විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 අපි කුඩා දරුවන් කාලයේ ලංකාවේ ජනගහනයෙන් සපත්තු පළඳින්නට ඇත්තේ 50% කට මඳක් වැඩියෙන් වෙන්න ඇති කියා මට හිතෙනවා. ඒ කාලයේදී පාරේ තොටේ යනවිට සපත්තු සෙරෙප්පු කිසිවක් නැතිව ගමන් කරන අය ඕනෑ තරම් දකින්න ලැබුනා. අදනම් එකේ අනික්පැත්තයි තියෙන්නේ. අද  99% ක් දෙනා සපත්තු සෙරෙප්පු පළඳිනවා. ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් පමණ වන ජනගහනය වසරකට සපත්තු / සෙරෙප්පු කුට්ටම් මිලියන 50 ක් පමණ පාවිච්චි කරන බවට ප්‍රවෘත්තියක් මා දිනපතා පුවත්පතක දුටුවා.  සපත්තු මිලදී ගැනීම, සපත්තු තෝරා ගැනීම, සපත්තු දැමීම මෙන්ම, සපත්තු නඩත්තු කිරීමත්, එක්තරා කලාවක් කියලයි මටනම් හිතෙන්නේ. ඒ ගැනයි මම මේ ලිපියෙන් සහ දිග වැඩි වුනොත් තවත් ලිපියකින් ඔබ සමග සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ.

මේ කතාව ආරම්භ කරන්නට පෙර අවංකවම එක දෙයක් කිව යුතුයි. ඒ තමයි කුඩා අවධියේ මා පාසල් ගියේ සෙරෙප්පු දෙකක්වත් නොදමා බව. එයින් මට සමාජමය වශයෙන් හානියක් වුනේ නැහැ. ඒ කාලේ, මා වැනි, සේරෙප්පුවක්වත් නැති තවත් දරුවන් රැසක් සිටි නිසා. මට මතක හැටියට 1960 දී තමයි මට රබර් සෙරෙප්පු දෙකක් ලැබුනේ. මිල සත 75 යි. දැන් රුපියල් 150 කට සමාන කරන්න පුළුවන් කියලා හිතෙනවා ඒ සත 75. හැබැයි දැන් රු 150 කට ගන්න පුළුවන් සෙරෙප්පු නැහැනේ.

යුද හමුදාවේ සපත්තු පොලිෂ් කරන හැටි ගැන ලිපියක් පලකරන්න කියා ඉල්ලීම් කීපයක්ම කර තිබුනා, මගේ වෙනත් ලිපි වලට ලැබුණු කමෙන්ට්ස් වලින්. ඉතින් ඒ ඉල්ලීම් සඳහා දක්වන ප්‍රතිචාරය තමයි මේ. විශේෂයෙන්ම මේ සඳහා මාව උනන්දු කරවූ තිදෙනෙක් ඉන්නවා. ඒ තමයි හ‍රී, දූපත් වැසියා, සහ ක්සැන්ඩර්, ඒ තිදෙනාටම ස්තුතිවන්ත වෙනවා මුලින්ම.

මා ඉහත සඳහන් කල පරිදි, අද කාලයෙනම් ජීවන තත්වය තරමක් උසස්වී ඇති නිසාත්, අධ්‍යාපන මට්ටමද ඉහල ගොස් ඇති නිසාත්, පාවහන් පැළඳීම 99% ක් දෙනා විසින් නොවරදවාම කරනවා. එය ඇත්තෙන්ම සතුටට කරුණක්. පාවහන් නැතිව ගමන් කිරීම දැන් ඉස්සරට වඩා අනතුරුදායකයි. විවිධ හානිකර රසායනික ද්‍රව්‍ය පවා නාගරික පරිසරයේ බිම මතුපිට දැකිය හැකියි. එමෙන්ම කාර්මික අපද්‍රව්‍යද දෙපයට හානිකරයි. මේ නිසා යටත්පිරිසෙයින් සෙරෙප්පු දෙකක්වත් පැළඳිමයි නුවණට හුරු.

අනෙකුත් සෑම ඇඳුම් පැළඳුම් මෙන් සපත්තුද අද විලාසිතාවක් වී හමාරයි. තමන්ට ගැලපෙන නොගැලපෙන බව හෝ අවස්ථාවට සුදුසු නුසුදුසු බව ගැන නොසලකා සපත්තු පළඳින අය අද සෑහෙන්න තරම් ඉන්නවා. මා දැක තිබෙනවා ක්‍රීඩා සපත්තු පැළඳ විවාහ මංගල්‍ය උත්සව වලට එන අයත්.

  මේ නිසා අවස්ථාවට සුදුසු ඇඳුම් පැළඳුම් මෙන්ම සපත්තුද ඇතිබව මතක තබාගන්න. අප බොහෝදෙනෙකුට සපත්තු කුට්ටම් කීපයක් ගැනීමට වත්කමක් නැහැ. අද සපත්තු මිල ඉතා ඉහලයි. මා වරක් පුවත්පතක කියවූ ලිපියක තිබුනා සපත්තු කර්මාන්තයෙන් 300% ක පමණ ලාභයක් ගන්නා අයත් සිටිනබව. ඉතින් අමාරුවෙන් මිලදීගන්න සපත්තුදෙක පොදුවේ කොතනටත් ගැලපෙන විදිහට ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි විලාසිතා පස්සෙම යනවානම් ඔබ හොඳ සල්ලි කාරයෙක් වියයුතුයි, සපත්තු කුට්ටම් කීපයක් මිලදී ගන්න. එසේ නැතිව තැනට නුසුදුසු සපත්තු දාගෙන සෑම අවස්ථාවකටම සහභාගී වෙනවානම් ඔබ ප්‍රදර්ශනය කරන්නේ ඔබේ අමනොඥ බව පමණයි.

අනෙකුත් ඇඳුම් පැළඳුම් මෙන් නොව බොහෝදෙනා බාල බඩු වලට රැවටෙන්නේ සපත්තු මිලදී ගැනීමේදීයි. මා කියන්නේ මිල අධිකම වර්ගය හොඳම වර්ගය කියා නොවෙයි. හොඳ සපත්තුවක් මිලදී ගැනීමත් ඉගෙනගෙන කලයුතු දෙයක්. කාන්තාවන්ගේ සපත්තු සෙරෙප්පු ගැන මා කතා කරන්නට යන්නේ නැහැ. නමුත් එකක් කියන්නම්, කාන්තාවන් තරම් බාල සෙරෙප්පු වලට අහුවෙන පිරිසක් තවත් නැහැ. එහෙම වෙන්නේ සල්ලි නැතිකම නිසාම නොවෙයි. හොඳ දේට වඩා ලස්සනදෙට පමණක් අවධානය යොමු කිරීම නිසයි. මේ මෑතකදී මගේ බිරිඳ ඉතා ලාබෙට සෙරෙප්පු කුට්ටම් දෙකක් ගෙනාවා. මම ඒවා දුටුගමන් කිව්වා ඉතාම බාල ඒවා බව. ඇය කිව්වා ඒවා අලවා සකස්කළ සෙරෙප්පු නොව, මසන ලද ඒවා බව වෙළඳ සේවකයා කිව්ව බව. මා නිහඬව සිටියා. දවස් තුනකින් එක සෙරෙප්පුවක් ගැලවුනා. හොඳින්ම පෙනුනා එය අලවපු සෙරෙප්පුවක් බව. මම ඒ කඩයට ගොස්, බිල ඉදිරිපත්කර, පාරිභෝගික ආරක්ෂක ආඥා පනතේ කරුණු පැහැදිලි කලාම, මුදල් ආපසු ගෙවන්න ඔවුන්ට සිදුවුනා.

  මේ සපත්තුව දුටු ගමන් ඔබෙන් සමහර අය කියන දේ මා හොඳින් දන්නවා. ‘මේ මොකක්ද? ගොන් ඔලු පෙයාර් එකක්නේ, කවුද මේවා දාන්නේ, ඔයා වගේ නාකි පප්පලාට තමයි මෙව්වා හරියන්නේ. ඊයා,. . .  ඈක්,. . .  හෆ්ෆා. . . ‘ (සමහර බ්ලොග් ලියන්නෝ/ලියන්නියෝ දැන් වයසට ගිහින්, දත් හැලිලා, නිකම්ම කටින් හුළං පිටවන නිසා, හප්පා කියාගන්න බැහැ, හෆ්ෆා කියලයි කියවෙන්නේ) ඔබ එසේ සිතන කෙනෙක්නම්, ඔබ සිටින්නේ බරපතල මුලාවක හෙවත් විලාසිතා මිත්‍යාවක බව මම නොබියව කියනවා. මා කියන්නේ ඔබ අනිවාර්යයෙන් මේ මෝස්තරයේ සපත්තුම දැමිය යුතුයි කියා නොවේ. මේ මෝස්තරයට ආසන්න වෙනත් හැඩයේ සපත්තු තිබෙනවා. එවැනි සපත්තු තෝරාගැනීමෙන් පොදුවේ කොතනටත් ගැලපෙනසේ යාමට හැකි වෙනවා. මෙය විශේෂයෙන් කියන්නේ එක සපත්තු කුට්ටමක් පමණක් ගතහැකි අය වෙනුවෙන් බව නැවතත් අවධාරණය කරනවා.

ආරම්භක චූර්ණිකාව ඊට වඩා දික් කිරීම අනවශ්‍ය බව හැඟෙන නිසා, ඊළඟ කොටසට යන්නයි මේ සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් මම වැඩිපුර ලියන්නේ අවි ආයුධ ගැනනේ. එහිදී ඒ අවි ආයුධවල කොටස් නම් කරනවා ඔබට මතක ඇති. ඒ වගේ සපත්තුවකත් කොටස් නම් කල හැකියි. මේ බලන්නකෝ සපත්තුවක කොටස්.

 බලනකොට සපත්තුවකත් සෑහෙන්න කොටස් ගණනක් තියනවනේ? මම මේ කොටස්වල නම් සිංහලෙන් නොයෙදුවේ, ඒවාට සිංහල නම් නැති නිසාම නෙවෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී සපත්තු සම්බන්ධයෙන් කතාකරන වචන, බොහෝවිට මේ ඉංග්‍රීසි වචන වලට සම්බන්ධ නිසයි.

සමහරවිට ඔබ සපත්තුවක යම් යම් කොටස් හඳුන්වන්නේ මීට වඩා ස්වල්පයක් වෙනස් නම් වලින් වෙන්න ඇති. මමත් එහෙම කරනවා. මේ පින්තූරයේ වෙල්ට් welt යනුවෙන් ඇති කොටසට, මා දන්නා කාලයේ පටන් මට කියාදී තිබෙන්නේත්, මම අදටත් කියන්නෙත්, ‘සීම්’ එක seam කියායි. කොහොම වුනත් අපි දිනපතාම අලුත් යමක් ඉගෙන ගන්නවානේ. නමුත් welt කියන්නේ, සපත්තුවේ සම්පූර්ණ පතුලටයි.

මෙහිදී කලින් අසා නැති, නම් වන්නේ, Welt, Vamp, Quarter, Throat, Eyelets, Hollow, Top Line, වැනි වචන පමණයි කියා මා සිතනවා. ඒවා අමුතුවෙන් විස්තර නොකලත්, මෙවැනි සපත්තුවක් අතටගෙන බැලුවොත් පැහැදිලිව හඳුනාගත හැකිවනු ඇති. ඒත් ඉතින් ටිකක් විස්තර කලොත් හොඳයි නේද? එහෙනම් ඉතා කෙටියෙන් කියන්නම්.

Top Line –  සපත්තුවට කකුල දාපුවාම, වටේට තියන කට වගේ කොටස.

Toung – කකුල දැමීමට ලේස් බුරුල් කරලා, කට පළල කලාම තියන, සපත්තුවේ දිව.

Shoe Lace – සපත්තු පටිය හෙවත් ලේස් එක. (මේ රූපයේ තියන විදිහට ගැටයක් නැතුව ලේස් එක දාන්න පුළුවන්. පසුව කියන්නම්)

Eyelets – සපත්තු පටිය රිංගවීමට සපත්තුවේ සාදා තිබෙන හිල්. ඒවාට ලෝහ වළලු සවිකර තිබෙනවා සමහර සපත්තුවල.

Quarter – සපත්තු කටේ වම් පැත්තේ පළුව සහ දකුණු පැත්තේ පළුව.

Throat – සපත්තුවේ දිවේ ඇතුළු කෙලවර.

Toe cap – සපත්තුව දැමුවිට කකුලේ ඇඟිලි ආවරණය කරන කොටස.

Vamp – සපත්තුව පැළඳ ඇවිදින විට නැවෙන දිගහැරෙන ප්‍රදේශය (ඊතලයෙන් පෙන්වන තැන සිට ඊට විරුද්ධ පැත්තේ කෙලවර දක්වා)

Welt – සම්පූර්ණ සපත්තු පතුල

Hollow – සපත්තු පතුලේ ඉහලට බොකු ගැසුණු කොටස

Heel cap – සපත්තුව පැළඳි විට, විලුඹ ප්‍රදේශය ආවරණය කරන කොටස.

Heel – සපත්තු අඩිය

දැන් ඉතින් පොලිෂ් කිරීම කොතනින්ද පටන්ගන්නේ? පොලිෂ් කරන්න ඉස්සර වෙලාම සපත්තු දෙකක් තියෙන්න එපාය. හරි ඊළඟට ඊළඟට ඕනේ රෙදි කෑලි, පුළුන්, සපත්තු මැදීමේ බුරුසු, සහ සපත්තු පොලිෂ්. ඔන්න පටන් ගන්නකොටම බුදු අම්මෝ කියන්න එපා ලැයිස්තුව දැකලා. සමහරු දාගෙන යන සපත්තු දැක්කම දුක හිතෙනවා. දුප්පත්කමට වඩා කම්මැලිකම නිසයි බොහෝ දෙනෙක් සපත්තු පොලිෂ් නොකරන්නේ. අපිනම් පුංචිකාලේ දුප්පත්කම නිසා සපත්තු පොලිෂ් කලේ රතුලූනු ගෙඩියක් දෙකට කපලා සපත්තුවේ ඇතිල්ලීමෙන් හෝ වදමල් පොඩිකරලා ඇතිල්ලීමෙන්.

මම දන්නවා ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ක්‍රමයට සපත්තු පොලිෂ් කරන ආකාරය නෙවෙයි. යුද හමුදාවේ අය පොලිෂ් කරන අර මූණ බලන්න පුළුවන් (සපත්තුවේ ටෝ එක කන්නාඩියක් ලෙස පාවිච්චි කරලා රැවුල කපන්නත් පුළුවන්) ක්‍රමයට පොලිෂ් කිරීම පිළිබඳවයි ඔබට දැනගන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ක්‍රමය ගැන නොකියා විශේෂ ක්‍රමය ගැන කියන්න බැහැ. විශේෂ ක්‍රමයට කියන්නේ වෝටර් පොලිෂ් Water Polish කරනවා කියලයි. එයට හේතුව එසේ පොලිෂ් කිරීමේදී වතුරත් යොදාගන්න නිසයි.

දැන් සමහර අය කියයි අයියෝ ඕක මොකක්ද දැන් තියනවානේ සපත්තුව කන්නාඩිය වගේ දිලිසෙන්න ගාන්න පුළුවන් පොලිෂ්. ඒක අතේ ගෑවෙන්නෙත් නැහැ, හරිම ඉක්මන් කියලා. දැන් අපේ ජීවිත හරිම ඉක්මන් නිසා ඒ ක්‍රමය හොඳයි. හැබැයි ඒවා පොලිෂ් නෙවෙයි ආලේපන. එයින් ලැබෙන දීප්තිය වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එය වෝටර් පොලිෂ් එකේ අහලකින්වත් තියන්න බැහැ.

  ඉතින් ඇත්ත තත්වය ඔන්න ඔහොම නිසා, මම බොහොම කාරුණිකව ඉල්ලනවා, මෙතනින් එහාට මේ ලිපිය කියවිය යුත්තේ, කාලය වැය කර සපත්තු පොලිෂ් කිරීමට කැමති අය පමණයි කියා.

මුලින්ම අපි බලමු සපත්තු පොලිෂ් කිරීමට අවශ්‍ය උපකරණ දෙස නැවතත්. මම කිව්වා හොඳ බුරුසු අවශ්‍යයි කියා මෙන්න මේ වගේ බුරුසු තමයි වඩාත් හොඳ. ඉක්මනින් කෙඳි ගෙවීයන හෝ නැවීයන බාල බුරුසු ගන්න එපා. ඒ සඳහා වැය කරන මුදල් අපතේ යාම පමණයි සිදුවෙන්නේ. හොඳ බුරුසුවක කෙඳි අතින් තද කර බැලුවාම, තරමක් තද සහ එකවරම නොනැමෙන තත්වයේ තිබෙන බව පෙනෙනවා. තීන්ත ගාන බුරුසුනම් අපේ රටේ හොඳ තත්වයේ ඒවා තිබුනත් සපත්තු පොලිෂ් කරන බුරුසුනම් හොඳ දේශීය නිෂ්පාදන නැහැ. මේ රූපයේ මැද තිබෙන, කෙඳි අඩු, දිග මිටකින් යුත් බුරුසුව, ඔබේ විශේෂ අවධානයට ලක්වෙනවා ඇති. ඒ බුරුසුවෙන් කරන්නේ, සපත්තුවේ සියුම් දාරවල පොලිෂ් ගෑමයි. එවැනි බුරුසුවක් නැත්නම්, ඉවත දැමු, එහෙත් කෙඳි සම්පූර්ණයෙන් නැවී නැති දත් බුරුසුවක් වුවත් සුදුසුයි. එක් බුරුසුවක් පාවිච්චි කලයුත්තේ එක් වර්ණයක සපත්තු වලට පමණයි කියා ඔබට අමුතුවෙන්  කිවයුතු  නැති  සිතනවා. දුඹුරුපාට සපත්තු පොලිෂ්  කල බුරුසුවකින් කලුපාට සපත්තු පොලිෂ් කලාට එතරම් විශාල හානියක් නැතත්, කලුපාට සපත්තු පොලිෂ් කල බුරුසුවකින් දුඹුරුපාට සපත්තු පොලිෂ් කලොත්, දුඹුරුපාට සපත්තුව දම්පාට වෙනවා.

ඊළඟට අවශ්‍ය වන්නේ ටිකක් ඝන එහෙත් ඉතා රළු මතුපිටක් නැති වර්ග අඩි එකහමාරක පමත් රෙදි කෑල්ලක්. ඝන ප්ලැනල්, තරමක් සිනිඳු මතුපිටක් ඇති ඩෙනිම් රෙදි හෝ අමු රෙදි මේ සඳහා සුදුසුයි. මමනම් කැමති පරණ, ඝන තුවා කෑල්ලකටයි. ඒ වගේම පුළුන් ටිකක් සහ උඩට ඉලිප්පී ඇති කොටු හෝ ඉරි නැති, ඉතා සිනිඳු මේස් බැනියම් කෑල්ලක්ද අවශ්‍යයි. එහි දිග පළල අඟල් 10 බැගින් තිබුනාම ඇති.

මේ රෙදි කෑලි පරණ කඩමාලු වුනාට කමක් නැහැ. හැබැයි ඒවා සෝදා වියලා තිබිය යුතුයි. කුණු දූවිලි, මඩ, වැලිකැට, මේ රෙදිවල තිබුනොත් සපත්තුවේ මතුපිට සීරෙනවා.

වෝටර් පොලිෂ් කලහැක්කේ නියම හම් වලින් සෑදූ සපත්තු පමණක් බව අවධාරණය කරන්නට කැමතියි.  සමහරවිට කඩෙන් ගත් අලුත්ම සපත්තු වුවත් වෝටර් පොලිෂ් කල නොහැකි වෙනවා. එයට හේතුව සපත්තුවේ මතුපිට අවශ්‍යතරම් පදම්වී නොතිබීමයි. එමෙන්ම ටික කලක් පාවිච්චි කල සපත්තුත් වෝටර් පොලිෂ් කිරීමට පෙර, එහි මතුපිට කඩතොලුවී ඇත්නම් පළමුව ඊට පිළියම් යෙදිය යුතු වෙනවා.

දැනට ඔබ ළඟ නියම සමින් සෑදූ පාවහන් යුවලක් තිබේනම් සූදානම්වන්න එය වෝටර් පොලිෂ් කිරීමට. ඔබ පළමුවරට මෙය කරනනිසා අලුත් සපත්තුවක් නම් මෙහෙම කරන්න.

1. සපත්තුවක් පොලිෂ් කිරීමට පෙර එය කුණු දූවිලි වලින් තොරව තිබියයුතු අතර, විශේෂයෙන් හොඳ වියලි තත්වයේ තිබිය යුතුයි. තෙමී පෙඟී ඇති සපත්තු, වෝටර් පොලිෂ් තියා සාමාන්‍ය ක්‍රමයටවත් පොලිෂ් කල නොහැකියි. කිසිම අවස්ථාවක සපත්තු, දර ලිප් ළඟ, ගිනි ගොඩක් ළඟ, ගිනි අව්වේ, තබා වේලන්න එපා. එවිට සපත්තුවේ හැඩය වෙනස් වෙනවා. හම් සපත්තු කර වෙනවා. ඔබට අද අපේ රටේ තිබෙන විදුලි බිල ප්‍රශ්නයක් නොවෙයිනම් කොණ්ඩය වේලන උපකරණයකින් එන උණුසුම් වායු ධාරාවෙන් වේලන්න. එසේ කල නොහැකිනම් සැරට අව්ව නොවැටෙන ලෙස එළිමහනේ තබන්න.

2. මුලින්ම බුරුසුවෙන් සපත්තුවේ ඇති දූවිලි පිසදමන්න. අදනම් විදුලියෙන් ක්‍රියාකරන සපත්තු බුරුසු තිබෙනවා. ලයිට් බිල ගෙවන්නේ කවුද?

  මේ රූපයේ පෙනෙන ආකාරයට බුරුසුව ඇල්ලීමට ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ තමයි නිවැරදි ක්‍රමය. බුරුසුවෙන් සපත්තුව පිස දැමීමට පෙර ලේස් සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන්න. මොකද ලේස් වෙනම පොලිෂ් කලයුතුයි. ලේස් පොලිෂ් කරනවා? . . . . .ඔවු ලේස් පොලිෂ් කරනවා තමයි. ඔහොම ඉන්න, මෙතනදීම ඒක කියා දෙන්නම්. ගැලවූ ලේස් එකේ එක කොනකින් අල්ලා ඔසවාගන්න. දැන් කුඩා රෙදි කැබැල්ලකට පොලිෂ් ටිකක් ගන්න. රෙදි කැබැල්ලේ පොලිෂ් තියන තැනට මැදිවනසේ ලේස් එකට රෙදි කැබැල්ල තබා තදකරගන්න (මහපට ඇඟිල්ල එක පැත්තක දබරැඟිල්ල සහ මැද ඇඟිල්ල ඊට විරුද්ධ පැත්තේ) දැන් ලේස් එකේ පොලිෂ් ගෑවෙනසේ රෙදි කෑල්ල ලේස් එක දිගේ පහලට ඇදගෙන යන්න. ලේස් එකේ අනිත් කොනෙන් අල්ලාගෙන නැවතත් කරන්න. බලන්න ලේස් එකේ පෙනුම වෙනස්වෙන හැටි. ඒ වගේමයි කල් පැවැත්මත් වැඩි වෙනවා.

පොලිෂ් කිරීම සඳහා සපත්තුවක් අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි.

3. බුරුසුවෙන් පිසදැමූ සපත්තුව, තවදුරටත් දූවිලි ඉවත් කිරීම සඳහා රෙදි කැබැල්ලකින් තදින් පිසදමන්න.

  4. ඔබ ළඟ තිබෙන්නේ අලුත් සපත්තුවක් නම් එය වෝටර් පොලිෂ් කිරීම සඳහා පදම් කරන්නේ මෙහෙමයි. කුඩා රෙදි කැබැල්ලකින් සපත්තුවේ වෙල්ට් කොටස හැර අනෙක් සෑම කොටසකම පොලිෂ් තට්ටුවක් ආලේප කරන්න. සිහින් බුරුසුවකින් වෙල්ට් කොටසේ පොලිෂ් ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ සුළඟින් වේලෙන්නට තියන්න. (ෆෑන් අවශ්‍ය නැත) ඉටිපන්දමක් පත්තුකර එහි දැල්ලට සපත්තුව පරෙස්සමෙන් අල්ලන්න. (උවමනාවට වඩා සපත්තුව ගිනිදැල්ලට ලං කලොත් පිච්චෙන බව කියන්නත් ඕනෙද? එක තැන ගොඩක් වෙලා අල්ලාගෙන ඉන්න එපා කියලා කියන්නම ඕනෙද) පොලිෂ් උනුවනවිට සපත්තුවේ වෙනත් තැනක් අල්ලන්න. ටිකක් නිවෙන්න හැර, ලොකු බුරුසුවකින් හොඳින් පොලිෂ් කරන්න.

5. ඔබ ළඟ තිබෙන්නේ පාවිච්චි කිරීම නිසා මතුපිට කඩතොලුවූ සපත්තු දෙකක් නම් මුලින්ම ඒ කඩතොළු ඉවත් කල යුතුයි. එය පරෙස්සමෙන් කලයුතු දෙයක්. එය කරන්නේ මෙහෙමයි. කලින් සපත්තුව ගාන ලද විදිහටම කඩතොලුවූ තැන්වල ටිකක් ඝන පොලිෂ් තට්ටුවක් රෙදි කෑල්ලකින් ගාන්න. කෑම කන යකඩ හැන්දක් ගෙන එහි පිට පැත්ත ඉටිපන්දමට අල්ලා හොඳින් රත් කරන්න. (රත් කරනවා කියන්නේ. . . . .පින්වත්නී. . . . ගිනියම් = රක්ත තප්ත = red hot කරනවාට නෙවෙයි පින්වත්නි. . . ) දැන් ඒ රත්වූ පිටපැත්ත අර කඩතොලුවූ තැනට තබා එක පැත්තකට පිරිමදින්න. (මේ වැඩේ දැන් කරන්නේ විදුලි පරිපථ පෑස්සීමට ගන්න ඉලෙක්ට්‍රික් බවුත් එකකින්. නමුත් මම ඔබට එසේ කරන්නට නොකියන්නේ, එය පෙර පුහුණුවකින් පසුව පමණක් කලයුතු අනතුරුදායක ක්‍රියාවක් නිසයි) කඩතොළු මැකෙන තුරු (කඩතොලුවූ සෑම තැනක්ම සම්පූර්ණයෙන් මැකිය නොහැකිය) මෙය නැවත නැවත කිරීමට සිදුවෙනවා. (වැඩේ කරලා ඉවර වුන වහාම පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් යොදා හැන්ද හොඳින් මදින්න. නැත්නම් පොලිෂ් හැන්දට තදින් අල්ලනවා. හැඳි මිටි පාරක් ඔලුවටම වදියි)

6. හොඳයි, දැන් අපි වෝටර් පොලිෂ් කිරීම ආරම්භ කරන්නටයි යන්නේ. (4 වැනි පියවර සහ 5 වැනි පියවර කරන්න වෙන්නේ එක වරක් පමණයි. සපත්තුව පදම් වූවාට පසු ඒ කරදරය විඳින්නට වෙන්නේ නැහැ) වෝටර් පොලිෂ් කිරීමේදී උසස් තත්වයේ පොලිෂ් පාවිච්චි කලයුතු බව මම අවධාරණය කරනවා. බාල පොලිෂ් වලින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එමෙන්ම අපේ බොහෝදෙනෙක් පොලිෂ් ටින් එක විවෘත කලාට පසු නිවැරදිව වසන්නේ නැහැ. එවිට පොලිෂ් ගල් වෙනවා. එවැනි පොලිෂ් කිසිසේත්ම වෝටර් පොලිෂ් කිරීමට සුදුසු නැහැ. සපත්තු පොලිෂ් කිරීමට ගන්න සියලුම දේවල් (පොලිෂ්, බුරුසු, රෙදි කැබලි,) වෙනමම කුඩා පෙට්ටියක් වැනි දෙයක තබන්න. එවිට අවශ්‍යවිට පහසුවෙන් සපත්තු පොලිෂ් කලහැකියි.වෝටර් පොලිෂ් කරන්නට පෙර සපත්තුවේ පතුලේ වටේ දාරය, (වෙල්ට් එක) වගේම සපත්තුවේ අඩියේ ඉහලට එබී ඇති කොටසත් (හලෝ) පොලිෂ් කල යුතුයි. මොනවා සපත්තුවේ අඩිය පොලිෂ් කරනවා? ඔවු ආයේ කිසිම සැකයක් නැහැ. ඒ කොටසේ තමයි බොහෝවිට මඩ තට්ටු රැඳෙන්නේ. ඒවා හොඳින් පිරිසිදු කර කුඩා බුරුසුවෙන් පොලිෂ් ගා ලොකු බුරුසුවෙන් පොලිෂ් කරන්න.

 (සමහරු සපත්තු දාගෙන ගිහින් මහා සභා වල ලොක්කා වගේ කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා. සපත්තුවේ අඩිය බල්ලෝ වමනේ කලාවගේ. රූපවාහිනී නාලිකා වල සාකච්ඡා වලට එන සමහර මහා විද්වතුන්ගේ සපත්තුත් එහෙමයි)

 වෝටර් පොලිෂ් කරන කොටස් හැර, සපත්තුවේ අනෙක් සියලුම කොටස්, සාමාන්‍ය ක්‍රමයට පොලිෂ් කර අවසන් කරන්නේ, වෝටර් පොලිෂ් කල පසු, සපත්තුවේ වෙනත් කොටස් පොලිෂ් කරන්නට ගියොත්, වෝටර් පොලිෂ් එකට හානි වීමට (සීරී යාමට) ඉඩ ඇති නිසයි. වෝටර් පොලිෂ් එක ඇත්තෙන්ම පොලිෂ් සහ ජලය කිසියම් අනුපාතයකට මිශ්‍ර කරගනිමින් සපත්තුව මත ගොඩ නගන ආරක්ෂක බදාමයක් වැනියි. එහෙත් එය ඉතා තුනී පටලයක් වැනි බදාමයක්.

අධික තෙතමනය සහිත මෙන්ම වැසි හිරිකඩ වදින තැනක සිට වෝටර් පොලිෂ් කරන්න උත්සාහ කරන්න එපා. නිවැරදි ප්‍රතිඵලය එන්නේ නැහැ. වියලි පරිසරයක රාත්‍රියේදී වුනත් ප්‍රශ්නයක් නැහැ.

සාමාන්‍යයෙන් වෝටර් පොලිෂ් කිරීමේදී, අපි මූලික වශයෙන් පොලිෂ් කරන්නේ, සපත්තුවේ ටෝ කැප් එක සහ හීල් කැප් එකයි. එහෙත් ටික කලක් යනවිට, මුළු සපත්තුවම හොඳින් පදම් කරගතහොත්, වැම්ප් එකේ නැවෙන කොටස හැර, මුළු සපත්තුවම වෝටර් පොලිෂ් කල හැකි වෙනවා.

7. සපත්තුවේ අනෙක් කොටස් සියල්ලම පොලිෂ් කර අවසන් නිසා දැන් අපි ටෝ කැප් එක සහ හීල් කැප් එක වෝටර් පොලිෂ් කරමු. මේ සඳහා ඔබට ඔබේ හුරු අතේ (වම හෝ දකුණ) දබරැඟිල්ලේ දවටාගත්, සිනිඳු මේස් බැනියම් කැබැල්ලක් හෝ එවැනි මේස් බැනියම් කැබැල්ලක් තුලට පුළුන් පුරවා සාදාගත් ගුටියක් පාවිච්චි කල හැකියි.මුලින්ම ඉතා සිනිඳු පොලිෂ් පටලයක් ටෝ කැප් එකේ ගාන්න. ඒ සඳහා ඔබ ඇඟිල්ලේ දවටාගත් රෙදි කැබැල්ල යොදාගත්තාට කමක් නැත. දැන් අබ ඇට තරම් සියුම් ජල බින්දු ටෝ කැප් එක මත සිටින සේ ඇඟිලි තුඩින් හෝ මල් පැළවලට වතුර විදින ප්ලාස්ටික් බෝතල ස්ප්රේයරයකින් ජලය විදින්න. ජල බින්දු ගොඩක් අවශ්‍ය නැත. ඉන්පසු ගොඩක් තද නොකර, ඇඟිල්ලේ බරෙන් සපත්තුවේ රවුම් අඳින ආකාරයට මදින්න. එවිට පොලිෂ් සහ ජලය ක්‍රමානුකූලව මිශ්‍ර වෙමින් ඔපවත් වීම ආරම්භ වෙනවා. මෙය විනාඩි දෙක තුනකින් සිදුවන ප්‍රාතිහාර්යයක් නොවන බව අවධාරණය කරනවා. ඉවසීමෙන් නැවත නැවතත් කරන්න. එක වරකට ටෝ කැප් එකේ සුළු ප්‍රදේශයක් පමණක් මදින්න. පහත පිතූර දෙකෙන් පෙන්වන්නේ රෙදි කැබැල්ලකින් හෝ පුළුන් ගුටියකින් එසේ මදින ආකාරයයි.

   සමහරවිට පළමු දවසේ ඔබට අවසන් කරගන්නට ලැබෙන්නේ ටෝ කැප් එක හෝ එයින් කොටසක් විය හැකියි. එහෙත් එයින් පසුබට වෙන්න එපා. ඒ තමයි ආරම්භය. අනික් කරුණ ඔබ මෙය කරන්නේ ළඟ සිට කියාදීමෙන් නොවේ. මේ ලිපිය බැලීමෙන්. ඒ නිසා උත්සාහය අත්හරින්න එපා. වැරදීමට ඇති එකමදේ පොලිෂ් සහ වතුර අනුපාතය හරියටම ගලපා ගැනීමයි. වැරදීම් කීපයකට පසු එය හරියයි. වතුර දැමීමට ගොස් සපත්තුව පෙඟී ගියොත්, පොලිෂ් කිරීම නවත්වා, සපත්තුව වේලාගෙන නැවත පටන්ගන්න.

 සිනිඳු බැනියම්, ටී ෂර්ට්, හෝ ප්ලැනල් රෙදි කැබැල්ලක්, ආදී ලෙස මාරු කරමින් බලන්න, කොයි එකද වඩාත් හොඳ ප්‍රතිඵල දෙන්නේ කියා. සපත්තුව මෙන්ම රෙදි කැබැල්ල හෝ පුළුන් ගුටියද උවමනාවට වඩා තෙත් වුනොත් නිවැරදි ප්‍රතිඵලය එන්නේ නැහැ. ඒ නිසයි මම අවධාරණය කරන්නේ ක්‍රමය වෙනස් කරමින් නැවත නැවතත් උත්සාහ කරන ලෙස. වරින්වර අලුතෙන් පොලිෂ් ස්වල්පයක් වතුර බින්දු කීපයක් එකතුකරමින් නොකඩවා දිගටම කරගෙන යන්න. එක්තරා අවස්ථාවකදී ඔබට පෙනෙන්නට පටන්ගන්නවා, ඔප වැටීගෙන එනහැටි. එවිට ඔබ කලයුත්තේ, ඒ අවස්ථාවට පෙර යෙදූ පොලිෂ් සහ ජලය මාත්‍රාව හොඳින් සිතේ තබාගෙන පොලිෂ් කිරීම ඉදිරියට කරගෙන යාමයි. ඔබ සපත්තුව මත යොදන පීඩනයද වෙනස් කර බැලිය යුතුයි. මැදීම ආරම්භ කරනවිට යොදන ලද පීඩනයට වඩා අඩු පීඩනයකුයි ඔප වැටීම ඇරඹෙන විට යෙදිය යුත්තේ.

වෝටර් පොලිෂ් කිරීමේ ක්‍රමය අල්ලාගත් පසු එය එතරම්ම අමාරු දෙයක් නොවන බව ඔබට වැටහෙනවා ඇති. කිසිදු හේතුවක් නිසාවත් වෝටර් පොලිෂ් කල මතුපිට අතින් අල්ලන්න එපා. ඇඟිලි සලකුණ වදිනවා. එවිට ඒ මත නැවත පුළුන් කැබැල්ලකින් සියුම්ව පිස දැමීමෙන් එවැනි සලකුණු ඉවත් කල හැකියි.

  අවසන් ප්‍රතිඵලය පෙනෙන්නේ මෙහෙමයි. පොලිෂ් කර අවසන්වූ පසු සපත්තු දෙක පාවිච්චියට ගන්නාතුරු, බර නැති, පොලිෂ් එක නොසීරෙන, රෙදි කඩකින් සපත්තු දෙක වසා තබන්න. පාවිච්චියට නොගන්නේනම් දින දෙක තුනක් වුනත් පොලිෂ් එක වෙනස් වන්නේ නැහැ. සපත්තුව හොඳින් පදම්වූ පසුව මේ වැඩේට ගතවන්නේ උපරිම වශයෙන් විනාඩි 15 ක් පමණයි.

මේ ලිපිය මා හිතුවාට වඩා හුඟක් දීර්ඝ වුනා. මේ ලිපියේ වචන 2662 ක් තිබෙනවා. සපත්තු ගැන තවත් බොහෝ කරුණු තිබෙනවා. ඒ කරුනුත් ඉතා වැදගත්. ඒවා වෙනම ලිපියකින් ඉදිරිපත් කරන්නම්. ඔබත් ඔබේ සපත්තු වෝටර් පොලිෂ් කර ලබාගත් ප්‍රතිඵලය, ප්‍රතිචාරයක් ලෙස දක්වන්න. කාන්තා පක්ෂයේ ආකර්ෂණය වැඩිවීම අත්දුටුවයි සත්තයි.

Comments on: "ඔයා සපත්තු පොලිෂ් කරන්නේ කොහොමද?" (81)

  1. ඔබතුමාගේ ලිපියට ස්තුතියි. ගොඩාක් වටිනා ලියවිල්ලක්. සපත්තු තෝරන විදියත් කියල දුන්නනම් වටිනවා. ඒ වගේම අද තමයි සපත්තුවේ දිව ඇරුනාම ඉතුරු කොටස් ගැන දැනගත්තෙත් අඩිය පොලිෂ් කරන එක දැනගත්තෙත්. මට කියල දුන්න කෙනා ඉටි මිශ්‍ර කරනවා පොලිෂ් එකට. ඊට පස්සේ ඔප දානවා. මේ වෝටර් පොලිෂ් වැඩේ දැන්ම පටන්ගන්න ඕනේ. මම ඉවර උනාම ආයේ කොමෙන්ට් කරන්නම්.

    • අගය කිරීම ගැන ස්තුතියි. තවත් ලිපියක් මග එනවා. සපත්තු තේරීම, සපත්තු දැමීම, ඇඳුමට, වයසට, තැනට, ගැලපීම නිවැරදිව ලේස් දැමීම ආදිය සහිතව.

    • ඔන්න පොලිෂ් කරා.. අප්පේ මේකේ දිස්නේ. දාන්න හිතෙන්නේ නෑ කොහෙවත් බස් වල පාගන හැටියට. මේක පෑගුවොත් නම් කන්න හිතෙයි පාගපු එකාව.

      බොහොමත්ම ස්තුතියි දැනුම බෙදාගත්තට, ඒ වගේම ලිපි සම්පාදනය කරන්න දරන මහන්සියට.

      • මට හරිම සතුටුයි. ඔබේ වචනවලම තියනවා සාර්ථක බව. මේක දාන්න හිතෙන්නේ නැහැ කියන්නේ වැඩේ ලස්සනට කෙරුණ නිසයි. බස් එකේදී වැඩිපුරම කකුල් පාගන්නේ නෝනලා. ඩිංගක් හිතන්නේ නැහැ අනික් . අය ගැන. දඩ හයි හීල්ස් දාගෙන ඇවිත් පාන්නේ. පොලිෂ් එක ඉවරයි. පරෙස්සමෙන් දාගෙන ගිහින් යාලුවන්ට පෙන්නලා බලන්න ප්‍රතිචාර.

        බොහොම ස්තුතියි ලිපිය අගය කිරීම ගැන.

  2. වෙනද වගේම දැනුම ගොඩක් ගන්න පුලුවන් පෝස්ට් එකක්…පොලිෂ් කලාට පස්සෙ නම් සපත්තුව සුපිරිම සුපිරියි…ගින්දර 😀 ඉස්කෝලෙ යන්න පටන් ගත්තම කරල බලන්න ඕන

  3. නියමයි. මාත් ට්‍රයි කරන්න ඕන. මේ ගැන පෝස්ට් එකක් ඉස්සර සයිබර්යායෙ දාල තිබුන. මේ විදියට පොලිෂ් කිරීමට ෆෝසස් වල කියන්නෙ “….දෙක පේන්න පොලිෂ් කරනව” කියල නේද?

    • ඒ දෙක පේන්න පොලිෂ් කරනවා කියන කතාවනම් අහලා නැහැ. සපත්තුවෙන් මූණ බලාගෙන රැවුල කපන්න පුළුවන් ගානට පොලිෂ් කරනවා කියලනම් අහලා තියනවා. කාලෙන් කාලෙට ඕවා වෙනස් වෙනවනේ.

  4. ඔන්න ඔක්කොම කියෙව්වා.. බොහොම ස්තුතියි ඉල්ලීම ඉටුකරාට..

    ලිපිය නම් සුපිරියි.. ආයෙ දෙකක් නෑ..

    වෝටර් පොලිශ් කර නොතිබුනත් සාමාන්‍ය ක්‍රමය මම බොහෝදුරට නිවැරදිව කරලා තියෙන බව දැනගන්නත් සතුටුයි.. වෝටර් පොලිශුත් කරලා බලමු.. මම ඉටිපන්දම අල්ලලා නම් සපත්තු රත්කරලා තියෙනවා… මම පොලිශ් වලට අමතරව සපත්තුවෙ ඉටිත් ගාලා තමයි රත් කළේ..

    දැන් නම් වෙළඳපොළේ ගොඩක් ජනප්‍රිය ලේස් නැති සපත්තු..

    සපත්තුවේ කොටස් ගැනත් දැන ගත්තා. මගේ සපත්තුවල vamp එක තමයි ඉක්මනට හානිවෙන්නෙ.. මට නිතරම දණ ගහන්න වෙන නිසා වෙන්න ඇති…

    “කාන්තා පක්ෂයේ ආකර්ෂණය වැඩිවීම අත්දුටුවයි සත්තයි.” 😉

    නැවත වරක ස්තුතියි!

    • අගය කිරීම පිළිබඳව ස්තුතියි. සපත්තු පොලිෂ් කලාට පසු ආලේප කරන වැක්ස් වර්ගයක් තිබෙනවා. ඒවා සොයාගැනීම ලංකාවෙදිනම් අපහසුයි.

  5. Ithamath hondata visthara karala thienawa. godak dewal igena gaththa. obata godaak sthuti.

  6. ගොඩදවසකින් සපත්තූ දැම්මෙ නැ. සපත්තූ දැම්මොත් ඉතින් වෙඩිමකට තමා. සපත්තූ දාන කාලේ මම පොලිෂ් කරලා තියන විදිහටිකක් විතර හරි වගේ. වතූරත් එක්ක කරන සෙල්ලම කරලා බලන්ඩ ඔන දවසක. එකට ඉතින් කවුරැහරි විහිං අමාරැවෙ වැටෙනකං ඉන්ඩ වෙනවා.

    • අමාරුවෙ වැටෙන්නෙ නෑ.. හරි යනවා

      පස්සෙ මතක්වුනේ මම කෑම්ප් එකේදි බූට් නම් ඔය විදිහට පොලිශ් කරලා තියෙනවා.. හැබැයි ඔච්චර කරුණු කාරණා දැනගනත් නෙමෙයි..

      වෝටර් පොලිශ් එකට වතුර නම් ගත්තෙ නෑ.. කෙළ ගහලා තමයි මැද්දෙ…

  7. සෑම දෙයක් ගැනම ඔබ තුමාට තියෙන දැනුම නම් විශිෂ්ටයි!

  8. ඔබතුමාගේ බ්ලොග් එක සෑහෙන කාලෙක ඉඳලා කියෙව්වත් හා හාපුරා කියලා ප්‍රතිචාරයක් දමන පළමුවෙනි වතාව තමා මේ. ඒ වාගේම පසුගිය ලිපි වලිනුත් විවිධ ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් මම සෑහෙන දැනුමක් ලබාගත්තු බව කියන්න සතුටුයි……….. 🙂

    ඇත්තටම නිවැරදිව සපත්තුවක් වෝටර් පොලිෂ් කරන විදිය ගැන පැහැදිලි විස්තරයක් විදියට දැක්කේ මේ ලිපිය තමා. මම නම් ඉස්සර කාලේ ඉඳන්ම සපත්තු මදින්න හරිම කම්මැලියි. පොලිෂ් ටින් එකයි අනෙක් ආම්පන්න ටිකයි මතක් වෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම සපත්තු දෙක පොලිෂ් කරගෙන යන්න ඕනෑවෙන අවස්ථාවක් ආවොතින් තමා.

  9. සපත්තු අඩිය පොලිෂ් කරන කතාව අළුත් පොයින්ට් එකක්,,,, ඇහුවමයි.
    අම්මප මම ට්‍රයි කරල බලනව. හැබැයි සපත්තු අඩිය පොලිෂ් කරනව ගෙදර මිනිස්සු දැක්කොත් මූට පිස්සු කියල හිතයිද මන්ද,,,,

    මම වතුර දාල කලකට ඉහතදී දවසක් ට්‍රයි කළා, හරි ගියේ නෑ. එක්කෝ මගේ ඉවසීම මදි කම, නැත්නම් බාල සපත්තු, එහෙමත් නැත්නම් වතුර:පොලිෂ් අනුපාතය වැරදියි. මෙච්චර වෙලා යන වැඩක් කියල කවුද අප්පේ දන්නෙ..
    ආ,,,,, ලිපිය අති විශිෂ්ඨයි සෑර්.

    • ඇත්තටම පොලිෂ් වලින් සපත්තුව ආවරණය වුනු තරමට සපත්තුවේ ආරක්ෂාව සහ කල් පැවැත්ම වැඩි වෙනවා. මම සපත්තු අඩිය පොලිෂ් කරද්දී ගෙදරට ආව අසල්වැසියෙක් පුදුමයට පත්වුනා එක දවසක්.

      කලින් වතාවේ වැරදුනාට කමක් නැහැ, දැන් නැවත උත්සාහ කර බලන්න වෝටර් පොලිෂ් කරන්න.

      ලිපිය අගය කිරීම පිළිබඳව බොහොම ස්තුතියි.

  10. මම නම් අර එපා කියලා තියෙන ක්ෂණික ක්‍රමයක් තමයි මතක ඇති කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ… ස්ප්‍රේ පොලිෂ් එකකින් සතියේ පළවෙනි දවස අල්ලනවා… ඉතුරු දවස් හතර පොලිෂ් වෙන්නේ එදාට දාන මේස් වලින් 😀

    ඔය පෙන්නලා තියෙන විදියට පොලිෂ් කරගෙන ඩාන්සින් ෆ්ලෝ එකකට වගේ ගියානම් සාස්තර කියන්න පුළුවන් 😉

    • ස්ප්‍රේ පොලිෂ් එක පතුරු ගැලවෙන අවස්ථා තියනවා කල් යනකොට. සපත්තුව මත හොරි හැදුනා වගේ වෙනවා. ඒ වෙලාවට පිරිසිදු ඇල්කොහොල් වලින් පිස දැමුවම සපත්තුවේ මතුපිට යථා තත්වයට එනවා.

      ඩාන්සින්ග් ෆ්ලෝ එකේදී සාස්තරේට කියන්නේ අද ඔයා ඇඳලා ඉන්නේ . . . කියලා නේද?

  11. අද උදේ මම අත්හදා බැලුව. 60%ට සාර්ථකයි. වරුර බින්දු ටිකක් දාල රෙදි කැබැල්ලෙන් අතුල්ලනකොට එකපාරටම තියන දිස්නයත් නැතුවුනා. මම හිතුව වැඩේ හරි කියල. ඒත් දිගටම කරගෙන යද්දි දිස්නය මතුවුනා.

    • මටත් ඔය වැඩේ කලින් කියන්න අමතක වුනා. මුලින්ම වතුර සහ පොලිෂ් මිශ්‍රණය මදිනකොට නිකම් කක්කා ගොඩක් වෙනවා. ඊට පස්සේ තමයි දිස්නය එන්න පටන් ගන්නේ. දැන් ඉතින් සාස්තරේ ඉගෙන ගත්තනේ. ඇත්තෙන්ම සතුටක්.

  12. අත්හදා බලලා ප්‍රතිපල කියන්නම්
    බොහොම වටිනා ලිපියක් ……

  13. ආයේ ඇඟිල්ලක් ගහන්ඩ දෙයක් නෑ.. සුපිරි එකේ උපරිමය.. ඉදිරිපත් කිරීමට ලකුණු 100%

    සපත්තුවේ මෙච්චර කෑලි තියනව කියලා දැන ගත්තෙ අදනේ.

    මම ඉතා කම්මැලි වැඩ දෙකකින් එකක් තමා ඕක. අනිත් එක ඇඳුම් මැදීම. ( ඇඳුම් මදින විදිහ ගැනත් ඔබ ලඟ විශේෂඥ උපදෙස් ඇති මයෙ හිතේ. )

    ඔබ කරන මේ මහඟු සේවයට මාගේ ආචාරය.

    ජයම පතමි !!!

    • අගය කිරීම පිළිබඳව අනෙක වාරයක් ස්තුතියි. හුඟ දෙනෙක් කම්මැලියි සපත්තු පොලිෂ් කරන්න. මමත් දැන් ටිකක් කම්මැලියි. වෝටර් පොලිෂ් කරන්නේනම් නැහැ. සාමාන්‍ය විදිහට පොලිෂ් කරනවා. ඇඳුම් මදින එකනම් තිතට කරනවා. ඉඩක් ලැබුනොත් ඒ ගැනත් ලියන්නම්. සමහරු හොඳ ඇඳුම් මදින්න ගිහින් සවුත්තු කරගන්නවා.

  14. සපත්තු පොලිෂ් කරන එක මෙච්චර අමාරුයි කියල මම දැනගෙන හිටියෙ නෑ නේ. 😀
    පොලිෂ් කරන්න වෙන ජාතියෙ සපත්තු දෙක නම් ඉතින් හදිස්සියෙන් තමයි දාන්නෙ. උත්සාහකරල බලන්න ඕන. ස්තූතියි උපදෙස්වලට.

    • ඇත්තටම සපත්තු පොලිෂ් කිරීම අමාරු නැහැ. අපි බොහෝ දෙනෙක් අද ගතකරන්නේ කලබලකාරී ජීවිත. ඉතින් ඒ ජීවන රටාව තුල එදිනෙදා කටයුතු සඳහා කෙටි කාලයකින් සූදානම් වීමේ ක්‍රම වලට තමයි අපි හුරුවී තිබෙන්නේ. ඉරිදා දවසක සපත්තු පොලිෂ් කරලා ෂර්ට් එකත් කලිසමත් හොඳට මැදලා සඳුදා ඇඳගෙන ගිහින් බලන්න ප්‍රතිචාර කොහොමද කියලා.

  15. විචාරක ගේ බ්ලොගයට අද තමයි මුල් ම වතාවට පිවිසුනේ. මගේ ලැයිස්තුවට දාගන්න ඕනි.

  16. වටිනා ලිපියක්…

  17. මම නම් සපත්තු වලට ආසම නෑ. මගේ කකුල් දෙකට සැහෙන දාඩිය දානවා. ටික කාලයක් යද්දී ගද ගහන්නත් ගන්නවා. ඒ නිසා මම සැහෙන සපත්තු ගලවන් ඉන්නේ.

    සපත්තු ගැන කිව්වමත්, බූට් වල චායාරුප දැක්කමයි කාලෙකට කලින් දැක්ක දෙයක් මතක් උනා. ඊට අදාල පින්තුර තුනක් පහල තියනවා.
    පළමු එක දකුණු පැත්තේ ඉන්නේ කෙනාගෙත්, දෙවැනි එකේ එදිරිපෙළ වමේ සිට දෙවනියටගේත්, තුන්වැන්නේ තුන්වැනියගේත්
    1.http://img187.imageshack.us/img187/9425/sergei2at4.jpg
    2.http://www.wargearweb.org/impressions/dshd/1583.jpg
    3.http://img163.imageshack.us/img163/9198/untitledaf5.jpg
    සපත්තු දිහා බලන්න ( මේ කිසිවක් සපත්තු වෙළද දැන්වීම් වලින් උපුටා ගත් ඒවා නොවේ 🙂 ).

    • මේ පින්තූර තුන අතර සම්බන්ධයක් නම් මටත් පෙනෙන්නේ නැහැ. 1 සහ 2 පින්තූර වල ඉන්න අය ගැන එතරම් විශේෂත්වයක් හිතන්නට බැහැ. ඔවුන් අවස්ථාවට හෝ ලැබෙන දෙයට හුරු වෙලා වගේ. තුන්වැනි පින්තූරයනම් ටිකක් වෙළඳ ප්‍රචාරයට බරයි වගේ.

      • අවස්ථා තුනේම අය දමාගෙන සිටින්නේ ක්‍රීඩා සපත්තු වර්ගයේ ඒවා. මේවා ඔවුන්ට ලැබෙන ඒවා නෙමේ ඔවුන් තෝරා ගත් ඒවා. තුන්වැන්න වෙළද දැන්වීමක් වගේ උනාට වෙළද දැන්වීමක් නෙමේ. ඇත්තම පුහුණු සැසියකදී ගත් ඒවා. මේවා පල කලේ සාමාන්යෙන් හමුදා නිලදාරීන් පැළදිය යුතු නිල ඇදුම පිට පැන ඇති අවස්ථා නිසා.
        ඔවුන් අතර සම්බන්දයක් තියෙනවනම් ඒ ඔවුන් ක්‍රීඩා සපත්තු පලදීම හා රුසියානු (දෙවැනි එකේ නම් සෝවියට්) විශේෂ හමුදා කණ්ඩායමක සාමාජිකයන් වීම පමණයි.

    • සපත්තු ගඳ ගහන්න පටන් ගන්නේ පයේ ජීවත්වෙන බක්ටිර්යාවක අධිවර්ධනය නිසා.
      මේක තමයි බේත

      ලංකාවේ නම් මේවා තියෙනවද දන්නේ නැහැ

  18. හරී අයියා කිව්වා වගේ මේක දැනගන්න තිබුණේ ඉස්කෝලේ යන කාලේ. දැන් ඉතින් කැම්පස් යන අපි දාන්නේ පටි සෙරෙප්පුනේ. ඒක නම් මම හැමදාටම වගේ දූවිලි පිහදාලා පොලිෂ් කරනවා. බලමුකෝ ළඟදීම රැස් විහිදෙන සමනළී හමුවෙයිනේ 🙂

    මොනවා වුණත් මේ විස්තරෙත් වැදගත් බලමුකෝ ඉස්සරහට වැඩක් ගන්න

    • කැම්පස් එකේදී මගේ ලොකු දුවත් චීත්ත ගවුම් සහ රබර් සෙරෙප්පු දාලා තිබුනා (තවත් එකක් අඳින්නෙත් නැතුව ගියේ කියලා අම්මට විතරක් කියලා තිබුනා) ජ්‍යෙෂ්ඨ උත්තමාවියන්ගේ අණ පරිදි.

  19. මාත් සතියකට වතාවක් උඩින්පල්ලෙන් පොලිෂ් කරනව මිස ඒක උනන්දුවෙන කරල නෑ කවදාවත්. ඉස්සර අපේ තාත්තත් සල්ලි නැති කාලෙ කලේ කෙල පොලිෂ්. වෝටර් පොලිෂ් එකක් කළොත් මම නොට්ටිගෙ පුතා වෙයිද?

  20. මේක සිරා නෙ, අපේ ඉස්කෝලෙ කැඩෙටින් කරපු එවුන් එහෙනම් මෙහෙමය් පොලිෂ් කරල තියෙන්නෙ.

  21. දැන් තියෙන ගොඩක් සපත්තු මාස 6කට වඩා දාන්න බැහැ නිකන්ම සවුත්තු වෙනවා ඒකට තව පොලිෂුත් ගාලා සල්ලි නාස්ති කරන එක අපරාදේ . මන් නම් හිතන්නේ ලංකාව වගේ රස්නේ රටකට සෙරෙප්පු තමා වැඩිය හරියන්නේ කියලා

    • මා දන්නා යතාර්ථය නම් මෙයයි. ලෝකයේ කොහෙවත් නැහැ දිනපතාම දැමිය හැකි, ගොඩක් කල් පවතින සපත්තු. එකම කලිසම හෝ එකම කමිසය වුනත් දිනපතාම ඇන්දොත් ඉක්මනින් වියැකී යනවනේ. සපත්තු සහ බෙල්ට් වුනත් එහෙම තමයි. නමුත් අපි පුරුදුවී සිටින්නේ (බොහෝවිට අපේ ආර්ථික ශක්තිය අනුව) එක සපත්තු කුට්ටමක් සහ එක ඉන පටියකටයි. සමහරුන්ට යට ඇඳුම් තිබෙන්නේත් තුනක් හතරක් පමණයි. ඒ ගැනත් පසුව ලියන්නම්. ලංකාවේ මිලදී ගන්නට ඇති සපත්තු සෙරෙප්පු වලින් 70% ක් පමණ බාල බඩු. මගේ ලිපියේ දක්වා ඇති පින්තූරයක් තිබෙනවා දැන් කාලයේ ජනප්‍රිය ලේස් නැති සපත්තුවක්. බලන්න එහි අඩිය කොච්චර ගනකමින් අඩුද කියා. ඉතින් දිනපතා දැම්මම ඉක්මනින් ගෙවීයන එක අහන්නත් දෙයක්ද.

      අපේ රටට වඩාත් හොඳින් ගැලපෙන්නේ කකුල ආවරනයවී තිබෙන එහෙත් හොඳින් වාතාශ්‍රයද ලැබෙන සැන්ඩ්ල්ස්.

  22. ඔබතුමාගේ ලිපියට ස්තුතියි. ගොඩාක් වටිනා ලියවිල්ලක්. අදම වැඩේට බහින්න ඕන. මම පාවිච්චි කරන්නේ කඩිනමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද්‍රව පොලිෂ්. අදම පොලිෂ් ටින් එකකුයි බුරුසුවකුයි අරන් වැඩේට බහිනවා. ආසයි කරලා බලන්න

  23. බරිස් ප්ල වොයි ගේ -සැබෑ මිනිසකුගේ කථාවක්- හි තියෙනවා රුසියන් හමුදා‍වෙ ස්නයිපර් කෙනෙක් ගැන ජර්මන් නිලධාරින් විශාල ගණනකට වග කිවි හැටි ඒවා ඇත්තද?

  24. මේකට නම් ඔයාට ස්තුති කරන්න වචන නෑ යාළුවා.

  25. ඔයා කියපු විදියට දනුය් සපත්තු පොලිෂ් කරන්නේ. ඉවර වෙලා කියන්නම් කූහොමද කියල. mail එකක් දැම්ම. බලන්න.

  26. ක්‍රමය අති සාර්තකය්. එත් එකට ගොඩක් වෙලාව ඕන කරන බව පේනවා. මම අයෙත් හෙටත් කරනවා. ඔබට ගොඩක් ස්තුති.

    • පළමුවැනි වතාවේදී පැයක්වත් ගතවෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ටික කලකින් සපත්තු දෙක පදම් (season) වෙනවා. ඊට පස්සේ විනාඩි 10 කින් වැඩේ කරන්න පුළුවන්.

  27. අදත් සපත්තු polish කළා. වැඩේ නම් සුපිරි. ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න. ලේස් polish කරන හැටි තවත් විස්තර කරන්න සුදෝ. බඳ පටිය polish කරන හෙටි තව ටිකක් විස්තර කරන්න. දැන් ඔබට වැටහෙනවා ඇති මම මේකට කොච්චර කැමති ද කියල. ඔබ මේ කරගෙන යන වැඩේට තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    • ලේස් පොලිෂ් කිරීම.
      1. අඟල් 4 x 4 ප්‍රමාණයේ මේස් බැනියම් කෑල්ලකට පොලිෂ් ටිකක් ගන්න.
      2. ලේස් එකේ එක කොනක් අතින් අල්ලාගෙන අර රෙදි කෑල්ල අනිත් අතින් ලේස් එකේ ඒ අල්ලාගත් කොනට තියා හොඳට පොලිෂ් ගාවෙනසේ පහලට ඇදගෙන යන්න.
      3. සම්පුර්ණ ලේස් එකේම පොලිෂ් ගෑවෙන තුරු නැවත කරන්න.
      4. පොලිෂ් ගාන ලද ලේස් එක, එක පැයක් වත් කාමරය තුල පවනේ වේලන්න.

      මම එච්චරම සුදු නෑ සුදෝ.

      බඳ පටිය නියම හම් එකක් නොවේනම් නිකම් දඟලලා වැඩක් නැත.

      1. දත් බුරුසුවකින් පොලිෂ් ගාන්න. (පටිය හොඳ වියලි තත්වයේ තිබිය යුතුයි)
      2. අව්වේ දමන්න එපා. එහෙත් දැඩි උණුසුම් සුළං එන තැනක වේලන්න. විනාඩි 20 ක් පමණ.
      3. සපත්තු බුරුසුවෙන් මදින්න.
      4. මේස් බැනියම් කෑල්ලකින් තදින් දෙපැත්තට පිසදමන්න

  28. විචාරක උන්නැහේ කියල දීපු පොලිෂ් කිරිල්ල කොච්චර සාර්ථකද කියනවනම්, මේ විදියට පොලිෂ් කරන් සරමක් ඇඳගෙන ගියානම් මම ලොකු අමාරුවක වැටෙනවා. 😀

  29. වැඩේ සෑහෙන්න සාර්ථකයි.පලවෙනි පාර වැඩේ කරගෙන යනකොට සෑහෙන්න වෙලාවක් ගියා.පස්සෙ වැඩේ අල්ල ගත්තහම එච්චර වෙලාවක් යන්නෙ නෑ .
    ස්තූතියි ඔබතුමාට …..
    (හැබැයි සපත්තුවෙ අඩිය පොලිෂ් කරනකොටනම් අපේ නංගි මං දිහා බලං හිටියෙ හරියට මීට අලින් දැකල නැති සතෙක් දිහා බලනව වගේ……
    😛 )

    • ලොකු සතුටක් දැනෙනවා නේද වැඩේ සාර්ථක වුනාම. ඒ වගේම බලන්නකෝ ප්‍රේක්ෂක (ප්‍රේක්ෂිකා? 😀 )ප්‍රතිචාර කොහොමද කියලා ඒ සපත්තුදෙක දාගෙන යනකොට.

  30. neat එකට කලිසම, ෂර්ට් එක මදි විදිහ විදිහ ගැනත් ඔබතුමාට post එකක් දාන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා……

  31. නිර්නාමික said:

    ඔය ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ඇඟිල්ලේන් ගාලා ඉටිපන්දම් දැල්ලට අල්ලනවා. දැල්ල අල්ලනවා කියන්නේ රස්නේ විතරක් වදින්න අල්ලන්නේ. ඊට පස්සේ ටිකක් වේලෙන්න තියලා පුළුන් කැල්ලක් අරගෙන යාන්තමට ගාගෙන රවුමට අතුල්ලන්න, පුළුන් කැල්ල වතුරෙන් පොඟවගන්නත් ඕනේ…..

    • මේ මූලික ක්‍රමයේ වෙනස් ක්‍රම කීපයක් තියනවා. මම ඉටිපන්දම ඇල්ලීම එකවරම නොකිව්වේ ආධුනික අය සපත්තු පුච්චා ගනියි කියලා හිතලා. විශේෂයෙන් සපත්තුව තෙමිලා හොඳින් වේලී නැත්නම් ඉටිපන්දම ඇල්ලීම සාර්ථකයි. සුදුසුයි. ඉටිපන්දම් පොලිෂ් එක සාමාන්‍ය ක්‍රමය තරම් කල්පවතින්නේ නැහැ. කල් යනකොට සපත්තුව මත කබොලක් වැනි පොලිෂ් තට්ටුවක් ඇතිවෙනවා.

  32. පොලිෂ් කරනවා කිව්වහමයි මතක් උනේ. හැබැයි පොලව.
    මම පාසල් ශිෂ්‍ය භට ඛණ්ඩයේ ඉන්න කාලේ රන්ටැඹේ ඇගයීම් කඳවුරේදී Billet Inspection කරලා ලකුණු දෙනවා. Inspection එකට කලින් දවසට ප්‍රයිවෙට් කොල්ලන්ට බරටම වැඩ සෙට් වෙනවා. භට නිවාස පරික්ෂාවට එන්නේ මේජර් වරියක්.
    පෙර දින රාත්‍රියේ එලි වෙනකන් අපි බිම පොලිෂ් කරනවා. ඇඳන් යට පොලිෂ් කරද්දී රෙදි කඩක් සහිතව කොල්ලන්ගේ එක අතක් වැඩ කරනවා. එත් කොල්ලෝ සමහරු නිදි. එකම තැන පොලිෂ් කරනවා. නම කියලා කතා කරදදී “කෝපල්…?” කියලා ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් පශ්චාත්භාගය සිපගන්නේ කොස්සේ මිට විසින්.
    සැරයන් හා කෝප්‍රල් වරුන් බිමේ කොයි තරම් දිස්නයක් බලාපොරොත්තු වෙනවාද කියලා කිව්වොත් අපිට කියන්නේ “කොල්ලනේ… හෙට billet inspection එකට එන්නේ මැඩම් ******* (මැඩම්ගේ නම). හෙට මැඩම් ආවම මැඩම්ගේ **යේ පාට මට පොලව දිහා බලල කියන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද?”
    අපිත් ඉතින් හැරෙන තැපෑලෙන් “පැහැදිලියි කෝපල්” කියනවා…

  33. අගනා ලිපියක් මහත්මයා… දැන් කාල වේලාව මද කමට දියර පොලිෂ් පාවෙච්චි කලාට පරන ක්‍රමේට සපත්තු පොලිෂ් කිරීම ඇත්තෙන්ම ආශ්වාද ජනකයි.

Thushara Dharmasena වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න