විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 අපේ එෆ් එම් නාලිකාවල සහ රූපවාහිනී නාලිකාවල සිටින සමහර නිවේදක කුක්කන්ගේ සහ කික්කියන්ගේ සෝබන කෑලි, බලා ඉන්ඩ හිරිකිතය. මොවුන් හිතන්නේ, හැකි තරම් වේගයෙන්, වචන වැඩි ගණනක්, හුස්ම නාල්ලා කියාගෙන යාම නිවේදන කලාව කියලා ය. මෑතක සිට මොවුන්, කවුරුන් හෝ පාන්කඩ නිවේදකයකු විසින්, වචන හිගය නිසා කෝකටත් තෛලය වශයෙන් යොදාගත් වචනයක්, අද මොවුන් දන්නා එකම ප්‍රධාන වචනයක් බවට පත් කරගෙන තිබේ. ඒ වචනය නම් ‘අනිවාර්යයෙන්’ යන්නය. (අනිවාර්ය යන වචනය නිවැරදිව ලියන්නට මා සිංහල ලියන මේ මෘදුකාංයේ ඉඩ සලසා නැත. නිවැරදිව ලියන්නේනම් අනිවා යන අකුරු වලට පසු ‘ය’ යන්න, යංශය සහ ඒ මත රේඵය ලිවිය යුතුය.) සමහරවිට ඉංග්‍රීසි භාෂාවේ yes indeed, ofcourse, වැනි යෙදුමක් සඳහා මොවුන් මෙය භාවිත කරනවාද යන සැකය උපදී. ඉතින් මේ නිවේදක කුක්කෝ කික්කියෝ කෙසේද මෙය වහරන්නේ. මෙන්න උදාහරණ සංවාදයක්;

අසන්නා/නරඹන්නා :- අක්කේ අද වහියිද?

නිවේදක (කුක්කා/කික්කිය) :- අනිවාර්යයෙන් නංගී

අසන්නා/නරඹන්නා :- අක්කේ අද ඔයා හරි ලස්සනට ඇඳලා ඉන්නවා

නිවේදක (කික්කිය) :- අනිවාර්යයෙන් නංගී

අසන්නා/නරඹන්නා :- අයියේ මගේ සින්දුව දෙනවද

නිවේදක(කුක්කා) :- අනිවාර්යයෙන් මල්ලී හැබැයි ලබන සතියේ (ලබන සතිය වනවිට මොනවා වෙයිද?)

  මේ විදිහට ප්‍රශ්න අසාගෙන යනවිට අක්කේ අද ඔය වැසිකිලි ගියාද කියා ඇසුවත් පිළිතුර වන්නේ අනිවාර්යයෙන් නංගී කියාය. ඒ කියන්නේ බැරි වෙලාවත් යන්තම් හෝ මළ බද්ධය සෑදී තිබුනොත් යකඩ කූරක් යොදවා හෝ අනිවාර්යයෙන් වැඩේ කරන බවය. මෙවැනිම ආකාරයට යොදන තවත් වචනයක් වන්නේ ‘හරහා’ යන්නය. හරහා යන වචනයද ඉංග්‍රීසි යෙදුමක් වන a cross යන්නට ආදේශකය වශයෙන් යොදා ගන්නේද යන සැකය කීප විටක් මා තුල ඇතිවූයේ ‘මේ කාර්යය ඉටු කරගත හැක්කේ ඇමතිතුමා හරහා ය’. ‘පළාත් සභාව හරහා යාමෙන් මේ කාර්යය ඉටු කරගැනීමට පහසු වේ’. වැනි අමන යෙදුම් නිසාය. ඇමතිතුමා හරහා ගියොත් ඒ අසරණයා (අසරණයා?) මියයන්නට ඉඩ ඇති බව නොපෙනේද? පළාත් සභාව හරහා එය කුඩුපට්ටම් කරගෙන යාහැක්කේ බුල්ඩොසරයකට පමණි. ඇමතිතුමා මගින්, පළාත් සභාව ඔස්සේ, වැනි යෙදුම් මේ නිවේදක අම්බරුවෝ කිසි දින නොයොදති. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ කානු දිගේ වතුර ගලන බවය. වරක් සීගිරිය පිලිබඳ විචාරයක් කල රූපවාහිනී අම්බරුවෙක් එහි කානු හරහා වතුර ගලන බව කීවේය.

  මේ අමනොඥ භාෂා විලාශයට හේතුව කුමක්ද? විශ්ව විද්යාලයකින් ලබාගත් ජනමාධ්‍ය උපාධිය හෝ ඩිප්ලෝමාව, සිය ජීවිත කාලය පුරා, (හක්ක බොක්කේ ඇනෙනතුරු) ඔහේ මොනවා හෝ කියවන්නට ලැබුණු ලැයිසොමක්, හෝ උරුමක්කාර පොල්මඃකාර, අද්මිනිස්ත්රාත් බල කඩදාසිකාර කමක් කියා සිතීමේ අමන කම ය. මොවුහු කිසි දිනක, සිය විෂයය පථයට අදාළ ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනය කරන්නන් හෝ ප්‍රවීනයන්ගේ අදහස් වලට සවන්දෙන්නන් සහ ජාත්‍යන්තර මට්ටමේ නිවේදක භූමිකාව පිලිබඳ තොරතුරු ගවේෂණයේ යෙදෙන්නෝ නොවෙති.

තවත් එකක් :- බ්ලොග් ලිවීම යනු තමන්ගේ කුනුවූ මනස තුල තිබෙන ඕනෑම කුනුහබ්බයක් එලසම ඇදබෑම යන්නය යන කුණු මානසිකත්වයේ සිටින අබ්බ ගොබ්බයෝ සිංහල වචන තම අභිමතය පරිදි වෙනස් කළහැකි යයි සිතා සිටිති. ඒ නිසා සමහර ගොබ්බයෝ අනිවාර්යයෙන් යන වචනය ‘අනිවා’ යනුවෙන් කොට කරගෙන යොදති. මේ අමන රැළ සිතන්නේ හාවා, බල්ලා, ලේනා, නරියා, අලියා, යන සියලු සතුන්ගේ වලිගය එකම මෝස්තරයකට කපා සැකසීම නිවැරදියි කියා සිතන පිස්සකු මෙනි. මට බය මේ අයියලා ‘හුදකලා’ යන වචනයද අකුරු අඩුකර යොදයි කියාය. අපේ අයියලාගේ වැඩ ඔහොමය – මෙහෙමය.

Advertisements

Comments on: "අනිවාර්යයෙන් වැසිකිලිය හරහා යාම" (45)

  1. මේව ගැන මේ විධියටම තර්ක ගොඩක් කලාට පස්සෙ වැඩේ අතාරින එක හැර ඔබතුමාට විකල්පයක් නැති වෙයි. භාෂාව ගැන ගත්තොත් ඒක යම් ප්‍රමිතියක තියෙන්න අවශ්‍යයි කියන එක හරි වුණාට ඒ කොයි තරම් කාලයකටද කියන එක ප්‍රශ්ණයක්. භාෂාව සමාජයේ භාවිතාව තුලම වෙනස් වෙමින් පවතින දෙයක්නේ. ඉතිං අද කාලෙ අන්තර්ජාලය හෝ වෙනත් මාධ්‍ය මගින් හෝ භාෂාව යම් විධියකින් වෙනස්වෙනවනම් ඒක තමයි ස්වභාවධර්මය.

    සිංහලේට තියෙන ලොකුම අඩුව ක්‍රමවත් අක්ෂර වින්‍යාස පිරික්සනයක් නැති එක. subasa.lk වගේ අඩවි තිබුණට ඒව සාමාන්‍ය අන්තර්ජාල ලියන්නො අතරෙ ඒ තරමට ජනප්‍රිය නෑ වගේ. අනික ඒ අඩවි වැඩ කරන්නෙත් යලට මහට.

    අක්ෂර පිරික්සනයක් ගැන සෑහෙන්න පරීක්ෂණ කරපු පුෂ්පානන්ද ඒකනායක මහත්තය ‘පරිගණක සිංහලය’ කියල පොතකුත් ලිව්ව. ඒක කියවද්දියි තේරෙන්නෙ වැඩේ කොයිතරම් අමාරුද කියල. අපි ඉගෙනගත්තු පවතින වියත් සිංහලේ පවා දෝෂ ගොඩයි. එක එක ගුරුකුල අනුව එකම දේ ගැන වාද ගොඩයි. ඉතිං හරියට පිලිගන්න පුළුවන් සම්මතයක් නෑ. ඒ නිසා ඔය වෙනස්කිරීම් වලටත් මුකුත් කියන්න බෑ…

  2. මගේ සිංහල දැනුමත් එච්චර හොද මට්ටමක නොතිබුනත් එකගයි

  3. අනිවා අනිවා…
    මාත් මේ අහම්බෙන් වගේ බුකිය හරහා ආවේ…

    • මාරයියා.. මෙයා අනිවා කියනවට කැමැත්තක් නැහැ.. හිකිස්..

    • මාර අයියාට නිතැතින්ම අනිවා මිස අනිවාර්‍ය කතා නැත 😀

      • “අනිවාර්ය” සදොස් බැව් පැහැදිලියි. එමෙන්ම “අනිවාර්‍ය” යන්නත් සදොස් බැව් හඟිමි. නිදොස් පදය “අනිවාය්‍යර්‍” නොවේද?

        • ඔබ හරියටම හරි. ඔබ එම වචනය නිවැරැදි ලෙස යතුරු කරණය කළ ආකාරය සහ මෘදුකාංගය කුමක්දැයි කියාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

          ඔබ මීට පෙර මෙම අඩවියට පැමිණියකු නොවෙන බවයි පෙනෙන්නේ. සමහරවිට පැමිණ ඇති, එහෙත් මීට පෙර මේ නමින් අදහස් දක්වා ඇති බවක් මතකයේ නැහැ. ඒ නිසා ඔබේ මේ අගනා අදහස් දැක්වීම අතිශයින් අගය කරමි.

      • ඒක මෙහෙමනේ විචාරක තුමා. ඔබ තුමා හොඳාකාරවම දන්නවනේ අපිට එක අවියකින් සතුරා බිම හෙලන්න බැරිනම් අවි කිහිපයකින් හරි පහර දෙන්න ඕනේ. මේකත් එහෙමයි. “සිංග්‍රීසි ” කියන මෘදුකාංගය” සහ windows 8 පද්ධතියේ නිශ්පාදනයේදීම අන්තර්ගත කර ඇති සිංහල යුනිකේත පද්ධතියේත් උදව් ඇතිවයි මම ඒක යතුරුලියනය කරගත්තේ.

  4. බ්ලොග්කරුවන්ගේ සරල හෝ බොලද හෝ වෙනත් ඕනෑම ලබ්බේ බාසාවක් පාලනය කිරීමට උත්සහ කිරීමෙන් පෙනෙන්නේ බ්ලොග්කරනය පිලිබද ලේකකයාගේ අනවබෝධයයි.

    ඔන්න සිංහල

    • කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමී ……………මගේ බ්ලොග් එකේ ‘දෙබරයකට ගල් ගසමි 2’ යන ලිපියේ අන්තිම වාක්‍යය කියවා බලනු මැනවි.

  5. කවුරු හරි කියාපු එක ලොකුම දෙයක්!

  6. භාෂාව zසෙරොක්ස් වී හූවර් වී ඇත

  7. ඒත් පොදුවේ ගත්තොත් ගොඩක් බ්ලොග් රචකයන්ට සිංහල බැරි කම නෙවේ තියෙන්නේ “ටයිප්” කරන්න කී බොඩ් එක නොදන්න කම. තවමත් මම දන්නේ නැහැ රැ සහ රු අකුරු දෙක ටයිප් කරන්න. ඒක සිංහල බැරි කම නෙවේ. යුනිකෝඩ් බැරිකම.

    මගේ බ්ලොග් එකේ අක්ෂර වැරදි ගොඩක් දුරට අවම කරල තියෙන්නේ. ඒත් මේ කියන යුනිකෝඩ් අවුල නිසා කෙලවෙනවා. ඒක සමහරැන්ට රජ මගුල්..

    • මටත් ඔය ටයිප් කිරීමේ ප්‍රශ්නය තියනවා. හැබැයි ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් එක දාගත්තට පස්සේ ගොඩක් ප්‍රශ්න විසඳුනා. ඒකෙ පුළුවන් ඔය සඤ්ඤක මහාප්‍රාණ ඔක්කොම ටයිප් කරන්න. උත්සාහ කරලා බලන්න.

      • ඇත්තටම ගූගල් වලින් ටයිප් කරනවට වැඩිය. කී බෝඩ් එක නොබලා (touch typing) ටයිප් කරන එකෙන් මට මගේ කාලය ඉතුරැයි කියල හිතෙනවා. ලියන මිනිහට තම‍යි ඕක තේරෙන්නේ. අපි සීමිත කාලයක් ඇතුලත තමා මේ හැම දේම කරන්නේ. සමහරක් කරන්නේ අමාරැවෙන් ටයිප් කරලා දාන එකේ අකුරැ හොය හොය ඉන්නවා එයාලට වැඩක් නැති නිසා. කරන්න දෙයක් නැහැ ඒකට. විවිධ මිනිස්සු ඉන්නවා. එයාලගේ ආතල් එයාල ගන්නවා.

        //සමහර ගොබ්බයෝ අනිවාර්යයෙන් යන වචනය ‘අනිවා’ යනුවෙන් කොට කරගෙන යොදති// මේක ප්‍රකට නාලිකාවක ටෙලි නාට්‍යයක ගිය වචනයක්. /අනිවා – ‍ඩෙෆා/ මතක ඇති. ප්‍රසිද්ධ මාධ්‍යය එහෙම නම් බ්ලොග් ලියන අයව හදන්න අමාරැ වෙයි නේද?

        ඔබතුමාගේ පෝස්ට් එකේ වැරදි ඇත. නැවත බලන්න. ඒත් මට එක එක වෙනම දාන්න කාලයක් නැත.

      • “අපි සීමිත කාලයක් ඇතුලත තමා මේ හැම දේම කරන්නේ…. මට මගේ කාලය ඉතුරැයි කියල හිතෙනවා. ”

        මම හෙට ඉදලා කලිසම නැතුව යනවා, වෙලාව ඉතුරුයිනේ…..

  8. ඔබේ ලිපිය හරි වැදගත්යයි ඉඳුරාම පවසමි.ඔබ තරම් මං උගතෙක්ද නිවෙමි.මට තේරෙන විදියට මේ භාෂාව වෙනස් වෙන්නේ බ්ලොග් ලියන ඔබ තුමාගේ භාෂාවෙන් කියන විදියට ගොබ්බයො නිසා නෙවෙයි.රජකාලේ සිටම භාෂාව ක්‍රමයෙන් වෙනසක් සිදුවිය.ඉතින් ප්‍රිය මහතාණෙනි ඔඹ අද නෙවෙයි ඉන්න තිබුනේ ඒ රජ කාලෙය… එසෙ බලන කල මේ වැරැද්ද සිද්ද කරන්නේ බ්ලොග් ලියන අපි වගේ ගොබ්බයො නිසා නොවෙන බව මං වගේ ගොබ්බයෙක්ට තේරුම හනිමට හැකියාව තිබේදී ඔබ වගේ උත්තමයෙකුට එය තේරුම ගැනීමට අපහසු මන්ද.

    අකුරු වැරදි ඇති..

    • ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් එකේ අකුරු වරදිනවා බොහොම අඩුයි. ඔබතුමා ‘ඔබ’ කියන වචනය ටයිප් කරාට වැදිලා තියෙන්නේ ‘ඔඹ’ කියලනේ. ගූගල් එකේදී oba කියලා ටයිප් කරොත් ඔබ කියල වදිනවා. omba කියලා ටයිප් කරොත් ඔඹ කියලා වදිනවා. ‘තේරුම් ගැනීමට’ යන්න තේරුම හනීමට වෙලා තියෙන්නේ මෙහෙමයි. therum ටයිප් කරනකොට වැඩිපුර a අකුරක් වැදිලා. keyboard එකේ g අකුර ළඟමනේ h අකුර තියෙන්නේ. ඔබතුමා අතින් වැරදීමකින් ganeemata වෙනුවට haneemata කියලා ටයිප් වෙලා තියනවා. මමනම් ටයිප් කරාට පස්සේ දෙපාරක්වත් කියවලා අඩුපාඩු හදනවා.

      • අපි සීමිත කාලයක් ඇතුලත තමා මේ හැම දේම කරන්නේ. සමහරක් කරන්නේ අමාරැවෙන් ටයිප් කරලා දාන එකේ අකුරැ හොය හොය ඉන්නවා එයාලට වැඩක් නැති නිසා. කරන්න දෙයක් නැහැ ඒකට. විවිධ මිනිස්සු ඉන්නවා. එයාලගේ ආතල් එයාල ගන්නවා.

        අපි බ්ලොග් ලියන අතර අපේ බ්ලොග් එකට එන සුපුරැදු පිරිසට කරන ගෞරවයක් විදිහට එයාලගේ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් කරනවා. හැමදේටම කාලය සීමිතයි. ඒක නිසා ගොඩක් වෙලාවට වැරදි වෙනවා. ඔබතුමාට කාලය ගොඩක් තියෙනව වගේ..

        ජය ශ්‍රී !

        • විජේසේකර layout එක පුරුදු වුණා නම් ඔය කරදර මොනවත් නෑ නෙ. එකපාරම හරියට කොටන්න පුළුවං, අඩු keystrokes ගාණකින් ම. එතකොට නං නැවත කියවලා දොස් නිදොස් කරන්න වෙලාව ඉතුරු වෙනවා!!

  9. බස වෙනස් වීම එය පාවිච්චිකරන්නන්ට අනුව බව අනිවාර්‍යය. එලෙස පහසුව තකා වෙනස් කරගත් බොහෝ වචන අද ලිඛිත සිංහලයට අනුගතව ඇත. බේසමේ සිට කතුරු හරහා එෆ් එම් දක්වාම වී ඇත්තේ එයයි.
    ඔබ පවසනා අදාල නොවන වචන භාවිතය නම් කථනයේදී එතරම්ම සැලකිය යුත්තක් ලෙස මට නොහැඟේ!
    තමන් අමතන්නේ රටටම නිසා ස්වයං වාරණයකින් හා පරිචයකින් යුතුව වදන් තෝරාගත යුතු උවද ඉල්ලන දේ දීමේ තරඟයෙදී බසට වඩා වැදගත් වෙනත් සාධක ඇතිව තිබේ. එනිසා මෙය සමාජය සමස්ථයක් ලෙස යන නව ගමනේ ප්‍රථිඵලයක් මිස භාෂා දැනීමේ අඩුවක් නිසාම නොවිය හැක.
    පාර්ලිමේන්තුවේ පොළිස් කාරයන්ට කථා කරන්නන්ගේ සිට “ගහන ගැහිලි”, “කුලප්පු වන සිසුන්”, “බඩු පන්නන හොරුන්” වැනි අවියත් වදන් පුරවාගත් රජයේ ජාතික පුවත්පත්ද මේවාට වගකිව යුතුය. අනෙක ගුරුන්ටත් සිංහල බැරි රටේ ගෝලයන්ගේ සිංහල දැණුම පිළිබඳ තව මොනවා කියන්නද?
    මේ සම්භන්ධව මාගේ අදහසනම් සිදු විය යුත්තේ දැණුමැතියන් පහන් සිතින් වැරදි දුටු තැන පෙන්වීම සහ නිවැරදි කිරීමට උදව් වීම මිස බැන අඬ ගැසීම නොව්න බවයි.

    • මම තවත් දෙයක් කියන්නද. ඔය එෆ් එම් නාලිකා අයිති කාරයෝ සහ රූපවාහිනී නාලිකා අයිතිකාරයෝ කියන විදිහටනේ නිවේදක නිවේදිකාවෝ කතා කරන්නේ. එක අතකට උන්ට බනින ඒකෙ තේරුමක් නැහැ. මුදල් ලැබේනම් ඕනෑම වැදෑමහක් කැන්ද කොලේක ඔතලා විකුනනවා. මුදලාලි කියන නිසා.

  10. මම කලින් කොමෙන්ට් ඒක දැම්මේ උත්තරයක්‌ බලාගෙන මගේ එකේ අඩුපාඩු දැනගන්න නෙවෙයි කෙලින් උත්තරයක්‌ දෙන්න බැරි කොන්දක් නැති කෙනෙක්ද ඔයා. මොන්ටිසෝරි ආතල් ගන්න එපා.ටයිපින් වල අඩුපාඩු බලන්නේ ඔයාගේ සිඟිති ආශාවල් නිසාද.

    • සමහරක් කරන්නේ අමාරැවෙන් ටයිප් කරලා දාන එකේ අකුරැ වැරදි හොය හොය ඉන්නවා එයාලට වැඩක් නැති නිසා. කරන්න දෙයක් නැහැ ඒකට. විවිධ මිනිස්සු ඉන්නවා. එයාලගේ ආතල් එයාල ගන්නවා.

      මම කියන්නේ මේ ටයිපිං ප්‍රශ්නේ නිසා ඒවා නොසලකා නිර්මාණය දෙස බලන්න කියල.

      අසරණයා උඹ මේවට කාලේ නොකා හොද පෝස්ට් එකක් ටයිප් කරපං…

      • sAm sRi මහතාණෙනි. අප සියලු දෙනාගේම සිංහල ටයිපින් දැනුම (යුනිකෝඩ් සහ ගූගල්, තවත් ක්‍රම) දියුණු කර ගැනීමට කිසියම් විශේෂඥ සහයක් හෝ උපදෙස් ලබාගන්නට ක්‍රමයක් නැද්ද? නිතර ලියන ඔබතුමාලා දන්නා එවැනි අය නැද්ද? ඉන්නවානම් එවැනි අය උනන්දු කරවමුකෝ අපේ දැනුම වර්ධනය කරවන ලිපි පල කරන්න කියලා.

  11. Very usefull blog. i will follow this blog. keep up the good work. 974761

  12. නිවැරදි බස හදාරන්න මූලාශ්‍රය නොමැතිවීමත් ගැටළුවක්. රූපවාහිනි, ගුවන් විදුලි, මුද්‍රිත මාධ්‍යවලත්, පොත් පත් ආදියේ නිවැරදි බස නොතිබීම නිසා වැරදි බසමයි පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වෙන්නේ

  13. මම නම් පාවිච්චි කරන්නෙ http://www.siyabas.lk/sinhala_how_to_install.html ලින්ක් එක හරහ ලබාගන්න පුලුවන් මෘදුකාංගය…. එතනින් එහාට වි‍ජේසේකර යතුරු පුවරුවේ තියෙන ආකාරයට කෙලින්ම ටයිප් කිරීම තමයි සිද්ධ වෙන්නෙ…

    රු = R අකුර සහ Q
    රැ = R අකුර සහ E
    යංශය = Shift + H
    රේඵය = අදාල අකුරට පසුව Shift + tilde (~)
    බින්දුව = X

    • මම Google Translitaration එකට හුරුවෙලා දැන් වෙන ඒවාට යන්න හිතෙන්නේ නැහැ.

    • සාතන් දීලා තියෙන්නෙ හරි ම විජේසේකර යතුරු පුවරුව. ඉක්මනින් හුරු වෙන්න පුළුවන්!
      ජනේල පාවිච්චි කරන අයට නං 7 ට කලිං ඒවට විතරයි “siyabas” අඩවියෙන් ගන්න වෙන්නෙ. 7 සහ ඉන් පසු ඒවාට ස්ථාපිතයි.
      ලිනක්ස් වැඩ්ඩන්ට නං කෝමත් සිංහල තියෙනවා මං දන්න හැටියට.

  14. මට නම් ඔය ලිවිල්ල හරියට බැහැ. (ඒ කියන්නේ සුද්දොන්ගේ භාෂාව කොහොමත් බෑ) සමාන්‍යයෙන් භාෂාවක් දියුනු වෙනවා කියන්නේ එය ඉතාමත් සරල නමුත් අදහස් ප්‍රකාශනයේදී ඉතා නිවැරදි ලෙස ක්‍රියා කරන විටයි. අනිවාර්යෙන් කියන එකට අනිවා කියන ඒක වැරදි තමයි. නමුත් ලොකේ පරිගණක භාවිතා කරන ජනයා සමූහ වලදී සංවාද කිරීමේදි පහසුව සදහා ඔය කෙටි වචන භාවිතයට ආවා.
    උදා- Ok – kk , OMG, LMAFO , LOL වැනි යෙදුම් ඔය අනිවා කියන එකත් ආවේ ඔය විදිහට.

    අනිවා වැනි වචන භාවිතයේදී කික් එකක් ඇති බව සමහරුන්ගේ අදහසයි.මට නම් ඔය දෙකේ වෙනසක් නැත .භාෂාව විනාශ කිරීම කික් එකක් නොවෙයි. භාෂාව නිවැරදිව හැසිරවීම වැදගත් වගේම එය භාවිතයේ පහසුවත් වැදගත් නේද? අපේ භාෂාව (සිංහල) භාවිතා කිරීමේදී මා අපහසුතාවයට පත්වුයේ විද්‍යාත්මක කේෂත්‍රයේදී කලවම් භාෂාවක් යොදා ගැනීමට සිදුවීමයි. (IT කේෂත්‍රයේදීත් එය එසේමය. ඔවුන් ඒ නිසා සම්පුර්ණ ඉංග්‍රීස් හාෂාව භාවිතා කරති.)

    අවසාන වශයෙන් ඔය ලංකාවේ FM හා රූපවාහිනි නාලිකා ගැන නම් කථා කර වැඩක් නැතය. මෙලෝ වැඩක් නැති ටෙලි නාට්‍ය ඇතිවෙන්න විකාශනය වේ. ITN ගැන නම් කියන්න දුකය. ඉරිදාට යන ටෙලි නාට්‍ය නම් හොදය. ඒත් දැන් ඒවත් අත් හැර Discovery සහ Fox Netwok එකෙහි නාලිකා පමණක් නරඹමි.

    • ජපනා, චීනා පරිගණක විද්‍යාව, නවීන විද්‍යාව ඔක්කොම උගන්වන්නේ උන්ගේ භාෂාවෙන්. අපේ භාෂාවෙන් තාක්ෂණික පද හැදුවම ඒවාට හිනාවෙන තරම් පහත් ජන්මයේ එවුන් සිටිනතුරු කිසිම දියුණුවක් නැහැ. අපිට ඕනෑකම තිබේනම් භාෂාවත් රැකගෙන තාක්ෂණයත් ඉගෙනගත හැකියි.

      • ඒ තාක්ෂණික පද ගැන නම් සරල ගැටලුවක් තිබෙනවා විචාරක තුමා.

        උදාහරණයක් විදිහට Computer mouse කියන උපකරණයට ඒ නම ලැබුණේ මීයෙකුගෙ හැඩය ගත් නිසා. ඒකට අප්‍රාණකත්වයක් හෝ තාක්ෂණික අර්ථයක් දෙන්න ඔවුන් උත්සාහ කලේ නෑ. දකිනකොටම හිතට අාපු වචනය ම යෙදුවා.
        ඒත්, ඒක සිංහල භාෂාවෙන් තාක්ෂණික පදයක් ලෙස සහ අප්‍රාණික දෙයක් ලෙස (යන්ත්‍රයක් බැවින්) දැක්විය යුතු නිසා “මීයා” නොකියා “මූසිකය” කිව්වා, “මූසිකයා” ගෙ “පණ” ඉවත් කරලා!! ඒත් අැයි අපිට “මීයා” කියලා ම කියන්න බැරි???? මීයා කැතයි ද??

        “වල” කියන්නේ “කැලෑව” බව නොදැන “වල් අලි” කැතයි, උං “වන අලි” විය යුතුයි කියලා අලින්ව වණ කරපු බුද්ධිමත්(ඔබ තුමා දන්නවා නේ උං ගෙ බුද්ධිය ගැන) අදහස් ම නොවේද මේ මූසිකය හා මීයා අතරත් තියෙන්නේ??

        කොටින් ම ග්‍රීක “පයි” අකුර පාසලේදි ගණිත හා විද්‍යා විෂයයන් වලදී ඉගැන්වෙන්නේ “ෆයි” කියලා. ඒත් සරසවියේදී අැත්තටම “ෆයි” සහ “පයි” අකුරු දෙකක් බව දැනගන්න ලැබෙනවා. අැයි එහෙනං ඉස්කෝලෙදි බොරු ඉගැන්නුවෙ???

        මේ අපේ “භාෂා භාවිතාව” පිළිබඳ ප්‍රශ්ණයක්” ද එහෙමත් නැත්නම් “භාශාව භාවිතා කරන භාශා වෙල්ලන් ගේ පහත් මානසිකත්වය” ද කියන එක හොයලා බලන්න වෙනවා??

  15. ගුවන් විදුලි නාළිකාවක් වේවා රූපවාහිනියේ වේවා, දිගටම කරගෙන යන්න නම් ආදායමක් තියෙන්න වෙනව. ඉතින් වැඩි ග්‍රාහක පරිමාණයක් අත්පත් කරගන්න පොඩ්ඩක් සරල කරල සින්ගිලිෂ් පාරක් දාන්න වෙනව.
    හොද ඔරිජිනල් විදියට කරගෙන යන්න නම් සල්ලි දෙන්න කෙනෙක් ඉන්න ඕනි. හොයල දෙනව නම් මමත් පටන් ගන්නව එකක්.

    • කිසියම් නියාමනයක් කරලා, සෑම විද්‍යුත් නාලිකාවකටම අවබෝධ කරලා දෙනවනම්, මුදල් පසුපසම හඹා නොගොස් අනාගත පරපුර ගැනත් හිතන්න කියලා, යම් පාලනයක් ඇතිකරගත හැකියි. එය එකවර ඉරක් ගසා මෙතනින් එහාට බැහැ කියන ක්‍රමයට නෙවෙයි නොකඩවා දීර්ඝ කාලීනව යන වැඩ පිළිවෙලකින් තමයි කලයුත්තේ.

  16. මහත්තයෝ , මල භාෂාවල් වන පාලි , සංස්කෘත වගේ ඒවා හැරුණු කොට මිනිසුන් එදිනෙදා පාවිච්චි කරන භාෂාවන් හැම එකක්ම මොහොතෙන් මොහොත පරිණාමනය වෙනවා.( living and breathing languages ) සමහර වචන හැලෙනවා , සමහර වචන එකතු වෙනවා. අවුරුදු 200 කට කලින් සිංහල රටේ ජිවත් වෙච්චි මිනිසෙක් අද අපේ කාලෙට අවොත් උන්නැහේ කියන කිසි දෙයක් අපිටත් අපි කියන කිසි දෙයක් උන්දැටත් නොතේරෙන්න ගොඩක් ඉඩ තියෙනවා. නීති රීති දාල , අවලාද නගල මේ වගේ දේවල් වෙනස් නොවී තියා ගන්න බැහැ. එහෙම කරන්න හදනවනම් ඒ ඒ තැනැත්තාගේ නොදන්නා කම. සමාවෙන්න

    • කිසිසේත්ම ඔබ සමාව ඉල්ලිය යුතු නොවේ. ඔබේ හැඟීම ප්‍රකාශ කිරීමේ පරම අයිතිය ඔබ සතුයි. එයට තහංචි දැමීමට මට අයිතියක් නැත. හැබැයි මා ප්‍රකාශ කර ඇති පරිදි ඌරාට බල්ලාට නරියාට රිලවාට තිබිය යුත්තේ එකම හැඩයේ වලිගයකි කියන හැඟීමේ සිට භාෂාව වෙනස් කරන්නට යමකු උත්සාහ දරන්නේ නම්, ඔහු උන්මත්තකයකු විනා අන කවරෙක්ද අප මහතාණෙනි.

  17. මේකේ තියෙන සමහර දේවල් මටත් බලපානවා. නමුත් මම සිංහලෙන් ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. මම නම් අවංකවම තවම සිංහල ඉගනගන්නවා මහත්තයෝ. වරදක් අඩුපාඩුවක් දැක්කොත් කියල පෙන්වල දුන්නොත් ඒක මේ වගේ වෙන වැරදි හදාගන්න කරන ලොකු පිටුවහලක් වේවි.:)

    • බොහොම අගය කරනවා ඔබ අවන්කවම අදහස් දැක්වීම ගැන. කුඩා කාලයේම විදේශගතවන ඕනෑම කෙනෙකුට තම මවුබස අමතක වීමට හෝ නිවැරදි ව්‍යවහාරය පවත්වාගැනීමට නොහැකිවීම ඔහුගේ වරදක් නොවේ. මා මේ ලිපියෙන් විශේෂ කලේ සිංහලෙන් ඉගෙන ගෙන, සිංහලෙන් උපාධි පවා ලබාගෙන සිංහල මරණ අය ගැනයි. ඔබට එය අදාළ නැහැ.

  18. //මට බය මේ අයියලා ‘හුදකලා’ යන වචනයද අකුරු අඩුකර යොදයි කියාය. //

    මොකටද බයවෙන්නේ විචාරක තුමෝ.. ඔය දීලා තියෙන්නේ නියම අදහසක්, අපි මේක පටාන් ගමු…………

  19. කතාව සත්‍යකි …. 😛

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: