විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ලබ්බ උගේ, උගේ මගේ


 මේ කතාව මට අහන්නට ලැබුනේ මා වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අවධියේදීයි. කතාව පුංචි වුනත් මෙහි තිබෙන වචන හරඹය තමයි රසවත්. නුවරකලාවියේ (‘නුවරකලාවිය’ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර වැව, කළා වැව සහ පදවිය වැව යන වැව් වලින් සීමාවූ ප්‍රදේශය) එක්තරා ඈත ගමක මනුස්සයෙක් ළඟ ලබු කැටයක් තිබුනා.

මේ ලබු කැටය  පාවිච්චි කලේ බොන වතුර තබාගන්නා භාජනයක් හැටියටයි. (අද ඉන්න සමහර අය අහලාවත් නැතුව ඇති, අතීතයේදී ලබු කැටය වතුර, පැණි, වගේ දියර වර්ග ගබඩා කර තබාගන්න පාවිච්චි කල බව. ලබු ගෙඩියේ නැට්ටට සෙන්ටිමීටර් 5 ක් පමණ පහලින් කපා වෙන්කරනවා. ඉන්පසු එහි මදය තියුණු පිහියකින් හැකි පමණ ඉවත් කරනවා. ඉතිරි මද කොටස් තිබියදීම ලබු ගෙඩිය මඩ යට වලලනවා. ටික දිනකින් මදය දිරාපත්ව ගොස් හිස් ලබු කැටය ඉතිරි වෙනවා. එය පිරිසිදු කර භාජනයක් ලෙස පාවිච්චි කරනවා.) ලබු කැටය එහා මෙහා ගෙනියන්නේ සිහින් ලනුවකින් වියපු දැලක් මෙන් පෙනෙන මල්ලක දමාගෙනයි. ඉතින් අර මනුස්සයාගේ ලබු කැටයේ ලනු දිරාගිය නිසා අලුතෙන් මල්ලක් සාදා දෙන ලෙස කියා ඊට ඈතින් පිහිටි ගමක සිටි ඒ වගේ වැඩ දන්නා මනුස්සයෙකුට ලබු කැටය බාරදුන්නා.

කාලයක් ගතවුනත් වැඩේ නොකෙරුණ නිසා නැවත නැවත කීප වරක් මතක් කලත් අර මනුස්සයා වැඩේ කරලා දුන්නේ නැහැ. බැරිම තැන ලබු කැටය අයිතිකාරයා එක දවසක් ගිහින් බලනකොට, අර මනුස්සයා ගෙදර හිටියේ නැතත්, තමන්ගේ ලබු කැටයට මල්ලක් සාදා තිබෙන බව දැක්කා. මිනිහා ලබු කැටයයි මල්ලයි අරගෙන හෙමිහිට මාරු වුනා. අර මනුස්සයා ආරච්චිරාලට පැමිණිලි කළා මේ ‘මහා අපරාධය’ ගැන. ආරච්චිරාළ පැමිණිලිකාරයාවත්, විත්තිකාරයාවත්, ගෙන්වා පැමිණිල්ල විභාග කරන්න පටන් ගත්තා.

‘මොකක්ද තමුන්ට කියන්න තිබෙන්නේ’? කියා ආරච්චිරාළ විමසුවාම, ලනු මලු වියන මිනිහා කියනවාලු ‘හාමුදුරුවනේ,ලබ්බ උගේ උගේ මගේ’ කියලා. මේක මොන හතරබීරි කතාවක්ද කියලා, නැවත නැවත ඇහුවත් කියන්නේ ඒකමලු. ‘ලබ්බ උගේ උගේ මගේ’. ආරච්චිරාලට කේන්ති ගිහින් නඩුව විසිකරන්න හදනකොටම, ලනු මලු වියන්නා අර ලබු කැටේ අතට අරන්, එහි මල්ල ගලවා, ලබු කැටය  ආපසු අයිතිකාරයාටදී මෙහෙම කියනවලු. ‘මේ උගේ මගේ ලබ්බ උගේ’ කියලා. දැන්නම් ආරච්චිරාලට හිතෙනවාලු තමන්ටම ඉස කුඩිච්චියක් දාගන්න. මේ වෙලාවේ ලනු මලු වියන්නගේ අසල් වැසියෙක් ආවලු නඩුව අහන හැටි බලන්න. ආරච්චිරාළ ඒ මිනිහගෙන් ඇහුවලු ‘මොකක්ද බන් මේ මිනිහා කියන මේ කුණුහරපෙ’? කියලා. ඒ මිනිහා කිව්වලු හාමුදුරුවනේ ‘උගේ’ කියන්නේ ඔය ලනු මල්ලට කියන නම. (ලනු මල්ල හඳුන්වන නම) කියලා. මේ අවුල ඇතිවුනේ, ලනු මලු වියන්නා, ‘ලබු කැටය අරයගේ, ලනු මල්ල මගේ’ කියන අදහස, ඔහුගේ ගමට ආවේනික භාෂාවෙන් කිව්ව නිසයි. යාන්තම් නඩුව එතනින් ඉවර වුනාලු.

Advertisements

Comments on: "ලබ්බ උගේ, උගේ මගේ" (20)

    • ශාන්ති, මට මේ කතාව කියලා දුන්න වැඩිහිටියා කිව්වේ ‘උගේ’ කියන වචනයයි. සාමාන්‍යයෙන් එවැනි මල්ලකට කියන්නේ උරේ කියලා තමයි.

  1. ඒකනම් මල් හතයි… 🙂

  2. මරු කතාව… ලබ්බ උගේ, උගේ මගේ 😉

  3. ගොයම් කොළයට මුවාවෙලා වෙඩි තිබ්බ එකේ අනික…

    • ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තැබීම ඇත්ත කතාවක්. එහිදී ඒ කෙස් පැලෙන නීති තර්කය (ගැමි ව්‍යවහාරයේදී ‘ගොයම් කොලය’ කියන්නේ කුඹුරෙන් කපා, පාගා ගැනීමට සූදානමින් ගොඩගසා ඇති, ගොයම් ගස් ගොඩටයි. නමුත් එක ගොයම් ගසකින් කඩාගත් කොලයක්, උසාවියට ගෙනත් ඔප්පු කළා, එවැනි සිහින් කොලයකට මුවාවී, මිනිසෙකුට සිටිය නොහැකි බව) ගෙනාවේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා. පැමිණිල්ලේ තිබුනේ ‘ගොයම් කොලයකට මුවාවී’ වෙඩි තබා, මිනිසෙකු ඝාතනය කළා යන්නයි. ඒ වගේම තවත් සුප්‍රසිද්ධ නඩු තීන්දුවක් තමයි ‘සතාසිවම් මිනීමැරුම’. එහිදී අන්තිමට වරදකරු වුනේ වංගෙඩියක්.

  4. අපේ ගැමි ව්‍යවහාරය පුදුම ලස්සනයි. ඒ බව හෙලි කරන මේ කථාවත් ඒ වගේම ප්‍රියමනාපයි.

    මම කාලෙකට කලින් ඈත ගම්පලාතක රජරට පැත්තේ රාජකාරී කරන කාලේ එක්තරා දිනක යුවලක් ආවා බෙහෙත් ගන්න. කාන්තාව බිම බලාන ඉන්නවා. පිරිමියා කියනවා. “මහත්තයෝ මේ අපි සතුටු සාමීචියේ ඉන්න වෙලාවට මට පිරියක් නැහැනේ” කියලා. මට ඒ කාලේ මේ හරුපේ තේරුනේ නැහැ. පසුව සහායකයා තමයි මට මේ තේරුම කරලා දුන්නේ. ඒ කියනනෙ මොකක්ද කියලා. ඔබට නම් දැන් සිතාගත හැකිනෙ…. මේ වගේ ලස්සන භාෂාවක් මම හිතන් නැහැ ලොවේ තවත් ඇති කියා.
    මහ වෙදනා

    • ඇත්ත වශයෙන්ම සාම්ප්‍රදායික සිංහල ගැමියා සිය ලිංගික ජීවිතය රසවත්ව එහෙත් අතිශයින් රහසිගතව ගතකලා කියලයි මමනම් හිතන්නේ. මමත් අහලා තියනවා බුත්තල ප්‍රදේශයේදී ‘ලමයින්නේ අම්මා දැන් මට කිසියම්ම ඇඟෑලුමක් නෑ’ කියනවා.

  5. oba nuwara kalviya gana kiyaddi godak wachana mama ahala thiyenawa oya malla kiyana ekata, kutti sakku, konam paya ,bulath konama. e kiyanne bulath dana kuda malla,

    • ඔබට සිංහලෙන් ටයිප් කිරීමේ කිසියම් තාක්ෂණික අපහසුවක් තිබෙනවාද? විසඳුම් ඕනෑතරම් තිබෙනවා.
      කුට්ටි සාක්කු කියන වචනය වැඩිපුර ව්‍යවහාර කරන්නේ උඩරට පලාත්වල. එය ද්‍රවිඩ භාෂාවෙන් බිඳී ආව යෙදුමක් කියා හිතනවා, බුලත් කොක්කනේ, බුලත් පයිය, කොක්කනම් පයිය, කෝනම් පයිය, පැරණි ව්‍යවහාරයේ වචන. කෝනම් පයිය බොහෝවිට ආදිවාසී වාග්මාලාවට සම්බන්ධයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: