විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 මේ ලිපිය ලිවීමේ අදහස මගේ ඔලුවට ඇතුළු කලේ හරී. පසුගිය ලිපිය (අපේ කාලයේ තුවක්කු 5) සමග, මා බ්ලොග් පිටුවේ පැති පුවරුවේ ප්‍රදර්ශනය කල, යුදහමුදා බෑග් පයිප් වාදිකාවගේ පින්තූරය නිසයි, මේ මාතෘකාවට මුල පිරුණේ. ඉතින් අලුත් මාතෘකාවක් ලබාදුන්නට හරීට ස්තුති කරමින් ලිපිය පටන්ගන්නවා

බියුගල් එක යනු තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරන ලද නලාවක්. එය පිඹින පැත්තේ කෙලවර සිට, ශබ්දය පිටවන පැත්තේ කෙලවර දක්වා, එක වරක්, දෙවරක්, හෝ තුන්වරක්, ඕවලාකාර හැඩයට ආසන්න හැඩයකට නවා සකස් කල, ලෝහමය නළයකින් යුක්තයි. කාලීනව වෙනස්කම් වලට භාජනය වුනත් බියුගලයේ ඇති විශේෂත්වය වන්නේ එය අප අද දකින ට්‍රම්පට්, එකක මෙන් ඔබන යතුරු නැති අතිශයින් සරල නලාවක් වීමයි.

බියුගලයට ඉතා ඈත අතීතයට දිවයන ඉතිහාසයක් තිබෙනවා. ක්‍රි.ව. 4 වැනි සියවසේදී රෝම අධිරාජ්‍ය සමයේද බියුගලය වැනි නලා පාවිච්චි කල බවට සනාථ වූ සාක්ෂි තිබෙනවා. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ බියුගලයේ අතීතය හෝ එහි විකාශය වීම යන කරුණු වලට වඩා හමුදා කටයුතු සඳහා එය යොදාගන්න ආකාරය පැහැදිලි කිරීමටයි.

අනෙක් බොහෝ සංගීත භාණ්ඩ මෙන් නොව බියුගලය හමුදා කටයුතු සඳහාම වෙන්වූවක් වශයෙන් හැඳින්වීම නිවැරදියි. අදටත් එය එසේම පවතිනවා. බියුගලය ලෝහ වලින් සාදන්නට පෙර ඒ සඳහා යොදාගෙන ඇත්තේ හරක් අං වලින් නිපදවූ නලා.

 බියුගලය එදා දඩයම් කටයුතු සඳහා පාවිච්චි කර තිබෙනවා. හැබැයි ඒ කාලයේදී එය හැඳින්වුණේ බියුගල් කියන නමින් නෙවෙයි. එහිදී සිදුකෙරුණේ ගෝණුන් වැනි සතුන්ගේ කෑගැසීමේ හඬට සමාන හඬවල් මේ නලා මගින් පිටකර, ඒ සතුන් දඩයම්කරු අසලට ගෙන්වා ගැනීමයි. ගෝත්‍රික සටන්, සිවිල් යුද්ධ, ආදියේදී කෙටි පණිවිඩ ඉක්මනින් දැනුම්දීමේ ක්‍රමයක් ලෙස, නලා හඬ සාර්ථකව යොදාගතහැකි බව අවබෝධවූ කාලයේ පටන්, හමුදා කටයුතු වලට බියුගලය එක්වුණා. පසුකාලීනව යුදහමුදා සංවිධානය කිරීමේදී බියුගල් නලා හඬ මගින් පණිවිඩ දැනුම්දීමේ ක්‍රමය ආරම්භ වුනා. අතීතය ගැන ඒ ඇති නේද? දැන් අපි වර්තමානය දෙසට හැරෙමු.

ත්‍රිවිධ හමුදා පවත්වාගෙන යන ලෝකයේ සෑම රටකම පාහේ අදටත් බියුගල් නලා හඬ ප්‍රයෝජනයට ගන්නවා. එය හමුදා සම්ප්‍රදායක් ලෙස ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. නවීන තාක්ෂනය කොතරම් තිබුනත් සමහර හමුදා කටයුතු වලදී අනිවාර්යයෙන්ම බියුගල් නලාකරුවකු යොදාගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් වශයෙන් සෙබළකුගේ අවමංගල්‍යයකදී  දේහය සහිත දෙණ වලට පහත් කිරීමේදී, බියුගල් නලාකරුවකු විසින් වාදනයක් පවත්වන බව, පසුගිය කාලයේ අපේ රටේ පැවති යුද සමයේදී, ඔබ බොහෝ දෙනෙක් දැක ඇති. එහෙත් ඒ බියුගල් හඬ, කැසට් පටියක්, සී.ඩී. තැටියක්, පෙන් ඩ්‍රයිව් එකක්, මගින් සොහොන් බිමේදී ප්‍රචාරය කලොත්, නිකම් සින්දුවක් දැම්මා වගේ වෙනවා. ඒ නිසා නිවැරදි සම්ප්‍රදාය පිළිපැදිය යුතුයි.

නමුත් සෑම විටම බියුගල් නලා කරුවකු යොදාගත නොහැකි අවස්ථා තිබෙනවා. සාමාන්‍යයෙන් පැරණි කාලයේදී (අපේ රටෙනම් 1980 දශකය පමණ වනතුරු) පැවති යුද හමුදා කඳවුරු එතරම් විශාල නැති නිසා, බියුගල් කරුවකුගේ වාදනය මුළු කඳවුරටම ඇසෙනවා. නමුත් අද කාලයේ කඳවුරු සමහරක් අති විශාලයි. ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනා මූලස්ථාන වැනි කඳවුරු (ඒ මොනවාගේ මූලස්ථානද යන්න පසුව ලිපියකින් විස්තර කරන්නම්) වල සෑම තැනටම ඇසෙනසේ එක බියුගල් කරුවකු යොදවා සංඥා වාදන ඉදිරිපත් කල නොහැකියි. එකම කඳවුරක එකවර ස්ථාන දෙකක හෝ ඊට වැඩි ගණනක බියුගල් කරුවන් යෙදවීම සම්ප්‍රදායට පටහැනියි. ඒ නිසා ලෝකයේ සෑම රටකම පාහේ එවැනි විශාල කඳවුරු, මහා යුද නැව්, ආදියේදී අද කරන්නේ, පටිගත කල බියුගල් නලා හඬ ශබ්ද විකාශන මගින් ප්‍රචාරය කිරීමයි. ‘ඉතින් අනේ ඕකට නලා හඬම ඕනේයැ. මයික් එකකින් කිව්වනම් ඉවරනේ’ කියා සමහරවිට ඔබට සිතෙනු ඇති. එතකොට අර අනාදිමත් කාලයක් රැකගෙන ආ හමුදා සම්ප්‍රදාය පිරිහෙනවා මෙන්ම එය විනය පිරිහීමටත් හේතුවක් විය හැකියි. එහෙනම්  ඉතින් රේඩියෝ එකේ උදේට පිරිත් නොදා නිවේදකයකු ලවා පින්වත්නි දැන් පිරිත් කියලා කිව්වොත් ඇති. ටී.වී. තිරයේ පොල් අකුරෙන් පිරිත් කියලා දැම්මොත් ඇති. මෙන්න මේ නිසයි ඕනෑම රටක, සමාජයක, ජාතියක, මෙන්ම ආරක්ෂක හමුදාවක ඇති හරවත් සම්ප්‍රදායයන් නොකඩා ඉදිරියට ගෙන යායුත්තේ.

සාමාන්‍යයෙන් මම ලියන සෑම ලිපියකම යම් උපකරණයක් පෙන්නුම් කලොත් එහි කොටස් හඳුන්වනවා නොවැ. ඔන්න එහෙනම් බියුගලයේ කොටස් බලාගන්න.

 Bugle Call බියුගල් කෝල් හෙවත් බියුගල් නලා සංඥාවක් යනු කුමක්ද? එය ඉතා කෙටියෙන් මෙසේ නිර්වචනය කල හැකියි. බියුගල් නලා සංඥාවක් යනු කිසියම් හමුදා කඳවුරක, යුද පෙරමුණක, යුද නැවක, හෝ හමුදා පරිශ්‍රයක දෛනිකව ඉටුකෙරෙන හෝ එදිනෙදා සාමාන්‍ය කටයුතු සියළු දෙනාට මතක් කරදීම, (දැන් මෙන්න මේ ක්‍රියාව සඳහා කාලයයි යනුවෙන් මතක් කිරීම) සහ සාමාන්‍ය ක්‍රියාවලියෙන් පරිබාහිරව සිදු කලයුතු ක්‍රියා, (ගින්නක් ඇතිවෙලා. වහාම ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න වැනි) සියළු නිළයන් වෙත මතක් කිරීමේ සන්නිවේදනයක් ලෙස ඉදිරිපත් කෙරෙන, කෙටි වාදනයකි.

 හමුදා කඳවුරක සිදුකෙරෙන සාමාන්‍ය රාජකාරි වන්නේ උදැසන අවදිවීමේ සිට රාත්‍රියේ නින්දට යනතුරු කෙරෙන සාමාන්‍ය ක්‍රියායි (යුද්ධයක් නැති විට) එහිදී සාමාන්‍ය රාජකාරි වශයෙන් ගැනෙන්නේ අවදිවීමෙන් හා අහාර ගැනීමෙන් පසු පෙළපාලි භූමියට යාම, පුහුණුවීම, ආදී කටයුතුයි. විශේෂ අවස්ථා යනු කඳවුරේ ගින්නක් හට ගැනුනොත් අනතුරු ඇඟවීම, උසස් නිළධාරියකුට උත්තමාචාරයක් පිරිනැමීම, විශේෂ භෝජන සංග්‍රහ පවත්වන අවස්ථා  ආදියයි.

බියුගල් නලාකරු මේ සෑම අවස්ථාවකටම සූදානමින් සිටිය යුතුයි. බියුගල් නලාකරු පාඨමාලාව සඳහා බඳවා ගැනීමේදී සොයාබලන වැදගත් සුදුසුකමක් වන්නේ බියුගලය නිවැරදිව පිඹීමට සුදුසු ආකාරයට දත් සහ තොල් පිහිටා තිබේද යන්නයි.

 එමෙන්ම බියුගල් නලාකරුවකු එක අතකින් කඳවුරේ ආරක්ෂකයෙක්. හදිසි අවස්ථාවක් වන ගින්නකදී ඔහුගේ සංඥාව ඉතා වැදගත්. ඔහු අභිමානවත් පෙනුමකින් යුත් ස්ථානොචිත ප්‍රඥාවෙන් යුතු අයකු වියයුතුයි. මේ පින්තූරයේ සිටින සොල්දාදුවා දෙස බැලීමෙන් ඔබට එය පැහැදිලි වනු ඇති.

මෙතැන්සිට මා ඔබට හමුදා කටයුතු වලට අදාළ බියුගල් නලා හඬවල් ඇසිය හැකි සබඳතා (links) ලබා දෙනවා. නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා. මට මගේ බ්ලොග් අඩවියේ ඇති තාක්ෂණික පහසුකම් යටතේ කෙලින්ම mp 3 files ඔබ වෙත දෙන්නට බැහැ. ඒ සඳහා ඩොලර් 20 ක් ගෙවිය යුතුයි. මා සතුව ඒ සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ එවැනි බැංකු ගිණුමක්වත් නැහැ. පෞද්ගලික බැංකුවක තිබෙන මගේ ඉතිරිකිරීමේ ගිණුම වෙනුවෙන් පේ පෑල් ගිණුමක් සෑදීමට අද උත්සාහ කලත් එය හරිගියේ නැහැ. ඒ නිසා මා ඉතා කරුණාවෙන් ඔබෙන් ඉල්ලන්නේ මේ සබඳතා වලට යාමට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ලෙසයි. මේ සෑම සබඳතාවක් මගින් ලැබෙන ගොනු කිලෝ බයිට් 200 ඉක්මවන්නේ නැහැ. ඇසිපිය ගසන සැනින් ඩවුන්ලෝඩ් වෙනවා ඔබ සතුව මා ඉහත කී මෘදුකාංගය තිබේනම්. එසේම වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ ඒවා ඉතා පහසුවෙන් වාදනය වෙනවා. මේ නිසා ඔබට යම් අපහසුතාවක් ඇතිවේනම් මා මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. හොඳයි එහෙනම් මා මෙතැන්සිට එක් එක් (තෝරාගත් ඒවා පමණයි) බියුගල් වාදනය හඳුන්වාදී එහි ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙනවා.

කඳවුරක දවසේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ 0500 පැයට (යුද හමුදාවේ පාවිච්චි කරන්නේ 24 පැයේ ඔරලෝසුවයි. වෙලාව ලිවීමේදී 05.00 කියා ලියන්නේ නැහැ) ඒ නිසා දිනපතාම 0500 පැයට ඉදිරිපත් කරන බියුගල් කෝල් එකක් තියනවා. එය අවදිවීම හෙවත් ඉංග්‍රීසියෙන් Reveille රිවෙලී.

http://www.royalengineers.ca/35_Reveille%20(also%20known%20as%20the%20Long%20Reveille).mp3

අවදි වෙලා, මූණ කට හෝදලා, තේ එකක් බීලා, ශාරීරික අභ්‍යාස වලට යනවා. ඉන්පස්සේ ඇහෙන්නේ කෑමට එන්න කියන ‘කර්ණ රසායන’ බියුගල් කෝල් එකයි. මෙය උදේ දවල් රාත්‍රී ආහාරවේල් තුන ම සඳහා වාදනය කරනවා. මෙය නාද කරනතුරු භෝජනාගාරය පැත්ත පළාතේ යාම තහනම්.

http://www.royalengineers.ca/31_Men’s%20Meal%20(%201st%20Call).mp3

උදේට කෑවා බිව්වනම් ඉතින් ඊළඟට පුහුණුව තමයි පටන්ගන්නේ. ඒ සඳහා ‘සරඹ පිටියට එනු’ කියලා කියන්නේ මෙහෙමයි.

http://www.royalengineers.ca/17_Fall%20in.mp3

දවසේ වැඩ කටයුතු අවසානයේ හරියටම 1800 පැයට කඳවුරේ ධජය කොඩි ගසෙන් බානවා. මේ වාදනය ආරම්භ වන විටයි කොඩිය බෑම ආරම්භ වන්නේ. වාදනය අවසන් වනවිය කොඩිය පහත් කරන සෙබලාගේ අතටම එන පරිදි වාදනයට ගැලපෙනසේ සෙමින් කොඩිය පහත් කරනවා. ඒ සමගම සටනේදී දිවි පිදු රණවිරුවන් සිහි කරනවා. මේ සිහි කිරීම අද ඊයේ දෙයක් නොවේ. යුද හමුදාව පිහිටවූ දිනයේ සිට කරන දෙයක්. මේ වාදනය ඇසෙන විට එළිමහනේ සිටින සියලු දෙනා නිහඬව සීරුවෙන් සිටගත යුතුයි.  ගොඩනැගිලි ඇතුලත සිටින අය නිහඬ විය යුතුයි. මෙය පසුබැසීමේ නලා හඬ යනුවෙන් හඳුන්වනවා (Ritreat රිට්‍රීට්). ඇත්තෙන්ම මෙයින් අදහස් කරන්නේ සටනින් පසු බැසීම නොව, ‘දවසේ රාජකාරි අවසන්, කඳවුරෙන් පිටත සිටින්නේනම් ආපසු කඳවුර තුළට එනු’ යන්නයි.

http://www.royalengineers.ca/38_Retreat.mp3

යුද හමුදා කඳවුරක දවසේ රාජකාරි භාරව නිලධාරියකු සහ කාර්ය මණ්ඩලයක් දිනපතාම පත් කරනවා. සාමාන්‍යයෙන් දින 15 කට වරක් ඉදිරියට එන දින 15 සඳහා එම කාර්ය මණ්ඩල පත්කර මුද්‍රිත නියෝග පල කරනවා. එම කාර්ය මණ්ඩලය දිනපතාම 2200 පැයට හැකිනම් සරඹ භූමියේ කොඩි ගස ඉදිරිපිට (ඒ වනවිට කොඩිය ඉවත් කරලා) නැතහොත් මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට, පෙරෙට්ටුවක් වශයෙන් රැස්වෙනවා. (වහිනවානම් ගොඩනැගිල්ලක් තුල, එහෙත් ගොඩනැගිල්ලක් තුල බියුගල් වාදනය කරන්නේ නැහැ.) එහිදී දවසේ කාර්ය භාර කෝප්‍රල්, දවසේ කාර්ය භාර සැරයන්, දවසේ කාර්ය භාර ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි (මාණ්ඩලික සැරයන් හෝ බලලත් නිලධාරි නිලයේ අයෙක්, නිලයන් ගැන ලිපියක් අවශ්‍යද?) යන අය දවසේ කාර්ය භාර නිලධාරි වෙත, තම රාජකාරි කාලය ඇතුලත සිදුවූ දේ සම්බන්ධව, වාචිකව කෙටියෙන් වාර්තා කරනවා. ඒ අවසානයේ තමයි මේ බියුගල් වාදනය (Last Post ලාස්ට් පොස්ට්) ඉදිරිපත් කරන්නේ. යුද හමුදා අවමංගල්‍ය වලදීත් ඉදිරිපත් කරන්නේ මෙයමයි.

http://www.royalengineers.ca/40_Last%20Post%20(Tattoo).mp3

2215 පැය වනවිට කඳවුරක ඇති භට නිවාසවල පහන් නිවාදැමිය යුතුයි. ඉන්පසු පිටතට ඇසෙනසේ කතා කිරීමත් තහනම්. පහන් නිවනු යන පණිවිඩය දෙන්නේ මෙහෙමයි.

http://www.royalengineers.ca/41_Lights%20Out.mp3

සාමාන්‍ය රාජකාරි සඳහා පාවිච්චි කරන බියුගල් කෝල් වලින් තෝරාගත් කීපයක් ඒ. මීළඟට බලමු විශේෂ අවස්ථා.  කඳවුරේ ගින්නක් ඇතිවී තිබෙන බව බව දැනුම් දෙන්නේ මෙහෙමයි.

http://www.royalengineers.ca/27_Fire%20Alarm.mp3

ඉහළ නිලධාරීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන විට ‘නිලධාරි වරුනි දැන් කෑම වෙලාවයි’ කියන්නේ මෙහෙමයි.

http://www.royalengineers.ca/29_Officers’Dinner.mp3

ඉහල නිළධාරියකු වෙනුවෙන්, කඳවුරු ආරක්ෂක මුරය විසින් පවත්වන, පිළිගැනීමේ පෙරෙට්ටුවේදී, වාදනය කරන බියුගල් නාදය මෙයයි. මෙය හඳුන්වන්නේ ‘ජෙනරල් සෙලියුට්’ නමින්.

http://www.royalengineers.ca/34_General%20Salute%20(for%20Field-Marshals,%20Generals,%20Lieutenant-Generals%20and%20Major-Generals).mp3

මා මෙහිදී ඉදිරිපත් කළේ, තෝරාගත් බියුගල් නාද කීපයක් පමණක් බව, නැවතත් අවධාරණය කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සෑම රටකම පාහේ මේ බියුගල් නාද රටා බොහෝ දුරට එක සමානයි. අපේ යුද හමුදාව, බ්‍රිතාන්‍ය යුද හමුදා සම්ප්‍රදායයන් අනුසාරයෙන් සැකසී ඇතිනිසා, ඒ සමානත්වය අදටත් බොහෝ දුරට දකින්නට තිබෙනවා. මා මෙහි දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කරන බියුගල් වාදනයි. ඒ වාදන සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙහි දක්වා ඇති රාජකාරි කටයුතු සඳහා අද ද කරන වාදන අතර කිසිදු වෙනසක් නැහැ.

Advertisements

Comments on: "හමුදාවේ හොරණෑ හඬ" (47)

  1. ඉල්ලන පමාවෙන් බඩු හෑව් නේ.

    සාමාන්‍ය සිවිල් කලාපවල ඔහේ ජීවත්වෙන අපිට ඉතින් හමුදාවල අභ්‍යන්තර ක්‍රියාකාරකම් වගේ දේවල් ගැන ඒ තරම් දැනගන්න වෙන්නෙ නෑනේ. ඒ ගැන දැනුමක් තියන අයට බ්ලොග් ලියන්න වගේ දේවල්වලට අවශ්‍ය පරිගණක සාක්‍ෂරතාවය නෑ. තිබුනත් උවමනාවක් නෑ. ඒ අතින් ඔබතුමාවත් මේව ගැන ලියන එක ලොකු දෙයක්.

    අර බියුගල් සවුන්ඩ්ස් උදේට අහනව. දැන් රෑ 1.30 යි. ගෙදර මිනිස්සු බයවෙල නැගිටියි ඕව ප්ලේ කරොත්. 🙂

    • පාන්දර පහට අර රිවෙලී එක ප්ලේ කරානම් ගෙදර අය නැගිට්ටවන්න තිබුණා දවසේ වැඩ සඳහා. මටත් හිතාගන්න බැරි දෙයක් තිබෙනවා. එනම්, යුදහමුදාවේ ප්‍රතිරූපය නිකම් පුම්බන්නේ නැතුව මහජනතාව, සමග සුහදව කටයුතුකරන්න අන්තර්ජාලය පාවිච්චි නොකරන්නේ ඇයිද කියන එකයි ඒ ප්‍රශ්නය.

    • ඔබතුමා හරි, ඒත් මට හිතෙනවා ඒ යන විදිය ලංකාවේදී හොඳයි කියලා. අදටත් අපේ සොල්දාදුවෝ පොලිසියේ උන්ට වඩා ගණන් ගන්නවා. ඒත් ලංකාවේ විදියට සුහද වෙන්න ගියොත් ඒ ටිකත් නැතිවෙන්න බැරි නෑ,

      • මටත් හිතෙනවා. අහලා නැද්ද අර පෙනය පුප්පන්නේ නැතුව හිටිය නයෙක් අල්ලලා ගෑනු කෙනෙක්, දර මිටියක් බඳින්න පාවිච්චි කලාලු.

  2. බොහොම ස්තුතියි මේ ලිපියට. අපි දන්නේ නෑ නේ මේවා. ආසයි දැනගන්න. සමහර ඉංග්‍රීසි ෆිල්ම් වල ඔය බියුගල් කෝල් වාදනය කරනවා අහල තිබ්බත් මොකටද කියලා දැනගෙන හිටියේ නෑ.

    • මට අර එම්.පී.3 ෆයිල්ස් අප්ලෝඩ් කිරීමේ පහසුකම තිබුනානම් තවත් බියුගල් කෝල්ස් ගොඩක් ඉදිරිපත් කරන්න තිබුනා.

  3. බියුගල් කියපුවාම මතක් වුනේ ඩේවිඩ් කරුණාරත්නයන් සිංහලයට පෙරලපු රොබින් හුඩ් කෘතියේ තියෙන විදිහට රොබින් හුඩ් බියුගලයක් පාවිච්චි කරනවා තමන්ගේ පිරිස කැඳවන්න.

    කඳවුරේ කටයුතු ආරම්භ වෙන්නේ බියුගල් නාදයෙන් කිව්වාම මතක් වුණේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ ඇත්තම සිංහයෙක් ඉන්නවාද ?

    හැමදාම උදෑසන ඒ සිංහයා ගොරවන සද්දේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් කඳවුරටම ඇහෙන්න සලස්සනව කියන්නේ ඇත්තද ?

    • ඔව් ඉන්නවා. (මමත් සිංහ රෙජිමේන්තුවේ) එයාගේ නම ‘කෘගර්’ එයා මට මතක හැටියට දැන් හමුදාවේ සැරයන් කෙනෙකුගේ වැටුප ලබනවා. විහිළුවක් නෙවෙයි. සෑම හමුදා රෙජිමේන්තුවකම රෙජිමේන්තු සුරතලා, වැටුපක් හා කෑම බීම, නවාතැන්,වෛද්ය පහසුකම් සඳහා හිමිකම් ලබනවා. එයා බලාගන්න වෙනමම සෙබළු දෙදෙනෙකුවත් ඉන්නවා. මම දවසක් එයාගේ කූඩුව ලඟට ගියාම ගෙරෙව්වා මේ කූඩුව මට විතරයි කියලා.

      • ඒ සිංහයාගේ ෆොටෝ එකක් නැද්ද ???

        • අද ඉන්න එක්කෙනාගේ ෆොටෝ එකක්නම් නැහැ. පහල තියන පින්තූරයේ මම ඉන්නේ ඊට කලින් හිටිය කෘගර් 1 සමග. එයා රෝගයකින් මැරුණා. දැන් ඉන්නේ කෘගර් 2. මේ පින්තූරය 1989 දී ගත්ත එකක්. ඒ කෘගර් සහ මම දෙන්නම තරුණ කාලයේ.
          කෘගර් 1

      • //ඒ කෘගර් සහ මම දෙන්නම තරුණ කාලයේ.//

        මීට අවුරුදු දෙක තුනකට කලින් වෙන්න ඇති ඕං කියලා හිතාගන්න තිබ්බා අවුරුද්‍ද දැම්මේ නැත්නම්

    • @ හසිත,
      මටත් මතකයි ඔබ කියන පොත. මට මතක හැටියට, ඒක ගුණසේන පොතක් නේ ද? ඒ පොතේ රූප සටහන් ඇඳල තිබුණ. ඔය රොබින් හුඩ් පාවිච්චිකරන බියුගලය සතෙක්ගෙ අඟකින් කපල හදපු එකක් වගේ තමයි ඇඳල තිබුණෙ. අර ජාතික රූපවාහිනියෙ ඒ දවස්වල පෙන්නපු රොබින් හුඩ් කතාවෙත් ඔහොම නලාවක් පිඹින දර්ශන තිබුණ වගේ මතකයි. හැබැයි රොබින් නෙවි, මාච් (Much) තමයි ඒක පිම්ඹෙ අනිත් අයට සංඥා කරන්න. (ඔහු සමහර වෙලාවට මිට මෙලවූ අත්දෙක එකට තියල පිඹලත් සතෙක්ගෙ හඬක් පිටකරන දර්ශන තිබුණ වගේ මතකයකුත් තියනව)

      • අත් දෙක කෝප්ප දෙකක් වගේ බොකුටු කරලා, එකට හේත්තු කරලා, මහපට ඇඟිලි දෙක මත කට තියලා පිඹලා, සද්දයක් ගන්න මටත් පුළුවන්.

  4. පාප්.ප පාපා,පාප්.ප පාපා,,, පාප්.ප පාපා,,,,,,, උදේ නැගිටින්න ගහන එක දිගයි නේද. හික් හික් හමුදාවේ කස්ටියත් ඉතින් පොඩ්ඩක් කම්මැලි වෙන්න ඇති.
    කව්ද දන්නේ ඔහොම නළා ගහන කතාවක්.. කාටුන් වලයි ෆිල්ම් වලයි නම් දැකල තියනව. වැඩේ දන්නෙ අද.

    • මම පුහුණුව ලැබුවේ දියතලාව කඳවුරේ. දවසම මහන්සිවෙලා මර හීතලේ නිදාගෙන ඉන්නකොට පාන්දර පහට ඕක ගැහුවම හිතට එන දේවල් මෙතන ලියන්න බැරි එකයි දුක.

      • හෙහ් හෙහ් …. ඒ අතින් අපේ විචාරක මහත්තය අඩියක් පස්සෙන් ඕං. ළඟදි ඔය පුහුණුව ලබපු කොල්ලෙක් බ්ලොග් එකක් ලිව්වනම් බලාගන්න තිබුණ විස්තරේ ඇඟේ පතේ නොගෑවි උගේ නෙවේ වගේ කියන හැටි.

  5. දූපත් වැසියා වගේ මමත් ඕවා දැකලා තිබ්බේ චිත්‍රපටි වලින් විතරයි අද තමා ඒ ගැන ලියවුනු ලිපියක් දැක්කේ
    ස්තුතියි දැනුවත් කිරීමට.

  6. අංගොඩයා.. said:

    මං බියුගල් වාදනයක් අහලා තියෙනවා පාරලිමේන්තුව අසල රණවිරු ස්මාරකයෙදී,ඔබ තුමාගේ ලිපියේ හැටියට හවස 6 ට වෙන්න ඕනේ එක වාදනය කරන්නේ,ටිකක් දුක්බර තාලයක් තියෙන වාදනයක්..
    අපිට සාමාන්‍යයෙන් දැන ගන්න නොලැබෙන දේ විස්තර කරලා දෙන ඔබ තුමාට ස්තුතියි.. වායු රයිෆල ලිපියත් මං කියෙව්වා..

    • රණවිරු ස්මාරකයක් අසලදී වාදනය කලානම්, අනිවාර්යයෙන් ඒ ලාස්ට් පොස්ට් එක.මගේ ලිපි වලින් ඔබේ දැනුමට යමක් එක්වීම මට මහත් සතුටක්.

  7. මේ ලිපිය නම් නියමයි.. බියුගල් ගැන කියලා නිකංම ඉන්නැතුව මහන්සිවෙලා අපටත් ඒ නාද අහන්න සැලැස්සුව එක ලොකු දෙයක්.. ඒකෙන් ලිපිය පරිපූර්ණ වෙලා.. ට්‍රම්පට් එකේ වගේ යතුරු නැතුවත් කොහොමද අප්පා බියුගල් එකෙන් අච්චර ලස්සන නාද රටා ගන්නෙ.. පිඹින මනුස්සයා මාර ගේමක් දෙන්න ඕන නේද..??

    අර අහලා තියෙනවා වගේ රෑන්ක්ස් ගැනත් ලියන්නකො, පුළුවන්නම් අනිත් හමුදා දෙකේ රෑන්ක්ස් ගැන සංසන්දනයකුත් එක්කම.. ආ, මේක මතක් වුනේ අර දකුණු පැත්තෙ තියෙන පින්තූරෙ දැක්කමයි, පුළුවන් වුන වෙලාවක යුධටැංකි ගැනත් ලියන්නකො.. තුවක්කුවලින් පස්සෙ මගෙ ආසම මාතෘකාව.. 🙂

    • ඇත්තෙන්ම බියුගල් එක සරල වුනත් පිඹීම සරල නැහැ. තොල් මගින් කෙරෙන ස්වර පාලනයකින් තමයි එය කරන්නේ. හොඳ බියුගල් වාදකයකු වීමට කාලයක් යනවා. නැත්නම් වදින්නේ ‘අපාන වාත’ යනවා වගේ හඬවල්.
      හමුදා නිළ සහ යුද ටැංකි ගැනත් ලියන්නම්.

      • hikz … ඕඩර් භාරගනු ලැබේ.

        විචාරක මහත්තයට ලියන්නෙ මොනවද කියල හිත හිත ඉන්න වෙන්නෙ නෑ. තව කාලෙකට ලියන්න පාඨක ඉල්ලීම් දැනටමත් ලැබිල. මෙහෙම ගියොත් ටයිප්සෙටර් කෙනෙක් වැටුපක් ගෙවල තියාගන්න වේවි ඕං.

  8. හමුදා නිළ හා නිළ වලට අයත් කාර්යයනුත් එක්ක ලිපිය ලියන්න

  9. මේ ඉන්නේ සිංහයා පැටියා කාලෙද ?? මූව කූඩුවක දාලා නෙමෙයිද හැදුවේ ?

  10. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. කතාව කියවනකොට දියතලාවේ කෙඩෙට් ස්කූල් එකේ ජීවිතේ මතක් උනා.

    • මටත් මේ ඊයේ පෙරේදා මතක්වුනා අර බීස් බිලට් පැත්තේ ලොකට් ගස්වලින් ලොකට් කාපු හැටි. දැන් ඒ පැත්ත කොහමද දන්නේ නැහැ.

  11. අපේ කෑම්ප්වල පොතේ හැටියට බියුගල් ගහන්න නියමවෙලා තිබුනත් වාදකයෙක් නෑ කියලා ගැහුවේ නෑ.. ඒක හින්දා නියම බියුගල් වාදන ඇහුවෙ අදයි.. මගේ බ්‍රවුසරේ ලින්ක් එක ඔබපු හැටියෙ ප්ලේ වෙනවා.. ඒක නිසා කරදර නෑ..

    0500 පැයට බියුගලේ ගහන්න නම් නලාකාරයා නෑ නෑ බියුගල්කරු පහට කලින් අවදිවෙන්න ඕනෙ නේද? උන්දැට නින්ද ගියොත් කඳවුරම බුදිනෙ..

    0500 පැය කිව්වම කතාවක් මතක්වුනා.. මම දවසක් යාලුවෙක් එක්ක චිත්‍රපටියක් බල බල හිටියා.. ඔන්න හමුදා කණ්ඩායමක් මෙහෙයුමකට යනවා.. ඉලක්කෙ පෙන්නන්නෙ ඔරලෝසු ක්‍රමයට.. අණදෙන්නා 5’o clock, 10’o clock කියන කොට අරුන් වෙඩි තියෙනවා.. මගෙ යාලුවා අන්දුන්කුන්දුන් වෙලා අහනවා ‘මොන ……ක්ද බං අරූ කියන්නෙ. ඔච්චර ඉක්මනට වෙලාව යනවද?’

    ඉල්ලීම ඉටුකළාට ස්තුතියි! මෙච්චර බියුගල් නාද තියෙන බව දැනසිටියේ නෑ..

    • වාදකයෙක් නැත්නම් කඳවුර බාර නිලධාරියාවත් බියුගල් ගහන්න ඕනේ. නැත්නම් දමලා ගහලා ගෙදර යන්න ඕනේ.

      බියුගල්කරුට නින්ද ගියොත් දවස් 14 ක් විතර හමුදා බෝඩිමක තපින්න යවනවා. හරී සනීපයි.

      මටත් අර වෙලාව වරදින වැඩක් වුනා. මම ඉස්සර යාලු වෙලා හිටිය ගෑනු ළමයාගේ ගෙදර වැට ලඟට ගිහින් හොරෙන් කතා කර කර හිටියා. මට ඇහුනා රෑ හත වැදුනා, ඊට ටිකක් පස්සේ අට වැදුනා. ඊටත් චුට්ටක් පස්සේ නවය වැදුනා. මම අර ළමයට කිව්වා ‘ඔයත් එක්ක කතා කර කර ඉන්නකොට ඉක්මනට වෙලාව යනවා’ කියලා. ඒ ළමයා කිව්වා ‘පිස්සු කෙලින්න එපා අපේ තාත්තා කැඩිච්ච ඔරලෝසුවක් හදනවා’ කියලා.
      බියුගල් නාද තිහකින් පමණ මෙච්චරයි තෝරාගත්තේ.

  12. අපේ පැත්තේ හමුදා නිළධාරියෙකුගේ මරණයකදී හමුදා ආචාර වෙඩි මුර වලින් පසු පිම්බ නලාව මේක වෙන්න ඇති. ඒ හඩට මගේ නම් ඇ‍ඟේ උණුවන තරම් ආවේගයක් ඇති කරනවා. මම කිසිම දිනක තවම දැක නැහැ හමුදා ආදාහන කටයුතු කරනවා. යුද්දෙන් මිය ගිය අපේ ගරුකටයුතු සොල්දාදුවන්ව භූම දානය කරනවා විතරයි. මම දැකලා තියෙනවා වැරදිද? නැතිනම් හමුදා සම්ප්‍රදායක්ද?

    • සම්ප්‍රදාය භූමිදානය කිරීමයි. නමුත් මියගිය අයගේ භාරකරු විසින් ඉල්ලා සිටියොත් ආදාහනය කල හැකියි. ඔබට ඇසුණු බියුගල් හඬ ලාස්ට් පෝස්ට් එකයි. එය ඉතා අලංකාර සහ හදවතට කිඳා බසින්නේ, මල හිරු බැස යන විටක, ඈත සිට, එකවර බියුගල් කරුවන් දෙදෙනෙකු යොදවා, ඉදිරිපත් කලවිටයි.

  13. අපේ හමුදාවේ weapons modify කරන්න දෙනවද? (custom stocks, sights, grips වගේ ඒවා?) මම internet එකේ photo එකක් දැක්කා අපේ SF එකේ එක්කෙනෙක් එයාගේ T-56 එකට reflx fight එකකුයි weapon’s light එකකුයි vertical grip එකකුයි mount කරලා තියෙනවා (http://i.imgur.com/7po3R.jpg ). ප්‍රාභාගේ මැරෙන වෙලාවේ තිබුණු T-56ත් holographic sight එකක් තිබුණා (http://i.imgur.com/QkGFP.jpg). STF එක ගැන ගියපු Chris Ryanගේ documentary එකෙත් (Elite World Cops) ඒකෙ හිටිය ASP කෙනෙක් එයාගේ browning hi-power එක modify කරලා තිබුණා; red dot sight එකකුයි මට මතක විදියට extended magazine එකකුත් mount තිබුණා. ලංකාවේ නම් ඕවා දැක්කේ ඔය තැන් තුනේ විතරයි.

    • සාමාන්‍යයෙන් පාබල හමුදා ඒකකයක (Infantry) හෝ සේවා (Service Units) ඒකකයක සේවය කරන නිලධාරියකුට හෝ සොල්දාදුවකුට තම අවියේ කිසිම වෙනස්කමක් කරන්න අවසර නැහැ. නමුත් කමාන්ඩෝ රෙජිමේන්තුව (CR) විශේෂ බලකාය (SF) වැනි රෙජිමේන්තු වල කිසියම් විශේෂ අවශ්‍යතාවන් සඳහා එවැනි වෙනස්කම් කරනවා. ඒ පිලිබඳ නිසි අවසරයකින් පසු. පොලීසියේ ප්‍රතිපත්තියනම් මම දන්නේ නැත.

  14. විචාරක තුමා,
    ශිෂ්‍ය භටයෙක් විදියට මමත් බල ඇණි මෙහෙයුම් නිළධාරි කෙනෙක් විදියට (රෙ.සැ.මේ) කටයුතු කරපු කෙනෙක්.
    ඉතින් හමුදාවක සාමාන්‍ය පිළිවෙත ගැන නම් යම් අවබෝධයක් තියෙනව කියල හිතනව..

    ඒත් මට ඔබතුමාගේ මේ ලිපිය බොහොම ආසවෙන් කියෙව්ව.. මොකද ඇත්තම කීවොත් මම රෙජිමේන්තු රාජකාරි විෂය යටතේ මේ බියුගල් නලා ගැන ඉගෙනගෙන තිබුනත් සමහර බියුගල් ශබ්ද මම ඇහුවෙත් අද.. (මෙස් කෝල්
    පෝලින් කෝල් වගේ ඒව.)
    ඉතින් මෙහෙම ලිපියකින් අපේ ඒ සුන්දර මතකය නැවත අවදි කරපු එක ගැන මන් ඔබ තුමාට ගොඩාක් ස්තූතිවන්ත වෙනව.

    පොඩි ඉල්ලීමක්..
    හැකියාවක් තියෙනව නම් දවසේ කාර්ය භාර පත්කිරීම් හා එවායේ රාජකාරි පිලිබදව හොද විස්තරයක් කරන්න පුලුවන්ද?? පරණ දේවල් මතක් කරගන්නත් මේ ලිපිය කියවන අයට තව අමතර දැනුමක් ලබාගන්නත් හැකි වේවි කියලා හිතනව..

  15. මං අදහස් කලේ රෙජිමේන්තු රාජකාරි විෂය ගැන ගැඹුරින් විස්තරයක් වගේ දෙයක්..

  16. මේ නලාවේ නම පවා දැන ගන්ට ලැබුණේ දැන්. අවුරුදු හිසතෙල් ගෑම නැරඹිමට ගිය අවස්ථාවේ එහි නම ඒ අය හෝ දැන සිටියේ නැහැ. ඒ ඓතිහාසික නළාව ගැන විස්තර දැන ගැනීමට මේ ලිපිය වෙදගෙදරටත් ප්‍රයෝජනයක් වේවි.

    • හැකිනම් ඔවුන්ට මේ නලාව ගැන විස්තර කියාදෙන්න. එය නිසි පරිදි නඩත්තු නොකලොත් හානියට පත්වන්නට ඉඩ තියනවා. ඔය ප්‍රදේශයෙන් හොයාගන්න පුලුවන්නම් මෙය වාදනය කරන්න දන්නා සොල්දාදුවෙක්, ඔහු කියාදෙයි නඩත්තු කරන විදිහ.

      • වෛද්‍යතුමා සමග දුරකථනයෙන් කතා කළා. මේ සතියේ දිනක හමුවීමට පැමිණෙන බව දන්වා තිබෙනවා. ඔබ පෙන්වා දුන් ලින්ක් එකට අවධානය යොමු කරවීමෙන් එහි වැදගත් කම අවබෝධ කරවිය හැකියි.

      • ඒ අය සමග දැනටමත් දුරකථනයෙන් සාකච්ඡා කළා. මේ සතියේ මා හමුවීමට හැකිවෙනවා. ඔබතුමා පෙන්වා දුන් ලින්ක් වලට අවධානය යොමුකරවීමෙන් නලාවේ වැදගත් කම පෙන්වා දිය හැකියි. එහි ඉතිහාසය පිළිබඳ තවදුරටත් විස්තර ලබා ගැනීමටත් හැකිවේවි. ඔබතුමා දි ලබාදුන් අත්වැල ඊට මහඟු පිටුවහලක්! ඒ වෙනුවෙන් ස්තුතියි විචාරක තුමණි.

  17. […] ලබාදීම, සමස්ත යුද හමුදාව වෙනුවෙන් බියුගල් නලා කරුවන් පුහුණු කිරීම, සහ හමුදා උත්සව සඳහා […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: