විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 මේ ලිපිය ලියන්නට හිතාගෙන හිටි එකක් නෙවෙයි. අපේ කාලයේ තුවක්කු ලිපි පෙළ, තවත් ලිපි තුනකින් පමණ අවසන් කරන්නට හිතාගෙන හිටියත් අටම්පහුරෙන් ලැබුණු පෙළඹවීම, විමසීම, උනන්දු කරවීම මත තමයි මේ ලියන්නේ. ඒ ගැන අටම්පහුරට මගේ ප්‍රණාමය. ඉතින් මේ ලිපිය හැර අපේ කාලයේ තුවක්කු ලිපි තවත් කීපයක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එනවා.

Shotgun – ෂොට්ගන් හෙවත් ව්‍යවහාර භාෂාවෙන් පතරොම් තුවක්කු යන වර්ගීකරණයට අයත්වන තුවක්කුවක් ලෙස රිපීටර් තුවක්කුව හඳුන්වා දිය හැකියි. ඉංග්‍රීසි භාෂාවෙන් රිපීට් repeat කියන්නේ නැවත නැවතත් සිදුවෙන, සිදු කරන කියන තේරුම බව ඔබ දන්නවනේ. රිපීටර් තුවක්කුව කියන්නේ එක වරකට පතරොම් කීපයක් ඇතුළු කලපසු ඒවා අවසන් වනතුරු නැවත නැවතත් කොක් කරමින් වෙඩි තැබිය හැකි පතරොම් තුවක්කුවක්.

  තුවක්කුවක ප්‍රධාන කොටස් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැන් ඔබට සෑහෙන දැනීමක් ඇතැයි මා සිතනවා. ඔබ අපේ කාලයේ තුවක්කු 1, 2, 3, 4 කියවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මේ ලිපියේදී පැරණි තොරතුරු නැවත නැවතත් ‘රිපීට්’ කරලා ‘රිපීටරයක්’ වෙන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම රිපීටර් තුවක්කුව කියන්නේ බොහොම ජනප්‍රිය තුවක්කුවක්. අපේ රටේ පෞද්ගලිකව පාවිච්චි කරන (බලපත් සහිත) රිපීටර් තුවක්කු බොහොම ස්වල්පයයි තිබෙන්නේ. ඒ වගේම බලපත්‍රයක් ඇති කෙනෙකුට වුනත් මිලදීගන්නට රිපීටර් තුවක්කු ශ්‍රී ලංකාවේ එතරම් නැහැ. අපි ඉස්සරවෙලාම බලමුද රිපීටර් තුවක්කුවෙන් වෙඩි තියන හැටි.

https://www.youtube-nocookie.com/v/TfxAAjo5EJ0?version=3&hl=en_US&rel=0

  ටිකක් අමුතුයි නේද? ඔබ දැක තිබෙන වෙනත් තුවක්කු වල, එක්කෝ සම්පූර්ණ ස්වයන්ක්‍රීයව සියලු පතරොම් එක දිගට වෙඩි තබාගෙන යාහැකි ආකාරයට මැගසින් එකෙන් චේම්බර් එකට එනවා. එහෙම නැත්නම් තුවක්කුවේ කොකා මිරිකන වාරයක් පාසා එක වෙඩිල්ල බැගින් පිටවෙනවා. නමුත් මේ තුවක්කුවේ එහෙම වෙන්නේ නැත්තේ ඇයි? පතරොම් තුවක්කුවකදී පත්තුවන පතරොමෙන් පිටවන වායු ප‍්‍රමාණය එකවර සම්පූර්ණයෙන් මුදා හරින්නට සිදුවෙනවා. එයට හේතුව තුවක්කු පතරොමකින් පිටවන්නේ රයිෆල් හෝ පිස්තෝල පතරොමක මෙන් තනි උණ්ඩයක් නොවේ. තුවක්කු පතරොමක තිබෙන මූනිස්සම් සියල්ලටම එකවර තුවක්කු බටයෙන් පිටවී යාමට ඉඩ දියයුතුයි. ඕනෑම තුවක්කුවක, ස්වයන්ක්‍රීයව ඊළඟ පතරොම ලෝඩ් කිරීමටනම්, ඊට පෙර වෙඩි තැබූ පතරොමෙන් පිටවූ වායුවේ පීඩනය මගින්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක කරවා ඊළඟ පතරොම චෙම්බරය වෙත රැගෙන ආ යුතුයි. මෙතනින් බලන්න (තුවක්කු පතරොම, රයිෆල් පතරොම, තුවක්කු බටය, චෙම්බරය)

  රිපීටර් තුවක්කුවේ එක් එක් පතරොම වෙඩි තබන්නා විසින්ම ලෝඩ් කල යුතුයි. ඒ ක්‍රියාව තමයි අර ඉහත වීඩියෝවෙදි  ඔබ දුටුවේ, තුවක්කුවේ බටයට (බැරල්) යටින් පිහිටි කෙටි බැරල් එකක් වැනි කොටස, ඉදිරියට පසුපසට තල්ලු කරන (පොම්පයක් ක්‍රියාත්මක කරවනවා වැනි) ආකාරයෙන්. මේ ක්‍රියාව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් pump action කියලයි. ඒ නිසා මේ තුවක්කුව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් රිපීටර් ෂොට්ගන් Pump Action Repeater Shotgun යනුවෙන්. මේ පම්ප් ඇක්ෂන් එක බොහෝ දෙනෙකුගේ සිත පැහැර ගන්නවා. විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල පම්ප් ඇක්ෂන් තුවක්කුවට විශේෂ තැනක් ලැබෙනවා.

හොඳයි දැන් අපි මේ තුවක්කුවේ මූලික කොටස් හඳුනාගනිමු.

 මෙය එතරම් සංකීර්ණ තුවක්කුවක් නොවේ. එබැවින් මෙහි යාන්ත්‍රික කොටස් ප්‍රමාණය රයිෆලයකට හෝ මැෂින් තුවක්කුවකට සාපේක්ෂව බොහොම අඩුයි. මෙය පිරිසිදු කිරීම සඳහා ගැලවීමේදීද පෙර පුහුණුවක් නැත්නම් ගැලවිය යුත්තේ මූලික කොටස් පමණයි. මෙතෙක් කල් මා ඔබ සමග සාකච්ඡා කළ, විවිධ ගිනි අවි වල, ඔබ දුටු කොටස් වලට වඩා වෙනස් දෙයක් ලෙස, ඔබ මෙහිදී දකිනු ඇත්තේ ෆෝස්ටොක් forestock නමැති කොටස පමණයි. ඒ අර ඉදිරියට පසුපසට යවන කොටසයි. එයින් තුවක්කුවේ බටයක් වැනි මැගසින් එකෙන් කොටසක් ආවරනයවී ඇති බව ඔබට පෙනෙනවා ඇති. එමෙන්ම අප මීට පෙර සාකච්ඡා කල පතරොම් තුවක්කු වල හැමර් යන කොටස තිබුනා ඔබට මතක ඇති නමුත් මේ පතරොම් තුවක්කුවේ හැමරයක් නැහැ. එයත් මෙහි තිබෙන විශේෂත්වයක්. මෙහි ඒ කොටස තිබෙන්නේ තුවක්කුව ඇතුලේ. එමෙන්ම පතරොම පත්තුවීම සඳහා එහි ප්රිමරයට පහර වදින ෆයරින් පින් එකද පෙනෙන්නට නැහැ.

 පම්ප් ඇක්ෂන් රිපීටරයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1866 දී ඇමරිකා එක්සත් ජනපදයේදී පිහිටුවාගත් වින්චෙස්ටර් සමාගම විසින් 1897 දී තමයි මුලින්ම පම්ප් ඇක්ෂන් රිපීටරයක් නිපදවා තිබෙන්නේ. ඒ තුවක්කුව පිටතට පෙනෙන හැමරයකින් යුක්තයි.

එමෙන්ම රිපීටර් තුවක්කුවේ මැගසිනය අප මෙතෙක් සාකච්ඡා කල විවිධ ගිනි අවි වල මැගසිනයට හාත්පසින්ම වෙනස්. මෙහි මැගසිනය පයිප්පයක් (බටයක්) වැනි ආකාරයෙන් (tubuler) තමයි පිහිටා තිබෙන්නේ. ඒ මැගසිනයට පතරොම් දැමීමත් අමුතුම ආකාරයකටයි සිදුකරන්නේ. තාක්ෂණික වශයෙන් මේ තුවක්කුව හඳුන්වන්නේ අභ්‍යන්තර හැමරය සහ බාහිර ටියුබ මැගසිනය සහිත පොම්ප ක්‍රියාකාරී පතරොම් තුවක්කුව කියායි. (Internal Hammer, Pump Action Shotgun with an external Tube Magazine) ඒ ක්‍රියාකාරිත්වය මෙන්ම මේ තුවක්කුවේ ඒ විශේෂ මැගසිනයට පතරොම් ඇතුළු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

https://www.youtube-nocookie.com/v/ZwXpYpWOyfo?version=3&hl=en_US&rel=0

රිපීටර් තුවක්කු අතරින් මෙතෙක් නිපදවන ලද විශිෂ්ඨතම තුවක්කුව ලෙස සැලකෙන්නේ 1912 දී වින්චෙස්ටර් සමාගම නිපදවූ තුවක්කුවයි.

  වින්චෙස්ටර් සමාගම 1963 දී රිපීටර් තුවක්කු නිපදවීම අත්හිටවනු ලැබුවා. වින්චෙස්ටර් සමාගම සමග තරගකාරීව කටයුතු කල සමාගම් දෙකක් වන රෙමින්ග්ටන් සහ මොස්බර්ග් යන සමාගම් දෙක තවමත් රිපීටර් තුවක්කු නිපදවනවා.

 රිපීටර් තුවක්කුව කිසිදු වැදගම්මක් නැතැයි සිතා ඉවත දැමියහැකි තුවක්කුවක් නොවේ. තවමත් ලෝකයේ සමහර රටවල ආරක්ෂක හමුදා මෙන්ම පොලීසියද රිපීටර් තුවක්කු පාවිච්චි කරනවා. එයට හේතු කීපයක් තිබෙනවා. පළමුවැනි හේතුව තමයි රිපීටර් තුවක්කු කීපයක් සටන් භූමියකදී එකවර යෙදවීමෙන් සතුරු පිරිසකට එකවර විශාල හානියක් කල හැකියි. තනි උණ්ඩය සහිත තුවක්කුවකට වඩා, පුනීලයක හැඩයට විහිදී යන මූනිස්සම් රාශියකින් වෙඩි තැබීමෙන් සතුරු පිරිසෙන් බහුතරයකට සුළු තුවාල හෝ සිදුවෙනවා. සතුරා අඩපන කරගැනීමත් යුද ජයග්‍රහණයට හේතු වෙනවා. එමෙන්ම වීදි වලට රැස්වී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු හෝ පෞද්ගලික හෝ දේපල වනසමින් කටයුතු කරන පුද්ගලයන් මෙල්ල කිරීමට පොලීසියට මහෝපකාරී වන අවියක් ලෙසත් මෙය හැඳින්විය හැකියි.

අනෙකුත් තුවක්කු මෙන් රිපීටරයද කාලීන වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එක් එක් අවශ්‍යතා සඳාහා විශේෂයෙන් ගැලපෙන පරිදි රිපීටර් නිපදවනු ලබනවා. ඔබ මේ වනවිට මා පල කර ඇති ලිපි කියවීමෙන් දන්නවා ගිනි අවියක බටය හෙවත් බැරලය දිග වැඩිවූ තරමට එයින් වැඩි දුරකට වෙඩි තැබිය හැකි බව. නමුත් විශේෂ අවශ්‍යතා සඳහා කෙටි බැරලය සහිත රිපීටර නිපදවනවා.ට්‍රෙන්ච් ගන් නමැති රිපීටරය ඉක්මනින් එහා මෙහා හරවමින්, යුද භූමියේ දුව පනිමින්, වෙඩි තැබීම සඳහා ඉතා කෙටි බැරලයක් සහිතව නිපදවන ලද්දක්.

 රිපීටර් තුවක්කු වර්තමානයට ගැලපෙන පරිදි නවීකරණය කිරීමේදී අධෝරක්ත කිරණ සහිත රාත්‍රී දුරදක්නයද සහිතව නිපදවා තිබෙනවා. කෙසේ වෙතත් ඒවා නිපදවනු ලබන්නේ හමුදාමය කටයුතු වලට පමණයි. එයින් තහවුරු වන්නේ රිපීටරය තවමත් ඉතා ප්‍රතිඵලදායී ලෙස ප්‍රයෝජනයට ගතහැකි ගිනි අවියක් බවයි. රිපීටර්යේ මැගසින් එක ටියුබයක් හෙවත් නලයක් මෙන් තිබෙන බව ඔබ කලින් දුටුවා. ඒදෙස ටිකක් සමීපව බලමු.

රිපීටර් තුවක්කු විවිධ බෝර් ප්‍රමාණයන්ගෙන් නිපදවනු ලබනවා. එහෙත් ඒ අතරින් තවමත් ජනප්‍රියව පවතින්නේ බෝර් 12 මෝස්තරයයි. පහත දැක්වෙන්නේ දැනට ලෝකයේ රිපීටර් තුවක්කු නිපදවන බෝර් ප්‍රමාණයන්.

රිපීටර් තුවක්කුවට යොදන්නෙත් සාමාන්‍ය පතරොම් තුවක්කු වලට යොදන පතරොම්. තුවක්කු පතරොම් පිළිබඳව මා ඔබට පතරොමක කතාව 1 මගින් කරුණු කියාදුන්නා මතක ඇති.

 දැන් ඔබ රිපීටර් තුවක්කුව ගැන සතුටුදායක දැනුමක් ලබාගත්තා. ඒ අවියට පතරොම් දමන හැටි මෙන්ම වෙඩි තබන හැටිද දුටුවා. හැබැයි තුවක්කු ගැන මා මගේ මුල් ලිපි වලදීම සඳහන් කලාක් මෙන් සෑම ගිනි අවියක්ම වෙඩි තැබීමෙන් පසු සහ පාවිච්චි නොකලත් යම්කිසි කාලසීමාවකට වරක් ගලවා පිරිසිදු කල යුතුයි. එය කරන ආකාරයත් මා ඔබට පෙන්වන්නේ පහත දැක්වෙන වීඩියෝවෙන්.
https://www.youtube-nocookie.com/v/WeTVr8lGybs?version=3&hl=en_US&rel=0

  අප ගිනි අවි ගැන දැනගත් යුත්තේත් හැකිනම් ගිනි අවි පුහුණුවක් ලැබිය යුත්තේත් මිනිසුන් මරණ චේතනාවෙන් නොවේ. ජීවිතයේ කිසියම් දිනක ආත්මාරක්ෂාව තකා ගිනි අවියක් පාවිච්චි කරන්නට සිදුවුනොත් තමන්ගේ මෙන්ම අනුන්ගේද ජීවිත අනතුරෙන් ගලවා ගැනීමට ඉඩ ලැබෙන බැවින්. තවත් මෙවැනි ගිනි අවියක් සමග ඉදිරියේදී හමුවෙමු.

Advertisements

Comments on: "අපේ කාලයේ තුවක්කු 5 (සංස්කරණය කරන ලදී)" (69)

  1. මේ ලෝකෙ නිෂ්පාදනයකරන ඒවයින් මම අකමැතිම එකක් තමා මේ. ඒත් ඉතින් ඒවට කැමති අයත් ඉන්නවනේ. හොඳ විස්තර කිරීමක්.

    ඔය රූප සටහන් එක්ක තියන සිංහල අකුරු ඔබම ටයිප් කරන ඒව වෙන්න ඇති. මම හිතන්නෙ ඔබ පාවිච්චි කරල තියෙන්නෙ. DL ෆොන්ට් එකක්. බොහෝ දුරට DL-Paras. ඔය DL ෆොන්ට්ස්වලට වැඩිය FM ෆොන්ට්ස් ලස්සනයි. පුළුවන් නම් පාවිච්චිකරල බලන්න.

    • අහුවෙච්ච ෆොන්ට් එකෙන් ගහනවා. වෙලාවකට එපා වෙනවා එඩිට් කිරීම. ඔබ කියපු ෆොන්ට් එකෙනුත් බලන්නම්. මම නැවත පරීක්ෂා කළා. මම පාවිච්චි කරලා තිබෙන්නේ IW Sujeewa කියන ෆොන්ට් එකයි.

  2. ආස හිතුන ලිපි පෙළක්

  3. ආ දාලානේ, ස්තූතියි මහත්තයෝ.
    මම හරිම ආසයි රීපිටර් එකට. ලෝකය පවතින තූරාවටම රිපිටර් පවතී මගේ හිතේ. ඔය රිපිටර් දැනටත් නිෂ්පාදනය කරන රටවල්වල එකක් කීයක් විතර වෙනවාද.
    මමත් ඉදගන අරක දාන්ඩ මේක දාන්ඩ කියුවට , ඔබතුමා මෙව්වා ලියන්ඩ සැහෙන්ඩ මහන්සිවෙන පාටයි.
    තූවක්කූ ඉවර උනාට මේ ලිපි පෙල නවත්තන්ඩ එපා.යුද තාක්ෂණය, යුද උපකරණ, ගැනත් ලියන්න.
    උපකරණ මෙෂින් ගැන දැනගන්න මම හරි ආසයි

    ලිපියේ එක අඩුවක් තියනවා. පතූරම් ගැන කියුවට දැමීයහැකි පතූරම් ප්‍රමාණය ගැන සදහනක් නැ.
    ඒ ගැනත් චුට්ටක් ලියන්න.

  4. ඇනෝපිලිස් said:

    හැමදාම ඔබේ ලිපි බ්ලනවා… වෙන මොනා නොලිව්වත් ආයුධ ගැන ලියන මේ ලිපි පෙල නවත්වන්න එපා……… මොකද ඒ ගැන ලියන්න මේ සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න සුදුසුම කෙනා ඔබතුමා නිසා…….

    • ඇගයීම පිළිබඳව බොහොම ස්තුතියි. ආයුධ පිළිබඳව එකතු කරගත් කරුණු ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. පාඨක ප්‍රතිචාර අනුව ඒවා පලකිරීම පිළිබඳව සිතා බලනවා.

      • ඒ කතාව හරි. අවි ආයුධ ගැන හොඳටම දන්නා කෙනෙක් වෙච්ච ඔබතුමා ලියන ලිපියක් ගැන කවර කතාද? මේ මම වගේ තුවක්කු ගැන මිලිටරි දේවල් ගැන පිස්සු වැටිච්ච උන්ටත් කියවන්න දේවල් මෙහෙන් හැර වෙන කොහෙන් ගන්නද? ඔබතුමාට හැකිනම් අපිව කාලතුවක්කු ගැනත් දැනුවත් කරන්න. ගොඩක් දේවල් ඇති ඔබතුමා ළඟ ඒ ගැන නම්.

        • කාලතුවක්කු ගැන ලියන්නම්. මම වැලි ඔය ප්‍රදේශයේ රාජකාරි කරද්දී සුප්‍රසිද්ධ කලාකරුවන් කීප දෙනෙක් ආවා අපි සංවිධානය කරපු ප්‍රසංගයකට. එදා රෑ ඒගොල්ලෝ කඳවුරේ නැවතුනා. රාත්‍රියේ අපි ඔවුන්ට පොඩි ‘සංග්‍රහයක්’ කරමින් ඉන්න අතර සතුරු ඉලක්කයක් පිලිබඳ තොරතුරු ලැබුනා. අපේ හමුදාවට තිබෙන ලොකුම කාලතුවක්කුව වන මි.මී. 130 කාලතුවක්කු තුනකින් එකවර වෙඩි තැබුවා අර ඉලක්කයට. කි.මී. 20 ක් පමණ ඈතට. අර කලාකරුවන්ගෙන් එක්කෙනෙකුගේ පපුව හිරවුනා වගේ දෙයක් වුනා. අපි හරියට බයවුනා. තව එක්කෙනෙක් ටොයිලට් එක කොහෙද කියලා ඇහුවේ දුවන ගමන්. අපිට ඒගොල්ලන්ට කලින් කියන්න අමතක වුනා අපේ කඳවුරේ කාලතුවක්කු වලින් වෙඩි තියන බව.

      • ඇනෝපිලිස් said:

        අනේ පාඨක ප්‍රතිචාර නැතත් ඔන්න ඔහේ ලියල දාන්න… නැත්නම් ඔය දැනුම අපරාදෙ…..

      • දැන් අසමි දකිමි සොයමි නැගලා යනවා නේද? ඒ නිසා දිගටම ලියන්න

  5. අදටත් මම දැකලා තියනවා බැංකු ආරක්ෂකයෝ බොහෝවිට ඔය වින්චෙස්ටර් මොඩලයේ ෂොට්ගන් භාවිතා කරනවා. සමහර පුද්ගලික ආරක්ෂකයින් (ඩයලොග් ආයතනය පසුගිය කාලයේ භාවිතා කල) භාවිතා කලේ කෙටි ට්‍රෙන්ච් ගන්.

    තව දෙයක්, ට්‍රෙන්ච් ගන් ඩිසයින් එක ආවේ පළමු ලෝක යුද්ධයේදී යුධ අගල් භාවිතය නිසා නේද? ඒ එක්කම ඔය ට්‍රෙන්ච් ගන් වලට ඇමරිකාවයි ජර්මනියයි එකිනෙකාට එරෙහිව යුධාධිකරණයට පවා ගිහින් තියනවා නේද?

    • ඔබ සඳහන් කර තිබෙන සියලු කරුණු හරියටම හරි. ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වෙයි සිතුන නිසා සමහර දීර්ඝ විස්තර ඇතුලත් කලේ නැහැ.

  6. සිංහලෙන් තුවක්කු ගැන මෙතරම් සරලව පැහැදිලිව නමුත් විස්තර ඇතුව ලියන මුල්ම කෙනා ඔබතුමා වෙන්න ඇති. මොන මොන විස්තර සිංහලෙන් තිබ්බත් මේ දේවල් ගැන මෙතෙක් සිංහල බ්ලොග් වල සවිස්තරව ලියවිල නෑ. ඒ හන්ද මහන්සිය අමතක කරලා දාන්න. ඕනි නම් පස්සෙ පොතක් උනත් ගහන්න පුළුවන්.
    ________________________________________________________________
    පල්ලෙහා,, රිපිරටයට යොදන පතුරම්… අන්න ඒ වගේම වර්ගයක් නේද අඩවි වන නිලධරුවන් අත තියෙන්නෙ??????. අපි කියන්නෙ අලි වෙඩි කියල.. (ආකාස වගේ යවන ඒවා නෙමේ)

    • ඔබ සියලු දෙනා කරන දිරිමත් කිරීමට අනෙක වාරයක් ස්තුතියි. වෙලාවකට කම්මැලි හිතෙන්නේ ‘මට මහලු වයසේ – බැරිය වෙණ ගායනා පෙරසේ’ නිසා වෙන්න ඇති. නමුත් සිතට දිරිය ගෙන කටයුතු කරනවා.

      මම පෙන්වා තිබෙන්නේ විවිධ බෝර් වලට අයත් පතරොම්. අඩවි වන නිලධාරින් අතේ තියන වර්ගයට කියන්නේ තන්ඩර් ෆ්ලෑෂ් කියලා. මේ තියෙන්නේ ඒවා. ඊට අමතරව හමුදාවේ විශේෂ බලකාය, කොමාන්ඩෝ රෙජිමේන්තුව, පාවිච්චි කරන වර්ගයක් තියනවා ස්ටන්ට් ග්‍රෙනේඩ් stunt grenade කියලා. ඒවා ගහපුවාම මිනිසුන් මොහොතකට ගල් ගැහෙනවා. ඒ කම්පනයට. ඒ වෙලාව ඇති වැඩේ දීගන්න.

      මේ තියෙන්නේ ඒවා

  7. අටම්පහුර දිගින් දිගටම රිපීටරය ඉල්ලද්දි සිකුරුටිලා පාවිච්චි කරන්නෙත් රිපීටර් කියලා කිව්වා මතකයි.. මම ඊයෙ ලයිට් බිලක් ගෙවන්න ගිය වෙලාවෙ සිරකුටි ළඟ තිබ්බ තුවක්කුව දිහා බලලා හිතුවා මේක වෙන්නැති රිපීටරේ කියලා.. මම හරි..

    මේ ලිපියටත් ස්තුතියි!.. මේ ලිපි පෙළ අවසන් කරන්න එපා.. අක දිගට එකම ජාතියෙ ලිපි දාන එක එපා වෙන වැඩක් තමයි.. ඔබ තුමාගෙ යුධ අත්දැකීම් සහිත ලිපිත් දාන්න…

    • හැකිතරම් වෙනස් මාතෘකා යටතේ ලිපි පලකරන්න සියලු උත්සාහ දරනවා. නමුත් නොදැනීම තුවක්කු ගැනම තමයි ලියවෙන්නේ. අර මැක්කාගේ කතාව වගේ.

      • නලා කාරයා දැකලා මතක් වුනේ කඳවුරුවල උදේ හවා බියුගල් ගහනවා නේද?

        • නලා කාරයා. . . . හුහ් . . . අපහාස කරන්ඩ එන්ඩ එපා අපේ කෙල්ලන්ට හරිද? බෑග් පයිප් වාදිකාව කියලා කියනවා හොඳට කට හෝදලා. තද වෙන කතානේ උදේ පාන්දරම. ඒ ළමයාගේ මූනේ තියන සිරියාවවත් බලන්නේ නැතුව නලා කාරයා කිව්ව හැටි. ඔය විදිහටනම් බැරිවෙයි කවදා හරි ‘නලා නෙවෙයි හොරණෑ කාරියක්වත්’ හොයාගන්ඩ.

          කඳවුරක උදෑසන 5 සිට රාත්‍රී 10 දක්වා හොරණෑ නාද Bugle Calls පවත්වනවා. අවදිවීමේ සිට නින්දට යාම දක්වා. ඒ හැර ගිනිගැනීම්, සටනේදී පසු බැසීම, රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් බව දැන්වීම ආදී විශේෂ නාදත් තියනවා. ලිපියක් අවශ්‍යද?

      • හුටා.. කෙල්ලෙක්ද? මම දැක්කෙ කොල්ලෙක් වගේ.. ඔන්න සුවඳ සබන් ගාලා කට හේදුවා..

        අමාරුවක් නැත්නම් ලියන්ඩ .. වැඩි වෙන්නේ නෑ.. ඔන්න තුවක්කු වලින් පිට ටොපික් එකක් හොයලා දුන්නා..

        • ඉස්සර ටොපික් නැතුව අඬ අඬා හිටිය මම දැන් ටොපික් වැඩි වෙලා අඬනවා. බියුගල් නාද සහිත එම් පී 3 ෆයිල්ස් හොයාගත්ත ගමන් ලියන්නම්.

      • දෙන්නකෝ.. මේ තියෙන්නේ කතා.. ඔය කතා අහන්නමනේ අපි මෙහෙ එන්නේ.

        • අලුත් කතාවක් පරිවර්තනය කරන්න පටන් ගත්තා. ඒකට අවශ්‍ය පින්තූර හොයන්න ගියාම සංසාරේ එපා වෙනවා. සතියකින් දෙකකින් දෙන්නම්. බොහෝ දෙනෙක් කැමතිවෙයි.

      • විචාරක මහත්තයෝ, සෙන්නගේ පොස්ට් ඒකෙ කිව්ව අර ලියන්න හදන එක ගැන මට ටිකක් කියන්න. ඒ ගැන මමත් ලිව්වොත් හරි නෑ. ආයුධ ගැන ලියනවානම් ඔබට‍ වඩා සුදුස්සෙක් මේ බ්ලොග් වල නෑ.

      • විචාරක මහතා,

        ක්සැන්ඩර්ගෙ කතාව හරි. අනික ඔබ වැඩේ පටන් ගත්තුත් නිසා ඉවර කරන්න. මමත් ඒකෙන් අයින් වෙලා ඉන්නෙ හොඳේ.. ඔබ තුමාගෙ ලිපිය එනකම් බලාගන ඉන්නෙ.

        • එහෙනම් ඔබ දෙදෙනාටම හද පත්ලෙන්ම ස්තුති කරමින්, පින්දෙමින් වැඩේ කරගෙන යනවා. හැබැයි එහි ඔබේ දායකත්වයද ඇති බව මා අමතක කරන්නේ නැහැ.

  8. හොඳ විස්තරයක් විචාරක මහතා. වෙනදා වගේම සුපිරි ඉදිරිපත් කිරීමක්.

    • බොහොම ස්තුතියි. කවදද හඳට යාමේ කතාව අපිට කියවන්න ලැබෙන්නේ.

      • ටිකක් කල් යයි බුදු සර්…. මේ ටිකේ ෆුල් ආතල් එකේ ඉන්නෙ.. මුකුත් වැඩක් කරන්න හිතේ මෙව්වා එකක් නෑ..

        හඳට යන්න කලින් ආයෙ සැරයක් මුහුද යට කිමිදීමක් කරන්න කියලා කල්පනා කෙරුවේ..

        • නියමයි. මම මුහුද මතුපිට යන එකක් පටන්ගත්තා. හැබැයි හරිම අමාරුයි. නමුත් චිත්ත දහිරියේ ගියර් එක ෆස්ට් එකට දාගෙන අදිනවා. ලංකාවට ආව නිසාද ෆුල් ආතල්? ඊළඟ සැරේදි වත් හම්බ වෙමු ආතල් ගන්න.

  9. තිය තිය ඔලු කටු කුඩු වෙන්න… :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  10. මගෙත් තවත් අසම ආයුධයක්..(පාවිච්චි කර නැත) ලස්සනට ඒකෙ විස්තර ටික කියල දීල තියෙනව

    • කවද හරි දවසක ලැබුනොත් දැන් දන්නවනේ පාවිච්චි කරන හැටි. මමත් මේ අවියෙන් වෙඩි 10 කට 15 කට වඩා තියලා නැහැ. 1988 – 89 කාලේ අර ‘සහෝදරවරු’ ළඟ තිබිලා අල්ලගත්තා. පොලීසි වලට ගහලා ගත්ත ඒවා වගයක්. ඒවගෙන් තමයි නිකම් කැලේට වෙඩි තියලා බැලුවේ.

  11. පරණ ලිපි ඔක්කොම වගේ කියෙව්වා ශෙහ් මට මිස් උනානේ මේ බ්ලොග් එක මෙච්චර දවසක් ……කියවන්ඩ අලුත් ලිපි නැතුව රට වටේ යන්කොට අහම්බෙන් සෙට් උනා ……
    මටත් ටිකක් ඔය ආයුද ගැන සෑහෙන්ඩ ” මෙව්ව ” එකක් තියනවා…..
    නිකං ගහට පොත්ත වගේ සෙට් උනා එලය දිගටම මේ පැත්තේ එමි …………..
    ගෙදර ලයිට් බිල් ගැන වැඩිපුර හිතන්ඩ එපාය …… පුලුවන් තරම් කොටන්ඩය …
    ( පුලුවන් නම් ගුවන් යානා නාශක අවි වල විසේසත්වයත් ලියන්ඩ )

    • ඉතාම සාදරයෙන් ඔබව පිලිගන්නවා. සෑම මසකම මේ වගේ එක්කෙනෙක්වත් එකතු වෙනවා. එය මට මහත් සතුටක්. ඉතා දීර්ඝ ලිපි පෙළක් අනාගතයේදී ලියන්නට හිතාගෙන ඉන්නවා. දිගටම එන්න. බුද්ධි වර්ධනයට යමක් දෙන්නම්.
      ලයිට් බිල් ටෙලිෆෝන් බිල් සබැඳි මගේ ප්‍රාර්ථනය. අර නන්දා මාලනියගේ ගීතයක පදයක්. ‘නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ’

  12. අංගොඩයා.. said:

    බොහම වටිනා ලිපියක් විචාරක මහත්තයා..
    ඔබ තුමාගේ කලින් පල වුන අපේ කාලේ තුවක්කු ලිපි පෙළයි,රිවෝල්වර් ගැන තිබුන ලිපියි මං මේ ලඟදි මගෙත් එක්ක වැඩ කරන මේ රටේ යාලුවෙක්ට පෙන්නුවා,මිනිහත් මගෙත් එක්ක 9mm පුහුණු වෙන්න එහෙම යනවා,අර ලිපි වල තිබුන විස්තරාත්මක පින්තූර ටික විතරක් දැකල මිනිහට පුදුම අසාවක් තිබ්බේ,එච්චර හොඳට පැහැදිලි කරලා දෙන blog එකක් දැකලම නැහැලු,අවාසනාවට සිංහල blog එකක් පරිවර්තනය කරන්න විදියක් හොයා ගන්නත් බැරි උනා.
    රිපීටර් එකට pump action කිව්වමයි මතක් උනේ,මෙහෙ ගම් වල ගොවිතැන් කරන අය ළඟ ගොඩක් වායු රයිෆල තියෙනවා,බොහම දුරට ඔබ තුමා කලින් විස්තර කරපු “.303 Lee Enfield Rifle” එකට සමානයි,නමුත් රයිෆල් බටයට යටින් තව බටයක් තියෙනවා හුලං පොම්පෙකුත් එක්ක,සැරින් සැරින් එකෙන් හුලං පොම්ප කරන්න ඕනේ,භාවිත කරන්නේ බොහොම පුංචි 5mm විතර යකඩ උණ්ඩයක්.
    රයිෆලය අත පත ගාලා වෙඩි කිහිපයක් තියලා බැලුවා නමුත් සාමාන්‍ය රයිෆලයක වගේ recoil එකක් නැහැ.මේ වායු රයිෆලයේ යාන්ත්‍රනය ගැන නම් කිසිම දැනීමක් නැහැ,උබ තුමාට වෙලාවක් තිබ්බොත් පුළුවන් නම් වායු රයිෆල ගැනත් ලිපියක් ලියන්න.
    අවශ්‍ය නම් මං රයිෆලයේ පින්තුරයක් එවන්නම්.

  13. මේ වර්ගයේ යටින් ඇදලා ලෝඩ් කරන වර්ගයේ ගිනි අවි බොහෝ වෙලාවට චිත්‍රපට වල මා දැක තිබෙනවා. එය හරිම ආසා හිතෙන එකක්. පුංචි කාලෙ අපි හදාගන්න සෙල්ලම් තුවක්කු වලටත් එහෙම කොටසක් ඇතුල් කලා මතකයි 🙂

  14. @wicharaka විචාරක – මාත් හිතන් ඉන්නේ army එකට යන්න office කෙනෙක් විදියට. යන්න කලින් physical පැත්තෙන් මොනවා හරි standard එකක් තියාගන්න ඕනේද? (pushups, situps etc.) එතකොට visual acuity එක බලනවද?

    • මම ආමි කාරයෙක් නිසා මුලින්ම කියන්නේ ඔබේ තීරණය මම අගය කරනවා කියලා. ඔබට හමුදාවට බැඳෙන්නට ක්‍රම කීපයක් තිබෙනවා. ඔබ, වෛද්ය, ඉංජිනේරු,(විදුලි, සිවිල්, ගොඩනැගිලි,) දන්ත වෛද්ය, තොරතුරු තාක්ෂණය, ප්‍රමාන සමීක්ෂක, නීති, සහ ඒ හා සමාන උපාධි ධාරියකුනම්, ඔබේ වයස, පළපුරුද්ද සහ විශේෂ සුදුසුකම් අනුව හා, ශාරීරික යෝග්‍යතාව මත, නිත්‍ය හමුදාවට හෝ ස්වේච්ඡා හමුදාවට කෙලින්ම දෙවැනි ලුතිතන් නිලයේ සිට කර්නල් නිලය දක්වා නිලයකින් බැඳෙන්නට අවස්ථාව තිබෙනවා. නිත්‍ය හමුදාව සහ ස්වේච්ඡා හමුදාව අතර වැටුපෙන් හෝ නිල ඇඳුමෙන් හෝ වරප්‍රසාද අතින් වෙනසක් නැත. සෑම විටම නිත්‍ය හමුදාව ස්වේච්ඡා හමුදාවට වඩා ජ්‍යෙෂ්ටත්වයෙන් ඉහලයි. එපමණයි වෙනස. එමෙන්ම ඔබ විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට සුදුසුකම් ලබා තිබෙන්නේනම් ඔබට කොතලාවල යුද හමුදා විශ්ව විද්‍යාලයට හෝ ඌව විශ්ව විද්‍යාලයට අනුබද්ධිත දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට බැඳෙන්නට හැකියි. එහිදී ඔබට මාසික දීමනාවක් මෙන්ම නිල ඇඳුම්, ගමන් බිමන් පහසුකම්, වෛද්ය පහසුකම්, සහ තවත් වරප්‍රසාද හිමිවනවා. ඔබ විශ්ව විද්‍යාල උපාධිය සහිත නිලධාරියකු වශයෙන් ත්‍රිවිධ හමුදාවෙන් එක් හමුදාවකට එක් වෙනවා. එමෙන්ම කලින් කලට ගැසට් නිවේදන මගින් යුද හමුදාවට කැඩෙට් නිලධාරීන් බඳවා ගන්නවා.එහිදී දියතලාව යුද හමුදා විද්‍යාපීඨ පාඨමාලාවකට ඔබ තෝරාගන්නා අතර (එය විශ්ව විද්‍යාල අනුබද්ධයි) අනෙකුත් කැඩෙට් නිලධාරීන්ට ලැබෙන සියලු පහසුකම් ලැබෙනවා. මේ සියලුම ක්‍රම වලදී ඔබේ ශාරීරික යෝග්‍යතාවය මැන බලනවා. ඒ සඳහා සරල අභ්‍යාස කීපයක් කරන්නට වෙනවා. ඒවා බරපතළ දේවල් නෙවෙයි. අද කාලේ භාෂාවෙන් කියනවානම් ‘සාමාන්‍යයෙන් ෆිට්’ කොල්ලන්ට කෙල්ලන්ට බයවෙන්න දෙයක් නැහැ.

  15. ඊයේ ගම්පොල පීපල්ස් බෑන්ක් එකට ගිහින් සික්කා අන්කල් එක්ක සෙට් වෙලා තුවක්කුව හොඳට බැලුවා. 1897 හදපු වින්චෙස්ටර් එකක් ඒක පිටිපස්සේ හැමර් එක තියනවා. මේ ඒක තහවුරු කරගන්න ආව ගමන. දෙය්යනේ සියවසකට වැඩි කාලයක් පාවිච්චි කරන තුවක්කු, මෙව්වගෙන් වෙඩි තියන්න පුලුවන්ද දන්නේ නෑ. ඇයි ඉතින් සික්කා අන්කල් ලා ඕක සුද්ද කරනවා කියලයේ?

    • නියමයි, නියමයි, නියම උනන්දුවෙක්නේ ඔයා. ඔයවගේ තවත් මහා රහසක් කියන්නද? ඔයා දැකලා ඇතිනේ මේ දවස්වල පාරේ ඉන්න පොලිස් රාළහාමිලා හරියට කාලතුවක්කුවක් වගේ ඉනේ ගහගෙන ඉන්නවා රිවෝල්වර්. ඒවා කරුපයියා බුදුන්ගේ කාලේ හදපුවා. ඒවා හොඳයි වෙඩි තියන්න නෙවෙයි විට කොටන්න. හදිස්සියකට ඔය රිවෝල්වර් වලින් 1% ක් විතර පත්තුවෙයි. හැබැයි අර සික්කාගේ තුවක්කුව ආයේ සැරයක් බලන්න, 1897 වින්චෙස්ටර් සමාගමේ ආරම්භක වර්ෂයද දන්නේ නැහැ.

      ගම්පොල උඩහෙන්තැන්න කියන්නේ අපේ අම්මගේ උපන්ගම. ක්සැන්ඩර් කෑල්ලට ඉදිරියෙන් ඇලෙක් කෑල්ල තියන අපේ නෑදෑයෝ ඉන්නවා ඒ පැත්තේ. එක්කෙනෙක් වික්ටර් ක්ලෙමන්ට් ඇලෙක්සැන්ඩර්. අපේ පුංචි අම්මගේ පුතා.

      • කොහොමද නිෂ්පාදක වර්ෂය හොයන්නේ? මම හෙට දිහාවේ ආයෙම ඒ පැත්තේ යැවෙයි. මේක මම ලියනකොට පාවිච්චි කරන නම. ඒ වුනත් මගේ පදිංචිය ඔය කිට්ටුවෙන්ම. ගෙලිඔයේ.

        • අපේ තාත්තයි අම්මයි 1950 දශකයේ ගෙලිඔය ම.වී. වැඩකලා. (ඒ කාලේ ම.වී. නෙවෙයි) මම පුංචියි එතකොට. මෙන්න මම දන්නා ගෙලිඔය. මහනුවර නුවර එලිය පාරේ පළල අඩි 12 ක් විතර තියෙන්න ඇති. ගෙලිඔය දුම්රියපොළ තිබුනේ පරණ කෝච්චි පෙට්ටියක. ගෙලිඔය පන්සලේ ලොකු හාමුදුරුවෝ පුවක්දෙණියේ පඤ්ඤාරතන හාමුදුරුවෝ තමයි මට පුංචිකාලේ හොඳ නරක කියලා දුන්නේ. (පන්සලෙන් උදේටයි දවල්ටයි හොඳට අඹරන්ඩත් අමතක කලේ නැහැ) කන බොන හැටි පවා හාමුදුරුවෝ තමයි කියලා දුන්නේ. මම අන්තිමට උන්වහන්සේව බලන්න ගියේ අවුරුදු දෙකකට විතර කලින්. පොඩි හාමුදුරුවන්ගේ කතාව අහලා මම හරියට දුක්වුණා. ඒ කාලේ ලොකු හාමුදුරුවෝ ඇඟිල්ලක් ඉස්සුවොත් මුළු ගෙලිඔයම (ඒ කාලේ පොඩි කඩමන්ඩියක්) හෙල්ලෙනවා. ජින්නා හෝටලේ කෑම වල රස තවම මතකයි. බොහෝ දවස්වල මම කේලමදෙනිය පැත්තේ ඇවිදින්න යනවා අයියා එක්ක. නැත්නම් ටවුමට එනවා, තඹ සතයක් රේල් පීල්ලට තියලා, කෝච්චියට තැලිලා, එක විසාල වෙන හැටි බලන්න.ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න ‘චන්ඩියා හෙවත් චන්ඩි පුතා’ කියන්නේ කාටද කියලා.

      • එහෙනම් ඔබතුමා හොඳහැටි ගෙලිඔය දන්නවා. ඒ අපේ මුල් ගම. දැන් ගෙලිඔය ස්ටේෂම ලොකුයි. කොච්චි දෙකක් මාරු වෙන්න තරම්ම. අදටත් පුවක්දෙණියේ අපේ හාමුදුරුවෝ ගෙලිඔය ටවුමේ (දැන් කඩවල් දෙතුන් සීයක් ඇති. ත්‍රීවීල් ම 500 පැනලා.) නිල නොලත් ආණ්ඩුකාරයා. ජින්නා හෝටලේ තවම තියනවා. දැන් බ්‍රාන්ච් 2 ක්. බොහොම සතුටුයි දැනගන්න ලැබිච්ච එක ඔබතුමා ගැන මේ විදියට. ආයෙත් ඒ පැත්තේ යනවා නම් ඊයක් එවන්න.

  16. […] අමතක කරන්න එපා. ඕනෙනම් තවත් පරණ ලිපි අවුස්සා බලන්න. තුවක්කු ගැන ජීවිත කාලයක් ලිව්වත් ඉවර […]

  17. […] පාවා දුන්නා. පුදුමේ කියන්නේ, දෑවැද්දට බෝර් 12 පතරොම් තුවක්කුවකුත් දීලා තියනවා. (1971 කැරැල්ල සමයේදී […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: