විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ඉස්කෝලේ යන කාලේ 10


න  යි කාරයෝ, බේත් තෙල් කාරයෝ, සාස්තර කාරයෝ, සමග ගතවූ අපේ පාසල් ජීවිතයේ ඒ කාලයේ හැටියට ලැබූ ත්‍රාසජනක අත්දැකීම් දෙකක් මගේ මතකයට නැගෙයි. එයින් එකක් වන්නේ ‘සන්නාසි බිල්ලන්’ගේ කතාවය. දෙවැන්න ‘වාලක්කඩි’ කතාවය. කතා දෙකම කෙටියෙන් මෙසේය. ඊට පෙර මේ චූර්නිකාවත් කියවන්න. ඒ කාලේ අපේ රට මීට වඩා හුඟක් විසාලය. දැන් ඔබ සිතන්නේ මේ යකා මේවා ලියන්නේ ගංජා ගහලා කියාය. නැත. ඒ කාලේ අපේ රට මීට වඩා ලොකුයි කිව්වේ ප්‍රවාහනය සහ සන්නිවේදනය අතින් මෙතරම් දියුණුවක් එකල නොතිබූ බැවිනි. හැබැයි පේදුරු තුඩුවෙන් පිටත්වන මිනිහෙකුට කිසිදු කරදරයකින් තොරව අතරමග මාර්ග බාධකවල රස්තියාදු නොවී දෙවුන්දර තුඩුවට යාහැකි විය. දෙවුන්දර තුඩුවට තමන් පැමිණි බව කියා ඒ මිනිහා අද (දෙමලෙන් ලිපිනය ලියා) තැපැල් කරන ලියුම පහුවදා නොවැරදීම පේදුරුතුඩුවට ලැබුනේය. ඍජු දුරකථන ඇමතුම් තිබුනේ ප්‍රාදේශීයව පමණි. පේදුරුතුඩුවේ මිනිහාට දෙවුන්දර තුඩුවේ තැපැල් හලෙන් පේදුරුතුඩුවට දුරකථන ඇමතුමක් ගන්නටනම් ‘කෝල්’ එක ‘බුක්’ කර යටත්පිරිසෙයින් පැයක්වත් (බොහෝවිට ඊට වැඩි කාලයක්) බලාසිටිය යුතුය. නමුත් ටෙලිග්‍රෑම් නිසි වෙලාවට ලැබුණි. ඒවා යැව්වේ ‘මෝස් කේත ක්‍රමයෙන්’ යයි සිතමි. (Morse Code)

  අපේ නගරයේ මහ තැපැල් හලක් තිබුණි. ඒ තැපැල් හල ඉදිරිපිට ‘රාජකරුණා හෝටලය’ නම් සුප්‍රසිද්ධ හෝටලය තිබුණි. ඒ කාලයේ ඕනෑම දුරකථන අංකයක් ඉලක්කම් දෙකකට හෝ තුනකට සීමා විය. කොළඹ නගරයේනම් ඉලක්කම් හතරකි. විනාඩියක දුරකථන ඇමතුමක් සත දහයකි. ඉතින් අපේ ‘ඇට්ටර කල්ලිය’ එක් දිනක් සතේ සතේ එකතුකරගෙන සත දහයක් සාදාගෙන ජයග්‍රාහී ලීලාවෙන් තැපැල් කන්තෝරුවට ගියෙමු. රාජකරුණා හෝටලයට ඇමතුමක් ගත්තෙමු. ඇමතුම් කුටියේ සිට කතාකරන බැවින් පිටතට නොඇසෙයි. අපේ කල්ලියේ සිටි . . . . රණතුංග ගේ කටහඬ ටිකක් ගැඹුරුය. ඔහු එය තව ටිකක් ගැඹුරු කලවිට තරුණයකුගේ මෙනි. ඉතින් ඔහු හෝටලයෙන් ටී බනිස් දහයක් හා ප්ලේන් ටී දහයක් තැපැල් කන්තෝරුවට එවනමෙන් ඕඩර් කළේය. ඉන්පසු අපි තැපැල් හල ඉදිරියට වී බලා සිටියෙමු. ඕඩරය රැගත් වෙටරයකු නොපමාව තැපැල් හලට ගියේය. ගිය පයින්ම බැන බැන ආපසු ආවේය. අපි සිනාවීම ආරම්භ කලේ එතනින් සෑහෙන දුරකට ඉවත් වූ පසුවය.

  ඔන්න සන්නාසි බිල්ලා ආවා. ඒ කාලයේ ගම්බිම් සිසාරා සැරිසරන ‘සන්නාසි’ (සමහරු ‘තන්නාසි’ කියා කී බව මතකය) යන නමින් හැඳින්වුණු හින්දු පූජක වේශධාරී පුද්ගලයන් නිතර දක්නට ලැබුණි. හිස මුදුනට කර ගැට ගැසූ දිගු කොණ්ඩය, නළලේ මහ විසාල පොට්ටුවක් හා තුන්නූරු සලකුණ, එක අතක දිලිසෙන පිත්තල ත්රිශූලයක්, අනික් අතේ පිත්තල කෙණ්ඩියක් හා එහි පියන කොටසේ බැතිමතුන්ගේ නළලේ ගාන අළු, සිවුරක් වැනි කහපාට ඇඳුම, ඔවුන්ගේ සාමාන්‍ය පෙනුම විය. සමහර අයටනම් එය බිය මුසු භක්තියක් ඇතිකළ දසුනක් විය. අර ත්රිශූලයේම ගැට ගැසූ මිනි ගෙඩියක්ද හඬවමින් ‘හරෝ හරා’ යයි මහ හඬින් කියමින් ඔවුහු ගම්මාන පුරා සැරිසැරූහ. එක් දිනකට එක් අයෙකුට වඩා නොපැමිණෙයි. ගෙයක් ඉදිරිපිටට පැමිණ මෙසේ හරෝ හරා යයි හඬ නැගූවිට ඒ ගෙදරින් ඔහුට පුද පඳුරු වශයෙන් යටත්පිරිසෙයින් සත දහයක්වත් ලැබෙයි. එකල විශ්වාසය වූයේ ඔවුන් හිමාලයේ සිට පැමිණෙන බවත්, මෙසේ පඬුරුඑකතුකරමින් කතරගම දෙවොල දක්වාගොස් ඒවා පූජා කර ආපසු හිමාලයට යන (වඩින?) බවත්ය. පඬුරක් දුන් කෙනාගේ නළලේ අර කෙන්ඩියේ පියනෙන් ගත් අළු ටිකක් ගා, හරෝහරා යයි ආශිර්වාද කිරීමටද අමතක නොකරයි. වෙනත් කිසිදු කතාබහක් නොකරයි. මේ කාලයේදී ලංකාවේ තැන් තැන් වලින් කුඩා පිරිමි ළමයින් (විශේෂයෙන් වයස අවුරුදු 12 – 15 පමණ) අතුරුදහන්වීම් වාර්තාවන්නට විය. මෙය දෙමවුපියන් තැතිගන්වන භයානක සිදුවීමක් විය. අවසානයේදී මෙය සිදුකරන්නේ අර සන්නාසීන් විසින් යයි මතයක් ප්‍රචාරය විය. ඔවුන් මත් බෙහෙත් දී දරුවන් පැහැරගෙන ගොස් උතුරේ කරවල වාඩි වල කම්කරු සේවයට විකුණන බවද වැඩි දුරටත් ප්‍රචාරය විය. ඉන්පසු ‘සන්නසියා’ ‘සන්නාසි බිල්ලා’ ලෙස හංවඩු ගැසුණි. පුංචි එකාට බත් කටක් කවා ගන්නටත් අම්මලා කිව්වේ ‘පුතා බත් කෑවේ නැත්නම් සන්නාසි බිල්ලා එයි ඔන්න’ කියලාය.

  කෙසේ වෙතත් සමහර සන්නාසීන්ට පහරදී පොලීසියට භාරදුන් අවස්ථාද වාර්තා වූ අතර ඉන්පසු කාලයේදී ඔවුන් දක්නට නොවීය. එහෙත් ඔවුන් සියලුදෙනාම එවැනි බිල්ලන් නොවන බවත් බහුතරය මෙසේ ආධාර එකතුකරමින් ජීවිකාව රැකගත් අයවලුන් වන අතර, කොටසක් බිල්ලා වැඩේද කල බව පසුව පොලිස් විමර්ශන වලින් හෙළිවිය. 1990 දශකයේදී යුද හමුදා සේවයේ යෙදී සිටි මට කල්පිටිය හා ඊට උතුරෙන් ඇති දූපත්වල තිබෙන කරවල වාඩි දැකගන්නට අවස්තාවක් ලැබුණි. එකලද ඒවා අවට ලෝකයෙන් ඈත්වූ ප්‍රදේශ විය. මට එකවරම සිහිවූයේ අපි පාසල් ගිය 1960 දශකයේදී මේ ප්‍රදේශ කොහොම තියෙන්නට ඇද්ද යන්නය. ඇත්ත වශයෙන්ම කරවල වාඩි වල සේවකයන් ලෙස යෙදවීම සඳහා ළමුන් පැහැරගැනීම එකල සිදුවිය. එවනි සිදුවීමක් ‘වාලම්පුරි’ කතාවේ ඇත. මෙසේ කුඩා දරුවන් රැගෙන යන්නේ ඔවුන්ට කෑම ටිකක් පමණක් ලබාදී බර වැඩ ගැනීමටය. මේ ඉරණමට ගොදුරුවී අද මහලු වියේ සිටින අය සමහරවිට සිටින්නට පුළුවන.

වාලක්කඩියා.

  මෙය ද්‍රවිඩ භාෂාවේ වචනයක් යයි මම සිතමි. වාලක්කඩියා ජලජ සර්පයෙක් බවයි මගේ අවබෝධය. වඩා හොඳින් දන්නෝ මා නිවැරැදි කරත්වා. මේ සතා කරදිය සහ කිවුල් දිය පරිසරයේ ජීවත්වන බව එකල ප්‍රචාරය විය. මාරක විෂ සහිත බවත් දෂ්ට කලවිට කිසිදු ප්‍රතිකාරයක් නැති බවත් වැඩි දුරටත් ප්‍රචාරය විය. එකල තිබුණු අවාසනාවන්තම තත්වය වූයේ නරක ආරංචි කටකතා ලෙස සීඝ්‍රයෙන් පැතිරීම සහ ඒවා පිලිබඳ යතාර්ථය දැනගැනීමට පුවත්පත් හෝ ගුවන්විදුලිය පරිහරණය කිරීමට බොහෝදෙනෙකුට වත්කමක් මෙන්ම විචාර බුද්ධියක් නොතිබීමත්ය.වාලක්කඩි කතාව මුලින්ම එලියට ආවේ ධීවර ජනාවාස ආශ්‍රිතවය. එහෙත් අපේ කටකතා නිර්මාපකයෝ වාලක්කඩියාව ගමේ ඇල දොළ පමණක් නොව නාන ලිඳ දක්වා ගෙන ආවෝය. ගම්වල අවිචාරවත් මිනිස්සු ඇලක දොලක තබා ලිඳක වත් නෑමට බියවූහ. මේ නිසා එකල පුවත්පත් සහ ගුවන්විදුලිය මගින් යතාර්ථය පැහැදිලි කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. කෙසේ වෙතත් මෙම සර්පයා දෂ්ඨ කල අවස්ථා ධීවර ජනාවාස ආශ්‍රිතව එකක් හෝ දෙකක් සිදුවූ බවද සත්‍යයකි.

Advertisements

Comments on: "ඉස්කෝලේ යන කාලේ 10" (3)

  1. වංකනාසික තිස්ස රජ සමයේ ලාංකිකයන් සොළී රටට අල්ලාගෙන ගියේ බිල්ලන්

  2. ත්‍රීකුණාමලයේ මේ මෑත කාලයේ වාලක්කඩි විශාල වශයෙන් ඇවිත් ධීවර කටයුතු වලට බාදා උනා කියල නම් අහල තියනවා. සන්නාසි ගැන අහල තිබ්බත් මෙච්චර හොඳට ඇහුව පලවෙනි විස්තරේ මේක. ස්තුතියි.

  3. හ්ම්ම්ම්ම් ඒ කාලේ මෙවැනි දේවල් ප්‍රචාරය වෙන්න හේතුව නොදැනුවත් කම සහ ඇහෙන දේ විමසා බලන් තරම් විචාරක බුද්ධියක් නොමැති කම

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: