විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


පසුගිය දිනවල මා පලකල ලිපි අතර තරමක් පාඨක අවධානය ලිපියක් වූ අපේ කාලයේ තුවක්කු   ලිපියේදී වායු රයිෆල් (Air Gun/Air Rifle) පිළිබඳව ‘හරීගේ’ සහ ‘උදාර’ ගේ අවධානය යොමුවී තිබුනා. ඉතින් මට හිතුනා වායු රයිෆල් පිළිබඳව ටිකක් කතා කරන්න. මොකද සෙන්නාත් මේවට කැමතියි. ඔන්න එහෙනම් කතන්දරේ පටන්ගන්නයි යන්නේ. මේ දිනවල වායු රයිෆල් පිළිබඳව අපේ රටේ විශාල අවධානයක් යොමුවී තිබෙනවා. එයට හේතුව තමයි බලපත්‍රයකින් තොරව වායු රයිෆලයක් පාවිච්චි කිරීමේ අවස්ථාව දැන් ශ්‍රීලාංකිකයන්ට ලැබී තිබීම. විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කර තිබෙන්නේ ගොවි ජනතාව සහ තම ගෙවතුවල වගා කර තිබෙන බවබෝග වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන අයයි. රිලවුන්, දඬු ලේනුන්, හාවුන්, විවිධ පක්ෂීන්, මේ වගාවන්ට කරන හානිය අපමණයි. හැබැයි මේ හැම සතෙකුවම වායු රයිෆලයෙන් වෙඩි තබා (එය වෙඩි තැබීමක්ද නැද්ද යන්න පසුව ඔබට වැටහෙයි) මරන්නට බැහැ. ඒ ඇයිද කියන එකත් ලිපිය කියවූ විට ඔබට අවබෝධ වනු ඇති. මා හිතනවා මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ වායු රයිෆලයක් යනු කුමක්ද කියන කාරණයයි. මේ සඳහා වායු රයිෆලය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන නිර්වචනයේ සිංහල පරිවර්තනයකුයි මගේ දැනීමේ ප්‍රමාණයෙන් මා ඔබවෙත ගෙන එන්නේ.

‘සම්පීඩිත වායුව මගින් හෝ වෙනත් විශේෂ සම්පීඩිත වායුවක අධාරයෙන්, යම් ප්‍රක්ෂිප්තයක් මුදා හරින තුවක්කුව හෝ රයිෆලය, වායු තුවක්කුව (රයිෆලය) නම් වේ’.

මේ තමයි ඒ පිලිබඳ තාක්ෂණික නිර්වචනය. නමුත් නෛතික කටයුතු වලදී මේ නිර්වචනය මීට වඩා වෙනස්විය හැකියි. එමෙන්ම සමහර රටවල් අදටත් වායු රයිෆලය ‘ගිනි අවියක්’ ලෙස සලකනවා. නමුත් වායු රයිෆලයේ, කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි කිරීමක් හෝ ගිනි බලය උපදවන පතරොමක් පාවිච්චි කරන්නේ නැහැ.

මීළඟට අපි වායු රයිෆලයේ ඉතිහාසය සොයා යමු. මෙහිදී අප විශ්මයට පත්කරන තොරතුරු හමු වෙනවා. අප සිතනවාට වඩා ඈත අතීතයේදී, මිනිසා, සම්පීඩිත වායු ගුණ (Pneumatics) දැන සිටි බව තහවුරු වන කරුණු අනාවරණයවී තිබෙනවා. ස්වීඩනයේ, ස්ටොක්හෝම් නුවර පිහිටි කෞතුකාගාරයක, ක්‍රි.ව. 1580 දී නිපදවූ කිසියම් ආකාරයක වායු තුවක්කුවක් තැන්පත්කර තිබෙනවා. වායු රයිෆලය තරමක් දුරට භාවිතය සඳහා යොදාගෙන තිබෙන්නේ 17 වැනි සියවසේදියි. ඒ කාලයේදී භාවිත කල වායු රයිෆල් සඳහා විශාල ටැංකියකට වායුව පොම්ප කර, එම ටැංකියේ වායු පීඩනය වැඩි කර ගැනීමෙන් තුවක්කුව සඳහා අවශ්‍ය වායු පීඩනය ලබා ගැනුනා.  මේ යුගයේදී නිපදවුණ සමහර වායු තුවක්කු විශාලත්වයෙන් හා බරෙන් වැඩිවූ අතර එහා මෙහා ගෙනයාමද පහසු නොවුයේ වායු ටැංකිද ගෙනයාමට සිදුවූ බැවින්. නමුත් එකල වායු තුවක්කු වලින් අගනා සේවයක් ඉටුවී තිබෙනවා. ඒ කාලයේ යුද කටයුතු සඳහා යොදා ගැනුනේ ‘මස්ල් ලෝඩර්ස්’ හෙවත් තුවක්කු කටෙන් වෙඩි බෙහෙත් පුරවා වෙඩි තබන තුවක්කුයි. ඔබට මතකද මා ඒ තුවක්කුගැන කිව්වා, අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටසේදී.    මස්ල් ලෝඩර්ස් තුවක්කු වැසි සහිත හෝ අධික තෙතමනය සහිත අවස්ථා වලදී පාවිච්චි කල නොහැකියි. එයට හේතුව වැස්සට තෙමුනොත් හෝ තෙතමනයට අසුවුනහොත් වෙඩි බෙහෙත් පත්තු නොවීමයි. එමෙන්ම මස්ල් ලෝඩර් තුවක්කුවෙන් වෙඩි තැබීමේදී, විශාල ගිනි එළියක් සහ දුමක් තුවක්කු කටෙන් පිටවන නිසා, සතුරාගේ නිරීක්ෂනයට පහසුවෙන්ම ලක් වෙනවා. නමුත් වායු තුවක්කුවේ ඒ එකම දුර්වලකමක් වත් නැහැ. ඕනෑම වැස්සක තෙතමනයක එය පාවිච්චි කලහැකියි. සතුරාට පෙනෙන ගිනි එළියක්, දුමක්, මෙන්ම කිසිදු හඬක්ද වායු තුවක්කුවෙන් ඇතිවන්නේ නැහැ. සමහර තුවක්කු තත්පරයකට මීටර් 200 – 300 පමණ ප්‍රවේගයකින් වෙඩි තැබීමට (මෙහිදී සිදුවන්නේ ඊයම් වැනි ලෝහ පෙලට් එකක් තුවක්කුවෙන් පිටවීමයි. එය සාමාන්‍ය තුවක්කුවකින් පිටවන ඊයම් මූනිස්සමක් මෙන් උණුවූ ස්වභාවයෙන් නොවෙයි පිටවන්නේ. මේ නිසා එය වෙඩි තැබීමක් නොව මුදා හැරීමක්.) හැකිවන පරිදි සකසා තිබුනා. එයින් සුප්‍රසිද්ධම තුවක්කුවක් වන්නේ Girandoni Military Repeating Air Rifle යනුවෙන් හඳුන්වන ලද තුවක්කුවයි.

කෙසේ වෙතත් සාමාන්‍ය තුවක්කු සහ රයිෆල් වැඩි දියුණු වූ වේගයෙන්ම වායු රයිෆල් වැඩි දියුණු වුනේ නැහැ. වායු රයිෆලයේ තාක්ෂණය සංකීර්ණ වීම සහ ප්‍රායෝගික අපහසුතා මෙන්ම වායු ටැංකි පුපුරායාම වැනි අනතුරු නිසා එය යුද කටයුතුවලින් ඈත්ව, ගෙවතු ආරක්ෂාව, ඉලක්කයට වෙඩි තැබීමේ තරග, යන ක්ෂේත්‍ර වලට අද සීමාවී තිබෙනවා. අද ඔලිම්පික් තරගවලදී පවා වායු රයිෆල් වෙඩි තැබීමේ තරග පැවැත්වෙනවා. ඒ සඳහා ඉතා සියුම් සහ අතිනවීන තාක්ෂණයෙන් යුත් වායු රයිෆල් තිබෙනවා. නමුත් ඒ පිලිබඳ විශේෂඥ පුහුණුවක් නැති කෙනෙක් ඒ රයිෆලයක් හෝ පිස්තෝලයක් ක්‍රියා කරවුවොත් එය ඉක්මනින්ම කැඩෙනවා. එවැනි රයිෆල් සහ පිස්තෝල එකක් රුපියල් ලක්ෂ කීපයක් වටිනවා. අපේ රටේදී ඒවා අලුත්වැඩියා කල නොහැකියි. එය නිපදවූ රටටම යැවිය යුතුයි, අලුත්වැඩියාව සඳහා. සාමාන්‍යයෙන් ජනප්‍රිය මෝස්‌තර නිපදවන්නේ ස්වීඩනයේ. මේ තිබෙන්නේ එවැනි මිල අධික, එමෙන්ම තරග සඳහා පමණක් භාවිත කරන වායු රයිෆලයක් සහ පිස්තෝලයක්. මේවා ලංකාවේ ආරක්ෂක හමුදාවල වෙඩි තැබීමේ තරග සහ බලයලත් රයිෆල් සමාජවල තරග කටයුතු සඳහා පාවිච්චි කරනවා. විදේශීය තරග වලටද නියෝජනයක් තිබෙනවා.

 වායු තුවක්කු වර්ගීකරනයේදී ප්‍රධාන වර්ග තුනක් සහ එයින් බෙදීයන උප වර්ග කීපයක් තිබෙනවා.

1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය

2. Pneumatic Type – නියුමැටික් වර්ගය

3. CO 2 Type – කාබන් ඩයොක්සයිඩ්  වර්ගය

අප, මේ මූලික වර්ග තුන මුලින්ම අධ්‍යයනය කර, ඉන්පසු උප වර්ග වලට යාම සුදුසු බවයි  මම හිතන්නේ.

1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය:- වඩාත් බහුලවම පාවිච්චි කරන, එමෙන්ම ජනප්‍රිය, ක්‍රියාකාරීත්වයෙන් සරල, වර්ගය මෙයයි. ශ්‍රී ලංකාවේ දැනට ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ලැබෙන්නේද මේ වර්ගය පමණයි. මෙන්න එහි පෙනුම.

මේ මෝස්තරය සාමාන්‍ය ව්‍යවහාරයේදී Barrel Break Model ‘බැරල් බ්රේක්’ මෝස්තරය කියා හඳුන්වනවා. එයට හේතුව වන්නේ මේ තුවක්කුවට පෙලට් එකක් ඇතුළු කිරීම සඳහා බැරලය තුවක්කුවට සවි වන තැනින් දෙකට නැවීමට (එවිට බැරලය කැඩුවා මෙන් පෙනෙයි) සිදුවන නිසයි. එසේ බැරලය නවා තිබෙන හැටි මේ පින්තූරයෙන් පෙනෙනවා.

බැරලය නැවීම ඔබ හිතන තරම් පහසු නැහැ. ඒ සඳහා සෑහෙන බලයක් යෙදවිය යුතුයි. තුවක්කුව වඩාත් දුරට වෙඩි තියන එකක්නම් බැරලය නැවීමට වඩාත් ශක්තියක්  යෙදවිය යුතුයි. දැන් අපි බලමු බැරලය නැව්වාම කොහොමද පෙනෙන්නේ කියලා. ඉහත දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ බැරලය නවීමෙන් පසු පෙලට් එක දමන ස්ථානයයි. ඔබට පෙනෙනවා නේද බැරලය නැවීමෙන් පසු දිස්වන අකාරය. බැරලය නැවීම සඳහා තුවක්කුව අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. අපට හිතෙන හිතෙන ආකාරයට එය කරන්නට බැහැ. නිවැරදි ක්‍රමය භාවිත නොකලොත් ඔබට අනවශ්‍ය වෙහෙසක් දැරීමට සිදුවන අතර තුවක්කුවට හානි වීමටද ඉඩ තිබෙනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ තුවක්කුව නැවීම සඳහා අල්ලාගන්නා නිවරැදි ක්‍රමයයි. තුවක්කු බැරලය නැවීමෙන් පසු වරකට එක පෙලට් එකක් පමණයි ඇතුළු කල හැක්කේ. සෑම පෙලට් එකක්ම වෙඩි තැබීමෙන් පසු බැරලය නවා අලුත් පෙලට් එකක් යෙදිය යුතුයි. මෙසේ සලකා බලන විට සාමාන්‍ය තුවක්කුවකට වඩා මේ තුවක්කුවක වෙඩි තැබීමේ වේගය ඉතා අඩු බව විශේෂයෙන් සඳහන් කලයුතුයි. ඒ වගේම මතක තබාගත යුතු දෙයක් තමයි, තුවක්කුවේ ප්‍රබල බව (වෙඩි තැබීමේ දුර) වැඩි වන, විට ස්ප්‍රින් එකේ තද බවද වැඩි වෙනවා. එයට හේතුව වැඩි වායු පීඩනයක් ලබාගැනීම සඳහා වඩාත් තද ස්ප්‍රින් එකක් යෙදීමයි.

මේ සමග ඇති පින්තූර දෙකෙන් පෙන්වන්නේ ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක ඇති ස්ප්‍රින් එක සහ පිස්ටන් එකයි. මේ පිස්ටන් එකෙන් තමයි පෙලට් එක විදීම සඳහා අවශ්‍ය වායු පීඩනය සකස්කර දෙන්නේ. ස්ප්‍රින් එක කරන්නේ එක වරම පිස්ටනය ඉදිරියට තෙරපීමයි. එය සිදුවන්නේ මෙහෙමයි. බැරලය නැවූ විට ස්ප්‍රින් එක ඇදී නවතිනවා. ට්‍රිගරය මිරිකූ විට ස්ප්‍රින් එක නිදහස් වෙනවා. එවිට ස්ප්‍රින් එකෙන් පිස්ටනය තෙරපා වායු පීඩනය සකස් කර දෙනවා.

කිසිදු වායු රයිෆලයකින් වෙඩි තැබීමේදී සාමාන්‍ය රයිෆලයකින් හෝ තුවක්කුවකින් වෙඩි තැබීමේදී නිකුත්වන පුපුරන හඬක් එන්නේ නැහැ. එයට හේතුව වන්නේ වායු රයිෆලයක හෝ පිස්තෝලයක කිසිම ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි නොකිරීමයි. වායු තුවක්කුවකින් ‘පොප්’ හෝ ‘ටස්’ වැනි හඬක් තමයි නිකුත් වෙන්නේ. බැරලයේ අග කන ළඟ තබා වෙඩි තැබුවත් එතරම් අපහසුවක් නැහැ. ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගයේ තුවක්කුවකට පෙලට් එකක් දමන ආකාරය මීළඟ පින්තූරයෙන් පෙනෙනවා.ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක් කැඩුනත් අලුත්වැඩියා කරගැනීම එතරම් අපහසු නැහැ. ඒ සඳහා සුදුසු ආයතන ලංකාවේ තිබෙනවා. ඒ වගේම ස්ප්‍රින් පිස්ටන් තුවක්කුවක් නිවැරදිව පාවිච්චි කරන්නේනම් කිසිදු ආබාධයකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කල හැකියි.

මීළඟට මා ඔබේ අවධානය යොමුකරවන්නේ නියුමැටික් වායු තුවක්කුවටයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ තුවක්කුවට සවිකළ වායු සිලින්ඩරයක් තුල වායු පීඩනය ඇතිකර ගැනීමෙන් වෙඩි තැබීමට අවශ්‍ය බලය ලබා ගැනීමයි. මෙහි දක්වා ඇති පින්තූරය ඔබට සංකීර්ණ නොවනු ඇතැයි සිතනවා. සියලු මූලික කොටස් පෙන්වා තිබෙනවා. දැන් ඔබ මගේ මීට පෙර ලිපි ගණනාවක් කියවා, තුවක්කු පිලිබඳ දැනුමක් ලබා සිටින නිසා, විශේෂයෙන් පෙන්වියයුතු කොටස් හැර, මීට පෙර කියාදී ඇති කොටස්, නැවත නැවතත් සඳහන් කරන්නේ නැහැ.

තුවක්කුවට අවශ්‍ය වායු පීඩනය ලබාගන්නේ බයිසිකල් පොම්පයක් මෙන් වායු ටැංකියට හුළං ගැසීමෙන්. එහිදී බයිසිකල් ටියුබ් එකේ ඇති වැල්ව් එක හා සමාන වෑල්ව් එකකින් සුළඟ ආපසු එන්නට නොදී හිර කර ගන්නවා. ට්‍රිගරය මිරිකන විට සුළං පීඩනයෙන් කොටසක් මුදා හරිනවා. පෙලට් කීපයක් එකවර දමාගතහැකි නිසා ටැංකියේ සුළං ඉවර වෙනතුරු වෙඩි තැබිය හැකියි. මේ ක්‍රමයේ තුවක්කු බොහෝදුරට පාවිච්චි කරන්නේ තරග වෙඩි තැබීම් සඳහායි.

  මම මුලින්ම ඔබට පෙන්වන්නේ නියුමැටික් රයිෆලයකට අතින් සුළං පොම්ප කරන ආකාරයයි. මෙහිදී රයිෆලයේම සවිකර ඇති ලීවරයක් ක්‍රියාකරවීම මගින් පොම්පය පුරවනවා. මේ ක්‍රමයේදී ගබඩාකර තබාගත හැකි සුළං ප්‍රමාණය සීමිතයි. ඒ නිසා වෙඩි තැබීම් තුන හතරකට වරක් නැවත වායුව පොම්ප කලයුතු වෙනවා. ඊළඟ පොම්ප කිරීමේ ක්‍රමය වන්නේ ඔබ හොඳට දන්නා පාගන බයිසිකල් පොම්පයකින් හෝ කකුලට පාගාගෙන ඉහල පහල යන ලීවරයෙන් සුළං ගසන පොම්පයයි. නමුත් මෙහිදී සුළං පීඩන මීටරයක් පාවිච්චි කලයුතුයි. සමහර රයිෆල් වල එය පොම්පයේ සවි කර තිබෙනවා. සමහර පොම්පවල සුළං පීඩන මීටරයක් තිබෙනවා. තුවක්කුවේ පොම්පයට හානි නොවන ලෙස සුළං පොම්ප කලයුතුයි.

මෙහි ඇති වෙනත් මෝස්තර ගැන පහත සඳහන් කරනවා. නමුත් ඒ සියල්ල ක්‍රියා කරන්නේ එකම න්‍යාය අනුවයි. සුළං පොම්ප කිරීමේ යාන්ත්‍රනය හෝ තුවක්කුවේ හැඩය වෙනස්වූවාට මූලික න්‍යාය වෙනස්වන්නේ නැහැ. සමහරවිට වාණිජ පරමාර්ථ මත ප්‍රචාරණයෙන් විවිධ අදහස් ඉදිරිපත් කලහැකියි.

මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ක්‍රියාකරන වායු රයිෆලයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තුවක්කුවට සවිකලහැකි, කාබන් ඩයොක්සයිඩ් වායුව පිරවූ, සිලින්ඩරයක් (කැනිස්ටරයක්) මගින් වෙඩි තැබීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගැනීමයි. මෙම වායු සිලින්ඩර අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා සෑම විටම සෙල්සියස් අංශක 49 ට අඩු උෂ්ණත්වයේ තබාගත යුතුයි. නැත්නම් ඒ සිලින්ඩර පුපුරනවා.

මේ තුවක්කු වර්ගය හේතු දෙකක් නිසා නියුමැටික් තුවක්කුවට වඩා වාසි දායකයි. 1. මෙය සරල ක්‍රමයක්. ඉතා සුළු දියර ප්‍රමාණයකින් විශාල වායු ප්‍රමාණයක් ලබාගත හැකියි. 2. වායු පීඩන මීටර් මගින් පීඩනය පරීක්ෂා කිරීමක් අවශ්‍යවන්නේ නැහැ. නියමිත් උෂ්ණත්ව පරාසය තුල තබාගන්නේනම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ තුවක්කුවේ ඇති වායු ටැංකිය පිරවිය හැකි ක්‍රම කීපයක් තිබෙනවා. දියේ කිමිදෙන විට හුස්ම ගැනීම සඳහා ගෙනයන වායු ටැංකියකින් මේ සිලින්ඩරය පුරවාගත හැකියි, තුවක්කුවට සවිකරන වර්ගයේ කලින් පිරවූ ටැංකියක් අපි ගෙදර ගෑස් ලිපේ සිලින්ඩරය මාරු කරනවා මෙන් මාරු කල හැකියි. තුවක්කුවෙන් වෙන් නොකළ හැකි ලෙස සකසා ඇති ටැංකි වලට බටයක් සවිකර ගෑස් ටැංකියකින් පුරවාගත හැකියි. මේ තුවක්කු වල නිෂ්පාදන වියදම, නියුමැටික් තුවක්කුවට සාපේක්ෂව අඩුයි, කාර්යක්ෂමතාව වැඩියි, තුවක්කුව එතරම් විශාල නැහැ. මේ නිසා වෙඩි තැබීමේ තරග වලදී බහුලව භාවිත කරනවා.

තුවක්කුවට අවශ්‍ය වායු ප්‍රමාණය ලබාගන්නේ වායු කැනිස්ටරය සහ තුවක්කුව අතර පීඩන පාලන වෑල්වයක් යෙදීමෙනුයි. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය මත එය ඇරීම වැසීම සිදුවෙනවා.

  කුඩා වායු කැනිස්ටර සහිත වායු පිස්තොලද නිපදවා තිබෙනවා. මේ තාක්ෂණය තවමත් දියුණු වෙමින් පවතින්නක්. ඒ නිසා අනාගතයේදී වඩාත් ජනප්‍රිය වීමේ ප්‍රවනතාව තිබෙන්නේ මේ වර්ගයේ තුවක්කු වලටයයි බොහෝ දුරට සිතිය හැකියි.

නියුමැටික් සහ කාබන් ඩයොක්සයිඩ් යන වර්ග දෙකේම තුවක්කුවල වරකට පෙලට් කීපයක් දියහැකි චේම්බර සකස්කර තිබෙනවා. ඒ නිසා කාලය ඉතිරි කරගනිමින් වෙඩි තැබීමට හැකි වෙනවා.

මීළඟට මා ඔබට පෙන්වන්නේ වායු තුවක්කුවල උප විශේෂයන්හි ඇති වෙනස්කම් කීපයක්.

මේ පිස්ටනය වායු පීඩනය වඩාත් හොඳින් පාලනය කිරීමට සමත්. ඉතා මෑතකදී නියුමැටික් තුවක්කු සඳහා නයිට්‍රජන් වායුව පිටවූ පිස්ටන් හඳුන්වාදී තිබෙනවා.

පර්යේෂණ මට්ටමේ පවතින තවත් වායු තුවක්කු වර්ග ඇතත්, මා මෙහිදී ඒ පිලිබඳ විස්තර නොකියන්නේ ලිපිය සංකීර්ණ වීමට ඉඩ ඇති බැවින්. මම දන්නවා දැන් ඔබ බලා ඉන්නේ මේ තුවක්කු වලට දමන පතරොම් ලැබෙනතුරු නේද? ඇත්තටම ඒවා පතරොම් නොවන බව මා මුලින්ම කිව්වා මතක ඇති. ඒවාට කියන්නේ ‘පෙලට්’ කියලයි අපි දැන් පෙලට් ගැන කරුණු දැනගනිමු.ලෝකය පුරා භාවිත කරන විවිධ වර්ගවල වායු තුවක්කු සඳහා එවැනිම විවිධාකාර පෙලට් වර්ග නිපදවනවා. සාමාන්‍යයෙන් පෙලට් නිපදවන්නේ ඊයම් වලින්. එහෙත් සමහර වායු තුවක්කු වල පෙලට් ඇතුළුකර නිසි පරිදි රඳවා තබාගැනීමට ඒවා කාන්දම් බලයෙන් රඳවා ගැනීමේ උපක්‍රමයක් තිබෙනවා. ඒ නිසා සමහර පෙලට් කාන්දම් බලයට හසුවන මිශ්‍ර ලෝහ වලින් සාදා තිබෙනවා.

හැඩය, බර, යොදාගන්නා කාර්යය, අනුව පෙලට් වර්ග කරනවා. එවැනි වර්ගකිරීම් මීළඟට දක්වනවා.

මේ පින්තූර වලින් ඔබට පෙලට් ගැන සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇති සිතනවා. ‘විවිධ පෙලට් වර්ග’ යනුවෙන් ඇති රූපයේ ‘බීබී’ යනුවෙන් රවුම් හැඩයෙන් දක්වා ඇත්තේ මා කලින් සඳහන් කල මිශ්‍ර ලෝහ පෙලට්.

වායු රයිෆල් යන්න අපේ රටේ විනෝදාංශයක් ලෙස අනාගතයේදී වර්ධනය වනු ඇති බව සිතිය හැකියි. එහෙත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. වායු රයිෆල් වෙඩි තැබීම කරන්නේ ක්‍රීඩාවක් පිණිස බවත්, එය යුද පුහුණුවක් නොවන බවත් අවධාරණය කරන්නට කැමතියි.

Comments on: "මොකක්ද මේ වායු රයිෆලය කියන්නේ" (49)

  1. සෑහෙන මහන්සි වෙලා ලියල තියෙනව… මොකද මේ පින්තූර අන්තර්ජාලයෙන් හොයාගත්ත විතරක් වෙන්න බෑ…

    හ්ම්… බලපත්‍ර ඕන කරන්නෙ නැත්තන් අරගත්තට කමක් නෑ නේද?.. සාමාන්‍යයෙන් මිල කීයක් විතර වෙනවද?…

    • බොහොම ස්තුතියි අගය කිරීම පිළිබඳව. පින්තූර සෙවීම වගේම ඒවා සංස්කරණය කරලා සිංහල වචන යෙදීම ඉතාම වෙහෙසකර ව්‍යායාමයක්.

      විනෝදය සඳහා ඉලක්ක පතක් සාදාගෙන වෙඩි තැබීමට ගන්න පුළුවන්. ලංකාවේදී මා දන්නා තරමින් රු 8000 සිට 15000 දක්වා මිල පරාසයක් යටතේ මිලදී ගත හැකියි. හැබැයි මේ දිනපතා බදු වැඩිවීම, රුපියල බාල්දුවීම මත, දැන් මොන තත්වයක් ඇද්දැයි කීම අපහසුයි. ඉරිදා ඉංග්‍රීසි පත්තර වල බලන්න. ඔබේ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් විමසන්න.

  2. හොඳ විස්තරයක්.. සියලුම කරුණු පැහැදිලි අලුතින් අහන්න දෙයක් නෑ..

    මේ ගැන තවත් ලිපියක් ලියවෙයි කියා හිතෙනවා.. සත්තු මරන්න බැරි මොකදැයි කිව්වෙත් නෑනෙ..

    මාත් ලොකුවුනාම ඕකක් ගන්න ඕනෙ..

    • සත්තු මරන්න නම් අඩු ගණනේ .22 පෙලට් දාන එකක් විය යුතුයි. නමුන් ඒවා ලංකාවේ ගන්න නැහැ.

      ලොකු වුනාම එකක් ගන්නවා කිව්වේ. . . . . . දැන් ඔයා කොච්චර ලොකුද?

      මේ ලිපිය ලියන්න ඉතාම ලොකු වෙහෙසක් දරා ලිපි 30 ක් පමණ කියවන්න වුනා. ඉතින් මේ විස්තරේ මදිද?

      • “මේ ලිපිය ලියන්න ඉතාම ලොකු වෙහෙසක් දරා ලිපි 30 ක් පමණ කියවන්න වුනා. ” අපොයි එහෙනම් ඕනෙ නෑ.. මම හිතුවා කලින් තුවක්කුවල වගේ වෙඩි තිබිල්ල ගැනත් විස්තරයක් ඇතිද කියලා..

        දඩයමේ යන්නත් බැරිනම්.. ඔය තුවක්කුවෙන් පුලුවන් ඉලක්කෙට වෙඩි තියන්න විතරද? සත්තු මැරෙන්නේ නැත්නම් වගා ආරක්ෂා කරන්නෙ කොහොමද? මේකෙන් සද්දයක් පිටවෙන්නෙත් නෑනෙ..

        හමුදා ජීවිතයෙන් සාමාන්‍යය ජීවිතයට එක්කාසු කරගන්න පුලුවන් දේවල් ටිකක් ලියමුකො.. උදාහරණයකට කියනවා නම් හොඳට සපත්තුවක් ඔපදමන හැටි වගේ එව්වා.. ඔය වගේ පොඩි පොඩි එව්වට කරන ට්‍රික්ස් හමුදා ජීවිතයේදී උගන්වනවනෙ..

        • මම හිතන්නේ වායු තුවක්කු ගැන මම කරපු ප්‍රකාශයේ අඩුවක් තියනවා කියලා. මෙන්න මේකයි යතාර්ථය. වායු තුවක්කුවකින් වෙඩි තබා සතෙක් නෙවෙයි මිනිහෙක් වුනත් මරන්න පුළුවන්. නමුත් එවැනි තුවක්කු අපේ රටට ගෙන්වන්න ඉඩ දෙන එකක් නැහැ. ඒවා දැනට ලංකාවේ කොහෙවත් නැහැ. මම ජාලයේ දැක්කා ඇමරිකාවේදී වායු තුවක්කුවකින් වෙඩි තියලා අර ‘බයිසන්’ කියන කුළු හරකෙක් මරපු කතාවක් පින්තූරද සහිතව.

          දැනට ලංකාවේ තියෙන්නේ ලේනෙක්, හාවෙක්, රිලා පැටියෙක්, කොරවක්කෙක්, මරාගන්න පුළුවන් ප්‍රමාණයේ කුඩා පෙලට් යොදන තුවක්කු. දැනට එයින් සතුටුවන්න. සත්තු මරන්න නෙවෙයි, ගෙමිදුලේ, ගෙවත්තේ, ඉලක්කපතක් හදාගෙන විනෝදයට වෙඩි තියන්න.

          තුවක්කුවකින් නිවැරදිව කුරුමානමක් ගන්න හැටි, වෙඩි තියන හැටි පසුව එන ලිපියක තිබෙනවා.

          හමුදා ජීවිතයේ පාඩම් සාමාන්‍ය ජීවිතයට. හොඳයි ලියන්නම්.

  3. do we need a licenses from the government to posses these kind of a riffle
    from where we can buy this in Sri Lanka

    • No you do not need a licence for a Spring Piston type Rifle. Unfortunately I do not have an idea about the lisencing law for other types of Air Rifles or Pistols. Please reffer to the website of The Ministry of Defence in Sri Lanka. Also please reffer to week end English Papers to find out some advertiesments. In addition better to check with Agriculture Services Office in your area.

  4. අනෙ අම්මේ මේන්න මට සතුටුදායක ආරංචියක්….
    මේ airsoft guns අපිට ebay එකෙන් ගෙන්වන්න බැරිවෙයිද? රේගුවෙන් ජල්බරියක් දායිද?
    (Pneumatics තාක්ෂණය ලංකාවෙ මුලින්ම බාවිතා වුනා කියල කතාවක් මම අහල තියනවා ඒ සීගිරියේ ඉස්සර තිබුනු සෝපාන ක්‍රියාත්මක කරන්නලු)

    • මමනම් හිතන්නේ නැහැ සහන්, ඊ බේ එකෙන් ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. මොකද වායු පිස්තෝලයක් කියලා, වායු කෑල්ල කපපු එකක් ගෙන්වන්න වුනත් පුළුවන් නේද?

    • අංගොඩයා.. said:

      වායු රයිෆලයක් පෞද්ගලිකව ආනයනය කරන්න අමාරුයි සහන්,මගේ යාලුවෙක් මෙහෙ ඉඳං ලංකාවට යනකොට අර පොඩි ප්ලාස්ටික් පෙලට් දාන පිස්තෝලයක් ගුවන් මගින් අරන් යන්න ගිහින් මෙහෙ ගුවන් තොටුපොලේදී රාජසන්තක කළා..

  5. නියමයි.. මේ ගැන තිබුන කුතුහලය සන්සිඳුනා..

    ඔබේ අපමණ වෙහෙසට මගේ ප්‍රණාමය.

    ප.ලි.

    අලුත් ලිපියක් දමා ඇත. ලිපිය ඉතා දිග බැවින් වේලාවක් ඇතොත් පමණක් කියවන්න.

  6. මාවිසින් කරනු ලැබූ විමසිම වෙනුවෙන් ඔබ විසින් වෙහෙස දරා කරන ලද කරනු දැක්විමට අතිශය ස්තූති වන්ත වෙමි.වායු රයිපල සමබන්ධයෙන් මා ගේ දැනීම වර්ධනය කළාට ඔබට ණය ගැතියි.
    මට කරුණු කිහිපයක් දැන ගැනිමට අවශ්‍යයි. ඔබ දන්නවානම් පැහැදිලි කර දෙන්න.
    වල් ඌරන් මැරීමට තහනම්ද? මරන ලද සතුන්ගේ මස් ගෙන යාමට හෝ විකිණිමට තහනම්ද? හේතුව පොලීසිය පුද්ගලයා අනුව නිතිය ක්‍රියාත්මක කිරිමයි.
    මම එක අතකින් ගොවියෙක්. මහා පරිමාණ නොවූවත්.මගේ මඤ්ඤොක්කා වගාවන් වනසන ප්‍රධානම හතුරෝ දෙදෙනා තමයි වල් ඌරා.ඉත්තෑවා හා වළි කුකුළා. මොවුන් මරන්න තහනම්ද?
    වායු රයිපලයකින් පාලනය කළ හැකිද?

    • ලිපිය අගය කිරීම පිළිබඳව මගේ ස්තුතිය.

      අපේ රටේ නීති ක්‍රියාත්මක වෙන හැටි මම ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ උදාර. දැනට සිදුවෙන්නේ මෙයයි. වල් ඌරන් අප්‍රසිද්ධියේ මැරුවාට පොලීසිය කිසිම පියවරක් ගන්නේ නැහැ. එයට හේතුව දැන් වල් ඌරු උවදුර ඉතා විශාල ලෙස පැතිර තිබීමයි. පොලීසිය මහජනතාවට කෙලින්ම කියන්නේ නැහැ වල් ඌරන් මරන්න එපා කියලා. එය ගණන්ගන්නේ නැතුව ඉඳීමක් විතරයි කරන්නේ. ඉත්තෑවා සම්බන්ධයෙනුත් එහෙමමයි පිළිවෙත. හැබැයි දඩමස් ප්‍රවාහනය තහනම්. අපේ වත්තේ කම්බි වැටෙන් පැනලා, මැගිලින් ආච්චිගේ පිළිකන්නෙන් ගිහින්, බන්ඩයියලාගේ වත්තේ දෙවට දිගේ ගිහිල්ල, නාමලීගේ ගෙදරට ප්‍රවාහනය කිරීමෙදිනම් අහුවෙන්නේ නැහැ. ‘පොලෝසියේ මහත්තැන්ට’ කොටහක් දීලා, ප්‍රවාහනය නෙවෙයි, තවත් දේවල් කොරගන්න අයත් ඉන්නවා.

      වළි කුකුලා අපේ ජාතික පක්ෂියානේ. (වළි . . . .#%…..*&..^$………@ තමයි) මරන්න තහනම්.

      ඌරෙක් වගේ සතෙක් මරන්නනම් .22 වායු රයිෆලයක්වත් අවශ්‍යයි. එ වගේම අඩුම ගණනේ අඩි 25 ක් වත් ළඟ සිට, සතාගේ මර්මස්ථානයකට වෙඩි තැබිය යුතුයි.

      තමන්ට අයත් විශාල ගොවි බිම් ආරක්ෂා කරගැනීම සඳහා, බෝර් 12 පතරොම් තුවක්කු බලපතක් ඉල්ලිය හැකියි. ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න.

  7. අංගොඩයා.. said:

    හරිනේ විචාරක මහත්තයා, මේ තියෙන්නේ මං ඊයේ අහපු ලිපිය හරියටම.. බොහොම ස්තුතියි..

  8. මගේ කතාව ලියන්න කලිං මේක බැලුවනං අනාගැනීම අඩු කර ගන්න තිබ්බා..
    නියමයි ඈ…
    මරු විස්තරේ…
    ජයවේවා!!!!!!!!!!!!

  9. ම් ම් ම් …….වායු රයිෆලය ගැන දැනගන්න ඇවිත් අපුරු අඩවියකුත් හමු වුණා ..බොහොම සතුටුයි !

  10. මටත් එකක් ගන්න ඕනේ උදව් කරන්නකො.

    • ලංකාවේ බොහොමයක් ප්‍රධාන නගරවල දැන් විකුනන්න තියනවා. මිල රු 12000 පමණ සිට 80000 දක්වා තිබෙනවා. නමුත් රු 12000 වායු තුවක්කුවක් හොඳටම ප්‍රමාණවත්. ඔබට ආසන්නවම තියන ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් විමසන්න.

  11. මගේ ගාව තියෙනවා ඩයනා වර්ගයේ(made in germany) වායු රයිෆල් එකක් [ match Cal.4,5 (.177) ] , ඒක හොරෙන් ලංකාවට ගෙනාවෙ මට මේක එලියට ගන්න බයයි කවුරු හරි දකියි කියලා. දැන් එහෙම නීතිමය බාදාවක් නැත්ද ඒකට. කිරි ටොයියා වගේ තියෙනවා. කිසිම ඩොකියුමන්ට් එකක් නැහැ, ඒකයි බය. ප්ලුවන්නම් පහදලා දෙන්න.

    • නැහැ, මමනම් හිතන්නේ නැහැ ඔබට එය පාවිච්චි කිරීමට බාධාවක් ඇතිවෙයි කියලා. හැබැයි ඔබේ අවට පරිසරයේ ඉන්න මිනිස්සු ඒ ගැන කලබලවී මොනවා කරයිද දන්නේ නැහැ. ඒත් පොලීසියට බැහැ ඔබව අත්අඩංගුවට ගන්න මොකද වායු රයිෆලය තහනම් අවියක් නෙවෙයි දැන්. නමුත් කෝකටත් තෛලය කියලා හොඳ කොම්පියුටර් කාරයෙක් අල්ලාගෙන රිසිට් කෑල්ලක් ගහගන්න බලන්න. ඉතින් කිරි ටොයියාගෙන් පෙලට් 50 ක් 60 ක් වෙඩි තියලා පුලුවන්නම් පින්තුරෙකුත් එක්කම ප්‍රතිඵල දාන්න.

      මේකද තුවක්කුව

  12. වායු රයිෆලයකින් තබන වෙඩිල්ලකින් සතෙකුට හෝ මිනිසෙකුට කිසිම ආකාරයකින් තුවාලයක් හෝ සිදු වෙන්නේ නැහැ කියලා හසතික වෙන්න පුලුවනිද? විශේෂයෙන්ම ලෝහ පෙලට් භාවිතයේදී.

    • නොහැකිය. ඇසකට, කණකට, හිසේ පසුපසට, ඉතා ලංකර වෙඩි තබා මරන්න පුළුවන්. ඔව්ව කොරන්න යනවා එහෙම නෙවෙයි ඔන්න. 😀

      • එහෙම නම් මේ ආයුධය නීතියෙන් තහනම් නොවීම ඉතාම භයානකයි නේද?

        • පාන් කපන පිහියෙනුත් මිනීමරන්න පුළුවන්. සියල්ල තීරණය වන්නේ ඒ සියලුම දේ පිහිය/තුවක්කුව දරන්නේ මොලයක් ඇති පුද්ගලයකුද කියන කාරණය මතයි.

  13. සබැවක්මයි, බොහොම පැහැදිලි පිළිතුරක්

  14. ගම්පහ දිස්ත්ර්ක්කයේ Rifle Club එකක් තියෙනවද? ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම්
    මට උදව් කරන්න.
    nirmaalse@gmail.com

  15. නිර්නාමික said:

    වායු පිස්තෝලයක් තියනවා (Benjamin Marauder). සියලුම බිල්පත් සහිතව. මුදල් හදිසියකට විකිණීමට තීරණය කළා. ගන්න කැමති කෙනෙක් ඉන්නවද? ස්පෝර්ට්ස් ක්ලබ් එකකට උනත් කමක් නෑ.

  16. pelat 22. da godak power full nattan 177. ekada
    hoda ekak ganna wishwasawantha thanak dannawanam kiyanawada

    • .22 තමා හොඳම. නමුත් ඒ කැලිබරයේ තුවක්කු වලට සමහරවිට බලපත්‍රයක් ගන්න වෙනවා. දැන් බොහෝ වෙළඳසල් වල විකුනන්න තියනවා. හැම එකක්ම වගේ හොඳයි.

  17. Gampahin Air Rifle ekak gnna thenak kynnako

  18. ප්‍රධාන වශයෙන් Spring Piston, Pneumatic Type, CO2 type ලෙස කාණ්ඩ ගත කිරීමේදී ගැටළුවක් තියෙන බවයි මට හිතෙන්නේ. Pneumatic Type කියල පොදුවේ වර්ග නොකර එහි ඇති උප කාණ්ඩ වශයෙන් එනම් Multi-Pump Pneumatic, Pre-Charged Pneumatic සහ Single-Stroke Pneumatic ලෙස වර්ග කර පැහැදිළි තමයි වඩා නිවැරදි…
    මේ තියෙන්නේ ඒ වර්ග තුනේ වෙනස;

    http://www.pyramydair.com/blog/2005/03/three-types-of-pneumatic-airguns-multi-pump-single-stroke-and-precharged/

    https://jangun.wordpress.com/2012/04/27/මොකක්ද-මේ-වායු-රයිෆලය-කිය/gas-powered-air-rifle/
    ඔබ මේ ඉහල ලින්ක් එකේ දාල තියෙන ෆොටෝ උදාහරණය වැරදියි, මේකේ තියෙන්නේ PCP එකක්, ඒකෙ තියෙන්නේ ලොකු ටැංකියක් (500cc). ඒවා ගලවන්නේ නැතුව තමයි ආපහු පුරවන්නේ. ඒ පුරවන්නේ සාමාන්‍ය වාතයෙන්, CO2 cartridges වලින් නෙමෙයි. බොහෝ වෙලාවට ඔවුන් අනුමත කරන්නේ ඩයිවින් කරද්දී භාවිතා කරන ස්කුබා ටැංකියකින් වාතය පුරවා ගන්න එක.
    ඒ ෆොටෝ එකේම පොඩියට “Powered by Compressed air contained in the gun’s cylinder” කියල ලියල තියෙනවා. ඔබේ අවධානය එතනට යොමුවෙලා නැහැ…

    https://jangun.wordpress.com/2012/04/27/මොකක්ද-මේ-වායු-රයිෆලය-කිය/gas-spring/

    වාහන වල දොරේ ඇති වර්ගයේ Shock Absorber එකක් වැනි පිස්ටනයක් භාවිත වෙන්නේ Gas Piston ඝණයට අයත් Air Rifle වල. ඒ පිස්ටන් එක ඇතුලේ Spring එක වෙනුවට නයිට්‍රිජන් ගබඩා කරලා තියෙනවා. Spring Piston එකේ තියරියමයි, ඇතුළේ තියෙන ගෑස් පීඩනයට ලක්වෙලා Spring එකක් වගේම බලය ලබා දෙනවා. මගේ ගාව තියෙන්නේ එම වර්ගය…

    Pneumatic වර්ග තුනටම ඒ වර්ගයේ පිස්ටනයක් අවශ්‍ය නැහැ, ඒ හැම එකේම තියෙන්නේ වායු ගබඩා කරන ටැංකි. Multi-Pump Pneumatic වර්ගයේදී ටැංකිය පුරවා ගන්නේ inbuilt පොම්පයකින් සහ ඒ ටැංකිය පුරව ගන්න කීප වතාවක් ලිවර් කරන්න සිද්ධ වෙනවා. Single-Stroke Pneumatic එකේදී එක වතාවකින් ටැංකිය පිරෙනවා…
    ඒ පොම්ප ඇතුලේ පිස්ටන් එකක් තියෙනවා, ඒක සාමාන්‍ය පොම්පයක තියෙන වර්ගයේ පිස්ටනයක් පමණයි…

    Pneumatic වර්ග තුනෙම පීඩන ටැංකියෙන් හුළං ටිකක් නිදහස් වෙලා ඒ බලයෙන් තමයි පෙලට් එක නිදහස් වෙන්නේ, ඒ නිසා Pneumatic වලට Gas Piston අවශ්‍ය නැහැ…
    ඒ වගේම Pneumatic වර්ග වල ටැංකි වලට සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරන්නේ නැහැ…
    ඔබට සිදු වී තිබෙන්නේ CO2 cartridges සහ PCP වල පාවිච්චි වෙන Air Reservoir ටැංකිය යන දෙක පැටලීමක් විය යුතුයි. ඒ අතරේ ඔබට Gas Piston කියන වර්ගයත් පැටලිලා තියෙනවා…

    එක වරක් භාවිතයෙන් පසු ඒ CO2 cartridges අපේ ප්‍රින්ටර් වල cartridges වගේම විසි කරන්න වෙනවා උනාට ඒකටත් විසඳුමක් පහළ දැක්වෙනවා…

    http://www.pyramydair.com/blog/2010/02/refillable-12-gram-co2-cartridges/

    ඒ වගේම ඔබ දමා ඇති පරිදි සාමාන්‍ය පොම්ප මගින් PCP වර්ග වල වායු ටැංකි පුරවගන්න බැහැ, ඒවයෙන් අපි බොහෝ වෙලාවට කරන්නේ වාහන වලට හුළං ගහනේ එක. ඒ පීඩනය සාමාන්‍යයෙන් 30~40 PSI අගයක්.
    සාමාන්‍යයෙන් PCP එකකට වාතය 2000~3000 PSI ක වගේ පීඩනයකට පුරව ගන්න වෙනවා, ඒකට පහත තියෙන වර්ගයේ විශේෂ පොම්ප අවශ්‍ය වෙනවා…

    http://www.pyramydair.com/s/a/Air_Venturi_G6_Hand_Pump_4500_PSI/5320

    හැම පෙලට් එකකම අසුරණයේ ඒවායේ බර ගහල තිබුනට ඒවායේ වේගයක් සඳහන් කරන්නේ නැහැ, එයට හේතුව වෙනස් වෙනස් බලයන් සහිත විවිධ වර්ගයේ Power Plant සහිත අවි වලදී ඒවායේ වේගයන් වෙනස් නිසා…
    එහෙම කොහේ හරි වෙබ් එකක දාල තිබ්බනම් එහෙම දාන්න ඇත්තේ මොකක් හරි එක Air Rifle එකකින් විවිධ වර්ගයේ පෙලට් භාවිතයේදී ලැබූ වේග සම්බන්ධ දත්ත විය යුතුයි…

  19. ප්‍රධාන වශයෙන් Spring Piston, Pneumatic Type, CO2 type ලෙස කාණ්ඩ ගත කිරීමේදී ගැටළුවක් තියෙන බවයි මට හිතෙන්නේ. Pneumatic Type කියල පොදුවේ වර්ග නොකර එහි ඇති උප කාණ්ඩ වශයෙන් එනම් Multi-Pump Pneumatic, Pre-Charged Pneumatic සහ Single-Stroke Pneumatic ලෙස වර්ග කර පැහැදිළි තමයි වඩා නිවැරදි…
    මේ තියෙන්නේ ඒ වර්ග තුනේ වෙනස;

    http://www.pyramydair.com/blog/2005/03/three-types-of-pneumatic-airguns-multi-pump-single-stroke-and-precharged/

    https://jangun.wordpress.com/2012/04/27/මොකක්ද-මේ-වායු-රයිෆලය-කිය/gas-powered-air-rifle/
    ඔබ මේ ඉහල ලින්ක් එකේ දාල තියෙන ෆොටෝ උදාහරණය වැරදියි, මේකේ තියෙන්නේ PCP එකක්, ඒකෙ තියෙන්නේ ලොකු ටැංකියක් (500cc). ඒවා ගලවන්නේ නැතුව තමයි ආපහු පුරවන්නේ. ඒ පුරවන්නේ සාමාන්‍ය වාතයෙන්, CO2 cartridges වලින් නෙමෙයි. බොහෝ වෙලාවට ඔවුන් අනුමත කරන්නේ ඩයිවින් කරද්දී භාවිතා කරන ස්කුබා ටැංකියකින් වාතය පුරවා ගන්න එක.
    ඒ ෆොටෝ එකේම පොඩියට “Powered by Compressed air contained in the gun’s cylinder” කියල ලියල තියෙනවා. ඔබේ අවධානය එතනට යොමුවෙලා නැහැ…

    https://jangun.wordpress.com/2012/04/27/මොකක්ද-මේ-වායු-රයිෆලය-කිය/gas-spring/

    වාහන වල දොරේ ඇති වර්ගයේ Shock Absorber එකක් වැනි පිස්ටනයක් භාවිත වෙන්නේ Gas Piston ඝණයට අයත් Air Rifle වල. ඒ පිස්ටන් එක ඇතුලේ Spring එක වෙනුවට නයිට්‍රිජන් ගබඩා කරලා තියෙනවා. Spring Piston එකේ තියරියමයි, ඇතුළේ තියෙන ගෑස් පීඩනයට ලක්වෙලා Spring එකක් වගේම බලය ලබා දෙනවා. මගේ ගාව තියෙන්නේ එම වර්ගය…

    Pneumatic වර්ග තුනටම ඒ වර්ගයේ පිස්ටනයක් අවශ්‍ය නැහැ, ඒ හැම එකේම තියෙන්නේ වායු ගබඩා කරන ටැංකි. Multi-Pump Pneumatic වර්ගයේදී ටැංකිය පුරවා ගන්නේ inbuilt පොම්පයකින් සහ ඒ ටැංකිය පුරව ගන්න කීප වතාවක් ලිවර් කරන්න සිද්ධ වෙනවා. Single-Stroke Pneumatic එකේදී එක වතාවකින් ටැංකිය පිරෙනවා…
    ඒ පොම්ප ඇතුලේ පිස්ටන් එකක් තියෙනවා, ඒක සාමාන්‍ය පොම්පයක තියෙන වර්ගයේ පිස්ටනයක් පමණයි…

    • Pneumatic වර්ග තුනෙම පීඩන ටැංකියෙන් හුළං ටිකක් නිදහස් වෙලා ඒ බලයෙන් තමයි පෙලට් එක නිදහස් වෙන්නේ, ඒ නිසා Pneumatic වලට Gas Piston අවශ්‍ය නැහැ…
      ඒ වගේම Pneumatic වර්ග වල ටැංකි වලට සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරන්නේ නැහැ…
      ඔබට සිදු වී තිබෙන්නේ CO2 cartridges සහ PCP වල පාවිච්චි වෙන Air Reservoir ටැංකිය යන දෙක පැටලීමක් විය යුතුයි. ඒ අතරේ ඔබට Gas Piston කියන වර්ගයත් පැටලිලා තියෙනවා…

      එක වරක් භාවිතයෙන් පසු ඒ CO2 cartridges අපේ ප්‍රින්ටර් වල cartridges වගේම විසි කරන්න වෙනවා උනාට ඒකටත් විසඳුමක් පහළ දැක්වෙනවා…

      http://www.pyramydair.com/blog/2010/02/refillable-12-gram-co2-cartridges/

      ඒ වගේම ඔබ දමා ඇති පරිදි සාමාන්‍ය පොම්ප මගින් PCP වර්ග වල වායු ටැංකි පුරවගන්න බැහැ, ඒවයෙන් අපි බොහෝ වෙලාවට කරන්නේ වාහන වලට හුළං ගහනේ එක. ඒ පීඩනය සාමාන්‍යයෙන් 30~40 PSI අගයක්.
      සාමාන්‍යයෙන් PCP එකකට වාතය 2000~3000 PSI ක වගේ පීඩනයකට පුරව ගන්න වෙනවා, ඒකට පහත තියෙන වර්ගයේ විශේෂ පොම්ප අවශ්‍ය වෙනවා…

      http://www.pyramydair.com/s/a/Air_Venturi_G6_Hand_Pump_4500_PSI/5320

      හැම පෙලට් එකකම අසුරණයේ ඒවායේ බර ගහල තිබුනට ඒවායේ වේගයක් සඳහන් කරන්නේ නැහැ, එයට හේතුව වෙනස් වෙනස් බලයන් සහිත විවිධ වර්ගයේ Power Plant සහිත අවි වලදී ඒවායේ වේගයන් වෙනස් නිසා…
      එහෙම කොහේ හරි වෙබ් එකක දාල තිබ්බනම් එහෙම දාන්න ඇත්තේ මොකක් හරි එක Air Rifle එකකින් විවිධ වර්ගයේ පෙලට් භාවිතයේදී ලැබූ වේග සම්බන්ධ දත්ත විය යුතුයි…

      • බොහොම ස්තුතියි මේ දීර්ඝ අදහස් දැක්වීම ගැන.

        මා මෙවැනි ලිපි ලිවීමෙන් අදහස් කරන්නේ, මෙවැනි දේ ගැන නොදන්නා අයට, ඉතා සරලව කරුණු විස්තර කිරීමයි. ‘මෙන්න මේ වගේ දේවල් තියනවා’ කියන එක පමණයි, මා කියන්නට උත්සාහ කරන්නේ. බලන්න මා කාලතුවක්කු සහ යුද ටැංකි ගැන ලියා ඇති ලිපි. ඒ ලිපි දීර්ඝව ලියනවානම්, කාලතුවක්කු ගැන ලිපි 10 ක් සහ යුද ටැංකි ගැන ලිපි 10 ක් ලියන්න පුළුවන්. නමුත් එවිට පාඨකයාට එය නීරස වෙනවා.

        මට අවශ්‍යවුනේ, වායු පීඩන තුවක්කුව ගැනත්, සරලව කියාදෙන්නයි. යුද හමුදාවේ, Marksman and Sniper Training School එකෙන් තොරතුරු ගත්තානම්, ඔබ කියා ඇති සියල්ල එහි තිබෙනවා. නමුත්, මා කලේ, එහි උපදේශකයකු සමග, දුරකතනයෙන් කතාකොට, මා ලියන්න යනදේ හරිද වැරදිද කියා ඇසීම පමණයි. (තොරතුරු නිරවද්‍යතාව)

        කෙසේ වෙතත්, ඔබේ මේ කරුණු දැක්වීමෙන්, මේ ලිපියට ආධාරයක් සිදුවුනා. මේ ගැන ගැඹුරින් කරුණු හැදෑරීමට බලාපොරොත්තුවන කෙනෙකුට, එය රුකුලක් වනු ඇති.

    • පිළිතුර ඉහත දක්වා ඇත.

  20. හරිම වැදගත් ලිපියක්..පරණ ලිපියක් උනත් අද තමයි දකින්න ලැබුනෙ. බැරි වෙයිද වායු රයිෆලයක් ගෙදරදි හදාගන්න. ලිපිය කියෙව්වම ආස හිතුන..කොහොම උනත් මේ ලිපි පෙලම හරිම වැදගත්. බොහොම ස්තූතියි ඔබට…

  21. මට ඕන ලස්සන පොඩි වායු පිස්තෝලයක් ගන්න. කොහෙන්ද ගන්න පුළුවන්? කියක් වගේ වෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: