විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

තුවක්කුවක කට වැසීම


 පතරොමක කතාව 2ලිපියෙන් පස්සේ හරී ගෙන් ඉල්ලීමක් ආවා ට්‍රේසර් බුලට් ගැන ලියන්න කියලා. ඒ වගේම බීට්ල්ගෙන් ඉල්ලීමක් ආවා තුවක්කු වලට සවිකරන සයිලන්සර් ගැන ලියන්න කියලා. ඔන්න ඒ ඉල්ලීම් දෙකම එකවර ඉටුකරනවා.

රයිෆලයකින් හෝ පිස්තෝලයකින් හෝ රිවෝල්වරයකින් හෝ වෙඩිල්ලක් තැබීමේදී පිටවන හඬ, සහ යන්තමින් හෝ පිටවන දුම,අවම කරගත හැකිනම්, රහසිගතව යම් වෙඩි තැබීමක් කිරීමට හැකිවනවා. එවිට අවට පරිසරයේ සිටින අය දන්නේ නැහැ වෙඩි තැබීමක් සිදුවුණ බව. විශේෂයෙන් හඬ බොහෝ දුරට ඇසීම සිදුවන්නේ, රාත්‍රී කාලයේදී අප අවට පරිසරය බොහෝ දුරට නිහඬ නිසයි. ඒ නිසා සයිලන්සර් යොදා වෙඩි තැබීම බහුලව සිදුවන්නේ රාත්‍රී කාලයේදීයි. එමෙන්ම දිවා කාලයේදී වෙඩි තබන විට දුම පිටවනු පෙනුනොත් වෙඩි තැබීම හෙළි වන්නට ඉඩ තිබෙනවා. සයිලන්සරයක් තිබේනම් වෙඩි හඬ 90% ක් පමණ හා දුම සම්පූර්ණයෙන් නැති කර වෙඩි තැබිය හැකියි. සයිලන්සර් යොදාගෙන වෙඩි තැබීම් සිදු කරන්නේ ආරක්ෂක හමුදා, විශේෂ පුහුණු පොලිස් ත්‍රස්ත මර්දන කණ්ඩායම්, ආදිය විසිනුයි. නමුත් ත්‍රස්තවාදීන් අතේ මෙන්ම හොරුන් මංකොල්ල කරුවන් (ලංකාවෙනම් මේ දෙවර්ගය අතේ තිබුනා කියලා අසා නැත) අතේද හඬ අවම කිරීමේ කොටස සහිත පිස්තෝල තිබෙනවා. අපේ රටේදී රජයෙන් බලපත්‍රයක් ගෙන පිස්තෝලයක් මිලදී ගතහැකි නමුත් සයිලන්සර සඳහා අවසර දෙන්නේ නැහැ. නමුත් අප අවට පරිසරයේ ඇති යම් යම් දේවල් යොදවා ක්ෂණිකව සයිලන්සර් නිපදවා ගතහැකියි. ඒවායින් 80% කට වඩා හොඳ ප්‍රතිපල ගත හැකියි. නමුත් එය කරන ආකාරයනම් කවදාවත් මා කියන්නේ නැහැ.

ඉහත රූපයෙන් ඔබට පෙන්වා ඇත්තේ පිස්තෝලයකට සයිලන්සරයක් සවිකර ඇති ආකාරයයි. එය සිලින්ඩරාකාර වස්තුවක් බවත්, පිස්තෝලයේ බටයේ අග්ගිස්සට සවිකර ඇති බවත්, පිස්තෝලයේ බටයට වඩා ටිකක් මහත බවත් පෙනෙනවා නේද? මේ උපකරණය සාදා තිබෙන්නේ ලෝහ, පදම් කල ඝන රබර්, ප්ලාස්ටික්, යන දේවල සංකලනයකින්. ඔබ බොහෝවිට දන්නවා ඇති වාහනවල සයිලන්සරයේ ඇති කුටීර සහිත කොටස. බාස් උන්නැහේලා මේ කොටසට කියන්නේ ‘ගෙඩිය’ කියලයි. පහත දැක්වෙන්නේ ඒ වාහන සයිලන්සරයක අදාළ කොටසේ රූප සටහනක්.

  මේ රූපයේ දක්වා ඇති සයිලන්සරයේදී හඬ මෙන්ම දුම අඩු කිරීම සිදු කෙරෙනවා. ඒ සඳහා යොදාගෙන ඇති උපක්‍රමය වන්නේ, ලෝහ පයිප්ප කොටස් කීපයක්, එවැනිම ලෝහ කුටීරයක් තුල, සම්පූර්ණයෙන් මුද්රාකොට දුම ඇතුළුවීමට හා පිටවීමට පමණක් ඉඩතබා සැකසීමයි. දුම සහ හඬ මෙසේ වක්‍ර මාර්ග දිගේ ගියත්, වෙඩි උණ්ඩයකට එසේ යා නොහැකි බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ නිසා මේ න්‍යායම වෙනත් ක්‍රමවේදයකින් තුවක්කු සයිලන්සරයක් තුලදී සිදුවෙනවා. අපි මුලින්ම බලමු සාමාන්‍යයෙන් පිස්තෝල සයිලන්සරයක් පිටතින් පෙනෙන ආකාරය.

පෙනුමෙන් මෙය ඉතා සරල උපකරණයක් වුනත් එහි ඇතුලත සැකැස්ම තරමක් සංකීර්ණයි. එමෙන්ම මෙයින් සිදුවන සේවය අති විශාලයි. සාක්කුවේ දාගෙන යාහැකි ප්‍රමාණයේ සයිලන්සර් වල සිට අඩියක් පමණ දිග සහ විවිධ මහත ප්‍රමාණයන්ගෙන් යුත් සයිලන්සර්ද තිබෙනවා. එසේ විවිධ ප්‍රමාණවලින් ඇත්තේ විවිධ රයිෆල්, පිස්තෝල, රිවෝල්වර් වල බටය විවිධ මහත (කැලිබර්) ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇති නිසයි. එමෙන්ම සයිලන්සරයේ දිග වැඩිවූ තරමට, (ඇතුලත ඇති හඬ අඩු කිරීමේ කොටස් වැඩිවූ තරමට) එයින් උසස් ප්‍රතිපල ලබාගත හැකියි. නමුත් සයිලන්සරයක් සවිකළ පසු අවාසිද තිබෙනවා. බටයේ දිග වැඩි වීම නිසා විශේෂයෙන් පිස්තෝල, රිවෝල්වර, ආදිය සඟවා ගැනීමට අපහසුවීම. වෙඩි තබන ස්ථානයට ගොස් සයිලන්සරය සවිකිරීමේදී කාගේ හෝ නිරීක්ෂණයට ලක්වීමට ඉඩ තිබීම, වෙඩි තැබූ පසු නැවත සඟවා ගැනීම සඳහා සයිලන්සරය ගැලවීමට සිදුවීම, එවැනි අවාසි ලෙස දැක්විය හැකියි. සයිලන්සරයක් සවි කල පසු පිස්තෝලයක දිග වැඩිවී ඇති අයුරු මේ පින්තූරයෙන් පෙනෙනවා.

පිස්තෝල වලට මෙන්ම රයිෆල් වලටද සයිලන්සර් සවි කල හැකියි. ඒ.කේ.47 වර්ගයේ (ටී 56 අවියේ මුල්ම නිපැයුම) රයිෆලයකට සයිලන්සරයක් සවිකර වෙඩි තබන අයුරු මේ සමග දක්වනවා.

සයිලන්සරය පිලිබඳ ඉතා සංකීර්ණ විස්තර ගොඩක් තිබෙනවා. එතින් අත්‍යවශ්‍යම කරුණු පමණයි විස්තර කරන්නේ. එහෙම නොකලොත්, ඒ කියන්නේ න්‍යායාත්මක කරුණු වැඩි කලොත්, ලිපිය නීරස වෙනවා. අපි දැන් බලමු සයිලන්සරයක ඇතුලත සාදා තිබෙන්නේ කෙසේද කියා.

ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති, වෙඩි උණ්ඩයට ගමන් කිරීමට ඉඩ තබා, ලෝහ සහ රබර් මිශ්‍රිත ඝන මුදු රාශියක්, සමාන පරතරයකට අනුව සවි කර ඇති ආකාරය. එයින් කුටීර රාශියල් සැකසී තිබෙනවා. හඬ සහ දුම අඩුවන්නේ ඒවා ආධාරයෙන්. අපි දැන්, සයිලන්සරයක් ගලවා එහි ඇතුලත බලමු.

 මේ රූපයෙන් ඔබට පෙනෙනවා ඇති අර මා කලින් සඳහන් කල මුදු. මේවා නිසා තමයි වෙඩි හඬ 90% කටත් වඩා අඩු වන්නේ. එමෙන්ම දුම සම්පූර්ණයෙන් නැතිවන්නේ. මා හිතනවා මේ විස්තරය ප්‍රමාණවත් කියා ඔබට ගිනි අවි සයිලන්සරයක් පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීමට.

  හරී, ඔන්න ඔබේ ඉල්ලීම ඉටු කරමින් ට්‍රේසර් පතරොම ගැන ලියනවා. මෙය කියවන, ශ්‍රී ලංකාවේ කොළඹ, කොලොන්නාව, කටුනායක, වැනි නගර වල ජීවත්වන අයගෙන්, කීප දෙනෙක් හෝ දකින්නට ඇති, පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්, ඔවුන්ගේ ගුවන් යානා යොදවා, රාත්‍රී කාලයේදී, ඉහත සඳහන් නගර ආශ්‍රිතව එල්ල කල ප්‍රහාර වලදී, ගුවන් යානා නාශක තුවක්කු වලින් අපේ ආරක්ෂක හමුදා, බිම සිට, ප්‍රති ප්‍රහාර එල්ල කල ආකාරය. එහිදී මල් වෙඩි වගේ එලි රාශියක්, ගුවනට යොමුවනු ඔබ දකින්නට ඇති. ඒ උණ්ඩ, .50 සහ 12.7 වැනි විශාල කැලිබර් වල තුවක්කු වලින් එල්ල කල ප්‍රහාර. එම උණ්ඩ ට්‍රේසර් පමණක් නොවේ. පතරොමක කතාව 2කොටසේ සඳහන් ඒ.පී.අයි.ටී. උන්ඩද එම ප්‍රහාර වලදී එල්ල කෙරුනා. මට අවශ්‍ය වුනේ ට්‍රේසර් උණ්ඩයද එවැනි එළියක් ( ටී 56 ට්‍රේසර් පතරොමක එලිය එතරම්ම ප්‍රබල නැහැ.) සහිත බව කීමටයි.

 ට්‍රේසර් පතරොමකින් කරන්නේ, යුද භටයකු ලෙස, මම රාත්‍රී කාලයේදී දකින ඉලක්කයක්, මගේ අනෙක් සගයන්ටත්, මට වඩා ඈතින් සිටින අයටත්, පෙන්වාදීමයි. යුද බිමේදී මෙසේ කිරීමෙන්, මා සිටින තැන අනාවරණය වේදැයි ඔබ අසා තිබුනා. එයට යම් ඉඩක් තිබුනත්, ට්‍රේසර් පතරොම දකින විටම මගේ සගයන්ද, එතනටම වෙඩි තබන නිසා, මගේ අවදානම අඩු වෙනවා. අනෙක් කාරණය නම් ටී 56 ට්‍රේසර් පතරොමක පසුපස දැල්වෙන එලිය එතරම් ප්‍රබල නැහැ.

ට්‍රේසර් පතාරොමේ ආලෝකය ලබාගැනීම සඳහා, එහි බුලට් කොටසේ විශේෂ වෙඩි බෙහෙත් මිශ්‍රණයක් ඇතුලත් කර තිබෙනවා. ඒ නිසා, බුලට් එක ඉලක්කයට ලඟාවනතුරු  ආලෝකය දැල්වී පවතිනවා. එය රෝස පැහැයට හුරු රතු පැහැයක එළියක්. පහත පින්තූරයෙන් ඒ සැකැස්ම පෙන්වාදී තිබෙනවා.

Comments on: "තුවක්කුවක කට වැසීම" (46)

  1. ඉල්ලීම ඉටු කරාට බොහොම ස්තුතියි!

    සයිලන්සර් ගැන ගොඩක් දේ ඉගෙන ගත්තා…

    ඕනෑම කෙනෙකුට බලපත්‍ර සහිත පිස්තෝලයක් ළඟ තබාගන්න අවසර තිබෙනවාද?

    //නමුත් එය කරන ආකාරයනම් කවදාවත් මා කියන්නේ නැහැ.// ගස්ලබු බටයක් ගැහුවානම් හරි.. හැමදාම හොඳම ටික තමා නොකියන්නෙ 🙂

    //එහිදී මල් වෙඩි වගේ එලි රාශියක්, ගුවනට යොමුවනු ඔබ දකින්නට ඇති.// ඇයි එහෙම ආලෝකයක් සහිත වෙඩි යොදාගන්නෙ.. තමන්ගේ උණඩය නිවැරදි ඉලක්කයට යනවාදැයි බලාගැනීමටද?
    මට නම් හිතෙන්නෙ ඉලක්කගත යානාවට උණ්ඩ පෙනීමෙන් ඔවුන්ට පලායාමට අවස්ථාව ලැබෙනවා කියා..

    • පොඩි වැරැද්දක් වුනා. ඕනෑම කෙනෙකුට නෙවෙයි, රජය මගින් පිළිගත් සාධක තිබෙනවා. සෑම විටම අති විශාල මුදලක් එහා මෙහා ගෙනයන පුද්ගලයකු වීම. එය මුදලින්ම ගෙනයාමට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කලයුතුයි. අති විශාල දේපලක් පරිහරණය කිරීම. ඔන්න ඔය වගේ හේතු අනුව තුවක්කුවක් හෝ පිස්තෝලයක් සඳහා බලපත්‍රයක් ගත හැකියි.

      ගස්ලබු බටය හරියන්නේ නැහැ. මම බොරුවක් නෙවෙයි කියන්නේ. ඉතා සරල වැඩ තියනවා. හොඳම ටික කියන්න ගිහින් මගේ අත් දෙකට මාංචු වැටුනොත්?

      ආලෝකය සහිත උණ්ඩ නිසා තමන් ගහන ඉලක්කය අනිත් යටත් පෙනෙනවා. තමන්ටත් තහවුරු වෙනවා ඉලක්කයට වැදුනොත්. පැනයාම කෙසේ වෙතත් නියමුවන් බයෙන් වෙවුලනවා ඒ ප්‍රහාරයට.

  2. හුඟක් වැදගත්…. ඒත් එක්කම පිස්තෝලයක සැකැස්ම ගැන විස්තරේකුත් දානවද ඉදිරි ලිපියකින්

    • කොල්ලෝ උඹනම් මොකක්දෝ පොටකට එන්නයි හදන්නේ. හොඳයි හොඳයි ටිකක් පරක්කු වෙලා ඔය ආසාව ඉෂ්ට කරන්නම්.

      • හී හී…. මොන පොටට ආවත් අපිට මේ රටේ ඕකක් එක්ක සෙල්ලං දාන්න බෑනේ අයියා, එහෙම කරන්නනං මටත් ආරස්සක අංසෙකට යන්න වෙනවා, යුද්දෙත් ඉවර එකේ ඒකට ගහින් අල කන්නයැ. ඒ හින්දා හිතේ තියන පුරස්න ටික ඔයාගෙන් අහගන්න හිතුවේ ඒකයි.

        • නැහැ සහන්, මම හිතන්නේ අපේ රටේ සියලු දෙනාම, හදිස්සියකට වන්ගෙඩියකට පතරොමක් දාලා හරි, වෙඩි තියන්න දැනගන්න ඕනේ.

  3. shooter ෆිල්ම් එකේ මම දැක්කා ප්ලාස්ටික් බෝතලයකට මොනාදෝ පුරවලා ඒක රයිෆල් එකක කටට හයිකරලා වෙඩි තිබ්බාම ශබ්දය පිට නොවෙන්න වෙඩි තියන හැටි… ඒක තමන් විසින්ම නිපදවාගත්ත සයිලන්සර් එකක් කියලයි මම හිතුවේ… ඔයාගේ මේ ලිපි ආසාවෙන් කියවනවා හැබැයි වැඩිය කොමෙන්ට් දාන්නනම් හම්බුවෙන්නේ නෑ

    • ඔබත් ගොඩක් දේවල් අහලා දැකලා තියනවා වගේ. ඒ චිත්‍රපටියේ දැකපු දේ හරි. හැබැයි එය හදන හැටිනම් අහන්න එපා. ලිපි පෙළ අගය කිරීම පිළිබඳව මගේ ස්තුතිය පිළිගන්න.

    • @ගැමියාගේ පත් ඉරුව ,

      එහෙමත් පුලුවන්ද? මොනා වුනත් චිත්‍රපටියක්නෙ… ඇත්ත කියලා හිතන්නත් පුලුවන් නොහිතන්නත් පුලුවන්..

      • මට පොඩිකාලේ නම් පුදුම පිස්සුවක් තිබ්බා වෙඩි තියන්න පුළුවන් තුවක්කුවක් හදාගන්න ඒත් අන්තිමට හදාගන්න පුළුවන් වුනේ තුවක්කුවක වගේ කොකා තියෙන දුන්නක් විතරයි…. කොකා ඇද්දාම දුන්න විදතෑකි කෙහෙල් කඳක් යන්තම් හිල් කරන්න පුළුවන්…..

        අර බෝතලේ කේස් එකේ මට මතක විදියට මඩ වගේ ද්‍රවයක් තියෙනවා.. ඒ වෙඩි තැබීම කරන්නෙත් බෝට්ටුවක ඉඳන්… ඒ නිසා මඩ වගේ යමක් වෙන්නත් පුළුවන්….

        ඒ දේවල් නොකියන එක හොඳයි… ගල්කටස් කියලා අයිටම් එකකුත් ලංකාවේ කොල්ලෙක් හදලා තිබුනයි කියලා මට මතකයි අන්තිමට ඒවට සයිලන්සර් හයි කරන්නත් ගනියි

        • තුවක්කු හදන්න පුළුවන් අය අදත් ඉන්නවා. ඔවුන්ට තැනක් නැහැ වගේම, අපි වගේ දුප්පත් රටක එවැනි කර්මාන්ත පටන් ගැනීමත් අමාරුයි. කලකට ඉහතදී අපේ ඉහල නිලධාරින් දෙදෙනෙකු එකතුවී, මෝටාර් විදිනයක් හැදුවා. ඒ අවියට ඒ දෙන්නගේ නම්වල කොටස් දාලා නමකුත් දැම්මා. නමුත් අපේ සිංහල ගතිය පෙන්වමින්, ඊට වඩා ඉහල උදවිය ඒ ප්‍රයත්නය කපා දැම්මා. අද ඒ දෙන්නම විශ්‍රාම ගිහින්. ගල්කටස් වලට වඩා හොඳ බඩු හදන්න දන්නා අය ඉන්නවා. හොඳ ලියවන පට්ටලයක් සහ අවශ්‍ය ලෝහ වර්ග දුන්නොත් ටී 56 වුනත් ෂුවර් එකටම හදනවා. ඊට ආසන්න එකක් හදලා අහුවුනා.
          අර බෝතලයට දැම්මේ මඩ නෙවෙයි. එහෙම කලොත් උණ්ඩය නිවෙනවා. වේගය බාල වෙනවා. තවත් හිතන්න.

  4. අද තමයි මුලින් ම මේ පැත්තට ආවේ. ලොකු දැනුමක් ලැබුණා. ස්තූතියි ඒ සඳහා!

  5. නියමයි… ගොඩක් ස්තූතියි…!!! මීළඟ ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා… 🙂

  6. තුවක්කුවක් ඇත්නම් සයිලන්සරයක් හදාගැනීම අපහසුයයි කියන්න බෑ.
    මං හිතුවෙ මල්වෙඩි වගේ පේන්නෙ ගුවන් යානා වලට පහරදීමේදී කියල.

  7. ගොඩක් වටිනා ලිපි පෙළක් ,,
    පුද්ගලික ආරක්ෂාවට තුවක්කුවක් ගන්න කොහොමද බලපත්‍ර ගන්නේ?

    • දැනට වලංගු ක්‍රමය වන්නේ, තම පෞද්ගලික ආරක්ෂාව සඳහා තුවක්කු බලපත්‍රයක් ඉල්ලා, තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මගින් දිස්ත්‍රික් ලේකම් වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමයි. මේ සඳහා පනවා ඇති කොන්දේසි පිළිබඳව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසා බලන්න. රජයෙන් ලබා දෙන්නේ බලපත්‍රය පමණයි. ඉන්පසු පුවත්පත් දැන්වීම් මගින් සොයා බැලිය යුතුයි විකිණීමට ඇති තුවක්කු පිළිබඳව. සමහරවිට බලයලත් වෙළෙඳුන් සිටින්නට පුළුවන්. මේ ලින්ක්ස් වලින් වැඩිදුර විස්තර බලන්න.

      http://www.lawnet.lk/sec_process.php?chapterid=1956Y7V182C&sectionno=14&title=FIREARMS%20&path=3

      http://www.defence.lk/main_res.asp?fname=faqs#ඒෂ්ප්ලොසිවෙ

      http://www.customs.gov.lk/docs/25283.pdf

  8. ස්නයිපර් තුවක්කුවටත් නිරන්තරයෙන්ම සයිලන්සරයක් සවි කරලද තියෙන්නේ

    • නැහැ. ස්නයිපර් තුවක්කුවකට සෑම විටම සයිලන්සරයක් සවිකර නැහැ. අවශ්‍යනම් සවි කලහැකියි. ස්නයිපර් කරුවා නාගරික පරිසරයකදී සඟවා තබා ගැනීමට අවශ්‍යනම් සයිලන්සරයක් සවි කරනවා.

      • රුසියන් ස්නයිපර් තුවක්කු ලෝකයේ කොහෙවත් එතරම් ජනප්‍රිය නැත. ඊශ්‍රායලයේ සහ බටහිර යුරෝපීය රටවල මෝස්‌තර තමයි ජනප්‍රිය. මෙතනින් බලන්න.
        http://world.guns.ru/sniper-e.html

      • ඒ කතාව ඇත්තය. පෙනෙන හැටියට රුසියාවත් ස්නයිපර් තුවක්කු ගන්නේ එංගලන්තයෙනි(http://en.wikipedia.org/wiki/L115A3#Russian_Alpha_Group).
        නමුත් අඩු මිලට, බොහෝ කල් පවත්නා, තරමක් හොද නැත්නම් සතුටුදායක ප්‍රතිපල දෙන අවි රුසියාවේ ඇති බව කියනවා නේද (නේටෝ රටවල් වල ඇති මිල අධික, සුපිරි ප්‍රතිපල දෙන එහෙත් අර තරම් කල් නොපවතින අවි ගැන සලකන විට)?
        LTTE ත් draganov නමැති අවිය සැහෙන බාවිතා කල නේද?

        • කල් පැවතීම හා අඩුමිල අතින් මධ්‍යම යුරෝපීය සහ පාකිස්තානු අවි හොඳයි. නමුත් නිරවද්‍යතාවය (accuracy) අඩුයි. ඒ නිසා තමයි බටහිර යුරෝපීය අවි ‘සුපිරි’ වෙලා තියෙන්නේ. හැබැයි AK 47 වගේ එකක්නම් තවත් නැති තරම්. එහි හිරවීම් (stoppages) නැහැ. දිඩි දිඩි ගාලා දීගෙන යන්න පුළුවන්. ඇමරිකන් M16 එක කැලේ. එල්.ටී.ටී.ඊ. කාරයෝ ස්නයිපර් අවි වර්ග කීපයක් පාවිච්චි කළා. බහුලව තිබුනේ Dragunov SVD කියන මොඩල් එකයි.

  9. බොහෝ විට පුද්ගලික ආරක්ෂක අවි සදහා අවසර දෙන්නේ අඩු කැලිබර් පිස්තෝල වලට පමණයි කියා මා අසා තියෙනවා.

    • පිස්තෝල බලපත්‍රයක් ලබා ගනීමනම් ඉතාම අපහසුය. ඇත්තම කියනවානම් දේශපාලන අනුග්‍රහයකින් තොරව අපහසුය. අඩු කැලිබර් කිව්වේ කුමක්ද? සාමාන්‍යයෙන් තිබෙන්නේ මිලිමීටර් 9 තමයි. 9mm/7.62/.45 යන කැලිබර් තමා ලෝකයේම බහුල. එයිනුත් 7.62 සහ .45 යන කැලිබර් වලට පතරොම් හෙවීම ලංකාවේදී නම් කිසිසේත් කල නොහැකි තරම්. පරණ .38 රිවෝල්වර් හොරෙන් විකුනන්න තියනවා. ගන්න එපා. එයින් බොහොමයක් පත්තු වෙන්නේ නැහැ. අනික .38 පතරොම් හොයන්නත් අමාරුයි.

      • මෙය නම් ඉතා කණගාටුවට කරුණකි. මට අවි ආයුධ ආදිය ගැන ඇති හැගීම විස්තර කිරීමට හොදම වචනය “passion”(මෙහි නියම තේරුම දෙන සිංහල වචනයක් මා දන්නේ නැත) යන්නය.

  10. මේක නම් සුපිරිම සුපිරි තැනකි.. පුංචි කාලයේ සිටම තුවක්කු පිස්තෝල පිස්සුව තදින්ම තිබිනි.. ඒ ගැන කතාකරන මේ වගේ තැනක් මට මිස්වුනේ කොහොමද..!!??

  11. සවුන්ඩ් ප්රූෆ් කොරන්ට නම් රික්තකයක් ගැහුවොත් හරි. නමුත් ප්‍රායෝගික නෑ නොවැ. තුවක්කු බටේ දිගට රබර් පයිප්පයක් ගැහුවොත්???? තුවක්කුවක් තිබ්බ නම් කොරල බලල පේපර් එකක්වත් පබ්ලිෂ් කොරන්ට හැකිය.
    ඇත්තට මොකද ලංකාවේ හමුදාව අවි ආයුද ගැන රිසර්ච් මොකවත් කරන්නේ නැද්ද.. ඉන්දියාවෙ හමුදාව නම් කියන්නෙ “ආයුධ බලයවේ” කියලලු.

    • ඔබට ඉන්ටෙර්නෙට් යාම තහනම් කලොත් ඔබ උත්සාහ කරනවා විකල්ප ක්‍රම, ඒ ඔබ අභියෝග බාරගන්නා නිසා. එල්.ටී.ටී.ඊ. එකට අවි ආයුධ ගන්න අමාරු වූ කාලේදී ඔවුන් විවිධ අවි හැදුවා, සබ්මැරීන් හැදුවා. අපි පුරුදු වෙලා ඉන්නේ හැන්දෙන් කටට ලැබෙන තුරු. අපේ රටේ අලුත් නිර්මාණයක් කරන්න හදන මිනිහට හැමදාම කැපිල්ල. මේ කතාව මම මීට කලිනුත් කියලා තියනවා. අපේ හමුදාවේ කර්නල්ලා දෙන්නෙක් එකතුවෙලා මෝටාර් විදිනයක් හැදුවා. එය ඉතා සාර්ථකයි. ඒ දෙන්නගේ නම්වල මුල කෑලි දාලා එකට නමකුත් තැබුවා. අපේ ලොක්කෝ ඒ නිර්මාණය යටපත් කළා. අර දෙන්නා බ්‍රිගේඩියර් නිලයෙන් විශ්‍රාම ගියා. ඉතින් මොන රිසර්ච්ද. අපි දන්නවා ටී 56 තුවක්කුවේ මැගසින් එකෙන් බියර් බෝතල් මූඩිය අරින්න පුළුවන් බවනම්.

  12. ඇයි ලංකාවට ආයුධ නිශ්පාදනයට අවසර දෙන්නෙ නැත්තෙ ? ඇමරිකන් කාරයො බයයිද ? ලංකාවෙ අලුත් අදහස් තියෙන අය ඉන්නව . බැරි වෙලා හරි අපිට එහෙම පුළුවන් වුනොත් ශුවර් එකට වෙන එකෙක්ට වත් ලං වෙන්න බැරි ආයුධ ලංකාවෙ හැදෙනවා . හැබැයි ප්‍රශ්ණෙ අපේ අයගෙ ඉවසීමේ සීමාව තමයි . හික් හික් 😀

  13. යහළු, Browning 9mm pistol එක ගෙන මොකද කියන්නේ? එක බර වැඩි උනාට කල් පැවැත්ම අතින්, පාවිච්චිය අතින් පහසුය් ද? එක ගෙන පුලුවන්නම් පොඩි විස්තරයක් කියන්න.

  14. ඔබගේ පැහැදිලි කිරීමට ස්තුත්ය්. ආයුද සම්බන්ද ඔබ විසින් පල කල සියලුම ලිපි සම්පූර්ණයෙන් කියවා අවසන්. එමගින් ම ලබාගත් දැනුම මෙතෙකි කියන්න බෑ. සම්ප්‍රදායික සහ, නවීන යුද එකතු කිරීමත් මාගේ විනෝදාංශ වලින් එකක්. එහෙත් බලපත්‍ර නොමැති නිසා මා සතුව ගිනි අවි නැහැ. බලපත්‍රයක් ගන්නත් තව නොබෝ කලකින් උත්සහ කරනවා. ඒ වනවිට මාගේ දැනුම තරව තිබිය යුතුය්. SG12 තුවක්කු හැඩති එහෙත් Rifle පතරොම් පාවිච්චි කරන දඩයම් කරුවන් සඳහා පිටරටවල බාවිතයට ගන්නා තුවක්කු ලංකාවේ විකිණීමට තියෙනවාද?

    • ඔබ අවසානයේදී අදහස් කර තිබෙන්නේ Winchestar Rifle එක කියා මා හිතනවා. එවැනි අවියකටනම් බලපත්‍රයක් ලබාගත හැකියයි මමනම් හිතන්නේ නැහැ. කෙසේ වෙතත් ඔබේ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ගිනි අවි බලපත්‍ර අංශයෙන් විමසා බලන්න. දැනට ලංකාවේ ගිනි අවි විකුණන ස්ථානවල බෝර් 12 තුවක්කු තිබෙනවා.

  15. පිළිතුර තේරුම් ගෙන උත්තර දීම පිලිබදව සතුටුය්. මා කැමති එවැනි තුවක්කුවකටය්.Remington Model 700 ගැන මොකද හිතන්නේ? ඒ වගේ ඒවා නම් මෙහෙ දෙන එකක් නැති වේවි නේද? කැලෑ පාරකින්වත් ගන්න මේවා මෙහෙ තියෙනවද? ඔබ තුමා කිව්වා වගේ Winchestar Rifleඑකේ තියෙන Classic ගතිය හරි නියමය් නේද?

    • මම කැමති නැහැ මේ අඩවියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්න. 😀 fire arms dealers in Sri Lanka හෝ එවැනි වචන යොදා අන්තර්ජාලයේ සෙවීමක් කලොත් තුවක්කු විකුණන ස්ථාන තිබෙනවා. එවිට කැලෑ පාරකින් නැතුව කාපට් පාරෙන්ම ගන්න පුළුවන් වෙයි. නමුත් මම නැවතත් ඔබට කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බලපත්‍ර ලබා ගැනීම ගැන සොයා බලන ලෙසයි. නීති විරෝධී ගිණි අවි ළඟ තබාගෙන අසුවුනොත් එය ඔබේ අනාගතයට මහත් කැළලක් වනු ඇති.

  16. මටනං මතක් උනේ ශිෂ්‍ය භට කරන කාලේ භුමි උපක්‍රම පාඩමේදී ඉලක්කපත පෙන්වා දීම කියන කෑල්ලේ තිබිච්ච
    “මාගේ ට්‍රේසර් උණ්ඩය දෙස බලනු!” කියන කොටස!

  17. […] කරන්න පුළුවන් බව මම ඔබට කියලා දුන්නනේ ‘තුවක්කුවක කට වැසීම’ ලිපියෙන්. මෙන්න බලන්න සයිලන්සරය සහිත […]

විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න