විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

හෙලිකොප්ටර් කතා


 පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකළ උතුම් සේවය කළගුණ දත් කිසිවකුටත් කිසි දිනක අමතක නොවනු ඇති. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැඩි ප්‍රහාර එල්ල කර, අපේ ගුවන් බලය වනසන්නට උත්සාහ කලත්, එය අසාර්ථක කරමින් ජය ගන්නට ගුවන් හමුදාවට හැකි වුනා. මේ කතා හුදෙක් ඕනෑම සන්නද්ධ සේවාවක සිදුවන සිද්ධීන් විනා කිසිවකුට හෝ පහර ගසන්නට පල කරන තොරතුරු නොවන බව මුලින්ම අවධාරණය කරනවා.

  ඒ යුද සමයේදී හෙලිකොප්ටර් යානා වලින් සිදුකල මෙහෙය වචනයෙන් විස්තර කල නොහැකි තරම්. ප්‍රහාරක හෙලිකොප්ටර් වලින් කල සේවයට නොදෙවැනි සේවාවක් ප්‍රවාහන හෙලිකොප්ටර් වලින් සිදුකලා. මේ කතා 1980 දශකයේ සිදුවූ සිද්ධීන් කීපයක් සම්බන්ධවයි.

  පළමුවැනි කතාව මේකයි. එවකට මා සේවය කලේ නැගෙනහිර පළාතේ කඳවුරක. මේ කඳවුර ඒ පළාතේ යුද බලය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් ප්‍රධාන කඳවුරක්. ඒ නිසා නිතර යුද හමුදාවේ උසස් නිලධාරීන් මෙහි ආවා. සමහරවිට ඔවුන් ආවේ හෙලිකොප්ටර් යානා මගින්. මෙසේ එන නිලධාරීන්ට මෙන්ම ගුවන් නියමුවන්ට, ගුවන් භටයන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීම අපේ ගෙවල්වල ආගන්තුක සත්කාර කරන අකාරයටම හෝ ඊටත් වඩා හොඳට කෙරෙනවා. සාමාන්‍යයෙන් උදේ දවල් රාත්‍රී කෑම වෙලාවක තමන්ගේ කඳවුරට අයිති නැති කෙනෙක් ආවොත් ත්‍රිවිධ හමුදාවේ කිසිම කඳවුරකින් කවදාවත් ඔහුව බඩගින්නේ යවන්නේ නැහැ. ඉතින් අපේ කඳවුරට නිතර හෙලිකොප්ටර් එන නිසා, අපි ඒ යානාවල නියමුවන්ව හොඳින් හඳුනනවා. ඔවුන් අප සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, අත්දැකීම් මෙන්ම වැදගත් යුද තොරතුරුද හුවමාරු කරගන්නවා. නමුත් නිතර එන එක්තරා නියමුවෙක්, කිසි දිනක අපේ නිලධාරි නිවස්නය වෙත නොපැමිණ, හෙලිකොප්ටර්යානය නැවැත්වූ පසු එයින් බැස යානය අසලම සිටීම හෝ යානයේ පසුපස අසුනට වී පුවත් පතක් බලමින්, ඔහු ගෙන ආ සුළු ආහාරයක් කමින් සිසිල් බීම බොමින්, සිටින්නට පුරුදුවී සිටියා. එමෙන්ම ඔහු අපව එතරම් ගණන් ගන්නේ නැති බවත් පෙනීගියා. ඇත්තටම ඔහුට අප සමග කිසිදු රාජකාරි ගනුදෙනුවක් නැහැ. නමුත් ඔහුගේ සහායක නියමුවා අපවෙත පැමිණ ‘කොහොමද මචං’ කියා සතුටු සාමීචියේ යෙදෙන්නට පුරුදුවී සිටියා. ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිල අනුව සලකා බැලුවත්, අර නියමුවාට වඩා ජ්‍යෙෂ්ඨ නිලවල නිලධාරින් අපේ කඳවුරේ සිටියා.

  හෙලිකොප්ටරයේ ආරක්ෂාව පිළිබඳව සිතා ඔහු එහි රැඳී සිටිනවායැයි සිතන්නට බැරි, හෙලිකොප්ටරය පැමිණෙන බව දැන්වූ මොහොතේ පටන්, යුද සෙබළුන් 25 කින් පමණ යුත් දැඩි ආරක්ෂක වළල්ලක් හා සන්නද්ධ රථයක ආරක්ෂාව යොදවන නිසයි. වරක් ඔහු මෙසේ රැඳී සිටිනවිට, අපේ කඳවුරේ නිලධාරි නිවස්නයේ වේටර් වරයකු අත, ඔහුට සුළු කෑම වර්ග කීපයක් සමග තේ බඳුනක් යැව්වා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුනේ කාරුණිකව නෙවෙයි. ‘මම තේ ඉල්ලුවේ නැහැ’ යනුවෙන්. අපේ උසස් නිලධාරියකුගේ සිත මේ සිද්ධිය නිසා ටිකක් රිදුනා. ඒ පිළිබඳව එදා රාත්‍රී ආහාර ගනිද්දීද සඳහන් වුනා. මගේ කණ්ඩායම් භාර නිලධාරි වරයාද (Company Commander) මෙය අසා සිටියා. ඔහු තරමක් අමුතු දේවල් කරන්නෙක්. ඊට දින කීපයකට පසු, නැවතත් අර නියමුවා, සිය හෙලිකොප්ටරයෙන් උසස් නිලධාරියකු රැගෙන අපේ කඳවුරට ආවා. එදත් ඔහු සුපුරුදු විදිහට හෙලිකොප්ටරයේ රැඳී සිටියා. මගේ කණ්ඩායම් භාර නිලධාරියා ආරක්ෂක මුරයට කිව්වා වෙනදාට වඩා ටිකක් හෙලිකොප්ටරයට ලංවී සිටින ලෙස. ඉන්පසු ඔහු මෑතකදී සේවයට පැමිණි වේටර් වරයකුට කතාකලා. ඒ වේටර් වරයා හමුදාවක ඇති නිලතල ගැන එතරම් අවබෝධයක් ඇති පුද්ගලයෙක් නෙවෙයි. (ඔහු සොල්දාදුවකු නොව සාමාන්‍ය සිවිල් පුද්ගලයෙක්. විවිධ රාජකාරි සඳහා සිවිල් පුද්ගලයන් බඳවාගෙන සේවයේ යොදවනවා. උතුරු නැගෙනහිර සේවය කල ඔවුන්ගෙන් සමහරෙකුට, ත්‍රිවිධ හමුදාවට පිරිනමන පදක්කම්ද හිමිව තිබෙනවා) මගේ කණ්ඩායම් භාර නිලධාරියා අර වේටර් වරයාට කිව්වා ‘ඒයි, අර හෙලිකොප්ටරේ ඩ්‍රයිවර් මහත්තයට තේ බොන්න එන්න කියනවා’ කියා. වේටර් වරයා දෙවරක් නොසිතා හෙලිකොප්ටරය අසලට ගියා. ‘අපේ සර් කිව්වා ඩැයිවර් මහත්තයට තේ බොන්ඩ එන්ඩ කියලා’ කියා පණිවිඩය කිව්වා. හෙලිකොප්ටරය අසල සිටි අපේ සොල්දාදුවන්ට ‘බකස්’ ගා සිනා ගියා. අර නියමුවා වේටරයා දවා අළු කරන්නට තරම් රවා බලා, ගස්සා අහක බලාගත්තා.

  දෙවැනි කතාව යුද හමුදා නිලධාරියකුගේ ‘අතිශයින් ත්‍රාසජනක’ හෙලිකොප්ටර් අත්දැකීමක්. ඒ කාලයේ නොයෙකුත් රාජකාරි සඳහා යුද හමුදා නිලධාරීන්ට හෙලිකොප්ටර් මගින් එහා මෙහා යන්නට සිදුවෙනවා. (ඔබ පින්තූරවල දැක ඇති හෙලිකොප්ටර්වල දෙපස දොරවල් ගලවා ඉක්මනින් නැගීමට බැසීමට හැකිවන අයුරු සකසා ඇති හැටි. වරක් එවැනි හෙලිකොප්ටරයක බඳේ කෙලින් අතට ඇති යකඩ පොල්ලක මාව හොඳින් ගැට ගසනු ලැබුවා. ඒ විදිහට සිටිමින් මම මන්නාරමේ සිට වවුනියාව දක්වා යුදහමුදා බංකර් පේලිය වීඩියෝ ගත කළා. එය ත්‍රාසජනක අත්දැකීමක් වුනා) හැබැයි මේ කියන්න යන්නේ ඒ කතාව නෙවෙයි. මෙසේ නිතර ගමන් කිරීම නිසා හෙලිකොප්ටරයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ අතිශයින් මූලික දැනුමක් අපටත් ලැබෙනවා. ගුවන්ගතවීමට පෙර යානය පරීක්ෂා කිරීම, යානය ගුවනට එසවීමටනම් යානයේ කැරකෙන පෙතිවල වේගය කොපමණ මට්ටමක තිබිය යුතුද ආදිය බලන හැටි සහ යානය ඔසවන හරවන ලීවර ක්‍රියාත්මක වන ආකාරය පවා අපටත් හොඳින් නිරීක්ෂණය වෙනවා. මේ විදිහට නිතර හෙලිකොප්ටරවල යන එක්තරා යුදහමුදා නිලධාරියෙක් වරක් රාජකාරි ගමනක් සඳහා හෙලිකොප්ටරයකට නැගුනා. එහි නියමුවා වුයේ ඔහු හොඳින් හඳුනන තමන්ගේ නිලයට සමාන නිලයක නියමුවෙක්. නියමුවා යානය පරීක්ෂා කිරීමට සෑහෙන වෙලාවක් ගන්නා බව අපේ නිලධාරියාට පෙනුනා. අපේ නිලධාරියට ටිකක් කේන්ති ගියා. ඔහු නියමුවාට මෙහෙම කිව්වා. ‘මොකක්දබන් උඹ හිතුවද ඔය වැඩේ මහා ලොකු කජ්ජක් කියලා, අපිත් දන්නවනේ, මේක මෙහෙම කරා, මේක බැලුවා, මෙතන මෙන්න මෙහෙම. . . . . . . .’ ආදී වශයෙන් හෙලිකොප්ටර් පැදවීම ගැන මහා විස්තරයක් කළා. නියමුවා කිව්වා, ‘මචං මම අදනේ දන්නේ උඹට වැඩේ පුළුවන් කියලා. උඹ කැමතිද පොඩ්ඩක් එළවලා බලන්න’ කියලා අපේ නිලධාරියා නියමුවාට ‘උම්මා එකක්’ දෙන තරම් සතුටෙන් හා කිව්වා. නියමුවා කිව්වා ‘එහෙනම් වරෙන් සහාය නියමු ආසනේට’ කියලා. අපේ වීරයා ඒ ආසනයේ වාඩිවුණා. ඔන්න දැන් නියමුවා අපේ වීරයාට එකින් එක කියා දෙමින් යානය අපේ වීරයා ලවාම පණගැන්වුවා. ‘මචං පරිස්සමෙන් පරිස්සමෙන්’ යන්න දහස් වරක් කියමින් ‘දැන් ටිකක් බලපන් ප්‍රධාන අවරපෙත්තේ වේගය මෙච්චරක් වෙන්න ඕනේ’ ආදී වශයෙන් උපදෙස් දුන්නා. ‘මචං දැන් හෙමින් ඔය ලිවර් එක උස්සපන්’ නියමුවා කිව්වා. අපේ වීරයා එහෙම කලවිට යානය පොළොවේ සිට අඩි 10 ක් පමණ ඉහලට එසවුනා. දැන් ත්‍රාසය නිසා අපේ වීරයාගේ දෙකනින් දාඩිය වැගිරෙනවා. හෘදය වස්තුව උගුරට ඇවිත් වගේ. ‘හරි මචං උඹ නියමයි, දැන් ඔය කන්ට්‍රෝල් ලිවර් එකෙන් මෙහෙම අල්ලලා මෙහෙම කරපන්, එතකොට ඉස්සරහට යනවා’ නියමුවා උපදෙස් දුන්නා. දැන් යානය ගුවන් පථයට උඩින් සෙමෙන් ඉදිරියට ඇදෙනවා. අපේ වීරයා දිව්‍යලෝක ත්‍රාසයක් විඳිනවා. නියමුවා කිව්වා ‘මචං දැන් ඇති නේද, කවුරු හරි දැක්කොත් මගේ ජොබ් එකත් ඉවරයි. දැන් මම උඹට කියලා දෙන්නම් ලෑන්ඩ් කරන හැටි’ කියලා ඒ ටිකත් කියා දෙමින් යානය බිමට පහත් කළා. අපේ වීරයා දැන් ගුවන් නියමු පදවිය ලබලා ඉවරයි. යානය බිමට පහත්කල පසු නියමුවා අපේ වීරයාගෙන් ඇහුවා ‘මචං උඹ දන්නවාද මේ ලිවර් එක මොකක්ද කියලා’ අපේ වීරයාට තේරුනා පාඩම තවම ඉවර නැතිබව. ‘අනේ දන්නේ නැහැ මචං’ ඔහු කිව්වා. ‘මචං මතක තියාගනින් මේ ලිවර් එක මේ පැත්තට දැම්මොත් යානය පදවන්නේ නියමුවා. මේ පැත්තට දැම්මොත් පදවන්නේ සහායක නියමුවා. දැන් උඹට පෙනෙනවානේ, මේ ලිවර් එක තියෙන්නේ මගේ පැත්තට දාලා. ඒ කියන්නේ යානය පැදෙව්වේ උඹ නෙවෙයි මම. මචං එකක් මතක තියාගනින්, බලා ඉඳලා හෙලිකොප්ටර් එලවන්න පුලුවන්නම් නියමුවන් කිලෝගානට හදන්න පුළුවන්. එක තමයි ඇත්ත තත්වය’ කිව්වා. අපේ වීරයාට කට උත්තර නැතිවුනා.

Advertisements

Comments on: "හෙලිකොප්ටර් කතා" (35)

  1. වීරය වීරය කියල අන්තිමට කරපු වැඩේ… මොනා වුනත් නියමුවට ගිය පුද්ගලය ඔලුව අද ගාල දීල තියෙන්නෙ…

    /*හර්දය වස්තුව උගුරට ඇවිත් වගේ*/ කියල එහෙම ලියන්න පුළුවන් වුනේ මේ වීරය විචාරක මයා මද?..

    • අනේ මම නෙවෙයි. සිද්ධියට මුහුණ දුන් අපේ වීරයාමයි දවසක් ලැජ්ජාවෙන් මේක මාත් එක්ක කිව්වේ. එයා ගැන ඊට වඩා යමක් කියන්න අමාරුයි. මගේ කතා තියනවා ඉදිරියේදී ලියන්නම්.

  2. හේ හේ කතා දෙකම නියමයි… දෙවනි කතාව කියෙව්වම මට මතක් වුණෙ මොකක් හරි ෆිල්ම් එකක තිබුණ සිද්ධියක්… එක්තරා හමුදා කල්ලියකට තමන්ට අහුවුණු හතුරු හිරකාරයෙකුගෙන් විස්තර ටිකක් දැනගන්න ඕනේ වෙනවා… උන් කරන්නේ මේ හිරකාරයගේ ඇස් බැඳලා හෙලිකොප්ටරේකට දාගෙන උඩට ගෙනියන එකයි… ඊට පස්සේ විස්තර කිව්වේ නැත්තම් පයින් ගහලා පහළට දානවා කියලා බය කරනවා… හිරකාරයා බයට විස්තර සේරම කියනවා…

    විස්තර ටික දැනගත්තට පස්සේ කරදරයක් නොකර හිරකාරයාව ආපහු එක්කන් යන්න ඕනේ වුණත් හෙලිකොප්ටරේ ඉන්න හමුදාකාරයෝ කරන්නේ ඔහු නොහිතපු විදියට අර කිව්ව විදියටම එලියට විසිවෙන්න පයින් ගහන එකයි… ඔහු කෑ ගහගෙන බිමට වැටෙනවා… බැලින්නම් හෙලිකොප්ටරේ තිබිලා තියෙන්නේ පොළවට අඩි කීපයක් උඩින්…

    • හෙලිකොප්ටරය පොළොවට ටිකක් ඉහලින් තිබියදී ඉන් බිමට පැන සටනට පිවිසෙන්න, ගුවන් ජංගම බලකායේ සෙබළුන්ට විශේෂ පුහුණුවක් දෙනවා.

      • හෙලිකොප්ටරයකින් බිමට බහින සෙබළුන්ට බිමට බැස කිසියම් සුළු කාලයක් යනතුරු භූමියේ ඉන්න සතුරෙක් වෙඩි නොතැබිය යුතු බවට පිළිගත් යුඬ සම්ප්‍රදායක් තියෙන බව මම අහලා තියෙනවා… ඒක ඇත්තක්ද? ඇත්තටම එහෙම සම්ප්‍රදායන් තියෙනවනම් ඒවා මොනවාද..? යුද්ඬයකදී ඇත්තටම ඒවා කෙතරම් දුරට පිළිපදිනවද..? පුළුවන්නම් ලිපියක්ම ලියනවද? 🙂

        • පැරෂූට් එකකින් බිමට බසින සෙබළකු පොළොවට පය තබා තත්පර තුනක් යනතුරු වෙඩි නොතැබිය යුතු බවට එක්සත් ජාතීන්ගේ යුද ප්‍රඥප්ති වල තිබෙනවා. නමුත් ත්‍රස්තවාදීන් ඒවා සලකන්නේ නැහැ. එල්.ටී.ටී.ඊය ඒ කාලේ ඉන්දියන් හමුදාවටත් එහෙම පහර දුන්නා.

      • මේ කියන්නේ ගුවන් සංක්‍රමික බලසේනාව කියන එකටද?
        මේ පුහුණුවට සම්පුර්ණ කල අය පළදින ලාංඡනය (patch එක තම මම හිතන්නේ භාවිතා වෙන නම) ගැන විස්තර කියන්න පුලුවන්ද?

      • අපේ හමුදාව හෙලිකොප්ටර් වලින් ගිහින් කරපු මෙහෙයුම් නම් තියෙනවනේ. පැරෂුට් වලින් බැස කරපු ඒවා තියෙනවද?

        • මන්නාරම ප්‍රදේශයේ සහ මඩකලපුව ආශ්‍රිතව කළා. ඒවා ගැන විස්තර කියන්න බැරි මම තවමත් හමුදා නීතියට යටත් නිසා.

    • Gods must be crazy
      😀

  3. සුපිරි කතාවක් තියෙන්නේ අදත්…. කියලා වැඩක් නෑ

  4. “හර්දය වස්තුව උගුරට ඇවිත් වගේ” නියම කියමනක්..

    පළවෙනි කථාවෙ නම් අර සෙබළු ඉස්සරහා නිලධාරියාව හොඳටම සවුත්තු කරලා දාලා.. මොකෝ හැබෑටම ඒ නිලධාරියා කඳවුරට ආවෙ නැත්තෙ? ආඩම්බරකම කියලා හිතුවත් වෙන කඳවුරකින් කනවා කියන එක පහත් දෙයක් නෙමෙයිනෙ.. වෙන මොකක් හෝ හේතුවක් තිබුනා වෙන්නත් පුලුවන්..

    දෙවෙනි කථාව නම් සුපිරියි.. චිත්‍රපට ජවනිකාවක් වගේ.. අර මනුස්සයට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.. නියමුවාත් හොඳ මොළේ කල්පනාව තියෙන පුද්ගලයෙක්.. බොරුවට කියෝගන්නෙ නැතුව උදාහරණයකින්ම පෙන්නපු එක නියමයි.. අර නිලධාරියා නියමුවත් එක්ක ආයෙ ගමන් ගියාද?

    • ඒක ඉංග්‍රීසි කියමනක් මගේ හිතට ආව විදිහට කල පරිවර්තනයක්. ඉංග්‍රීසියෙන් තියෙන්නේ ‘Heart in the mouth’ කියලා. ඒ කියන්නේ අපි කියන විදිහට ‘පපුව කූල් වුනා, බඩ පපුව දාලා ගියා’ වගේ කියමනක්.

      පළමුවැනි කතාවේ නියමුවාටනම් තිබුනේ උගත් කම නිසා ඇතිවන ‘මස්තිෂ්ක ප්‍රදාහය’ (මොලය ඉදිමීම)

      දෙවැනි කතාවේ නිලධාරියා ඊටපස්සේ ඒ නියමුවා එක්ක ගමන් කළාදැයි මම දන්නේ නැහැ.

  5. මරු කතා දෙක… මරු මරු රසවත් සිද්දි වෙලා තියනවා නේද යුද්ධෙ කරන අස්සෙත්…

    හෙලිකොප්ටර් නියමුවනම් මාරම මීටරයක්… තමන් කරන දේ විතරක් අමාරුයි, ලොකුයි අනිත් උන් කරන දේවල් මහ සුළු වැඩ කියලා හිතන අයට, මිනිහා දීලා තියනවා රිදෙන්ඩ.

    • කියාගන්න බැරි මරු මරු කතා දහස් ගණනක් තියනවා සෙන්නා. ඒවා ප්‍රසිද්ධියේ කියන්න බැහැ. මැරෙන්න කලින් දිනක හමුවී කියමු. හරී, අකා, සහන්, බීට්ල්, වගේ කට්ටියත් එකතු කරගෙන.

  6. පළවෙනි කතාවට කියන්න තියෙන්නේ. මම බහුලව අහලා තියන කතාව සර් අනුමත කලා. ( ගූවන් හමුදා නිලධාරින් සහ සෙබලු ආඩර්‍මබර කාරයො. එක හමුදා ( නිලය නොකියමි ) නිලදාරියෙක් කියුවා උන් සන්ග්ලාස් නැතූව ටොයිලර්‍ට යන්නෙත් නැ කියලා. සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට හමුදා සෙබලු සමීප වෙන තරමට ගූවන් සෙබලෙක් වත් සමීප නැ.

    දෙවනි කතාව හැම තැනම තියන කතන්දරයක් ඔක්කොම ඉන්නේ දන්න පොරවල් . මම කරන්නේ මහන මෙෂින් හදන එකනේ .සමහරක් අය මට කෝල් කරලා කියනවා

    අපේ මෙෂින් එකේ අහවල් ‍එකට අහවල් එක වෙලා අහවල් එක කොරානර්‍ම හරි පොඩී වැඩක් තියෙන්නේ කියලා , මමත් හා කියලා නොයා ඉන්නවා.පස්සේ එයාම කතා කරලා අහනවා ඇයිනාවෙ කියලා

    මම කියනවා ඔයා ලෙඩෙත්දන්නවා ,කොරන්ඩ ඔන එකත් දන්නවා , වැඩෙත් පොඩියි ඉතින් මම මොකටද එන්නේ කියලා.
    පස්සේ ගිහිල්ලා බලන කොට අවුල තමයි මෙෂින් එකට නුල් හරියට නොදැමිම. හැම තැනම ඔය කතන්දරය තමයි.

    ** හරිගේ කමෙන්ට්‍ වල මම දැක්කා ඔයාව බලන්න එන්න බැ කියලා මටත් තියනවා ඔය ප්‍රශ්නය. මම හිතන්නේ ඔයාට වෙන තැන් වල තියන ලීන්ක් වල එන්න බැ. කේලින්ම බ්‍ලොග් එකට කනේක්ට්‍ වෙන්න අවුලක් නැ.මම හරියටම දන්නැ. පරණ බ්‍ලොග් කාරයො උදවු කරයි අපිට.

    • මේ අවුල ලිහාගන්න කවුරුහරි උදවු කරනවානම් ලොකු පිනක්.

    • පළවෙනි කතාවට කියන්න තියෙන්නේ. මම බහුලව අහලා තියන කතාව සර් අනුමත කලා. ( ගූවන් හමුදා නිලධාරින් සහ සෙබලු ආඩර්‍මබර කාරයො. එක හමුදා ( නිලය නොකියමි ) නිලදාරියෙක් කියුවා උන් සන්ග්ලාස් නැතූව ටොයිලර්‍ට යන්නෙත් නැ කියලා. සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට හමුදා සෙබලු සමීප වෙන තරමට ගූවන් සෙබලෙක් වත් සමීප නැ.

      දෙවනි කතාව හැම තැනම තියන කතන්දරයක් ඔක්කොම ඉන්නේ දන්න පොරවල් . මම කරන්නේ මහන මෙෂින් හදන එකනේ .සමහරක් අය මට කෝල් කරලා කියනවා

      අපේ මෙෂින් එකේ අහවල් ‍එකට අහවල් එක වෙලා අහවල් එක කොරානර්‍ම හරි පොඩී වැඩක් තියෙන්නේ කියලා , මමත් හා කියලා නොයා ඉන්නවා.පස්සේ එයාම කතා කරලා අහනවා ඇයිනාවෙ කියලා

      මම කියනවා ඔයා ලෙඩෙත්දන්නවා ,කොරන්ඩ ඔන එකත් දන්නවා , වැඩෙත් පොඩියි ඉතින් මම මොකටද එන්නේ කියලා.
      පස්සේ ගිහිල්ලා බලන කොට අවුල තමයි මෙෂින් එකට නුල් හරියට නොදැමිම. හැම තැනම ඔය කතන්දරය තමයි.

      ** හරිගේ කමෙන්ට්‍ වල මම දැක්කා ඔයාව බලන්න එන්න බැ කියලා මටත් තියනවා ඔය ප්‍රශ්නය. මම හිතන්නේ ඔයාට වෙන තැන් වල තියන ලීන්ක් වල එන්න බැ. කේලින්ම බ්‍ලොග් එකට කනේක්ට්‍ වෙන්න අවුලක් නැ.මම හරියටම දන්නැ. පරණ බ්‍ලොග් කාරයො උදවු කරයි අපිට.

      මම කතා කරන විදිහ පාවිර්‍චචි කරන වචන කියන දේවල් වැරදිනර්‍ම සමාවෙන්න

    • බොහොම ස්තුතියි මේ තොරතුරු වලට. මම දැනට මාසෙකට විතර ඉස්සර මේ හන්තාන මෘදුකාංග අඩවියට සබැඳුමක් දාගෙන තිබුනත් තවමත් ඒ පැත්තේ ගිහින් තොරතුරු බැලුවේ නැහැ. ඉක්මනින් බලන්නම්.

  7. පේන තරම් හිතන තරම් සමහර වැඩ ලේසි නැහැ කියන එක අපි කවුරු කවුරුත් හිතට ගන්න ඕනේ 🙂

  8. හෙලි නියමුවෝ ගැන කියද්දී මට මතක් වෙන එක නමක් තමයි කපිතාන් සාගර කොටකදෙනිය. අලිමංකඩ කඳවුරට ප්‍රහාර එල්ල කරන වෙලාවේ මුලින්ම තමන්ගේ හෙලිකොප්ටරේ කඳවුරට පහත් කරලා අවශ්‍ය සැපයුම් දුන්නේ මේ නිලධාරියා.

    • සාගර එක්ක මමත් මගේ සහෝදර නිලධාරියෙකුත් 1988 දී නියම ගමනක් ගියා. සාගරගේ ගේ උඩිනුත් ගියා. විස්තර ලියන්න බැහැ යම් යම් සීමා වලට යටත් නිසා.

  9. චමින්ද ජයනාත් said:

    රාත්‍රීකාලයේ කරන ලොව බිහිසුණුම ප්‍රහාරක පැරෂුට් පිමි ගැන විස්තරයක් කරනඩ පුලුවන්ඩ. අපේ රටෙක් එවැනි පුහුණුව ලැබූ සෙබලු සිටින බව අහල තියෙනව.

    • හොඳ අදහසක්. මම හිතන්නේ වෙනමම ලිපියක් ලියන්න වෙනවා. මම සටහන් කරගත්තා ඔබේ ඉලීම පසුව ලිපියක් පිවීම සඳහා. මේ දිනවල විවිධ කෙටුම්පත් 6 ක් සංස්කරණය වෙමින් පවතිනවා. මගේ මේ පරණ තඩි ඩෙස්ක්ටොප් පරිගණකය අධික විදුලියක් පරිභෝජනය කරන නිසා දැන් දවසකට පැය දෙක තුනකට වඩා ක්‍රියාකරවන්නේ නැහැ.

  10. ඉතාම වැදගත් පොස්ට් එක්ක විචාරක තුමණි .. ගොඩක් අය හිතන්නේ ( ඉහළම නිළයන් පවා ) දැම්මා , ගැහුවා , ෆෑන් එක ෆුල් ස්පීඩ් කරා , ගියා කියලා …

    මේ ප්‍රශ්නේ හොඳටම එන්නේ “ඉහළම නිළ” එක්ක රාජකාරි ගමන් යන නියමුවන්ට.. මේවා ගැන කියන එක නිළයන්ට , සේවයන්ට හරි නැහැ ..ඒ නිසා අද්දැකීම් ගැන කියන එක හරි නැහැ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: