විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 මම අද මැදි විය ඉක්මවා සිටියත්, මේ සිද්ධිය කිසි දිනක මගේ මතකයෙන් ඈත් වන්නේ නැති බව ස්ථිරයි. ඒ මම මගේම දෙනෙතින් අනියම් මිනීමැරුමක් දුටු එකම අවස්ථාවයි. පසු කාලයේ දී, අපේ රටේ තිබුණු යුද්ධයේදී,  මරනු මැරෙනු දෙකම බොහෝ වාර ගණනක් දැක ඇතත්, කුඩා පාසල් දරුවකු ලෙස, මේ සිද්ධිය මා අහම්බෙන් දුටුවේ, වයස අවුරුදු 6 ක පමණ කාලයේදීයි. ඉතාම පුදුම සහගත දෙය වන්නේ, මේ සිද්ධිය අකුරක් නෑර කීමට තරම් ප්‍රබලව, ඒ කුඩා අවධියේදීම මගේ මතකයට කාවැදීමත්, අදට ද එය එලෙසින්ම මතක තිබීමත්ය. මෙයයි ඒ සිද්ධිය.


   ඒ 1960 දශකයේ මුල භාගයයි. මමත් අයියාත් (ඔහු මට වඩා අවුරුදු 8 ක් වැඩිමල් වුනත් අපි සෙල්ලම් කලේ බොහෝවිට එකටයි) වෙනදා වගේ පාර අයිනට ගොස් කරන සෙල්ලම ගැන සිතමින් හෝ අපේ කල්ලියේ කොල්ලන් ඒ දැයි සෙවිල්ලෙන් හිටියා. අපි මොකක්වත් නැති වෙලාවට කරන්නේ පාරේ උඩහ පැත්ත සහ පහළ පැත්ත යනුවෙන් අපි නම් කරගෙන සිටි දෙපැත්තෙන්, මීළඟට වාහනයක් එන්නේ කොයි පැත්තෙන්ද, ඒ වාහනය කාර් එකක්ද, බස් එකක්ද, ලොරියක්ද, වෑන් එකක්ද, යනුවෙන් කියා ඔට්ටු ඇල්ලීමයි. ඒ කාලයේ ඒ පාරේ වාහනයක් එන්නේ විනාඩි 15 – 20 විතර එකක් තරම්. එදා හවස මෙහෙම අයියයි මායි ඉන්නකොට තමයි අපි දෙන්නම මිනීමැරුම දැක්කේ.

  මගේ දෙමවුපියන් දුප්පත් ගුරු යුවළක් වූ නිසා (ගුරුවරුන්ගෙන් බහුතරය කවදත් දුප්පත්) වියන ඉස්කෝලය නමින් හැඳින්වුණු පැරණි ගෙයක්, ගුරු නිවාසයක් ලෙස සකසා ලබාදී තිබුනා. ඒ නම ලැබුනේ ඒ ගොඩනැගිල්ලේ කලින් රෙදි වියන ස්ථානයක් තිබුන නිසයි. මේ ගෙට තබා, ඒ පැත්තේ ගෙවල් වලින් 10% කටවත් විදුලිය තිබුනේ නැහැ. මේ ගෙදර සිට පාරට බහින්න පඩි පෙළක් තිබුනා. එහි පඩි හතක අටක් පමණ තිබුනා.

   ඒ කාලයේ මගේ අයියගේ යාලුවෙක් හිටියා සමරදිවාකර කියලා. එයාගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. මාටින් මුදලාලි කියලා කවුරුත් කිව්වේ. ඒ කාලයේ හැටියට හොඳට ඉදිකළ නිවසකුත් ඔවුන්ට තිබුනා. සමරදිවාකරගේ අම්මා උදෙන්ම නැගිටලා කඩයප්පන් හදනවා. සමරදිවාකර තමයි ඒවා කඩමන්ඩියට ගෙනයන්නේ. උදේ පාන්දරම කඩයප්පන් අරගෙන යන ගමන් සමරදිවාකර ලස්සන වැඩක් කරනවා. ඒ කාලයේ විශාල නූල් පන්දු ඔතා එවන කේතු ආකාරයේ ඝන කාඩ්බෝඩ් කේතු තිබුනා අඟල් 6 ක් විතර දිග. සමරදිවාකර එයින් එකක් හොයාගෙන එයට ඉපියාවක් හයි කරලා පාන්දර මහා හඬින් පිඹිමින් තමයි යන්නේ කඩමන්ඩියට. මේ මහා හඬට මුළු ගමම අවදි වෙනවා. සමහරු බනිනවා. ඒත් සමරදිවාකර නෙවෙයි ඒ වැඩේ නැවැත්තුවේ.

  මේ ගමේ හිටියා හුණු නිෂ්පාදනය කරන පවුල් කීපයක්. ඔවුන් හිටියේ අපේ අල්ලපු වැටේ. විශාල හුණු වලවල් ඔවුන්ගේ ගෙවල් වටා තිබුනා. බල්ලන් බළලුන් වැනි සතුන් මේ වලවල් වලට වැටී මියගිය අවස්ථා එමටයි. අපිට ඒ පැත්ත පලාතටවත් යාම දෙමවුපියන් විසින් සපුරා තහනම් කරලයි තිබුණේ. එයට වෙනත් ‘සමාජමය හේතු’ ද තිබුන බව අවබෝධ වුණේ, ඊට හුඟක් කලකට පස්සෙයි. ඒ ගෙවල්වල දිනපතාම පාහේ බීමත්ව කෙරෙන සණ්ඩු සරුවල්ද නොඅඩුව තිබුනා. ඔවුන් කියන හරුප, අක්කලාටත් අපටත් ඇසීම වැලක්වීමට, අපේ දෙමවුපියන් යොදාගත් ඉතා කාලෝචිත උපක්‍රමය වූයේ, මහා හඬින් ගෙදර රේඩියෝව ක්‍රියාත්මක කිරීමයි.

   (ඒ කාලයේ කැසට්, සීඩී, තිබුනේ නැත. ස්පූල් ටේප් රෙකෝඩරයක් හෝ එල් පී රෙකෝඩ් ප්ලේයරයක් තිබුනේ ලක්ෂපති ගෙදරක පමණි.) අනෙක, එෆ් එම් විකාශන කියා දෙයක් ඒ කාලයේ අපි අසා තිබුනෙවත් නැති අතර, මධ්‍යම තරංග (Medium Waves) සහ කෙටි තරංග (Short Waves) ඔස්සේ අප සවන්දුන් වැඩසටහන්, කොතරම් ඝෝෂාකාරීද යන්න අවබෝධවූයේ 70 දශකයේ අග භාගයේදී, එෆ් එම් විකාශන ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය)

  හුණු නිෂ්පාදනය කරන පවුල් අතර, ලොකු ගණන්කාරයෙක් හිටියේය. ඔහුව හැඳින්වුණේ ‘කිරියා’ යන නමිනි. හැන්දෑවට පදමට සප්පායම්වන ඔහු ‘ මම කිරියා පුතා, මම තමයි නාරන්පිටියේ ගනන්කාරයා, මට වැඩිය එකෙක් මේකේ නෑ’ කියා කෑ ගසමින්, කඩමණ්ඩිය දෙසට යනු සුලබ දසුනකි. පොලීසිය තිබුනේ කිලෝමීටර් 5 ක පමණ දුරින් පිහිටි නගරයේ වුව ද, දුරකථනයක් ඒ අසළ කිසිදු තැනක තිබුන බවක් මට මතක නැත්තේ, ඒ ප්‍රදේශයේ අවුරුදු 5 ක් පමණ සිටි නිසාය.

  කිරියාගේ පුතාගේ නම, ගුණපාල වගෙයි මගේ මතකය. සමරදිවාකරලාගේ ගෙදර තිබුනේ ප්‍රධාන පාර අසළ ඇලකට එගොඩින්, තරමක් උස්බිමක ය. එහෙත්, පාරේ සිට ගෙදරට අහස් දුර මීටර් 15 කට වඩා වැඩි නැත. සමරදිවාකරලාගේ නිවසට ටිකක් පහළින්, ඇල අයිනට වන්නට, ගෙඩි පිරුණු අඹ ගසක් විය. එක් දිනක් දවල්, ගුණපාල මේ අඹ ගසට ගල් ගැසූ අතර, එයින් එකක්, සමරදිවාකරලාගේ ගෙදර වහලයට වැටී උළු කැටයක් බිඳුණි.

   එදා සවස වැස්සක් වැටුණු අතර, සමරදිවාකරලාගේ ගෙදර සාලය අර උළු කැටය කැඩුණු තැනින් තෙමුණි. සමරදිවාකරලාගේ තාත්තා මාටින් මුදලාලි, එදා සවස ගෙදර එනවිට සාලය තෙමිලාය. හේතුව විමසූ විට, ගෙදර අයගෙන් සවිස්තර වාර්තාව ලැබුණි. මාටින් මුදලාලිත් හැන්දෑවට ‘දෙකක් දාන’ පුද්ගලයෙකි. වහළයට වුන දේ පිලිබඳ කතාව ඇසූ ඔහු, කිසියම් අවශ්‍යතාවක් ඇතුව හෝ නැතුව, කඩ මණ්ඩිය බලා පිටත්විය. ඒ යන අතරමග, කිරියලාගේ ගේ අසළ ගුණපාල සිටිනු ඔහු දුටුවේය. ‘ඇයි යකෝ අපේ ගෙදරට ගල් ගැහුවේ’ කියා ඇසූ මාටින් මුදලාලි, ගුණපාලගේ කණ හරහා එකක් දී, කඩ මණ්ඩියට ගියේය.

   කනේ පහරින් රිදුනේ ගුණපාලගේ තාත්තා කිරියාටය. ඔහුත් හුණු වෙළඳාමේ ගොස් ගෙදරට ගොඩ වුණේ, ඊට විනාඩි කීපයකට පසුවය. කිරියාගේ බිරිඳ, (ඇය රණ්ඩු කෙක්කක් බව ඒ කාලයේ සමහර ගෑණු අපේ අම්මා සමග කියනු අසා ඇත්තෙමි. ඇය ඊට වඩා ‘වැඩකාරියක්’ බව දැනගත්තේ,  ලිංගික කරුණු සාකච්ඡා කරන වයසට මා පැමිණි පසුවය. ඇය හොඳ රූසපුවකින් යුක්ත බව ද මතකය.) ලුණු ඇඹුල් ඇතිව වාර්තාව කිරියාට දුන් බව, අපි දැනගත්තේ පසුවය. මාටින් මුදලාලි, කඩ මන්ඩියේ සිට ආපසු සිය නිවස දෙසට, ප්‍රධාන මාර්ගය දිගේ යමින්, අපේ ගේ පසු කරන විට, පඩි පෙළ පාමුල පාර අයිනේ සිටි අයියා සහ මා දෙස බලා ‘පුතේ මොකද ඔතන කරන්නේ’ කියා නොනැවතීම ඉදිරියට ගියේය.

   කිරියාගේ නිවස ඇත්තේ, ඊට මීටර් 10 ක් පමණ දුරිනි. මාටින් මුදලාලි ඒ නිවස ඉදිරිපිටට ලංවන විටම, කිරියාත්, ඔහුගේ අයියා පොඩි සිංඤ්ඤාත්, කිරියාගේ බිරිඳගේ මල්ලී වන රෙදි මුදලාලිත් (මොහුට ඒ නම ලැබුනේ සති පොලවල්වල රෙදි විකුණන බැවිනි) එක වරම කිරියාගේ ගෙදරින් එළියට බැස්සෝය. ‘මහත්තයා මොකද මගේ කොල්ලට ගැහුවේ’ කියා කිරියා මාටින් මුදලාලිගෙන් විමසුවේය. කේන්තිය ඉහවහ ගොස් සිටි මාටින් මුදලාලි, කිරියලාගේ කුලමල කියමින් මහා හඬින් බැන්නේය.

   කිරියා එක්වරම, සෑම විටම පාහේ තම ඉනේ තිබෙන දිග උල් පිහිය එළියට ඇදගත්තේය. රෙදි මුදලාලි සහ පොඩි සිංඤ්ඤා, මාටින් මුදලාලිගේ අත් දෙක දෙපසට ඈත් වන පරිදි හිරකර අල්ලා ගත්තෝය. මාටින් මුදලාලිද තරමක් බීමත්ව සිටි නිසා, සෙලවීමටවත් නොහැකි විය. කිරියා, හැකි වැර යොදා, හරියටම මාටින් මුදලාලිගේ පපුවේ වම් පැත්තට පිහිය සම්පූර්ණයෙන් බස්සවා එළියට ගත්තේය. අයියාත් මාත් බලාසිටියදී මේ සියල්ල සිදුවූ අතර, මාටින් මුදලාලිගේ පපුවෙන් උණු ලේ විදින්නට විය.

   මට දැන් සිතෙන්නේ, පිහි පහරින් මාටින් මුදලාලිගේ හදවත සිදුරු වීමෙන්, එසේ ලේ ගලන්නට ඇති බවය. මාටින් මුදලාලි අඩි 6 ක් පමණ උස පුද්ගලයෙකි. කිරියා කැහැටු අඩි 5 කට මදක් වැඩි උසකින් යුත් මිනිසෙකි. නමුත් තම අයියා සහ මස්සිනාගේ උදව්වෙන්, ඔහු මාටින් මුදලාලිව මැරුවේය. මාටින් මුදලාලි අඩි කීපයක් ඉදිරියට ගොස්, කපා හෙලූ ගසක් මෙන් පාර මැද වැටුණි.

   ඒ මොහොතේම වැස්සක් ආරම්භ විය. මාටින් මුදලාලිගේ ලේ වැසි වතුර සමග පාරදිගේ ගලද්දී, අසල් වැසියෝද, සමරදිවාකරද, මහා හඬින් කෑගසාගෙන ආවෝය. පොලීසිය ආවේ, පැයකට පමණ පසුවය. ආරංචිය ලැබෙන්නට ගිය කාලය අනුව එසේ වන්නට ඇත. ඒ වනවිට අපූරු දෙයක් වී තිබුණි. කිරියාගේ බිරිඳගේ වම් කම්මුලේ, අඟල් හයක පමණ කැපුමකින් ලේ ගලමින් තිබුණි. ඇය පොලීසියට කිව්වේ, මාටින් මුදලාලි තමන්ට ලිංගික අතවර කරන්නට උත්සාහ කර, පිහියෙන් ඇන්න බවයි. නමුත් ඒ සියල්ල බොරු බව, මිනීමැරුම් නඩුවේදී ඔප්පු විය. මිනීමැරුම් නඩුවේදී, අයියාටද සාක්ෂි දීමට සිදුවිය. නඩුව ඇසුවේ, මහනුවර මහාධිකරනයෙදීය (ඒ කාලයේ නම මහාධිකරණය නොවේ වෙනත් එකකි. මට මතක නැත)

   මා සාක්ෂි නොදුන් බැවින්, මිනීමැරුම ඇසින් දුටු එකම සාක්ෂිකරු මගේ අයියා විය. අද සිදුවනදේ එදාද සිදුවිය. කිරියාට විරුද්ධව සාක්ෂි දුන්නොත්, ඔවුන් අයියාටද කරදරයක් කරනු ඇත යන අදහස, කවුරුන් විසින් හෝ අපේ දෙමවුපියන්ගේ ඔලුවට දැමීම නිසා, පිහියෙන් ඇන්නේ කවුදැයි තමන් නොදුටු බවත්, කිරියා, රෙදි මුදලාලි සහ පොඩි සිංඤ්ඤාත්, සිටිනු දුටු බව පමණක්, අයියා උසාවියේදී කීවේය.

   මිනීමැරුම තමන් දුටු බව එදා මගේ අයියා කිව්වානම් සිදුවන්නේ කුමක්ද? අද මෙන් නොව, ඒ කාලයේදී මරණ දඬුවම අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය. අදට එය ගැලපේද නොගැලපේද යන්න මමත් සිතන අවස්ථා ඇත.    පසු කලකදී අයියා මට කීවේ, විත්තේ කූඩුවේ සිට, කිරියා ඉතාම බැගෑපත් බැල්මෙන් අයියා දෙස බලා, මිනීමැරුම නොදුටු බව කියන ලෙස ඉඟි කල බවයි.

   කෙසේ වෙතත් විත්තිකරුවන් තිදෙනාම බරපතල වැඩ ඇතිව දීර්ඝ සිර දඬුවමකට ලක්විය. දැනට මාස කීපයකට පෙර, ඒ ප්‍රදේශය පසුකරගෙන, මගේ මෝටර් රථයෙන් ගියේ, මගේ බිරිඳගේ රාජකාරි අවශ්‍යතාවකටය. ඒ කාලය මතක්වී හදවතට දැනුනු වේදනාව අපමණය.

Advertisements

Comments on: "ඇස් දෙකෙන්ම දුටු මිනීමැරුම" (9)

  1. දුක්බර වුවත් ඉතා බිහිසුනු අත්දැකීමක්. කුඩාකලම ලමයෙක්ට මෙවැනි දෙයක් හිතට වැදුනම අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මෙවැනි දේ නිසා මනස විකල් වූ දරුවන්ද මම දැක තිබෙනවා. ඒ අතින් ඔබ වාසනාවන්තයි. එහෙම කාලෙකුත් අපේ රටේ තිබුනා නොවැ.

  2. අදයි මම මේ බ්ලොග් එකට ආවේ, බිහිසුනු අත්දැකීමල් ලස්සනට ලියලා

  3. මමත් ඔය සමාන දෙයක් දැක්කා(අනිනවා ඇරෙන්න) වතූපිටිවලදි මට මතක විදිහට එයාගේ නම ස්ටැන්ලි.භිෂණ කාලයේ අතූරැදහන් උනා ඇපපිට ඉන්න කොට.මතකවිදිහට මොනවට හරි වරදකට හීරෙ ඉදලා නත්තලට නිදහස්වෙලා ඇවිත් මම පාරෙ යනකොට එයාමාත් එක්ක කතා කලා.පිරිසියකට දාගන මස්කකා හිටියා උල් පිහියකින් ඇන ඇන.මමත් කතාකරලා පාරදිගේ ගියා.එයත් එක්ක තව දන්නැති කෙනෙකූත් හිටියා.ටික දුරක් යන කොට කැගහන සද්දයක් ඇහුනු නිසා හැරිලා බැලුවා.මිනිස්සු එපැත්තට යන කොට එ පැත්තට මමත් ගියා. එ ගමෙම තවත් චන්ඩියෙක් එතන කඩයක් ඇතූලේ මරලා දාලා තිබුනා ඇනලා තියෙන්නේ ස්ටැන්ලි සහ එයත් එක්ක හිටපු කෙනා.27 පොලකට ඇනලා.හේතූව තමයි පොඩී කාලයේ ගේදරට ඇවිත් පහරදිම.වසර 20ක් විතර බලාගන ඉදලා පලියගන්න.හරිම පුදුමයි එයා ඉට විනාඩි දෙක තූනකට කලින් සාමාන්‍ය විදිහට මට විහිළු කරලා කතා කලා.
    හොදම හරිය ඊටපස්සේන් දෙන්නා එක්ක කාර් එකක් බලේන් අරගන එතන හිටපු අනිත් එකාගේ බිරිදගේ ගේදරට ගිහින් එ පවුලේ ඔක්කොමලාව මරලා දැර්‍මමා.එත් ස්ටැන්ලි එ කාටවත් ඇන්නේ නැ කියලා මිනිස්සු සාක්කි දුන්නා.මතක ඇති සමහරක් විට එල්ලක්කල සමුලඝාතනය කියලා පත්තරේ ගියා.මං එතකො ඉස්කොලයේ එක වසරේ.
    මනුස්සයෙක් තීරිසනෙක් වෙන්න තත්පරයක්වත් යන්නැ.

    • ඔබ හරියටම හරි. මිනිසෙක් තිරිසනෙක් වන්නට එක තත්පරයක්වත් යන්නේ නැහැ. මිනිසා තරම් පුදුම සතෙක් මේ මුළු විශ්වයේම නැතුව ඇති.

  4. අද කාලේ ඔය වගේ දෙයක් දැක්ක නම දැකපු අය වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැනේ.. අර තමන්ගේ ස්වාමියා මාරු හැටි දුටු බිරිඳ සති කීපයකට උඩදී මරල තිබුනේ !

  5. පුද්ගලික පරිහරණයේ අවියක් තියෙනවා කියන්නෙම භයානක දෙයක් විචාරක ( යුධ සේවය අමතක කරමු ටිකකට ) … රාජකාරීමය බැඳීමක් නැති අවස්ථාවක ආයුධයක් පාවිච්චි කරන්නම හොඳ නැහැ… ජොබ් එක නැති වේවි කියන බය තියෙනකම් ලොකු සංයමයක් තියෙනවා..එත් රාජකාරියට සමු දුන්නට පස්සේ කිසි මිනිහෙක්ට මෙල්ල නැහැ… මා ළඟත් තිබ්බ බොහෝ දේවල් මම පොලිසියට බාර දුන්නා.. එහෙම නොවෙන්න අද මම කූරු ගණිනවා .. මට කිසිම විදිහකින් පාලනයක් නැති දෙයක් අදටත් තියෙනවා.. කොච්චර බණ කතා කරත් කෙනෙක් ඉන්නවා විචාරක තුමනි උයන් කන්න තරම් කේන්තියක් තියෙන… අම්මා පල්ලා උයලා දුන්නොත් කනවා …

    ඒ වෛරය නම් ඉවර වෙන්නේ නැහැ …

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: