විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


වර්තමාන සමාජයේ තරුණ පරපුර අතර බහුලව යෙදෙන උප සංස්කෘතික වචනයක් ලෙස ‘ගල් පිට්’ යන්න හඳුන්වා දිය හැකිය. මේ වචනයේ නිරුක්තිය එය භාවිත කරන අයගෙන් කීයෙන් කී දෙනෙකු දන්නවාදැයි සිතුන වාර අනන්තය. මේ වචනය අද භාවිත කරන්නේ දැඩි මිත්‍රත්වය යන්න අර්ථවත් කිරීමටය. ‘අපි ගල් පිට් කොල්ලෝ දෙන්නෙක් හරිද?’ යන්නෙන් ප්‍රකාශ කෙරෙන්නේ ‘අපි දෙදෙනා අඹ යාළුවො’ යනුවෙන් අතීතයේදී ප්‍රකාශ කල අදහසම අද භාවිත කරන මොඩ් (මෝඩ?) සිංහලෙන් කීමය. ගල් පිට් යන්න සාමාන්‍ය සමාජයට ආවේ ආරක්ෂක හමුදා ඔස්සේය. (ගුවන්විදුලි/රූපවාහිනී ගොන් නිවේදක නිවේදිකාවන් කියන පරිදි ආරක්ෂක හමුදා ‘හරහා’ නොවේ) අලුතෙන් හමුදාවට බැඳුන නිලධාරීන්ට, අධිකාරියට (commission) පත්වීමෙන් පසු තමන් අයත්වන මව් ඒකකයට පැමිණි විට, නම්‍යකරණ කාර්යයක් වශයෙන්, පුංචි නවක වදයකට හෝ ලක්වීමට සිදුවේ. මෙහිදී සැර මත්පැන් ටිකක් පානය කිරීමට දීම බොහෝවිට සිදුවෙයි. මේ සඳහා මත්පැන් වර්ග කීපයක් මිශ්‍ර කර ‘කොක්ටේල්’ එකක් සාදනු ලැබේ. එය සාදන්නේ ඒ පිලිබඳ පූර්ව අත්දැකීම් ඇති නිලධාරීන් විසිනි. එයින් මිලි ලීටර් 75 ක් 100 ක් පමණ පානය කලපසු දිව්‍යලෝකය මෙන්ම අපායද එකවර පෙනෙන බව, එම නවක වදයට ලක්වූ මම හොඳින්ම දනිමි.

සාමාන්‍යයෙන් නිලධාරී නිවස්නයක, තරුණ නිලධාරීන්, සෑම විටම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කලයුතු බවට නියෝග පැනවේ. මෙසේ කරන්නේ ඔවුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම පිණිසය. ඉතින් නවක නිලධාරීන්ට දෙන අර කොක්ටේල් එක රස කර කර බොන්නට හැකි පානයක් නොවේ. සාමාන්‍ය මත්පැන් පානයේදී එහි සැර අඩු කරගැනීමට සෝඩා, වැනි පානයක් හෝ අයිස් කැට හෝ මිශ්‍ර කරන බැවින් එය රස විඳිමින් ටික ටික පානය කල හැකිය. එහෙත් කොක්ටේල් එකට එවැනි කිසිදු අනුපානයක් මිශ්‍ර කිරීමට ඉඩදෙනු නොලැබේ. එය, එක වරම, තම කට උඩට හරවා, ‘ගුඩුස්’ ගා ගිල දැමිය යුතුය. මෙසේ ගුඩුස් ගා ගිල දමනවා යන තේරුම ඇති ඉංග්‍රීසි වචනය වන්නේ ගල්ප් ‘gulp’ යන්නය. ඉතින් නවක නිලධාරීන්ට ජ්‍යෙෂ්ට නිලධාරීන් අණ කරන්නේ ‘එකපාරටම ගුඩුස් ගාලා ඒක බීලා දාපන්’ කියාය. එය කියන්නේ ‘gulp it’ යනුවෙනි. මෙය සමහරවිට එක වරක් නොව නොකඩවා දිගටම කියාගෙන යාම සිරිතයි. ‘ගල්ප් ඉට්’ යන්න ඔබත් නොකඩවා දිගටම කියාගෙන යන්න. එවිට කියවෙන්නේ ගල්පිට් කියාය. (අපි ඉස්කෝලේ යන කාලේ ‘කේක්ගෙඩි අප්පු’ කියා නොකඩවා කියන්නයි යාලුවන්ට කියමු. එවිට කියවෙනදේ දන්නේ නැත්නම්, කාටවත් නොඇසෙන තැනකට ගොස් කියා බලන්න) කොක්ටේල් පානය කරන බොහෝ දෙනා වැඩි වෙලාවක් නොගොස් සංගීතයට අනුව යක්ෂ නැටුම් පෙන්වීම, හොඳ හරුප දෙසාබෑම, නැතහොත් වමනය දැමීම සිදුකරයි. එහෙත් ඒ කිසිවක් නිලධාරී නිවස්නයෙන් පිටතදී, ඉන්පසු කිසිදු දිනකදී, ඔහුට අපහාස වන අයුරින්, සඳහන් කරන්නේවත් නැති අතර, සියලු නිලධාරීන් පසුදින සිට ඔහුව සහෝදරත්වයෙන් පිළිගන්නේ, ජීවිතකාලයටම නොබිඳෙන බැම්මක් ඇති කරමිනි.

1980 දශකයෙන් පමණ පසු යුද හමුදාවට බැඳුන නිලධාරීන් බහුතරයකගේ ඉංග්‍රීසි දැනුම ප්‍රශස්ත මට්ටමක නොපැවතුනි. යුද පුහුණුවට මුල්තැන දීමට සිදුවූ බැවින් ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රශස්ත මට්ටමකට ගෙනඒමට අවකාශ නොවීය. ඉංග්‍රීසි භාෂාව හොඳින් නොදත් නිලධාරීන් සිතන්නේ ගල්පිට් යනු ගල් මෙන් තද එකිනෙකාට බැඳුනු (fit යන ඉංග්‍රීසි වචනය පිට් යනුවෙන් ආදේශ කරගෙන) මිත්‍රත්වයක් ඇති කිරීමට කොක්ටේල් පොවනවා යනුවෙනි. ඔවුන් එයට කියන්නේද ‘ගල්පිට් කරනවා’ යනුවෙනි. කොතරම් කරුණු පැහැදිලි කර දුන්නත් මේ යෙදුම අතහරින්නේ නැති නිලධාරීන් අදටත් සිටිති. තම නෑදෑ හිතවතුන් සමග මේ විස්තර කතා කිරීම තුලින් මේ යෙදුම සාමාන්‍ය සමාජයටද පැමිණියේය. ඔබත් ඔබේ ගල්පිට් මිතුරන් ඇති කරගත්තේ ‘ගල්ප් ඉට්’ කරලාද?

Advertisements

Comments on: "‘ගල් පිට්’ හැදුනේ කොහොමද?" (5)

  1. අළුත් දෙයක් දැනගත්තා.

    ස්තුතියි. !

  2. ගල් පිට් කියලා කියන්නේ සමලිංගිකයන්ට කියලයි මන් හිතාන් හිටියේ

  3. ගල් පිට් කියන යෙදුම හමුදා භාවිතයෙන් ආපු එකක් නෙවේ. 70 අවසාන භාගයේදීත් තරුණයන් අතර භාවිතා උනා. හමුදාවේ initiation එක අත්විඳපු කෙනෙක් හැටියටයි මම කියන්නේ (80 මුල් කාලයේ).

  4. ඔබේ කියමනේ එක්තරා සත්‍යයක් තියනවා. ‘ගල්පිට්’ වැඩේ මුලින්ම කර තිබෙන්නේ වතු අධිකාරී රැකියාව සඳහා බැඳෙන තරුණයන්ටයි. (creepers) මෙය මට කිව්වේ ස්වේච්ඡා බලසේනාවට අයත් වතු අධිකාරී නිලධාරියෙක්. මමත් (initiate) වුනේ 1983 දී.

  5. උප සංස්කෘතීන් තුළින් මහ සංස්කෘතියට එකතු වුණු දේවල් මහ සංස්කෘතියේදී අර්ථකතනය කරන එක වෙනස් වෙන්න පුලුවන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: