විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1985 මාර්තු 8 වැනිදා උදේ 6 ට ආසන්නයි. මේ දවසත් වෙලාවත් මා මියයනතුරු අමතක වෙන්නේ නැහැ. මම ඒ කාලයේ යුද හමුදාවේ ‘තනි තරුවේ’ කියාගෙන හිටිය කාලේ. පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ‘පූනානි’ කියන ප්‍රදේශයේ තමයි මම සේවය කලේ. ඒ දිනවල එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය බලය තහවුරු කරගන්නට ආරක්ෂක හමුදා සමග නිතර සටන් වැදුනා. එයින් බොහොමයක් සැඟවී සිට එල්ල කරන ප්‍රහාර. මේවා මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදා ද ඉතා සූක්ෂ්මව හා සංවිධානාත්මකව සටන් කළා.

   1985 මාර්තු මස 7 වැනිදා එවකට මා සිටි කඳවුරේ අණදෙන නිලධාරි වරයාගෙන් නියෝගයක් ලැබුනා, මා අණදුන් භට ඛණ්ඩය, (Platoon) සතුරා ගමන් කරනු ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණු, කැළෑබද අඩි පාරක යොදවා, රාත්‍රී කාලයේදී රැකසිට පහරදීමක් කරන ලෙස. එදින සවස 2 සිට සවස 4 වනතුරු මා මේ පිළිබඳව කෙටි පුනරීක්ෂණ පුහුණුව සහ අනෙකුත් උපදෙස් මගේ ඛණ්ඩයට ලබා දුන්නා. මට හිටිය ඛණ්ඩ භාර සැරයන් ඇත්තටම දක්ෂයෙක්. ඒ කාලයේ අපි තරුණ නිලධාරින් ලෙස, තවම යුද හමුදාවට අලුත් නිසා, බොහෝ දේවල් ගැන අසා දැනගන්නේ අත්දැකීම් බහුල, කෝප්‍රල් වරුන්ගෙන්, සැරයන් වරුන්ගෙන්, සැරයන් මේජර් වරුන්ගෙන්.

   එදින රාත්‍රී 7 ට පමණ මා මගේ ඛණ්ඩයද රැගෙන රැකසිට පහරදීම සඳහා පිටත් වුනා. රාත්‍රී 8.30 වනවිට අපි සතුරා බලාපොරොත්තුවෙන් පහරදීම සඳහා ස්ථානගත වුනා. රැකසිට පහරදීමකදී ඉතා දැඩි විනයක් අවශ්‍යයි. හයියෙන් හුස්ම ගැනීම පවා නොකළ යුතුයි. එයත් සතුරාට ඇහෙන්නට පුළුවන්. (අපි පුහුණු වෙන කාලේ මගේ ‘අතීසාර’ මිත්‍රයෙක් රැකසිට පහරදීම පුහුණුවට ගිහිල්ලා, අඹේවෙල ප්‍රදේශයේ මහ රෑ මර හීතලේ ඉන්න ගමන් දන්නෙම නැතුව නින්දට වැටුනා. ටිකකින් මේකා ‘ලී ඉරනවා’ අඹේවෙල කැළෑව දෙවනත් වෙන්ඩ. පුහුණුවේදී අපේ සතුරන් හැටියට එන්නේ අපේ පුහුණු උපදේශකයෝ. සද්දේ ඉවසන්ඩම බැරි තැන මම කිව්වා ‘ගොරවන්නැතුව බුදියගනින් . . . .කෝ’ කියලා. මුගේ ගෙරවිල්ලයි මගේ ගොරනාඩුවයි ‘සතුරන්ට’ ඇහුනා. සතුරෝ ඇවිත් අපේ කණ්ඩායමම සීතල වතුරෙන් නෑව්වා.)

   ඉතින් එදා පූනානි වලදී මම හිතාගත්තා ‘අදනම් ආවොත් දෙනවා ඕකුන්ට කුඩු යන්ඩ’ කියලා. මුළු රෑම රැකගෙන හිටියත් බල්ලෙක්වත් ආවේ නැහැ. (සමහර විට දවස් ගණන් රැකගෙන ඉඳලා සාර්ථකව වැඩේ දීපු අවස්ථා තියනවා) ඔන්න අපි එලිය වැටීගෙන එනකොට ආපහු එන්ඩ පිටත් වුනා. මීටර් 500 ක් විතර එනකොට නිදිමත නිසා මම ‘සරාගොයියා’ වගේ තුවක්කුව කරේ තියාගෙන එහි බටයේ අග්ගිස්සෙන් අල්ලාගෙන තමයි ආවේ. ඉදිරියෙන්ම ගියේ සැරයන්. ඊළඟට අපේ කොල්ලෝ දෙන්නෙක්. ඊළඟට මම. එක පාරටම පට පටාස් ගාලා සද්දයක් ආවා. මගේ කන ලඟින් ඉතා උණුසුම් වායු ධාරා කීපයක් යනවා දැනුනා. ඒවා මගේ ජීවිතය පැහර ගන්නට එල්ලවූ සතුරු වෙඩි උණ්ඩ බව තේරුනේ පසුවයි. (තේරුනේ. . . දැන් තමයි) මට හිතාගන්න බැරිවුනා මොකක්ද වෙන්නේ, මොකද කරන්නේ කියලා. සැරයන් කෑගැහුවා ඩවුන් ඩවුන් (වහාම බිම දිගාවෙන්න) කියලා. මම ඩවුන් යනකොට සැරයන්ගේ මල පූනානි වලටත් උඩින් පැනලා. ‘සර් මොන ප .. . . ද කරන්නේ වෙඩි තියන්ඩ’ කියලා සැරයන් කෑගැහුවා.

   තුවක්කුව වෙඩි තැබීමේ ඉරියව්වට ගත්ත ගමන් මා දුටුවේ වෙඩිතබාගෙන අප දෙසට දුවගෙන එන කළු ඇඳුම් ඇඳගත් හත් අට දෙනෙකු පමණ පිරිසක්. ඔවුන් සිටියේ අපට මීටර් 100 කටත් අඩු දුරකින්. ඒ සතුරාගේ තොරතුරු සෙවීමේ මුර සංචාරයක්. (Reconnaissance Patrol) මම වහාම වෙඩි වැලක් (burst) මගේ ටී 56 තුවක්කුවෙන් මුදා හැරියා. ඉදිරියෙන්ම ආ සතුරෙකුගේ මුහුණට වැදුණු මගේ වෙඩි වලින් ඔහුගේ ඔලුව කුඩුවෙනු මම හොඳින්ම දැක්කා. වෙඩි හුවමාරුව විනාඩි 5 ක් වත් තිබුනේ නැහැ. සතුරන් 4 දෙනෙක් මියගොස් සිටියා. තුවාලවී සිටි දෙන්නෙක් අල්ලාගත්තා. අපේ දෙන්නෙකුට සාමාන්‍ය තුවාල තිබුනා. මම වහාම කඳවුරට ගුවන්විදුලි මගින් කතාකලා. අධාරක භට පිරිස් පැමිණ කඳවුරට අපව කැටුව ආවා. මට තිබුනේ සීරීම් තුවාල පමණයි. සැරයන්ට කිසිම තුවාලක් නැහැ.

   කඳවුරට එනතුරුත් අර දර්ශනය මගේ හිතේ හොල්මන් කරන්න වුනා. ‘ෂිහ්. . . මම මිනිහෙක් මැරුවනේ’ යන සිතුවිල්ල මට මහා වදයක් වුනා. එදා දවසම මම කිසිම දෙයක් කෑවේ නැහැ. වතුර විතරයි බිව්වේ. මගේ හමුදා සගයින් මට නොයෙක් ආකාරයෙන් කරුණු කිව්වත් මගේ හිතේ අවුල එලෙසම තිබුනා. බැරිම තැන මගේ සගයින් මෙය කඳවුරේ අණදෙන නිලධාරි තුමාට වාර්තා කර තිබුනා. රාත්‍රී 9 ට පමණ මට පණිවිඩයක් ලැබුනා සාමාන්‍ය (සිවිල්) ඇඳුමකින් සැරසී අණදෙන නිලධාරි තුමාගේ පෞද්ගලික නිවස්නයට (chalet) පැමිණෙන ලෙස. ‘මොකද්ද යකෝ මේ වෙන්ඩ යන්නේ’ කියා සිතමින් මා එහි ගියා. සීරුවෙන් සිට ‘ගුඩ් ඊවිනින්ග් සර්’ කියා ගෞරව දැක්වුවා. ‘හායි යන්ග් මෑන්, කම් කම්’ කියා ඔහු මා කැඳවාගෙන අමුත්තන් පිළිගන්න සැටියේ වාඩි වෙන්නට කිව්වා.

  අපි ඒ කාලේදී අණදෙන නිලධාරි තුමාට තියන ගෞරවය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මම වාඩි නොවුන නිසා ඔහු මා අල්ලා වාඩි කෙරෙව්වා. ඔහුත් ඒ සැටියේ අනික් කොනේ වාඩි වුනා. වේටරයෙක් බීම ට්‍රොලියක් තල්ලු කරගෙන ආව. එහි විස්කි, බ්‍රැන්ඩි, ජින්, වොඩ්කා, අරක්කු, සියල්ල තිබුනා. ‘කම් ලෙට්ස් හෑව් අ ඩ්‍රින්ක්’ ඔහු කිව්වා. සාමාන්‍යයෙන් එය නියෝගයක් ලෙසයි සැලකිය යුත්තේ. ‘සර් ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් අයි ඈම් නොට් ඉන් අ මූඩ් ටු ඩ්‍රින්ක්’ මම කිව්වා. ‘ඕ කමෝන් මෑන් ඩෝන්ට් බී සිලි’ කිව් අණදෙන නිලධාරි තුමා වීදුරුවකින් බාගයක් පිරෙන්න විස්කි වත්කර, ‘නවු අයි ඈම් ඕඩරින්ග් යූ ටු ඩ්‍රින්ක්’ කිව්වා. ඔහුගේ හඬේ ස්වරය නිසාම බයවූ මම ගුඩුස් ගා ‘බොටම් අප්’ එකක් කළා. ගිනි ගුලියක් වගේ විස්කි ටික බඩට ගියා.

   ඔහු මට කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා. ‘අයිසේ, තමුසෙවත් මමවත් මේ ආමි එකට බැඳුණේ, මම අර මිනිහා මරනවා, මම මේ මිනිහා මරනවා, කියලා හිතලා නෙවෙයිනේ. අනික යුද්ධ කරනවා කියන්නේ මොකක්ද මිනිහෝ, දෙපැත්තකට බෙදිලා මරාගන්න එක නෙවෙයිද? තමුසේ ආමි එකට බැඳුණේ ආමි එකේ කොල්ලන්ට බනිස් බෙදන්ඩද? මතක තියාගන්නවා යුද්ධයේදී දෙවෙනි ස්ථානයක් ඒ කියන්නේ අනු ශූරතාවයක් නැහැ. ඉස්සර වෙච්ච එකා දිනුම්. අද තමුසේ ඉස්සර වුන නිසා තමුසෙගෙ පවුලේ අයට තමුසෙව ඉතුරු වුනා. ආමි එකට තමුසෙව ඉතුරු වුනා. ටිකක් හිතලා බලනවා’. ආදී වශයෙන් පැයක් පමණ මට අවවාද කර මා පිටත් කලේ රාත්‍රී ආහාරයද ලබා දීමෙන් පසුවයි.

  එතුමාගේ මේ අවවාදය මා අණදෙන නිලධාරියකු වූ පසුව මට මහත් ආදර්ශයක් වුනා.

Advertisements

Comments on: "පළමුවැනි සතුරාගේ මරණය" (26)

  1. මේ ලාංකීය බ්ලොග්කරණ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරන පෝස්ට් එකක්. පළමුවරට (100% නීත්‍යානුකූලව හෝ) තමන් මිනිසකු මැරූ බව අවංකව සඳහන් කරමින් පළ වූ පෝස්ට් එක මේකයි. මේ බ්ලොග්කරුගේ මුහුකුරාගිය නුවණ ඉතාම පැහැදිළිව ප්‍රකාශ වන අවස්ථාවක්. නොමේරූ බ්ලොග්කරුවකු අතින් මෙවැනි පෝස්ට් එකක් කිසිදිනෙක ලියැවෙන්නේ නෑ. සංවේදීත්වය උපරිමයි. අවංක බව උපරිමයි. මා පෝස්ට් එක ගැන ඊට වඩා යමක් කියන්න යන්නේ නෑ. (ඔබ එය බලාපොරොත්තු නොවන බවත් මා දන්නවා. මට මොනවද කියන්න පුළුවන්?) නමුත් සිංහල බ්ලොග් අවකාශයේ ඉතිහාසය ලියන විද්‍යාර්ථියකු වේ නම් කරුණාකර මේ පොස්ට් එක බුක් මාර්ක් කර ගන්න.

  2. මමත් හිතනවා බ්ලොග් කරුවෙක් අවංක විය යුතුයි. ඔබගේ ලිපිය අනුව ඒ හැසිරීම සාධාරණයි. නමුත් භගවත් ගීතාවේදී ශ්‍රී කෘෂ්ණාගේ කරුනු හැම සොල්දාදුවෙක්ම ඉගෙනගත යුතුයි. කිසිම සොල්දාදුවෙක් මිනිසුන් මරන්නේ නැහැ. ඒ යුද්ධෙ,…. ඒකෙ හැටි එහෙම තමයි.

  3. මරු ලිපියක් ඇත්ත කතාවක් හොඳ එන්ට්‍රන්ස් එකක්…

  4. ඔබ දෙවන ලුතිතන් වුනාට ඛන්ඩයට අණ දෙන්නේ සැරයන්ද?

    මමත් යුධ හමුදා ජීවිතයට බොහොම ආසයි. නමුත් මම හමුදාවට නොබැඳුනේ හේතු දෙකක් නිසා එකක් මිනී මරන්න බැරිකම. සතුරෝ විදිහට දැක්කත් ඒ මා වැනිම තවත් මිනිසෙකි.

    අනික අපේ අම්මා මට දක්වන විශේෂ සැලකිල්ල නිසා..මම යුද්ධයට ගියා නම් මට කලින් අම්මා මැරෙයි..

    මට කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක් අහන්නම්…

    සත්ව ජීවිතේ පව් කියලා මස් මාංශ නොකන, මස් මාංශ කන්නන් හෙළාදකින, මස් මරන්නන් හෙළාදකින මිනිස්සු කොටියෙක්ගේ මරණයකදී සතුටු වෙන්නේ ඇයි?

    මස් මරන මිනිහා පව් කාරයෙක් නම් ලයිසන් අරන් මිනිස්සු මරන සොල්දාදුවො කරන්නේ පවක් නොවෙන්නේ කොහොමද?

    සොල්දාදුවා එහෙම කරන්නෙ රට බේරගන්න. මස් මරන මිනිහා එහෙම කරන්නෙ තමුන්ගෙ පවුල බේරගන්න.

    • ඔබේ කමෙන්ට් එකට පිළිතුරු දීමට වෙනම ලිපියක් ලිවිය යුතුයි. යුද හමුදා සොල්දාදුවා මිනීමරුවෙක්ද? පහුගිය කාලේදී අපේ රටත් යුද්ධයකට මුහුණ දුන්නා. එය යුද්ධයෙන්ම කෙලවර විය යුතු බවත්, එසේ නොව එය සාම සාකච්ඡා වලින් කෙලවර වියයුතු බවත් කියන දෙවර්ගයේම අය හිටියා. කාලයක් සාම සාකච්ඡා පැවැත්වුවා. නමුත් උදාවූ සාමයක් නැහැ. යුද්ධ කළා, ලක්ෂ ගණනක් මියගියා. යුද්ධය දිනුවා. දැනට සම්පූර්ණ සාමයක් නැහැ, මම හිතන විදිහට. නමුත් ජීවිත විනාශය නැවතුනා. යුද්ධය හෝ සාමය කියන දෙකම තියෙන්නේ එක පැත්තකින් අපේ හිතේ. අනික් පැත්තෙන් අතීතයේදීත්, වර්තමානයේදීත්, අනාගතයේදීත් යුද්ධ ඇති කරන්නේ, පවත්වාගෙන යන්නේ මිනිසාමයි. දේශපාලනඥයෝ තමයි තීරණය කරන්නේ යුද්ධය ඕනෙද එපාද කියලා. දේශපාලන අධිකාරිය විසින් දෙනු ලබන තීරණ හෝ නියෝග ක්‍රියාත්මක කිරීමක් පමණයි හමුදාව කරන්නේ. සොල්දාදුවා තරම් සාමයට ප්‍රිය කරන කෙනෙක් තවත් නැහැ. සොල්දාදුවා තරම්, යුද්ධයේ කුරිරු බව සහ සාමයේ මිහිරි බව දන්නා තවත් කෙනෙක් නැහැ. පහුගිය යුද්ධයේදී අපේ හමුදාවන් විඳපු අත්දැකීම් වලින් 25% ක් වත් මේ රටේ මහජනතාව දන්නේ නැහැ. ඈත ගම්වල මිනිස්සු යුද්ධයෙන් විඳි පීඩාවලින් 40% ක් විතර තමයි ලියවෙලා තියෙන්නේ. මොහොතකට සිතන්න අද එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද්ධය ජයගත්තා කියා. එය නීත්‍යානුකූල රාජ්‍යයක් යුද බලයෙන් පැහැර ගැනීමක්. මම කතා කරන්නේ ජාත්‍යන්තර නීතියට අනුව. ඔබ කැමතිද මඩු පල්ලියට යන්න වීසා අරගෙන? බවුද්ධ අපි කැමතිද වීසා අරගෙන නාගදීපේ යන්න? ඔබේ මව හෝ සහෝදරියව දූෂණය කරන්න හදන පාපතරයකුට ඔබ අනුකම්පා කරනවද අතේ පොලු කෙටියක්වත් තියනවනම්? ඔබේ මුළු ගමටම කුඩු බෙදන, ගමේම ගෑනු දූෂණය කරන, ගෙවල් මංකොල්ලකන එකා එක දවසක ඔබේ, මුළු පවුලම මරා දැමීමට එනවානම්, ඌ ඔබේ මව පියා ගස් බැඳ, සහෝදරියව බිම දමාගෙන ඇගේ ඇඟ උඩ නැග සිටිනු, ඒ මොහොතේ ගමනක් ගොස් ගෙදර එන ඔබ දකිනවානම්, අඩු ගණනේ ගෙදර මෝල් ගහක් තියනවානම්, ඔබ කරන්නේ මොකක්ද? යුද්ධයකදී අපි කරන්නේ නිශ්චිත සතුරා මර්දනය හෝ දුර්වල කිරීමයි. අපි පාසල් සිසුන් කාලේ බයිනෙත්තු සරඹය ඉගෙන ගත්තා, .303 රයිෆලයෙන්. ඒ කියන්නේ සතුරාගේ බොකු බඩවැල් එලියට එන්න බයිනෙත්තුවෙන් අනින්නේ මෙහෙමයි කියන පාඩම. ඒ කාලයේ මේ රටේ යුද්ධයක් තිබුනේ නැහැ. නමුත් මම කවදාවත් යුද්ධයේදී එය කරලා නැහැ. මම කියන්නද, මම වෙනම ලිපියක් ලියන්නම්. දිගටම ලියාගෙන යනකොට ආවේගයන් ඉස්මතුවීමෙන් මාතෘකාවෙන් පිට යාමට සිදුවෙනවා නොදැනීම. ඔබේ මුල් ප්‍රශ්නයට පිළිතුර ඔව් කියන එකයි. ආධුනික දෙවැනි ලුතිතන් වරයකු අණදෙන ඛණ්ඩයක පළපුරුදු අත්දැකීම් බහුල සැරයන් වරයකු සිටිනවානම්, ඔහු යම්තාක් දුරට ඛණ්ඩය අණදීමේ කාර්යයට සහායවීම මෙන්ම නිලධාරියාට උපදෙස් දීමත් සිදු කරනවා. නමුත් කිසිවිටකත් නිලධාරියා අබිභවා යන්නේ නැහැ. නිලධාරියාගේ අධිකාරි බලයට මුළු ඛන්ඩයම යටත්. අපි දෙවන ලුතිතන්ලා කාලයේ හිටිය සැරයන් මේජර් වරු සමහරක් අප සමග කතා කරේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. ඒ වගේම අපි පිස්සු වැඩ (රාජකාරි නොවන) කලොත් ඔවුන් අපිව කාර්යාලයේදී පවුද්ගලිකව හමුවී මුහුණටම කියනවා ‘සර්, අර වැඩේ වැරදියි, ආය කරන්න එපා, ආය කලොත් මම කණ්ඩායම භාර නිලධාරියාට (Company Commander) කියනවා’ කියලා. බැරිවෙලාවත් ඔහු ඒ පැමිණිල්ල කලොත්, එය ඉතා බරපතල ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ තරම් පිළිගැනීමක් තියනවා පළපුරුදු කෙනෙකුට. ඊළඟට අපි තව නිලයක් ඉහලට ගිය දවසට ඔහු හිටියොත් පැමිණ අචාර කර සුබ පතන්නෙත් මම මේ නිලධාරියාව හදාගත්තා කියන හැඟීමෙන්. ඔබට හිතවත් යුද සෙබළෙකුගෙන් අහන්න අන්න අර මිනිහා මගේ හතුරෙක් ඌව මරමුද කියලා. හොඳ පුහුණුවක් සහ හොඳ ජන්මයක් තිබෙන කිසිම සොල්දාදුවෙක් එවැනි මිනීමැරුම් කරන්නේ නැහැ.හරී, අපේ බුදු හාමුදුරුවෝ ප්‍රශ්න වලට පිළිතුරු දීපු ක්‍රම කීපයක් තිබුනා. එයින් මට මතක තියෙන්නේ

      1. විභංජන = කරුණු විශ්ලේෂණය කර පිළිතුරු දීම

      2. පටි පුච්ඡා = ප්‍රති ප්‍රශ්න නැගීමෙන් කරුණු අවබෝධ කරවීම

      3. තපනීය = නිහඬව සිටීම (ලෝකයේ කෙලවර කොතනද වැනි ගොන් ප්‍රශ්නයක් ඇහුවොත් බුදු හාමුදුරුවෝ නිහඬව ඉන්නවා)

      ඔබ අහලා තියනවනේ මගෙන්, කොටි මැරුණම අපි සතුටු වුනේ ඇයි කියලා. එක සාපේක්ෂයි. අපි මැරුණම කොටිත් සතුටු වෙනවා. ඒ, අපි දෙගොල්ලොම මිනිස්සු (මිනිස්සු?) නිසා. කොටි අපේ සාමාන්‍ය මිනිසුන්ව අමු අමුවේ තිරිසන් විදිහට මැරුවා. ඒවගේ වීඩියෝ සහ ඡායාරූප කීපයක් හෝ ඔබත් දැක ඇති. මම හිතන්නේ අපි සුව වෙමින් පවතින තුවාල නොපෑරවිය යුතුයි.

      • බුදුන් වහන්සේ පිළිතුරු දුන් ක්‍රම 4 වන්නේ

        ඒකංස ව්‍යාකරණිය – එක් එල්ලේම පිළිතුරු දීම
        විභජ්ජ ව්‍යාකරණිය – කොටස්වලට බෙදා විග්‍රහ කිරීම
        පටිපූච්ඡා ව්‍යාකරණිය – ප්‍රති ප්‍රශ්න නගමින් පිළිතුරු දීම
        ඨපනීය – පිළිතුරු නොදී බැහැර කිරීම

        කෙසේ නමුත් ඨපනීය ගණයේ ප්‍රශ්නවලටත් බුදුන් වහන්සේ යම් යම් අවස්ථාවලදී පිළිතුරු දී තිබෙනවා

    • හරී
      //සත්ව ජීවිතේ පව් කියලා මස් මාංශ නොකන, මස් මාංශ කන්නන් හෙළාදකින, මස් මරන්නන් හෙළාදකින මිනිස්සු කොටියෙක්ගේ මරණයකදී සතුටු වෙන්නේ ඇයි?//
      ඒක ඒ ඒ මිනිස්සුන්ගෙං අහන්න ඕන දෙයක්.

      //මස් මරන මිනිහා පව් කාරයෙක් නම් ලයිසන් අරන් මිනිස්සු මරන සොල්දාදුවො කරන්නේ පවක් නොවෙන්නේ කොහොමද?//
      කවුද කියන්නෙ පවක් නෙවේ කියල. ප්‍රාණ ඝාතක අකුසලය සිදුවෙන්න ඕනකරන කරුණු 5ම ඉෂ්ට වෙනව මෙතනදිත්. ඕන අතකට දිව නමන්න පුළුවන් අයට, ධර්මය තමන්ට ඕන තැනිං අල්ලගන්න පුළුවන් . ඒත් ඇත්ත ඒක නෙවේ. කෙටි පැහැදිලි කිරීම ඒකයි.

      • මම මෙතනදි උත්සාහ කළේ සොල්දාදුවා මිනීමරුවෙක් ලෙස හංවඩු ගැහීමට නෙමේ..මම මතුකරන්න උත්සාහ කළේ මස් මරන මිනිහා ගැන සමාජය වපර ඇහින් බැලීම..

        යුද්ධයක් ජයගත් සොල්දාදුවාට ලැබෙන්නෙ උපහාර නමුත් තම ජීවිකාව සර්කරගන්න මස් මරන දිහා මිනිස්සු බලන්නේ කොහොමද “තුහ් පව්කාරයා මේ වගේ කලකන්නි “විදිහට නමුත් මස් අරන් කනවා..

        මිනිස්සුන්ට පේන්නෙ නෑ ඒ මනුස්සයා සතුන් මරන්නෙ තම පවුල රැකගන්න දරුවන්ට උගන්නන්න කියලා..හැබැයි මස් කනවා. පවක් සිදුවෙනවානම් ඒකෙන් මිදෙන්න ගේන තර්කෙ තමා “මම වෙනුවෙන් මරපුවා නෙමේනෙ මට පව් නෑ. මරන මිනිහටයි පව්”

        අනික බිලි පූජා වලට සතුන් ගන්නවා කියලා කෑ ගහන දේශපාලකයොම සොල්දාදුවන් ලවා මිනිස්සු ඝාතනය කරනවා..

        ඔය අදහස මතු කරන්නයි ඕනා වුනේ..

      • සොල්දාදුවා රට වෙනුවෙන් යුද වැදී සතුරන් මරණයට පත් කිරීම කරන එකෙන් මම හිතන විදිහට ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා.

        රට බේරාගැනීමේ අරමුණින් ඒක සිදුකළත් ඔහුගේ ඒ ක්‍රියාවෙන් පර පණ නැසීමක් වන නිසා අකුසලයක් සිදුවෙනවා. ඒ කාර්යය අනුමත කරන්නන්, ආවඩන්නන්ටද සිදුවෙන්නේ ප්‍රාණඝාතය නම් අකුසලයට අනුබල දීපු නිසා කිසියම් අකුසලයක් සිදුවීම.

        කෙසේ නමුත් අකුසල් සිදුවෙනවා කියා එසේ නොකර සිටීමද කළ නොහැකියිනේ. අළුගෝසුවා කරන්නේ තමන්ගේ රාජකාරිය. ඒත් ඒ කාර්යයෙන් ඔහුට සිදුවෙන්නේ අකුසලයක්.

  5. අම්මෝ..මේකෙ දිග…

    මට දැන් මහන්සියි ඒක නිසා නැවත වරක් නිවිහිල්ලෙ කියවා උත්තර දෙන්නම්..

    මට පෙන හැටියටනම් ඔබ උත්තර දීලා තියෙන්නෙ මගේ ප්‍රශ්නෙට නෙමෙයි..

    එක්කො මම අහලා තියෙනවා වැරදියි..එක්කො ඔබ වටහාගෙන තියෙනවා වැරදියි..

    කොහොමත් නැවත කියවන්න ඕනෙ..

    • හරී අයියගෙ ප්‍රශ්න වලට මගේ සිතුවිලි උත්තර බඳින්නෙ මෙහෙමයි. මුලින් ම ඔයාගෙ ප්‍රශ්න බලමු. 1.මස් නොකන, මස් කන්නන් හා මස් මරන්නන් හෙලා දකින මිනිස්සු කොටි මරණයකදි සතුටු වෙන්නේ ඇයි?
      2.සත්ත්ව ඝාතකයා පව් කාරයෙක් වන්නේත්, සොල්දාදුවා එසේ නොවන්නේත් කෙසේද?
      මට තියෙන්නේ ආගමානුකූල පිලිතුරක්. ඔය ගැන බුද්ධ දර්ශනයේ තියෙන සරල ම ඉගැන්වීම තමා “චේතනාහං භික්කවේ කම්මං වදාමි” ලෙස බුදුරදුන් දේශනා කරල තියෙන්නෙ. ඒ කියන්නෙ අපි කරන ඕනම ක්‍රියාවකින් ලැබෙන්නේ පවක්ද පිනක්ද කියන දේ තීරණය වෙන්නේ අපේ හිතේ ඒ ගැන තියන සිතුවිල්ල අනුවයි. උදාහරනයක් විදියට හිතන්න ඔයා පැලයක් හිටවන්න වලක් හාරනකොට උදැල්ලට කැපිලා සතෙක් මැරුණා කියලා. ඒකෙන් ඔයාට කිසිම පවක් වෙන්නේ නෑ. මොකද ඔයාගෙ හිතේ සතෙක් මරන්න චේතනාවක් නොතිබුණ නිසා. අනිත් වැදගත් දේ ඔයාට පැලයක් හිටවන්න ඕනෙ නං වලක් හාරන්නෙ නැතුව ඒක කරන්නත් බෑ. මේ යුද්ධ කිරිල්ලත් ඒ වගෙයි. අපි අපේ රට බේරගන්න ඕනෙ. අපි විකල්ප ක්‍රම වලින් ඒක කරන්න උත්සාහ කරා. බැරි උණා. තමන්ගෙ මිනිස්සු මැරෙන දිහා අපිට බලා ඉන්නත් බෑ. එකම ක්‍රමය වුණේ යුද්ධය. නමුත් චේතනාව කොහොමටවත් මිනිස්සු මැරීම නෙවෙයි. රටත් මිනිස්සුත් නිකරුණේ විනාශ වීම වැලැක්වීම. හරී අයිය දන්නවද ආලවක යක්ෂයගෙ කථාව. ඔහු දරුණු යක්ෂයෙක් වුණ නිසා බුදු රදුන් ගියා ඔහුව දමනය කරන්න. “හිටුකෝ මං මේ ශ්‍රමණයට හොඳ වැඩක් කරන්න” කියල හිතා ගත්තු යක්ෂයා බුදුරදුන් කෝප කරවන අදහසෙන් උන්වහන්සේට තම නිවසෙන් එලියට යන්න අණ කරා. උන් වහන්සේ එලියට ගියා. නැවත ආලවක යක්ෂයා ඇතුළට එන්න අණ කරා. උන්වහන්සේ ඇතුලටත් ආවා. මේ විදියට තුන් වතාවක් වුණා. හතරවෙනි වතාවේ එලියට යන්න කිව්වම බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා.

      “නෑ මම යන්නේ නෑ. ඔබට පුලුවන් දෙයක් කරන්න”

      මේ සිද්ධියෙන් උන්වහන්සේ ආදර්ශයක් දුන්නා. අනිත් හැමදේටම වගේ ඉවසීමටත් සීමාවක් තියාගන්න කියන එක. ඒක අසීමාන්තික කර ගැනීමත් වැරදියි කියන එක. අන්න ඒ දේයි රට වෙනුවෙන් සොල්දාදුවෝත් කරේ. එතකොට ඔයාගෙ පළවෙනි ප්‍රශ්නෙ විසඳුනා මං හිතන්නෙ. මිනිස්සු සතුටු වෙන්නෙ කොටි මැරුණට නෙමෙයි. රට රැකුණට. හැබැයි එහෙම නොවෙන අයත් ඉන්නවා. උන්ට වෙනදේ සොබාදහම තීරණය කරයි.
      ඊලඟ එක, බුදුරදුන් දේශනා කරල තියනවා මස් වෙළඳාම නොකළ යුතු එකක් හැටියට. හිතන්න….. රට බේරගන්න අපිට කරන්න තිබුණ එකම දේ යුද්ධ කරන එක. ඒක හරියට අනිවාර්යයෙන් බිම හිටවිය යුතු ලොකු ගහක් වගේ. ඉතින් අපිට වලක් හාරන්නම වෙනවා. ඒත් පව්ලක් රැක ගන්න කරන්න රැකියා ඕන තරං තියනවා. ගොඩාක් තියනවා. ඒක පුන්චි පැළයක් වගේ. පෝච්චියක උනත් හිටවන්න පුලුවන්. ඉතින් ඒක අපිට කාටවත් හානියක් නැති විදියට තෝරගන්න පුලුවන්. සොල්දාදුවාත් මස් වෙළෙන්දාත් වෙනස් වෙන්නෙ එතනදි. කොමෙන්ට් එකේ පුංචි පුංචි වැරදි තියෙන්න පුලුවන්. කාටහරි පෙනුනොත් හැමෝම වෙනුවෙන් නිවැරදි කරන්න. හරී අයියට තේරුණා වෙන්නැති සමහර විට මගෙ උත්තරේ. අනික මේ බණ කියපු මම නිර්මාංශිකයෙකුත් නෙමෙයි. සමාවෙන්න.

      • බොහොම ස්තුතියි. ඔබේ දහම් දැනුමෙන් කර ඇති පැහැදිලි කිරීම් හුඟක් වටිනවා.

      • මගේ බ්ලොග් එක නොවුනත් බට්ටො, පිළිතුරු සැපයීමට ස්තූති කරන්න ඕන රාජ්‍යක නීත්‍යානුකූල හමුදාවක් කියන්නෙ මස් මරන්නො නෙමෙයි කියන එක පැහැදිලි කලාට…. බොහොම ස්තූතියි

  6. බ්ලොග් අවකාශයට මම ඇවිල්ලා දැන් වසර 2ක් වෙනවා, ඒ කාලෙටම මම දැකපු එක අඩුවක් තමා හමුදා සේවයේ ඇත්දැකීම් තියන බ්ලොග් එකක්,,මේ වෙනකොට ඔබ නිසා ඒ අඩුව පිරිලා, මම මේ වෙද්දී මේ බ්ලොග් එකේ සියලුම ලිපි කියවලා ඉවරයි, හරිම ආසාවෙන් මේවා කියෙවුවේ…

    • බොහොම ස්තුතියි. මේ බ්ලොග් එක පටන් ගනිද්දී මම හිතුවේ නැහැ මගේ අත්දැකීම් වලට මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා.

  7. සිංහල බ්ලොග් අවකාශයේ මම කියවපු හොඳම ලිපි වලින් එකක්. අපි ඒ දවස් වල ප්‍රවුර්ති වලින් අහපු මේ සිදුවීම් මෙලෙස යථා පරිධිම ඉදිරිපත් කිරීම ප්‍රශන්සනීයයි. ඒ ගැන ඔබට ගොඩක් තුති.

    මට අහන්ඩ ඕනා ප්‍රශ්ණ ගොඩක් තිබුනත් කමෙන්ට් ටික කියවපුවම ඒවාට උත්තර ලැබුනා.

  8. කාලෙකට පස්සේ මේ පැත්තේ ආයේ ඇවිත් පෝස්ට් එකක් කියෙව්වේ සෑහෙන්න ලිපි මගැරිලා…..හරිම ලස්සනට අකුරු කරලා තියෙනවා අර වෙඩි කන ගාවින් යද්දි කන අගුල් වැටුනේ නැද්ද…. යුධ කාලේ ලිපි පත්තරෙන් කියෙව්වට ඒ අත්දැකීම් විඳපු රණවිරුවන් ලියපු දෙයක් කියවන්න ලැබුනෙම නෑ…මේ ලිපි සෑහෙන්න වටිනවා

    • මේ ලියන්නේ කියාගන්න පුළුවන් දේවල් විතරයි. කියාගන්න බැරි, කිව්වොත් මහා බරපතල ප්‍රශ්න මතුවන, දේවල් ගොඩක් හිතේ හිර කරගෙන ඉන්න, විශාල ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් ඉන්නවා. ඒ අය මැරිලා යන්නේ ඒ තොරතුරුත් සදාකාලයටම වලලා දමමින්. යුධ තොරතුරු වාර්තාකරණය කියලා බොහොමයක් මාධ්‍ය කලේ බොරු ෂෝ එකක් පමණයි.

      කන් අගුල් වැටෙන්නේ වෙඩි කන ලඟින් යනකොට නෙවෙයි. සතුරු කාලතුවක්කු උණ්ඩයක් අපි ලඟට වැටිලා පුපුරනකොටයි.

      ලිපි අගය කිරීම සබැඳිව ඔබට මගේ ස්තුතිය.

  9. බ්ලොග් අවකාශෙ මෙහෙම ලිපියක් කියවපු පළවෙනි වතාව….. ඉහල නිලතල දරන උදවියට සැලුට් ගගහ ඉන්න තියෙන අකමැත්තට හමුදාවට බැඳුනෙ නැති එක ගැන නම් අද දුකක් තියෙනව… (උසස් පෙල ලියල ඉවර වෙද්දි සටන් විරාමෙ තිබුනෙ… ඒ කාලෙ දැක්ක දේවල් වල හැටියට හමුදාවට බැඳෙන එක මෝඩ කමක් විදිහට දැක්කෙ… )

    • හමුදාවට විතරක් නෙවෙයි කිසිම රැකියාවකට බැඳෙන්න එපා, ඒ පිලිබඳ අධ්‍යයනය කිරීමකින් තොරව. කාගේවත් පෙළඹවීමකට, මොන රැකියාවට බැඳුනත් පලක් නැහැ, ආත්ම තෘප්තිය නැත්නම්.

  10. තුන්පාරක් හමුදාවට බැඳෙන්න උත්සහ කර, දෙවතාවක් ගෙදර අයගේ බලපෑමෙන් මගේ ගමන අවහිර උනා. ඒත් දැන් යන්න කමක් නෑ ලු. මම බය ගුල්ලෙක් නෙවෙයි. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වේ එකනේ. මේවා කියවනකොට මට අයෙත් ඒ අතීතෙට දුවන්න හිතෙන්නේ ඇයි කියල මම දන්නේ නෑ. ඒත් මට ඕනේ උනේ යුද්දේ උපරිමෙන් තිබ්බ කාලේ හමුදාවට බැඳෙන්න. කොච්චර කටුක උනත් අසීරු උනත් මම ඒ දේට ආස කළා. ස්තුතියි ඔබට මෙහෙමවත් ඒ කාරණා ගෙන ඒම ගැන.

    • යුද්දේ පැවතුන කාලේ හමුදාවට බැඳුන පිරිස් දෙවර්ගයක් හිටියා. ආය බොරුවට කයිය ගහන්න ඕනේ නැහැ, ජීවත් වෙන්න බැරිම තැනට පත්වූ, උසස් අධ්‍යාපනයක් නොලද අය පළමුවැනි පිරිස. ඔවුන්ගෙන් සමහරක් හමුදාවට බැඳී මාස කීපයක් ඇතුලත සටනේදී මියගියා. ඒ දුප්පත් පවුල් අදටත් යැපෙන්නේ මියගිය සෙබලාගේ වැටුපෙන්. ඒ වගේම මගේ ජීවිතය පුදා හෝ මවුබිම රකිනවා කියන හැඟීමෙන් ආව අයත් හිටියා. ඒ දෙවැනි පිරිස. දෙවැනි පිරිසේ අයගේ චිත්ත ධයිර්යය ඉතා ඉහලයි. ඔවුන්ගෙන් වැඩි දෙනා අදටත් ජීවත්ව ඉන්නවා. ඔබ අද යුද හමුදාවට බැඳුනා කියා බයගුල්ලෙක් වෙන්නේ නැහැ. තීරණය තිබෙන්නේ ඔබේ අතේ.

  11. \\\\අයිසේ, තමුසෙවත් මමවත් මේ ආමි එකට බැඳුණේ, මම අර මිනිහා මරනවා, මම මේ මිනිහා මරනවා, කියලා හිතලා නෙවෙයිනේ. අනික යුද්ධ කරනවා කියන්නේ මොකක්ද මිනිහෝ, දෙපැත්තකට බෙදිලා මරාගන්න එක නෙවෙයිද? තමුසේ ආමි එකට බැඳුණේ ආමි එකේ කොල්ලන්ට බනිස් බෙදන්ඩද? මතක තියාගන්නවා යුද්ධයේදී දෙවෙනි ස්ථානයක් ඒ කියන්නේ අනු ශූරතාවයක් නැහැ. ඉස්සර වෙච්ච එකා දිනුම්. අද තමුසේ ඉස්සර වුන නිසා තමුසෙගෙ පවුලේ අයට තමුසෙව ඉතුරු වුනා. ආමි එකට තමුසෙව ඉතුරු වුනා. ටිකක් හිතලා බලනවා’.\\\\\

    මෝඩ හරක්ට කියන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි විචාරක තුමණි …. සහෘද බ්ලොග් කරුවෙක් ලෙස මගේ පුද්ගලික ආචාරය ඔබට පුද කරනවා…. ( මේක බ්ලොග් කරුවෙක්ගෙන් බ්ලොග් කරුවෙක්ට පිදෙන ආචාරයක් විදිහට සළකන්න )

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: