විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ඉස්කෝලේ යන කාලේ 11


   මගේ ශිෂ්‍යභට ජීවිතය ගැන ලියන්න කියලා ‘හීනලන්තයේ හ‍රී’ කියලා තිබුනා. ඇත්තටම මට ශිෂ්‍යභට ජීවිත දෙකක් තියනවා. 1. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටියදී ගතකල ශිෂ්‍යභට ජීවිතය. 2. යුද හමුදා ශිෂ්‍යභට ජීවිතය. එයින් අද ලියන්නේ පාසල් ශිෂ්‍යභට ජීවිතය ගැන. අපි පාසල් ශිෂ්‍යභට ජීවිතය ගතකලේ 1966 සිට 1973 පමණ වනතුරු. ඒ කාලයේ මුලින්ම තිබුනේ ලංකා ශිෂ්‍යභට බලකාය (Ceylon Cadet Corps – C.C.C) ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු එය ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය (Sri Lanka Cadet Corps – S.L.C.C.) බවට පත්වුනා. පහල තියන පින්තූර තුන බලන්න ටිකක් ඈත් වෙලා. මොකද ඔබට යන හිනාවට කොම්පියුටරයට හානි වෙයි.

  දියතලාවේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් යුද හමුදා කඳවුරේ තමයි, ඒ කාලයේ ලංකාවේ සියලුම පාසල් ශිෂ්‍යභට කඳවුරු පැවැත්වුනේ. අද ශ්‍රී ලංකා ශිෂ්‍යභට පුහුණු කඳවුරු පවත්වන රන්ටැඹේ කඳවුර පිහිටවූයේ 1980 දශකයේ කියායි මගේ මතකය. එයට හේතු වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරීම සඳහා, විශාල වශයෙන් යුද හමුදා භට පිරිස් පුහුණුව, නොකඩවාම කරගෙන යාමට සිදුවූ බැවින්, දියතලාව කඳවුර පාසල් ශිෂ්‍යභට පුහුණුව සඳහා ඉඩ දීමට කාලය නොමැතිවීමයි. අපේ කාලයේදී දියතලාවේ ගමන ඉතා මිහිරි මතකයන් රැසක් ගෙන දෙන්නක්. අපි දුම්රියට ගොඩ වුනේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන්. කුරුනෑගල , අනුරාධපුර, කෑගල්ල, ආදී දිස්ත්‍රික්ක ගණනාවක පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් දුම්රියට ගොඩ වුනේ පොල්ගහවෙලින්. ශිෂ්‍යභටයන්ටම වෙන්වූ විශේෂ දුම්රියක් මේ සඳහා කොළඹ සිට දියතලාව දක්වා ධාවනය කෙරුනා. එය කොතරම් සංවිධානාත්මකදැයි එක උදාහරණයක් කියන්නම්. යම්කිසි දුම්රියපලකින් ශිෂ්‍යභට ඛණ්ඩයක් දුම්රියට ගොඩවෙනවානම් දුම්රිය වේදිකාවේ ඒ පාසලේ නම සුදු හුණු වලින් ලියා තිබෙනවා. දුම්රිය පෙට්ටියෙත් අදාළ පාසලේ නම ලියා තිබෙනවා. දුම්රිය පැමිණ වේදිකාවේ ඒ පාසලේ නම තිබෙන තැනට අදාළ දුම්රිය පෙට්ටිය පිහිටනසේ නවත්වනවා. දුම්රිය ස්ථානයෙන් කල්තබා නිවේදනය කරනවා මීළඟට පැමිණෙන දුම්රිය ශිෂ්‍ය භටයන්ට පමණක් බව. ඒ තරම් සංවිධානාත්මකයි. ඒ වගේම ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භට කණ්ඩායම් ගමන් ගත්තේ රාත්‍රී දුම්රියෙන්. එයද විශේෂයෙන් වෙන්කළ දුම්රියක්. ඒ ගමනේ අත්දැකීම් බොහොමයි. 1969 දී අපි රාත්‍රී දුම්රියෙන් යන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්යාර්ථීන්ට හූ සංග්‍රහයක් දීගෙන ගියා. අපි ආපසු එන දවස තෙක් බලාසිටි ඔවුන් අපිව නෑවෙන්න චූ පිරවූ පොලිතීන් බෑග් සංග්‍රහයක් කළා. රාත්‍රී දුම්රියේ යන අතර රේල් පාරේ සිටින ලයින්මන්ලාව බාල්දියකට ගත් සීතල වතුරෙන් නාවාගෙන යන්නටත් අපි අමතක කරන්නේ නැහැ. හැටන් පසුවූ විට ඇත්තේ අධික සීතලක්. වතුර පාර වැදුනුවිට ඔවුන් කරන්නේ ඇඳිවත උස්සා පෙන්වීමයි.

 

  ශිෂ්‍යභට පුහුණුවේ අමතක නොවන දෙයක් තමයි මාලිමා යන්ත්‍රයක් ආධාරයෙන් රාත්‍රී කාලයේදී භූමියේ ගමන් කිරීම. මෙහිදී ගමන් කරන්නට වන්නේ සම්පූර්ණ අඳුරේ. කිසිම එළියක් (ටෝච්, ගිනිපෙට්ටි, ඉටිපන්දම්,) ගෙනයාම තහනම්. (ඒ කාලේ ජංගම දුරකථන කියන නම අපි අහලාවත් තිබුනේ නැත. එය ලෝකයේ කොහෙවත් නිපදවා තිබුනේද නැත.) ගෙන ගියත් උපදේශකයන් කියන අවස්ථාවකදී පමණයි පාවිච්චි කල හැක්කේ. සීතල දියතලාවේ, මහ රෑ යන මේ ගමන එක අතකට ටිකක් භයානකයි. කටු කම්බි වැටවල්, මඩ ගොහොරු, දිය පහරවල්, ජලාශ, ආදිය තියන නිසා. වරක් යුද හමුදා පුහුණු භට පිරිසක් මඩ ගොහොරුවක එරීමෙන් ජීවිත හානි සිදුවුනා. මාලිමා යන්ත්‍රයක් ආධාරයෙන් ගමන් කරන හැටි මීළඟ ලිපියෙන් කියන්නම්.

Advertisements

Comments on: "ඉස්කෝලේ යන කාලේ 11" (15)

  1. මට ඔය වගේ අත්දැකීම් නැහැ.. ඒක හින්දා ගොඩක් දේවල් දැන ගන්ඩ ලැබෙයි කියලා හිතනවා ඔබගේ මෙම ලිපියෙන්. දිගටම එමි. ලියාගන යන්ඩ..

    ලයින්මන්ලට වතුර ගහපු එකටනම් මාගේ බලවත් විරෝධය..

  2. අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ යාළුවො ගියෙ රන්ටැඹේ. ඒගොල්ලොන් නම් ගියෙ ලං.ග.ම බස් එකකින්. යන්න කලින් දවසෙ රෑ එකම යුද්ධයක් ඉස්කෝලෙ මේන් හෝල් එකේ.. කට්ටිය පෝලිමට ඉඳන් කොන්ඩ, රැවුල් කපා ගන්නවා.. 😀

  3. බොහොම ස්තුතියි මේ ගැන ලියන්න පෙළඹෙච්ච එකට…

    දැන්නම් හැඳින්වෙන්නෙ ජාතික ශිෂ්‍යභට බලකාය(National Cadet Crops- N.C.C.) නමින්….

    කඳවුර රණ්දෙනිගල-රන්ටැඹේ වලට මාරු වෙන්න ඔබතුමා කියන හේතුව වගේම මහවැලි ව්‍යාපාරය ගොඩ නැගීමෙන් පසු හිස්වූ එහි වැඩකළ නිලධාරින්ගේ නිල නිවාස වලින් වැඩක් ගැනීමේ චේතනාවත් හේතුවෙන්න ඇති…

    කොහොමහරි ඉතා අලංකාර වගේම නිදහස් වටපිටාවකයි දැන් කඳවුර තියෙන්නෙ…ඉන්න කාලෙ කට්ට වුනත් පස්සෙ මතක් වෙද්දිත් ආසයි…

    දුම්‍රිය නැවැත්වීම ගැන කියනවානම් දැන් ඉන්න සමහර රියදුරන්ට වේදිකාවෙ හරියට නවත්ත ගන්නත් බෑ..එක්කො මග එක්කො පහුකරන් ගිහින්…

    අපේ කාලෙ නම් ජා.ශි.බ. බස් තමයි අපිව ගෙනියන්න ආවෙ..පාසල් දෙකකට එකක් ගානෙ…මලාට එන්නෙ නෑ වෙලාවට…බස් මදිවුනොත් සිලෝන් ටකරං බසුත් දානවා..

    අපි නම් බොහොම විනීතව ගියා..ජා.ශි.බ. බස් එකේ යනකොට තියෙන ලොකුම අවුල තමයි ඇතුලෙ එකෙක් බඩගින්නෙ මළත් මග නවත්තන්නෙ නෑ කන්න..ඩ්‍රයිවර්ට නිකන් කන්න දෙන රන්ටැඹේ කිට්ටුව පොට් එකකට ගෙනියනවමයි…එද්දි දොළහ වෙන්නත් කලින් නවත්තනවා ඒ කඩේ ගාව දවල්ට කන්න..අපිට යකා නැගලා හිටියෙ..

    කොම්පස් මාර්ච් තිබුනත් රෑට තිබුනේ නෑ…අපේ කාලෙ වෙච්ච ලොකුම අනතුර තමයි ඔෆිසර් කෙනෙක්ව කිඹුලෙක් ඇදගෙන යාම..

    ස්තුතියි..තව විස්තර ලියයි කියලා හිතනවා..

    උඩ පින්තූරෙ හර්මන්ලොස් දිනපු වෙලාවක ගත්තු එකක්ද?

    • කමෙන්ට් එකට ස්තුතියි හරී. දැන් ශිෂ්‍ය භටයන්ට ‘නයිට් කොම්පස් මාච්’ නැහැ කියලා දැනගත්තේ ඔබෙන්. කවුද දන්නේ නැහැ ඒ (…) තීරණය ගත්තේ. ආත්ම ශක්තිය හා තැනට සුදුසු ණුවනින් ක්‍රියා කිරීමට ඒ අභ්‍යාසය හරිම වටිනවා. එතකොට වෙඩි තැබීම් පුහුණුව කොහොමද? අපිනම් තුවක්කු තුනකින් පුහුණුව ලැබුවා. 1. .22 රයිෆලය. 2. .303 රයිෆලය. (.303 Lee Enfield Rifle) 3. .303 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව. (.303 Le Enfield Light Machine Gun) – L.M.G.) ඒවා ගැන විස්තර පසුව කියන්නම්. අර පින්තූරේ හර්මන් ලොස් දිනලා නෙවෙයි. ඝන සරඹ හොඳම ඛණ්ඩය, ශාරීරික අභ්‍යාස හොඳම ඛණ්ඩය, හොඳම ඛණ්ඩ භාර සැරයන්, සහ හොඳම ඛණ්ඩ භාර නිලධාරි යන ජය සංකේත.

      • දැන් තත්වය කියන්න දන්නේ නෑ…මම සැරයන් හිටියෙ 2005හේ….

        අපිට හම්බුනේ .22 උණ්ඩ පහක් විතරයි…2005හේදී අලුතින් එකතු වුනා..කැලේ මැද්දෙ බාධකවල යන්නත්..එහෙම ඇවිත් අමතර ෆයරින් එකකුත්..එතකොට උණ්ඩ 10යි…ඒත් කිඹුල් සිද්ධිය නිසා ආයෙ 5ට බැස්සා..

        ඊට පස්සෙ අවුරුද්දෙ 125 වැනි සංවත්සරය නිමිත්තෙන් කොනක ඉඳලා ඔකොම වෙනස් වෙලායි තියෙන්නෙ..ඉස්සර තිබ්බ CQ,CSM,RQ,RSM තන්තුරුත් දැන් නෑ කියලයි ආරංචි…වෙනත් නම්ලු භාවිතා වෙන්නෙ..

        දැන් කෙලින්ම ශිෂ්‍යභටයො නෙමේලු..පොලිස්, යුධහමුදා, ගුවන් හමුදා, නාවික හමුදා ලෙස වෙන් වෙලාලු තියෙන්නෙ..පුහුණුව දෙන්නෙත් වෙන වෙන තැන්වල කියලා කවුදෝ කිව්වා..හරියටම දන්නෙ නෑ..

        දන්න නංගියෙක් හරි මල්ලියෙක් හරි විස්තරේ දුන්නානම්..

        • ආමි, නේවි, එයාෆෝස්, හැටියට පුහුණුව දෙන බව මමත් දන්නවා. ඒක හොඳයි. හැබැයි ඔය තුනේම තෝරාගත් වැදගත් කොටස් පුහුණු කල යුතුයි. උදාහරණයක් හැටියට යුද හමුදාවෙනම් පාබල රෙජිමේන්තුවක කාර්ය භාරය, නාවික හමුදාවෙනම් මුහුදු ආරක්ෂාව පිලිබඳ මූලික කරුණු, ගුවන් හමුදාවෙනම් ගුවන් ආරක්ෂක කලාපයක් පිහිටවන හැටි වැනිදේවත් උගන්වන්නේ නැත්නම් වැඩක් නැහැ. හරී ඔයා දන්නවද ඕනෙම රටක ත්‍රිවිධ හමුදා අතරත් ජ්‍යෙෂ්ඨත්වයක් තියනවා කියලා? අපේ රටෙනම් ජ්‍යෙෂ්ඨතම යුද හමුදාව, ඊළඟට නාවික හමුදාව, ඉන්පසු ගුවන් හමුදාව. ඔබ දැක ඇති නිදහස් උත්සව පෙළපාලියේ යන්නේ මේ පිළිවෙලටයි. අදාළ හමුදාපතිවරු ජනාධිපතිතුමාට පසුපසින් සිටගන්නෙත් යුද හමුදාපති දකුණු පැත්තේ අයිනට එන ලෙසයි. ඇමෙරිකාව එංගලන්තය වගේ සමහර රටවල ජ්‍යෙෂ්ටතම නාවික හමුදාවයි.

  4. කියන්න අමතක වුනා..අපි හිටපු කාලෙ දිවියන්ගෙන් වගේම අලින්ගෙනුත් කඳවුරට ගොඩක් තර්ජන තිබුනා…කුස්සියේ කෑම කන්නත් රෑට අලි එනවා..

    ඒක නිසා කොම්පස් මාර්ච් කෙසේවෙතත් රෑට බිලට් එකෙන් එළියට බහින්නත් තහනම් කරලා තිබුනෙ…

    • ඉතින් ඔය කඳවුර ඔතන පිහිටවන්නට කලින් ඔය ප්‍රශ්න හිතන්න තිබුනනේ. ඒ දවස්වල ඕනෙතරම් තැන් තිබුනා.

  5. මේක ලියන මහත්වරු කරුණාකරලා මේ තරම් අගේට තිබුන ජාශිබ ට මොකද උනේ කියලා සියසින් බලාගන්න රියල් කැඩෙට් කියන පේස්බුක් පිටුවට යන්න ඒ විතරක නෙවෙයි ගිහි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දන්නා අපි එතන හොඳ තැනක බවට පත කරලා තියෙන්නේ දැන් තියෙන තත්වෙන් මේක ගොඩ ගන්න

  6. ඔව් දැන් යුධ ගුවන් නාවික පොලිස් කියලා බෙදලා තියන්නේ..අපේ ස්කෝලේ ඔය සේරම තියන නිසා මම යුධ ගුවන් කළා නමුත් නීතියෙන් තහනම් ප්ලැටුන් 2ක ඉන්න …ගුවන් අය යන්නේ දියතලාව ගුවන්හමුදා විද්‍යාපීඨයට,නාවික අය ත්‍රිකුණාමලය නාවික හමුදා විද්‍යාපීඨයට.යුධ හා පොලිස් ප්ලැටුන් රන්ටැඹේ කඳවුරට. එක එක ප්ලැටුන් වල විශය නිර්දේෂ වෙනස් ….හර්මන් ලොස් සුපුරුදුපරිදි රන්ටැඹේ කඳවුරේ තියන්නේ….දැන් රන්ටැඹේ දී T56 තමයි දෙන්නේ… එක SlR , .22 ,3o3 එහෙමත් දෙනවා….Firing test දැන් තියන්නේ නමට විතරයි.අර තරඟවලට දේනවා වගේ Air rifle වලින් තියනේ..මෙලෝ රහක් නෑ….T56 නම් පට්ට ගැම්ම…සේරම වැඩ කරන වෙපන් ….2009 විතර ජූනියර් ලාට උන ගැනෙනවා…පට්ටම ට්‍රනින්ග් එකක් දෙන්නේ පළවෙනි අවුරුද්දේ SF වගේ.දැන් නම් නිළධාරීන් මැදිහත් වෙලා ඳඬුවම් අඩු කරල තියන්නේ…ඒත් ඒකේන් පට්ටම බැජ් ෆිට් එකක් ඇතිවුනේ සහෝදරයො වගේ අපි…… මම 2011 ප්ලටුන් සාජන් වුනේ…මොනදේ වුනත් පාසල් යන අවධියේ ඒ ලබපු අත්දැකීම් නම් හරිම සුන්දරයි….

  7. මට කියන්න අමතක වුනා දැන් CQ,CSM,RQ,RSM ලාට ඉස්සර දුන්න අත් ඔරලොසුව වගේ එක නෙවෙයි දෙන්නේ Army එකේ officer cadet කෙනෙක්ටවගේ ඇප්ලට් දෙන්නේ..Rank වල වෙනසක් නෑ….ඒ වගේම පට්ටම වැඩේ තමයි දැන් රන්ටැඹේ කැඩෙට්ලාට කරනවා ourses 15 ක් විතර…..සාජන් වෙන්න ඉන්න අය Advanced course එක තියනවා කරන්න…ඔයවගේ තව ගොඩක් course තියනවා (English,Junior Advanced course,Tamil ,computer ) certificate එකක් එහෙමත් දෙනවා ..එක Cadet mess එහෙම දැන් හොඳට හදලා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: