විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 දෙවැනි ලෝක යුද සමය පසුබිම් කරගත් යුද වාර්තා, මූලාශ්‍ර ලෙස ගෙන නිපදවූ, සිනමා පට, රූපවාහිනී වැඩසටහන්, මෙන්ම පොත්පත්ද ඔබ පරිශීලනය කර ඇති. ‘බිස්මාර්ක් – Bismarck’ යන නම දෙවැනි ලෝක යුද සමයේදී ලොව හෙල්ලූ නමක් බව ඔබට මතකද? නැතහොත් එවැනි නමක් අසා තිබේද? මේ කියන්නට යන්නේ ඒ අභීත සතුරා හෙවත් බිස්මාර්ක් යුද නැවේ කතාවයි. සෑම විටම සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත් මෙන්ම ප්‍රබල වන බව මේ කතාව කියවීමෙන් ඔබට මොනවට තහවුරු වනු ඇති.

දෙවැනි ලෝක යුද සමයේදී ලොවම මවිත කල, ලොව හෙල්ලූ, එමෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඇමෙරිකානු, නාවික හමුදා මවිතයට හා භීතියට පත්කළ, අසාමාන්‍ය, අභිමානවත්, අති බලවත් යුද නැවක් ලෙස, බිස්මාර්ක් නැවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එහි විශේෂත්වය වන්නේ මේ නැව සේවයේ යෙදුනේ මාස 8 ක් වැනි සුලුකාලයක් වීමය. මේ නැව, ජර්මානු ආඥාදායක පාලනය ලොවපුරා ව්‍යාප්ත කිරීම සඳහා, නාවික බලය වර්ධනය කරගැනීම පිණිස යොදනලද, අති දැවැන්ත උත්සාහයක් ලෙසද, ඉතිහාසයට එක්වෙයි. එමෙන්ම එය ජර්මානු නාවික තාක්ෂණයේ අද්විතීයත්වය ලොවට පිළිබිඹු කල ප්‍රබල සංකේතයක්ද (icon) වෙයි.

මාස 8 ක් පමණක් සේවයේ යෙදුනු, තම ප්‍රථම හා එකම අණදෙන්නා වූ, කපිතන් අර්න්ස්ට් ලින්ඩ්මාන් ගේ අණදීම යටතේ,

එකම එක ක්රියාන්විතයකට පමණක් සහභාගිවූ බිස්මාර්ක් නැව, මෙතරම් වැදගත් තැනක් ගන්නේ ඇයි. විශේෂත්වය වන්නේ 1940 යුගයේදී ලොව බලවත් යුරෝපීය රටවල් අතරින් නිපදවුණු, මේ ආකාරයේ ප්‍රථම නැව මෙය වීම හා මෙයට අභියෝග කළහැකි නැවක් ලොව වෙනත් කිසිදු රටක් සතුව එවකට නොතිබීමයි. මේ නැවෙහි නිර්මාණය, ප්‍රහාරක ශක්තිය, සහ චාලක ශක්තිය පිළිබඳව ප්‍රධාන කරුණු පහත වෙනම විස්තර කරනු ලබනවා.

 බිස්මාර්ක් නැව නිපදවීම ආරම්භ වුයේ 1936 ජූලි මස පළමුවැනිදා ජර්මනියේ හැම්බර්ග් වරායෙහිදීය. 1939 පෙබරවාරි මස 14 වැනිදා දියත් කල මෙම නැවේ අත්හදා බැලීම් නිමකොට, සියලු වෙනස්කිරීම් හා නවීකරණ කටයුතු නිමවා, අධිකාරියට පත්කොට, (නාවික හමුදාවක ඇති යුද නැව් මෙන්ම තෝරාගත් වෙනත් යාත්‍රා අධිකාරියට පත්කිරීම (Commissioning) ලොව පුරා නාවික හමුදා සම්ප්‍රදායකි. එවැනි නැවකට ගොඩවන විටත් බසින විටත් ත්‍රිවිධ හමුදාවට අයත් සියලු දෙනා නැවට ආචාර කල යුතුය) සේවයේ යොදවන ලද්දේ 1940 අගෝස්තු 24 වැනිදා ය. එනම් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන්නට ඔන්න මෙන්න කියන අවදියේදීය. මෙම නැවට ‘බිස්මාර්ක්’ යන නම ලැබුණේ, 1871 දී ජර්මනිය එක්සත් කිරීම සඳහා පුරෝගාමීවූ චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් Chancellor Otto Von Bismarck සිහිපත්වීම සඳහාය.

බිස්මාර්ක් නැවේ සැකිල්ලේ පටන් එහි ඉදිකිරීම ඉතා විශේෂ සැලැස්මකට අනුව සිදුවිය. කොතරම් රළු මුහුදක වුවද අපහසුවකින් තොරව ගමන් කිරීමත් සතුරු ප්‍රහාර වලට හොඳින් ඔරොත්තු දීමත් මේ නැව නිපදවීමේදී විශේෂ අවධානයට ලක්වූ කරුණු විය. බිස්මාර්ක් නැව නිපදවුනේ තනිව නොවේ. ඒ සමගම එවැනිම තවත් නැවක් නිපදවුනි. එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ ‘Tirpitz’ යන නමිනි. 1936 දී ඉදිකිරීම් ආරම්භ කල මෙම නැව බොහෝ දුරට බිස්මාර්ක් නැවට සමාන විය. 1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්‍රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්‍රියා කිරීමයි. සාර්ථකව තම රාජකාරියේ යෙදුන මේ නැවෙන් එල්ලවූ තර්ජනය බලවත්වූ බැවින්, මිත්‍ර හමුදා විසින් සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කරනලදී.

 බිස්මාර්ක් යුද නැව, දෙවැනි ලෝක යුද සමයේ නාවික තාක්ෂණය හා සසඳා බලනවිට අසමාන නැවකි. වර්තමානයේ තිබෙන ඇති දැවැන්ත යුද නැව් සමග සසඳා බැලීමේදී බිස්මාර්ක් එදා සාගරයේ යෝධයෙකි. රකුසෙකි, භයානක අවියකි. අද මහා යුද නැව වල පරමාණු බෝම්බ හෙළිය හැකි ගුවන්යානා පවා ඇත. බිස්මාර්ක් සතුවද බෝම්බ හෙළිය හැකි (පරමාණු බෝම්බ නොවේ) කුඩා ගුවන් යානා හතරක් විය. මෙය එකල අනෙක් යුද නැව වලට දැඩි අභියෝගයක් විය.

සාමාන්‍යයෙන් යුද නැවක ප්‍රහාරක ශක්තිය ගැන එතරම් අවබෝධයක් නැති කෙනෙකුට වුවද බිස්මාර්ක් නැවේ තරම වටහා ගැනීමට හැකිවන පරිදි හැකි තරම් සරලව එහි ශක්තිය මේ ආකාරයෙන් දැක්විය හැකියි.

  • 1. ප්‍රධාන කාලතුවක්කු බතරොයිය (Main Artillery Battery)

. සෙ.මී. 38 ක් (අඟල් 15) විෂ්කම්බය සහිත, එකක් කිලෝ ග්රෑම් 800 ක් බර, උණ්ඩ යොදා, කිලෝමීටර් 35.5 ක් ඈතට වෙඩි තැබිය හැකි කාල තුවක්කු 8 යි. මේ කාලතුවක්කු 8 ද්විත්ව තුවක්කු අට්ටාල (twin gun turrets) ලෙස සකසා, අට්ටාල දෙකක් නැවේ ඉදිරිපස කොටසේද, (ඇණිය)  අනෙක් දෙක පසුපස කොටසේද (අවරය) සවිකර තිබුණි. මේ කාලතුවක්කුවක බැරලයේ (බටයේ) දිග මීටර් 19 ක් විය. (අද අපේ හමුදාවේ තිබෙන ලොකුම කාලතුවක්කුව වන මිමී 130 කාලතුවක්කුවෙන් වෙඩි තැබිය හැක්කේ උපරිම කි.මී. 27 ක ඉලක්කයකටය)

  • 2. ද්විතීයික කාලතුවක්කු බතරොයිය (Secondary Artillery Battery)

සෙ.මී. 15 ක් (අඟල් 6 ක් ) විෂ්කම්බය සහිත, එකක් කි.ග්රෑ. 45 ක් බර උණ්ඩ යොදා, කි.මී. 23 ක් ඈතට වෙඩි තැබිය හැකි කාලතුවක්කු 12 යි. මේවා ද්විත්ව අට්ටාල තුන බැගින් නැවේ දෙපස සවිකර තිබුණි.

  • 3. ගුවන් යානා නාශක බර මැෂින් තුවක්කු බතරොයිය (Heavy Anti Aircraft Battery)

සෙ.මී. 10.5 (අඟල් 4) විෂ්කම්බයකින් යුත්, එකක් කි.ග්රෑ. 15 ක් බර උණ්ඩ යොදා, කි.මී. 17 ක් දුරට හෝ කි.මී 12 ක් උඩට (අහසට) වෙඩි තැබිය හැකි, ද්විත්ව මැෂින් තුවක්කු 16 යි. තුවක්කු දෙකේ අට්ටාල 8 ක් ලෙස සවි කර තිබුණි.

  • 4. මධ්‍යම, ගුවන් යානා නාශක මැෂින් තුවක්කු බතරොයිය. (Medium Anti Aircraft Battery)

සෙ.මී. 3 ක (අඟල් 1.5 ක) විෂ්කම්බයකින් යුත්, එකක් ග්රෑම් 745 ක් බර උණ්ඩ යොදා, කි.මී. 6.75 ක් දුරට වෙඩි තැබිය හැකි තුවක්කු 16 යි. ද්විත්ව තුවක්කු අට්ටාල 8 ක් ලෙස, නැවේ දෙපස සවි කර තිබුණි.

  • 5. ගුවන්යානා නාශක සැහැල්ලු මැෂින් තුවක්කු බතරොයිය (Light Anti Aircraft Battery)

සෙ.මී. 2 ක (අඟල් 3/4) විෂ්කම්බය සහිත, එකක් ග්රෑම් 132 ක් බර උණ්ඩ යොදා, කි.මී. 4.8 ක් දුරට වෙඩි තැබිය හැකි මැෂින් තුවක්කු 18 යි. මෙයින් තුවක්කු 10 තනි තනිව සවිකළ පාදස්තල වල(single pedastal) තිබුන අතර අනෙක් තුවක්කු 8 චතුර්ථ පාදස්තල (quadruple mounts – එක පාදස්තලයක තුවක්කු 4 බැගින්) වල සවි කර තිබුණි.

  • 6. බෝම්බ හෙලීමට භාවිත කළහැකි සැහැල්ලු ගුවන් යානා 4 යි.

එපමණක් නොව දිගු දුර රේඩාර් පද්ධති තුනකින් සමන්විතවූ බිස්මාර්ක් මීටර් 251 ක දිගකින් හා මීටර් 36 ක පළලකින් ද මෙට්‍රික් ටොන් 50300 ක බරකින් ද යුක්ත විය. එමෙන්ම වාෂ්ප ටර්බයින තුනකින් සහ ඉන්දන බලයෙන් ක්‍රියා කරන බොයිලේරු 12 කින් සමන්විතවූ බිස්මාර්ක් නැවේ, මුළු ශක්ති ජනනය කිලෝවොට් 111,980 ක් විය. එමගින් පැයට නාවික සැතපුම් 30.01 ක් හෙවත් පැ.කි.මී. 55.58 ක වේගයක් උපදවාගත හැකිවිය. නැවේ ඉන්දන ටැංකි වලට එකවර ඉන්දන මෙට්‍රික් ටොන් 8294 ක් පිරවිය හැකිවූ අතර එම ඉන්දන ප්‍රමාණයෙන්, අවම වේගය වූ පැයට නාවික සැතපුම් 19 ක (පැ.කි.මී. 35 ක) වේගයෙන්, නොනවත්වා නාවික සැතපුම් 8870 ක් (කි.මී. 16430 ක් ) යාත්‍රා කළහැකි විය. නැවේ බඳ, තුවක්කු අට්ටාල, විශේෂ ආවරණ තහඩු සෙ.මී. 3 සිට සෙ.මී. 32 දක්වා ප්‍රමාණයේ ඝනකමකින් යුක්ත විය.

බිස්මාර්ක් නැවේ කාර්ය මණ්ඩලය නිලධාරීන් 103 දෙනෙකුගෙන් හා නාවික සෙබළුන් 1962 දෙනෙකුගෙන් සමන්විත විය. (අපේ යුද හමුදාවේ බලසේනාවකට Brigede වඩා වැඩියි. සේනාංකයක් Division තරම්) එක කාර්ය අංශයකට නිලධාරීන් හා සෙබළුන් 180 ත් 220 ත් අතර ප්‍රමාණයක් සිටිනසේ මුළු නාවික බල ඇණිය අංශ 12 කට බෙදා තිබුණි. නැවේ අණදෙන නිලධාරියා වුයේ කපිතන් අර්නස්ට් ලින්ඩ්මාන් ය.

මෙතරම් ප්‍රබල නැවක්, පාවෙන යුද බලකොටුවකට, සම කල හැකි නැවක්, එකම එක ක්රියාන්විතයකට පසු, පහරදී මුහුදේ ගිල්ලවා දැමුවේ කෙසේද? මීළඟ කොටසෙන් බලමු.

දැන් ඊළඟ ලිපිය එනතුරු නිකම් ඉන්න එපා. මම දෙන්නම් කර කර ඉන්න වැඩක්. මම මෙපමනකල් ඔබට අවස්ථාව දුන්නේ යුද හමුදාවේ අවි වලින් වෙඩි තියන්න පමණයි. ඔන්න පළමුවනි වතාවට දෙනවා යුද්ධ නැවක කාලතුවක්කුවෙන් වෙඩි තියන්න. හැබැයි පරිස්සමෙන්. මතකනේ එක උණ්ඩයක් කි. ග්රෑ. 800 ක් බරයි. අත් කකුල් විතරක් නෙවෙයි, ශරීරයේ වෙනත් වැදගත් ‘අස්ථි’ තලාගන්න එහෙම එපා. අපේ ‘මහ වෙදනා’ ලඟට යන්න වෙයි බෙහෙත් කරගන්න. එහෙනම් මෙතනින් ගිහින් බලන්න.

Advertisements

Comments on: "නිර්භීත සතුරා බිස්මාර්ක් Battleship Bismarck (පළමුවන කොටස)" (44)

  1. බිස්මාක් නැව සොයාගිය ආකාරය ගැන වාර්තා වැඩසටහනක් ආකාරයෙන් සැකසුව චිත්‍රපටියක් පහුගිය කාලේ ජාතික රූපවාහිනියේ ගියා. බිස්මාක් නැවේ ඉදන් දිවි ගලවා ගත්තු ජර්මානු හමුදා නිලධාරීන් කීපදෙනෙකුත් මේ සඳහා සම්බන්ධ වෙලා හිටියා.

  2. ගොඩක් හොඳ ලිපියක්! මෙක ඉස්සර රූපවාහිණියේ Discovery channel එක ගිය කාළේ පෙන්නුවා. ජේම්ස් කැමරුන්ගේ බිස්මාර්ක් ගැන තියෙන ගොඩක් හොඳ documentry එකක්. http://www.youtube.com/watch?v=Uba-bxAiWiw

  3. කියන්න දෙයක් නෑ.. සුපිරියි.. නැවයි ලිපියයි දෙකම… ඊලඟ කොටසින් අවසන් කරන්ඩ පුලුවන් වෙයිද ? මට නිකම් හිතෙන්නෙ බෑ වගේ.. ඒකත් එනකම් බලා සිටිමි…

    පැයට නොට් 30.10 ක් කියන්නෙ අදටත් හොඳ වේගයක්.. සාමාන්‍ය හොඳම වෙළද නැවක වේගය වෙන්නෙ නොට් 25~30 ත් අතර ගානක්..

    සාමාන්‍යයෙන් අපි නැවක් ගැන කතා කරද්දි ” She ” කියලනෙ කියන්නෙ.. හැබැයි මේ නැවේ නියමුවා ඒකට ඇමතුවෙ ” He ” කියලලු. අනිත් අයටත් ” She ” කියලා අමතන්ඩ තහනම් කරලා තිබුනා කියලා මම අහලා තියනවා..

    ඔබ හැමදාම වගේ බොහොම මහන්සි වෙලා තියනවා වැඩේට.. මෙන්න මගේ ආචාරය !!

    • ස්තුතියි සෙන්නා, මටනම් හිතෙන්නේ ඔබ මේ ලිපිය කලානම් තවත් විස්තර දෙයි කියලයි. කොටස් තුනකට නොයා ඉන්න සියලු උත්සාහ දරනවා.

      • මේවගේ යුධ නැවක් ගැන ලිපියක් සකසන්ඩ මේ බ්ලොග් අවකාශෙ ඔබට වඩා සුදුසු පුද්ගලයෙක් ඇති කියලා මම නම් හිතන්නෑ විචාරක මහතා. ඔබට ආයුද ගැන තියන දැනීමත් එක්ක ලිපිය වර්ණවත් වෙලා තියනවා… හූඩ් නැවත් එක්ක කළ සටනත් ඇතුලුව සියලු විස්තර ඊලඟ ලිපියෙන් ලෙසටම දෙන බව මට විශ්වාසයි…

        ජය !!

        • මම හිතනවා සෙන්නා ඔබේ අනුමැතියත්, පරිත්‍යාගශීලී භාවයත්, ආශිර්වාදයත්, බලපෑවා කියා ලිපිය සාර්ථක වීමට. හැකි උපරිමයෙන් සියලු විස්තර දෙන්නම්.

  4. මේ ලිපිය ආවාට ගියාට කියවන්න අමාරුයි. වෙනම කියවලා හෙට කමෙන්ට් දාන්නම්. මම මේ ලිපිය එනකන් බලන් හිටියේ. දැන් මාතර යනවා. හෙට එහෙදි නැවත කියවලා දෙන්නම් මගේ අදහස් නැවතත්. පුදුම මහන්සියක් වෙලා තියෙන බව පෙනෙනවා. ස්තුතියි.

  5. නියමයි.. බලාගෙන හිටිය ලිපිය අද ආවේ. එහෙනම් අපි එනවා කියවන්න ඊළඟ එකත් දාන ඉක්මනින්ම. බිස්මාර්ක් සතුව ගුවන්යානා තිබුනා කියලා අදමයි ඇහුවේ. ජපන් නැවකුත් තිබ්බා නේද? බිස්මාක් වගේම විශාල?

  6. මම මේ නැව ගැන වාර්තා වැඩසටහනක් බැලුව මම හිතන්නේ ඩිස්කවරි නාලිකාවෙන් අරන් ලංකාවේ පෙන්නපු ඒවල.

  7. එක හුස්මට කියවගෙන ගියා. ඊළඟ කොටසත් ඉක්මනට දාන්න.

  8. ෂා නියමයි ලෝක යුද ඉතිහාසයත් ඇදලා අරින්ඩයි හදන්නේ,
    එය තියෙන්නේ අවුරැදු ගානකට ලියන්ඩ බඩු

  9. මේකනං සුපිරි…. දැනගත්තෙත් අදමයි…

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

  10. හැමදාම වගෙ හර බර දෙයක් ඉදිරිපත් කරලා අදත්. නමුත් මෙන්න මේක දැක්කම මට පොඩි සැකයක් ඇතිවුනා.
    //එකවර ඉන්දන ලීටර් 8294 ක් පිරවිය හැකිවූ අතර//
    මේක නම් පොඩි අතපසුවීමක් වෙන්න ඇති විචාරකට. මොකද මෙච්චර විශාල නැවකට මේ ඉන්ධන ප්‍රමානයෙන් යා හැකි දුර බොහොම ටික නිසා. ඇත්තෙන්ම මේක ලීටර නෙවෙයි මෙට්‍රික් ටොන්.8294 යි.
    මෙන්න මෙතන බලන්න.
    http://www.kbismarck.com/genedata.html
    henryblogwalker the Dude

    • ඔබ හරි. මෙය ටයිප් කිරීමේදී සිදුවූ අතපසුවීමක්. බොහොම ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නට. දැන්මම නිවැරදි කරනවා. (මම ලියාගත්ත සටහනක වැරද්දක්.)

  11. wicharaka, Sink the Bismarck! 🙂

  12. ඊළග කොටස එනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියවන්න.

  13. මමත් එක හුස්මට කියවගෙන ගියා!!ගුවන් යාන සහිත පළමුවන නැව බිස්මර්ක්ද?

    • යුද කටයුතු සඳහා නැව් මත ගුවන් පථ සකසා පාවිච්චි කිරීම මුලින්ම සිදුකර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. හැබැයි ඊටත් පෙර යුද නොවන කටයුතු සඳහා ගුවන්යානා හෝ බැලූන නැව් මත සිට පාවිච්චි කිරේම සිදුවෙලා තියනවා. ගුවන්යානා හාරක පළමුවැනි නැව යූ.එස්.එස්. බර්මින්ග්හැම් 1910 නොවැම්බර් 14 වැනිදා තමයි එහෙම කරලා තියෙන්නේ. මෙතනින් බලන්න.

  14. බ්ලොග් අවකාශෙ විශාල හිඩැසක් ඔබෙන් පිරෙනවා. මොකද මේකෙ හැම ජාතියෙන්ම විඩ්වතුන් රසිකයෝ ඉන්නවා. හැබැයි යුධ වීරයෝ කවුරුත් නැහැ. ඔබ ඒ අඩුව ඉතාම විශිෂ්ට ලෙස පුරවනවා. ජය!! මේ ලිපිය සිංහල බ්ලොග් අවකාශෙ කඩ ඉමක් වෙයි.

    • බ්ලොග් අවකාශයෙදිනම් මම යුද වීරයෙක් නෙවෙයි. හුදෙක් දැනුම බෙදා දෙන්නෙක් පමණයි. ඔබේ ඇගයීමට බොහොම ස්තුතියි.

  15. ඔබතුමාගේ ලිපි සියල්ලක්ම කියෙව්වා හැම එකක් ම ඉතා විශිෂ්ඨයි ,
    බිස්මාර්ක් විසින් විනාශ කල නාවික යාත්‍රා ගනන අති විශාලයි හිට්ලර් විසින් මහා බ්‍රිතාන්‍යය බඩ ගින්නේ තබා යටත් කිරීමේ සැලසුමට අනුව බිස්මාර්ක් විසින් ප්‍රරවාහන නැවි විශාල ගණනකුත් බලසම්පන්න බ්‍රිතාන්‍යය ” හුඩ් ” නැවත් ඉතා කෙටි සටනකින් ගිල්වා දැමු බව සදහන්…..
    හිට්ලර්ගේ සහ නාවික හමුදාවේ ඉහල නිලදාරීන්ගේ අදි තක්සේරුව නොවන්නට මෙම නැව ඉන් අනතුරුව අත්ලාන්තික් සාගරයට පිවිසෙන්නට සැලසුම් කර තිබුනා එහෙම උනා නම් යුද්ධයේ කතාව මීට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනවා .
    මෙන්න මෙතන තවත් වැදගත් වාර්ථා චිත්‍රපට තිබෙනවා ,
    http://topdocumentaryfilms.com/category/military-war/

    • මේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්න. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. ඒ වගේම දුන්න ලින්ක් එකටත් බොහොම ස්තුතියි.

  16. මට නම් මේ ලිපිය හරිම බෝරින්ග්.. හැබැයි උනන්දුවෙන් ඉන්න ගොඩදෙනෙක් ඉන්න බව පේනවා.. ඒ අය වෙනුවෙන් දිගටම ලියන්න..

    හුඟක් මහන්සිවෙලා තියෙන බව පේනවා..

    • තමන් එතරම් ආකර්ෂණය නොවන ලිපි කියවන්න කවුරුවත් කැමති නැහැ. මටත් ඒ අත්දැකීම තියනවා. මමත් සින්ඩිකේටරයකට ගියාම සෑහෙන වෙලාවක් තෝරලා තමයි ලිපියක් දෙකක් කියවන්නේ.

  17. මම ඔබගේ ලිපි සෑහෙන කලක සිට කියවමි. ඔබතුමාගේ ලිපි සියල්ලක්ම වාගේ කියෙව්වා හැම එකක් ම ඉතා විශිෂ්ඨයි.

    ඔබගේ ලිපියේ ඔටෝ වොන් බිස්මාර්ක් Chancellor Otto Von Bismarck හි “Von” යන්න ජර්මන් බසින් පවසනුයේ “වොන්” ලෙස නොව “ෆෝන්” ලෙසයි ( ජර්මන් භාෂාවේ V අකුර විටකදී v ලෙසත් විටකදී f ලෙසත් භාවිතා වේ). උදා: “Volkswagen” යන්න “වොල්ක්ස්වැගන්” නොව “ෆෝල්ක්ස්වාගන්” යනු නිවැරදි භාවිතයයි.

    http://translate.google.com/#de|en|Volkswagen%2CVater

    http://en.wikipedia.org/wiki/Pronunciation_of_v_in_German

    http://ezinearticles.com/?German-Pronunciation-for-Beginners:-A-Comparison-of-German-and-English-Consonants&id=5341479

    • බොහොම ස්තුතියි මේ කල උදව්වට. ලිපියේ ඉදිරි කොටස් වලදී නිවැරදිව යොදන්නම්. Rheinübung මෙන්න මේ වචනය උච්ඡාරණය කරන හැටිත් කියලා දුන්නොත් ලොකු උදව්වක්. එය ලිපියේ ඉතිරි කොටසට අත්‍යවශ්‍යයි.

      • පළමුව මගේ ජර්මන් දැනුම ඉතා ඉහල මට්ටමකම නොමැති බව පවසමි. මා දන්නා තරමින් Rheinübung යන්න “Rhein” හා “übung” යන වචන දෙකෙහි එකතුවකි. “Rhein” යන්න ජර්මන් බසින් කියනුයේ “රයින් ” ලෙසය්. මහිදී “h අකුර ශබ්ද නොවේ – (Silent ) , ජර්මන් බසින් “e”=එ , “i”= ඉ
        http://www.easygermanlanguage.com/german-language-pronunciation.html
        “übung” යන්න ජර්මන් බසින් කියනුයේ “ඌබුන්ග්” (ü = ඌ) ලෙසය්. එවිට Rheinübung = රයින් + ඌබුන්ග් =රයින්ඌබුන්ග්

        එසේම පහත සබැදියන් ඔබට එම වචනය උච්ඡාරණය කරන හැටි ඇසිය හැකියි.
        http://translate.google.lk/?hl=en&q=translator&psj=1&bav=on.2,or.r_gc.r_pw.r_qf.,cf.osb&biw=881&bih=497&wrapid=tlif134079529162010&um=1&ie=UTF-8&sa=N&tab=wT#de|en|Rhein%C3%BCbung

        හෝ

        http://translate.google.lk/?hl=en&tab=wT හි අදාල වචනය ලියා සවන්දිය හැක

        • බොහොම ස්තුතියි. ඔබ කලේ ලොකු උපකාරයක්‌. මොකද මේ වචනය ඉංග්‍රීසියෙන් තියන ලිපි වලදී රයින් කියලා විතරයි තියෙන්නේ. මම අවුලකට පත්වුණේ ඒ නිසයි.මමත් රයින් කියලා ලියන්නම්.

  18. කෝ ඉතිරි ටික ආසාවෙන් කියෙව්වා. අදමද කොහේ මේ පැත්තේ ආවේ.

    කෝරලේ වලව්ව

  19. සුපිරි විස්තරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: