විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මා ලියනලද ලිපිය 1100 කට වැඩි පිරිසක් කියවා තිබුණා. සපත්තු ගැන මෙන්ම සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මීට පෙර නොදත් කරුණු ඒ ලිපියෙන් දැනගත් බව සමහරු කියා තිබුනා. එලෙස දැනුම බෙදා දෙන්නට හැකිවීම සතුටට කරුණක්. අද මා සපත්තු පිළිබඳව තවත් වැදගත් කරුණු ටිකක් කියන්නයි යන්නේ.

සපත්තු දැමීම එක්තරා කලාවක්. හැබැයි සපත්තු තෝරා ගැනීමත්, අවස්ථාවට සුදුසු පරිදි පැළඳීමත් කලාවක්. වර්තමාන පරපුර මට එරෙහිව අවි අමොරාගන්නේ ඔවුන් පළඳින සපත්තු වලින් බොහොමයක් තැනට සුදුසු නොවන බව මා මෙයින් ප්‍රකාශ කල විටයි. අද තරුණ පරපුරේ බොහෝ දෙනා සිතන්නේ ක්‍රීඩා සපත්තු සෑම තැනටම සුදුසු බවයි. ඒ පිළිබඳව මාගේ නිරීක්ෂණ වලින් ලබාගත් තොරතුරුයි මේ. මිනිසාගේ ස්වභාවයක් තමයි අනුකරණය කිරීම. අප සියලුදෙනාම ජීවිත කාලය පුරාම අනුකරණයේ යෙදෙනවා. ළදරු වයසේ සිට අපි දෙමවුපියන්ව අනුකරණය කරනවාසේ. නමුත් අද වාණිජ ලෝකය ඉතා පහත් නින්දිත ආකාරයට තරුණ පරපුර ගොදුරු කරගෙන සිටිනවා. අද ජනමාධ්‍ය මගින් ජනමතය වෙනස් කිරීමට පවා පුළුවන් බව අප දන්නවා. වෙළඳ ප්‍රචාරණ උපක්‍රම මගින් ඉලක්කගත පිරිස් ග්‍රහණය කරගැනීමෙන් බහු ජාතික සමාගම් ගසාකන්නේ කෝටි ප්‍රකෝටි ගණනින්. විලාසිතා සඳහා තරුණ පරපුරෙහි ඇති කැමැත්ත (එය වරදක් නොවේ) දඩමීමා කරගනිමින් කරන ගසාකෑම් බොහෝයි. අපි සපත්තු වලින් කරන ගසාකෑම් බලමු. ඕනෑම කුණු ගොඩක් විකුනාගන්නට වෙළෙඳුන් යොදාගන්නේ ජනප්‍රිය පුද්ගලයන්, නළු නිලියන්, ගායක ගායිකාවන්, නොවැ. ඔවුන් යොදවා එක රූපවාහිනී වෙළඳ දැන්වීමක් කරගතහොත් හොඳටම ඇති. ඒ දැන්වීමේ පෙනීසිටින කෙනා ඒ ජාතියේ සපත්තු ජීවිතේටම ඇන්දේ ඒ වෙළඳ දැන්වීමට පෙනී සිටීමට පමණක් වීමට 80% කට වඩා ඉඩක් තිබෙනවා. අහවල් සබන්, අහවල් ක්‍රීම්, අහවල් ෂැම්පු, ඔය ඔක්කොම එහෙම තමයි. අනික ඔබම සොයා බලන්න, සංගීත ප්‍රසංගයකදී ඔබ දුටු ඔබේ ප්‍රියතම ගායකයා, වේදිකාවේ පිනුම් ගසමින් ගායනා කරනවිට ඇඳ සිටි ක්‍රීඩා සපත්තු, ඔහු අවමංගල්‍ය උත්සවයකට යනවිට අඳින්නේ නැහැ. (අනෙකුත් ඇඳුම් පවා එහෙමයි) නමුත් ඔබ (සමහරවිට තවම රැකියාවක් නොකලත්) රු 3000 කට වැඩි මුදලක් වැය කර මිලදීගන්නා ක්‍රීඩා සපත්තු දෙක, ඕනෑම ස්ථානයකට පැළඳගෙන ගියහොත්, ඔබ ප්‍රදර්ශනය කරන්නේ ඔබට ඇත්තේ නොමේරු මොලයක් බව මිසක්, වෙන කිසිවක් නොවේ.  මේ අකාරයටම ‘සැන්ඩ්ල්ස්’ නමින් හඳුන්වන පටි රැසක් සහිත සපත්තු/සෙරෙප්පු, නාන කාමරයට පමණක් පළඳින රබර් සෙරෙප්පු, නුසුදුසු අවස්ථාවලට පළඳින අය මම නිතර දකිමි. (දුප්පත් කමට, තියන එකම සෙරෙප්පු දෙක, රජ ගෙදර සිට මලගෙදර දක්වා පළඳින පුද්ගලයා සහ සල්ලි තිබියදීත්, මෝඩකමට නොගැලපෙන පාවහන් පළඳින පුද්ගලයා අතර වෙනස මම හඳුනමි)

 මීට කලින් ලිපියේදී මා සඳහන් කල ආකාරයටම මා ඔබට කියන්නේ ඔබට මුදල් තිබේනම් ඒ ඒ අවස්ථාවට සුදුසු ලෙස පැළඳීම සඳහා සපත්තු කුට්ටම් කීපයක් තබාගන්න. අද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවිත සටන ගෙනයන කෙනෙක්නම් වඩාත් සුදුසු වන්නේ පොදුවේ කොතනටත් පැළඳිය හැකි ආකාරයේ සරල සපත්තු දෙකකුයි. එහෙත් එවැනි සරල සපත්තු දෙකක් වුවද අවම වශයෙන් රු 2500 ඉක්මවන බව නොරහසක්. මේ සඳහා විකල්ප ක්‍රමත් තිබෙනවා. ඔබේ කාර්යාලයේ/ආයතනයේ පිරිමින් සපත්තු පැළඳීම අනිවාර්ය නොවේනම් පටි සහිත සපත්තු (sandals) දැමීම අඩු වියදමකින් කල හැකියි.

එහෙත් එවැනි සපත්තු දෙකක්වත් මිලදීගත නොහැකි සාමාන්‍ය හම් සෙරෙප්පු දෙකකින් සෑහීමට පත්වීමට සිදුවන පිරිසක්ද සිටිති. මේ ටික කියන්නේ ඔවුන්ටයි. විලුඹ ආවරණය නොවන සෙරෙප්පු පැළඳීමෙන්, හදිසියකදී දුවන්නට අපහසු බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. එය ඔබ ප්‍රායෝගිකවම දන්නවා.

  එමෙන්ම රියදුරු වෘත්තියේ යෙදෙන සෑහෙන පිරිසක් මෙවැනි සෙරෙප්පු පැළඳ රිය පදවනවා මා බොහෝවිට දකිනවා. එය ඉතා භයානක ක්‍රියාවක්. මෙවැනි සෙරෙප්පුවකින් කකුල ලිස්සා යාමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. විශේෂයෙන් ඔබ හදිසියේ වාහනයේ තිරිංග තද කරනවිට කකුල සෙරෙප්පුවෙන් ලිස්සා ගියොත්, ඔබෙත් වාහනයේ ගමන් කරන අනෙක් අයගෙත්, ජීවිත අනතුරට පත්වෙනවා. සෙරෙප්පුව ගලවා වාහනයේ පෙඩ්ල් අසලින් තැබීමත් භයානකයි. සෙරෙප්පුවක් බ්රේක් පෙඩලය යටට ගියොත්, ඔබ බ්රේක් පෑගුවත්, බ්රේක් පෙඩලය සෙරෙප්පුවට තදවීම නිසා, නිසි ප්‍රමාණයට බ්රේක් නැතිවීමෙන්, භයානක අනතුරු සිදුවීමට හොඳටම ඉඩකඩ තිබෙනවා. තමන් පදවාගෙන ගිය මෝටර් රථයේ බ්රේක් මේ ආකාරයට තම අඩි උස සපත්තුවට හිරවීම නිසා, අනතුරක් වලක්වාගත නොහැකිවූ ශ්‍රී ලාංකික කතක්, අනතුරට පත්ව මියගියා. ඔබ මෙවැනි සෙරෙප්පු පැළඳ, සෙමෙන් ධාවනය වන බස් රථයක හෝ දුම්රියක හදිසියේ එල්ලීමට ගියොත්, ලිස්සා වැටීමට ඇති ඉඩකඩ බොහොමයි. එය මරණීය වැටීමක් විය හැකියි. එබැවින් මෙවැනි සෙරෙප්පු, පයින්ම යන කෙටි ගමන් බිමන් වලට පමණක් පාවිච්චි කරන්න.

  ඔබේ ආදායම් මට්ටමේ හැටියට වඩා හොඳ සෙරෙප්පු දෙකක් මිලදීගත නොහැකිනම්, යටත්පිරිසෙයින් මේ පින්තූරයේ දක්වා ඇති ආකාරයේ එක පටියක්වත් විලුඹ හරහා යන සෙරෙප්පු යුවලක් පාවිච්චි කරන්න. ඔබ රියදුරකුනම් මේ ගැන සිතන්න. එවැනි වෘත්තීන්හි නියැළුන බහුතරය අන්තර්ජාලය පරිහරණය නොකරන බව මා හොඳාකාරවම දන්නවා. බ්ලොග් කියවන අයගෙන් මා කාරුණිකව ඉල්ලන්නේ අදාලවන අයව දැනුවත් කරන ලෙසයි.

 සමහර රැකියා වලදී සපත්තු පැළඳීම අනිවාර්ය වෙනවා. එහෙත් මේ මෝස්තරය කියා විශේෂයක් නැහැ. එවැනි අවස්ථා වලදී අද බොහෝ දෙනා කැමති, ලේස් නොදමන සපත්තු වලටයි. ඉක්මනින් දැමීමේ / ගැලවීමේ පහසුව සඳහා එවැනි සපත්තු තෝරාගන්නේ කලබලකාරී ජීවිත ගත කරන නිසයි.

සමහරු එලෙස පාවිච්චි කරන සපත්තු බොහෝවිට පොලිෂ් කරන්නේම නැති තරම්. එවිට ඇතිවන අවලස්සන පෙනුම ගැන ඔවුන් නොදන්නවා නොවේ. යටත්පිරිසෙයින් ක්ෂණික පොලිෂ් වර්ගයක්වත් නොගෑවොත් ඔබේ සපත්තු දෙක කරවල කූරියන් වගේ පෙනෙන බව අමතක කරන්න එපා.

 ඉක්මනින් පැළඳීමට / ගැලවීමට හැකි තවත් සපත්තු මෝස්‌තර තිබෙනවා. සිප් ෆාස්ටනර්ස් (Zip Fasteners) වලින් ඇරෙන වැසෙන සපත්තුත් සෑහෙන්න ජනප්‍රියයි. පෙනුමත් ලස්සනයි. මේ මෝස්තරයේ සපත්තු බොහොමයක් නියම සම් වලින් නිපදවා තිබෙන්නේ. එහෙත් එවැනි සපත්තු අර ජනප්‍රිය මෝස්තරයේ සපත්තු වලට වඩා මිලෙන් වැඩියි.

 සිප් ෆාස්ටනර්ස් යොදා සකසන සපත්තු බොහොමයක් ඇන්කල් බූට් (Ankle Boots) නමැති වර්ගීකරණයට අදාලවයි සකස් කරන්නේ. ඒ කියන්නේ එවැනි සපත්තු ඔබේ ඇස්වටය ප්‍රදේශයද ආවරණය කරන තරම් උසයි. මෙයින් අත්වන ප්‍රයෝජනය කුමක්ද? 1. ඇස්වටයට පහලින් ටොප්ලයින් එක හෙවත් සපත්තුවේ කට පිහිටන සපත්තුවක් දමා ඇවිදින විට, කකුල පෙරලුනොත්, සමහර විට කකුල කෙවෙන්නට හෝ උලුක් වන්නට ඉඩ තිබෙනවා. 2. ඇන්කල් බූට් එකකින් ඔබේ කකුලේ ඇස්වටයටත් ඉහලින් සිටිනසේ ආවරණය කරන බැවින්, එය පැළඳ සිටියදී වැටුනත් කකුල කෙවීමට හෝ උලුක්වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිතයි. 3. රළු භුමි ප්‍රදේශ වලදී එවැනි වැටීම් ආදිය සිදුවීමට ඉඩ ඇති බැවින්, දුෂ්කර පරිසරවල ඇවිදීම සඳහා ඇන්කල් බූට් ඉතා හොඳින් ගැලපෙනවා. 4. කකුලේ ඇස්වටය දක්වා ප්‍රදේශය ආවරනයවී ඇති බැවින්, කාර්මික වැඩබිම් වලදී, පාදයේ පහල කොටසට සිදුවියහැකි අනතුරු අවම කර ගැනීමේ හැකියාක් තිබෙනවා. 5. සර්ප දෂ්ඨයකදී, ඇස්වටය දක්වා පාදය ආවරනයවී තිබීම වාසියක් වනවා.

 කුමන ආකාරයක සපත්තු සෙරෙප්පු දැම්මත් ඒවා අනිවාර්යයෙන් පොලිෂ් කිරීම හෝ පිරිසිදු කිරීම කල යුතුයි. නැත්නම් ඒවා කුණු මාළු වගෙයි. පුද්ගලයකුගේ පෙනුම අප්‍රසන්න කරවන එක දෙයක් තමයි අපිරිසිදු පාවහන්, ඉරුණු මේස්. සපත්තු සෙරෙප්පු පමණක් නොව ඔබ දිනපතා ගෙනයන බ්‍රීෆ් කේස්, හම් වලින් නිමවූ කාර්යාලයීය බෑග්, ඉතා ලස්සනට පොලිෂ් කරන්න පුළුවන්. දැන් කාලයේ සමහරු දිනපතා පළඳින බේස් බෝල් තොප්පි ඉතා කිළුටු තත්වයෙන් පළඳින බවත් පෙනෙනවා.

 කොහොම කිව්වත් දිනපතා සපත්තු පොලිෂ් කිරීමට අකමැති පිරිස තමයි වැඩිපුර ඉන්නේ. ඒ නිසා ඔවුන්ටත් විසඳුමක් දිය යුතුයි. මම එවැනි අයට යෝජනා කරන්නේ සුඑඩ් සපත්තු පළඳින්න කියයි. සුඑඩ් සපත්තුත් හම් සපත්තු වර්ගයක්. ඒවා නිපදවා තිබෙන්නේ බැටළුවන්ගේ හෝ එළුවන්ගේ හෝ ගෝන/මුව වර්ග වල සතුන්ගේ හෝ ඌරන්ගේ බඩ ප්‍රදේශයේ සිනිඳු සම් වලින්. එම සම් විශේෂ ක්‍රමයකට පදම් කර, දිලිසීම නැති, උඩට ඉල්පුනු, වෙල්වට් වැනි මතුපිටක් නිර්මාණය කර තිබෙනවා. සුඑඩ් සපත්තු දෙකක් සාමාන්‍යයෙන් රු 3000 ත් 5000 ත් අතර වනු ඇති. සුඑඩ් සපත්තු පිරිසිදු කිරීම සඳහා තරමක් තද කෙඳි සහිත බුරුසුවක් අවශ්‍යයි. අලුත් දත් බුරුසුවක් වුනත් සෑහෙනවා. හැබැයි මතක තබාගන්න වතුර, මඩ, තෙල්, වැනි දේවල් සුඑඩ් සපත්තුවේ හතුරෝ. ඒ නිසා, ඒවාගෙන් හැකි තරම් ඈත්වී තමයි සුඑඩ් සපත්තු පැළඳිය යුතු වන්නේ. තෙල් කුණු පල්ලම් ඇති වුනොත් සබන් හෝ පිරිසිදු කිරීමේ දියරයක් ජලය සමග මිශ්‍ර කර බුරුසුවෙන් පිස දැමිය යුතුයි. සුඑඩ් සපත්තු කිසි විටකත් අව්වේ වේලන්න එපා. හැඩය වෙනස් වෙනවා. ඒවා වේලන්නේ පවනේ පමණයි.

  සපත්තු කියන වර්ගීකරණයට වැටෙන තවත් වර්ගයක් තමයි ‘පම්ප්ස්’ Pumps යනුවෙන් හැඳින්වෙන සපත්තු. මේවා මිල වැඩි අඩු වර්ග කීපයක් තිබෙනවා. කල් පවතින, ශක්තිමත් පම්ප්ස් සපත්තු දෙකක් රු 2500 සීමාවේ තමයි තිබෙන්නේ. සමහර පම්ප්ස් සපත්තු පොදුවේ කොතනටත් ගැලපෙනවා. මේ තිබෙන්නේ එවැනි පම්ප්ස් සපත්තුවක්.

මෙවැනි සපත්තු සැහැල්ලුයි, සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් පාවිච්චි කල හැකියි. හැබැයි වතුරට ඔරොත්තු දීම එතරම් සතුටුදායක නැහැ. නමුත් හොඳින් පොලිෂ් කල හැකියි. දිනපතා පාවිච්චියට නිර්දේශ කල හැකියි. අනෙකුත් හම් සපත්තුවල මෙන් මෙහි සම එතරම් ඝනකම නැහැ.

මිල අඩු පම්ප්ස් සපත්තුද තිබෙනවා. හැබැයි ඒවා දිනපතා පාවිච්චියට එකම සපත්තු කුට්ටමක් යොදා ගැනීම ණුවනට හුරු නැහැ. මාරු කරමින් පළඳින්නට කුට්ටම් තුනක්වත් තිබෙනවානම් හොඳයි.

තවත් සපත්තු වර්ගයක් තිබෙනවා බෝට් ෂූස් Boat Shoes යනුවෙන් හැඳින්වෙන. මේවාත් වැඩි දියුණු කල කැන්වස් සපත්තු විශේෂයක්. බෝට් ෂූස් කියන්නේ මේවා විශේෂයෙන් බෝට්ටු වැනි ජාල යාත්‍රා වල ගමන් කිරීමේදී පැළඳීමට සුදුසු යන අර්ථයෙන්. සාමාන්‍ය හම් සපත්තු දෙකක් තරමක් බරයි. එවැනි සපත්තු සමග වතුරේ පිහිනීම පහසු නැහැ. නමුත් බෝට් ෂූස් කකුලේ තිබියදී ඔබ වතුරට වැටුනොත් පිහිනීම එතරම් අපහසු නැහැ. එහෙත් බෝට් ෂූස් සෑම අවස්ථාවකටම පැළඳීමට සුදුසු නැහැ. විනෝද චාරිකා, සැහැල්ලු ගමන් බිමන්, වෙළඳපොළට යාම වැනිදේට සුදුසුයි. පිරිසිදු කිරීම සේදීමෙන් කල හැකියි. එහෙත් තදින් වතුරට පෙඟීම සුදුසු නැහැ. මිල රු 2500 සීමාවේ තිබෙනවා.

සපත්තු යන වර්ගීකරණය යටතේ අඩුම මිලට ලබාගතහැක්කේ කැන්වස් සපත්තු පමණයි. එහෙත් කැන්වස් සපත්තු දිනපතා පාවිච්චිය සඳහා ගන්නේනම් කුට්ටම් කීපයක් තිබිය යුතුයි. එයට හේතුව මේවා ඉක්මනින් ගෙවීයන worn out නිසයි. එමෙන්ම දැඩි උණුසුම සහිත දිනවල සහ දැඩි හිරුරැස් සපත්තු මතට පතිතවන පරිසරයක මේවා පාවිච්චි කල නොහැක්කේ ඉක්මනින් ඇතුලත උණුසුම් වන නිසයි. එවිට ඔබේ පය තැම්බෙනවා මෙන් දැනෙනවා. කැන්වස් සපත්තු වඩාත් සුදුසු සිසිල් වියලි දේශගුනයටයි. එසේම වතුරට ඔරොත්තුදීම අතින්ද කැන්වස් සපත්තු ඉතා පහල මට්ටමකයි පවතින්නේ. රසායනික ද්‍රව්‍ය, ගින්දර, සඳහාද කැන්වස් සපත්තු ඔරොත්තු දෙන්නේ නැහැ.

  සමහරුන්ට සම්පූර්ණයෙන් ආවරණය කල සපත්තු පැළඳිය නොහැකියි. කකුල පිච්චේනවාක් මෙන් දැනෙනවා. burning sensation එවැනි අයට වඩාත් සුදුසු ඇතුලට හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ සකසන ලද සපත්තුයි. නමුත් මිල අතින් බලනවිට ඒ වර්ගයේ හොඳ සපත්තු යුවලක මිල හොඳ හම් සපත්තු යුවලක මිලට ආසන්නයි. නමුත් මේ සපත්තු සාමාන්‍යයෙන් පොදුවේ කොතනටත් පාවිච්චි කල හැකියි. මේ සපත්තු  සැන්ඩ්ල්ස් යනුවෙන් හඳුන්වනවා. මේ සපත්තු මිලදී ගැනීමේදී විලුඹ සම්පූර්ණයෙන් ආවරණය වන සපත්තු දෙකක මිලදිගනීමෙන් එය සාමාන්‍ය සපත්තු පළඳින ආකාරයට පැළඳිය හැකි වෙනවා.

 අවස්ථාවට සුදුසු වන ආකාරයට සපත්තු පැළඳීම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. එය තරමක් දීර්ඝව සාකච්ඡා කලයුතු කරුණක් බැවින්, මූලික කරුණු කීපයක් පමණයි මා කියන්නට අදහස් කරන්නේ. සන්නද්ධ හමුදා සහ පොලීසිය හෝ කිසියම් ආයතනයක ප්‍රධාන ආරක්ෂක නිලධාරි වැනි තනතුරකට අදාලව සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන්නේනම්, වඩාත් සුදුසු, ලේස් සහිත, කළු, හම් සපත්තු යුවලක්. අනෙකුත් සම්මුඛ පරීක්ෂණයකදී වුවද, සුදු පාට, හෝ ලා පාට සපත්තු පළඳින්න එපා. සැන්ඩ්ල්ස් පලන්දින්නත් එපා. සෑමවිටම ඔබ අඳින කලිසමේ පාටට හැකි තරම් ආසන්න පාටක මේස් පළඳින්න.  සුදු පාට, අළු පාට, කලිසම් වලට වඩාත් ගැලපෙන්නේ කලුපාට සපත්තු. දුඹුරු පාට සපත්තු සම්මුඛ පරීක්ෂණ වලට පැළඳීම වැරද්දක් නැතත් ඒ සඳහා ගැලපෙන කලිසමක් තෝරාගන්න. (ක්‍රීම් පාට, ලා දුඹුරු පාට වැනි)   ඔබ සපත්තු මිලදිගතයුත්තේ උදය කාලයේදී. එයට හේතුව සවස්වනවිට අපේ පාදය ස්වභාවික ප්‍රමාණයට වඩා මඳක් ප්‍රසාරණය වන බැවින්. සපත්තුවක ලේස් ගැට ගැසීමත් කලාවක්. පහත ඇති වීඩියෝවෙන් එය බලා ඉගෙනගන්න.

 

Advertisements

Comments on: "සපත්තුවේ ඉතුරු ටික" (38)

  1. සපත්තු දැමිල්ලත් කලාවක්. හැමදේම මී හරක් විදිහට කරගෙන යන අයට මගෙත් විරෝධය…

    විලාසිතාව වුණත් ගැලපෙන්න කරන්න දැන් කාලේ තරුණ පරපුර නම් හරිම අඩුවෙන් තමා පෙළඹෙන්නේ [මාත් තරුණයෙක් තමා 😀 ]

  2. අයෙත් වටිනා පොස්ට් එකක්.. සාමාන්යෙන් මම සපත්තු ගැන ටිකක් දැනගෙන ඉඳල තියන බව පෙනුන මේ පොස්ට් ඒක කියවද්දී. මමත් කවදාවත් රබර් සෙරප්පු දෙකක් දාගෙන ටවුමටවත් යන්නේ නෑ. ඉස්සර දාන්න හදන වෙලාවට අපේ අම්මා බනිනවා. ඕව බාත්රුම් ස්ලිපර්ස්, බාත්රුම් වලට යද්දී දාන ඒවා කඩේ දානවද කියල,. ස්තුතියි මේ වෙන මහන්සියට. ඒ වගේම ලිපියටත්.

  3. බොහොම අපූරුයි. ලෝබ නැතිව සපත්තුවංශෙම ලියලා. බලාගෙන යද්දි අපි සපත්තු දාන විධිය මෙලෝ රහක් නෑ…

  4. “අද ජනමාධ්‍ය මගින් ජනමතය වෙනස් කිරීමට පවා පුළුවන් බව අප දන්නවා. ” සහතික ඇත්ත..

    “එහෙත් එවැනි සරල සපත්තු දෙකක් වුවද අවම වශයෙන් රු 2500 ඉක්මවන බව නොරහසක්.” හුටා.. මාසයක් කන සල්ලි… සපත්තු සෙරෙප්පුවල ගාන ඇහුවම කොලපට්ටා දෙකක් කකුලෙ බැඳන් යන්න හිතෙන්නෙ..

    “බේස් බෝල් තොප්පි” ඒ මොනාද?

    මට සෙරෙප්පු දෙකකට තිබ්බෙ බාටා(බාත් රූම් ස්ලිපර්ස්) දෙකක්.. පන්සලකට ගිය වෙලේ ඒකත් ඉස්සුවනෙ…

    සපත්තු හා බෙල්ට් එක එකම පාට වෙන්න ඕනෙද?

    • දැනුයි මඩු වලිගෙ දැක්කෙ.. ශෝක් මඩුවෙක්..

    • තව ටික දවසකින් ‘අරයා’ කියයිද මන්දා 2500 වැඩියි 1500 ක් මාසයක් කන්න ඇති කියලා. එයයි මායි හුඟා. . . . . . ක් ඉස්සර යාළුවො.

      ඔය දැන් හැම දෙනාම දාන්නේ බේස්බෝල් තොප්පිනේ.
      බේස්බෝල් තොප්පිනේ

      බොහෝ දෙනෙක් රබර් සෙරෙප්පු වලට කියන්නේ බාටා. හමුදා සොල්දාදුවොත් එහෙමයි. “කොහෙන් ඉගෙන ගත්තද මන්දා”. .. . . . . . . . . .(මාලනී බුලත්සිංහල)

      සපත්තු සහ බෙල්ට් එක එකම පාටින් වියයුතුයි.

      • ඇයි කාලයක් කිව්වේ සෙල් ෆෝන් වලට සෙල්ටෙල් කියලා. ඔය වෙළඳාමේදී ප්‍රචාරණය මගින් දෙන දෙයක්. කඩේට ගිහින් මොකක් හරි කහපාට සබන් කෑල්ල ගන්න මිනිහ එක ඉල්ලන්නේ සන්ලයිට් කැටයක් කියලනේ. අපේ රටේ බහුතරය වොෂින් පවුඩර් වලට කියන්නේ රින්සෝ. ඔය බාටා කතාවත් එහෙමයි. පී.වී.සී බට ඔක්කොම අපේ කට්ටිය කියන විදියට එස්ලෝන්. මෙහෙම වෙන්නේ ශක්තිමත් ප්‍රචාරණයකින් හා මුලින්ම වෙළඳපොළට පිවිස මිනිසුන් අතර ප්‍රචලිත වීමෙන්. මට මේකට හරියටම කියන දේ මතක නෑ.

        • හරියට හරි. නියම විස්තර කිරීම. සොල්දාදුවෝ ගෙදරට, භට නිවස්නයට, අඳින කොට කලිසම් වලට (අර රිලා කලිසම්ද ඇතුළුව) කියන්නේ ‘සෝට’ කියලා. තමන්ගේ පුද්ගලිග සපත්තු දෙකට කියන්නේ ‘පෙයාර් එක’ කියලා. සුළු කෑම වර්ග වලට කියන්නේ ‘සොටීස්’ කියලා. තව ගොඩක් තියනවා, ඒවා හමුදා භාෂාවට ආවේනිකවූ වචන. වෙලාවක් ලැබුනොත් ලියන්නම්.

    • */ “බේස් බෝල් තොප්පි” ඒ මොනාද? /*

      අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “කැප්” කියන්නේ. අන්න ඒ තොප්පියේ හරිම නම බේස් බෝල් කැප්.

      http://en.wikipedia.org/wiki/Baseball_cap

      • හරීට දීලා තියන උත්තරේ පින්තූරය ඇති. ඒ තමයි ඒ තොප්පිවලට අන්තර්ජාතික ඉංග්‍රීසියෙන් කියන නම.

      • පින්තුරේ ලෝඩ් වෙන්න සැහෙන වෙලා ගියා නේ…

      • පින්තූරෙ ලෝඩ් නොවේ.. විකියෙන් බලාගත්තෙමි.. දෙන්නටම ස්තුතියි..

        බාටා කියන්නෙ වෙළඳ නාමෙ තමයි.. මෙහෙ ඕනෑම කඩේකින් බාත්‍ රූම් ස්ලිපර්ස් ගන්න වෙන්නෙ නෑ.. එව්වා නෑ මහත්තයො කියයි,.. නැත්නම් ඉවරවෙලා කියයි..

        මුදලාලි මට බාටා දෙකක් දෙන්න කිව්වොත්.. ආ.. මේ තියෙන්නෙ කියයි..

        මඩු වලිගයක් දැකලා නැත… මඩු වලිගෙන් තලන්නෙ කියන කියමන අසා ඇත..

        අරයා ඇත්තටම යාලුවෙක්ද?

        • වෙන පින්තූරයක් දාන්න වෙයිද? තවමත් ප්‍රශ්නය එහෙමමද?

          අවිස්සාවේල්ලේ තියනවා ‘සම්පත විද්‍යා පීඨය’ කියලා පුද්ගලික අධ්‍යාපන ආයතනයක්. අදටත් තියනවා. 1976 – 77 කාලයේ මම එතන ටියුෂන් ගුරුවරයෙක්. අරයත් එතන ආර්ථික විද්‍යාව ඉගැන්නුවා. ඒ කාලේ බොහොම හිතවත්. බොහොම කියන්නේ බොහොම. දැන්නම් හම්බ වුනොත් කියයි මට මතකයි ඔයා වගේ කෙනෙක් හිටියා කියලා. ලෝකේ හැටි ඔහොම තමයි.

      • දැන් හරි..

        උපදේශක පට්ටමක් ගන්න තියෙන චාන්ස් එකක්නෙ මිස් කරගෙන තියෙන්නෙ..

      • ඔය පින්තූරෙ ඩෝග් ටැග් දැකලා මම ටිකක් ඒ ගැන කියෙව්වා..

        ලංකාවෙ එව්වා මොන වගේද?

  5. සපත්තු සෙරෙප්පු පාචිව්වි කළාට ඒ ගැන වැඩි දැනීමක් මටත් තිබිල නෑනේ දැන් බලනකොට.
    මම නම් පොඩි කාලෙ ඉඳලම ඔය රබර් සෙරෙප්පු නම් පාවිච්චි කළේ නෑ. ඒ වෙනුවට වතුරට පාවිච්චි කළේ (මූණ හෝදන්න යනකොට එහෙම) අර ප්ලාස්ටික්වලින් වගේ හදල තියන සෙරෙප්පු. දැන්නම් මමත් රබර් සෙරෙප්පු පාවිච්චි කරනව, හැබැයි ගෙදරට විතරයි. ඒව ප්ලාස්ටික් සෙරෙප්පුවලට සාපේක්‍ෂව කකුලට පහසුයි. මම පන්තිවලට දැම්මෙ නම් සැන්ඩ්ල්ස් විතරයි. ඒත් දැන් ඉන්න කොල්ලොනම් වැඩිපුරම පන්තිවලට දාන්නෙ රබර් සෙරෙප්පු. හැබැයි එක අතකට හිතෙනව ඒක හරි සරලයි කියලත්.
    අපි නොවැදගත් කියල හිතන දේවල් ගැනත් ඔබතුමා හුඟක් හිතල තියෙනව. ස්තූතියි ඔබට.

    • දුප්පත් දෙමවුපියෝ ජීවිත සටනේ යෙදී ඉන්න ගමන් රබර් සෙරෙප්පු දෙකක් හරි දරුවන්ට අරන් දෙන්නේ කොච්චර අමාරුවෙන්ද. ඒත්, රබර් සෙරෙප්පු දැමීම මෝස්තරයක් කියලා හිතාගෙන ඉන්න අයනම් . . . . . . . .
      අගය කිරීම පිළිබඳව ස්තුතියි.

  6. තවත් දන්නැති දේවල්ටිකක් දැන ගත්තා.ස්තූතියි.

  7. අනිත් අය දාන්නං වාලෙ මාත් සපත්තු දානව. ඒත් මම නං විශ්වාස කරන්නෙ ලංකාව වගේ රටවල් වලට හරියන්නෙ සැන්ඩ්ල්ස් වගේ උෂ්ණත්වය පිටකරන්න පුළුවන් සපත්තු තමයි. ඒ අතින් රබර් සෙරෙප්පුත් පංකාදුයි. වැදගත්කම අමතක කරල සාමාන්‍ය ගමන් වලට රබර් සෙරෙප්පු දාන්න මම නං පැකිලෙන්නෙ නෑ.
    ඕනෑම දේක වගේ සපත්තු වලත් ගැලපෙන නොගැලපෙන බව තීරණය කරන්නෙ ව්‍යාපාරිකයන්. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනව. මතක ඇතිනේ පහුගිය කාලෙ කැන්වස් පැතිරිලා ගියහැටි!

    • සපත්තු විතරක් නෙවෙයි මිනිස්සුන්ට අවශ්‍ය අනවශ්‍ය හැම භාණ්ඩයක් ගැනම තීරණ ගන්නේ ව්‍යාපාරිකයෝ. දැන් බලන්න ළදරු කිරිපිටි. මොන තරම් බොරු ගොඩක් පෙන්වනවද දැන්වීම් වල ළදරුවා මහා එකාවගේ වැඩ කරනවා අහවල් කිරිපිටි බිව්වම. ඒ වගේම කාන්තාවන්ට හැදෙන ඔස්ටියෝපොරෝසිස් වලට අහවල් කිරි විතරයි හරියන්නේ ආදී වශයෙන්. මම මේ මග පෙන්වීම් කරන්නේ, සමහර තරුණයෝ විශේෂයෙන්ම තැනට සුදුසු නැති සපත්තු සෙරෙප්පු පැළඳීම ගැන ඔවුන් දැනුවත් කරන්නයි.

  8. මම වැඩිපුරම දැම්මේ රබර් සෙරෙප්පු. ඒ ප්‍රධානම හේතුව මිල අඩු වීම, කකුලට දැනෙන සනීපය ආදිය.
    මම කොහොමත් සාමාන්යෙන් ඔය වවුලෝ වගේ එල්ලිලා බස් වල යන්නේ නෑ. ඒ වගේම දිනපතා දුර ගමන් යන්නෙත් නෑ. බෝඩිම හා කැම්පස් අතරේ විතරයි. ඒ නිසා අවදානම අඩුයි. මම පුළුවන්තරම් සෙනග අඩු බස් වල තමා යන්නේ (මේක යුද්දය කාලේ කල පුරුද්දක්).
    මට කොහොමත් ඔය ඇදුම් පැළදුම් ගැන තියන උනන්දුව සැහෙන අඩුයි.හැමදාම සපත්තු දැම්මත් සපත්තු දැමීමට මම ඉතා අකමැතියි. හේතුව කකුලට දාඩිය දැමීම, කකුල් ගද ගැසීම, කකුල් කසන්නට පටන් ගැනීම (ඔය ගද ගැසීමට නම් හුගක් අය කියන්නේ කපු මේස් බාවිතය හා සපත්තු අව්වේ දමා වෙලා ගන්න කියානේ. කොච්චර කපු මේස් දැම්මත් කකුල් එහෙමම තමා).

    • ස්වාධීනව හිතන, කටයුතු කරන කෙනෙකුට සපත්තු සෙරෙප්පු නෙවෙයි සමාජ සම්මතයන් කිසිවක් බලපාන්නේ නැහැ. ජංගම දුරකථන පාවිච්චි කිරීම අප්‍රිය කරන අය ඕනෙතරම් ඉන්නවා. ඒ වගේ තමයි සපත්තු දැමිල්ලත්. හැබැයි වර්තමාන පරපුරට පොඩි පොඩි මග පෙන්වීම් කිරීම අපේ යුතුකමක්. ඒවා පිළිගැනීම හෝ නොගැනීම ඒ අයගේ මානුෂික අයිතිවාසිකමක්.

      • හප්පා මම එච්චර ස්වාධින මනුස්සයෙක් නෙමේ. ඒත් මම කරන දේ එක්තරා දුරකට මට ඕන විදිහට කරන කෙනෙක්. මගේ දෙමාපියෝ බලපෑම් අඩුවෙන් කරන කට්ටිය. ඒ වගේම මම සැහෙන කාලයක් ගෙදරින් ඈත් වෙලා හිටි නිසා මම එකට පුරුදු උනා.

        ඒත් ඉතින් තියන දේ කල් තබා ගැනීම වැඩි කරගන්න පුළුවන් නම් එක නොකර ඉන්නේ නෑ.නැත්නම් ආපහු ඉක්මනට ගන්න වෙනවනේ. මට තියන ලොකුම අවුල තමා සපත්තුවේ උඩ කොටසයි සම්පුර්ණ පතුලයි (welt) එකයි අතර හිඩැසක් ඇති වෙලා පතුල ගැලවී යාම හා ඒ ඇති වූ ඉඩෙන් වැහි කාලයට වතුර අතුල ඒම.ඒත් ඉතින් තියන දේ කල් තබා ගැනීම වැඩි කරගන්න පුළුවන් නම් එක නොකර ඉන්නේ නෑ.නැත්නම් ආපහු ඉක්මනට ගන්න වෙනවනේ. මට තියන ලොකුම අවුල තමා සපත්තුවේ උඩ කොටසයි සම්පුර්ණ පතුලයි (welt) එකයි අතර හිඩැසක් ඇති වෙලා පතුල ගැලවී යාම හා ඒ ඇති වූ ඉඩෙන් වැහි කාලයට වතුර අතුල ඒම.

      • වතුර ඇතුලට එන්නේ පතුල හා අනික් කොටස යන්තම් ඈත් වෙන්න පටන් ගත්තමයි.

  9. smartB | ස්මාර්ට්B said:

    මේ ලිපිය කියෙව්වට පස්සේ තමා මමත් දැනගත්තේ විවිධ වූ ආකාර සපත්තු තියෙනවා කියල. මෙතුවක් කාලෙකට දැනගෙන හිටියේ ලෙදර්, සින්තටික්, කැන්වස් වගේ සපත්තු වර්ග දෙකතුනක් ගැන විතරයිනේ. මමත් වඩාත් ප්‍රිය කරන්නේ ලේස් තියෙන කළුපට සපත්තු වලට. සති අන්තයේ යාළුවො සමග සංචාරේ යනකොට නම් වැඩි සුකුරුත්තම් නැති කැන්වස් සපත්තු දෙකක් තමා දාන්නේ. අනෙක් වෙලාවට නම් ඉතින් සෙරෙප්පු හරි සැන්ඩල්ස් දෙක තමා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා සපත්තු සේරෙප්පුවල අඩි ඇදට ගෙවෙන එක.

    කොහොමින් කොහොම වුනත් ඔබතුමා කියනවා වගේ අද කාලේ සමහර තරුණ පිරිස් තැනට සුදුසු විදියට සපත්තු තියා ඇඳුම් පැළඳුම්වත් අඳින්නේ නෑ කියන එක හොඳින්ම පෙනී යන කරුණක්. මම මේ මෑතකදී ගිය විවාහ මංගල උත්සවයකට ඇවිත් හිටියා වයස 16 ක් 17 ක් විතර කොල්ලෙක් ඩෙක් ෂුස් දෙකකුයි ඩෙනිමකක් එක්ක ටී-ෂර්ට් එකක් ඇඳලා. එය එම අවස්ථාවට පුදුමාකාර නොගැලපෙන බවක් තමා එක් කළේ. ගොඩ දෙනෙකුට ඔහුගේ විලාසිතාව ඇති කළේ කුතුහලයක්.

    • සපත්තු පැත්තකට බරව ගෙවීයාම ඔබට පමණක් විශේෂවූ ප්‍රශ්නයක් නෙවෙයි. අප සියලුදෙනාම උපතින්ම ගෙන එන දෙහෙරුවක් (Body) තිබෙනවා. සෑම පුද්ගලයාටම විශේෂිතවූ ගමන් විලාශයක් තිබෙනවා. අපේ පවුලේ හෝ දන්නනා හඳුනන සමහර අය ඈත තියා එනවිට අපි හඳුනාගන්නේ ගමන් විලාශයෙන්. ඉතින් ඒ අඩිය තියන අකාරය අනුව තමයි සපත්තු සෙරෙප්පු ගෙවෙන්නේ. ඔබ දන්නවනේ අපේ පාදයේ පතුලේ බොක්කක් මෙන් ඉහලට නෙරාගිය කොටසක් තිබෙනවා. සමහරු එයට කියන්නේ මඩබොක්ක කියා. සමහර අයට උපතින් එය පිහිටන්නේ නැහැ. මුළු පතුලම පැතලියට පිහිටනවා. එවැනි අයටත් සපත්තු දැමීමේදී ප්‍රශ්න මතුවෙනවා.

      අද පරපුරේ සමහර අය කොයි තරම් නොමග ගිහින් ඉන්නවාද කිව්වොත්, ඉතාම පැහැදිලිව සාධක සහිතව හා තර්කානුකූලව යමක් කියා දුන්නත්, ඔවුන් පිළිගන්නේ රූපවාහිනී දැන්වීමක, තමන්ගේ පරමාදර්ශී පුහු වෙළඳ චරිතයක, ඇති දේවල් පමණයි. අපි නොකඩවා උත්සාහ කලයුතුයි මේ තත්වය වෙනස් කිරීමට.

  10. නොදන්නා විස්තර බොහොමයි. මම නම් ඉතින් ඔය දාන්නම් වාලේ දානවා මිසක් ඕවා ගැන එතරම් සැළකිල්ලක් නෑ.

    ස්තූතියි.

  11. ලිපිය නියමයි… තුවක්කු ගානටම වගේ සපත්තු ගැනත් දන්නව වගේ.
    ඔක්කොම ලියලා,,, මම දාන එක විතරක් ලියල නෑ. (කුඩම්මාගේ සැලකිලි)
    මම දාන්නේ සේෆ්ටි ෂූස්. අර ඉස්සරහින් යකඩ තහඩුවක් තියෙන්නෙ,,,,

    සම්පත අ.ආයතනය තාමත් අවිස්සාවේල්ලේ තියනව. ලගින යනකොට ඔබතුමාවයි, 2500 තුමාවයි දෙන්නවම මතක් වෙනව.

    • ගන් බූට්ස් සහ හමුදා බූට්ස් ගැන ලියන්න හිතලා අවසාන මොහොතේ නොලියා හිටියේ. පසුව අවස්තාවකදී බලමු.
      මම ගිය අවුරුද්දේ අවිස්සාවීල්ලට ගියා මලගෙදරක. ‘සම්පත’ දැකලා ඒ සුන්දර අතීතය මතක්වී දුකක් දැනුනා. මගේ බිරිඳට විස්තර කියා දුන්නා එතන වාහනය නවත්තගෙන. ඔබ එතනින් යන්නේ කොහේ ඉඳලා කොහාට යන්නද? අවිස්සාවේල්ල විතරක් නෙවෙයි තල්දූව,දෙහිඕවිට,දැරණියගල,රුවන්වැල්ල,අඟුරුවැල්ල,යටියන්තොට,කිතුල්ගල,කොටියාකුඹුර,ගලපිටමඩ,බුලත්කොහුපිටිය,ගුරුගල්ල, ඔක්කොම මම දන්නවා.

  12. මම නම් ගොඩක් වෙලාවට (95%) එලියට යද්දි පැලඳගෙන යන්නෙ කැන්වර්ස් සපත්තු..මම එහෙම කරන්න හේතුව තමයි මම සාමාන්්‍ය යෙන් ඇවිදින්නෙ ටිකක් වේගයෙන් (අනිත් අයට සාපේක්ෂව)..එතකොට මට කැන්වර්ස් දෙකක් පළදින එක ගොඩක් ලේසියි කයල හිතෙනව..තව දෙයක් තමයි වැස්ස දවස් වලට එහෙම මඩ විසික් වෙන්නෙ නෑ ඇඟට…තව මට පහසුයි කියල හිතෙනව අනිත් ඒවට වඩා කැන්වර්ස්…ඒ වගේ ජාති ගොඩක් තියෙනව..ඒක නිසා මම පෞද්ගලිකව කැමති නම් කැන්වර්ස් සපත්තු පලඳින්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: