විචාරකගේ අඩවිය

Posts tagged ‘අතීත කතා’

20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (අවසාන කොටස) Expedition Kon Toki (Final Episode)

  ගමන

  කොටස් තුනක් පුරා අපි ආව කොන් ටිකි ගමනේ අවසානය දකින්නයි අද සූදානම් වෙන්නේ. මේ ගමනේ ත්‍රාසය මුසුවූ සිදුවීම් ඇත්තේ මේ කොටසෙයි. මෙහි මුල් කොටස් තුන ඔබ කියවා නැත්නම්,

  පළමුවැනි කොටස මෙතනින් 

  දෙවැනි කොටස මෙතනින්
  තුන්වැනි කොටස මෙතනින්  කියවන්න.

  තෝර් හෙයඩල් හොඳින්ම දැන සිටියා, මේ ගමන ඉතා වියදම් අධික ගමනක් බව. තමන්ගේ රටේ සිට සැතපුම් දස දහස් ගණනක් නැවෙන් ගොස් පේරු රාජ්‍යයට ලඟා විය යුතුයි. ඒ සඳහා හය දෙනෙකුට වියදම් කල යුතුයි. අවශ්‍ය උපකරණ සහ අනෙකුත් බඩු බාහිරාදිය සපයාගෙන රැගෙන යායුතුයි. පේරු රාජ්‍යයේ නැවතී හිඳිමින් අවශ්‍ය අමු ද්‍රව්‍ය සොයාගෙන යාත්‍රාව නිර්මාණය කල යුතුයි. ගමන අවසන් කර ආපසු තම රටට පැමිණිය යුතුයි. මේ සඳහා මුදල් සොයා ගැනීම සිතූ තරම් පහසු වුනේ නැහැ. අවසානයේදී පෞද්ගලිකවම ණයට ගත් මුදල් සහ ඇමරිකානු එක්සත් ජනපද යුද හමුදාවෙන් පරිත්‍යාග වශයෙන් ලද මුදල්ද යෙදවීමෙන් තමයි මේ කටයුත්ත සාර්ථක කරගත්තේ. තවද පේරු රාජ්‍යයෙන් ඔවුන්ට නොමිලේ නාවික යාත්රාන්ගන පහසුකම් ලබා දුන්නා. එමෙන්ම ඉපැරණි යාත්‍රා පිරිබඳ චිත්‍ර සහ රූප සටහන්ද ලැබුන  අතර එවැනි යාත්‍රා ඉදිකිරීම ඒ පිලිබඳ විශේෂඥයන් විසින් පියවරෙන් පියවර නිරීක්ෂණය කොට වාර්තාගත කෙරුනා. නවීන උපකරණ ලෙස කැමරා, ගුවන්විදුලි යන්ත්‍ර, අත් ඔරලෝසු, සටහන් පත්‍ර, කැලෑ පිහියා මෙන්ම මුහුදේදී මාර්ගය සොයන සෙක්ස් තන්තුව (Sextant) නමැති උපකරණයක්ද රැගෙන ගියත්, හෙයඩල් කිව්වේ, එයින් ගමනේ මූලික අරමුණට කිසියම් බලපෑමක් එක් නොවන බවයි.   

  ඇත්තටම කොන් ටිකි යාත්‍රා කරනවා කියා දැනගන්නේ කොහොමද?   

  එතනදී නම් නවීන තාක්ෂණය පාවිච්චි කරන්න වුණා. මොකද මෙය පර්යේෂණාත්මක ගමනක්. ගමන යන්නේ විද්වතුන් පිරිසක්. ඉතින් ඔවුන්ගේ තත්වය නිරීක්ෂණය කරන්න වෙනත් යාත්‍රා ඒ පසුපස යැව්වොත් ඔවුන් තනියම ගමන ගියා කියන්න බැහැ. එකල චන්ද්‍රිකා තාක්ෂණය තිබුනේ නැහැ ඔවුන්ව නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණ ගුවන් යානා යෙදවීමට කිසිම රටක ඉදිරිපත් වුනේ නැහැ. ඉතා අධික වියදම් නිසා. මේ සියල්ල සලකා ඔවුන්ට සිදුවුනා පණිවිඩ හුවමාරු යන්ත්‍ර රැගෙන යන්න. (නූට් හෆ්ලන්ඩ් දෙවැනි ලෝක යුද සමයේ රහසිගත් පණිවිඩ හුවමාරු විශේෂඥයෙක්, නෝර්වේ හමුදාවේ මේජර් වරයෙක්. ඔහු තමයි පණිවිඩ හුවමාරුවේ ප්‍රධානියා එවැනිම හමුදා පණිවිඩ හුවමාරු විශේෂඥයකු වූ ටෝශියන් රාබිත් වැඩේට හවුල් වුණා)

ඔවුන් ගෙනගිය පණිවිඩ හුවමාරු යන්ත්‍ර මෙසේයි.

1. ආධුණික ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරුවන් විසින් පාවිච්චි කරන කෙටි තරංග ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර දෙකක්. (Ameture Radio set) (National Radio Company NC 173 Model) මේවා අද දකින්නට නොලැබෙන වැකුම් ටියුබ් හෙවත් වෑල්ව් (Vacuum Tube = valve)  වලින් ක්‍රියා කරන යන්ත්‍ර. අද ඒ වෙනුවට යොදන්නේ සංගෘහිත පරිපථ (Intregated Circuits = IC)

2. දෙවැනි ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය විශේෂ ක්‍රියාන්විත විධායකය (British Special Operation Executive = SOE) නම් අංශය පාවිච්චි කළ, මාර්ක් 2 වර්ගයේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක්.

3.  එම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා අවශ්‍ය බැටරි දෙකක්. හදිසියකදී එම ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරවීමට පමණක් සෑහෙන බලයක් උපදවාගත හැකි අතින් කරකවන විදුලි ජනක යන්ත්‍රයක්. (Electricity Generator)

  මේ ගුවන්විදුලි යන්ත්‍ර වතුරට ඔරොත්තු දෙන හමුදා ගුවන්විදුලි යන්ත්‍ර වුනත්, මුහුදු රල අනපේක්ෂිත ලෙස වැදීමෙන් ක්‍රියා විරහිතවූ අවස්ථා තිබුනා. කෙසේ වෙතත් මේ යන්ත්‍ර භාවිත කර, සමහර අවස්ථා වලදී සැතපුම් දස දහසකටත් වඩා ඈතින් පිහිටි, නෝර්වේ රාජ්‍යය සමග පණිවිඩ හුවමාරු කරගන්නට ඔවුන් සමත් වුණා. නමුත් ඔවුන් බොහෝවිට කලේ කතා කිරීම නොවේ. “සියල්ල හොඳින් සිදුවෙනවා” “All Well” යන සංඥාව නොකඩවා ප්‍රචාරය කිරීමයි.  ඔවුන්ගේ යාත්‍රාවට පණිවිඩ හුවමාරුව සඳහා ලබාදී තිබුන සංඥා නාමය (Call Sign) වුයේ LI2B (ලීමා ඉන්ඩියා ටූ බ්‍රාවෝ) ලීමා, ඉන්ඩියා, බ්‍රාවෝ, යනු මොනවාද යන්න මෙතනින් බලන්න.

පිටත්වීම


33 න් හැවිරිදි තරුණයකු වූ, නෝර්වේ ජාතික තෝර් හෙයඩල් ගේ  නායකත්වයෙන් යුත්, ගවේෂක පිරිස රැගත් කොන් ටිකි යාත්‍රාව, ඒ  ෙඑතිහාසික චාරිකාව අරඹමින්, ක්‍රිස්තු වර්ෂ 1947 ක් වූ අප්‍රේල් මස 28 වැනි දින අපරභාගයේදී පේරු රාජ්‍යයේ ‘කැලාඕ’ වරායෙන් ගමන ආරම්භ කළා.

   යාත්‍රාව දියත් කිරීම බොහොම චාම්ව එහෙත් සියළු ගෞරව සහිතව සිදු කෙරුනා. කැලාඕ වරායේ නවතා තිබුණු විවිධ නාවික යාත්‍රා වලින් ද, ඒ වරාය තුල සහ වරායෙන් පිටත ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබුණු විවිධ නාවික යාත්‍රා වලින් ද, කොන් ටිකියට බාධා ඇතිවෙතැයි සිතුන නිසා, පේරු නාවික හමුදාවට අයත් ‘ගාඩියන් රියොස්‌’ නමැති ටග් යාත්‍රාවෙන් (අලියා බෝට්ටු කියලත් කියනවා) කොන් ටිකිය මුහුදේ සැතපුම් 50 ක් දුරට ඇදගෙන ගියා. කොන් ටිකිය ගමන් කලේ මුහුදේ තිබෙන දිය වැලක් හෙවත් සාගර ප්‍රවාහයක් (Ocean Current)ආධාර කරගෙනයි. (අද ද නාවික යාත්‍රා මේ ක්‍රමය අනුගමනය කරනවා) කොන් ටිකිය ගමන් කලේ, ලෝකයේ විශාලතම සාගර ප්‍රවාහය වන හම්බෝල්ට් ප්‍රවාහය ආධාර කරගෙනයි. (Humboldt Current) දියවැලක් හෙවත් සාගර ප්‍රවාහයක් කියන්නේ, මුහුදේ කිසියම් නිශ්චිත දිශාවකට ගලන ජල ප්‍රවාහයක්. එය ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් සැඩ පහරක් මෙන් මුහුදු ජලය තුල ක්‍රියාත්මක වෙනවා. ඒවා ඇතිවීමට විවිධ හේතු බලපානවා.

   මෙතැන් සිට මේ ගමනේ විස්තර ලබාගැනීමට තිබෙන එකම මූලාශ්‍රය වන්නේ, තෝර් හෙයඩල් විසින් කොන් ටිකියෙහි පවත්වාගෙන ගිය සටහන් පොතයි. (Log Book) එහි ඉතා වටිනා තොරතුරු ඇතුලත්ව තිබෙනවා. මේ තියෙන්නේ ඒ පොතේ පින්තුරයක්. ඊට පහලින් තිබෙන්නේ හෙයඩල් තම අත් අකුරින් එහි තැබූ සටහන් සහිත පිටු දෙකක්.

ගමන පටන් ගන්න කලින් මුහුදු රැල්ලකට අසුවූ යාත්‍රාව වරායේ ජැටියක ගැටුනත් එතරම් හානියක් වුනේ නැහැ. හෙයඩල් 1947 අප්‍රේල් මස 27 වැනිදා සිට සටහන් යොදන්නට පටන් අරන් තිබෙනවා. ගමන පිටත් වූ දිනයේ සටහන් අනුව, හවස 5 ට පමණ තමයි ඔවුන්ගේ යාත්‍රාව කැලාඕ වරායෙන් පිටතට ඇවිත් තිබෙන්නේ. පළමුවැනි සටහනේම තිබෙනවා, එක් එක් පුද්ගලයාට අයිති කාර්යභාරය. ඒ මෙසේයි.

1. තෝර් හෙයඩල්  = නායක

2. හර්මන් වට්සින්ගර් = උප නායක සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරි

3. එරික් හෙසල්බර්ග් = මග පෙන්වන්නා (නියාමක)

4.  නූට් හෆ්ලන්ඩ් සහ ටෝශියන් රාබි = ගුවන්විදුලි පණිවිඩ හුවමාරු කරුවෝ

5. බෙන්ග්ට් ඩනියල්සන් = සත්කාරක කටයුතු (Steward)

  පළමු වැනි දිනයේ සිටම ඔවුන් දිනපතා එක් අයෙක් (විශේෂයෙන් රාත්‍රී කාලයේදී) අවදියෙන් යාත්‍රාවේ ගමන නිරීක්ෂණය කරමින් සිටියා. පළමු වැනි දිනයේදී ඒ රාජකාරි යෙදී තිබුන අයුරු, සටහන් පොතේ තිබෙන්නේ මෙසේයි. රාත්‍රී 8 සිට 10 දක්වා නූට්, 10 සිට 12 දක්වා හර්මන්, 12 සිට 2 දක්වා තෝර්, 2 සිට 4 දක්වා බෙන්ග්ට්, 4 සිට 6 දක්වා එරික්, 6 සිට 8 දක්වා ටෝශියන්.

  මා කලින් සඳහන් කලාක් මෙන් කොන් ටිකිය ශාන්තිකර සාගරයේ සැතපුම් 50 ක් දුරට ඇදගෙන යාම දිගටම සිදු කෙරුනා. එය අවසන් වුනේ පසුදා එනම් අප්‍රේල් 29 වැනිදායි. එදින උදේ 9.30 ට පමණ කොන් ටිකිය ඇදගෙනයන කඹය කැඩුනා. තෝර් සහ එරික් දෙදෙනා, හදිසි අවස්තාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කොන් ටිකියේ තිබුන, කුඩා ඩිංගි බෝට්ටුවෙන් ඉදිරියට ගොස්, යලි කඹය ගැට ගැසුවා. හරියටම දවල් 12.00 ට ඇදගෙන යාමේ සීමාවට හෙවත් සැතපුම් 50 දුරට, කොන් ටිකිය ළඟාවුණා. එහිදී කොන් ටිකිය, ඉමක්‌ කොනක් නොපෙනෙන ශාන්තිකර සාගරයේ තනිකර දමා, මෙතෙක් එය ඇදගෙන පැමිණි ගාඩියන් රියොස්‌ යාත්‍රාව, ඔවුන්ට සුබ පතා ආපසු හැරුනා.

  මුලින්ම යාත්රිකයන් සිය ගුවන්විදුලි පණිවිඩ හුවමාරු ක්‍රම අත්හදා බැලූ අතර එය සාර්ථක වුණා. මහ සයුර ක්‍රම ක්‍රමයෙන් රළු වන්නට පටන් ගත්තා. මහා මුහුදු රැළි ඔවුන්ගේ යාත්‍රාව වේගයෙන් ඉහලට ඔසවා අතහැරියත්, පැරණි තාක්‍ෂණය බොරුවක් නොවෙයි යන්න ඔප්පු කරමින් යාත්‍රාව ජලයේ නොගිලී ගමන් කලා.

  යාත්‍රික පිරිස විමතියට පත් කරමින්, මහා තල්මසෙක්, යාත්‍රාව අසලින්ම ගමන් කළේ, උගේ හිසෙන් වතුර මලක් විදිමින්. විවිධ මාලුවර්ග දකින්නට ලැබුණු අතර, අති විශාල පියාමැස්සන් විශේෂ තැනක් ගත්තා. යාත්‍රා තට්ටුවට යටින්, මුහුදු රළ, වේගයෙන් පහර දෙන්නට පටන්ගත්තා. යාත්‍රාව කඩදාසි ඔරුවක්‌ මෙන් රැළි සමග එහෙ මෙහෙ විසි වුනත්, පෙරලුනේ නැහැ. රාත්‍රී කාලය වනවිට මුහුද වඩාත් රළු වුණා. එ නිසා දෙදෙනෙක් එක වර මුර කිරීමට තීරණය කළා. මේ අතර නූට් හට මුහුදු රෝගය  (Sea Sickness) වැළඳුනා. ඔහුට විවේක ගන්නට ඉඩ හැර, සෙසු පිරිස කාලය බෙදාගෙන යාත්‍රාවේ කටයුතු කළා. රාත්‍රී කාලයේදී මහා දිය රැළි යාත්‍රාවේ තට්ටුවටත් ඉහළින් වදින්නට පටන් ගත්තා. මේ නිසා සමහර අවස්ථා වලදී සියලු දෙනාට සිදු වුණා, තමන්ව කඹයකින් යාත්‍රාවේ කුඹ ගහට හෝ කනුවකට තබා බැඳ ගන්නට. නැත්නම් රළ පහරින් මුහුදට විසිවී යන්නට පුලුවන්.

  මුහුදේ ගතකල සෑම දිනයකම ඔවුන් අලුත් අත්දැකීමක් ලැබුවා. බල්සා කඳන් පෙඟුණු ස්වභාවයක් පෙන්නුම් කිරීම නිසා, ඔවුන්ගේ සිත් තුල කිසියම් චකිතයක් ඇතිවුනා. සමහරෙක් හොරෙන්ම තම කැලෑ පිහි බල්සා කඳන් වලට බස්සවා බැලුවා. නමුත් ඔවුන්ට වැටහුණා, ඒ පෙඟුණු ස්වභාවය තිබෙන්නේ, අඟල් දෙකක පමණ ඝනකමට පමණක් බව. එය, බල්සා කඳක් ජලයේදී හැසිරෙන ආකාරය බව, ඔවුන් අවබෝධ කරගත්තා. සමහර කඹ බල්සා කඳන් තුලට කාවැදී තිබුනත්, ඒවා තවත් තදවී තිබෙනවා හැර, යාත්‍රාවට එයින් හානියක් නැති බවද පෙනීගියා.

තම පාවිච්චිය සඳහා ජලය රැගෙන ගොස් තිබුනත් වැසි ජලය එකතු කරගැනීමටත් ඔවුන් අමතක කලේ නැහැ. ඒ සමග ඔවුන් නිරීක්ෂණය කල මත්ස්‍ය වර්ග, ජලජ ශාක වර්ග, කාලගුණික වාර්තා, හෙයඩල්ගේ සටහන් පොතේ ඇතුලත් වෙනවා.  ඒවා ඉතා දීර්ඝ විස්තර නිසා මෙහි ඇතුලත් කරන්නේ නැහැ. හෙයඩල් තම චාරිකා විස්තරය පසුව මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා. මේ තියෙන්නේ එයයි.

  හෙයඩල් සහ පිරිසට  සහ පිරිසට මේ මහා සාගර චාරිකාවෙන් පසු පළමු වරට ගොඩබිමක් දකින්නට ලැබෙන්නේ 1947 ජූලි මස 30 වැනිදායි. ඒ පොලිනීසියානු දූපත් සමූහයෙම, කොරල් පර වලින් සෑදුනු, ‘පූකා පූකා’ නමැති දූපතයි.  ඒ වනවිට ඔවුන් පේරු රාජ්‍යයෙන් පිටත්වී, දින 97 ක් මහ සයුරේ ගමන් කර තිබුනා. හෙයඩල්  මේ චාරිකාව ආරම්භ කිරීමට පෙර කල ගණනය කිරීම් වලදීද කියා තිබුනේ, අවම වශයෙන් දින 97 ක් වත් යාත්‍රා කිරීමට සිදුවන බවයි.  ඔවුන් ගේ ගමන අවසන් කරන්න සිදුවුනේ බලාපොරොත්තු රහිත ආකාරයකටයි. කොරල් පර වලින් ගහන සාගර ප්‍රදේශයකදී ඔවුන්ගේ යාත්‍රාව හදිසියේම කොරල් පරයක හිරවූ අතර, පසුව නැගුන මුහුදු රළ මගින්, පොලිනීසියාවට අයත් ටුවාමොටු (Tuamotu) නමැති දූපත් කොටසට අයත්, ඒ කාලයේ ජන ශූන්‍ය දූපතක් වූ, රරොයියා (Raroia) දූපතේ වෙරල වෙත තල්ලු කරනු ලැබුවා. ඒ 1947 අගෝස්තු මස 7 වැනිදායි. මේ දූපතේ අතරමංව දින කීපයක් සිටින අතර, ඒ ප්‍රදේශයට ධීවර කටයුතු සඳහා පැමිණි පොලිනීසියානු ජාතිකයන්, ඔවුන්ගේ කැනූ (Canoe) නමැති ඔරු වලින් පැමිණ, මේ වීරයන් ගේ කතාව අසා, පිරිස පිළිගෙන යාබදව පිහිටි ජනාවාස දූපතක් වෙත ගෙනගොස් නැටුම් ගැයුම් සහිත උත්සව පවත්වා උපහාර පිදුවා. අවසානයේදී ඔවුන්ව බාරගත්, ප්‍රංශයට අයත්, ‘තමාරා’ නමැති කුඩා නැව, කොන් ටිකියද ඇදගෙන, පොලිනීසියානු දූපත් අසල පිහිටි, තහිටි දූපත් (Tahiti Islands) වෙත ගමන් කළා. වීරයන් පිරිස ගෙදර එන්නට පිටත් වුනේ එහි සිටයි.   

  ඒ වීර චාරිකාව අවසන් වුනේ එලෙසයි. ඒ 1947 අගෝස්තු මාසය. මේ ක්‍රිස්තු වර්ෂ 2012 අගෝස්තු මාසයයි. මේ වීර චාරිකාව සිදුවී දැන් වසර 65 ක් ගෙවී තිබෙනවා. හෙයඩල් සහ පිරිස වීරවරයින් ලෙස පිලි ගැනුනා. ලෝකය පුරාම ඔවුන්ගේ කීර්ති කදම්බය පැතිර ගියා. ඔවුන්ගේ යාත්‍රාව විශේෂ නැවක් මගින් නොර්වේ වෙත රැගෙන ගොස් කොන් ටිකි කෞතුකාගාරය (Kon Tiki Museum) නමින් විශේෂ කෞතුකාගාරයක තැන්පත් කෙරුණා. මේ චාරිකාවෙන් නොනැවතුණු හෙයඩල්  තවත් මෙවැනි වීර චාරිකා කීපයකම යෙදුනා. 

හෙයඩල්ගේ  පෞද්ගලික ජීවිතයෙන් බිඳක්


උපත :- 1914 ඔක්තෝබර් 6 නොර්වේ රාජ්‍යයේ ලාර්වික් ප්‍රදේශයේදී


අධ්‍යාපනය:- නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් උපාධියක්ද පශ්චාත් උපාධියක්ද ලබාගත්තේය.


විවාහ ජීවිතය :- හෙයඩල් තෙවරක් විවාහ දිවියට ඇතුලත් විය.

පළමුවැනි විවාහය ‘ලිවූ කචේරෝන් තොර්ප්’ සමග 1937 දී. තෝර් හෙයඩල් කනිෂ්ට නමැති පුතා සහ බ්ලෝන් නමැති පුතාද ලැබුනේ මේ විවාහයෙනි. දික්කසාදයෙන් කෙලවර විය. 

දෙවැනි විවාහය 1949 ‘ඉවොන් සයිමන්සන්’ සමග. දියණියන් තිදෙනෙක් ලැබුණි. දික්කසාද විය. ඒ පිලිබඳ වරද තමාගේ බව ඔහු කියා ඇත.

1991 දී ඔහු ‘ජැකලීන් බීයර්’ සමග විවාහ විය. ඔහු ඇය සමග පදිංචිව සිටියේ කැනරි දූපත්හි ටැනනරිෆ් නුවරය.

  අසාමාන්‍ය දේශ ගවේෂකයකු, මානව විද්‍යාඥයකු, මානව ශිෂ්ඨාචාරය පිලිබඳ ලෝකයේ දැක්ම පුළුල් කල චින්තකයකු වූ තෝර් හෙයඩල්, සිය පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා, පවුලේ හිතවතුන්ද සමග, ඉතාලියේ ‘කොලා මිශේරි’ ප්‍රදේශයට ගොස් සිටියදී, මොලයේ තිබුණු පිළිකා තත්වයක්, හදිසියේ උත්සන්න වීම හේතුවෙන්, ක්‍රිස්තු වර්ෂ 2002 ක් වූ අප්‍රේල් මස 18 වැනි දින අභාවප්‍රාප්තවුණා.

තෝර් හෙයඩල් ගේ දේහය ඔහු මියගිය ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කෙරුනා.නොර්වේ රජය ඔහු වෙනුවෙන් ඔස්ලෝහි ආසන දෙව්මැදුරේ විශේෂ අවමංගල්‍ය යාඥා මෙහෙයක් 2002 අප්‍රේල් 26 වැනි දින පවත්වා,  ඔහුට රාජ්‍ය ගෞරව ලබා දුන්නා. තෝර් හෙයඩල් 20 වැනි සියවසේ විශිෂ්ඨතම නොර්වීජියානුවා ලෙසටයි අදටත් සලකන්නේ.

හෙයඩල් වෙනුවෙන් කැනරි දූපත්හි සහ නොර්වේ රාජ්‍යයේද ස්මාරක ඉදි කෙරුනා.

  හෙයඩල් සහ පිරිස එකතු කරගත් සමහර වාර්තා මුහුදු ජලය වැදීම නිසා විනාශ වුනා. ඔවුන් පටිගත කරගත් සමහර සිනමා පටිද (වීඩියෝ කැමරා/ඩිජිටල් කැමරා ඒ කාලයේ තිබුනේ නැහැ) එලෙස විනාශවූ අතර සමහර ඒවා පොලිනීසියවේදී සොරකම් කර තිබුනා. අපි මීළඟට බලමු මේ කතාව පිළිබඳව වීඩියෝ පට කීපයක්.

  මේ පළමුවැනි වීඩියෝවේ තිබෙන්නේ හෙයඩල් සහ පිරිස විසින් පටිගත කරගෙන, හානියට පත් නොවී ඉතිරිවූ සිනමා පටි කොටස් යොදාගෙන, සාදන ලද වාර්තා චිත්‍රපටියක්. එහි පසුබිම් කථනය තිබෙන්නේ නොර්වික් භාෂාවෙන්. මේ සඳහා සබැඳියාව සොයාදුන් අරුණි ශපිරෝට මගේ විශේෂ ස්තුතිය හිමිවෙනවා.

   හෙයඩල් සහ පිරිස විසින් පටිගත කරගත් වර්ණ සිනමා පටි වලින්, හානියට පත් නොවී ඉතිරිවූ කොටස් එකතු කර සැකසු වාර්තාවක් මේ.

  ආධුනික කැමරා ශිල්පියකු විසින් නොර්වේහි කොන් ටිකි කෞතුකාගාරය තුලදී පටිගත කල වීඩියෝ පටයක් මීළඟට තිබෙනවා. මේ වීඩියෝවෙන් ඔබට ඒ අපූරු යාත්‍රාව මෙන්ම එම කෞතුකාගාරය තුල ඇති බොහෝ දේ දැකිය හැකියි. (කැමරාව හැසිරවීමනම් අතිශයින් දුර්වලයි)

  කොන් ටිකිය පිලිබඳ සම්පූර්ණ වාර්තා චිත්‍රපටිය ඔබට මෙතනින් බාගත කරගන්න පුළුවන්. 1951 දී නිපදවූ මේ චිත්‍රපටිය තෝර් හෙයඩල්ගේ  අධ්‍යක්ෂණයක් වන අතර මෙයට සම්මාන රැසක් ලැබී තිබෙනවා.

http://thepiratebay.se/torrent/4285003/

කොටස් හතරකින් යුක්තවූ මේ ඉතා දීර්ඝ ලිපිය ඉවසීමෙන් යුක්තව කියවූ ඔබ සැමට මා අනේක වාරයක් කෘතඥ වෙනවා. මෙයින් ඔබේ දැනුමට යමක් එකතු වූවානම්, මේ ලිපිය සැකසීමට මා දරන ලද වෙහෙස එයින් නිවී යනවා. මේ ලිපිය මා අවසන් කරන්නේද මිනිසාට ලෝකය තුල සීමා නැති බව හෙයඩල් විසින් කල ප්‍රකාශයකින්.

මූලාශ්‍ර

http://www.kon-tiki.no/logbook.php

http://www.nndb.com/people/752/000026674/

http://www.greatdreams.com/thor.htm

http://www.coopertoons.com/caricatures/kontikiexpedition.html

http://en.wikipedia.org/wiki/Kon-Tiki

Follow

Get every new post delivered to your Inbox.

Join 413 other followers

%d bloggers like this: