විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


මේකනම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිදු වූ ඇත්ත කතාවක්. ඒ නිසා බොහොම සංක්ෂිප්තව තමයි කතාව කියන්නට වෙන්නේ. පසුගිය යුද සමයේ මෙවැනි රසවත් සිදුවීම් ලක්ෂ ගානක් ඇති. ඉඩ ලැබෙන ආකාරයට සහ යම් යම් නීතිමය රාමු වලට අනුකූලව ඒවා පල කරන්නට අදහස් කරනවා.

සතුරා සමග සටන් කිරීමේදී ඔහුගේ බල බිඳින සාර්ථක උපක්‍රමයක් තමයි රැක සිට පහරදීම. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය හඳුන්වන්නේ ඇම්බුෂ් (Ambush) කියලා. මෙය ගෝත්‍රික ජන සමාජයන්ගෙන් පැවත එන්නක්. අවාසනාවකට මෙන්, යුද හමුදා කණ්ඩායමක් ඇම්බුෂ් එකක් කරන්නේ කොහොමද කියන එක, මෙහි විස්තර කිරීමට, යම් යම් නීතිමය බලපෑම් ඇතිවෙතැයි සිතන නිසා ඒ කොටස අත්හැර, සරලව කියන්නම්. ඇම්බුෂ් කිරීම අදත් සාමාන්‍ය සමාජයේ තියනවනේ. ඔබ දකිනවා ඇති විවිධ ජන මාධ්‍ය වල පල වෙනවා මග රැක සිට පහරදීම් ගැන. ඔබට පුළුවන් තනියම මග රැකසිට ඔබේ සතුරෙකුට පහර දෙන්න. දවල් කාලයේදීනම් ඈත තියා හඳුනාගෙන පාරේ ලයිට් කානුවකට මුවාවී සිට සතුරා ලඟට ආවිට, (පොලු පාරක් දීලා/පිහියෙන් අනලා/ඇසිඩ් ගහලා) ඇම්බුෂ් කර පැන දුවන්න පුළුවන්. රාත්‍රී කාලයේදී ඊට වඩා පරිස්සම් විය යුතුයි. එයට හේතුව ඔබද සතුරාගේ ඇම්බුෂ් එකකට අසුවෙන්න පුළුවන් නිසා. අපි හිතමු ඔබට සහයට දෙන්නෙක් ඉන්නවා කියලා. ඔබට පුළුවන් ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් යොදවන්න සතුරා එන බව ඔබට කිසියම් සංඥාවකින් දැනුම් දීමට. (මිස් කෝල් එකක්/නවතා ඇති කාර් එකක සිට ලයිට් ෆ්ලෑෂ් කිරීම වැනි) ඊළඟට ඔබ සතුරාට පහර දුන් පසු එය වැරදුනොත්, ඊළඟ මිතුරා තව නුදුරු තැනක තබන්න පුළුවන්, ගැලවී යන සතුරාට නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට. මෙය ඉතා සරල ඇම්බුෂ් එකක්. නමුත් හමුදාවක් ඇම්බුෂ් එකක් කිරීමේදී මීට වඩා අතිශයින් සංකීර්ණ සහ න්‍යායාත්මක කරුණු පදනම් කරගෙන දැඩි පුහුණුව සහ විනය යටතේ තමයි ක්‍රියා කරන්නේ.

ඔන්න ඉතින් එක්තරා බල ඇණියක, සැරයන් වරයෙක් හිටියා, තරමක් සුරාමේරයට බර. ඉඩ ලැබුනොත් දවස පුරාම වුනත්, දෙක තුනක් නෙවෙයි හතර පහක් දමා ගැනීමයි ඔහුගේ පුරුද්ද. සැරයන් වරයෙක් කියන්නේ 30 ක් 35 ක් පමණ සෙබල පිරිසක් ඇති භට ඛණ්ඩයක (Platoon) ප්‍රධාන සෙබලා. ඒ දිනවල හැමදාම රාත්‍රියට, භට ඛණ්ඩ කීපයක් යොදවා, සතුරු භූමියේ විවිධ තැන්වල ඇම්බුෂ් යොදවනවා. ඒ සෑම ඇම්බුෂ් එකකටම අණ දෙන්නේ සැරයන් වරයෙක්. ඇම්බුෂ් එකක් විතරක් නෙවෙයි, යුද හමුදා භට පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා කඳවුරෙන් පිටතට යනවානම්, ඔවුන් නියමිත නිල ඇඳුමෙන් කඳවුරු භූමියේ පෙළ ගස්වා ඛණ්ඩය භාර සැරයන් විසින් පරීක්ෂාකර, සියල්ල නිවැරදි බව තහවුරු කරගත යුතුයි. ඉන්පසු සැරයන් ඛණ්ඩයට අණ කරනවා ‘ඛණ්ඩය සීරුවෙන් සිටින්’ කියා. එයින් ඔහු, ඒ අසල සිටින ඛණ්ඩ භාර නිලධාරියාට අඟවනවා, තමන් ඔහුට වාර්තා කිරීමට සූදානම් බව. මේ වනවිට ඛණ්ඩය භාර නිලධාරියා (සාමාන්‍යයෙන් 2 වැනි ලුතිතන් හෝ ලුතිතන් නිලයේ නිලධාරියෙක්) ඛණ්ඩය ඉදිරිපිටට පැමිණ සිටගන්නවා. ඒ වනවිට ඛණ්ඩ භාර සැරයන් සිටින්නේ නිලධාරියාට පිටුපා ඛණ්ඩය දෙසට මුහුණලා. නිලධාරියා යුද හමුදා පිළිවෙත අනුව ගමන් කරමින් (march) පැමිණ නවතින හඬ සැරයන්ට හොඳින් ඇසෙනවා. මන්ද එවිට නිලධාරියා සහ සැරයන් අතර දුර වන්නේ අඩි 5 ක් පමණ. සැරයන් අංශක 180 ක් ආපසු හැරී සීරුවෙන් සිට අචාර කර, නිලධාරියාට මෙසේ වාර්තා කරනවා. ‘සුබ (උදෑසනක්/මධ්යාහ්නයක්/සන්ධ්‍යාවක්) වේවා තුමනි, මා ඇතුළු . . . (භට පිරිස කීදෙනෙක්ද යන්න) දෙනෙකුගෙන් යුත් (රැකසිට පහර දීමේ කණ්ඩායම/ මාර්ග බාධක මුරය ආදී වශයෙන් රාජකාරියේ ස්වභාවය) රාජකාරිය සඳහා පිටත්ව යාමට සූදානම්. සියල්ල සම්පූර්ණයි නිවැරදියි. ඔබතුමාගේ අවසර පතමි තුමනි’ මෙහිදී නිලධාරියා නැවත පරීක්ෂාවක් කර සියල්ල නිවැරදි බව තහවුරු කරගෙන, ඉන්පසු, වැඩිදුර උපදෙස් ඇත්නම් ඒවාද සඳහන් කර, රාජකාරියට පිටත්වීමට අවසර දෙනවා.

මේ සිද්ධිය වූ දිනයේදීත් අපේ සැරයන් කාටත් හොරෙන් උදේ සිටම සළු වෙමින් තමයි ඉඳලා තියෙන්නේ. හවස් වෙලා ඇම්බුෂ් එකට යන්න ඔහු සූදානම් වුනා. ඛණ්ඩය පෙළගස්වා පරීක්ෂා කළා. කෝ හරිද හරිද? වෙපන් හරිද? ග්‍රෙනේඩ් හරිද? එක්ස්ට්‍රා රවුන්ඩ්ස් (අමතර පතරොම්) හරිද? කෝඩ් එක හරිද? (ඇම්බුෂ් කණ්ඩායම දිග ලනුවක් ගෙනයනවා යම්කිසි වැඩකට. සතුරාව එල්ලන්න එහෙමෙ නෙවේ. වෙනත් මෙහි කිව නොහැකි වැඩකට) ආදී වශයේ ඔහු පට් පට් ගා පරීක්ෂාව අවසන් කළා. ‘ඛණ්ඩය සීරුවෙන් සිටින්’ කියා අණ දුන්නා. නිලධාරියා පැමිණ සිටගන්නවා ඔහුට ඇසුනා. මේ වනවිට වෙලාව රාත්‍රී 7 ට පමණ ඇති. මේ ස්ථානය තරමක් අඳුරුයි. සැරයන් විදුලි වේගයෙන් අංශක 180 කෝණයට ආපසු හැරුනා. නමුත් ඔහුගේ ‘සලුවීමේ මට්ටම’ විසින් ඔහුගේ වේගය පාලනය කල බැවින්, සැරයන් නැවතුනේ අංශක 180 වෙනුවට අංශක 270 ක් කැරකීමෙන් අනතුරුවයි. ඔහු බැලුවා කෝ නිලධාරියා කියා. නිලධාරියා නැහැ. ඔහුට හොඳටම කේන්ති ගියා. මෙපමණ වැදගත් රාජකාරියකට යාමට සූදානම්ව සිටින විටත් නියමිත වෙලාවට එන්න මේ නිලධාරියාට බැරිද? කෝ යකෝ මේ . . . ගේ පුතා නෑනේ . . .ඔහුට එක්වරම කියවුනා.

නිලධාරියා ඉවත්වගොස් කඳවුරේ අණදෙන නිලධාරියාට සියල්ල වාර්තා කළා. වහාම සැරයන් අත්අඩංගුවට ගත්තා. පසුවදා ඔහුට විරුද්ධ චෝදනා විභාගයක් පවත්වා සැරයන් නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා පහත හෙලනු ලැබුවා, බලඇණියේ අණදෙන නිලධාරියා විසින්. මෙයින් වැරදි අදහසක් ගන්න එපා, ඒ කාලයේ අපේ හමුදාව බීමත්ව යුද්ධ කළා කියලා. එහෙම කවුරුවත් රාජකාරි වෙලාවේදී බිව්වේ නැහැ. කවුරුන් හෝ බිව්වානම් සුළු මොහොතකින් ඔහු අසුවෙනවා. මේ වුනෙත් ඒකමයි.

Advertisements

Comments on: "සාජන්ට් ගේ ‘ඇම්බුෂ්’ එක" (14)

  1. සාජන්ට්ටම ඇම්බුෂ් එකක් හම්බුවෙලා…

  2. නිලයකින් අඩු නිලධාරියෙක්ට පුළුවන්ද තමන්ගෙ ඉහල නිලධාරියා ගැන ඊටත් ඉහලට පැමිණිලි කරන්න?

    • පුළුවන් හරී ඉතාම පැහැදිලිව පුළුවන්. ශ්‍රී ලංකා යුද හමුදාව පාලනය වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතෙන්. මම එහි වගන්ති උපුටා දක්වන්නට යන්නේ නැහැ.
      ඔබ මොහොතකට සිතන්න ඔබ සාමාන්‍ය සොල්දාදුවෙක් කියා. ඔබට යුද හමුදාවෙන් සිදුවූ අසාධාරණයක් තිබේයයි සිතන්න. ඔබට මෙය මුලින්ම කීමට ලැබෙන්නේ ඔබේ ළඟම යාළුවාට . ඔහු කියනවා පෙළ අණ දෙන්නාට කියන්න කියා. එය තමයි යුද හමුදා පිළිවෙත. ඒ අනුව ඔබ කෝප්‍රල්ට කියනවා ප්‍රශ්නය. පිළිතුර ලැබෙනවා ‘අනේ නිකම් පලයන් යකෝ යන්න’ කියලා. ඊළඟට ඔබට අවස්තාව තිබෙනවා ඛණ්ඩය භාර සැරයන්ට පැමිණිලි කරන්නට තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව. එයිනුත් සාධාරණ විසඳුමක් නැත්නම් ඔබට පුළුවන් ඛණ්ඩ භාර නිලධාරියා හමුවී ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. මේ ආකාරයට පිලිවෙලින් කණ්ඩායම් භාර නිලධාරි (Company Commander) අණදෙන නිලධාරි, (Commanding Officer)බලසේනාධිපති, (Brigade Commander)රෙජිමේන්තු අධිපති (Colonel of The Regiment) අවසානයේදී යුධ හමුදාධිපති ( Commander of The Army) මෙන්ම සේනාධිනායකයා වන වන අතිගරු ජනාධිපති තුමා /තුමිය (His/Her Excellency The President) දක්වා යාහැකියි.

  3. මට නම් හිතෙන හැටියට ඔය නොකියනවා කියන කරුණුත් එච්චර ලොකු රහස් නෙමේ නේද?

    මට හිතෙන හැටියට නම් සාමාන්‍යයෙන් හමුදාව වගේම ත්‍රස්තවාදීනුත් සාමාන්‍ය සරල උපක්‍රම න්‍යයානුකූලව දන්නවා..ඒ ඒ අවස්ථාවේදී යොදාගැනීම මත තමයි ජයග්‍රහණය තීරණය වෙන්නෙ..

    උදාහරණයකට කිව්වොත් මේ බෝලෙට මේ විදිහට ගහන්න ඕනෑ කියන එක පිතිකරුවන් දන්නවානෙ..නමුත් හරි විදිහට ගහන එකෙයි වැඩේ තියෙන්නෙ..

    ආයුධයක් වුනත් වරක් පාවිච්චි කළාට පස්සේ ඒ තවදුරටත් රහසක් නෙමේනෙ…

    යුධ රහස් කියා දෙයක් නැති බව මෙයින් අදහස් නොකළෙමි…

    මේ පෝස්ට් එක ගැන කියනවානම් මම සැරයෙන් කෙනෙක් වෙලා හිටපු කාලෙ මතක් වුනා..හමුදාවෙ නෙමෙයි..ජා.ශි.බ….

    • හරී,මේ ලිපිය ලියන්නට කලින් මම අන්තර්ජාලයේ සොයා බැලුවා,රැකසිට පහරදීම පිළිබඳව මූලධර්ම තිබේද කියා. නමුත් හමුවුනේ නැහැ. ඒවා රහස්‍ය (classified) ලෙසයි තිබෙන්නේ. ඕනෑම ආයුධයක් පිලිබඳ කරුණු කියන්නට ම සූදානම්.

      නමුත් රැක සිට පහර දීම කියන්නේ හොඳින් ප්‍රගුණ කරගෙන කල යුතු දෙයක්. එහි රහසිගත කරුණු තිබෙනවා. මට කියන්නට නොසිතෙන.

    • මම ශිෂ්‍යභට බලකායට බැඳුණේ 1966 දී. එතකොට හැඳින්වුණේ ලංකා ශිෂ්‍යභට බලකාය ල.ශි.බ. ලෙස. (Ceylon cadet Corps C.C.C.) ඉන්පසු එය ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය වූයේ ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසුවයි. ඔබ දන්නවාද 1966 දී අපි ශිෂ්‍ය භටයන් ලෙස දිවුරුම් දුන්නේ බ්‍රිතාන්‍ය මහා රැජිනගේ යටත්විජිතයක් වන ලංකාව සතුරන්ගෙන් බේරාගන්න බවටයි. ඒ නිළ ලාංඡන අදත් මා සතුව තිබෙනවා. මගේ ‘ඉස්කෝලේ ගියකාලේ මුල්ම’ ලිපියක ඒ සබැඳි පින්තූර තිබෙනවා.මම සැරයන් නිලයට ආවේ 1968 දී. රෙජිමේන්තු සැරයන් මේජර් (Regimental Sergeant Major – R.S.M.) වුනේ 1972 දී

  4. ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න මතක් වුනා ස්වෙච්චා හා නිත්‍ය බලඇණි කියන්නෙ මොනවාද?

    • ලෝකයේ බොහෝ රටවල ත්‍රිවිධ හමුදාව ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. ඒ නිත්‍ය හමුදාව සහ ස්වේච්ඡා හමුදාව යන කොටස් දෙක. නිත්‍ය හමුදාව සෑමදාම නොකඩවා සේවයේ යෙදී සිටිනවා. ස්වේච්ඡා හමුදාව සේවයට කැඳවන්නේ කිසියම් හදිසි තත්වයක් ඇති වූවොත් පමණයි. අපේ රටේ මුළු ස්වේච්ඡා හමුදාවම අවසන් වරට සේවයට කැෙඳව්වේ 1982 දී. එදා සිට අද දක්වා ඔවුන් නොකඩවා සේවයේ යෙදී සිටිනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික සේවයේදී නිර්භීත භාවය වෙනුවෙන් පිදෙන ඉහලම පදක්කම වන ‘පරම වීර විභූෂණය’ පදක්කම මුලින්ම පිරිනැමුණේ කොකාවිල් රූපවාහිනී මධ්‍යස්ථානය බේරාගැනීමට සටන් කර දිවිපිදූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් 3 වැනි සිංහ රෙජිමේන්තුවේ කපිතන් සාලිය අලදෙනියටයි. නිළ ඇඳුමෙන් හෝ නිලතල වලින් හෝ බලතල අතින්, වැටුප් හෝ වෙනත් දීමනා සහ අනෙකුත් වරප්‍රසාද අතින්, නිත්‍ය හමුදාව සහ ස්වේච්ඡා හමුදාව අතර කිසිදු වෙනසක් නැහැ. කෙසේ වෙතත් අපේ රටේදී සම්පූර්ණ ක්‍රියාන්විතයක් තනිකරම ස්වේච්ඡා හමුදා ඒකක පමණක් යොදවා සිදු කරන්නේ නැහැ. එකම වෙනස සෑම විටම නිත්‍ය හමුදාව ස්වේච්ඡා හමුදාවට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලයි. උදාහරණයක් වශයෙන් ඔබ දැන් ස්වේච්ඡා හමුදාවේ කපිතන් කෙනෙක් කියා සිතන්න. ඔබට පසුව නිත්‍ය හමුදාවට බැඳුනු කෙනෙක් හෙට කපිතන් නිලයට ආවොත් ඔහු ඔබට වඩා ජ්‍යෙෂ්ටයි. ස්වෙච්චා හමුදාවේ සිටින කෙනෙකුට තම විශේෂ සුදුසුකම් තහවුරු කිරීමෙන් පසු නිත්‍ය හමුදාවට බැඳීමට අවකාශ තිබෙනවා. ස්වේච්ඡා හමුදාවේ සාමාජිකයකුගේ ස්ථිර රැකියාව හමුදා සේවය නොවිය හැකියි. උදාහරණයක් වශයේ අපි සිතමු රජයේ දෙපාර්තමේන්තුවක කළමනාකරණ සහකාර සේවයේ යෙදී සිටින කෙනෙක් යුද හමුදාවේ ස්වෙච්චා සේවයට බැඳුනා කියා. එවිට ඔහුගේ සාමාන්‍ය රැකියාවට අදාළ සියලු වැටුප් හා අනෙකුත් දීමනා සෑම මසකම කිසිදු වෙනසකින් තොරව එසේම ගෙවනවා. යුදහමුදාවෙන් ගෙවන්නේ ඔහුගේ ස්ථිර රැකියාවේ මූලික වැටුප සහ යුද හමුදාවේ නිලයට අදාළ මූලික වැටුප අතර වෙනස සහ යුද හමුදාවෙන් ගෙවන අනෙකුත් සියලු දීමනා. ඔහු තමන්ගේ ස්ථිර රැකියාවේ සිටි කාලයට වඩා යුද හමුදාවේ සිටි කාලය වැඩිනම් (අනිවාර්යයෙන් අවුරුදු 20 ක් හෝ ඊට වැඩි විය යුතුයි) ස්ථිර රැකියාවේ සිටි කාලයද එකතුකර යුද හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබාගත හැකියි. තවත් විස්තර ගොඩක් තියනවා දැනට මේ ඇති නේද. ඇමෙරිකාව වැනි රටවල නිත්‍ය හමුදාවට වඩා ස්වේච්ඡා හමුදාව විශාලයි. ඇමෙරිකාවේ ‘පේට්‍රියට්’ කියන මහා බලසම්පන්න මිසයිලය ක්‍රියාත්මක කරන කණ්ඩායම් තනිකරම ස්වේච්ඡා හමුදා සාමාජිකයන්.

  5. හෙහ් හෙහ්.. මරේ මරු තුමනී…

  6. පොඩි පොඩි රහස් ටික ගිලින් නැතුව කීවොත් නරකද??? ඕව කියල, සුදු වෑන් එන්ට බැරිත් නෑ, දේශ ද්‍රෝහී ලේබල් වදින්නත් බැරි නෑ නේද…

    • මේ රටේ මෑත කාලයේදී බිහිවූ ජාතික වීරයකු වන, ජෙනරල් සරත් ෆොන්සේකාටත් දේශද්‍රෝහී ලේබලය වැදී තිබේනම්, අපි ගැන කුමන කතාද?

  7. එතකොට…බුද්ධි අංශෙටත් ස්වෙච්චා නිළධාරියෙක් විදියට යන්න පුලුවන්ද?? ස්වෙච්චා ගියාම වෙන රස්සාවක් වුනත් කරන්න පුළුවන්ද?

    • නිත්‍ය හමුදාවටවත් ස්වේච්ඡා හමුදාවටවත් සාමාන්‍ය පිළිවෙත යටතේ කැඩෙට් නිලධාරියකු ලෙස බැඳෙන්න බැහැ මට අහවල් රෙජිමේන්තුව ඕනේ කියලා. බුද්ධි අංශයට නිලධාරීන් තෝරාගන්නේ පුහුණුවේදී දක්වන කුසලතාව සහ කාලීනව පවත්වන බුද්ධි නිලධාරීන් පුහුණුකිරීමේ පාඨමාලා වලින් ඉහල සාමාර්ථ ලබාගන්න අය මගින්.

      ස්වේච්ඡා යුද හමුදා නිලධාරියකුට කිසිදු තහනමක් නැහැ වෙනත් රැකියාවක යෙදෙන්න. අපි මෙහෙම හිතමු. ඔබ දැනට රාජ්‍ය අංශයේ සේවකයෙක්. ඔබට පුළුවන් ස්වේච්ඡා හමුදාවට බැඳෙන්න ඒ සඳහා ඔබට සුදුසුකම් තිබේනම්. ඒ කියන්නේ ඉංජිනේරු, වෛද්‍ය, තොරතුරු තාක්ෂණ වැනි ඒවා නෙවෙයි. සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට බැඳෙන්න පුළුවන් නිසි පුහුණුවෙන් පසු. ඊටපස්සේ වෙන්නේ මේකයි. ආයතන සංග්‍රහය අනුව ඔබේ දෙපාර්තමේන්තු ප්‍රධානියා බැඳී සිටිනවා ඔබව යුද හමුදාපුහුණුව සඳහා මෙන්ම ඉන්පසු සක්‍රිය සේවය සඳහා මුදාහරින්න. සෑම මසකම අවසානයේ හමුදාවෙන් ඔබේ දෙපාර්තමේන්තු ප්‍රධානියාට වාර්තාවක් යවනවා පසුගිය මාසය තුල ඔබ සක්‍රිය සේවයේ යෙදීසිටි බව සහතික කරන බවත්, සේවය සතුටුදායක බවත් (සතුටුදායක නොවුනොත් දෙපැත්තෙන්ම විනය පරීක්ෂණ එනවා) අදාළ කාලය සඳහා ඔබට රාජකාරි නිවෞ ලබාදීම සුදුසු බව නිර්දේශ කරන බවත් දන්වා. ඔබේ සිවිල් රැකියාවේ අතිකාල දීමනා හැර සම්පූර්ණ වැටුප දිගටම ඔබට ගෙවනවා. යුද හමුදා නිලය අනුව ගණනය කරනවා ඔබේ සිවිල් රැකියාවේ මූලික වැටුපද වැඩි එහෙම නැත්නම් හමුදා නිලයේ මූලික වැටුපද වැඩි කියලා. වැඩි එකෙන් අඩු එක අඩු කරලා, ඒ වෙනස පමණක් යුද හමුදාවේ මූලික වැටුප ලෙස සලකනවා. යුද හමුදාවෙන් දෙන අනිකුත් සියලු දීමනා ගෙවනවා. (එහෙත් එය සැලකියයුතු ලොකු වැටුපක්) උත්සව අත්තිකාරම් දෙපත්තෙන්ම ගන්න බැහැ. එකම ණය දෙපැත්තෙන්ම ගන්න බැහැ. නමුත් වෙනස් ණය දෙකක් දෙපැත්තෙන් ගන්න පුළුවන්වීම ලොකු වාසියක්.

      ඔබ කිසිදු රැකියාවක් නැති නිසා ස්වේච්ඡා හමුදාවට බැඳෙනවා. එහෙම ඉන්නකොට ඔබට රාජ්‍ය අංශයේ රැකියාවක් ඉල්ලන්න කිසි තහනමක් නැහැ. රැකියාවක් ලැබුනොත් ඔබට රාජකාරිය භාරගෙන ටික කලක් සේවය කරන්න හමුදාවෙන් වැටුප් රහිත නිවාඩුවක් දෙනවා. ඔබට පුළුවන් ආපහු අර රැකියාවෙන් වැටුප් ලබමින් හමුදාසේවයට නැවත එක්වෙන්න. නැවතත් හමුදාව ඔබට වැටුප් ගෙවා සේවයේ යොදවනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: