විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

පතරොමක කතාව 1


   මම මීළඟට ලියන්න හිටියෙත් දැනට භාවිතයේ නැති මැෂින් තුවක්කුවක් ගැනයි. නමුත් ලේසි වැඩේ කෝකද ලිපියෙන් පස්සේ පතරොම් පිළිබඳව සෙන්නාගෙන් විශේෂ විමසුමක් ලැබුනා. ඒ නිසා අර මැෂින් තුවක්කුව තියන තැනට ඔබව කැටුව යන්නට කලින් මා ඔබව කැටුව යන්නේ පතරොම් ගබඩාවකටයි. පතරොම් ගබඩාවකට යාම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. පළමුව ඔබ ඒ සඳහා නිසි අවසරය ලැබූ පුද්ගලයකු වියයුතුයි. දෙවනුව ඔබ කිසිදු ගිනි අවියක් අත දරාගෙන පතරොම් ගබඩාවට ඇතුළු නොවිය යුතුයි. තුන්වනුව ඔබ ලයිටරයක් හෝ ගිනිපෙට්ටියක් හෝ දැල්වෙන දුම්වැටියක්, ඉටිපන්දමක් හෝ එවැනි ගිනි දැල්ලක් සහිත ලාම්පුවක් හෝ ගිනි ඇවිලෙන සුළු කිසිවක් පතරොම් ගබඩාව වෙත රැගෙන නොආ යුතුයි. පතරොම් ගබඩාවේ සිටින විට ඔබ අවසරයකින් තොරව කිසිදු පතරොමක්, බෝම්බයක් හෝ වෙනත් පුපුරන ද්‍රව්‍යයක් නොඇල්ලිය යුතු අතර සෑම විටම පතරොම් ගබඩා පාලකගේ උපදෙස් අනුව ක්‍රියා කලයුතුයි. මේ උපදෙස් වලට පටහැනිව ක්‍රියා කලොත් ඔබ ක්ෂණික මරණයකට පත්වීමේ අවදානම තිබෙනවා පතරොම් ගබඩාවක් තුලදී. එසේ උපදෙස් වලට පටහැනිව ක්‍රියාකර ඔබ පණ පිටින් පතරොම් ගබඩාවෙන් එලියට ආවොත් හමුදා නීතිය යටතේ ඉතා දැඩි විනය ක්‍රියාමාර්ග වලට යටත්වීමට සිදුවීම අනිවාර්යයි.

   පතරොමක් කියන්නේ මොකක්ද? එයට දිය හැකි සරල පිළිතුර මෙයයි. පතරොමක් යනු, ලෝහමය හෝ ප්ලාස්ටික් හෝ, ඉතා ඝන කඩදාසි වැනි ද්‍රව්‍යයකින් හෝ ඒ සියල්ලේම සංකලනයකින් සැකසුන බඳක් සහිත, ක්ෂණිකව ලැබෙන පීඩනයකින් ගිනි ඇවිලෙන උපක්‍රමයකින් සහ එම ගිනි බලයෙන් ඉදිරියට තල්ලුවන මූනිස්සම් සමූහයකින් හෝ එක උණ්ඩයකින් හෝ සමන්විත සිලින්ඩරාකාර හැඩයෙන් යුත් පුපුරන වස්තුවකි. පතරොමකින් ඇති ප්‍රයෝජනය වන්නේ කිසියම් ඉලක්කයක් වෙත විනාශකාරී, මරණීය, ප්‍රහාරයක් එල්ල කිරීමයි. (අවිහින්සාවාදීහු මාගේ මේ ප්‍රකාශය වරදවා වටහා නොගනිත්වා. මා කරන්නේ තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමක් මිස වර්ණනාවක් නොවේ) පතරොමක් පාවිච්චි කිරීමටනම් අනිවාර්යයෙන් තුවක්කුවක් අවශ්‍යයි. පතරොම යන දෙය නිර්මාණය කිරීමට පෙර තිබුණු තුවක්කු, වෙඩිබෙහෙත් තුවක්කුව තුලට කොටා වෙඩි තබන තුවක්කු විය. එම තුවක්කු 19 වන සියවසේ මුල් භාගයේදී පවා පාවිච්චි කෙරුණි.

  පතරොම් සෑදීමේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1580 පමණ ඈතට දිව යනවා. මුල්ම කාලයේ සෑදු  පතරොම් ඝන කඩදාසි වලිනුයි සාදා තිබෙන්නේ. එහි අනික් විශේෂත්වයනම් එම පතරොම් තුවක්කුවට වෙඩි බෙහෙත් කොටන ආකාරයට බටයේ අග කෙලවරින් ඇතුළු කිරීමයි. එසේ ඇතුළු කිරීමට පෙර පතරොමේ පසුපස කොන පිහියකින් කපා දමා හෝ කටින් හපා කඩා දමා ඇතුළු කල යුතුයි. ඊට පෙර තුවක්කුවට වෙඩි බෙහෙත් ස්වල්පයක් ඇතුළු කර තිබිය යුතුයි. එසේ මුලින්ම ඇතුළු කල වෙඩි බෙහෙත් ගිනිගත් පසුව ඇතිවන ගිනි බලයෙනුයි පතරොම පත්තු වෙන්නේ.

 19 වැනි ශතවර්ෂයේ මුලදී කඩදාසි පතරොම වැඩිදියුනු වුනා. 1812 සිට ඇරඹුණු ඒ වැඩි දියුණු වීම 1836 වනවිට කැප් එක සහිත පතරොමක් දක්වා දියුණු වුනා. කැප් එක යනු කුමක්ද යන්න පහත විස්තර කරනවා. 1861 – 1865 කාලයේ පැවති ඇමෙරිකානු සිවිල් යුද්ධයේදී පතරොම් නිෂ්පාදනය වඩාත් දියුණු තත්වයට පත්වුනා. 1845 වනවිට වාණිජ මට්ටමින් පතරොම් නිෂ්පාදනය කරන්නට ඇමෙරිකා එක්සත් ජනපදයට හැකියාව ලැබුනා. 1867 වනවිට බ්‍රිතාන්‍යයද ඉතා සාර්ථකව පතරොම් නිපදවූවා.

පතරොම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තුවක්කු පතරොම් සහ රයිෆල් පතරොම් යනුවෙන්. මුලින්ම නිපදවුණ පතරොම් රයිෆලය වෙනුවෙන් සැකසුන ඒවායි. නමුත් තුවක්කුව වෙනුවෙන්ද පතරොම් නිපදවීම ඉක්මන් වුනේ තුවක්කුව රයිෆලයට වඩා ජනප්‍රිය වීමට පටන්ගත් නිසයි. අපි මුලින්ම බලමු තුවක්කු පතරොමක සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය.

දැන් මා ඔබට විස්තර කරන්නේ මෙහි දකුණුපස ඇති තුවක්කු පතරොමක සැකැස්ම යනුවෙන් දක්වා ඇති රූපය පිළිබඳවයි. පතරොම සිලින්ඩරාකාර වස්තුවක් බව ඒ රූපය දෙස බලන ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඇති. දැන් මා ඔබට මේ රූපය විස්තර කරන්නේ එහි පහල සිට ඉහළටයි. මෙහි දැවෙන්නේ පතරොමක හරස්කඩක්. එහි පහල කොටසේ පිත්තල පාදම යන කොටස මේ සිලින්ඩරයේ ශක්තිමත්ම කොටසයි. එය තුල තවත් යාන්ත්‍රණයක් නැතහොත් දාම ක්‍රියාකාරිත්වයක් අඩංගුවී තිබෙනවා. පතරොමේ රතු පැහැති ප්ලාස්ටික් බඳ දරා සිටින්නේද ඒ පාදම විසින්. මේ පාදමේ හරි මැද තිබෙන්නේ පතරොමේ ක්‍රියාකාරිත්වය ආරම්භ කරවන උපකරණයයි. එය හඳුන්වන්නේ ‘ප්‍රයිමරය’ යනුවෙන්. නමුත් අපේ රටේ එදිනෙදා ව්‍යවහාරයේදී මෙයට කියන්නේ ‘කැප් එක’ කියලයි. මේ කැප් එක ඇතුලේ තියෙන්නේ ක්ෂණිකව ලැබෙන පීඩනයකින් ගිනි ඇවිලෙන ඝන රසායනික මිශ්‍රනයකුයි. එයින් ඇති කරන්නේ ගින්නක් මිස පිපුරුමක් නොවේ. එහෙත් එය පිපුරුමක් මෙන් ක්ෂණිකයි. කැප් එකෙන් ඇතිකරදුන් ගිනිබලය වහාම, ඊට ඉදිරියෙන් ඇති, වහා ගිනි ඇවිලෙන සුළු වෙඩි බෙහෙත් වෙත පැතිරෙනවා. එහිදී ඇසිපිය ගසන වේගයෙන් එම වෙඩි බෙහෙත් ගිනි ගන්නවා. මෙසේ ගිනි ඇවිලීමට පතරොම තුල වාතය තිබිය යුතුයි බූසිය නමැති කොටසෙන් එවැනි වායු කුටීරයක් පතරොම තුලා සාදා තිබෙනවා. බූසියද ගිනි ඇවිලෙන සැහැල්ලු ප්ලාස්ටික් වලින් නිපදවා තිබෙන්නේ. වෙඩිබෙහෙත් පත්තුවීම නිසා ඉතා දැඩි පීඩනයක් පතරොම තුල ඇතිවෙනවා. එහි ප්‍රතිපලය වන්නේ ඊට ඉදරියෙන් තිබෙන මූනිස්සම් පතරොමේ ඉදිරි පස මුද්‍රාව(සීල් එක)ද කඩාගෙන තුවක්කු බටන් එලියට විසි වීමයි. තුවක්කු බටයේ දිග නිසා ඒ මූනිස්සම් සෑහෙන දුරක් යන්නට අවශ්‍ය ප්‍රවේගයද ලබාගන්නවා. හැබැයි මේ සියල්ල සිදු වෙන්නේ ඇසිපිය ගසන සැනෙකින් බව ඔබට අවධාරණය කල යුතුයි.

ඊළඟට සිදුවන්නේ කුමක්ද? පතරොම පත්තුවී වෙඩිල්ල තුවක්කුවෙන් පිටවී අවසන්. එහෙත් පතරොම් කොපුව තවම තුවක්කුව ඇතුලේ තියනවා. නැවත පතරොමක් දැමීම සඳහා තුවක්කුව විවෘත කරන විට හිස් කොපුව එලියට විසිවෙනවා. ඒ සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස්කර තිබෙනවා. පහත දැක්වෙන පින්තූර වලින් ඒ එක් එක් අවස්තාව පැහැදිලි වෙනවා.

  

 

අපි අද සාකච්ඡා කලේ සාමාන්‍ය පතරොම් තුවක්කු වලට යොදන පතරොමක ක්‍රියාකාරිත්වය පිළිබඳවයි. මීළඟ ලිපියෙන් මා ඔබට කියන්නේ රයිෆල් පතරොම් ගැනයි. ඉහත එක් රූපයක තිබෙනවා පතරොමක් පිහියකින් කපා එහි ඇතුලත ඇතිදේ එලියට ගෙන පෙන්වීමක්. කියන තැනකට වඳීඤ්ඤං ඒ වැඩේ කරන්නනම් උත්සාහ කරන්න එපා, බැරිවෙලාවත් පතරොමක් එහෙම ලැබුනොත්.

Advertisements

Comments on: "පතරොමක කතාව 1" (31)

  1. තුවක්කුවක් හා රයිපලයක් අතර ෙවනස කුමක්ද?

  2. පතුරම් ගැන දැනුමක් මට තිබ්බෙම නෑ.. නමුත් ඔබතුමා බොහොම සවිස්තරාත්මකව වගේම සිත්ගන්නා අයුරින් ලියා තිබෙන විස්තරය කියවීමෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා…

    මම ගාව තියෙනවා පතුරම් කොපු වගයක්.. එව්වා බලලාම වටහීමක් ගත්තා.. ඒවල බඳ සිලින්ඩරාකාරම නෑනෙ.. අගට යද්දි හීනි වෙලා.. යට ගහලා තියෙනවා 96 311 කියලා.. ඒ මොනවද?

    ඔබ “මංගල් පාණ්ඩේ” හින්දි චිත්‍රපටිය නරඹා ඇත්නම්… එහිදී යුධභටයා පතුරම කටින් කඩා එය තුවක්කුවට පුරවා වෙඩි තියන්නෙ.. ඒ මොන ජාතියෙ පතුරම්ද?

    විස්තරයට නැවතත් ස්තුතියි!

    • ඔබ ළඟ තිබෙන්නේ රයිෆල් පතරොම් හිස් කොපු බවයි කියන්න පුළුවන්. එකක පින්තූරය දැම්මානම් තව විස්තර කිව්වැකි.

      මංගල් පාන්ඩේ චිත්රපටියේදී වෙඩි තියන්නේ 1800 ගණන් වල හදපු කඩදාසි ලෝහ මිශ්‍ර පතරොම් වලින්. එහි අග කොටසේ සීල් එකයි කටින් හපා කඩන්නේ. (එහි ඌරු තෙල් ගාලා තියනවා කියලා ලොකු කලබලයක් ඒ ච්ත්‍රපටියේ ඇති වෙනවා නේද?)

      ‘මුජ්හේ චෝටා චෝටා හින්දී ජාන්තාහුන්’

  3. patta patta

  4. බොහොම ස්තූතියි විචාරක මහත්තයෝ..

    හිතේ තිබුනු සැක සංකා ගොඩක් නිමා වුණා..

    එක පතොරොමක් ඇතුලෙ මූනිස්සම් කීයක් විතර තියනවද.. ?
    මූනිස්සම් කියලා තියෙන්නේ මොනවද ?

    මට මතකයි අපි පොඩි කාලේ රතිඥ්ඥා තුවක්කුවක් හැදුවා.. ඒකටනම් දැම්මේ ලොකු යකඩ බෝල.. අපි ඒකෙන් ගස් වලට විඩි තිබ්බා පොතු ගැලවිලා යන්ඩ.. කණ ගාවම පුපුරණ හින්දා සෑහෙන වෙලාවක් යනකම් කණ කීන් ගානවා.. ඒක භායනක සෙල්ලමක් කියලා දැන්නම් හිතෙන්නේ..

    ඒකෙත් ප්‍රාථමික වශයෙන් ඔය ක්‍රියාවලියම වෙන්ඩ ඇති නේද වෙන්නේ..

    බොහොම පින් අපිව මේ ගැන දැනුවත් කරනවට.. මේ වගේ දේවල් ගැන දැනුම ලබන්න තියන මූලාශ්‍ර හරි අඩුයි..

    • ඔබේ අවබෝධය වර්ධනය වීම ගැන සතුටුයි.එක පතරොමක එක විශාල මූනිස්සමක් හෝ පතරොමෙන් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිපලය මත මූනිස්සම් රාශියක් හෝ තිබිය හැකියි.එක මූනිස්සමක් ලොකුවට යොදන්නේ ලොකු සතෙකු සඳහායි.මිනිසෙක් වෙන්නත් පුළුවන්.ඌරෙක්, මුවෙක්, ගෝනෙක්, වගේ සතෙකුට වෙඩි තියන පතරොමක මූනිස්සම් 8 ක් 9 ක් පමණ තියනවා.ඒ මූනිස්සමක් වියලි කඩල ඇටයක් තරම් ඇති. කුරුල්ලන්ට වෙඩි තියන පතරොමක මුං ඇට ප්‍රමාණයේ මූනිස්සම් 40 ක් විතර තියනවා.මූනිස්සම් හදලා තියෙන්නේ ඊයම් වලින්.හැබැයි අපේ අයියලා ඉස්සර අර බඳින තුවක්කු වලට මූනිස්සම් ලෙස යොදලා තියෙන්නේ වතුර අදින ගැල්වනයිස් බාල්දි වල කොක්ක අඟල් කාලේ කෑලි වලට කපලා දාලා.අපි පුංචි කාලේ උනගස්වල සිහින් බටවලින් සෙල්ලම් තුවක්කු හැදුවා.එයට මූනිස්සම් වර්ග දෙකක් යෙදුවා.එකක් කැකිල්ල ගෙඩි.අනික පෙඟවූ පත්තර කඩදාසි වලින් හදාගත් පුංචි උණ්ඩ.ඒ තුවක්කු ගැන දන්නවද?

      රතිඤ්ඤා, යකඩ බටයක් තුලට දමා ඊට කුමක් හෝ මූනිස්සම් එකතු කර වෙඩි තැබීම ප්‍රාථමික තුවක්කුවක්. හැබැයි වැඩේ ගැස්සුනොත් කපෝති.

      • එහෙම උණ්ඩ හැටහුටාමාරක් තියෙනකොට ඉලක්කෙට යන්නෙ මොකක්ද?

        “රතිඥ්ඥා තුවක්කුවක්” මේක නම් හරිම භයානක වැඩක් සෙන්නා.. මට සර් කෙනෙක් කිව්වා එකෙක් මැරුනත්ලු මේ තුවක්කුවක බටේ පුපුරලා…

        හි..හි.. ඔය ගල්බට තුවක්කුනෙ… බලු දං කොහු කිරිල්ලා දාලා තියන්නෙ…

        • ඇත්තෙන්ම පතරොම් තුවක්කුවකට දාන පතරොමට මූනිස්සම් ගොඩක් යොදන්නේ මෙන්න මේ හේතුව නිසයි. එනම්, රයිෆලයක වගේ නෙවෙයි පතරොම් තුවක්කුවක බටයේ ඇතුලත සර්පිලාකාර කානු (riflings) පිහිටා නැහැ. ඒ නිසා පතරොම් තුවක්කු හඳුන්වන්නෙත් සිනිඳු හෙවත් (smooth bore) කියලයි. එයින් පිටවන තනි උණ්ඩයක් එතරම් දුර යන්නේ නැහැ. (මීළඟට පලකරන රයිෆල් උණ්ඩ ලිපියෙන් විස්තර කියන්නම්) මූනිස්සම් රාශියක් තිබුනොත් ඒවා තුවක්කුවෙන් පිටවී ඈතට යනවිට පුනීලයක හැඩයට විසිරෙනවා. එවිට හරියටම ඉලක්කය ඇල්ලුවේ නැතත් විශාල ප්‍රදේශයකට මූනිස්සම් වදින නිසා වැඩේ සාර්ථක වෙනවා. කලබලකාරී පිරිස් විසුරුවන්නත් කුඩා මූනිස්සම් සහිත පතරොම් වලින් වෙඩි තියනවා. එවිට 99% ක් ම වන්නේ තුවාල පමණයි. එයින් එක මූනිස්සමක් හෝ ඔයාගේ නමටම හදපු එකක්නම් (සිරුරේ මරණීය ස්ථානයකට වැදුනොත්) ‘බඩුම තමයි’

    • ඔව් හරී ” රතිඤ්ඥා තුවක්කුවක් “.. ඒක අපේ තාත්තා හැදුවෙ කාගෙන්ද අහගන.. ඒකට වල්ලක් හිටන් හදලා තිබ්බා ඇත්ත එකක් වගේම. මෑතක් වෙනකම්ම ඒකම් අපේ ගෙදර බිත්තියක ගහලා තිබුනා. මමත් ඒකෙන් වෙඩි තියලා තියනවා.. රතිඤ්ඥා කරල ඉස්සරහින් ඇතුල් කරලා ඒකෙ නූල ගන්නවා එලියට පිටි පස්සෙ තියන හිලකින්. ඊට පාසෙ ලොකු යකඩ බෝලයක් දාලා ඉලක්කෙ අල්ලලා නූලට ගිනි තිබ්බම ටිකකින් ” ඩෝං ” කණ් කීන් ගානවා, යකඩ බෝලෙ යනවා ඉලක්කෙට. සෑහෙන දුරක් ඈතට වේඩ් තියන්ඩ පුළුවන්. මට මතකයි අපි කුරුන්දෙ හාවො වෙඩි තියන්ඩත් ගියා ඕකක් අරගන.. අහු වුණ හාවෙක් නම් නැහැ.. හිහ් හිහ්

      මට හොඳටම ශුවර් ඒකකින් වෙඩි තියලා මිනිහෙක්ව උනත් බිම දන්ඩ පුළුවන් වෙයි..

  5. වටිනා ලිපි පෙළක් නමුත් ගෙදර නම් ට්‍රය් කරන්න එපෝ
    බුදු අම්මෝ කොල්ලෝ

  6. “මංගල් පාන්ඩේ” එකේ (ඇත්තටම උනෙත් එකම තමා) අර කැරැල්ලට මුලත් ඔය කඩදාසි පතාරොමේ ඌරු හෝ ගව තෙල් තිබීම හා හා එය කටින් කැඩීමනේ.

  7. නියමයි….. මමත් 4ga එකක් ගලවලා බලලා තියනවා…. ඊලඟ ලිපියෙන් රයිෆල් උන්ඩ ගැන ලියන්න.

  8. යුද්ධය තිබුණු කාලේ සමහර අය පතුරම් පෙන්ඩන් වගේ කරේ එල්ලගෙන හිටියා. එහෙම පෙන්ඩන් එකක් හදන්න ජීව උණ්ඩයක් හිල් කරන්න ගිය මනුස්සයෙක්ට වුණු ඇබැද්දියක් ගැන එහෙමත් ඒ දවස්වල කියෙව්වා මතකයි

    • හසිත, ඔබට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබ එකවර මගේ මුළු බ්ලොග් එකම එහි ආරම්භයේ සිට කියවලා කමෙන්ට්ස් 29 ක් දාලා තියනවා. මම පුමයෙනුත් පුදුමයට පත්වුනා. මොකද මම මේ බ්ලොග් එක පටන් ගත්තට පසු එහෙම දෙයක් වුන පළමුවෙනි වතාව මෙයයි. ඒ හැම කමෙන්ට් එකකටම වෙන වෙනම ස්තුති නොකර මම අවසානයට පල කල ලිපියට ඔබ ලබාදුන් කමෙන්ට් එක පදනම් කරගෙන ඔබේ සියලුම කමෙන්ට්ස් වලට හදපත්ලෙන්ම ඉතාම ස්තුතියි කියනවා. ඔබ කොපමණ මහන්සියක් ගන්නට ඇද්ද ඔක්කොම ලිපි කියවලා එපමණ කමෙන්ට්ස් ගොඩක් ලියන්න. දිගටම මේ පැත්තේ එන්න කියලා ආදරයෙන් ආරාධනය කරනවා. ඔබ මට ලබාදුන් දහිරිය අපමණයි. ඔබට පින්.

      • හරී අයියාගෙන් වෙන්න ඕනේ මේ බ්ලොග් එකට එන්න මම පාර හොයාගත්තේ.

        අලුතෙන් බ්ලොග් එකක් හම්බවුණාම සාමාන්‍යයෙන් අලුත්ම ලිපි ටික විතරක් කියවලා නතර කලත් ඔබතුමාගේ බ්ලොග් එකේ තිබුණු රසවත් බව නිසාම පරණම ලිපි ටිකත් කියවන්න හිතුණා.

        විශේෂයෙන් හමුදා නිලධාරියෙක් විදිහට ගතකරපු කාලයේ අත්දැකීම ගැන ලියපු ලිපි නම් විශිෂ්ඨයි. සිංහල බ්ලොග් අවකාශයේ විවිධාකාර ක්ෂේත්‍රවල පුද්ගලයින් හිටියත් මම විශ්වාස කරන විදිහට හමුදා නිලධාරියෙක් විදිහට ඉන්නේ ඔබ විතරයි. ඉදිරියටත් ඔබතුමාගේ ඒ අත්දැකීම් බෙදා ගනියි කියලා බලාපොරොත්තු වෙනවා.

        විශේෂයෙන්ම කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ දින 14 කින් හුඟක් දේවල් අමතක වෙන ලාංකික අපිට අපේ හමුදාවේ වටිනාකම මතක් කරලා දෙන්න ඒ ලිපි පෙළ ඉවහල් වේවි

        ජය 🙂

  9. මමත් පොඩී කාලයේ පතූරර්‍ම පුරවන්න උදර්‍ව කරලා තියනවා තාත්තට.

    කැප් එකට පුරවන්නේ ගීනීපෙර්‍ටටියේ පැත්තේ තියන වෙඩීබෙහෙත් සහ ගීනි කූරැ වෙඪිබෙහෙත් එක්තරා අනුපාතයකට කලවර්‍ම කරලා.සිමෙන්ති පොලව එයින් ටිකක් දාලා. ඇනයක් අරගන තූඩ වදින විදියටට අත අරිනවා. පත්තූ උනොතින් සාර්ථකයි

    වෙඩීබෙහෙත් වීදියට භාවිතා කෙරැවෙ කළුකූඩු (ජෙලග්නයිර්‍ට වලට පෙර ගල්වෙඩී වලට භාවිතා කලා)

    එකට උඩින් රවුර්‍ම කාර්‍ඩබොර්‍ඩ කැල්ලක්.නැවත සීලින්ඩරාකාර එකක්. ආයෙත් රවුර්‍ම එකක්

    දැන් තමයි හොදම එක.ඊයර්‍ම කැලී ටිකක් අරගන තාර්‍චචියට දාලා උණුකරලා ගස් ලබු බටයකට දානවා.ඊටප්සේ ඊයමිපොල්ල හාවාට. ඌරට.මුවාට.දඩුලේනාට අවශ්‍යය තරමක කපලා පතූරමට දානවා

    කඩදාසිවලින් පතූරර්‍ම කටවහලා ජලවාෂ්ප උරනවාට ඉටිපන්දර්‍මකිරි වක්කරනවා

    එ පතූරම භාවිතාකරන කොට සැලකිලිමත් වෙන්න ඔන පයරින්ග් පින්එක කලින් වැදූන තැනට නෙවදින්න චූටිටක් පතූරම කරකවලා දාන්න.කලින් වැදූනු තැනටම වැදූනොතින් සමහරක් වෙලාවට පත්තූවෙන්නැ.

    එක කොපුවක් තූන් හතර වතාවකට වඩා පාවීර්‍චචි කරන්න බැ.කැප් එක හිල් වෙනවා.

    හිස් පතූරර්‍මකොපු ගද දැන් මට දැනෙනවා දැනෙනවා වාගේ .මාව අතීතයට ගෙන ගියාට ස්තූතියි.

    තාත්තා සතූන් මැරිමෙන් සහ පුතා ආහාරයට ගැනිමෙන් කරගත්ත අකූසල් වලින් අපාගතවෙයිද මන්දා

    • මදෑ කොලා වැඩේ. මම හිතාගෙන හිටියේ ඔයටික නොලියා ඉන්න. මොකද අර සහන් කොල්ලා http://www.facebook.com/sahanmw සත පහකට විස්වාස කරන්න බෑ, තනියම ඔය වැඩේ කරන්න හදයි කියලා, මම නොලියා හිටියේ. ඔය දීලා ඇදලා තියෙන්නේ පාඩම තිතටම, ආය පොඩ්ඩක්වත් අඩු නැතුව. සහන් කොල්ලෝ, දැන් ඉතින් වැඩේ කොරලම බලපන්.

  10. //කියන තැනකට වඳීඤ්ඤං ඒ වැඩේ කරන්නනම් උත්සාහ කරන්න එපා//
    කැපීමේදී ඇතිවන උෂ්ණත්වය පවා පිපිරීමට ප්‍රමානවත් වෙන්න පුළුවන් නේද?

    • නැහැ රාජ්, විශාල උෂ්ණත්වයක් උපදින්නේ නැහැ ඒ ප්ලාස්ටික් බඳ කැපීමේදී. අපේ සමහරු ඔයවගේ වැඩ කරන්න ගිහින් කැප් එක හයියෙන් කොහේ හරි වද්දා ගත්තොත්, එහෙම නැත්නම් පතරොම කපපු ජොලියට කැප් එකත් ඇනයකින් ගහලා ගලවන්න හැදුවොත්, ඒ වගේම අර එලියට ගත්ත වෙඩිබෙහෙත් ටික පත්තු කරන්න ගිහින් අනතුරක් කරගත්තොත්, එහෙමත් නැත්නම් ‘දෙකක් දාලා’ ඉන්න වෙලාවක ඔය වගේ වැඩ කරන්න ගියොත්, කියන හැඟීමෙන් තමයි එහෙමෙ කිව්වේ.

      • කරලා තියන දෙයක් ගැන ලීයලා තියනවා දැක්කහම ඉන්ඩ බැරැව ගියා මහත්තයො.එකයි කෙටුවෙ.මට එතකොට වයස 4ක් වීතර ඇති.මාව සහභාගි කරගැනිම තාත්තාගේ වරදක් කියලා සමහරක් විට කාට හරි හිතේන්න පුළුවන්.එත් එ නිර්මාණාත්මක සීතූවිලි නිසා තමයි මම අද පණ ගැට ගහගන්නේ.බන්ධනාගාර දෙපාර්තමෙන්තූවෙ වැඩකලනිසා තාත්තා ඔය දෙවල් කියලා දෙනගමන් හරීවිදියට භාවිතා කරන වීදියත් කියලා දූන්නා.රයිපලයක රැලි තියන වීදියත් තාත්තා මට ඇහැ තියලා බලන්න දීලා තියනවා.නීති වීරොධී උනත් මට ආයුධ භාවීතා කරන්න දැනුමක් තියනවා කියන වීශ්වාසය මට තියනවා.කවදාහරි මට හරි විදිහට භාවීතා කරන්න ලැබුනොතින් මම එ දැනුම භාවීතා කරනවා.(අපරාධ කාරයෙක් නීලධෘරියෙකූට වෙඩී තිර්‍බබොත් නිලධාරියාගේ තූවක්කූව මම අතට ගන්නවා) බලාගන ඉන්නවට වඩා එක හොදයි.හිතන්න අපිට කර්‍වරැහරි ආයුධයක් දික් කරනවා.
        එ ආයුධයට පතූරර්‍ම කීයක් දාන්න පූළුවන්ද.
        මැගසින් එක තියනවද
        ටීගරය (කොකා)තීයන තැන
        සෙප්ටි ඔන් කරලද
        ආයුධය ඇත්ත එකක්ද
        අල්ලගන ඉන්න විදිහට පුරැදුකාරයෙක්ද

        කියන එක ගැන දැනුමක් තියනවානර්‍ම අපි මුහූණ දෙන වීදිහ වෙනස් වෙනවා නේද.
        ඔබතූමා කරන දැනුවත් කිරිම වැදගත් වෙන්නේ එ හින්දයි.

        දැන් සාමාන්‍ය මිනිස්සු හක්ක පටස් වගේ භයානක දෙවල් භාවිතා කරනවා.එවා නිර්මානය කරන තැන ඉදන්ම තියෙන්නේ අවධානමක්.
        මිනිස්සු දැනුවත් කිරිම මගින් වෙන හානිය අවම වෙනවා මට හිතෙන්නේ.
        මම වාතයක් වධයක් උනාද මන්දා

        • මංජුල, ඔබ ඉතා අවංක හැඟීමෙන් අදහස් දක්වා තිබෙනවා. ගිනි අවි භාවිතය පිලිබඳ අපේ රටේ නීති යලි සලකා බැලිය යුතු කාලයක් මේ. ගිනි අවියක් පිලිබඳ පුහුණුවක් සෑම පුද්ගලයකුටම ලබා දුන්නොත් බොරු බය අඩු වෙනවා. ‘බොරු සෝබන ගිනි කෙලි කාරයෝ’ නිකම්ම සවුත්තු වෙනවා. ප්ලාස්ටික් පිස්තෝල පෙන්වා, මංකොල්ල කන්නට පුළුවන්වී තිබෙන්නේ, ගිනි අවි පිළිබඳව මහජනතාව දැනුවත් නැති නිසයි. නීතිය රකින නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල වුනොත්, එම ස්ථානයේ ඒ මොහොතේ, එයට මැදිහත්විය හැකි තත්වයෙන්, වෙනත් කිසිම එවැනි නිලධාරියකු නොසිටීනම්, ආත්මාරක්ෂාව සලකා, ඔබට ඒ නිලධාරියාගේ අවිය පාවිච්චි කල හැකියි. නමුත් ඔබ එය නීතිය ඉදිරියේ කිසිදු සැකයකින් තොරව ඔප්පු කල යුතුයි. ඔබේ අදහස් අගය කරන අතරම, අවි පුහුණුවක් නොදී හෝ මේ රටේ මිනිස්සුන්ට අවංකව, කාර්යක්ෂමව, වෙලාවට වැඩ කිරීම පිළිබඳව හමුදා කඳවුරකදී මාස හයක පමණ පුහුණුවක් දිය යුතුයි කියන එකයි මගේ හැඟීම.

  11. සමහරක් රටවල් වල එහේම කරනවා කියලා මම අහලා තියනවා.(සාමාන්‍ය මිනිස්සුන්ට ආයුධ භාවිතා කිරිම. ආත්මාරක්ෂාව සදහා සටන් කිරිම) වැනි දේවල් පිලිබදව දැනුමක් ලබා දෙනවා කියල‍ා.එක ඇත්තක්ද…………..ර්‍මර්‍මර්‍මර්‍මර්‍මර්‍මර්‍මර්‍මර්‍මර්‍මර්‍ම අයියේ

    • ලෝකයේ සෑහෙන රටවල් ගණනක අනිවාර්ය හමුදා නීතිය තිබෙනවා. එහි පරමාර්ථය හුදෙක් යුද පුහුණුවම නෙවෙයි. පුද්ගලයකුගේ ජීවිතයේ කාර්යක්ෂම බව වර්ධනය කරගන්නත්, ජීවිතයේ අභියෝග ජයගන්නත් එය ඉවහල් වෙනවා. ඒ බව සනාතවන අවස්ථා එමටයි. අනිවාර්ය හමුදා පුනුනුව සහිත සමහර රටවල ජනතාව, සුනාමි වැනි ව්‍යසනයකදී ඉතා දැඩිව එයට මුහුණ දෙන්නෙත්, අප වැනි රටවල අය හැඟීම්බරව කටයුතු කරන්නෙත් එවැනි පුහුණුවක් නැති නිසායයි මට හිතෙනවා. අපේ රටේ පාසල් කීයෙන් කීයක්ද ශාරීරික අභ්‍යාස කියන එකවත් හරියට උගන්වන්නේ. පාඩම් පාඩම් පාඩම්, විභාග විභාග විභාග. මේ චක්‍රය, මේ මහා අවාසනාවන්ත චක්‍රය කොතනින් හෝ කැඩිය යුතුයි. මේසන්, වඩුවැඩ, ටින්කරින්, ටේලරින්, කිතුල් මැදීම, පොල්රා හැදීම, උපාධි ලබාදෙන ක්‍රමයක් ඇති කල යුතුයි.

  12. බෙහෙත් කොටන තුවක්කුව සහ එයට බෙහෙත් කොටන ආකාරය සහ ක්‍රියාකාරිත්වය කියලා දෙන්න පුලුවන්ද?

  13. ඉස්තුතියි..😃😃😃😃😃

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: