විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  ඊයේ පෙරේදා දිනයක මා සහ මගේ දූවරුන්ද බිරිඳද බැලීමට පැමිණි මගේ බාලම අක්කා, (මට අක්කලා තිදෙනෙක් ඉන්නවා) ඉතා පැරණි ඡායාරූපයක් මගේ අත තැබුවාය. එය සොඳුරු මතකයක් මෙන්ම සිතට වේදනාවක්ද ඇති කරවන ඡායාරූපයක් විය. මගේ අක්කාට අනුව මෙය 1958 වසරේදී ගන්නාලද ඡායාරූපයකි. මේ ඡායාරූපයේ දිග පළල මා දක්වා තිබෙනවා. මෙවැනි ප්‍රමාණයෙන් (සෙ.මී. 8.5 ක් දිග සෙ.මී. 6 ක් පළල) අද ඡායාරූප මුද්‍රණය කරන්නේ නැහැ. මට මතක තිබෙන ආකාරයට මෙම ප්‍රමාණය හැඳින්වූයේ 127 යනුවෙන්. මා එසේ කියන්නේ 1960 දශකයෙදීද මේ ප්‍රමාණයේ ඡායාරූප මා දැක ඇති නිසයි. 127 යනු මිලිමීටර් 127 විය නොහැකියි. ඡායාරූපකරණයේ විශේෂඥයෝ මා දැනුවත් කරත්වා. මෙවැනි ඡායාරූප රැසක් අපේ ගෙදර තිබුනා මට මතකයි. ඉතිරි ඡායාරූප සෙවීමට උත්සාහ කිරීමට සිතාගත්තා. මේ රූපයේ අපි නාන්නේ ගුරුගොඩ ඔයේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාබෝපිටිය කියන ගමේ.

  අද අප මුද්‍රණය කරන බොහොමයක් ඡායාරූප වසර 10 ක් වත් තිබෙන්නේ නැහැ, විශේෂ සංරක්ෂණ ක්‍රම නොයෙදුවොත්. නමුත් මේ ඡායාරූපය ඉරීම් පොඩිවීම් වලට භාජනය වුනත්, එහි ස්වභාවික වර්ණයට කිසිදු හානියක් සිදුවී නැහැ. මටනම් මෙය පුදුමයට හේතුවක්. 1980 දශකයේ මා විසින් ගත් වර්ණ ඡායාරූප බොහොමයක් අද දුර්වර්ණවී හමාරයි. මෙවැනි පැරණි කළු සුදු ඡායාරූප සෑහෙන ප්‍රමාණයක් බොහෝ නිවෙස්වල තවමත් හොඳින් තිබෙනවා. ඡායාරූපයේ විස්තරය පහත දක්වනවා.

  මේ පිටපත මා ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් මගින් නැවත සැකසීමක් කළා. අවුරුදු 54 ක් මේ ඡායාරූපය අතුරු අන්ත්‍රා මධ්‍යයේ මේ තරමෙන් හෝ ආරක්ෂාවී තිබීම මහත් සතුටක්.

Advertisements

Comments on: "හදිසියේ හමුවුනා" (79)

  1. වර්තමානයේ මුද්‍රණය කෙරෙන ඡායාරූපවලට වඩා කල් පැවැත්මක් ඉස්සර කාලේ මුද්‍රණය කරපු කළු සුදු ඡායාරූපවල තියෙනවා කියන කතාව මාත් අත්දැකීමෙන් දන්නවා. මෑත කාලේ එහෙම ඡායාරූප ගොන්නක් මටත් හම්බුණා 🙂

  2. ඔය 127 කියන්නෙ මිලිමීටර් වෙන්න පුළුවන්… මොකද වර්තමානෙත් 127 කඩදාසි රෝල් තියෙනවා. මිලි මීටර් 127 කියන්නෙ අඟල් 5ක්. සමහර විට සෙ.මී. 12.7ක් පළල කඩදාසියක ඔය පින්තූර දෙක බැගින් මුද්‍රණය කළා වෙන්න පුළුවන්. මම අහල තියෙනවා කඩදාසි අවශ්‍ය ප්‍රමාණ වලින් කපන්න පුළුවන්කම තිබුණ කියල. මොකද අතීතයෙදි නෙගටිව් එකක් කඩදාසිය මත ප්‍රක්ෂේපණය කරන කාචය වෙනස් කිරීමෙන් පින්තූරය කැමති ප්‍රමාණයකින් මුද්‍රණය කරගන්න පුළුවන් වෙන්න ඇති.

    ඡායාරූප මුද්‍රණ තාක්ෂණය වෙනස් වුණාට මූලධර්ම ඒ තරම් වෙනස් වෙලා නෑ අදටත්. කඩදාසියේ තියෙන රසායණික ද්‍රව්‍ය ආලෝකයේ වෙනස්වීම් අනුව රසායණික වෙනස්කම්වලට ලක්වීමෙනුයි කඩදාසිය මත පින්තූරයක් ඇ‍ඳෙන්නෙ. පාවිච්චි කරන කඩදාසි වර්ග වෙනස් වීම හින්ද තමයි අද කාලෙ පින්තූර ඉක්මනට සවුත්තු වෙන්නේ. අනික බිස්නස් එක තියෙන්නත් එපැයි.

    දැන් අපි පින්තූර ගන්න විධියට ඒව කවදාවත් මුද්‍රණය කරන්න නම් වෙන්නෙ නෑ. හාඩ් ඩිස්ක් පිරෙනවා ඒවයින්.

    • මිලිමීටර් 127 වුනානම් පින්තූරයේ දිග සෙන්ටිමීටර් 8.5 ට වැඩි වෙන්න ඕනේ නේද? මම ඡායාරූපකරණය ටිකක් උඩින් පල්ලෙන් කරලා තියනවා. පාසල් යන කාලේදී. ඡායාරූප මුද්‍රණයත් (ඔබ කියා ඇති විදිහටම) කරනවා දැක තිබෙනවා.

      අද කාලයේ ඡායාරූප ඉක්මනින් නරක්වෙන්නේ වර්ණ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නිසා කියලා මටත් හිතෙනවා.

      මටත් දැන් හාඩ් ඩිස්ක් එක මදිවේගන එන්නේ මම ගන්නා පින්තූර වලින් පිරීම නිසා.

    • විකර්ණය දිගේ බලන්න විචාරක තුමා. ඉම්පීරියල් මිනුම් වලින් නම් අඟලෙන් 1/16 පංගු හෝ 1/8 පංගු 127ක් වෙන්න පුළුවන්.
      මෙට්‍රික් මිනුම් නම් මි.මී. 127 වෙන්න පුළුවන්. (ගාණ හදන්න කම්මැලියි මේ වෙලාවෙ.)
      ඒත් මට අත්දැකීම් වල හැටියට හිතෙන්නෙ ඉම්පීරියල් මිනුමක් කියලා!!
      (හරියට දන්නේ නෑ. නමුත් අහලා දැකලා තියෙන දේවල් අනුව එහෙම නිගමනයකට එළඹෙන්න පුළුවන්)

  3. අපේ මගූල් ෆොටෝ එක ලගින් අම්මලා තාත්තලා ගේ එව්වා තිබ්බහම අපේ එව්වා කක්කා හතයි. තාමත්එව්වා සුපිරියට තියනවා. මමත් ගූරැගොඩඔයේ පහලකොනෙන් නාපු කොල්ලෙක් ඔය වයසෙදි

    • මගේ මංගල ඡායාරූපයත් කළු සුදු එකක්. අදටත් කිසිම දුර්වර්ණ වීමක් නැහැ. හමුදාවේ සියලු කඩුකස්තාන ඇඳ පැළඳ ගත් වර්ණ ඡායාරූපය ටිකක් සවුත්තු වෙලා.

  4. පස්සේ මතක් උනේ, දෙපාරක් කෙටුවට සොරි, රීපිටර් ලිපිය කොයි

    • සූදානම් කරමින් පවතිනවා. තවමත් සමහර කරුණු මදි මම බලාපොරොත්තුවන මට්ටමෙන් ලියන්න. කොහොම නමුත් ඉක්මනින් දෙන්නම්.

      • හප්පුච්චියේ ඔබතූමා ගේ පරිසාදන මට්ටම මම නොදන්නවායෑ, දැන් ෆොටෝ 50ක් 60ක් බාගන නීදි මරාගන ,අන්තර් ජංජාලය පීරගන, මං වගේ ගෙදර ඇත්තීගේ සුන්දර නෝක්කඩු අහගන ( දැන් මට ආදරේ නෑ , කොයිවෙලෙත් කොම්පීතරේ බදාගන) වගේ එව්වා අහගන , කට්ටක් කනවා ඇති, අනේ සොරි සර්, මම ඔව්වට මාර ආසයි.

        • මටනම් දැන් අපේ උන්දැගේ ටකරම් හඬ කම්මලේ බල්ලට හෙන ගහනවා වගේ. විදුලි බිලයි ටෙලිෆෝන් බිලයි ආව දවසට ගන්ටාරේ හඬ වැඩි වෙනවා. ඒ දෙකේ එකතුව 6000 ත් පනින අවස්ථා තියනවා.
          වයසක මම දැන් ඉතින් ආදරේ කොරලා ‘මොනවා කොරන්නද’

  5. පිංතූරේ බාහිර පෙනුම මොකක් උනත් මේ ඉරිකෑලි කඩතොලු වැටෙන්න ගිය දිග කාලෙට කොච්චර දේවල් නම් වෙන්න ඇතිද..? මේ වගේ පරණ ඡායාරූපයක් කියන්නේ හරියට භාවනාවකට කමටහනක් වගේ… 🙂

    • ඇත්තටම මේ පින්තූරය දිහා එක විනාඩි පහක් බලා හිටියොත් අතීත සිදුවීම් සිය ගණනක් මතක් වෙනවා. එහි සතුට මෙන්ම දුකද තිබෙනවා. දැන්නම් ඉතින් ඉරි කෑලි කඩතොළු විතරක් නෙවෙයි ‘හොඳටම රැලි වැටිලා’ අපිව බලාගන්න කවුරුවත් නැහැනේ.

  6. ඉස්සර, කරපු දේ හරියට කරලා තියනවා කියලා තමා හිතන්ඩ වෙන්නෙ. පහු පහු වෙනකොට ලාබය මුල් කරගන විවිධ විවිධ ප්‍රයෝග එකතු වෙලා ඇති නොවැ.

    මේ වගේ ඉතා පරණ පින්තූරයක් දකින්ඩ ලැබුනාම හිතට එන හැඟීම් සමුදාය ගැන තමා මටනම් කල්පනාවට ආවෙ.

    • මගේ ආදරණීය මවත් අයියාත් මතක්වීමෙන් සිතට දැඩි වේදනාවක් දැනුනා. ඒ සොඳුරු අතීතයේදී පවුලේ සැම එක්ව දිවා ආහාරයද රැගෙන මේ ඔය ඉවුරේ විනෝද වුන හැටි අද හීනයක් වගේ.

  7. මාරයා... said:

    “විචාරක කුරුල්ලා සමඟ…” :D:D:D

    ඒකනං අගේ ඇති පොටෝව…
    මං ගාවත් තියෙනවා 90 දශකයේ ගත්ත පොටෝ සීයක් විතර.. මමයි මගේ යාළුවෝ රෑනයි පොල් වත්තේ ක්‍රිකට් ගහද්දී ගත්තුවා.. විනෝද චාරිකා වලදී ගත්තුවා.. තව පොලිසියේ/එයාර් ෆෝස් එකේ ට්‍රේනින් කාලේ ගත්තුවා… ඊට පස්සේ මහණ වෙලා හිටිය කාලේ සුනාමියට ගෙවල් හදන්න පොතු‍විල් ගිය වෙලාවේ ගත්ත ඒවත් බර ගානක්..ඒ නං මේ මෑතකදීනේ.. ඒත් අවාසනාවකට ඒ හැම එකක්ම ඉතාමත් නරක විදියට විනාශ වෙලා… මගෙත් වැරැද්දක් තියේ.. මට අමතක වෙලා මොන එහෙක‍ට හරි ඔය ටික ඇල්බම් වලින් අහක් කරලා එක ගොඩේ තිබ්බා..මාසෙකින් විතර අහු උනේ ආයේ..ඒවා ඇලිලා ඔක්කෝම.. ඇඩෙනවා…

    • ඉරිසියා නොකරනු. පූර්ව ජන්මයේ කල කුසල් අනුවයි ‘සියල්ල’ ලැබී තිබෙන්නේ.

      මා දන්නා තරමින් දිගාමඩුල්ල ප්‍රදේශයේදී කුරුල්ලා යනු පුරුෂ ලිංගය සඳහා යොදන අසභ්‍ය වචනයක් ලෙසයි සැලකෙන්නේ. මායා රන්ජන්ගේ කෘතියක කියවූවා වගේ මතකයි.

      මමත් වර්ණ පින්තූර 100 ක් පමණ විසිකර දැමුවා මේ මෑතකදී. අපි වගේ උෂ්ණ තෙත් රටවල ඇල්බම් වල තිබුනත් පින්තූර නරක් වෙනවා.

  8. මටත් ඔය අත්දැකීම ඔහොම්මම තියෙනවා.. මගේ ඇල්බම් එකේ දාලා තිබුනු පුංචි කාලෙ වර්ණ පිංතූර බොහොමයක් විනාශ මුඛයට ගිහින්.. ඒත් ඇල්බම් එක පටන්ගන්නකොටම තියෙන චුට්ටින්තං මායි, අම්මයි, අක්කයි ඉන්න කළු-සුදු ෆොටෝ එක යහතින්.. :))

  9. අමරණීය පින්තූරයක්..ඔබතුමාට කොච්චර සතුටක් දැනෙනවාද..? මෙයදු‍ටුවාම කියල හිතාගන්න පුලුවන්..!! අනික,ඡායා රූප නරක්වෙන්න දැන් තියෙන රසායනික ද්‍රව්්‍ය වල වෙනස බලපානවා මම දන්නවිදියට. ඒ කාලෙ ඡායා රූප මුද්‍රනය කරල ආයිත් අතිනුත් හදනවනෙ අඩුපාඩු.අනික ඒකාලෙට වඩා ඡායා රූපවල තීව්‍රතාවය අදවැඩියි..(වචනය හරිද මංදා) ඒ ගතිය ලබාගන්න යොදන රසායනික ලේයර් එකනිසා තමයි නරක් වෙන්නෙ මම අහල තියෙන විදියට.

    • මමත් දැකලා තියනවා ඒ කාලේ කළු සුදු ඡායාරූපවල ‘ටච් කරනවා’ කියා දෙයක් කරන බව. එහිදී කරන්නේ කිසියම් තීන්ත වර්ගයකින් මුහුණක ඇති ඇහිබැමි, තොල්, ආදිය ඉතා සියුම්ව අඳින එකයි. එයින් තීව්ර බවක් (ඔබේ යෙදුම හරි) එක් වෙනවා.

  10. අංගොඩයා.. said:

    ඔය වගේ පරණ ජායාරූප කීපයක්ම අපේ ගෙදරත් තියෙනවා,මගේ අමමා,මාමලා එහෙම පොඩි කාලේ ගත්තුවා.. මං පොඩි කාලේ ගත්ත ජයාරූප නම් සේරම වගේ වර්ණ ජයාරූප..
    පරණ ජායාරුප දිගේ අතීතයට යන එකනම් බොහොම මිහිරි අත්දැකීමක්.. එත් බොහොම වේදනාත්මක හැඟීමක් එනවා අයිත් අපිට ඒ කාලෙට යන්න බැරි වෙන ඒක ගැන.. අපි වෙනුවෙන්ම දිය කරපු අපේ දෙමව්පියන්ගේ තරුණ කාලේ දකිනකොට.. කිසිම බරක් නැතුව ගෙවපු අපේ ළමා කාලය දකිනකොට..
    ඒ සුන්දර කාලයේ සියලුම මතකයන් පින්තූර වලම හිර කරලා අපිට වර්තමානයත් එක්ක ගැටෙන්න වෙනවා..
    කරන්න තියෙන හොඳම දේ තමයි අපි ජීවත් වෙන හැම මොහතක්ම පුළුවන් තරම් සතුටින් විඳින එක..
    පහුවෙන එක තප්පරයක් වත් ආයිත් අපිට ලැබෙන්නේ නැහැ.. ඊලඟ තප්පරය ගැන කිසිම විශ්වාසයක් තියන්නත් බැහැ…

    • ඔබත් සමග එකඟ වෙනවා ඔබේ අදහසට එක වචනයක් එක් කරමින්.
      කරන්න තියෙන හොඳම දේ තමයි අපි ජීවත් වෙන හැම මොහතක්ම පුළුවන් තරම් සතුටින් විඳින එක..

      කරන්න තියෙන හොඳම දේ තමයි අපි ජීවත් වෙන හැම මොහතක්ම පුළුවන් තරම් අර්ථවත්ව සතුටින් විඳින එක..

  11. දැන් කාලේ ගහන ෆොටෝ එකක් නම් තව අවුරුදු 60ක් විතර වෙනකම් රැකගන්න තාක්ෂණික ක්‍රම තියෙනවා.ඒත් ඔය වගේ මුද්‍රණය කරලා නම් තියාගන්න බැරි වෙයි

  12. අම්ම විචාරක මහත්තයව අල්ලගෙන ඉන්නෙ ගැඹුරට යාවි කියලද කොහෙද.

    (මගේ අම්ම උපන්නෙ 52. අම්මට වයස තුනේදි විතර ගත්ත කළුසුදු පිංතූරයක් තියනව අද ගත්ත එකක් වගේ.)

  13. මෙන්න මේක බලන්න 127 ගැන.
    http://en.wikipedia.org/wiki/127_film

    • ඔබට බොහොම ස්තුතියි. ඔබ හරියටම හොයාගෙන තිබෙනවා ගැටලුවට පිළිතුර. මගේ ළඟ තියන පින්තූරයේ දිග පළල අඟල් වලින් කියනවානම් තුනහමාරයි දෙකහමාර (3 1/2 – 2 1/2) ඔබ ලබාදුන් සබැඳියාවේ ඇති විකිපීඩියා ලිපිය අනුව, ඒ කාලයේ මුද්‍රණය කරලා තියෙන්නේ අඟල් 4 x 4 ප්‍රමාණයට. නමුත් අර හරීගෙ කමෙන්ට් එකේ කියලා තියන ආකාරයට මුද්‍රණ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ (printing Projector) නාභි දුර (Focal Length) වෙනස් කරලා මේ මගේ අතේ තියන ප්‍රමාණයට මුද්‍රණය කරන්න ඇති. ඒ කාලයේ ඡායාරූප මුද්‍රණ වියදම සහ පෞද්ගලිකව ඡායාරූප මුද්‍රණය කරන පිරිස (1950 දශකයේ) බොහොම සීමිත නිසා. අනික් කරුණ තමයි, විකිපීඩියා ලිපියේ තියන පින්තූරයෙන් දක්වා ඇති 127 ෆිල්ම් රෝල මට හොඳට මතකයි. මම පාසල් වියේදී දැකලා තියනවා. ඒ කාලයේ පුවත්පත් ඡායාරූප ශිල්පීන් පාවිච්චි කල ලෝකප්‍රසිද්ධ කැමරාවක් තිබුනා රොලිෆ්ලෙක්ස්රොලිෆ්ලෙක්ස් (Rolleiflex) කියලා. ඒ කැමරාවට පාවිච්චි කලේ මේ ෆිල්ම් රෝල් කියලා තමයි දැන් මට මතක් වෙන්නේ.

      • මම හිතන්නෙ ඔබගේ ඡායාරූපය මි.මි 35 සේයාපටලයක් භාවිතා කර ගන්නා ලද්දක්.හේතුව, මි.මි 35 ප්‍රතිච්ඡායා රාමුවේ ප්‍රමානය (full frame Negative image size) 24mm X 36mm (ආසන්න ලෙස 2.5:3.5).ඔබ සතු ඡායාරූපය බොහෝවිට 5X7 කඩදාසියක ඡායාරූප 4ක් ලෙස මුද්‍රනය කරන්න ඇති ඒ කාලේ.

        • ඔබේ මතය නිවැරදි විය හැකියි. ඒ කාලයේ තාක්ෂණය පිලිබඳ කිසිවක් මම නොදනිමි. මි.මී. 35 සේයා පටල භාවිතයට ආවේ කුමන කාලයේදීද?

      • Please check this wiki note. http://en.wikipedia.org/wiki/135_film#History
        But I believe the 35mm film was used even before that.

        • Thank you very much for the information given. If I am not mistaken, I have seen 35mm still camera films for the first time in 1969. My eldest Sister weded in 1968 to a ‘Colombo Gentleman’ and he came from very famous newspaper ‘Lankadeepa’ those days. Howevevr the wedding photographar (from the same newspaper company) used a camera almost same to a Rolleiflex. Anyway for the first time in my life I have seen the ‘Electronic Flash’ in that wedding. However according to the youngest one from my three elder Sisters, the photograph I have published was taken by a ‘Box Camera’'Box Camera' by my uncle (my father’s younger Brother who was a Seargent in Royal Ceylon Army in WW II era)

      • මගේ මතකයේ තිබුනා මි.මි 35 සේයා පටලය හදුන්වා දුන්නෙ තෝමස් අල්වා එඩිසන් (1847-1931) බව. ඒ ඔස්සෙ සෙවීමෙදී මෙන්න මේක හමුවුනා. http://camerapedia.wikia.com/wiki/35mm_film
        මගේ පියාලඟ තියෙනවා 1950 දශකයෙ මිලදීගත් ලයිකා මි.මි 35 (Range finder) කැමරාවක් සහ එයින් ගන්නා ලද කලු සුදු ඡයාරූප විශාල ප්‍රමාණයක්, ඔවුන්ගෙ තරුණ කාලය සහ අපේ කුඩා කාලය සම්බන්ධ. ගෙදර ගියාම ඒවා අලුතින්ම බලන්න කුතුහලය ඇවිස්සුවා ඔබගේ මේ ලිපිය. ස්තූථියි ඒ ගැන.

        • හැකිනම් ඔබේ පියා ළඟ ඇති කැමරාවේ පින්තූරයකුත්, ඔබ සඳහන් කල පැරණි පින්තූරත් පලකරන්න එවිට අපි සියලු දෙනාගේම දැනුම වර්ධනය කරගන්න හැකිවෙයි.මෙවැනි කැමරාවක් ද තිබෙන්නේ?
          මෙවැනි කැමරාවක්ඔබ සෑහෙන්න වෙහෙසවී මි.මී. 35 සේයා පටලය ගැන කරුණු සොයාදීම ගැන ස්තුතියි. මම හිතන්නේ එම සේයා පටල යෙදියහැකි කැමරා මිල අධික නිසා 1950 දශකයේදී බොහොම ටිකයි ලංකාවේ භාවිතයේ තියෙන්නේ ඇත්තේ.

  14. කළු සුදු ඡායාරූප ඒ කාලේ මුද්‍රණය කරපු පොටෝ පේපර් එක සහ වර්ණ ඡායාරූප අද කාලේ මුද්‍රණය කරන පොටෝ පේපර් එකෙයි තත්වය මදිපාඩුවක් වෙන්න පුළුවන්ද මේකට හේතුව… මොකද කළු සුදු ඡායාරූප මුද්‍රණය කරලා තියෙන පේපර් එක සෑහෙන්න ගනකමයි වගේ කියලා මට දැනිලා තියෙනවා…

    • එහෙම නැත්නම් එකේ අනික් පැත්ත. ඒ කියන්නේ අපි වගේ දුප්පත් රටවලට දෙන්නේ තුට්ටු දෙකේ මුද්‍රණ කඩදාසි. හොඳ කඩදාසියක හොඳ රසායනික යොදා මුද්‍රණය කලොත් අපට කිට්ටුවෙන්න බැරි මිලක් ඇති.

  15. මේ බ්ලොග් එක සියළු බ්ලොග් අතර සුවිශේෂී එකක්. ඇයි බ්ලොග් ගැන ලියන පිරිසගේ අවධානයට මෙය බඳුන් නොවන්නේ?

    1. තමන් දුටු මිනීමැරුමක් ගැන සවිස්තරව කතා කළ එකම සිංහල බ්ලොග්කරුවා/කාරිය ඔබයි.

    2. තමන් අතින් වූ මිනීමැරුමක් (පූර්ණ නීත්‍යානුකූල ) ගැන සවිස්තරව කතා කළ එකම සිංහල බ්ලොග්කරුවා/කාරිය ඔබයි.

    3. තමන්ගේ නිරුවත් පින්තූරයක් බ්ලොග් එකේ පළ කිරීමට තරම් නිර්භීත වූ එකම සිංහල බ්ලොග්කරුවා/කාරිය ඔබයි. (අරුණි ශපීරෝ තමන්ගේ අඩ නිරුවත් ඡායාරූපයක් පළ කර තිබුණා මතකයි.)

    තව මඟ හැරුණු දේවල් තියෙනවාද? 🙂

    • මගේ බ්ලොග් එක අගය කිරීම පිළිබඳව ඔබට අනේක වාරයක් ස්තුතියි. මම මේ සෑම දෙයක්ම පළ කරන්නේ මියයාමට පෙර මේ සියල්ල කා සමග හෝ බෙදා හදාගෙන මගේ හදවතේ තෙරපුම අඩු කරගතයුතුයි කියන හැඟීමෙන් විනා, වෙනත් කිසිදු බලාපොරොත්තුවකින් නොවෙයි. හැබැයි ඔබ කියනවා වගේ කිසියම් අපූර්වත්වයක් (පෙර නොවූ විරූ බවක්) එහි ඇති. මම පරිගණක හරඹ තවමත් ඉගෙන ගන්නවා, මේ මහලු වයසෙදිත්. ඔබ සියලු දෙනාටම පින් දෙනවා අදහස් දැක්වීම ගැන.

      • මම මේ පොස්ට් එක පාවීච්චි කරනවා වැඩිද මන්දා . ඔය ඇනෝ ආවාට ඇවිත් තියෙන්නේ බ්ලොග් පොරක් ( කව්ද කියලත් අනුමානයක් තියනවා) එව්වා නෙමෙයිනේ වැදගත් , මම ආසම එව්වායෙන් එකක් තමයි මේ, මං දන්නැ මට මේ බ්ලොග් එක නැතූව බෑ. ඉස්සෙල්ලම බලනවා මොනවාහරි කොටලද කියලා.

        • කොටනවා කොටනවා. මේ දවස්වල මැරීගෙන කොටනවා අර රිපීටරේ. ඒ මදිවට මේ දවස්වල බොහොම අමාරුවෙන් එකතු කරගත්ත තුට්ටු දෙකකින් මගේ ගෙදර උඩ තට්ටුවේ වැඩ කරගෙන යනවා. ඉතින් දවසම බාස්ලා එක්ක ඉන්නේ. විට කාලා කටත් පැලිලා. හවසට හෙන මහන්සියි. කාල්ක්ක්රියාකරලා කාලා බුදියනවා.

  16. අපේ ගෙදරත් තියෙනවා ඔය වැනි කුඩා ප්‍රමාණයේ පොටෝ.. ඒවාත් පනස් ගණන්වල ඒවා තමයි.. කිසිම පලුද්දක් නැතුව අද ගත්තා වගේ තියෙනවා.. කාලෙකට කලින් ඒවා බ්ලොගේ දාන්න පොරොන්දු උනත් තාම දාන්න උනේ නෑ …

    ඔබතුමාගෙ පොඩි අක්කත් අපේ අම්මා වගේ වෙන්න ඇති.. අපේ අම්මගෙ පවුලේ ඡායාරූප ලියකියවිලි පරිස්සම් කරන් ඉන්නෙ අපේ අම්මා.. පවුලේ වෙන කා ගාවවත් ඒවා නෑ..පරිස්සම් කරගන්න ඕනෙ කමකුත් නෑ.. සමහරු නම් ඉන්නවා හොරාට ඇවිත් බලන්න කියලා ඉල්ලන් එව්වා උස්සන..උස්සන් ගිහින් මෙච්චරකල් පරිස්සම් කරපුවා කාලා දාන එක තමයි දුක..

  17. අපි ගෙවල් තියෙන්නෙත් කෑගල්ලෙ…කෑගල්ලෙ ඉඳල ඔය ගමට යන පාරේ…

    • කෑගල්ල, වැලිමන්නාතොට, (රොක්හිල්), අටුගොඩ හන්දිය, බුලුරුප්ප, නාරම්පිටිය, හෙට්ටිමුල්ල, මාබෝපිටිය, මොරදන (මගේ උපන් ගම) උඳුගොඩ (මගේ පියාගේ උපන් ගම) කබගමුව, ගැටියමුල්ල, බුලත්කොහුපිටිය.

      දැන් කියන්න ඔයා කොහෙද?

      • :p එක තැනක් ඔතන නෑ මම ඉන්න තැන…පරගම්මන අටුගොඩ හන්දිය කියන්නෙ පරගම්මන හංදියට..ඊට මෙහා..රොක්හිල් වලට එහා

        • මම කෑගල්ලෙන් සමුගත්තේ 1970 දී. මේ තරම්වත් මතක තියනවා ඇති නේද. ඔයා ඉන්න හරියේ ඉන්නවාද එඩ්වින් දයාරත්න කියලා කෙනෙක්. රොක්හිල් පහුකරලා පරගම්මන පැත්තට යනකොට පාරේ දකුණු පැත්තේ ටිකක් කන්ද උඩට වෙන්න එයාලගේ ගෙදර තිබුනේ.මම දවසක් හෙට්ටිමුල්ල පැත්තේ ඉඳලා රේසින් බයිසිකලයක් වේගයෙන් පැදගෙන ඇවිත් පරගම්මන පාලමේ (දැන් තියන පාලමේ නෙවෙයි. 1969 කාලයේ තිබුන ඇඳි දෙකට යකඩ බට ගහපු පටු පාලම. හරියට අර ඊට එහා බට වංගුවේ වගේ) ඇන්දේ හැප්පිලා ඇලට වැටුනා. වතුර තිබුන නිසා නොමැරී සීරීම් තුවාල ලබා බේරුනා. ඒ අසල නිවසක හිටියා මගේ යාලුවෙක් නීල් කියලා. ඔහු තමයි මාව වතුරේ ගිලෙන්න නොදී බේරාගත්තේ. බයිසිකලය යාලුවෙකුගේ. වටිනාකම රු 450 යි. අලුත්ම රේසින් බයිසිකලයක්. ඒක සම්පූර්ණයෙන් පොඩිපට්ටම්වී තිබුනා. මගේ දෙමවුපියන්ට ශක්තියක් තිබුනේ නැහැ ඒ මුදල එකවර දෙන්න. බයිසිකලය අයිතිකාරයෝ ධනවත් රදලයෝ. බොහොම අමාරුවෙන් පින්සෙන්ඩු වෙලා ටික ටික ගෙවලා බේරුණා. කෑගල්ල ගැන පොතක් ලියන්න දේවල් තියනවා. මගේ බ්ලොග් එකේ මුල් කොටස්වල ලිපි බලන්න. ඒ කාලේ වනාන්තර විනාශ කර නොතිබූ නිසා ඔය ඇල ගඟක් වගේ යනවා මහා වැහි කාලෙට. මම එඩ්වින් එක්ක කීප වරක් නාලා තියනවා. දැන්නම් ඇල දූෂණය වෙලා නේද?

      • ඇල ගැන නම් කියල වැඩක් නෑ..අපේ ගේ පිටිපස්සෙන් යන්නෙ ඒ ඇල..ගෙවල් වල කුනු එහෙම දාන්නෙත් ඒ ඇලට සමහර අය..ඒත් තාම කට්ටිය නානව ඒ ඇලෙන්…අපේ ගෙට පිටිපස්සෙ තියෙන තැනකින් තමයි කට්ටිය නාන්නෙ..තව ඉතින් ඇලේ හිටන් ඉදිකිරීම් කරල තියෙන නිසා ටිකක් වැස්ස ගමන් වතුර ගලනව..මමත් ඔය ඇලෙන් නාලා තියෙනව 2007 විතර වෙනකල්…ඊට පස්සෙ නෑවෙ නෑ..කට්ටිය කුනු දානව දැකල

        අපෙ අම්මල එහෙම කියල තියෙනව ඔයා ඔය කිවුව පාලම ගැන..අපි ඉපදෙන කාලෙ ඕව ඇත්තෙත් නැද්ද මන්ද…1995 නේ ඉපදුනේ..බට වංගුව එහෙම තාමත් තියෙනව නේ…

        • කෑගල්ලේ දැන් ප්‍රධාන වෙළඳපොල තියන තැන කුඹුරු තිබුන කාලේ ඉඳලයි මම කෑගල්ල දන්නේ. අදනම් අපි කෑගල්ලට ආවොත් දන්නා අය ඉන්නේ ඇති ඇඟිලි ගණනටත් අඩුවෙන්.
          1995 දී මම යුද්දේ භයානක අවස්ථා වලට මැදිවෙලා හිටියේ.

      • ඒ ඇගිලි ගානට ඔන්න තව එක්කෙනෙක් ඉන්නව ඈ දැං…

      • ඔයිටත් වඩා දුකයි රැවන්වැල්ල හරියේ ගුරැගොඩ ඔය දැක්කහම ,මම උපන්නේ 1979යේ , ඇත්තටම ඉදලා හිටලා ඒ පැත්තට ගියහම හිතීන් අඩනවා මම

        • මම 1981 සිට 2000 වනතුරු රුවන්වැල්ලේ හිටියා. 1971 සිට 2000 දක්වා ඒ අවට සෑම ප්‍රදේශයක්ම ආශ්‍රය කළා. සංවර්ධනයේ වේගය මදි බව (රටේ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව) ඔබ හිතන්නේ නැද්ද?

  18. ඕක මම අහල කියන්නම්. මගේ ඥයාතියෙක්ට ස්ටුඩියෝවක් තියනවා. 1950 දශකයේ ඉඳල ඒ ස්ටුඩියෝ එක වැඩ. එයා දන්නවා ඇති ඕක මොකක්ද කියල. දෙවනියට කිව්ව කාරණේ, කළු සුදු මුද්‍රණය කරන ජායාරුප කල්පැවැත්ම වැඩි මම දන්නා විදියට ඒ පින්තුර සකස් කරන රසායනික ක්‍රියාවලිය නිසයි.

  19. ඔය පින්තූරේ ඉන්න කට්ටිය වගේම ඔය ගලන දොල පාරත් දැන් සෑහෙන්න වෙනස් වෙලා ඇති.
    මගේ 10වෙනි විවාහ ස0වත්සරේට මමත් ගත්තා ඔය වගේ කලු සුදු පින්තූරයක්, බලමුකො කොච්චර කල් තියේද කියලා …

    • මම අවසාන වරට ඒ ප්‍රදේශය හරහා ගියේ දැනට මාස 10 කට පමණ පෙර. අපේ කවුරුවත් දැන් එහෙ නැහැ. පරිසරය අනෙක් බොහෝ ප්‍රදේශ වලට සාපේක්ෂව බොහොම ටිකයි වෙනස් වෙලා තියෙන්නේ.

  20. හම්මෝ ඒ දවස වල තාත්තගෙන් කැමරාව ගන්න තිබිච්ච අමාරුව….

    • ඇත්ත වශයෙන්ම කැමරාවක් කියන්නේ අතින් අත යැවිය නොහැකි වටිනා උපකරණයක්. ඔබ දන්නවාද කැමරාවක ෂටරය එබීම සඳහා යෙදිය යුතු පීඩනය වැරදියට යෙදුවොත් කැමරාවට බරපතල හානි සිදුවිය හැකියි. තවත් එවැනි කරුණු බොහොමයක් තියනවා.

      • අහා,,,, ඒකත් එහෙමද,
        පහු පහු වෙනකොට තාත්තගෙ කැමරාව මටම සින්න උනා. ගොඩක් කාලයක් කචල් එකක් නැතුව පාවිච්චි කළා. බොහොම මෑත්කදී කැඩුන. කීයක් හරි අතට ආපු දවසක ගන්න ඕනි ටිකක් හොද ඩිජියක්.

  21. කොච්චර මුණ දිහා බලන්න ගියත් ඇස යන්නෙම වෙනත් තැනකට.

    අපේ ගෙදරත් තියෙනවා ආච්චිලා තරුණ කාලේ පින්තුර .කිසි වැඩකට නැතුව විසිකරලා වගේ තිබ්බේ ඒත් දැන් ගත්තත් දුවිලි පිහදලා අළුත් විදියටම තියෙනවා

    මගේ ඇතැම් කමෙන්ට් වලට රිප්ලයි නැත්තේ මම දාන කමෙන්ට් වල ඇති නීරස බව නිසාද?

    • අනේ මම එහෙම පිළිතුරු නොදී ඉන්නේ නැහැ. සමහර කමෙන්ට්ස් තියනවා ආයේ පිළිතුරක් දෙන්න දෙයක් නැහැ සර්ව සම්පූර්ණයි. හිත් රිදීමක් වුනානම් සමාවන්න. මූණ දිකා බැලුවත් ඇස යන්නේ වෙනත් තැනකට කිව්වනේ දැන් ජීවිතේ ‘ගෙවිලා’ ඔය පින්තූරයේ ප්‍රමාණයටම ඇවිල්ලා.

  22. කමෙන්ට් කොටලා බලාගන ඉන්ඩ වෙන එක නැති කරපු එකට මම හරිම ආසයි .මම ආයෙත් ඇණයක් වෙන් නැ

  23. පරණ පොටෝ බලනකොට අපිව අපිටත් නොදනිම අතීතයට යනවා …

  24. පරණ පොටෝ එකක් දකිනකොට ඇති වෙන හැගීම කියල නිමක් නැහැ… ( හේතුව තමයි බොහෝ දෙනා ජීවතුන් අතර නැති වීම )

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: