විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


පාබල හමුදා සොල්දාදුවකු, ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම වෙලාවක, ඕනෑම දේශගුණික තත්වයක් යටතේ සටන් කිරීමටයි පුහුණු කරන්නේ. සොල්දාදුවකු ඒ සඳහා එෆ්.ඊ. FE (Forwarded Everywhere) යන වෛද්ය වර්ග කිරීම (වෛද්ය වර්ග කිරීම යනු සොල්දාදුවකුගේ ශාරීරික/මානසික යෝග්‍යතාවය පිළිබඳව දෙනු ලබන වෛද්ය නිර්දේශයකි) ලබා සිටිය යුතුයි. පාබල සොල්දාදුවා ගොඩබිමෙන් හෝ අහසින් හෝ මුහුදෙන් හෝ ප්‍රවාහනය කර, භූමියේ කිසියම් ස්ථානයක ගොඩ බැස්සවූ විට, තම අත ඇති සිතියම සහ මාලිමා යන්ත්‍රය ආධාරයෙන් පාර සොයාගෙන එතැන් සිට අවශ්‍ය ස්ථානයට යාම සඳහා පුහුණු කර ඇත. දහවල් කාලයේදී මෙය එතරම් අපහසු නොවන ක්‍රියාවක් විය හැකි වුවද, රාත්‍රී කාලයේදී එය විශාල අභියෝගයකි. මේ සියල්ල කිරීමට පෙර සොල්දාදුවා සිතියම් කියවීම දැන සිටිය යුතුය. සිතියම් කියවීම පිළිබඳව යුද හමුදා භාෂාවෙන් ඇති නිර්වචනය ගැන නොසිතා, සරල භාෂාවෙන් කියන්නේනම්,

‘භූගෝල විද්‍යානුකූල න්‍යායන් පදනම් කරගනිමින්, කඩදාසියක හෝ එවැනි පැතලි තලයක, විවිධ වර්ණ, අකුරු, සංකේත, හැඩතල, ආදිය යොදාගනිමින් අඳින ලද සටහනක් කියවා, එය ත්‍රිමාන ස්වරූපයෙන් අවබෝධ කරගැනීම’ සිතියම් කියවීමයි.

ඉදින් මේ සඳහා භූගෝල විද්‍යාව පිලිබඳ පී.එච්.ඩී. උපාධියක් අවශ්‍ය නොවේ. සිතන නුවන සහ අවබෝධයයි වැදගත්. මීට කලින් ලිපියේ සඳහන්, යුද හමුදාව පාවිච්චි කරන, ‘ග්‍රිඩ් සිතියම්’ ගැන කිව්වා ඔබට මතක ඇති. සිතියමක තිබෙන සියලු සංකේත ගැන මා මෙහිදී කියන්නට යන්නේ නැහැ. නමුත් පොලොව මතුපිට ඇති නිශ්චල වස්තුවක පිහිටීම නිවැරදිව ප්‍රකාශ කරන්නට අර ග්‍රිඩ් රේඛා ආධාර වන්නේ කෙසේද යන්න පමණක් කියන්නම්. මා කලින් ලිපියේ සඳහන් කල පරිදි, ග්‍රිඩ් රේඛා යනු, අක්ෂාංශ රේඛා සහ දේශාංශ රේඛා ආශ්‍රිතව, පොළොවේ මීටර් 1000 ක පරතරය පෙන්වීම පිණිස, සිතියමේ ඇඳ ඇති රේඛා විශේෂයක්. අක්ෂාංශ ඇසුරෙන් ඇඳ ඇති රේඛා ‘නොර්තින්ග්ස්’ ලෙසත්, දේශාංශ ඇසුරෙන් ඇඳ ඇති රේඛා ‘ඊස්ටින්ග්ස්’ ලෙසත් හඳුන්වනවා. (ලෝකයේ වෙනත් ප්‍රදේශ වලදී මේ නම් වෙනස් වෙනවා. මේ කිව්වේ අපි ඉන්න කලාපයට අදාළ, නම්)

සුදු පාට කොටුවේ ඇති රේඛා වලින් ඔබට ග්‍රිඩ් රේඛා පිලිබඳ අවබෝධය ලැබෙනවා ඇති. ඊස්ටින්ග්ස් බටහිර සිට නැගෙනහිර දෙසට යනවිට අගයෙන් වැඩි වෙනවා. 76, 77, 78, 79, ආදී වශයෙන්. නොතින්ග්ස් දකුණේ සිට උතුරට යනවිට අගයෙන් වැඩි වෙනවා 98, 99, 00 (100), 01 (101), ආදී වශයෙන්. මේ රේඛා දෙකක් අතර පරතරය සමාන කොටස් 10 කට බෙදා දක්වා තිබෙනවා දැක්කාද? ඒ විදිහට රේඛා ඇන්දොත් එම රේඛා දෙකක් අතර පරතරය මීටර් 100 යි.

ඊළඟ රූපෙයේ තිබෙන්නේ 1:50000 පරිමාණයෙන් අන්දිනලද සිතියමක කොටසක්. එහි කලුපාට ඉලක්කම් වලින් 98 සිට 03 දක්වා ඇත්තේ ඊස්ටින්ග්ස්. 31 සිට 34 දක්වා ඇත්තේ නොතින්ග්ස්. මම කිව්වා මේ රේඛා ආධාර කරගෙන පොලොව මත ස්ථිරව පිහිටි දෙයක පිහිටීම නිවැරදිව ප්‍රකාශ කල හැකියි කියා. මොහොතකට හිතන්න ඔබ මෙම සිතියම අතේ තියාගෙන භූමියේ ඉන්නවා. ඔබට අවශ්‍යයි දුරක සිටින කෙනෙකුට ගුවන් විදුලි පණිවිඩයකින් සිතියමේ තිබෙන දෙයක් කියන්න. ඔහුගේ අතෙත් මේ සිතියමේ පිටපතක් තිබෙනවා. නමුත් ඔබ දෙදෙනාම සිතියම් කියවීම දන්නේ නැත්නම් වචන කී දාහක් වැය කිරීමට සිදුවේද? කොපමණ කාලයක් අපතේ යයිද? එතකොට සතුරා ඇවිත් අපේ ජන්ගියත් ගලවාගෙන යයි. ඒ නිසා මේ ග්‍රිඩ් රේඛා මගින් පිහිටීම ප්‍රකාශ කිරීම නිවැරදියි, ශාස්තානුකූලයි.

හොඳයි ඔබට පෙනෙනවාද මේ සිතියමේ එක කොටුවක හතර මායිම කළුපාටින් දක්වා තියනවා? ඒ කොටුව තුල ‘මාගම’ නමැති ගම තියනවා. දැන් ඔබ කොහොමද මාගම තියන තැන කියන්නේ? හරිම පහසුයි ඔබ කලයුත්තේ මාගමට බටහිරෙන් ඇති ඊස්ටින්ග් එකේ අංකය සහ මාගමට දකුනෙනේ ඇති නොතින්ග් එකේ අංකය ප්‍රකාශ කිරීමයි. ඒ අනුව මාගම පිහිටා තියෙන්නේ 02 32 කියන ග්‍රිඩ් කොටුවේ. මෙය ලියන විට 02 සහ 32 අතර පරතරයක් නොතබා 0232 ලෙසයි ලියන්නේ. මෙලෙස ඉලක්කම් හතරකින් පිහිටීම ප්‍රකාශ කිරීමට කියන්නේ ‘ඉලක්කම් හතරේ ග්‍රිඩ් නිර්දේශය’ (Four Figure Grid Reference) කියලයි. සිතියමේ තව තැනක තියනවා රතු තිතකින් ‘ගල්කන්ද’ කියලා කඳු මුදුනක්. එය ග්‍රිඩ් කොටුවක් පුරා විහිදුන එකක් නෙවෙයි අපි හිතමු ඔය කඳු මුදුනේ සතුරාගේ කාලතුවක්කුවක් තියාගෙන අපට හෝ ගාලා වෙඩි තියනවා කියලා. ඉතින් අර ග්‍රිඩ් කොටුවම වනසනු කියලා අපේ කාලතුවක්කු හමුදාවට හෝ ගුවන් හමුදාවට කීම සුදුසු මදි. ඒ අවට සතුරන් නොවන අහිංසක මිනිසුන්ගේ ජනාවාස තිබිය හැකියි. (ඔන්න මානව හිමිකම් රැකීම) අනික, එක කාලතුවක්කුවකට බැටේ දීමට වෙඩි දහස් ගණනක් වැය කිරීම මෝඩ වැඩක්. ඒ නිසා හරියටම තැන කිව්වනම් ‘කෆීර් එකක්’ ඇවිල්ල වැඩේ දීලා යයි. ‘ෂින්’ ගාලා. ඉතින් කොහොමද මේක කියන්නේ? මෙතැනදී අපි අර කඳු මුදුන තියන කොටුව සමාන කොටස් දහයකට බෙදා ගන්නවා. ඔබ දක්ෂයෙක් නම් සිතෙන් ඒ බෙදීම කල හැකියි. නැත්නම් මාලිමාවේ ඇති පතුල් තහඩුව අඩි රූලක් මෙන් පාවිච්චි කල හැකියි. හොඳයි ඒ විදිහට බලමු කඳු මුදුනේ පිහිටීම. කඳු මුදුනට බටහිරෙන් තියන ඊස්ටින්ග් එක 00 එහි සිට 01 රේඛාව දක්වා පරතරය සමාන කොටස් දහයකට බෙදුවිට කඳු මුදුන තියෙන්නේ 00 3 කියල හිතමු. ඒ වගේම කඳු මුදුනට දකුණෙන් තියන නොතින්ග් එක තමයි 31 එහිසිට 32 දක්වා පරතරය 10 ට බෙදුවොත් කඳුමුදුන තියෙන්නේ 31 8 හරියේ. දැන් අපි මෙය ප්‍රකාශයර පත්කරන්නේ මෙහෙමයි. කටින් කියනවානම් කියන්නේ ‘බින්දු දෙකයි තුන, තිස් එකයි අට’ (බින්දු දෙකේ අට තිස් එකේ තුන කීම ටිකක් හරි මදි) ඉංග්‍රීසියෙන් කියන්නේ (Double zero three, thirty one eight) කියලයි. ලියන්නේ 003318 විදිහටයි මේ ක්‍රමයට අපි කියනවා ‘ඉලක්කම් හයේ ග්‍රිඩ් නිර්දේශ ක්‍රමය’ (Six Figure Grid Reference) කියලා.

හරි, ඉක්මනට කොම්පස් එකත් අරන් බහිමු කළුවරට. දැන් අපිව මුලින්ම භූමියේ නිශ්චිත තැනකට ගෙනයනවා. අපි මුලින්ම කල යුත්තේ මහ පොළොවේ උතුර තිබෙන දිසාවට සිතියමෙත් උතුර පිහිටන ආකාරයට සිතියම සකස් කර ගැනීමයි (වැරදුනොත් උතුර දකුණ නැහැ) ඒ සඳහා සිතියම පොළොවේ හෝ පැතලි මතුපිටක (ලෝහමය මතුපිටවල් බැහැ. මාලිමාව වෙනස් වෙනවා)  එලා, ඒ මත කොම්පස්  එක තබා, සිතියමේ චුම්බක උතුර පෙන්වන රේඛාව මත, කොම්පස් එකේ උතුරු සලකුණ පිහිටනසේ තබා, උතුරු කටුව සහ සිතියමේ චුම්බක උතුරු රේඛාව එක මත එක පිහිටනසේ (සමපාත වනතුරු) සෙමින් සිතියම කරකැවීමයි. දැන් අපට භූමියේ අපි ඉන්න තැන ගැන සතුටුදායක අවබෝධයක් තිබෙනවා.මීළඟට අපට උපදෙස් ලැබෙන්නේ මෙහිසිට මෙපමණ අංශක ගණනක කෝණයකට මෙපමණ දුරක් යනු. එතැන්සිට මෙපමණ අංශක ගණනක කෝණයකට මෙපමණ දුරක් යනු ආදී වශයෙන් විස්තරයක්. මෙහිදී මුලින්ම කරන්නේ, මාලිමාවේ හිස කෙස් ගසක් වැනි සිහින් රේඛාව හා එක එල්ලේ අප යායුතු අංශක ගණන සිටින සේ මාලිමා පාත්‍රය (Compass Housing) කරකැවීමයි. ඉන්පසු දිගංශ රේඛා සහ උතුරු කටුව සමපාත වන තුරු, මාලිමාව අතේ තිබෙන තැනැත්තා, එකතැන කරකැවිය යුතුයි. එසේ සමපාතවුවිට ශීර්ෂ රේඛාව පිහිටා තිබෙන්නේ අප යායුතු දිශාවටයි. දැන් මාලිමාව වෙනස් වීමට ඉඩ නොදී පියවර ගණන් කරමින් නියමිත දිශාවට යායුතුයි. ඔබේ පහසුව සඳහා සිල්වා කොම්පස් කීපයක පින්තූර මේ සමග එක්කරනවා.

Advertisements

Comments on: "‘නයිට් කොම්පස් මාච් යන්නේ’ මෙහෙමයි" (14)

  1. ඔබ වැන්නෙක් මේ සිංහල බ්ලොග් පරිශ්‍රය තුල සිටීමම සතුටකි ..මේ ලිපි හැමෙකකින්ම දැනුමක් ,රසයක්ද කැටිව ලබා ගතිමි. ඔබේ සටහන් මතු ඉදිරියටද බලාපොරොත්තු වෙමි.

  2. “එතකොට සතුරා ඇවිත් අපේ ජන්ගියත් ගලවාගෙන යයි.” හි..හි..

    අද පෝස‍්ට් එක නම් සංකීර්ණයි වගේ..අන්තිම කෑල්ල තේරුනෙත් නෑ…. 🙂
    ඇත්තම කිව්වොත් මේක මීට වඩා සරල විදිහට ලියන්නත් බෑ කරලම පෙන්නනවා මිසක්…

    ග්‍රිඩ් නොතේරුන කෙනෙක්ටයි මේ ටික..

    හිතන්නකො Excel sheet එකක් ඒකෙ cell නම් කරන්නෙ A32 වගේ එහෙමම තමයි සිතියමේ කොටුවක් නම් කරන්නේ..වෙනසකට තියෙන්නෙ දෙපසටම අංක භාවිතයෙන් නම් කිරීමයි…

    වඩා පොඩි ලක්ශයකට යනවානම් ඒ කොටුවත් හිතින් කොටස් දහයකට බෙදලා ඒ විදිහටම ගන්නවා..

    ඔන්න මම මේ ලිපිය බුකියට දැම්මා..

    • ලියන්න ගත්තට පස්සේ තමයි අමාරුව වැටහුනේ. පුළුවන් තරම් විස්තර කරා. දරුණු ප්‍රතිචාරත් එයි, ‘මොනවද යකෝ මේ අන්ඩර දෙමළ?’ කියලා අහලා. ප්‍රශ්න ගොඩක් ආවොත් තව පැහැදිලි කරන්න බලනවා. ඔබේ කමෙන්ට් එක මෙය කියවන අයට උදව්වක්. බොහොම ස්තුතියි. මගේ ඊ මේලය ලැබුනාද?

  3. එවලෙම එව්වා හම්බුනේ නැද්ද?

    කන්වර්ට් කරන එක නම් පුලුවන් හැබැයි රිස්කි..ලිපි ටිකට මොනාහරි වුනොත් ඔබතුමා මගෙ කන පලයි..

  4. වටිනා කරුණු කාරණා ටිකක් 🙂

  5. ඇත්තටම මට හිතා ගන්න බෑ . මම කරුණු හොය හොය වටේ ඇවිද්දට හැම දේම ලඟම තිබිල . ඔයාට ගොඩක් ස්තූති අද මේ කරපු උදව්ව ගොඩක් වටිනව . ඇත්තටම මම මේ කතා කරන ශෙලියට ගොඩක් ආසයි . දිනෙන් දින ඔබ දියුණු වේවා . තෙරුවන් සරණයි .

  6. නියමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: