විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

අපේ කාලයේ තුවක්කු 4


 මේ ලිපියෙන් මා ඔබට හඳුන්වා දෙන්නේ, අද ලෝකයේ කොහෙවත් භාවිත නොකරන, එහෙත් කලක් ලොව හෙල්ලූ මැෂින් තුවක්කුවක් වන, .303 සුළු යාන්ත්‍රික තුවක්කුවයි. (.303 Light Machine Gun) මේ තුවක්කුව ‘බ්‍රෙන් ගන්’ (Bren Gun) කියාත් හඳුන්වනවා. මා දන්නා තරමින් ශ්‍රී ලංකා යුද හමුදාව අවසාන වරට මෙය පාවිච්චි කලේ 1971 කැරැල්ල අවධියේදීයි. සමහරවිට එල්.ටී.ටී.ඊ. යුද්ධය ආරම්භක අවධියේ පාවිච්චි කරන්නට ඇති. දැන්නම් මෙය කෞතුක වස්තුවක් හැටියට සැලකිය හැකියි. ඔබට මතකද මීට කලින් මා ඔබට හඳුන්වා දුන් .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය. මේ මැෂින් තුවක්කුවේ කැලිබරයත් .303 ම තමයි. ඒ නිසා .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයට යොදන පතරොම් මේ මැෂින් තුවක්කුවටත් හරි යනවා. .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය වරකට එක වෙඩිල්ලක් පමණක් තැබිය හැකි අවියක්, නමුත් මෙය මැෂින් තුවක්කුවක් නිසා, නොකඩවා වෙඩි වැලක් තැබිය හැකියි. මැෂින් තුවක්කු වලින් වෙඩි තැබීමේදී කොකා හෙවත් ට්‍රිගරය මිරිකන (ගස්සන නොවේ. කොකා ගැස්සුවොත් තුවක්කුව සෙලවී ඉලක්කය වරදිනවා) විට එක වෙඩිල්ලක් හෝ නොකඩවා වෙඩි වැලක් හෝ සමහර තුවක්කු වල වෙඩි තුන බැගින් හෝ පිටවීමට සකසා තිබෙනවා. ඒ නිසා ට්‍රිගරය මිරිකාගෙන සිටියොත් මැගසිනයේ ඇති පතරොම් සියල්ල එක දිගට පත්තුවී අවසන් වෙනවා. මේ නිසා මේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පුහුණු කිරීමේදී ඉතා හොඳින් ට්‍රිගරය මිරිකීම පාලනය කිරීමෙන් වරකට වෙඩි එකක් දෙකක් පිටවන ආකාරයට වෙඩි තැබිය හැකියි.

තව දුරටත් කරුණු විස්තර කිරීමට පෙර මම කැමතියි මේ තුවක්කුවේ ප්‍රධාන තොරතුරු ඉදිරිපත් කරන්නට. එමගින් ඔබට මේ තුවක්කුව කොතරම් සේවයක් කරතිබේද යන්නත් පැහැදිලිවනු ඇති. මුලින්ම කිවයුතුයි මේ තුවක්කුවේ ‘බ්‍රෙන්’ යන නම චෙකොස්ලොවේකියාවේ Brno නමැති නගරය හඳුන්වන නමෙන් ඉංග්‍රීසි භාෂාවට බිඳී ආ නමක් බව. චෙකොස්ලොවේකියාවේ 1920 දශකයේ නිපදවන ලද ZB Vz. 26 නමැති මැෂින් තුවක්කුවේ වැඩි දියුණු කල මෝස්තරයක් තමයි බ්‍රෙන් තුවක්කුව. මේ තුවක්කුව 1930 දශකයේදී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතයි. දෙවැනි ලෝක යුද්ධය ඇතුළු යුද්ධ ගණනාවකදී මෙය පාවිච්චිකර තිබෙනවා. 1960 දශකයේ අග භාගයේදී මෙය ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වුනත් 1982 ෆෝල්ක්ලන්ත යුද්ධයේදීත්, 1991 ගල්ෆ් යුද්ධයේදීත්, බ්‍රිතාන්‍ය හමුදා මෙය පාවිච්චිකර තිබෙනවා. එයින් පෙනෙනවා මෙය ප්‍රබල අවියක් බව.

සාමාන්‍යයෙන් මෙවැනි ආයුධ පමණක් නොව ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, ආදිය සම්බන්ධයෙනුත් සලකා බලන විට, එය මුලින්ම සොයාගත් රටේ නිපදවන මෝස්‌තර වලට වඩා ජනප්‍රිය වන්නේ, ඒ අනුසාරයෙන් වෙනත් රටක නිපදවෙන මෝස්තරයි. ලෝකයේ සෑම තැනම තත්වය එයයි. හොඳම උදාහරණයක් නම්, අපි කවුරුත් දන්නා ටී 56 රයිෆලයේ මුල්ම නිපැයුම වන්නේ, 1947 දී රුසියාවේ නිපදවූ ඒ.කේ. 47 රයිෆලයයි. නමුත් චීනය එය කොපිකර 1956 දී සෑදූ ටී 56 වඩාත් ජනප්‍රිය වුනා.

මීළඟට මම බ්‍රෙන් තුවක්කුවේ සියලු තොරතුරු සම්පිණ්ඩනයක් ඔබවෙත ගෙන එනවා.

වර්ගය :   සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු (Light Machine Gun)

මුල් නිෂ්පාදන : චෙකොස්ලෝවෙකියාව, මහා බ්‍රිතාන්‍යය

භාවිතයේ තිබුණු කාලය : 1938 සිට 1966 පමණ වනතුරු

භාවිත කරන ලද වැදගත් අවස්ථා : දෙවැනි ලෝක යුද්ධය, චීන සිවිල් යුද්ධය, 1948 ඊශ්‍රායල් යුද්ධය, ඉන්දු පාකිස්තාන් යුද්ධ, ඉන්දු චීන සටන්. ෆෝල්ක්ලන්ත යුද්ධය.

නිෂ්පාදනය ඇරඹීම : 1935 දී

නිෂ්පාදනය අත්හිටවීම : 1971 දී. බ්‍රිතාන්‍යය හැර පාකිස්තානය වැනි රටවලද නිපදවා ඇත.

මෝස්තර : මෝස්‌තර අංක I, II, III, IV, සහ L4

අවියේ බර : මෝස්‌තර අංක I සහ II රාත්තල් 22.83 (කිලෝග්රෑම් 10.35) මෝස්‌තර අංක III සහ IV රාත්තල් 21.6 (කිලෝග්රෑම් 9.75)

අවියේ දිග (මෝස්‌තර අංක III සහ IV) : අඟල් 42.9 (මිලිමීටර් 1156)

තුවක්කු බටයේ (බැරල්) දිග : අඟල් 25 (මිලිමීටර් 635)

ක්‍රියාකරවීම : දෙදෙනෙක් අවශ්‍යයි. (විස්තර පහලින් ඇත)

යොදන පතරොම් වර්ග : බ්‍රිතාන්‍ය මෝස්‌තර .303 පතරොම සහ 7.62 x 51 පතරොම

ක්‍රියාකාරිත්වය : පතරොමෙන් ඇතිකරන වායු පීඩනයෙන් (විස්තර පසුව)

වෙඩි තැබීමේ වේගය : විනාඩියකට පතරොම් 500 – 520 අතර

උණ්ඩයක ප්‍රවේගය : තත්පරයකට අඩි 2440 (මීටර් 743.7)

සඵල දුර (උණ්ඩයකින් ඉලක්කයක් සහතිකවම ලබාගතහැකි දුර) : යාර 600 (මීටර් 550)

උණ්ඩයක උපරිම දුර : යාර 1850

පතරොම් යෙදීම : පතරොම් 20 මැගසින් සහ පතරොම් 30 මැගසින්

දැන් අපි තුවක්කුවේ කොටස් හඳුනාගනිමු නේද.  මේ තුවක්කුව තරමක් සංකීර්ණ කොටස් වලින් යුක්ත නිසා මම ඔබට හඳුන්වා දෙන්නේ අත්‍යවශ්‍යම කොටස් පමණයි. ඊට කලින් මේ විස්තරයත් කියවා ඉන්න. සාමාන්‍යයෙන් යුද හමුදා භට ඛණ්ඩයක = platoon (අවම වශයෙන් සෙබළුන් 25 ක්) පේලි හෙවත් ‘පෙළ’ = section තුනක් තිබෙනවා. මේ පේළියක අණදෙන්නා වන්නේ කෝප්‍රල් වරයෙක් ඔහුගේ දෙවනියා තමයි “ලාන්ස් කෝප්‍රල් ” href=”http://en.wikipedia.org/wiki/Lance_corporal”>ලාන්ස් කෝප්‍රල් (කාලතුවක්කු හමුදාවේදී කෝප්‍රල් ‘බොම්බඩියර්ලෙසත් ලාන්ස් කෝප්‍රල් ‘ලාන්ස් බොම්බඩියර්’ ලෙසත් හඳුන්වනවා) (හරී අර ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා නේද දැන්?) ඉතින් මේ ලාන්ස් කෝප්‍රල් සහ තවත් එක සොල්දාදුවකු තමයි මේ තුවක්කුව ක්‍රියා කරවන්නේ. එය ‘එල්.එම්.ජී.ග්රූප්’ (Light Machine Gun Group)කියා හඳුන්වනවා. 1971 දී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉතා ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායමක් සාදා තිබුනා. එහි නම ‘එල්.එම්.ජීස්’ එය මහජනතාව අතර ජනප්‍රිය වුනා. එහිම විකාශයක් තමයි දැන් තිබෙන්නේ.

  මේ පින්තූර දුටු විටම ඔබට සිතෙනවා ඇති කොහොමද මෙච්චර කෑලි ගොඩක්

 මතකයේ තියා ගන්නේ කියලා. මේ තියෙන්නේ මූලික කොටස් පමණයි

ඉතින් කීප වතාවක් හොඳින් බලලා මතකයට ගන්න.

තුවක්කුව උස්සලා බලන්නකෝ බර එහෙම.

මම ඔය ඉහලින් පෙන්නලා තියෙන්නේ.

මම මේක උස්සගෙන ගියේ වයස අවුරුදු 16 දී. පාසල් ශිෂ්‍යයකු ලෙස.

ඒ නිසා ඔබට කියන්න බැහැ බර වැඩියි කියලා.

දන්නවනේ. . . . .  හරියට වැඩේ නොකලොත් මම ‘සාජන් රෝසා’ ට කියනවා.

මේ තුවක්කුවෙන් වෙඩි තැබීමට දෙදෙනෙකු අවශ්‍ය බව

 මා කිව්වා ඔබට මතක ඇති. එයට හේතුව මෙයයි.

 එක දිගටම වෙඩි තබාගෙන යනවිට, මේ තුවක්කුවේ බටය

හෙවත් බැරල් එක තදින් රත් වෙනවා. බැරල් එක ගලවා

අලුත් බැරල් එකක් ගැසිය යුතුයි. මේ තුවක්කුවකට බැරල් දෙකක් ලැබෙනවා.

 ඉතින් අර අනෙක් සොල්දාදුවා තමයි බැරල් මාරු කිරීම කරන්නේ.

 බිම දිගාවී වෙඩි තැබීමේදී වෙඩි තබන ලාන්ස් කෝප්‍රල්

බැරලය රත්වූ වහාම ‘බැරල් චේන්ජ්’ කියා දකුණු පැත්තට පෙරළෙනවා.

 මෙතෙක් වෙඩි තැබූ බැරලයත් ගලවාගෙන.

සගයා ඔහු අතේ තියන බැරලය සවි කරගෙන වෙඩි තියනවා.

 එතෙක් අනික් බැරලය නිවෙන අතර අලුත් මැගසින් ද සූදානම් කරගන්නවා.

දෙදෙනාම මේ ක්‍රියාව මාරුවෙන් මාරුවට කරනවා. ලේසි නෑ නේද වැඩේ.

කම්මැලි වෙන්න එපා. කම්මැලි වුනොත් නාවනවා දියතලාවේ සීතල ‘හලංගොඩ වැවේ’ බස්සලා.

 ලෝකේ යුද්ද කරන්නට තුවක්කු ඕනෑවේ

ලෝකේ වෙඩිල්ල තියන්න දෙදෙනෙකු ඕනෑවේ

එම් ජී . . . . . . . එම් ජී. . . . . (Machine Gun)

මට මතක් වෙනවා එක්තරා කතාවක්. ඇත්ත කතාවක්. 1971 කැරැල්ලට සම්බන්ධ වුනා ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව ලැබූ අය සෑහෙන ගණනක්. ඔවුන් අතට මේ වර්ගයේ තුවක්කු ලැබී තිබුනා කුමන ක්‍රමයකින් හෝ. හමුදා අත් අඩංගුවට පත්වූ ඒ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා, එක බැරල් එකක් විතරක් තියාගෙන කොහොමද වෙඩි තිබ්බේ කියා. ඔවුන් ලබාදුන් පිළිතුර තමයි බැරලය නොගලවා තෙත රෙදි කෑල්ලක් බැරලයේ වෙලීම හෝ උස තැනක ඉඳලා බැරලයට චූ කිරීම තමයි විසඳුම කියා. උඩ ඉඳලා එන මුත්‍රා ධාරාව පහලට එනවිට නිවිලා එන්නේ. කොහොමද ටිකිරි මොලේ?

මේ තුවක්කුවෙන් වෙඩි තියන්න දැන්මම කලබල වෙන්න එපා. මුලින්ම අපි බලමු තුවක්කුව කොටස් වලට ගලවන්නේ සහ සවි කරන්නේ කොහොමද කියා. මේ තුවක්කුව මූලික වශයෙන් කොටස් පහකට ගලවනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ එසේ කොටස් වලට වෙන් කිරීමයි.දැන් මම විස්තර කරන දේවල් තේරුම් ගැනීමටනම් ඔබ තුවක්කුවේ කොටස් හොඳින් මතක තබාගෙන සිටිය යුතුයි. ඒ නිසා මම හිතනවා මේ ලිපිය හැකි තරම් සරල භාෂාවෙන් ලියන්නටත්, හැකි තරම් විශාල ප්‍රමාණයක් රූප සටහන් ඇතුලත් කරන්නටත්.


ඕනෑම ගිනිඅවියක් ගැලවීමට පෙර එය ආරක්ෂාකාරීව ඇති බව තහවුරු කරගත යුතුයි. ඔබට මතක ඇති පහුගිය යුද සමයේදී මහජනතාවට නිවේදන නිකුත්කලා සැක කටයුතු කිසිවක් අල්ලන්න එපා කියා. මම එක දෙයක් කියන්නට කැමතියි. අපේ මිනිස්සුන්ට දෙන අවවාදයක් ඔලුවේ තියාගන්නේ සතියයි දෙකයි. නිතරම බෝම්බ පුපුරනවානම්, මිනිස්සු මැස්සෝ මදුරුවෝ වගේ මැරෙනවානම් විතරයි අපේ මිනිස්සුන්ට ආරක්ෂාව ගැන හැඟීමක් ඇතිවෙන්නේ. මොන කරුමයක්ද මන්දා ඒක. 1998 දී මා යටතේ සිටිය නිලධාරියෙක් එල්.ටී.ටී.ඊ. බංකරයකට ප්‍රහාරයක් එල්ල කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ අවි ආයුධ දමා පලාගියා. ඒ නිලධාරියා එතන වැටී තිබුන ටී 56 රයිෆලයක් අතට ගෙන එහි මැගසින් එක ගලවනවාත් සමග එම අවිය පුපුරාගොස් නිලධාරියා එතනම මියගියා. ඒ අවි දමාගොස් තිබුනේ අපව ඒ උගුලට හසුකර ගන්නටයි. ඒ නිසා කිසි දිනක ඔබ නොදන්නා දේවල් වලට අත ගසන්නට එපා. දන්නා අයටත් වරදින අවස්ථා එමටයි.

හොඳයි. දැන් ඔක්කොම කෑලි බෑලි මතකද? මතක නැත්නම් සාජන් රෝසාගෙන් රයිෆල් සුද්ද කරන හීනි කම්බිකූරෙන් පස්ස පැත්තට පාරක් වදිනවා. හරි මමත් ඉන්නවනේ.ඕනේ . . කක් කියලා ගලවමු. මුලින්ම බලන්න ආරක්ෂක අගුල හෙවත් සේෆ්ටි ලිවරය ‘ඒ’ නමැති ස්ථානයට හෝ ‘ආර්’ නමැති ස්ථානයට දමා තිබෙනවාද කියා. එය වහාම ‘එස්’ හෙවත් ‘සේෆ්ටි’ ස්ථානයට දමන්න. දැන් බයිපොඩ් එක දිගහැර තුවක්කුව බිම තියන්න. එවිට තුවක්කුව බිම හිටින්නේ බයිපොඩ් එකෙන් සහ බට් එකෙන්. මුනින් අතට බිම දිගාවන්න තුවක්කුවට පසුපසින්. දැන් තුවක්කුවේ සේෆ්ටි ලිවරය ‘ඒ’ නමැති ස්ථානයට දමන්න. වම් අතින් තුවක්කුවේ ‘ස්මෝල් ඔෆ් ද බට්’ නමැති ස්ථානයන් අල්ලාගන්න. වම් අතේ මහපට ඇඟිල්ල යටටත් ඉතුරු ඇඟිලි හතර උඩටත් තියන විදිහට අල්ලන්න.දකුණු අතේ මහපට ඇඟිල්ලෙන්, මැගසින් එකේ වම් පැත්තත්, ඉතුරු ඇඟිලි හතරෙන් මැගසින් එකේ දකුණු පැත්තත්, අසුවන පරිදි මැගසින් එක තුවක්කුවට සවිවී තිබෙන තැනින් අල්ලාගන්න. දැන් ඔබේ අල්ල මැදට හිටලා තියනවා ‘මැගසින් කැච්’ එක. එය ඉදිරියට තද කරන්න, එවිට ‘චකස්’ සද්දයකින් මැගසින් එක ගැලවෙනවා. මැගසින් එක පැත්තකින් තියන්න. දැන් දකුණු අතින් අල්ලාගන්න ‘කොකින් හැන්ඩ්ල්’ එක. එය දිග හැරිය යුතුයි හරියට අර මෝටර් බයිසිකලයක ‘කික් පෙඩ්ල්’ එක දිගහරිනවා වගේ. දැන් කොකින් හැන්ඩ්ල් එක වේගයෙන් පසුපසට අදින්න, ඇදෙන අන්තිම සීමාවටම. ඇදලා ආපසු තල්ලු කරන්න. මෙය ‘ටක්’ ගාන වේගයෙන් කල යුතුයි. දැන් ඉදිරිපස භූමියේ කිසිවකු නැති බව තහවුරු කරගන්න. තවමත් වම් අත ස්මෝල් ඔෆ් ද බට් එකේ තියෙන්නේ. දැන් බට් එක දකුණු උරහිසට හොඳින් හේත්තු කරගන්න. සෙමින් දකුණු අතින් ට්‍රිගර් එක මිරිකන්න. දැන් චෙම්බරයේ පතරොමක් තිබුනානම් එය පත්තු වෙනවා. තිබුනේ නැත්නම් පිස්ටනය ‘චකස්’ හඬින් ඉදිරියට ගොස් නවතිනවා.

ඔන්න අපි තුවක්කුව ආරක්‍ෂිත බව තහවුරු කරගත්තා. දැන් තුවක්කුව ගලවමු. තුවක්කුව සම්පූර්ණයෙන් බිම තියන්න. තුවක්කුවට වම් පැත්තෙන් දණගසාගන්න. දකුණු දණහිස බිම වම් දණහිස එසවී තිබෙන විදිහට. ‘බැරල් නට් කැච්’ එක වම් අතින් අල්ලා ගන්න. දකුණු අතින් තුවක්කුවේ බොඩි එක අල්ලා ගන්න. ඔය මොකක්ද ඇල්ලුවේ? ඔය බැරල් නට් කැච් එකද? උස්ස ගන්නවා තුවක්කුව උඩට. දුවලා එනවා පිට්ටනිය වටේ රවුම් දෙකක්. ඔහොම බෑ. මම ඔක්කොම කෑලි ඇඳලා ලියලා කියලා දීලා තියෙන්නේ. හරි දැන් බැරල් නට් කැච් එක ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට කරකවන්න. ටිකක් හිරයි තදින් කරකවන්න. හරි අංශක 90 ක් කැරකුනාම නවතිනවා. දැන් බැරල් එක ඉස්සරහට අදින්න. හරිනේ බැරල් එක ගැලවිලා අතට අවානේ. බිමින් තියන්න. ඒයි. . . . .   නිකම්ම බිම තියන්නේ නෑ මනුස්සයෝ. කෝ ඔයාට දීලා තියන කැන්වස් රෙද්ද (ග්‍රවුන්ඩ් ශීට් එක) ඒක බිම එලලා ඒක උඩ තමයි ඔය ගලවන කෑලි තියන්නේ. එක කුණු දූවිලි පොදක් වදින්න බෑ හරිද? හරි. දැන් බොඩි ලොකින් පින් එක තද කරන්න, ඔය තුවක්කුවට දාන පතරොමක බුලට් පැත්තෙන්. බයවෙන්නේ එපා මනුස්සයෝ, බුලට් පැත්ත තද වුනාට පතරොමක් පුපුරන්නේ නැහැ. දැන් පින් එක වම්පැත්තට තල්ලුවුනාද සම්පූර්ණයෙන්? හරි දැන් බොඩි එක වම් අතින් අල්ලාගෙන බට් එක අදින්න පස්සට. හරිනේ. බට් කොටස සහ බොඩි කොටස වෙන්වුනා නේද? බට් කොටස පැත්තකින් තියන්න. ග්‍රවුන්ඩ් ශීට් එක උඩ. . . . ග්‍රවුන්ඩ් ශීට් එක උඩ. ආයේ වැරද්දුවොත්නම් දෙනවා පස්සපැත්තට අර කම්බියෙන් පාර හත අටක් හොඳද.දැන් බලන්න බොඩි එක ඇතුලේ පෙනෙනවා පිස්ටන් එක. රිදී පාටට. එය පීල්ලක වැඩ කරන්නේ. හෙමින් ඉදිරියට ඇදලා ගලවලා ගන්න. බොඩි එක පැත්තකින් තියන්න. පිස්ටන් එක කියන්නේ ඉතාම පරිස්සමෙන් අතපත ගෑයුතු කොටසක්. බිම අතාරින්න එහෙම එපා. ඇද වුනොත් තුවක්කුව අහක දානවා මිසක් පිස්ටන් එක අලුත්වැඩියා කරන්න බැහැ. බොඩි එකට සවිවී තියන බයිපොඩ් එක ඉදිරියට තල්ලු කරන්න. ගලවුනානේද? නෑ? ඔහොම බෑ උන්නැහේ . . .  පණ තියෙන්න ඕනේ මේ තුවක්කු ගලවන්න. හරි දැන් බලන්න අපි තුවක්කුව ප්‍රධාන කොටස් පහකට ගැලෙව්වා. ඒවා ග්රූප් පහක් හැටියටයි නම් කරන්නේ. මෙන්න ග්රූප් පහ. 1. පිස්ටන් ග්රූප්. 2. බැරල් ග්රූප්. 3. බට් ග්රූප්. 4. බොඩි ග්රූප්. 5. බයිපොඩ් ග්රූප්. හරිනේද?

දැන් හොඳ ළමයි වගේ, අර කෑන් එකේ තියන රයිෆල් ඔයිල් ගාලා, ඔක්කොම කුණු දූවිලි යවලා, ඔය කොටස් ටික හොඳට සුද්ද කරන්න. ඊට පස්සේ, ඒවා හොඳට අධ්‍යයනය කරන්න. ඊටත් පස්සේ, පිරිසිදු රෙදි කඩක ඔතලා තියන්න ආපහු සවි කරන හැටි කියලා දෙන තුරු. ඊළඟට තුවක්කුව හයි කරලා වෙඩි තියන්නත් තියනවා. හාපෝයි. . . . .   ඔහොම පණ නැතුවනම් බැහැ හරිද? අවුරුද්දට උයපු කැවුම් ටිකක්වත් වැඩිපුර කාලා ශරීර ශක්තිය වඩවා ගත්තොත් හොඳයි.

Advertisements

Comments on: "අපේ කාලයේ තුවක්කු 4" (34)

  1. “මේ නිසා මේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පුහුණු කිරීමේදී ඉතා හොඳින් ට්‍රිගරය මිරිකීම පාලනය කිරීමෙන් වරකට වෙඩි එකක් දෙකක් පිටවන ආකාරයට වෙඩි තැබිය හැකියි.”

    ආසාවේ බෑ… පිටරටවල තියෙනවා නේද ප්‍රයිවෙට් ශූටින් රේන්ජ් කියලා ජාතියක්.. සල්ලි ගෙවලා වෙඩිතියන්න… ලංකාවේ ඒවා තියෙනවද..? එහෙමනම් කොහෙද තියෙන්නේ..?

    ලිපිය තාම සම්පූර්ණයෙන් කියෙව්වේ නෑ.. නිදහසේ කියවන්න අවශ්‍ය නිසා…

  2. අද ලිපිය වෙනදාට වඩා අමුතු ශෛලියකින් ලියවිලා තියෙනවා.. අවුරුදු කාලෙ හින්දද මන්දා 😛

    බොම්බඩියර් ගැන දැනගත්තා.. බඩියා ගැනත් කියන්න.. මම මුලින්ම බොම්බඩියර් ගැන ඇහුවේ බලකා මූලස්ථානයට ගිය වෙලේක .. ෆෝම් එක ෆිල් කරලා බොම්බඩීට දෙන්න කිව්වා.. මම හිතුවෙ විහිලුවට
    කියන නමක් වෙන්න ඇති කියලා.. එතන ලේඛන කටයුතු කළ කෙනාට තමයි බොම්බඩි කියන්නෙ…

    මිනිස්සුන්ට ඉක්මණින් අමතක වෙනවා කියන එක නම් ඇත්ත.. අනික මම අහලා තියෙන විදිහට නොසැලකිලිමත්කම නිසාම යුද්දෙදි ගොඩක් ජීවිත අහිමි වුනා…
    ස්තුතියි!

    • මට පහුගිය ලිපිය බලන්න බෑ…

      cache අස්සෙ රිංගලා කමෙන්ට් එකට උත්තරේ නම් යන්තන් බලා ගත්තා..

    • බොම්බඩියර් කියන වචනයේ හල් රයන්න ශබ්ද වෙන්නේ නැහැනේ. එත් හමුදාවේ සමහරු ඒ අකුරත් ශබ්ද කරනවා. තවත් සමහරු බොම්බඩී කියනවා. ඒ දෙකම වැරදියි.
      පරණ සින්දු කෑල්ලක්වත් මතක් වෙන්නේ අවුරුදු කාලෙටනේ. ඒකයි සින්දු කෑල්ලකුත් දැම්මේ.

  3. ආ හා මේකෙන් තමා Minimi යයි ඊට පස්සේ Mk 48 යි හැදිල තියෙන්නේ නේද…… මම මේක දැකල තිබුනා මැගසින් එක නැතුව, දැන් ඒක මැගසින් එක උඩින් තියනවා දැක්කම කැත හිතුනා. 😉

    • ඒ තුවක්කු වලට යන්ඩ කලින් තව ඒවා තියනවා. ඒවා ඉගෙනගෙන අරවට යමු.
      කැත හිතන්ඩ එපා. මේ තමයි උඩට මැගසින් එක තියන මේවගේ එකම තුවක්කුව. මේකෙන් දිඩි දිඩි ගාලා වදිනකොට කැත නෑ හොඳේ.

      • 😀 ඇත්තටම උඩින් කවුලුවක් තියෙනකොට මම හිතුවෙ මේක බෙල්ට්ෆෙඩ් කියලා, ඇයි ඉතිං මැගසින් එකක් උඩින් ගහයි කියල දන්නෙ කවුද

  4. l m g කියන්නේ ඔකනේ. නම හරිම පුසිද්ධයිනේ. දැක්කේ අද. රත්වෙන එක වෙන්නේ කොර්‍චචර ර්‍වෙලාවකින්ද

    • එල්.එම්.ජී. කියන නමින් තවත් තුවක්කු තියනවා. උදාහරණයක් වශයෙන් ටී 56 තුවක්කුවේ එල්.එම්.ජී එක තමයි වර්තමානයේදී අපේ හමුදා පාවිච්චි කරන්නේ. මේ තුවක්කුව ‘.303 එල්.එම්.ජී.’ එක.

      එක දිගට නොකඩවා ස්වයංක්‍රීය තත්වයෙන් (Automatic Mode) මැගසින් 4 ක් 5 ක් ගහනකොට බැරල් එක රත් වෙනවා.

  5. වායු රයිපලයක් යනු කුමක්ද?

    • වායු රයිෆලයක් යනු, තුවක්කුවක් තුල සාමාන්‍ය වායුව (අවට වායුවෙන් ඉබේ ලැබෙන) හෝ විශේෂිත වායුවක් (තුවක්කුවට සවිකළ කුඩා වායු කෑන් එකක්) මගින් පීඩනයක් ඇතිකර, එම පීඩනයෙන් ප්‍රක්ෂිප්තයක් (Projectile) පිටතට විදීමට නිර්මාණය කල උපකරණයකි. සමහර වායු තුවක්කු/පිස්තොලවල ප්‍රක්ෂිප්තය වන්නේ ඊතලක් හෝ තද ප්ලාස්ටින් මූනිස්සමක් විය හැකියි. ලෝහ ප්‍රක්ෂිප්තයක් පිට කරන වායු රයිෆලයකින් මීටර් 3 කට වඩා අඩු දුරක සිට වෙඩි තබා පුද්ගලයකුට මරණීය තුවාල සිදු කල හැකියි. ලංකාවේ වායු රයිෆල් සඳහා දැන් බලපත්‍ර අවශ්‍ය නැත. වෙනත් තුවක්කුවල මෙන් වෙඩි බෙහෙත් සහිත පතරොමක් පත්තු නොවීම මෙහි ඇති විශේෂ වෙනසයි. නමුත් වායු රයිෆලයද තුවක්කුවක් ලෙස සලකන රටවල්ද තිබෙනවා.

      • වායු රයිෆල් වලින් කොපමණ දුරකට Projectile කළ හැකිද? වගා ආරක්ෂාව සදහා පතරොම් තුවක්කු සෑම අයෙකුටම ලබා ගැනිම දුක්ෂර නිසා වායු රයිපල් භාවිතය ඵල දායීද ? විශේෂයෙන් දඩුලේනුන් හා වල් ඌරන් මැරීමට නොව පැමිණිම පාලනයටවත් භාවිති කළ හැකිද?

        • වායු රයිෆල් වලට යොදන ඊයම් මූනිස්සම් හඳුන්වන්නේ පෙලට් (Pellat) කියලා. ඒවා 100 ක් විතර තියන පෙට්ටියක් රු 400 ක් විතර වෙනවා. එකක් මුං ඇටයකට ටිකක් ලොකුයි. කඩල ඇටයට වඩා පොඩියි.
          වායු රයිෆලයක් කිසිසේත් පතරොම් තුවක්කුවක් තරම් පලදායී නැහැ. ඌරන්ට කොහොමවත් වැඩක් නැහැ. රිලවුන්ට රිදවීම හෝ සුළු තුවාල කරන්න පුළුවන්. දඬු ලේනුන් මරන්න පුළුවන්. (අපේ ජාතික සත්වයා. මරන්න තහනම්) පෙලට් එකක් සාමාන්‍යයෙන් අඩි 100 ක් විතර දුර යනවා. නමුත් අඩි 50 කට පස්සේ වැඩක් නැහැ. මම එකක් පාවිච්චි කරනවා. දඬු ලේනුන් පළාතේ නොහිට දුවනවා. දවස් 5 ක් 6 ක් ගියාම ආයෙත් එනවා. රිලවුන් කෑ ගහගෙන දුවනවා. සතියකට විතර පස්සේ ආයෙත් එනවා.මේ තුවක්කුවෙන් වෙඩි හඬක් පිටවෙන්නේ නැහැ. අඩි 5 ක් 10 ක් දුරට ඇහෙන ‘පොප්’ හඬක් විතරයි එන්නේ. පොඩි එවුන් සෙල්ලම් කරන ‘කැප්රෝල්’ පිස්තෝලේ තරම්වත් සද්ද නැහැ.

      • “ලංකාවේ වායු රයිෆල් සඳහා දැන් බලපත්‍ර අවශ්‍ය නැත. ”

        එකක් කීයක් විතර වෙයිද?
        වෙඩි තියන්න ඕනෙ නෑ පෙන්නල බය කරන්න පුලුවන් නම්…

        • ඇයි තුවක්කු පෙන්නලා බය කරලා බැංකු මන්කොල්ලකන්නද? ගොවිජන සේවා මධ්‍යස්ථාන වල තිබෙන බවත්, එකක් රු 8000/- සිට 15000/- පමණ වන බවත් ආරංචියි. පුද්ගලික තැන්වලත් ඕනෑ තරම් තියනවා. ඉරිදා පත්තරවල අර ‘ලහුටු පිට’ ද මොකක්ද බලන්න.

      • අපොයි සද්දෙ නැත්නම් වැඩක් නෑ.. එහෙම නම් හොඳ තුවක්කුවක් අරන් blank එව්වා දාලා තියන්න වෙන්නෙ..

        • බ්ලෑන්ක් දාන්න පුළුවන් හොඳ තුවක්කුව මොකක්ද? බෝර් 12 පතරොම් තුවක්කු වල බ්ලෑන්ක් තියනවා. ඒත් තුවක්කු බලපත්‍රයක් ගන්න ඔයා ‘අරයා හෝ අරයාගේ අරයා’ හඳුනන කෙනෙක් විය යුතුයි.

  6. සමාවෙන්ඩ ඕනා, එන්ඩ පරක්කු උනා…

    T 56 වගේ තුවක්කු වලින් වෙඩි තියද්දි ඔහොම රත්වීමක් වෙන්නැද්ද ?

    සාමාන්‍යයෙන් හමුදාවෙ ඉන්න හැම කෙනෙක්ටම මේ වගේ ආයුධ පිළිබඳ දැනුමක් තියනවද ? නැත්නම් මේ ඔබගේ උනන්දුව මත වගා කරගත්තු දැනුමක්ද ? මොකක් උනත් විශිෂ්ඨයි..

    ස්තූතියි.

    • ප්‍රමාද වෙලා හෝ ඔබ මේ පැත්තේ ආව එක මට ලොකු හයියක්.

      ඕනෙම ස්වයංක්‍රීය තුවක්කුවකින් හෝ පිස්තෝලයකින් වෙඩි තියාගෙන යනකොට එය රත්වෙනවා. මැගසින් හත අටක් ගැහුව ගමන් ටී 56 බැරල් එක ඇල්ලුවොත් අත පිච්චෙනවා. තවත් මැෂින් තුවක්කු තියනවා පතරොම් වැල් (belt) යොදන. එයින් ටික වෙලාවක් එක දිගට වෙඩි තියාගෙන යනකොට රත්වුනාම ට්‍රිගරයෙන් අත අහකට ගත්තත් තුවක්කුව ඉබේ දිගටම පත්තු වෙනවා. පතරොම් වැල පාගලා හෝ අතින් ඇදලා නවත්තන්නේ. රත්වීම පිලිබඳ විශේෂ අවධානයකින් කටයුතු කලයුත්තේ කාලතුවක්කු වලින් වෙඩි තැබීමෙදියි. විවේකයක් නොදුන්නොත් කාලතුවක්කු බටය පුපුරන්නට ඉඩ තිබෙනවා. කෙසෙල් ගෙඩියක් ලෙලි ඇරියාක් මෙන් පසුපසට ඇඹරී ගිය කාලතුවක්කු මම ඉන්දියාවේ හමුදා ඇකඩමියකදී දැක තිබෙනවා.

      හමුදාවේ පාබල රෙජිමේන්තු වල සිටින අයට තමයි අවි පිලිබඳ හොඳම පුහුණුව දෙන්නේ. විශේෂ උසස් පාඨමාලා නිලධාරීන් හා සොල්දාදුවන් සඳහා දේශීයවත් නිලධාරීන් සඳහා පමණක් විදේශීයවත් ලැබෙනවා. ආසාව නැත්නම් කරත්තයක් දක්කන්නවත් ඉගෙනගන්න බැහැනේ. මම අදටත් මේ විෂයය ගැන ඉගෙන ගන්නවා.

  7. ඒ කේ 47 හැදුවේ ජර්මන් එස් ටී ජී 44 මැෂින් ගන් ඒකෙන් නේද? අනික තමයි මේ වගේම නේද ජර්මන් එෆ් ජී 42 ඒක? එකේ සයිඩ් ලෝඩින් මිකනිසම් එකක් තිබ්බේ. මමත් එක්තරා තුවක්කු පිස්සෙක්. මටනම් මේ රසවත් වැදගත් ලිපියක්.

    • ගහට ගහක් හම්බ වුනා වගෙයි. බොහොම ස්තුතියි මෙහි පැමිණීමට සහ අදහස් දැක්වීමට.

      ඒ.කේ. 47 කෙලින්ම එස්.ටී.ජී. 44 කොපි කිරීමක් කියලා කියන්න අමාරුයි. එයින් ආභාෂයක් ලබා තිබෙන බවනම් ඇත්තයි. ඔබ කියා තිබෙන මොඩල් දෙක තමයි ලෝකයේ ප්‍රථම ප්‍රහාරක රයිෆල් (very first guns in the ‘Assult Rifle’ categoty) ලෙස සැලකෙන්නේ.

      ඔබට හැකියාවක් ඇත්නම් මෙන්න මේ පොත හොයාගන්නට මට උදවු කරන්න. Encyclopedia of weapons of World War II – by Chris Bishop

  8. දවස් දෙකක් ගියා සර් බුදිද , කො අනිත් ලීපිය

    • දෙඤ්ඤං දෙඤ්ඤං. . . . . . නෙට් එකෙන් පොටෝ කෑලි හොයලා, ඒවා අර ගැරැපික් ද මොකක්ද කොරලා, සිංහල වචන (නිකම්ම බෑ ටැක්නිකල් වචන හොයලා) ඊටපස්සේ චූර්ණිකාව ලියලා ඉවරවෙනකොට, කොන්දේ තෙල්ගාන තරමට අමාරුයි. අද රෑට ඉවර කොරඤ්ඤං ඉතුරු කොටේ.

  9. අමුත්තන්ගේ පැමිණිම දාන්නේ කොහොමද

  10. ස්තූතියි සර් . ඉස්සෙල්ලාම එන්නේ මෙතනට

  11. ඉමේෂ් ඔෂාන් said:

    9mm පිස්තෝලෙක සයිලන්සර් එකක් හොයාගන්නේ කොහෙන්ද ?

  12. […] තියනවා. ඒ අතරේම, මම මීට පෙර, ඔබට පරණ මැෂින් තුවක්කුවක් ගැනත්, අලුත් මැෂින් තුවක්කුවක් ගැනත්, […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: