විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


තාක්ෂණික දියුණුවට සමගාමීව වර්තමාන ලෝකවාසීන්ගේ ජීවිතය වෙනස් වන්නේ සිතාගත නොහැකි වේගයකිනි. මෙයට හොඳම උදාහරණය වන්නේ පරිගණකයයි. මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටියේ 1968 වසරේදීය. එකල පරිගණකයෙන් ප්‍රතිඵල නිකුත්කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සතුව පරිගණක පහසුකම් තිබුනේ නැත. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුව තිබුණු පරිගණකය ඒ සඳහා යොදා ගැනුනි. ඒ පරිගණකය පිලිබඳ තොරතුරු එකල පුවත්පත්වල පල වුනේ විශාල හෙඩින් සමගය. එම පරිගණකය වෙනම කාමරයක තැබිය යුතු අති විශාල ‘පරිගණක යන්ත්‍ර රාජයෙක්’ බවත්, වායු සමනය කල එම කාමරය දූවිලි ප්‍රතිරෝධක පියවර යටතේ ඇතුළුවීම සීමා කළ, අතිශයින් ආරක්ෂාකාරී සහ රහස්‍ය, ස්ථානයක් බව කියවූවා මට මතකය. මෙන්න එම පරිගණකයෙන් නිකුත් කළ මගේ ප්‍රතිඵල ලේඛනය. අදටත් මෙය සුරැකිව මා අත තිබේ.

සාමාන්‍යයෙන් පුංචි චූර්ණිකාවක් නොකියා කතාවක් කීමේ රසයක් නැත. එදා ප්‍රතිඵල ලේඛනය අද කෞතුක වස්තුවකි. එදා මහා තාක්ෂණික වික්‍රම කියා අප දුටු දේවල් අද නිකම් සෙල්ලම් බඩුය. මේ කියන්නට යන්නේ එදා පාසල් ශිෂ්‍ය භටයන් වශයෙන් අප කළ අසීරු අභ්‍යාසයක තොරතුරුය. නවීන තාක්ෂණයට පින් සිදු වන්නට අද යුද තාක්ෂණයෙන් දියුණු රටක හමුදා සොල්දාදුවකුට මෙතරම් අසීරුතාවක් යුද බිමේ ගමන් කිරීමේදී පැන නොනගී. එහෙත් අපේ යුද හමුදාව මේ තාක්ෂණය එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී ද සමහර අවස්ථා වලදී භාවිත කළා.

යුද බිමට යන සොල්දාදුවකු අත තිබිය යුතු වැදගත් දේ අතර අවි ආයුධ, පතරොම්, බෝම්බ, හැරුණුවිට තමන් සිටින ප්‍රදේශයේ සිතියම සහ මාලිමා යන්ත්‍රයට ලැබෙන්නේ විශාල වැදගත්කමක්. යුද කටයුතු සඳහා වර්තමානයේදී බහුල වශයෙන් පාවිච්චි කරන්නේ 1 : 50000 පරිමාණයෙන් යුත් සිතියම්. අපි පාසල් ගිය කාලයේ පාවිච්චි කලේ 1:63360 පරිමාණයෙන් යුත් සිතියම් ඒවා අතර වෙනස වන්නේ අපි ඉම්පීරියල් හෙවත් අධ්රාජ්‍ය ක්‍රමය පාවිච්චි කල අතර වර්තමානයේදී මෙට්‍රික් ක්‍රමය යොදාගැනීමයි.  සම්පූර්ණ ශ්‍රී ලංකාව දැක්වීමට 1:50000 පරිමාණයෙන් යුත් සිතියම් 96 ක්,යොදාගනී. ඉම්පීරියල් ක්‍රමයේදී සිතියම් 72 ක් යොදා ගැනුනි.

යුද කටයුතු සඳහා යුද හමුදාව වෙත සහ මිනුම්දෝරු කටයුතු සඳහා බලයලත් මිනුම්දෝරුවන්ට නිකුත් කරන විශේෂ සිතියම්, යුද හමුදාවේදී අපි හඳුන්වන්නේ ‘ග්‍රිඩ් සිතියම්’ යනුවෙනි. එයට හේතුව එම සිතියම් වල ලෝකයේ අක්ෂාංශ හා දේශාංශ ආශ්‍රිතව අඳින ලද රේඛා විශේෂයක් ඇතුළත් කර තිබීමයි. මේවා පොළොවේ මීටර් 1000 ක පරතරය පෙන්වන කොටු දැලක් ආකාරයටයි ඇඳ තිබෙන්නේ.’ග්රිඩ් සිතියම්’ යනුවෙන් ඒවා හැඳින්වෙන්නේ ඒ නිසයි.

ඉහත දක්වා අති රූප දෙකෙන් පළමුව දක්වා ඇති සිතියම දෙස අවධානය යොමු කරන්න. එහි එකිනෙකට සමාන්තරව ඉහල සිට පහලට හෙවත් (උතුරේ සිට දකුණට) විහිදෙන දුඹුරු පාට රේඛා, දේශාංශ ආශ්‍රිත ග්රිඩ් රේඛාය. හරස් අතට හෙවත් (බටහිර සිට නැගෙනහිරට) විහිදෙන රේඛා අක්ෂාංශ ආශ්‍රිත ග්රිඩ් රේඛාය. ඒ සමග ඇති ලෝක ගෝලයේ රූපයෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත.
දැන් ඉතින් මොකක්ද නයිට් කොම්පස් මාච් එක කියන්නේ? කොහොමද යන්නේ? මොකටද යන්නේ? හොඳයි එකිනෙක තේරුම් බේරුම් කරගම්මු. දහවල් කාලයෙදීනම් සොල්දාදුවකුට යුද භූමියේ ගමන් කිරීමේදී පහසුවෙන් අවට පරිසරය පෙනෙනවා. ඒ නිසා සිතියම සහ මාලිමා යන්ත්‍රය ආධාර කරගෙන දුරදක්නයේද සහාය ලබාගෙන ගමන් කල හැකියි. නමුත් රාත්‍රී කාලයේදී යුද භූමියේ ඝන අඳුරේ ගමන්කිරීම ඉතා පරෙස්සමෙන් කලයුතු දෙයක්. ඒ නිසා රාත්‍රී කාලය එළඹීමට පෙර හෝ රාත්‍රියේ බලාපොරොත්තු රහිතව යුද භූමියේ ගමන් කරන්නේනම්, ඒ සඳහා සිතියම සහ මාලිමාව ආධාරයෙන් සැලසුමක් සාදාගතයුතු වෙනවා. එසේ සාදාගත් සැලසුමට අනුව පාර වරද්දාගන්නේ නැතිව, නියමිත කෝණ අනුව, තමන් බලාපොරොත්තුවන ස්ථානයට ගමන් කිරීම තමයි ‘නයිට් කොම්පස් මාච්’ කියන්නේ. (එය ඉදිරියට යාම, පසුබැසීම, තවත් පිරිසකගේ ආධාරයට යාම, ආදී විවිධ පරමාර්ථ යටතේ සිදුවිය හැකියි) මෙය තනිව යන ගමනක් නොවේ. විශේෂ පහරදීමකට යන තුන් හතර දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමක සිට 100 ක් 150 ක් පමණ කණ්ඩායමක් වුවත් මෙසේ ගමන් කිරීමට ඉඩ තිබෙනවා. කණ්ඩායම විශාලවූ තරමට අවදානම වැඩියි. සිතියම සහ මාලිමාව අප අත තිබුනත්, ඒ භූමියේ මීට පෙර ගමන්කර නැතිනම්, විවිධ මර උගුල්, කටුකම්බි වැටවල්, ඉබේ හැදුනු වලවල්, ගංගා, වැව්, මඩ වගුරු, ආදිය තරණය කිරීමට සිදුවුනොත්, ලේසි වෙන්නේ නැහැ. 1969 වර්ෂයේදී දියතලාව කඳවුරේදී මා සහභාගිවූ නයිට් කොම්පස් මාච් එකකදී, මට ඉදිරිපසින් ගිය සගයාගේ ඉන පටියෙන් අල්ලාගෙන යාම (එය නීති විරෝධියි. යටත්පිරිසෙයින් අඩි 3 ක වත් පරතරයක් තබාගෙන යා යුතුයි.) නිසා ඔහුත් සමග මම වලකට ඇද වැටුණු අතර ගොඩට ගැනීමට, විනාඩි 10 ක් පමණ වෙහෙසෙන්නට කණ්ඩායමේ අනික් අයට සිදුවුනා. (ශිෂ්‍ය භට පුහුණුවේදී අඩුම වෙලාවකින් ගමන අවසන් කරන කණ්ඩායමට ජයග්‍රහණය ලැබෙනවා. ඒ අවුරුද්දේ අපට හුළං) ඉතින් මේ මාලිමා යන්ත්‍රය හෙවත් කොම්පස් එක මහා විශ්මයජනක දෙයකැයි ඔබට හිතෙනවා ඇති. හැබැයි එයටත් දැන් සිදුවී තිබෙන්නේ අර මගේ විභාග ප්‍රතිඵල ලබාදුන් දැවැන්ත පරිගණකයට අත්වූ ඉරණමමයි. දැන් ඒ පරිගණකය කටුගෙයිවත් තිබෙනවාදැයි මා දන්නේ නැහැ. නමුත් අපේ කාලයේ පාවිච්චි කල මාලිමායන්ත්‍ර තුනකින් අද භාවිතයට ගන්නේ එකක් පමණයි අනික් ඒවා කටුගෙට තමයි ගැලපෙන්නේ. මෙන්න ඒවා.
මෙය හඳුන්වන්නේ ‘ප්‍රිස්ම මාලිමාව’ හෙවත් ‘ප්‍රිස්මැටික් කොම්පස්’ කියයි. මෙය එංගලන්තයේ නිෂ්පාදනයක් වන අතර මේ තත්වයට දියුණු කර තිබෙන්නේ 1940 දී පමණ. මම මුලින්ම මේ වර්ගයේ මාලිමාවක් පාවිච්චි කලේ 1967 වර්ෂයේදී ශිෂ්‍ය භට පුහුණුව ලබද්දී. මෙය ඉතා කාර්යක්ෂම හා නිවැරදි මාලිමාවක්. පාවිච්චි කිරීමේ අපහසුතා (බර, විශාලත්වය, නඩත්තු වියදම) නිසා අත්හරිනු ලැබුවා.
මේ තමයි ඊළඟට අපිට පරිහරණයට ලැබුණු මාලිමාව. මෙය හැඳින්වුණේ ලෙන්සටික් කොම්පස් කියලයි. ඉතා සූක්ෂ්මයි. නිවැරදියි. ක්‍රියාකාරිත්වය ඉගෙන ගන්නට අමාරුයි. ඉගෙන ගත්තට පස්සේ පහසුයි. මෙය ඇමෙරිකා එකසත් ජනපදයේ නිපැයුමක්. 1935 දී පමණ තමයි මුලින්ම හදලා තිබෙන්නේ.
 
මෙන්න වර්තමානයේදී අපේ යුද හමුදාව පාවිච්චි කරන මාලිමාව. මේ මාලිමාව මුලින්ම මමත් ඉගෙනගත්තේ යුද හමුදාවට බැඳෙන්නට පුහුණුව ලබද්දියි. මෙය හඳුන්වන්නේ ‘සිල්වා මාලිමාව’ කියලයි. දැන් ඉතින් මේක බලන අපේ සිල්වලා ‘කොලර්ස් අප්’ කරන්න යන්න එපා, ‘ඔන්න බලපල්ලා අපේ නමින් කොම්පස් එකකුත් තියනවා’ කියලා. හේතුව මේකයි. මේ මාලිමාවත් 1930 දශකකයේදී පමණ වැඩි දියුණු කල එකක්. මෙය සාදා තිබෙන්නේ ස්වීඩනයේ. ස්වීඩන් භාෂාවෙන් සිල්වා කියන්නේ කැලයටයි. (අයියෝ. . . සිල්වා කැලේ) මෙය ඉතා සරල, ඉගෙනීමට පහසු, හැසිරවීමටද පහසු, ඉතා කාර්යක්ෂම මාලිමාවක්.
ඉතින් මේ මාලිමා යන්ත්‍ර වර්තමානයේදී භාවිතයෙන් ඉවත් වෙමින් තිබෙන්නේ ඇයි? Intel X58 Motherboard, Core i7 Processor, DDR3 8GB RAM, Built in 2GB VGA, 2 TB HDD, Blueray ROM, ඔන්න ඔය වගේ පරිගණකයක් තියනවනම් ඔබ තවමත් P 1, 16 MB RAM වගේ පරිගණකයකින් වැඩ කරනවාද? ඒ වගේ තමයි. දැන් මේ උපකරණ අබිභවා යන උපකරණ නිපදවා තිබෙනවා. මුලින්ම ආවේ රාත්‍රී දුර දක්නය. (Night Vision) මේ උපකරණය මම මුලින්ම පාවිච්චි කලේ 1990 දී යාපනය ප්‍රදේශයේ රාජකාරී කරද්දියි. (මුලින්ම නිපදවා තිබෙන්නේ 1939 දී පමණ ඇමෙරිකානු යුද හමුදාවයි.) අධෝරක්ත කිරණ (Infrared Beams) තාක්ෂණය පදනම් කරගෙනයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. නැවත පණ ගැන්විය හැකි බැටරි බලයෙන් ක්‍රියාත්මක වන්නේ. අතේ ගෙනයාහැකි කුඩා ප්‍රමාණයේ ඒවාගේ සිට යුද ටැංකි, නාවික යාත්‍රා, ගුවන් යානා, ආදියෙහි සවිකරන විශාල ප්‍රමාණයේ හා බලසම්පන්න ඒවාද තිබෙනවා. මෙම උපකරණයෙන් රාත්‍රී කාලයේදී අවට බලන විට පරිසරය පෙනෙන්නේ කොළ පාටටයි. නමුත් අවශ්‍ය කටයුතු සඳහා එයින් බාධාවක් නැහැ.

ඉන්පසු යුද කරලියට පැමිණි විශ්මය තමයි ජී.පී.එස්. උපකරණය. G.P.S. යන ඉංග්‍රීසි අකුරු තුනෙන් හැඳින්වෙන්නේ, Global Positioning System යන්නයි. මෙයින් අදහස් කරන්නේ පොළොවේ සිට කිලෝමීටර් 300 ක පමණ ඉහල කක්ෂයක රඳවා තිබෙන, එමෙන්ම පොලවේ වර්තනයට (කැරකෙන වේගයට) සමාන කක්ෂීය වේගයක් පවත්වාගෙන චන්ද්‍රිකා පද්ධතියක් මගින් ඇති කරන ත්‍රිමාන සංඥා ජාලයක් මගින්, පොලොව මතුපිට ඇති ඕනෑම ජී.පී.එස්. උපකරණයක පිහිටීම අනුව එය අතේ තබාගෙන සිටින්නා හෝ එම උපකරණය සවිකර ඇති යුද,නාවික,ගුවන්, යාත්‍රාව හෝ වාහනය කොතැනක සිටින්නේද/තිබෙන්නේද යන්න 99% නිවැරදිව හඳුනාගැනීමයි. මේ නිසා භූමියේ ගමන් ගැනීමේදී පෙරට වඩා ආරක්ෂාකාරීව සහ නිදහස්ව ගමන් කිරීමේ අවස්තාව සොල්දාදුවන්ට ලැබී තිබෙනවා. ඇමරිකානු යුද හමුදාවේ විශේෂ ක්‍රියාන්විත සඳහා සහභාගී වන සෑම සොල්දාදුවකුගේම යකඩ හිස්වැස්මේ ජී.පී.එස්. එකක් සහ චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු උපකරණයක් සවි කර තිබෙනවා. අපිටත් ඒ පහසුකම් හෝ ඊටත් වඩා වැඩි පහසුකම් අනාගතයේදී ලැබෙනු ඇති.

Advertisements

Comments on: "නයිට් කොම්පස් මාර්ච් Night Compass March" (11)

  1. අපොස සා.පෙ.ට හිටියෙ 1968 හා විභාග අංකය 26035… (පෞද්ගලිකත්වය කැලේ… 🙂 )

    ඒ දවස්වල අඟලෙ සිතියම් නේද පාවිච්චි කළේ…අපේ ගෙදරත් ඒවා ගොඩාක් තියෙනවා..අපේ අම්මා භූගෝල විද්‍යාව කරලා තියෙන්නෙ උ.පෙළට..ඉතින් ආසාම විශය වෙලා තියෙන්නෙ ඒක නිසා අදටත් සිතියම් ගැන ලොකු දැනුමක් තියෙනවා..කොහෙ හරි ගියොත් සිතියම් උස්සන් එනවා..මම නම් බනිනවත් එක්ක මෙව්වා කන්ඩද කියලා…

    ග්‍රිඩ් ක්‍රමයේ ප්‍රයෝජනය කියන්න අමතක වෙලා වගේ…අංක දෙකේ වගේම තුනේ ග්‍රිඩ් ක්‍රමය ගැන පොඩ්ඩක් කියන්න..වෙන ලිපියක හරි මේ ලිපියෙ හරි..නොදන්නා කෙනෙකුට ප්‍රයෝජනවත්නෙ..

    ශිෂ්‍යභටයෙක් විදිහට ලබාපු සිතියම් පිළිබඳ දැනුමත් එක්කාහු වෙච්ච නිසා සා.පෙ, සිතියම නම් කජුකිරි…

    අපි පාවිච්චි කළේ සිල්වා..අනිත් දෙක අහලා තිබුනට පින්තූරයක් දැක්කෙත් අදයි..කොම්පාසු ගැන නම් මට හොඳ අත්දැකීමක් තියෙනවා…
    පළවෙනි එක සිද්ධ වුනේ මම සැරයන් වෙලා ඉන්න කාලෙ තේරීම් කඳවුරට යන්න සිද්ධවුනාම..
    රන්දෙණිගල එකට නෙමේ ඒකට තෝරාගැනීමේ පරීක්ෂණය….
    මගේ ප්ලැටූන් එකේ හිටපු ගොඩක් භටයො කොම්පස් මාර්ච් තියා කොම්පාසුවක් දැකලාවත් තිබුනෙ නෑනෙ..ඉතින් උන් කොහොමද කොම්පාසුව පාවිච්චි කරලා පෙන්නන්නෙ පරීක්ෂණයේදි..කොම්පාසුවක් හොයාගන්නත් නෑනෙ..

    මම කරා හොඳ වැඩක්..ගෙදර තිබ්බා තාත්තාගේ රේසර් පෙට්ටියක්..ගත්තා තව කාඩ්බෝඩ් ටිකක්..හැදුවා ආකෘතියක් සිල්වා කොම්පස් එකක…වැඩ නොකලත් කණ්නාඩියත් එක්ක සිල්ව කොම්පස් එක වගේමයි…මෙහෙම මෙහෙම කොරපල්ලා කියලා උන් ටිකව යැවුවා..කොල්ලො වැඩේ ගොඩ දාලා තිබ්බා..පොඩ්ඩක් හෙව්වොත් තාම ඒක ගෙදර ඇති..

    කොම්පස් මාර්ච් දවල් ගියේ අපි නම්.. මීටර් වලින් දුර දුන්නම කකුලෙ අඩි වලට පරිවර්තනය කරගන්නත් ඕනනෙ..මගෙ අතේ කොම්පස් එක තිබුනු වෙලාවෙ අඩි ගාන අවුල් ගියා..ඒත් ඉවෙන් වගේ තැන හොයා ගත්තා..දිශාව හරි නම් එච්චර අවුලක් නෑනෙ..ඒත් අනිකෙකුට හම්බෙච්ච වෙලේ උන්දෑ අංශකයක් වරද්දලා අපි පට්ටම කට්ටක් කෑවා..

    කමෙන්ට් එක පෝස්ට් එකක් වෙලා නේද?

    • ‘ග්රිඩ් රෙෆරන්ස්’ දෙන විදිහයි, නයිට් කොම්පස් මාච් එකේදී පියවර මනින එකයි, මුලින් යන කෙනාගේ පිටේ තියන සලකුණයි, වගේ දේවල් කියම්දෝ නොකියම්දෝ කියලයි හිත හිත ඉන්නේ. හොඳයි එහෙනම් කියන්නම්. මම කැමතියි ටිකක් සවිස්තර කමෙන්ට්ස් දානවට. අර බාලදක්ෂ කතාවේ විසඳුම දෙන්නේ කවද්ද?

  2. කියලා දාන්න අප්පා..ඔව්වා යුධ රහස් නෙමෙයි.. 🙂

    විසඳුම 7වැනිදට දෙනවා..කොම්පස් මාර්ච් එකේ දී කොම්පස් එක කියෙව්වෙ කොහොමද කියලා මට මතක් නෑනෙ..

    මේල් එක එව්වෙත් නෑ නේද?

    • ඇවිල්ලා මාව කුදලාගෙන යයිද? මේලය එවනෝ එවනෝ එවනෝ. ලියන්න තියන හෑල්ල තවම හිතනවා. මම උපතින්ම ටිකක් කම්මැලියෙක්.

  3. “ඇවිල්ලා මාව කුදලාගෙන යයිද?” සරත් මාමාට වුනා වගේද?

    • ශිෂ්‍ය භට පුහුණුවෙන් වැරදි ප්‍රයෝජන ගත් අවස්ථාවකට හොඳම උදාහරණය තමයි 1971 කැරැල්ල. එහිදී අවි පුහුණුව සහ කැළෑ සටන් පුහුණුව සඳහා ශිෂ්‍යභට දැනුම සෑහෙන දුරට යොදාගෙන තිබුනා. මගේ පන්ති සගයන් කීප දෙනෙක් මැරුණා ඒ කැරැල්ලේදී. ඒකයි සමහර දේවල් ලියන්නට මා මැළි වෙන්නේ.

      • මම සුළුවට හිතුවට එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා වගේ..

        ඔබතුමාගේ කැමැත්තක් කරන්ට…හැබැයි ශිෂ්‍ය භට ජීවිතයේ ගොඩක් දේවල් ඕනෑම කෙනෙකුගේ එදිනෙදා ජීවිතයට බොහොම ප්‍රයෝජනවත්..

        අනික් අතට බොහෝ සරල කරුණු දැනටත් අන්තර්ජාලයේ තියෙනවා..සිංහල භාෂාවෙන් නැතිවුනාට..

  4. හොඳ ලිපියක්.. නොදත් කරුණු බොහොමයක් දැනගත්තා…

    ස්තූතියි…

  5. \\\\මෙයින් අදහස් කරන්නේ පොළොවේ සිට කිලෝමීටර් 300 ක පමණ ඉහල කක්ෂයක රඳවා තිබෙන, එමෙන්ම පොලවේ වර්තනයට (කැරකෙන වේගයට) සමාන කක්ෂීය වේගයක් පවත්වාගෙන චන්ද්‍රිකා පද්ධතියක් මගින් ඇති කරන ත්‍රිමාන සංඥා ජාලයක් මගින්,\\\

    GPS සැට් ටික Geo stationary නෙවේ විචාරක තුමණි.. ඒවා මූවින්ග් …ජියෝ ස්ටේෂනරි කරන්න නම් සැට් එක 35,000 km උඩින් තියෙන ඔර්බිට් එකට ගන්න ඕනේ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: