූතී කරන්න ඕනා.. ගොඩාක් ස්තූතී මහත්මයා මේ වගේ ලිපියක් පිළියෙල කලාට.

    • ඇත්තටම කමෙන්ට්ස් නොදැම්මත්, බොහෝ දෙනා ලිපි කියවන බව, මේ බ්ලොග් අඩවිය වෙත පැමිණෙන අයගේ ප්‍රමාණය අනුව හිතාගන්නට පුලුවන්. ඇගයීම පිළිබඳව ඔබටත් බොහොම ස්තුතියි.

  8. හොඳ ලිපියක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා, ගවේෂකතුමා ඊලඟට දාන්න බලාපොරොත්තු වෙන්නෙ මොන ලිපිද?

    • ඉල්ලීම් විශාල ප්‍රමාණයක් තියනවා. එමෙන්ම පරිවර්තනයකුත් කරමින් සිටිනවා. පොඩි විවේකයක් අරගෙන ලිපියක් පලකරන්නම්. මේ ලිපිය ඇගයීම ගැන ඔබට ස්තුතියි.

  9. කලිනුත් කිව්ව වගේ ඉතාම වටිනවා. මම මේ කොටස් කීපය දුවට ප්‍රින්ට් කරලා දෙනවා. ඒ අයටත් මේක වටිනවා. නැවතත් කියනවා. බොහෝම පිං.

  10. පොඩි විවේකයක් අරගෙන ලිපියක් පලකරන්නම්

    ඒ කෑල්ලට මම කැමති නැ

    • ඇයි අටම්පහුරෝ, මමත් අර උඹ කිව්වා වගේ 100% ක් පිරිමි කොරන එකවත් කොරලා ඉන්ඩ එපායැ (දැන් ඉතින් කොරන්ඩ පුලුවන්නෙත් එච්චරයිනෙ)

  11. මාරයි……මාරම මාර මාරයි………. 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  12. ක්සැන්ඩර් | Xander said:

    මේ ලිපිය රසවත් බවින් උපරිමයටම තියනවා. ඔබතුමා මෙතෙක් ලිව්ව ලිපි වලින් හොඳම ලිපියක් මේ. සමාවෙන්න එන්න පරක්කු වුනාට.

    • බොහොම ස්තුතියි ක්සැන්ඩර්, මටත් ඔබේ නවතම ලිපිය ගැන අලුත් අදහස් වගයක් තියනවා. ඔබේ බ්ලොග් එකට ඇවිත් කියන්නම්.

  13. අංගොඩයා.. said:

    නියම ලිපි පෙළ විචාරක මහත්තයා.. විස්තරේ මැවිලා පේන විදියට ලියලා තියෙනවා නියමෙටම,සිංහලෙන් ලියවුන මේ වගේ ලිපියක් ඉතින් හොයාගන්නත් නැහැනේ,ඒ අතින් ඔබතුමා කරන්නේ එක්තරා විදියක සේවයක් අපිට.. බොහොම ස්තුතියි..
    (සමාවෙන්න ඕනේ කලින් ලිපිවලට comment එකක් දාන්න බැරිඋනා වැඩත් එක්ක..)

    • කමෙන්ට් ආවත් නැතත් මම ලිපි ලියනවා. මම දන්නවා කමෙන්ට් එකක් නොදැම්මත් අවශ්‍ය කෙනා අවශ්‍යදේ බලන බව. ඔබට බොහොම ස්තුතියි ඇගයීම පිළිබඳව.

  14. නියම ලිපියක් , ගොඩක් ස්තුතියි.

  15. mei widihatama lankawe hamudawa naw gillapu hatith liyanna puluwanda sir? sinhala type karanna danne na. e gana kanagatui.

    • අපේ නාවික හමුදාව එල්.ටී.ටී.ඊ නැව් ගිල්ලපු හැටිත් ලියන්න පුළුවන්. ඒවා කිසිසේත් අඩු තක්සේරු කරනවා නෙවේ. ඒ සිද්ධි මෑත කාලයේ සිදුවූ නිසා, පුවත්පත් සහ රූපවාහිනී වාර්තා බොහෝ විශාල පිරිසක් කියවලා දැකලා තියනවා. මම ලියලා තියෙන්නේ අද ඉන්න අයගෙන් බහුතරයක් අසා නැති දෙයක්.
      සිංහල ටයිප් කරන්න හරිම ලේසියි. ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් Google Translitareshan නමැති ඔන් ලයින් මෘදුකාංගය ගූගල් වෙතින් නොමිලේ දෙනවා. එය ආධාර කරගෙන ඔබ ඔය ලියලා තියන විදිහට සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියලා ස්පේස් බාර් එක එබුවම සිංහල වචනය එනවා. ඒ සමගම නොමිලේ දෙන Google IME නමැති ඔන් ලයින් මෘදුකාංගය ගත්තම, ඔබේ වෙබ් බ්‍රව්සරයේ වුනත් සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්.

  16. අංගොඩයා.. said:

    Download and install this,
    http://www.google.com/ime/transliteration/index.html
    බ්‍රව්සරයේ විතරක් නෙමෙයි සර් Ms word වලත් ටයිප් කරන්න පුළුවන්,මං සමහර Folders,Files නම් කරන්නත් මේක භාවිතා කරනවා..

  17. බොහොම ස්තුතියි විචාරක. මේ පින්තූර වලට සිංහල විස්තර ඇතුලත් වුනේ කොහොමද කියලා කල්පනා කලේ.

  18. , ඉතා දීර්ඝ ලිපි කියවීමට මෙන්ම, කොටස් ගණනාවක් කරා යන ලිපිද, (රැල්ලේ යන මාතෘකා හැර) කියවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව, බ්ලොග් ලෝකයට පැමිණ තවම අවුරුද්දක්වත් ගතකර නැති මා, හොඳින් අවබෝධ කරගත්තා”

    කවුද දෙයියනේ මෙව්වගේ බොරු කියන්නේ.. මොන රැලිද… මේ වගේ ලියනවා නන් අනිවා මං නන් කියවනවා…
    සුපිරියි.. පෝස්ට් තුනම එකපාර බැලුවා‍……

    • බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. ජනප්‍රිය මාතෘකා ලියනවානම් අපි වගේ ආමි කාරයන්ගේ මතකයේ තියන ජනප්‍රිය කතා දහස් ගණනක් ලියන්න පුළුවන්. නමුත් කිසිම හරයක් නැහැ. නිකම් පපඩම්/බොම්බයි මොටයි වගේ. මනසට ආහාරයක්‌ වෙන යමක් දීමටයි කවදාහරි බැරි ගැහෙනතුරු මා උත්සාහ කරන්නේ.

  19. පාඩම් අංක 1 – යුද්ධයේදී කිසිවිටක තමා හෝ සතුරා අවතක්සේරු හෝ අදිතක්සේරු නොකල යුතුයි…………..
    පාඩම් අංක 2 – මුහුදේ පාවෙන මිනිසා විසින් තැනූ ගිල්විය නොහැකි වස්තුවක් නොමැත .
    පාඩම් අංක 3 – නාවික යුධ්දයේදී ගුවන් ‍යුධ බලය තීරණාත්මක සාධකයකි……, ( එබැවින් අප නාවික හමුදාව සතුව හෙලිකොප්පරක් / කුරුම්බැට්ටි මැශිමක් වත් දන්නා තරමින් නැත , සෝචනීයයි , ඉරකි , තිතකි )
    අවසන් වශයෙන් ඔබතුමාට ස්තූතීය ….. ” විශිෂ්ඨයි සර්

  20. ලකීසිරි said:

    බොහොම අපුරු තැනක් . අදයි මට හිතෙන විදියට ඉස්සර වෙලාම ගොඩ වැදුනෙ…වෙලාවක් ලැබුන ගමන් පරණ පොස්ට් ටිකත් කියවන්න ඕන..
    බිස්මාක්ගෙ සටහන බොහොම කැමැත්තෙන් කියෙව්වා..

    • මෑතක සිට අලුතෙන් මෙහි පැමිණෙන්නන් සෑහෙන සංඛ්‍යාවක් දකින්නට ලැබෙනවා. ඔබව ඉතාම සාදරයෙන් පිලිගන්නවා. පැරණි ලිපි කියවීමට තීරණය කිරීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.

  21. ඉතා වැදගත් ලිපියක් ලිවිම පිලිබඳ ඔබතුමාට මගේ ස්තුතිය. විශේෂ ස්තූතිය නම් අනවශ්‍යය දෙයක් ලෙසයි මට හිතෙන්නෙ.

    “රේඩාර් වලට හසුවීමෙන් වැලකීමට මුහුදේ විශාල රවුම් ආකාරයේ මාර්ගයක් අනුගමනය කල අතර එය සාර්ථක වුනා.”

    මෙසේ රව්මට ගමන් කිරීමෙන් රේඩාර් වලින් සැඟවී සිටින්නේ කෙසේද යන්න නම් එතරම් පැහැදිලි උනේ නැහැ.

    • වම් පැත්තේ රඩර් එක හිරවීම නිසා ඉදිරියට ගියත් යැවෙන්නේ වමට වක්‍ර මාර්ගයකනේ. ඒ විදිහට හෝ රේඩාර් සංඥා සීමාවෙන් ඈත් වීමටයි එසේ කලේ.

      • මමත් ඔය ප්‍රශ්නෙම ඇහුවනෙ.. මටත් විචාරක මහතා කියන්න උත්සාහ කළ දේ නෙමෙයි හැඟුනෙ.. මට හිතුනෙ මේවගේ දෙයක්..

        අපි චිත්‍රපටිවල දැකලා තියෙන්නෙ රේඩාර් එකෙන් බලනවා කියලා අර කොළපාට රවුම් රවුම් තියෙන තිරේකින් බලන එකනෙ.. ඊට පස්සෙ ඒකෙ තිත් දෙකක් පෙන්නලා අන්න බඩු ඉන්නවා කියලා ගහන්න යනවා.. රවුම් රවුම් කිව්වම මට හිතුනෙ රවුමට කැරකුනාම රේඩාර් තිරයේ රවුම් ටිකත් එක්ක පැටලෙනවා ඇති කියලා.. නැත්නම් රේඩාර් තිරයේ රවුම් තියෙන ඉරකට සමපාත වෙලා නොපෙනී යනවා කියලා.. මේක මහා මෝඩ සිතිවිල්ලක් කියලා තේරිච්ච නිසයි ඇහුවෙ..

        • මට දැන් හිතෙනවා මගේ විස්තර කිරීමේ දෝෂයක් තියනවා කියලා. රේඩාර් මූලික වශයෙන් පාවිච්චි කරන්නේ පොලොව මතුපිට හෝ පොළොවට ඉහළින් හෝ ජලය (සාගර,වැව්,ගංගා වැනි ජලතලා) මතුපිට හෝ චලනය වන වස්තු නිරීක්ෂණය කිරීමටයි.අදනම් චන්ද්‍රිකා ගමන්, චන්ද්රිකාවල පිහිටීම, අභ්‍යවකාශයේ ඇති ග්‍රහක වස්තූ, මිසයිල් යැවීම, යන දේවල් නිරීක්ෂණය කිරීම සඳහාත්, සුළි සුළං කුනාටු නිරීක්ෂණය කිරීම සඳහාත් රේඩාර් යොදාගන්නවා.ඇත්තටම අපි පාරේ වාහනයක් පදවාගෙන යනවිට, අර, රෙදි වැලක වනලා තියන චීත්තෙකට මුවා වෙලා ඉඳලා හරි, පාරට පැනලා, අර සුකුරුත්තම අල්ලන පොලිස් රාළහාමිලා, පාවිච්චි කරන්නෙත් රේඩාර් එකක්. ලංකාවේ විශාලතම රේඩාර් එක තියෙන්නේ පිදුරුතලාගල කඳු මුදුනේ. එහි තිරයේ ඇඳෙනවා අපේ ගුවන් කලාපයෙන් අති විශාල කොටසක්. ලංකාවේ හැඩය ලස්සනට ඇඳෙනවා. රේඩාර් යන්ත්‍රයෙන් එවන අධි ධ්වනි සංඥාව යම් වස්තුවක ගැටුනාම එය ප්‍රති ධ්වනියක් ලෙස ඒ යන්ත්‍රයෙන්ම ග්‍රහණය කරගන්නවා.ඔබ දැක තිබෙන රේඩාර් තිරය කොලපාට එකක්. නමුත් ඇම්බර් පැහැති,නිල් පැහැති,තිරත් මා දැක තිබෙනවා.
          බිස්මාර්ක් කරන්න හැදුවේ ලොකු රවුමක් යමින් සතුරු රේඩාර් සංඥා වලින් ඈත් වීමටයි. කිසියම් සංසිද්ධියක් පිළිබඳව උපකල්පනයක් ඇතිකරගැනීම කිසිසේත් මෝඩ සිතුවිල්ලක් වන්නේ නැහැ.

      • සියල්ල පැහැදිලියි තුමෙනි.

      • ඒ කියන්නේ වම් පැත්තේ රඩර් එක හිරවීම නිසා (කෙලින් යන්න බැරි නිසා) රව්මට ගියා. මා මුලදී සිතුවේ උපක්‍රමයක් ලෙස එසේ කලා කියල.

        “බ්ස්මාර්ක් ලුට්ජෙන්ස් ගේ ශූර මොලයෙන් දුන් උපදෙස් අනුව බ්‍රිතාන්‍ය නාවික රේඩාර් වලට හසුවීමෙන් වැලකීමට මුහුදේ විශාල රවුම් ආකාරයේ මාර්ගයක් අනුගමනය කල අතර එය සාර්ථක වුනා”

        මෙන්න මේ සටහන තමයි එකට ප්‍රදාන හේතුව. නමුත් දැන් සියල්ල පැහැදිලියි.

  22. ඇයි නැව ගොඩ අරගෙන නැත්තේ මෙච්චර කාලෙකට?

    • ඉතාම අගනා ප්‍රශ්නයක් ඔබ ඇසුවේ. මම හිතුවේ මේ ලිපි මාලාවේ දෙවැනි ලිපියෙන් පසු කවුරුන් හෝ ඔය ප්‍රශ්නය අසනු ඇතැයි කියලයි. මේ නැව පමණක් නොවෙයි, මෙවැනි නැව් රාශියක් තිබෙනවා මුහුදු පතුලේ සැඟවුණු. එයින් කිසියම් නැවක් යම්කිසි රටකට අයත් මුහුදු සීමාව තුල ගිලී ඇත්නම් යම් යම් සීමාවන්ට යටත්ව, තම අභිමතය පරිදි ක්‍රියාකිරීමට ඒ රටට අයිතිය තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේ ගිලී ඇති නැව් සම්බන්ධව ක්‍රියා කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංගමය වැනි සංවිධාන වල ප්‍රඥප්තීන් අනුව ක්‍රියා කලයුතු වෙනවා. ව්ශාල පිරිසක් සමග ගිලී ගිය මෙවැනි යුද නැව් මෙන්ම, ‘ටයිටනික්’ වැනි මගී නැව් ආදියද සලකන්නේ, සාගර පතුලේ ඇති සුසාන භූමියක් ලෙසයි. ඒ නිසා සදාචාරාත්මක හේතු සහ නීතිමය හේතු නිසා මෙවැනි නැව් ගොඩ ගන්නේ නැහැ.

  23. මම මෙතනට අලුත්. ක්සැන්ඩර්ගෙ ලිපියකට මේ මහත්මා යොදා තිබුනු Comments මම කියෙව්වා. ඒ Comments වල තිබූ Link එකකින් හරිම අහම්බෙන් මේ වෙබ් අඩවිය හමුවුනේ. අපරාදෙ මෙච්චරකල් මේක මඟහැරිලනෙ. මහත්මයාගේ අඩවිය ගැන FaceBook සමාජජාලයේ Group වල පළකොට නැතිද? එසේ තිබුනානම් මට මේක මඟහැරෙන්නේ නැහැ. කාර්යබහුල වුවත් ඉඩලැබෙන හැමමොහොතකදීම කියවන්න එන්නම්.

    • ඔබව ඉතාම සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්නැයි අරාධනා කරනවා. මම හිතන්නේ මූනු පොතට මම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මගේ අනන්‍යතාව වැඩිය එලියට නොදමා මෙහෙම ඉන්නම්.

  24. අද තමා මේ පැත්තට ආවේ, හරී ගේ සහ හසිත ගේ බ්ලොග් මාර්ගයෙන්. වටිනා කරුණු බොහෝමයක් දැනගත්තා. අනෙක් ලිපි ටිකත් ඉඩ ලැබෙන විදිහට කියවන්නම්.

  25. ආයේ කියන්න දෙයක් නැහැ සුපිරියටම ලියල තියෙනවා හැබැයි මීට වඩා විස්තර සහිත වුනානම් හොඳයි කියල හිතෙනවා.

    කෝරලේ වලව්ව

  26. විශිෂ්ටයි… ලිපි මාලාවම ඉතා අසාවෙන් රසවින්දා. මෙවන් ලිපි ලිවීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා.

    • ඔබ මීට පෙර මේ අඩවියට පැමිණි බවට මතකයක් නම් මට නැහැ. ඔබව ඉතා ආදරයෙන් ගෞරවයෙන් මේ අඩවියට පිලිගන්නවා. අනෙකුත් ලිපිද කියවා අදහස් දක්වනමෙන් කාරුණිකව ඉල්ලනවා.

  27. මේක මට ඇහුනු විදිය වැරදීද කියල නම් දන්නෑ,ඒත් මම අහලා තියනවා බිස්මාර්ක් නැවේ රේඩාර් පද්ධතියෙ අවුලකුත් තිබුනා කියලා.

  28. මම ගොඩ කාලෙකින් බ්ලොග් කියවන්න පටන් ගත්තේ.. අපරාදේ හොද ලිපි ගොඩක් මග හැරිලා..මේ විබාග නිසා මෙලෝ වැඩක් කරගන්න වෙලාවක් නෑනේ..
    ගොඩාක් හොද ලිපියක්..
    විබාගේ ඉවරවෙලා ඔක්කොම ලිපි ටික කියවන්න ඕනේ..
    මේ වගේ තවත් ලිපි ලියන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා..!

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: