විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   කොක්ටේල් කිව්ව ගමන් එක කට්ටියක් මට බනියි, ‘නොදකින් බේබද්දා. . . . බීම ගැන කතා ලියලා, මතට තිත සංකල්පය කඩාකප්පල් කරන්නයි හදන්නේ’ කියලා. තව කට්ටියක් කියයි ‘මෙන්න යකෝ අලුත් කොක්ටේල් ජාතියක් ගැන පෝස්ට් එකක් තියනවා, ලඟදි එන අලුත් අවුරුද්දේදී ට්‍රයි කරමුද? කියලා. කවුරු මොනවා කිව්වත් හිතුවත් ‘මොලොටෝව් කොක්ටේල්’ මුළු ලෝකයම දන්නා දෙයක්. සමහරු මේක දැකලත් අඳුනන්නේ නැති එකයි ප්‍රශ්නේ. කොක්ටේල් පාටි වලට සහභාගී වුන අය දන්නවා ඇති, කොහොමද ඒ සාදයක් පවත්වන්නේ කියලා. කොක්ටේල් සාද වලදී බොහෝවිට බීම සමග කටගැස්ම හැර, ආහාර සපයන්නේ නැහැ. අර කටගැස්මම තමයි සුළු ආහාරයක් කරගන්නේ. අනෙක් කරුණ තමයි, කොක්ටේල් සාදයකදී එකතැන වාඩිවී සිටින්නේ නැහැ, එයට සහභාගී වන අය. සෑම විටම සාදය පැවැත්වෙන ශාලාව හෝ භූමිය පුරා සෙමෙන් ඇවිදිමින්, සියලු දෙනා සමග වචනයක් හෝ හුවමාරු කරගැනීමත්, තමන් නටන්න දන්නවානම්, තමන් සමග නැටීමට කැමති (එවෙලේ හඳුනාගත්ත කෙනෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ) සහයිකාවක්/සහායකයෙක් ඉන්නවානම්, ආලිංගන නැටුමට එක්වීමයි සාමාන්‍ය සම්ප්‍රදාය.

  අනික් ප්‍රශ්නේ තමයි ඔය කොක්ටේල් සාද වලට යන එක හරි වියදම්. මොකද පුරුෂ පක්ෂයට අනිවාර්යයෙන්ම හොඳ යුරෝපීය ඇඳුමක් අඳින්න වෙනවා. කාන්තාවන්ටනම් ඇඳුම් අඩුවෙන් ඇන්ද තරමට තමයි තැන ලැබෙන්නේ. (මේ පෝස්ට් එක අපේ නෝනා බලන්නේ නැති නිසා හොඳයි) ඊළඟ ප්‍රශ්නේ ‘කඩු සටන්’ ඉතා හොඳින් පුළුවන් වෙන්න ඕනේ. වේටරයන් පවා එන්නේ ‘කඩුව’ දික්කරගෙන. ‘කඩු සටන්’ බැරිනම් හොඳම දේ තමයි, කලින්ම හොඳට ‘සළු වෙලා’ අයිනක් අල්ලාගෙන ඉඳීම. අත්දුටුවයි සත්තයි.  

  හැබැයි ඉතින් සලුවීම සීමාව ඉක්මවා ගියොත්, කඩු නැතුව අතින් පයින් සටන් කරන්න වෙනවා. මොකද සළු වෙන සමහර අයට තමන්ගේ වයස අමතක වෙනවා, තමන්ගේ නෝනව අමතක වෙනවා, වෙන වෙන නෝනලාට උදව් පදව් කරන්න යනවා, ඔන්න ඔය නිසා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි අය, කොක්ටේල් සාද වලට නොගිහින් සිටීම තමන්ගේ ශරීර සෞඛ්යයට මෙන්ම තමන් විවාහකයෙක්නම් තමන්ගේ පවුල් ජීවිතයේ සෞඛ්‍යයටත් හොඳයි.

  කොක්ටේල් පිළිබඳව මටත් සෑහෙන අත්දැකීම් තියනවා. ඒවා පස්සේ දවසක කියන්න ඉඩ තියලා, ඉක්මනින්ම මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්. මොකද දැන් ඔක්කොම ඉන්නේ ඒක ගැන දැනගැනීමේ අවශ්‍යතාවයෙන්නේ. හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ පහලින් තියෙන්නේ මොලොටෝව් කොක්ටේල් බෝතල් තුනක්. 

දැක්කම ආ. . . ආ. . . ආ. . . ආසයිනේ? හැබැයි හොඳට බලන්න, මේ කොක්ටේල් බෝතල් වලට ලේන්සුවක් වගේ රෙදි කෑල්ලක් හයි කරලා තියනවා. අන්න එතන තමයි අනෙක් කොක්ටේල් සහ මොලොටෝව් කොක්ටේල් අතර වෙනස තියෙන්නේ. මොකද මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරන්නනම් ඔය රෙදි කෑල්ලට ගිනි තියන්න ඕනේ. මොනවා? ඔව්, ආයෙ  කතාදෙකක් නැහැ ගිනි තියන්න ඕනේ. ඉතින් එතකොට රෙදි කෑල්ල ඇවිලිලා බෝතලේ පුපුරයිනේ? ඔව් පුපුරනවා තමයි. ඉතින් කවුද පුපුරනකම් බෝතලේ අතේ තියාගෙන ඉන්නේ? අතේ තියාගන්නැත්නම් මොකද කරන්නේ? කරන්නේ අවශ්‍ය තැනට ඒ බෝතලයෙන් දමලා ගහන එකයි. එතකොට මොකද වෙන්නේ? වෙනදේ පහල පින්තූර වලින් බලන්න.

මුලින්ම අපි දැක්කනේ මොලොටෝව් කොක්ටේල් සූදානම් කිරීම. දැන් බලන්න මේ තරුණිය කොක්ටේල් බෝතලයක් පිලිගන්වන්නයි සූදානම.

කොක්ටේල් එක පිරිනැමීමට පෙර අල්ලා ගන්නේ මෙහෙමයි.

පිරිනමන ලද කොක්ටේල් එක, එය පිළිගන්න පුද්ගලයා හෝ ස්ථානය වෙත ගුවනින් යන්නේ මෙහෙමයි.

  ගුවනින් පැමිණි කොක්ටේල් එක, එයින් බලාපොරොත්තුවූ අවසාන ප්‍රතිපලය ගෙන දෙන්නේ මෙහෙමයි.

  ඉතින් ඇයි දෙයියනේ ඔයහැටි මට බනින්නේ, පෙට්‍රල් බෝම්බය ගැන කියන්නනේ මේ යකා මෙච්චර බයිලා ගැහුවේ කියලා. මම කිව්වේ, මේ බෝම්බයට, එය නිපදවපු ජාතිය විසින් මුලින්ම යොදපු නම. ඔබ කවදා හෝ අහලා තිබුනද ‘මොලොටෝව් කොක්ටේල්’ (Molotov Cocktail) කියන නම. ඒ නම හැදුනේ මෙහෙමයි. 1930 දශකයේ අග භාගයේදී සෝවියට් රුසියාව සහ ෆින්ලන්තය අතර දේශ සීමා අරගල ඇතිවුනා. ෆින්ලන්තය ලොකු හමුදාවක් හෝ හොඳ ආයුධ ශක්තියක් තිබුන රටක් නෙවෙයි ඒ කාලේ. ඇත්තටම ඒ සටනින් ෆින්ලන්තයේ සමහර කොටස් අහිමි වුනා. සෝවියට් හමුදාව වහා ගිනි ඇවිලෙනසුළු ගිනි බෝම්බ වලින් ෆින්ලන්තයට පහර දුන්නා. නමුත් ලෝකයට කිව්වේ ෆින්ලන්තයේ ජනතාවට ගුවනින් කෑම පෙට්ටි දමන බවයි. ඒ කාලයේ සෝවියට් රුසියාවේ විදේශ ඇමති තමයි ‘ව්‍යචේස්ලාව් මොලොටෝව්’. (Vyacheslav Molotov) ෆින්ලන්ත හමුදාව සෝවියට් ගිනි බෝම්බ හැඳින්වූවේ ‘මොලොටෝව් ගේ කෑම පෙට්ටි’ කියලයි. ඒ අතර සෝවියට් යුද ටැංකි ෆින්ලන්තය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ ටැංකි ඉදිරියට ඒම වැලක්වීමට ෆින්ලන්තය තමන්ගේම ගිනි බෝම්බයක් හැදුවා. ‘මොලොටෝව්ගේ කෑම කන ගමන් උඹලම බීපල්ලා’ කියලා සෝවියට් යුද ටැංකිවලට මේ ගිනි බෝම්බ දැම්මා. එයින් යුද ටැංකි ආක්‍රමණය නැවතුනා. ඒ බෝම්බ වලට ෆින්ලන්තය කිව්වේ ‘මොලොටෝව් කොක්ටේල් කියලා. දැන් හරිද? මෙච්චර දුර ඔබව ගෙනාවේ ඔන්න ඔය දැනුම ලබා දෙන්නයි. හැබැයි පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටි, ඔබ හිතාගෙන ඉන්නවට වඩා සංකීර්ණයි. නමුත් ඒ ගැන මම කියන්නේ නැහැ. ඔන්න පහලින් තියන කතාව බලලා ආයෙත් මට බනිනවා එහෙම නෙවෙයි.

  මෝටර් නම් අපි ඕනේ තරම් දැකලා තියනවා. ඔය තියෙන්නේ එක එක වැඩ වලට ගන්න එක එක ජාතියේ මෝටර්. ඉස්සර අපි, වෙසක් කාලෙට, අර පුංචි මෝටර්, කඩෙන් ගෙනල්ල බුදුරැස් වළලු හැදුවේ. මෝටරේටත් ‘පෙම්’ ආව එකයි ප්‍රශ්නේ. අද ඉතින් උදේ ඇඳෙන් නැගිට්ට වෙලේ ඉඳලා, ආපහු රෑ ඇඳට වැටෙනකල් ‘පෙම් පෙම් පෙම්’ තමයි. රූප පෙට්ටියේ පෙම්, එෆ්.එම්. චැනල්වල හෝ. . . .  ගාලා පෙම්, බස් හෝල්ට්, ටියුෂන් ක්ලාස් අසල, මල්වතු, සිනමාහල්, කෝච්චියේ, බස් එකේ, ත්‍රී වීල් එකේ, හපොයි දෙයියනේ නැත්තේ කොහෙද?

  පෙම් කුරුල්ලෝ, පෙම් කිරිල්ලියෝ, අද ඉතින් ගිය ගිය තැන ඉන්නවනේ. ලෝකය මගුල් සක්වලකි කිව්වේ කට කහනවටයැ. ලෝකය පවතින්නේත් ඉතින් පෙම් නිසානේ. ඒත් ඉතින් මිනිසුන් හෝ සතුන් නොවන පෙම් දැක්කම තමයි පුදුම හිතෙන්නේ. එක අතකට අද ලෝකයේ අපි අහන දකින දේවල්වල හැටියට මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. පෙම් නොදැක්කොත් නොඇහුවොත් තමයි පුදුම වෙන්න ඕනේ.

  මම ගියා, අපේ ගෙදර වේලපු කොප්පරා ටිකකින් පොල්තෙල් හිඳගෙන එන්ඩ, අපේ ගෙවල් ළඟ තියන තෙල් හිඳින තැනකට. බලනකොට එතනත් පෙම්. නරක නෑ නේද වැඩේ? මටනම් පුදුම හිතුනා මෙතනටත් පෙම් කොහෙන්ද කියලා. හිතන්න බැරිද?. . . . . . . . . බැහැ? තව ටිකක් හිතන්න . . . . . . . . . . . .එත් බැරිද? හරි හරි කමක් නැහැ. මේ තියෙන්නේ. තෙල් මෝලේ එන්ජිම කරකවන්නේ පෙම්. ඒ කියන්නේ පෙම් (PEM) වර්ගයේ මෝටර් දෙකකින්. ඔන්න පෙම් මෝටර්.

Advertisements

Comments on: "මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරලා තියනවද? එහෙම නැත්නම් ‘පෙම්’ මෝටර්වත්?" (18)

  1. පළවෙනි කතාවට ප්‍රවිශ්ඨය නම් නියමයි… මම කොහොමත් කලින්ම පින්තූර බලලා ඉන්න නිසා මෝටර් කතාවට නම් අහුවුනේ නෑ.. ඒත් කොක්ටෙල් එකට නම් කොටු වුනා…

    මම අහලා තිබුනනෙ කොක්ටේල් පිළිගන්වද්දි උඩින් ගිනිතියනවා කියලා…. ඒකයි ගිනිතියන රූප දැකලත් අමුත්තක් නොවුනෙ…

    කොක්ටෙල් පාටිය වගේම පැට්‍රල් බෝම්බෙ ඉතිහාසයත් දැනගත්තා,…. පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටිත් කිව්වානම් තවත් ප්‍රයෝජනවත්…

    ස්තුතියි!

    • ඇයි කාට ගහන්නද පෙට්‍රල් බෝම්බ හදන හැටි දැනගන්න ඕනේ?

      • ගිනි දැල්ල බෝතලයේ කටට ඇවිලෙනකන්ම ඉන්න ඕනෙද විසි කරන්න…? රෙදි කෑල්ලෙ අගට ඇවිලුනාම මදිද?

        බෝතලය පුපුරන්නෙ ගින්දරවල රස්නෙටද?.. ඊට කලින් විසිකරපු ඉලක්කෙ වැදිලා බිඳුනොත් බෝම්බය වැඩ කරන්නෙ නැද්ද?

        වැඩේ ටිකක් බයානකයි නේද? අතේ පිපිරීමේ අවදානමක් තියෙනවා..

        • අර රෙදි කෑල්ලත් පෙට්‍රල් වලින් පෙඟෙනවා බෝතලය කට පහලට හරවාගෙන හිටියම. ආය ගිනිදැල්ල කට ලඟට එනකල් ඉන්න අවශ්‍ය නැහැ. බෝම්බය වැඩ කරන්නේ කොහෙහරි තද මතුපිටක වැදිලා බෝතලය බිඳී යාම නිසයි. අතේ පිපිරීමේ කිසිම අවදානමක් මම කවදාවත් අහලා නැහැ.මොකක්ද ඊට කලින් විසි කරපු ඉලක්කේ කියන්නේ? එකම ඉලක්කෙට ඕනේ තරම් ගහන්න පුළුවන්.

  2. පැට්‍රෝල් බෝම්බ් ගැනත් දැනගත්තා එහෙමනම් 😀

    අපිත් දවසක් කොක්ටේල් පාටි එකකට ගියා. එතන නම් හොඳට බොන්න වගේම කන්නත් තිබුණා

  3. අනෙ අම්මේ පෙට්‍රල් බෝම්බ නං ගහන්නෑ මරන්න ආවත්….. ඊට ලාබයි ගහනවා TNT

  4. කැම්පස් ඉන්න කාලේ මේක ගැන දැනන් හිටිය නම්??
    දැන් නම් දැනුමට වටිනා යමක් එකතු කර ගත්තා.
    ඔබගේ ලිපිවල ඇති සුවිශේෂී ගතිය මෙහිත් තිබෙනවා.
    මහ වෙදනා

    • අම්මෝ පෙට්‍රල් බෝම්බ ගැන හිතන්නවත් එපා 1988 – 89 කාලේ පේරාදෙණිය කැම්පස් එක පෙට්‍රල් බෝම්බ වලට බොහොම ප්‍රසිද්ධයි.

  5. නියමයි.. අදමයි ඇහුවෙ මේ කොක්ටේල් ජාතිය ගැන.. ලියන විදිහනම් අපූරුයි කියලා කියන්ඩ ඕනා..

    අර පෙමක් ගැනක් කිව්වෙ මොකටද කියලා මටනම් තේරුනේ නැහැ..

  6. අර කොක්ටේල් එක පාවිච්චි කරන හැටි හදන එක ගැන වැඩි දැනීමක් නැති උනාට එකේ ඉතිහාස කතාව නම් දැනන් හිටියා. මගේ වැඩ වලට කිසිම ඕනෑකමක් නැති උනත් යුධ ඉතිහාසය කියවීම මගේ ප්‍රියතම විනෝදාංශයක්.

    මේක ඊළාම් යුද්ධ වලදීත් භාවිතා උනාද?

    • පෙට්‍රල් බෝම්බය කියන්නේ ඉතාම ප්‍රාථමික මට්ටමේ බෝම්බයක්. ඇත්තටම මෙයට බෝම්බයක් කියනවාට වඩා සුදුසු නම වන්නේ, අවස්ථානුකූලව වැඩිදියුණු කල පිපිරුම් උපකරණයක් (Improvised Explosive Device = IED) කියන එකයි. මොකද සම්මත බෝම්බයක තිබෙන යාන්ත්‍රනය මේකේ නැහැ.මෙය අදටත් පාවිච්චි කරන්නේ අවි ආයුද සපයාගැනීමට වත්කමක් නැති, සේවක අරගල, විශ්ව විද්‍යාල සිසු අරගල, ආදියේදී පමණයි. ඊලාම් යුද්ධයේදී, මීට වඩා දියුණු අවියක් වන ගිනිදැල් විදිනය (Flame Thrower) ගෙනැල්ලා, අපට ඒ ගැන පුහුණුවක් දුන්නත්, එය කවදාවත් පාවිච්චි කරපු බවක් මම අහලා නැහැ. එයින් මීටර් 75 ක් පමණ දුරට ගිනිදැල්ලක් සමග ඇලෙනසුලු රසායනිකයක් විදිනවා. එය ඉලක්කයේ ඇලී ගිනිගන්නවා. විශාල ගින්නක් ඇතිකලහැකියි. සමහර බටහිර චිත්‍රපටවල ඔබ මෙය දැක ඇති.

  7. දැක තිබේ. දෙවන ලෝක යුද්ධය, වියට්නාම යුද්ධය යන දෙක ගැනම තිබු කතා වල දැක ඇත. බංකර් “ක්ලියර්” කරන්න යොදා ඒවායේ නම් යොදා ගැනුනි. ලංකාවේ බාවිතා නොවුනේ මිල අධික නිසාද? මෙහෙයවන්නාට අවදානම් නිසාද? නැත්නම් වෙනත් හේතුවක් නිසාද? බංකර් විනාශ කිරීමට “rpo shmel ” නමැති අවියක් දශකයකට කලින් මුලින්ම රුසියාවෙන් (හෝ ඒ ලග වෙනත් රටකින්) ගෙන්වූ බව නම් අන්තර්ජාලයේ ඇත.

    • Flame Thrower එක පාවිච්චි නොකළේ ඔබ අසා තිබුන එක හේතුවක්වත් නිසා නෙවෙයි. ලංකාවේ තිබුන සටන් වලට එය ගැලපෙන දෙයක් නෙවේ. අත්හදා බැලීමක් කළා. නොගැලපුන නිසා අතහැරියා. මම හිතන්නේ ඒවා එකකට දෙකකට වඩා ගෙනෙන්න නැතුව ඇති. අනිත් ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නනම් මට දැනුමක් නැහැ.

  8. මම බැලුවෙ මොකක්ද මේ කොක්ටේල් එක කියල… මොකද ඔය නමින් කම්පියුටර් ගේම් වල තිබුනෙ ගිනි බෝම්බනෙ… අන්තිමට බලද්දි බෝම්බම තමා 🙂

  9. හරි ඒකත් කියෙව්ව.

  10. සම්බුකා (sambuca) කියලා cocktail වර්ගයක් තියෙනවා . එකත් glass එකකට දාලා උඩින ගින්දර දානවා. දල එකේ හුමාලය වෙනම අරගෙන දුම් බොනවා වගේ බොනවා.ඊට පස්සේ තමයි cocktail එක බොන්නේ. මෙන්න මේ වගේ http://www.google.lk/imgres?num=10&hl=en&sa=X&authuser=0&biw=1366&bih=681&tbm=isch&tbnid=h8d5JvxH31Dc9M:&imgrefurl=http://www.scienceofdrink.com/category/sambuca/&imgurl=http://www.scienceofdrink.com/wp-content/uploads/2007/11/sambuca_step_6.jpg&w=960&h=640&ei=f7hDUO2WJszKrAf2z4DABA&zoom=1&iact=hc&vpx=525&vpy=121&dur=1082&hovh=183&hovw=275&tx=139&ty=101&sig=105359368514865716959&page=1&tbnh=155&tbnw=202&start=0&ndsp=20&ved=1t:429,r:8,s:0,i:92
    https://www.google.lk/search?num=10&hl=en&authuser=0&site=imghp&tbm=isch&source=hp&biw=1366&bih=681&q=sumbuga+cocktail&oq=sumbuga+cocktail&gs_l=img.3…3751.16397.0.16907.16.7.0.9.0.0.228.1450.0j2j5.7.0…0.0…1ac.bR54IxQv6m8#num=10&hl=en&authuser=0&site=imghp&tbm=isch&sa=X&ei=c7hDUNCDK4vyrQem8YDQAg&ved=0CEMQvwUoAQ&q=sambuca+cocktail&spell=1&bav=on.2,or.r_gc.r_pw.r_cp.r_qf.&fp=a4daad4139d0842&biw=1366&bih=681

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: