විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


මේ කියන්න යන්නේ ඇත්තටම සිදුවූ හාස්‍යය මෙන්ම කණගාටුවත් මුසුවූ සිදුවීම් දෙකක්. මේ කතා දෙකේම කතා නායකයා වන්නේ අද ජීවතුන් අතර නැති මේජර් වරයෙක්. ඔහු මියගියේ කිසියම් රෝගී තත්වයක් උත්සන්න වීමෙන්. මේ නිලධාරියා අඩි 6 කට මඳක් වැඩි උසකින් යුත් කඩවසම් පෙනුමකින්ද යුත් දක්ෂ නිලධාරියෙක්. ඔහු ඉතා නීතිගරුකයි.

මම ලුතිතන් නිලයේ සිටියදී, මෙම නිලධාරියා එවකට සේවය කරමින් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ කඳවුරකට යන්නට සිදුවුනා, සෙබළුන්ට වැටුප් ගෙවීමට. දවස පුරාම ඒ ප්‍රදේශයට ඈතින් පිහිටි කඳවුරු වල වැටුප් රාජකාරියේ යෙදුනු මා, මගේ ආරක්ෂක භටයන්ද සමග, මේ කඳවුරට එනවිට රාත්‍රී හත පසුවී තිබුනා. මේ නිලධාරියා එදින වැටුප් ලබන ඔහුගේ සෙබළුන් කීප දෙනෙකුව නිවාඩු යැවීමට තිබුනා. මගේ ප්‍රමාදය මට වලක්වාගත නොහැකිවූවක් කියා ඔහු දැන සිටියත්, ඔහුගේ සෙබළුන්ට ඒ භීෂණකාරී සමයේ රාත්‍රියේ නිවාඩු යාමට නොහැකිවීම පිළිබඳව වේදනාවටපත් ඔහු, පසුදා පහන්වනතුරු මට මගේ වාහනයේම ඉන්නට කිව්වා. රාත්‍රී 12 ට පමණ ඔහු පැමිණ ‘දැන් වරෙන් ඇතුලට’ කිව්වා. ඔහු ඒ තරම් තම සෙබළුන්ට ආදරෙයි.

 පළමුවැනි කතාව මේකයි. සෙබළකු සටනේදී මියයාම දරාගත නොහැකි වේදනාවක්. නමුත් නිලධාරීන් ලෙස අපි ඒ වේදනාව පිටකලොත්, අනෙක් සෙබළුන්ද අධෛර්යයට පත්වෙනවා. ඒ නිසා ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කලයුතු වෙනවා. සමහ ඈත ගම්වල පදිංචි සෙබළකුගේ දේහය ඔහුගේ නිවසට ගෙනගියවිය එම දේහය තැබීමට එහි ඉඩකඩ නැහැ. එය බොහෝවිට පුංචි පොල් අතු පැලක්. එවැනි වෙලාවට ගමේ ලඟම ඥාතියකුගේ නිවෙසක් සෙව්වත් ඒ සියලුම නිවෙස් ඒ වගේ. බොහෝවිට පිහිටට එන්නේ ඒ ගමේ පන්සලේ බණ මඩුව හෝ ඒ සෙබලා අධ්‍යාපනය ලැබූ පාසලේ ශාලාවයි. ඉතින් මේ නිලධාරියාට සිදුවුනා, වරක් එවැනි අති දුෂ්කර ගමකට, සෙබළකුගේ දේහය ගෙන යන්නට. දේහය මේ නිලධාරියා වෙත ලැබුනේද බොහෝ ප්‍රමාද වී. නමුත් ඔහු සිතුවා කෙසේ හෝ දේහය ඔහුගේ පවුනේ අයට බාරදෙන්නට. පැවති අධික වර්ෂාවද නොතකා, ඔහු දේහය රැගෙන ඒ දුෂ්කර ගම්මානය බලා පිටත්වුනා. ඔහු සිතුවාට වඩා ගමන දුෂ්කර වුනා. ඒ ගමට යන්නට තිමෙන්නේ කුඩා අඩිපාරක්. ඊට මෙහා කිසිදු ජනාවාසයක් නැහැ. දේහය බහා ලු පෙට්ටිය කරෙන්ම ගෙනයායුතුයි. නමුත් ඔහුට ශක්තිමත් සෙබළුන් පිරිසක් සිටි නිසා වැස්සේම දේහය රැගෙන පිටත්වුනා. ඔවුන් අතේ තිබුනේ වාහනයේ හමුදා රියදුරුගේ විදුලි පන්දම පමණයි. ඉතා අවාසනාවන්ත ලෙස අතරමගදී එහි බැටරි බැස ගියා. දැන් කලුවරේම මේ පිරිස දේහය රැගෙන යනවා. වරින් වර කොටන විදුලි එළියෙන් පාර පෙනෙනවා යාන්තමට. ඔහොම යද්දී පෙට්ටිය කර තබාගෙන ගිය එක සෙබළකුගේ පය පැකිලී ඔහු බිම වැටුනා. එහි අවාසනාවන්ත ප්‍රතිපලය වුනේ, සමබරතාව ගිලිහීමෙන් පෙට්ටිය බිම වැටීමයි. පෙට්ටියේ පියනට ඇන ගසා නොතිබුන නිසා දේහය පෙට්ටියෙන් එලියට වැටුනා. පිරිස කළුවරේ අතපතගාමින් දේහය යලිත් පෙට්ටියට දමාගෙන මියගිය සෙබලාගේ නිවසට යද්දී රාත්‍රී 12 ට ආසන්නව තිබුනා. ඒ නිවසේද තිබුනේ කුඩා ඉඩකඩක්. පිරිස දේහය තැන්පත් කර විවෘත කිරීමට සූදානම් වනතුරු නිවසේ සහ ගමේ පිරිස සිටියේ ඉතා නොඉවසිල්ලෙන් දේහය දැකබලා ගන්නට. පෙට්ටිය විවෘත කල අපේ පිරිස දුටුවේ කුමක්ද? . . . . . . . . . . .මුනින් අතට තැන්පත් කර ඇති දේහයයි. පෙට්ටියෙන් වැටුණු දේහය, කළුවරේ තැන්පත් කිරීමේදී තමයි එය සිදුවී තිබෙන්නේ. මියගිය සෙබලාගේ බිරිඳ පෙට්ටිය වෙත එනු අපේ නිලධාරියා ඇස් කොනින් දුටුවා. ‘ හා. . හා. . . එන්න එපා, අපේ චාරිත්‍ර තව ඉවර නැහැ’ කියූ අපේ නිලධාරියා දේහය නිසි පරිදි සකසා දේහයේ ගෑවී තිබුණු මඩ ද පිසදමා ‘චාරිත්‍ර’ අවසන් කළා.

 මේ දෙවැනි කතාවත් ඒ නිලධාරියා ගැනමයි. මේ නිලධාරියාගේ කඳවුරේ ආපන ශාලාව භාරව සිටි කෝප්‍රල් වරයා නිවාඩු ගොස් නැවත සේවයට වාර්තා නොකර සිරියා. කරුණු සොයා බැලීමේදී ආපනශාලාවේ මුදල් රුපියල් දහස් ගණනක අක්‍රමිකතාවක් තිබෙන බවද හෙළිවුණා. මේ පිළිබඳව අණදෙන නිලධාරි වෙත වාර්තා වුනොත් මේ අක්‍රමිකතාවයේ විපාක මේ නිලධාරියාටද විඳින්නට සිදුවෙනවා. ඒ නිසා නිලධාරියා තීරණය කළා තම කීර්තිනාමය බේරාගනිමින් අර කෝප්‍රල් වරයා අත්අඩංගුවට ගෙන විනය ක්‍රියාමාර්ග ගන්නට. ඔහු භට පිරිසක්ද සමග කෝප්‍රල් සොයා ගියා. එය ඈත ප්‍රදේශයක ගමක්. හමුදා පිරිස කෝප්‍රල් ගේ නිවස සොයමින්, ගැමියන්ගෙන් විමසමින් යනවිට, කෝප්‍රල් ඔහුගේ නිවසේ සිටියා. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ඔහු කිසියම් උමතු රෝගයකින් පෙලෙන බව ඔහුගේ බිරිඳගෙන් දැනගන්නට ලැබුනා. කෝප්‍රල් විකාර කියවනවා. හූ කියනවා, ලේ බොන්න ඉල්ලනවා, දුවන්න හදනවා. හරිම භයානකයි. අපේ නිලධාරියා ‘යකෙකුටවත් බය නැති’ ‘ලේසියෙන් තම්බන්නට බැරි’ වර්ගයේ කෙනෙක්. ඔහු තමන්ගේ බඩීට කිව්වා, ‘අපිට මෙයාට දෙන්න බිස්කට් පැකට් එකක්වත් ගේන්න බැරිවුනානේ, ඔයා ගිහින් අර අපි එනකොට පාර අහපු කඩෙන් මොනවාහරි අරන් එන්න’ කියා. ඒ සමගම බඩීගේ කණට කොඳුරා තවත් මොනවද කිව්වා. බඩී කඩයට ගොස් බිස්කට් පැකට් එකක් රැගෙනවිත් නිලධාරියා අතටදී ඔහුගේ කණට කොඳුරා යමක් කිව්වා. නිලධාරියා දැන් අර කෝප්‍රල්ගේ බිරිඳගෙන් උමතු රෝගයේ විස්තර අහනවා. ‘අනේ මහත්තයෝ පහුගිය කාලෙම මෙයාට බෙහෙත් කළා, ඒකයි වැඩට යන්න බැරි වුනේ මහත්තයෝ, මෙයා හිටපුගමන් පැනලා බෙල්ල මිරිකන්න එනවා. ඒ නිසා ලඟට නම් යන්න එපා, මොනවා කරයිද දන්නේ නැහැ’ කෝප්‍රල්ගේ බිරිඳ කිව්වා. ‘මමත් මාතර පැත්තේ හොඳ යන්තර මන්තර ගුරුකම් පරම්පරාවකින් එන්නේ. ඉතින් මටත් පුළුං පොඩි තෙල් සාත්තුවක් කරලා බලන්න. මොකද කියන්නේ? කියා නිලධාරියා කෝප්‍රල්ගේ බිරිඳගෙන් ඇහුවා. ඇය අරළු බීපු ගොළුවකු මෙන් ටිකක් වෙලා කල්පනා කර ‘හා කමක් නැහැ මහත්තයෝ’ කිව්වා.

නිලධාරියා වහාම ගෙන්වා ගත්තා මල් පස් වර්ගයක්. තෙල් පස් වර්ගයක්, තව අඩුවැඩිය සියල්ලම. කෝප්‍රල්ගේ ගෙදරින් තමයි වියදම. මොනවා කරන්නද. ඔක්කොම දේවල් ලැස්ති කරගෙන නිලධාරියා කෝප්‍රල්ව කාමරයක් ඇතුලට ගත්තේ බොහොම වදෙන් පොරෙන්, තවත් සෙබළු තුන්දෙනෙකුගේ උදව්වෙන්. කාමරයට අර සෙබළුන් තිදෙනා හැර වෙන කාටවත් ඒම තහනම් කල අපේ නිලධාරියා මහා හඬින් මන්තර කියමින් තෙල් සාත්තුව පටන්ගත්තා. විනාඩි පහකට දහයකට වඩා ගියේ නැහැ කෝප්‍රල්ගේ පිස්සුව හොඳ වුනා. අපේ නිලධාරියා එක්ක ආපසු කඳවුරට යන්නට කැමති වුනා. කොහොමද නිලධාරියාගේ ගුරුකම් වල බලය. ඇත්තටම නිලධාරියා කල ‘ගුරුකම’ මෙයයි. ඔහු බඩීට කීවේ කඩයට ගොස් කෝප්‍රල් ගැන තොරතුරු සොයා බලන්නයි. කඩෙන් කියලා තියෙන්නේ කෝප්‍රල් වෙළඳාමක් පටන් ගැනීම සඳහා කුඩා මෝටර් බයිසිකලයක් සොයන බවත් එදින උදේද කඩයට පැමිණ ඒ ගැන කතාකරමින් සිට ගිය බවත්. ඔහුට පසුගිය කාලයේ කිසිම අසනීපයක් නොතිබුණු බවත් බඩී තහවුරු කරගත්තා. නිලධාරියා ක්ෂණිකව තේරුම් ගත්තා මෝටර් බයිසිකලයක් ගන්නට යන්නේ ආපන ශාලාවෙන් හොරකම් කල මුදල් වලින් බව. ඉතින් ඔහු අර ‘තෙල් සාත්තුව’ දුන්නා. මෙහෙමයි දුන්නේ. තෙල් සාත්තුව යන අතරතුර නිලධාරියා කොප්‍රල්ට කණට කොඳුරලා කිව්වා ‘උඹ දාන පොත මම දන්නේ නැහැ කියලා හිතුවද? උඹේ ලුණු ගොරකා මදි මාව තම්බන්න. දැන් උඹේ ගෑනිම කිව්වනේ, උඹ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකනවා කියලා පිස්සුවෙන්. දැන් වෙන්නේ මේකයි. උඹ මගේ බෙල්ල මිරිකන්න පැන්නා, උඹ මාව මරයි කියන බයට මගේ බඩී උඹට ගැහුවා අර පෙනෙන දොර පොල්ලෙන්, උඹ මැරුණා. ඔන්න ඕකයි වෙන්න යන්නේ. මොකද කියන්නේ මාත් එක්ක දැන්ම ආපහු කෑම්ප් එකට යනවද නැත්නම් ‘වැලිගම්පිටි’ යනවද’ කියා. එවිට තමයි කෝප්‍රල්ගේ පිස්සුව හොඳ වුනේ. කෝප්‍රල් දැක තිබෙනවා ඈත සිට එන හමුදා පිරිස. ඔවුන් එන්නේ කුමකටදැයි ඔහු දන්නවා. ඒ නිසයි ඔහු තම බිරිඳ සහාය නිළිය කරගෙන ‘පිස්සු නාට්‍යය’ පෙන්නුවේ.

Advertisements

Comments on: "නිලධාරියාගේ තෙල් සාත්තුව" (13)

  1. නියම කථා තුනක්..

    පළවෙනි එක ගැන…. හමුදාවේ ඉහළ නිලධාරියෙකුට පුලුවන්ද එහෙම තමුන් කැමති කැමති දඬුවම් පහළ නිලධාරීන්ට දෙන්න..? ඇත්තටම වරද ඔබගේ නොවේනම් එහෙම දඬුවමක් දෙන එක වැරදියි නේද?

    දෙවෙනි එක..හාස්‍යය තිබුනත් යථාර්ථය දුක්බරයි. ඇත්තටම එක බත්පත කාගෙන එකට ඉන්න සෙබලුන්ට තමුන්ගෙ යාලුවාගෙ මළගෙදර එන්න ලැබෙන්නෙත් නෑනෙ.. මිනිය එවලා ඊළඟ දවසේ මෙහෙයුමට ලෑස්ති වෙනවා මිසක්.. මෙහෙම එකිනෙකා මැරෙද්දි, හෙට තමුන්ටත් මෙහෙම වෙයි කියලා හිතෙද්දි යුද්ධය ඉදිරියට පවත්වාගැනීමට චිත්ත ධෛර්‍යය තියාගන්නෙ කොහොමද.. ? එවලෙ කාගෙන යන්න ඇතිවෙන හැඟීමෙන්ද ඉදිරියට යන්නෙ?මේ කතාවේදී නම් මට හිතුනෙ මිනිය කියලා බීලා වැටිලා හිටපු එකෙක්වත් පෙටියට දාගත්තද කියලයි..

    තුන්වෙනි එක..හමුදාවෙන් පැනයන සෙබලුන් අල්ලා ගැනීමට බලය තියෙන්නෙ යුධහමුදා පොලීසියට නේද? ඒකට හමුදාවෙ ඇත්තො බයද? මොනවා උනත් නියම තෙල් සාත්තුව..

    හොඳ ලිපියක්.. ඔන්න මම බුකියෙත් දැම්මා..

    • ත්‍රිවිධ හමුදාවේම තමන්ට වඩා එක නිලයකින් හෝ ඉහලින් සිටිනකෙනා දෙන අණ පිළිපැදිය යුතුයි. දඬුවමකට වඩා මට ලැබුනේ නියෝගයක්. ඉතින් එය එය පිළිපැදිය යුතුයි.

      යුද්ධයේදී බොහෝවිට හිත හිත ඉන්න වෙලාවක් නැහැ. තමන්ගේ අය මැරුණා කියා දකින දකින සතුරාව මරන්නේ නැහැ. ‘යුද කලාව’ (Art of War) කියා දෙයක් තියනවා. ඉතා සියුම් සැලසුම් තිබෙනවා අනුගමනය කලයුතු. මීට වැඩිය සංවේදී කතා මම ඉදිරියේදී කියන්නම්.

      සාමාන්‍යයෙන් පැනගිය සෙබළුන් අල්ලනේ යුද හමුදා පොලීසියයි. නමුත් නිලධාරියකුට බලය තිබෙනවා පැනගිය සෙබළකු අල්ලන්න.

  2. පළවෙනි කතාව නම් ටිකක් හිතට දුකයි.
    හමුදාවේ සෙබළු වගේම කොච්චි වල බස්වල ගිය මිනිස්සුත් රොත්ත පිටින් මැරිච්ච කාලේ ඉවර උනා කියන එක පුදුම වාසනාවක්.

  3. අනේ අපේ හිටපු හමුදාපති තුමත් මේවගේ දූරදර්ශි නිළධාරියෙන් උනානම්……..

  4. මිනිය වැටුන කතාවනම් හරිම අනුවේදනීයයි..

    තෙල් සාත්තුව නම් මාරයි…

    ඔහු බොහොම තීක්ෂණ නිළධාරියෙක් පාටයි..

  5. දෙවැනි කතාව නම් හිතේ ගොඩක් සංවේගයක් ඇති කළා. අද උදෙත් මගේ ඇස් වලට කඳුළු ආවා PWW පදක්කම් දෙන වෙලාවේ. මගෙත් ඥයාතීන් වගේම පවුලේ හිතවතුන් මේ යුද්ධෙදි වීරයෝ වගේ මැරිලා තියනවා. මුල්ම කෙනා මැරුණේ මට වයස 4 ක කාලේ, ඒ 1988 දී සෙබළු ගෙනගිය බස් රථයකට කොටි ත්‍රස්තවාදීන් කල පහරදීමේදී ඔවුන් හා සටන් කරලා. තුන්වෙනි කතාව අහල තියනවා ඒත් කොහෙදිද මතක නෑ

  6. දෙවෙනි එක කියවද්දී ගොඩක් දේවල් මතක් උනා.. සමහර වෙලාවට ගෙදරට ගියාම අපිට කඳුළු එනවා…මිනි පෙට්ටිය කරගහන් සට සට ගාලා කඳුළු වැටිච්ච තැනක් තියෙනවා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: