Skip to content

මොකක්ද මේ වායු රයිෆලය කියන්නේ

2012 අප්‍රේල් 27

පසුගිය දිනවල මා පලකල ලිපි අතර තරමක් පාඨක අවධානය ලිපියක් වූ අපේ කාලයේ තුවක්කු 4ලිපියේදී වායු රයිෆල් (Air Gun/Air Rifle) පිළිබඳව හරීගේ සහ ‘උදාර’ ගේ අවධානය යොමුවී තිබුනා. ඉතින් මට හිතුනා වායු රයිෆල් පිළිබඳව ටිකක් කතා කරන්න. මොකද සෙන්නාත් මේවට කැමතියි. ඔන්න එහෙනම් කතන්දරේ පටන්ගන්නයි යන්නේ. මේ දිනවල වායු රයිෆල් පිළිබඳව අපේ රටේ විශාල අවධානයක් යොමුවී තිබෙනවා. එයට හේතුව තමයි බලපත්‍රයකින් තොරව වායු රයිෆලයක් පාවිච්චි කිරීමේ අවස්තාව දැන් ශ්‍රීලාංකිකයන්ට ලැබී තිබීම. විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කර තිබෙන්නේ ගොවි ජනතාව සහ තම ගෙවතුවල වගා කර තිබෙන බවබෝග වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන අයයි. රිලවුන්, දඬු ලේනුන්, හාවුන්, විවිධ පක්ෂීන්, මේ වගාවන්ට කරන හානිය අපමණයි. හැබැයි මේ හැම සතෙකුවම වායු රයිෆලයෙන් වෙඩි තබා (එය වෙඩි තැබීමක්ද නැද්ද යන්න පසුව ඔබට වැටහෙයි) මරන්නට බැහැ. ඒ ඇයිද කියන එකත් ලිපිය කියවූ විට ඔබට අවබෝධ වනු ඇති. මා හිතනවා මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ වායු රයිෆලයක් යනු කුමක්ද කියන කාරණයයි. මේ සඳහා වායු රයිෆලය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන නිර්වචනයේ සිංහල පරිවර්තනයකුයි මගේ දැනීමේ ප්‍රමාණයෙන් මා ඔබවෙත ගෙන එන්නේ.

‘සම්පීඩිත වායුව මගින් හෝ වෙනත් විශේෂ සම්පීඩිත වායුවක අධාරයෙන්, යම් ප්‍රක්ෂිප්තයක් මුදා හරින තුවක්කුව හෝ රයිෆලය, වායු තුවක්කුව (රයිෆලය) නම් වේ’.

මේ තමයි ඒ පිලිබඳ තාක්ෂණික නිර්වචනය. නමුත් නෛතික කටයුතු වලදී මේ නිර්වචනය මීට වඩා වෙනස්විය හැකියි. එමෙන්ම සමහර රටවල් අදටත් වායු රයිෆලය ‘ගිනි අවියක්’ ලෙස සලකනවා. නමුත් වායු රයිෆලයේ, කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි කිරීමක් හෝ ගිනි බලය උපදවන පතරොමක් පාවිච්චි කරන්නේ නැහැ.

මීළඟට අපි වායු රයිෆලයේ ඉතිහාසය සොයා යමු. මෙහිදී අප විශ්මයට පත්කරන තොරතුරු හමු වෙනවා. අප සිතනවාට වඩා ඈත අතීතයේදී, මිනිසා, සම්පීඩිත වායු ගුණ (Pneumatics) දැන සිටි බව තහවුරු වන කරුණු අනාවරණයවී තිබෙනවා. ස්වීඩනයේ, ස්ටොක්හෝම් නුවර පිහිටි කෞතුකාගාරයක, ක්‍රි.ව. 1580 දී නිපදවූ කිසියම් ආකාරයක වායු තුවක්කුවක් තැන්පත්කර තිබෙනවා. වායු රයිෆලය තරමක් දුරට භාවිතය සඳහා යොදාගෙන තිබෙන්නේ 17 වැනි සියවසේදියි. ඒ කාලයේදී භාවිත කල වායු රයිෆල් සඳහා විශාල ටැංකියකට වායුව පොම්ප කර, එම ටැංකියේ වායු පීඩනය වැඩි කර ගැනීමෙන් තුවක්කුව සඳහා අවශ්‍ය වායු පීඩනය ලබා ගැනුනා.  මේ යුගයේදී නිපදවුණ සමහර වායු තුවක්කු විශාලත්වයෙන් හා බරෙන් වැඩිවූ අතර එහා මෙහා ගෙනයාමද පහසු නොවුයේ වායු ටැංකිද ගෙනයාමට සිදුවූ බැවින්. නමුත් එකල වායු තුවක්කු වලින් අගනා සේවයක් ඉටුවී තිබෙනවා. ඒ කාලයේ යුද කටයුතු සඳහා යොදා ගැනුනේ ‘මස්ල් ලෝඩර්ස්’ හෙවත් තුවක්කු කටෙන් වෙඩි බෙහෙත් පුරවා වෙඩි තබන තුවක්කුයි. ඔබට මතකද මා ඒ තුවක්කුගැන කිව්වා, අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටසේදී.    මස්ල් ලෝඩර්ස් තුවක්කු වැසි සහිත හෝ අධික තෙතමනය සහිත අවස්ථා වලදී පාවිච්චි කල නොහැකියි. එයට හේතුව වැස්සට තෙමුනොත් හෝ තෙතමනයට අසුවුනහොත් වෙඩි බෙහෙත් පත්තු නොවීමයි. එමෙන්ම මස්ල් ලෝඩර් තුවක්කුවෙන් වෙඩි තැබීමේදී, විශාල ගිනි එළියක් සහ දුමක් තුවක්කු කටෙන් පිටවන නිසා, සතුරාගේ නිරීක්ෂනයට පහසුවෙන්ම ලක් වෙනවා. නමුත් වායු තුවක්කුවේ ඒ එකම දුර්වලකමක් වත් නැහැ. ඕනෑම වැස්සක තෙතමනයක එය පාවිච්චි කලහැකියි. සතුරාට පෙනෙන ගිනි එළියක්, දුමක්, මෙන්ම කිසිදු හඬක්ද වායු තුවක්කුවෙන් ඇතිවන්නේ නැහැ. සමහර තුවක්කු තත්පරයකට මීටර් 200 – 300 පමණ ප්‍රවේගයකින් වෙඩි තැබීමට (මෙහිදී සිදුවන්නේ ඊයම් වැනි ලෝහ පෙලට් එකක් තුවක්කුවෙන් පිටවීමයි. එය සාමාන්‍ය තුවක්කුවකින් පිටවන ඊයම් මූනිස්සමක් මෙන් උණුවූ ස්වභාවයෙන් නොවෙයි පිටවන්නේ. මේ නිසා එය වෙඩි තැබීමක් නොව මුදා හැරීමක්.) හැකිවන පරිදි සකසා තිබුනා. එයින් සුප්‍රසිද්ධම තුවක්කුවක් වන්නේ Girandoni Military Repeating Air Rifle යනුවෙන් හඳුන්වන ලද තුවක්කුවයි.

කෙසේ වෙතත් සාමාන්‍ය තුවක්කු සහ රයිෆල් වැඩි දියුණු වූ වේගයෙන්ම වායු රයිෆල් වැඩි දියුණු වුනේ නැහැ. වායු රයිෆලයේ තාක්ෂණය සංකීර්ණ වීම සහ ප්‍රායෝගික අපහසුතා මෙන්ම වායු ටැංකි පුපුරායාම වැනි අනතුරු නිසා එය යුද කටයුතුවලින් ඈත්ව, ගෙවතු ආරක්ෂාව, ඉලක්කයට වෙඩි තැබීමේ තරග, යන ක්ෂේත්‍ර වලට අද සීමාවී තිබෙනවා. අද ඔලිම්පික් තරගවලදී පවා වායු රයිෆල් වෙඩි තැබීමේ තරග පැවැත්වෙනවා. ඒ සඳහා ඉතා සියුම් සහ අතිනවීන තාක්ෂණයෙන් යුත් වායු රයිෆල් තිබෙනවා. නමුත් ඒ පිලිබඳ විශේෂඥ පුහුණුවක් නැති කෙනෙක් ඒ රයිෆලයක් හෝ පිස්තෝලයක් ක්‍රියා කරවුවොත් එය ඉක්මනින්ම කැඩෙනවා. එවැනි රයිෆල් සහ පිස්තෝල එකක් රුපියල් ලක්ෂ කීපයක් වටිනවා. අපේ රටේදී ඒවා අලුත්වැඩියා කල නොහැකියි. එය නිපදවූ රටටම යැවිය යුතුයි, අලුත්වැඩියාව සඳහා. සාමාන්‍යයෙන් ජනප්‍රිය මෝස්‌තර නිපදවන්නේ ස්වීඩනයේ. මේ තිබෙන්නේ එවැනි මිල අධික, එමෙන්ම තරග සඳහා පමණක් භාවිත කරන වායු රයිෆලයක් සහ පිස්තෝලයක්. මේවා ලංකාවේ ආරක්ෂක හමුදාවල වෙඩි තැබීමේ තරග සහ බලයලත් රයිෆල් සමාජවල තරග කටයුතු සඳහා පාවිච්චි කරනවා. විදේශීය තරග වලටද නියෝජනයක් තිබෙනවා.

 වායු තුවක්කු වර්ගීකරනයේදී ප්‍රධාන වර්ග තුනක් සහ එයින් බෙදීයන උප වර්ග කීපයක් තිබෙනවා.

1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය

2. Pneumatic Type – නියුමැටික් වර්ගය

3. CO 2 Type – කාබන් ඩයොක්සයිඩ්  වර්ගය

අප, මේ මූලික වර්ග තුන මුලින්ම අධ්‍යයනය කර, ඉන්පසු උප වර්ග වලට යාම සුදුසු බවයි  මම හිතන්නේ.

1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය:- වඩාත් බහුලවම පාවිච්චි කරන, එමෙන්ම ජනප්‍රිය, ක්‍රියාකාරීත්වයෙන් සරල, වර්ගය මෙයයි. ශ්‍රී ලංකාවේ දැනට ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ලැබෙන්නේද මේ වර්ගය පමණයි. මෙන්න එහි පෙනුම.

මේ මෝස්තරය සාමාන්‍ය ව්‍යවහාරයේදී Barrel Break Model ‘බැරල් බ්රේක්’ මෝස්තරය කියා හඳුන්වනවා. එයට හේතුව වන්නේ මේ තුවක්කුවට පෙලට් එකක් ඇතුළු කිරීම සඳහා බැරලය තුවක්කුවට සවි වන තැනින් දෙකට නැවීමට (එවිට බැරලය කැඩුවා මෙන් පෙනෙයි) සිදුවන නිසයි. එසේ බැරලය නවා තිබෙන හැටි මේ පින්තූරයෙන් පෙනෙනවා.

බැරලය නැවීම ඔබ හිතන තරම් පහසු නැහැ. ඒ සඳහා සෑහෙන බලයක් යෙදවිය යුතුයි. තුවක්කුව වඩාත් දුරට වෙඩි තියන එකක්නම් බැරලය නැවීමට වඩාත් ශක්තියක්  යෙදවිය යුතුයි. දැන් අපි බලමු බැරලය නැව්වාම කොහොමද පෙනෙන්නේ කියලා. ඉහත දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ බැරලය නවීමෙන් පසු පෙලට් එක දමන ස්ථානයයි. ඔබට පෙනෙනවා නේද බැරලය නැවීමෙන් පසු දිස්වන අකාරය. බැරලය නැවීම සඳහා තුවක්කුව අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. අපට හිතෙන හිතෙන ආකාරයට එය කරන්නට බැහැ. නිවැරදි ක්‍රමය භාවිත නොකලොත් ඔබට අනවශ්‍ය වෙහෙසක් දැරීමට සිදුවන අතර තුවක්කුවට හානි වීමටද ඉඩ තිබෙනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ තුවක්කුව නැවීම සඳහා අල්ලාගන්නා නිවරැදි

ක්‍රමයයි. තුවක්කු බැරලය නැවීමෙන් පසු වරකට එක පෙලට් එකක් පමණයි ඇතුළු කල හැක්කේ. සෑම පෙලට් එකක්ම වෙඩි තැබීමෙන් පසු බැරලය නවා අලුත් පෙලට් එකක් යෙදිය යුතුයි. මෙසේ සලකා බලන විට සාමාන්‍ය තුවක්කුවකට වඩා මේ තුවක්කුවක වෙඩි තැබීමේ වේගය ඉතා අඩු බව විශේෂයෙන් සඳහන් කලයුතුයි. ඒ වගේම මතක තබාගත යුතු දෙයක් තමයි, තුවක්කුවේ ප්‍රබල බව (වෙඩි තැබීමේ දුර) වැඩි වන, විට ස්ප්‍රින් එකේ තද බවද වැඩි වෙනවා. එයට හේතුව වැඩි වායු පීඩනයක් ලබාගැනීම සඳහා වඩාත් තද ස්ප්‍රින් එකක් යෙදීමයි.

මේ සමග ඇති පින්තූර දෙකෙන් පෙන්වන්නේ ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක ඇති ස්ප්‍රින් එක සහ පිස්ටන් එකයි. මේ පිස්ටන් එකෙන් තමයි පෙලට් එක විදීම සඳහා අවශ්‍ය වායු පීඩනය සකස්කර දෙන්නේ. ස්ප්‍රින් එක කරන්නේ එක වරම පිස්ටනය ඉදිරියට තෙරපීමයි. එය සිදුවන්නේ මෙහෙමයි. බැරලය නැවූ විට ස්ප්‍රින් එක ඇදී නවතිනවා. ට්‍රිගරය මිරිකූ විට ස්ප්‍රින් එක නිදහස් වෙනවා. එවිට ස්ප්‍රින් එකෙන් පිස්ටනය තෙරපා වායු පීඩනය සකස් කර දෙනවා.

කිසිදු වායු රයිෆලයකින් වෙඩි තැබීමේදී සාමාන්‍ය රයිෆලයකින් හෝ තුවක්කුවකින් වෙඩි තැබීමේදී නිකුත්වන පුපුරන හඬක් එන්නේ නැහැ. එයට හේතුව වන්නේ වායු රයිෆලයක හෝ පිස්තෝලයක කිසිම ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි නොකිරීමයි. වායු තුවක්කුවකින් ‘පොප්’ හෝ ‘ටස්’ වැනි හඬක් තමයි නිකුත් වෙන්නේ. බැරලයේ අග කන ළඟ තබා වෙඩි තැබුවත් එතරම් අපහසුවක් නැහැ. ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගයේ තුවක්කුවකට පෙලට් එකක් දමන ආකාරය මීළඟ පින්තූරයෙන් පෙනෙනවා.ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක් කැඩුනත් අලුත්වැඩියා කරගැනීම එතරම් අපහසු නැහැ. ඒ සඳහා සුදුසු ආයතන ලංකාවේ තිබෙනවා. ඒ වගේම ස්ප්‍රින් පිස්ටන් තුවක්කුවක් නිවැරදිව පාවිච්චි කරන්නේනම් කිසිදු ආබාධයකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කල හැකියි.

මීළඟට මා ඔබේ අවධානය යොමුකරවන්නේ නියුමැටික් වායු තුවක්කුවටයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ තුවක්කුවට සවිකළ වායු සිලින්ඩරයක් තුල වායු පීඩනය ඇතිකර ගැනීමෙන් වෙඩි තැබීමට අවශ්‍ය බලය ලබා ගැනීමයි. මෙහි දක්වා ඇති පින්තූරය ඔබට සංකීර්ණ නොවනු ඇතැයි සිතනවා. සියලු මූලික කොටස් පෙන්වා තිබෙනවා. දැන් ඔබ මගේ මීට පෙර ලිපි ගණනාවක් කියවා, තුවක්කු පිලිබඳ දැනුමක් ලබා සිටින නිසා, විශේෂයෙන් පෙන්වියයුතු කොටස් හැර, මීට පෙර කියාදී ඇති කොටස්, නැවත නැවතත් සඳහන් කරන්නේ නැහැ.

තුවක්කුවට අවශ්‍ය වායු පීඩනය ලබාගන්නේ බයිසිකල් පොම්පයක් මෙන් වායු ටැංකියට හුළං ගැසීමෙන්. එහිදී බයිසිකල් ටියුබ් එකේ ඇති වැල්ව් එක හා සමාන වෑල්ව් එකකින් සුළඟ ආපසු එන්නට නොදී හිර කර ගන්නවා. ට්‍රිගරය මිරිකන විට සුළං පීඩනයෙන් කොටසක් මුදා හරිනවා. පෙලට් කීපයක් එකවර දමාගතහැකි නිසා ටැංකියේ සුළං ඉවර වෙනතුරු වෙඩි තැබිය හැකියි. මේ ක්‍රමයේ තුවක්කු බොහෝදුරට පාවිච්චි කරන්නේ තරග වෙඩි තැබීම් සඳහායි.

  මම මුලින්ම ඔබට පෙන්වන්නේ නියුමැටික් රයිෆලයකට අතින් සුළං පොම්ප කරන ආකාරයයි. මෙහිදී රයිෆලයේම සවිකර ඇති ලීවරයක් ක්‍රියාකරවීම මගින් පොම්පය පුරවනවා. මේ ක්‍රමයේදී ගබඩාකර තබාගත හැකි සුළං ප්‍රමාණය සීමිතයි. ඒ නිසා වෙඩි තැබීම් තුන හතරකට වරක් නැවත වායුව පොම්ප කලයුතු වෙනවා. ඊළඟ පොම්ප කිරීමේ ක්‍රමය වන්නේ ඔබ හොඳට දන්නා පාගන බයිසිකල් පොම්පයකින් හෝ කකුලට පාගාගෙන ඉහල පහල යන ලීවරයෙන් සුළං ගසන පොම්පයයි. නමුත් මෙහිදී සුළං පීඩන මීටරයක් පාවිච්චි කලයුතුයි. සමහර රයිෆල් වල එය පොම්පයේ සවි කර තිබෙනවා. සමහර පොම්පවල සුළං පීඩන මීටරයක් තිබෙනවා. තුවක්කුවේ පොම්පයට හානි නොවන ලෙස සුළං පොම්ප කලයුතුයි.

මෙහි ඇති වෙනත් මෝස්තර ගැන පහත සඳහන් කරනවා. නමුත් ඒ සියල්ල ක්‍රියා කරන්නේ එකම න්‍යාය අනුවයි. සුළං පොම්ප කිරීමේ යාන්ත්‍රනය හෝ තුවක්කුවේ හැඩය වෙනස්වූවාට මූලික න්‍යාය වෙනස්වන්නේ නැහැ. සමහරවිට වාණිජ පරමාර්ථ මත ප්‍රචාරණයෙන් විවිධ අදහස් ඉදිරිපත් කලහැකියි.

මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ක්‍රියාකරන වායු රයිෆලයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තුවක්කුවට සවිකලහැකි, කාබන් ඩයොක්සයිඩ් වායුව පිරවූ, සිලින්ඩරයක් (කැනිස්ටරයක්) මගින් වෙඩි තැබීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගැනීමයි. මෙම වායු සිලින්ඩර අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා සෑම විටම සෙල්සියස් අංශක 49 ට අඩු උෂ්ණත්වයේ තබාගත යුතුයි. නැත්නම් ඒ සිලින්ඩර පුපුරනවා.

මේ තුවක්කු වර්ගය හේතු දෙකක් නිසා නියුමැටික් තුවක්කුවට වඩා වාසි දායකයි. 1. මෙය සරල ක්‍රමයක්. ඉතා සුළු දියර ප්‍රමාණයකින් විශාල වායු ප්‍රමාණයක් ලබාගත හැකියි. 2. වායු පීඩන මීටර් මගින් පීඩනය පරීක්ෂා කිරීමක් අවශ්‍යවන්නේ නැහැ. නියමිත් උෂ්ණත්ව පරාසය තුල තබාගන්නේනම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ තුවක්කුවේ ඇති වායු ටැංකිය පිරවිය හැකි ක්‍රම කීපයක් තිබෙනවා. දියේ කිමිදෙන විට හුස්ම ගැනීම සඳහා ගෙනයන වායු ටැංකියකින් මේ සිලින්ඩරය පුරවාගත හැකියි, තුවක්කුවට සවිකරන වර්ගයේ කලින් පිරවූ ටැංකියක් අපි ගෙදර ගෑස් ලිපේ සිලින්ඩරය මාරු කරනවා මෙන් මාරු කල හැකියි. තුවක්කුවෙන් වෙන් නොකළ හැකි ලෙස සකසා ඇති ටැංකි වලට බටයක් සවිකර ගෑස් ටැංකියකින් පුරවාගත හැකියි. මේ තුවක්කු වල නිෂ්පාදන වියදම, නියුමැටික් තුවක්කුවට සාපේක්ෂව අඩුයි, කාර්යක්ෂමතාව වැඩියි, තුවක්කුව එතරම් විශාල නැහැ. මේ නිසා වෙඩි තැබීමේ තරග වලදී බහුලව භාවිත කරනවා.

තුවක්කුවට අවශ්‍ය වායු ප්‍රමාණය ලබාගන්නේ වායු කැනිස්ටරය සහ තුවක්කුව අතර පීඩන පාලන වෑල්වයක් යෙදීමෙනුයි. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය මත එය ඇරීම වැසීම සිදුවෙනවා.

  කුඩා වායු කැනිස්ටර සහිත වායු පිස්තොලද නිපදවා තිබෙනවා. මේ තාක්ෂණය තවමත් දියුණු වෙමින් පවතින්නක්. ඒ නිසා අනාගතයේදී වඩාත් ජනප්‍රිය වීමේ ප්‍රවනතාව තිබෙන්නේ මේ වර්ගයේ තුවක්කු වලටයයි බොහෝ දුරට සිතිය හැකියි.

නියුමැටික් සහ කාබන් ඩයොක්සයිඩ් යන වර්ග දෙකේම තුවක්කුවල වරකට පෙලට් කීපයක් දියහැකි චේම්බර සකස්කර තිබෙනවා. ඒ නිසා කාලය ඉතිරි කරගනිමින් වෙඩි තැබීමට හැකි වෙනවා.

මීළඟට මා ඔබට පෙන්වන්නේ වායු තුවක්කුවල උප විශේෂයන්හි ඇති වෙනස්කම් කීපයක්.

 

 

 

 

 

 

 

මේ පිස්ටනය වායු පීඩනය වඩාත් හොඳින් පාලනය කිරීමට සමත්. ඉතා මෑතකදී නියුමැටික් තුවක්කු සඳහා නයිට්‍රජන් වායුව පිටවූ පිස්ටන් හඳුන්වාදී තිබෙනවා.

පර්යේෂණ මට්ටමේ පවතින තවත් වායු තුවක්කු වර්ග ඇතත්, මා මෙහිදී ඒ පිලිබඳ විස්තර නොකියන්නේ ලිපිය සංකීර්ණ වීමට ඉඩ ඇති බැවින්. මම දන්නවා දැන් ඔබ බලා ඉන්නේ මේ තුවක්කු වලට දමන පතරොම් ලැබෙනතුරු නේද? ඇත්තටම ඒවා පතරොම් නොවන බව මා මුලින්ම කිව්වා මතක ඇති. ඒවාට කියන්නේ ‘පෙලට්’ කියලයි අපි දැන් පෙලට් ගැන කරුණු දැනගනිමු.ලෝකය පුරා භාවිත කරන විවිධ වර්ගවල වායු තුවක්කු සඳහා එවැනිම විවිධාකාර පෙලට් වර්ග නිපදවනවා. සාමාන්‍යයෙන් පෙලට් නිපදවන්නේ ඊයම් වලින්. එහෙත් සමහර වායු තුවක්කු වල පෙලට් ඇතුළුකර නිසි පරිදි රඳවා තබාගැනීමට ඒවා කාන්දම් බලයෙන් රඳවා ගැනීමේ උපක්‍රමයක් තිබෙනවා. ඒ නිසා සමහර පෙලට් කාන්දම් බලයට හසුවන මිශ්‍ර ලෝහ වලින් සාදා තිබෙනවා.

හැඩය, බර, යොදාගන්නා කාර්යය, අනුව පෙලට් වර්ග කරනවා. එවැනි වර්ගකිරීම් මීළඟට දක්වනවා.

මේ පින්තූර වලින් ඔබට පෙලට් ගැන සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇති සිතනවා. ‘විවිධ පෙලට් වර්ග’ යනුවෙන් ඇති රූපයේ ‘බීබී’ යනුවෙන් රවුම් හැඩයෙන් දක්වා ඇත්තේ මා කලින් සඳහන් කල මිශ්‍ර ලෝහ පෙලට්.

වායු රයිෆල් යන්න අපේ රටේ විනෝදාංශයක් ලෙස අනාගතයේදී වර්ධනය වනු ඇති බව සිතිය හැකියි. එහෙත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. වායු රයිෆල් වෙඩි තැබීම කරන්නේ ක්‍රීඩාවක් පිණිස බවත්, එය යුද පුහුණුවක් නොවන බවත් අවධාරණය කරන්නට කැමතියි.

ටෙලිකොම් එකේ හෙළුව හෙළිවුණා

2012 අප්‍රේල් 22

 මගේ අන්තර් ජාල සම්බන්ධතාව ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතිනි. එය හෝම් අන්ලිමිටඩ් නමින් සුප්‍රසිද්ධ (කුප්‍රසිද්ධ?) පැකේජයයි. පසුගිය මාස කීපය තුල, අවස්ථා ගණනාවකදී, මට මගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ඉතා අඩු බව දැනුනි. මේ අත්දැකීම මුලින්ම විඳි අවස්ථාවේ සිට, පසුගිය මාස කීපය තුල වරින්වර, ටෙලිකොම් අමතා දෝෂ වාර්තා කිරීමෙන් පසු තරමක් සතුටුදායක තත්ත්වයට පත්විය. නමුත් පසුගිය සතියේ සිට මා මෙතෙක් අත්විඳි අතිශයින් අප්‍රියජනක අත්දැකීමට මුහුණදීමට සිදුවිය. ඒ අත්දැකීම වන්නේ මගේ බ්ලොග් අඩවියට ඇතුලත් කිරීම සඳහා පින්තූර අප්ලෝඩ් කිරීමට නොහැකි වන තරම් වේගය අඩුවීමයි. මා තාක්ෂණික තොරතුරු යටතේ පල කර ඇති ‘අපේ කාලයේ තුවක්කු 4 ඉතිරි කොටස’ නමැති ලිපියෙහි පලකිරීම සඳහා සූදානම් කරගෙන සිටි පින්තූර කීපයක් අත්හැර දැමීමට සිදුවූ අතර ඒ හේතුවෙන් එම ලිපිය අසම්පූර්ණ බවකින් යුක්තව පල කිරීමට සිදුවිය.

පසුගිය සිකුරාදා (20 වැනිදා) රාත්‍රියේ මා නිතර බලන වෙබ් අඩවි බොහොමයකට යාමට උත්සාහ කලත් දිගු කාලයක් බලාසිටීමට සිදුවුයේ අන්තර්ජාලයේ වේගය එතරම්ම පහත වැටී තිබුණු බැවිනි. රාත්‍රී 11 ට පමණ බලද්දීද කිසිදු වෙනසක් නොවුයෙන් ඒ වෙලාවේදීම පැමිණිලි කලෙමි. සුපුරුදු පරිදි කලින් පුහුණුකර ඇති තාක්ෂණික හා කාර්යාලයීය ශබ්දකෝෂයේ වචන වලින් පිළිතුරු ලද අතර පැමිණිල්ලේ යොමු අංකයද ලැබුණි. දැනට විනාඩි 45 කට පමණ පෙර (2012 අප්‍රේල් මස 22 වැනිදා රාත්‍රී 9.40) මා කල පැමිණිල්ල වෙනුවෙන් ගත ක්‍රියාමාර්ගය විමසීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් නව කෙටි අංකය වන 1212 ඇමතුවෙමි. යටිකයට කිසිවක් නොඇඳ, අයිස් කැටයක් මත වාඩිවී සිටින අවස්ථාවකදී, තරුණියක් කතාකරන ලීලාවෙන් පටිගත කල, මග පෙන්වීමේ පණිවිඩය අවසානයේදී තාක්ෂණික නිලධාරියකු සම්බන්ධ කරගැනීමේ භාග්‍යය (භාග්‍යය?) උදාවිය.

ඔහු මුලින්ම කතාකලේ මාගේ පැමිණිල්ල ගැන අන්දොසන්සාරයක් නොදන්නා ආකාරයටය. මම ‘කොම්පියුටර් ඛාන්’ කෙනෙකු බවත්, ඒ නිසා මට ‘මොත්තය’ දැමීමෙන් පලක් නොවන බවත්, ඉතා කල්පනාවෙන් තෝරාගත් වචන වලින් ඔහුට පැහැදිලි කර දුන් අතර, මගේ ඇමතුම සම්බන්ධ සියලු තොරතුරු ඔහුගේ පරිගණක තිරයේ දිස්වන බවත්, ඊට කලින් කල පැමිණිල්ලේ විස්තර ක්ෂණයකින් ඔහුට ඒ තිරයේම දැකගත හැකි බවත්, මේ දුරකථන සංවාදය පටිගතවන බව මා දන්නා බවත්, වැඩි දුරටත් ප්‍රකාශ කලෙමි. ඉන්පසු මා විමසුවේ මගේ කලින් පැමිණිල්ල සබැඳිව ගත් ක්‍රියාමාර්ගයයි. එයට ලද පිළිතුර වුයේ මගේ ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයට එය වාර්තා කර ඇති බවයි. යක්ෂ සේනාධිපතියා මා හිසට වඩිද්දී, එය වළක්වාගෙන, තරමක් තද ස්වරයෙන් මා ප්‍රකාශ කලේ, ඔහු සමග වාද කිරීමෙන් පලක් නොවන බවත්, මෙසේ සබඳතා වේගය අඩුවීමට හේතු දක්වනලෙසත්, නැතහොත් මේ පටිගතවන සංවාදය ප්‍රධාන විධායක නිලධාරියාට අසන්නට සලස්වන ලෙසත්ය. තවද, මා ලබාගෙන සිටින වර්ගයේ පැකේජය ලබාගෙන සිටින සියලුදෙනාටම මේ ඉරණම අත්වීමට හේතුව කුමක්ද යන්නත්, එසේ සබඳතා වේගය අඩුකර ඇතිබව අන්තර්ජාලයේම පලවී ඇතිබව ඔහු දන්නේද යන්නත් විමසුවෙමි.

බලලා මල්ලෙන් එලියට පැන්නේ ඒ මොහොතේදීය. හෝම් අන්ලිමිටඩ් පැකේජය ලබාගෙන සිටින සියලු දෙනාගේම වේගය, බාගත කරගැනීමේ දත්ත ප්‍රමාණය ගිගා බයිට් 20 – 25 ඉක්මවුපසු, වේගය 64 kbps දක්වා අඩු කරන බවත්, නැවත එය නියමිත වේගය වන 512 kbps තත්වයට පත්වන්නේ, ඊළඟ බිල්පත් සැකසීමේ දිනයේ සිට බවත්, ඔහු ප්‍රකාශ කළේය. කොහොමද ටෙලිකොම් මොලේ? ඉන්පසු මා විමසුවේ, මෙය ඉතා බරපතල ලෙස, අදාළ අන්තර්ජාල සබඳතාවය පිලිබඳ ගිවිසුම උල්ලංඝනය කිරීමක් නොවන්නේද යන්නත්, මේ සබැඳිව නීති මගින් ක්‍රියා කිරීමට පාරිභෝගිකයාට අයිතියක් ඇති බව නොදන්නේද යන්නත්ය. ‘සර් ඒ ගැනනම් මට මොකුත් කියන්න බැහැ, මෙන්න මේ අංකයෙන් කාර්යාලයීය වේලාවන් තුලදී අපේ සී.ආර්.ඕ. ට කතා කරන්න’ කියා ඔහු, 0112348002 යන අංකය ලබා දුන්නේය. අදාළ නිලධාරියාගේ නම ‘චින්තක’ බවද ඔහු කීවේය. (චින්තක වේවා, ‘චිතක’ වේවා, ‘ජින් තක’ වේවා අපට කමක් නැත. අපට අවශ්‍ය අන්තර්ජාල සබඳතා ගිවිසුමේ ප්‍රකාර වේගයයි)දැන් අපි කුමක් කරමුද? නීතිය සෑහෙන තරම් වල් වැදී ඇතිබව රට දෙස බලද්දී පෙනෙයි. මෙතනත් මොකක් හෝ නීති සූත්තරයකින්, තම ගඳ ගහන කුණු ප්‍රතිපත්ති නමැති නිරුවත වසා ගැනීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් උත්සාහයක් දරා ඇතිබව පෙනෙයි. නමුත් ඒ නිරුවතේ විශාලත්වය, අර පුංචි සූත්තර කෑල්ලෙන් වැසීමට නොහැකි තරම් බව, ඔවුන්ට නොපෙනෙයි. නැතහොත් නොපෙනුනාසේ සිටියි. ඒ නිරුවතේ කුණු ගඳ අන්තර්ජාලය පුරා හමන බව නොසිතයි. නැතහොත් එසේ සිතන්නට තරම් හරිහමන් ජන්ම ලක්ෂණ ඔවුන්තුල නැති බවකුයි පෙනෙන්නේ. මුන්ට කොටන්ඩ ගොන් කවඩි වත් නැති හැටි.

මේ සබැඳුම් දෙකටත් අවධානය යොමු කරන්න.

http://shevanthanotebook.blogspot.com/2011/12/slt-broadband-online-petition.html

http://www.hackrish.blogspot.com/2012/01/blog-post.html

 

නිලධාරියාගේ තෙල් සාත්තුව

2012 අප්‍රේල් 20

මේ කියන්න යන්නේ ඇත්තටම සිදුවූ හාස්‍යය මෙන්ම කණගාටුවත් මුසුවූ සිදුවීම් දෙකක්. මේ කතා දෙකේම කතා නායකයා වන්නේ අද ජීවතුන් අතර නැති මේජර් වරයෙක්. ඔහු මියගියේ කිසියම් රෝගී තත්වයක් උත්සන්න වීමෙන්. මේ නිලධාරියා අඩි 6 කට මඳක් වැඩි උසකින් යුත් කඩවසම් පෙනුමකින්ද යුත් දක්ෂ නිලධාරියෙක්. ඔහු ඉතා නීතිගරුකයි.

මම ලුතිතන් නිලයේ සිටියදී, මෙම නිලධාරියා එවකට සේවය කරමින් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ කඳවුරකට යන්නට සිදුවුනා, සෙබළුන්ට වැටුප් ගෙවීමට. දවස පුරාම ඒ ප්‍රදේශයට ඈතින් පිහිටි කඳවුරු වල වැටුප් රාජකාරියේ යෙදුනු මා, මගේ ආරක්ෂක භටයන්ද සමග, මේ කඳවුරට එනවිට රාත්‍රී හත පසුවී තිබුනා. මේ නිලධාරියා එදින වැටුප් ලබන ඔහුගේ සෙබළුන් කීප දෙනෙකුව නිවාඩු යැවීමට තිබුනා. මගේ ප්‍රමාදය මට වලක්වාගත නොහැකිවූවක් කියා ඔහු දැන සිටියත්, ඔහුගේ සෙබළුන්ට ඒ භීෂණකාරී සමයේ රාත්‍රියේ නිවාඩු යාමට නොහැකිවීම පිළිබඳව වේදනාවටපත් ඔහු, පසුදා පහන්වනතුරු මට මගේ වාහනයේම ඉන්නට කිව්වා. රාත්‍රී 12 ට පමණ ඔහු පැමිණ ‘දැන් වරෙන් ඇතුලට’ කිව්වා. ඔහු ඒ තරම් තම සෙබළුන්ට ආදරෙයි.

 පළමුවැනි කතාව මේකයි. සෙබළකු සටනේදී මියයාම දරාගත නොහැකි වේදනාවක්. නමුත් නිලධාරීන් ලෙස අපි ඒ වේදනාව පිටකලොත්, අනෙක් සෙබළුන්ද අධෛර්යයට පත්වෙනවා. ඒ නිසා ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කලයුතු වෙනවා. සමහ ඈත ගම්වල පදිංචි සෙබළකුගේ දේහය ඔහුගේ නිවසට ගෙනගියවිය එම දේහය තැබීමට එහි ඉඩකඩ නැහැ. එය බොහෝවිට පුංචි පොල් අතු පැලක්. එවැනි වෙලාවට ගමේ ලඟම ඥාතියකුගේ නිවෙසක් සෙව්වත් ඒ සියලුම නිවෙස් ඒ වගේ. බොහෝවිට පිහිටට එන්නේ ඒ ගමේ පන්සලේ බණ මඩුව හෝ ඒ සෙබලා අධ්‍යාපනය ලැබූ පාසලේ ශාලාවයි. ඉතින් මේ නිලධාරියාට සිදුවුනා, වරක් එවැනි අති දුෂ්කර ගමකට, සෙබළකුගේ දේහය ගෙන යන්නට. දේහය මේ නිලධාරියා වෙත ලැබුනේද බොහෝ ප්‍රමාද වී. නමුත් ඔහු සිතුවා කෙසේ හෝ දේහය ඔහුගේ පවුනේ අයට බාරදෙන්නට. පැවති අධික වර්ෂාවද නොතකා, ඔහු දේහය රැගෙන ඒ දුෂ්කර ගම්මානය බලා පිටත්වුනා. ඔහු සිතුවාට වඩා ගමන දුෂ්කර වුනා. ඒ ගමට යන්නට තිමෙන්නේ කුඩා අඩිපාරක්. ඊට මෙහා කිසිදු ජනාවාසයක් නැහැ. දේහය බහා ලු පෙට්ටිය කරෙන්ම ගෙනයායුතුයි. නමුත් ඔහුට ශක්තිමත් සෙබළුන් පිරිසක් සිටි නිසා වැස්සේම දේහය රැගෙන පිටත්වුනා. ඔවුන් අතේ තිබුනේ වාහනයේ හමුදා රියදුරුගේ විදුලි පන්දම පමණයි. ඉතා අවාසනාවන්ත ලෙස අතරමගදී එහි බැටරි බැස ගියා. දැන් කලුවරේම මේ පිරිස දේහය රැගෙන යනවා. වරින් වර කොටන විදුලි එළියෙන් පාර පෙනෙනවා යාන්තමට. ඔහොම යද්දී පෙට්ටිය කර තබාගෙන ගිය එක සෙබළකුගේ පය පැකිලී ඔහු බිම වැටුනා. එහි අවාසනාවන්ත ප්‍රතිපලය වුනේ, සමබරතාව ගිලිහීමෙන් පෙට්ටිය බිම වැටීමයි. පෙට්ටියේ පියනට ඇන ගසා නොතිබුන නිසා දේහය පෙට්ටියෙන් එලියට වැටුනා. පිරිස කළුවරේ අතපතගාමින් දේහය යලිත් පෙට්ටියට දමාගෙන මියගිය සෙබලාගේ නිවසට යද්දී රාත්‍රී 12 ට ආසන්නව තිබුනා. ඒ නිවසේද තිබුනේ කුඩා ඉඩකඩක්. පිරිස දේහය තැන්පත් කර විවෘත කිරීමට සූදානම් වනතුරු නිවසේ සහ ගමේ පිරිස සිටියේ ඉතා නොඉවසිල්ලෙන් දේහය දැකබලා ගන්නට. පෙට්ටිය විවෘත කල අපේ පිරිස දුටුවේ කුමක්ද? . . . . . . . . . . .මුනින් අතට තැන්පත් කර ඇති දේහයයි. පෙට්ටියෙන් වැටුණු දේහය, කළුවරේ තැන්පත් කිරීමේදී තමයි එය සිදුවී තිබෙන්නේ. මියගිය සෙබලාගේ බිරිඳ පෙට්ටිය වෙත එනු අපේ නිලධාරියා ඇස් කොනින් දුටුවා. ‘ හා. . හා. . . එන්න එපා, අපේ චාරිත්‍ර තව ඉවර නැහැ’ කියූ අපේ නිලධාරියා දේහය නිසි පරිදි සකසා දේහයේ ගෑවී තිබුණු මඩ ද පිසදමා ‘චාරිත්‍ර’ අවසන් කළා.

 මේ දෙවැනි කතාවත් ඒ නිලධාරියා ගැනමයි. මේ නිලධාරියාගේ කඳවුරේ ආපන ශාලාව භාරව සිටි කෝප්‍රල් වරයා නිවාඩු ගොස් නැවත සේවයට වාර්තා නොකර සිරියා. කරුණු සොයා බැලීමේදී ආපනශාලාවේ මුදල් රුපියල් දහස් ගණනක අක්‍රමිකතාවක් තිබෙන බවද හෙළිවුණා. මේ පිළිබඳව අණදෙන නිලධාරි වෙත වාර්තා වුනොත් මේ අක්‍රමිකතාවයේ විපාක මේ නිලධාරියාටද විඳින්නට සිදුවෙනවා. ඒ නිසා නිලධාරියා තීරණය කළා තම කීර්තිනාමය බේරාගනිමින් අර කෝප්‍රල් වරයා අත්අඩංගුවට ගෙන විනය ක්‍රියාමාර්ග ගන්නට. ඔහු භට පිරිසක්ද සමග කෝප්‍රල් සොයා ගියා. එය ඈත ප්‍රදේශයක ගමක්. හමුදා පිරිස කෝප්‍රල් ගේ නිවස සොයමින්, ගැමියන්ගෙන් විමසමින් යනවිට, කෝප්‍රල් ඔහුගේ නිවසේ සිටියා. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ඔහු කිසියම් උමතු රෝගයකින් පෙලෙන බව ඔහුගේ බිරිඳගෙන් දැනගන්නට ලැබුනා. කෝප්‍රල් විකාර කියවනවා. හූ කියනවා, ලේ බොන්න ඉල්ලනවා, දුවන්න හදනවා. හරිම භයානකයි. අපේ නිලධාරියා ‘යකෙකුටවත් බය නැති’ ‘ලේසියෙන් තම්බන්නට බැරි’ වර්ගයේ කෙනෙක්. ඔහු තමන්ගේ බඩීට කිව්වා, ‘අපිට මෙයාට දෙන්න බිස්කට් පැකට් එකක්වත් ගේන්න බැරිවුනානේ, ඔයා ගිහින් අර අපි එනකොට පාර අහපු කඩෙන් මොනවාහරි අරන් එන්න’ කියා. ඒ සමගම බඩීගේ කණට කොඳුරා තවත් මොනවද කිව්වා. බඩී කඩයට ගොස් බිස්කට් පැකට් එකක් රැගෙනවිත් නිලධාරියා අතටදී ඔහුගේ කණට කොඳුරා යමක් කිව්වා. නිලධාරියා දැන් අර කෝප්‍රල්ගේ බිරිඳගෙන් උමතු රෝගයේ විස්තර අහනවා. ‘අනේ මහත්තයෝ පහුගිය කාලෙම මෙයාට බෙහෙත් කළා, ඒකයි වැඩට යන්න බැරි වුනේ මහත්තයෝ, මෙයා හිටපුගමන් පැනලා බෙල්ල මිරිකන්න එනවා. ඒ නිසා ලඟට නම් යන්න එපා, මොනවා කරයිද දන්නේ නැහැ’ කෝප්‍රල්ගේ බිරිඳ කිව්වා. ‘මමත් මාතර පැත්තේ හොඳ යන්තර මන්තර ගුරුකම් පරම්පරාවකින් එන්නේ. ඉතින් මටත් පුළුං පොඩි තෙල් සාත්තුවක් කරලා බලන්න. මොකද කියන්නේ? කියා නිලධාරියා කෝප්‍රල්ගේ බිරිඳගෙන් ඇහුවා. ඇය අරළු බීපු ගොළුවකු මෙන් ටිකක් වෙලා කල්පනා කර ‘හා කමක් නැහැ මහත්තයෝ’ කිව්වා.

නිලධාරියා වහාම ගෙන්වා ගත්තා මල් පස් වර්ගයක්. තෙල් පස් වර්ගයක්, තව අඩුවැඩිය සියල්ලම. කෝප්‍රල්ගේ ගෙදරින් තමයි වියදම. මොනවා කරන්නද. ඔක්කොම දේවල් ලැස්ති කරගෙන නිලධාරියා කෝප්‍රල්ව කාමරයක් ඇතුලට ගත්තේ බොහොම වදෙන් පොරෙන්, තවත් සෙබළු තුන්දෙනෙකුගේ උදව්වෙන්. කාමරයට අර සෙබළුන් තිදෙනා හැර වෙන කාටවත් ඒම තහනම් කල අපේ නිලධාරියා මහා හඬින් මන්තර කියමින් තෙල් සාත්තුව පටන්ගත්තා. විනාඩි පහකට දහයකට වඩා ගියේ නැහැ කෝප්‍රල්ගේ පිස්සුව හොඳ වුනා. අපේ නිලධාරියා එක්ක ආපසු කඳවුරට යන්නට කැමති වුනා. කොහොමද නිලධාරියාගේ ගුරුකම් වල බලය. ඇත්තටම නිලධාරියා කල ‘ගුරුකම’ මෙයයි. ඔහු බඩීට කීවේ කඩයට ගොස් කෝප්‍රල් ගැන තොරතුරු සොයා බලන්නයි. කඩෙන් කියලා තියෙන්නේ කෝප්‍රල් වෙළඳාමක් පටන් ගැනීම සඳහා කුඩා මෝටර් බයිසිකලයක් සොයන බවත් එදින උදේද කඩයට පැමිණ ඒ ගැන කතාකරමින් සිට ගිය බවත්. ඔහුට පසුගිය කාලයේ කිසිම අසනීපයක් නොතිබුණු බවත් බඩී තහවුරු කරගත්තා. නිලධාරියා ක්ෂණිකව තේරුම් ගත්තා මෝටර් බයිසිකලයක් ගන්නට යන්නේ ආපන ශාලාවෙන් හොරකම් කල මුදල් වලින් බව. ඉතින් ඔහු අර ‘තෙල් සාත්තුව’ දුන්නා. මෙහෙමයි දුන්නේ. තෙල් සාත්තුව යන අතරතුර නිලධාරියා කොප්‍රල්ට කණට කොඳුරලා කිව්වා ‘උඹ දාන පොත මම දන්නේ නැහැ කියලා හිතුවද? උඹේ ලුණු ගොරකා මදි මාව තම්බන්න. දැන් උඹේ ගෑනිම කිව්වනේ, උඹ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකනවා කියලා පිස්සුවෙන්. දැන් වෙන්නේ මේකයි. උඹ මගේ බෙල්ල මිරිකන්න පැන්නා, උඹ මාව මරයි කියන බයට මගේ බඩී උඹට ගැහුවා අර පෙනෙන දොර පොල්ලෙන්, උඹ මැරුණා. ඔන්න ඕකයි වෙන්න යන්නේ. මොකද කියන්නේ මාත් එක්ක දැන්ම ආපහු කෑම්ප් එකට යනවද නැත්නම් ‘වැලිගම්පිටි’ යනවද’ කියා. එවිට තමයි කෝප්‍රල්ගේ පිස්සුව හොඳ වුනේ. කෝප්‍රල් දැක තිබෙනවා ඈත සිට එන හමුදා පිරිස. ඔවුන් එන්නේ කුමකටදැයි ඔහු දන්නවා. ඒ නිසයි ඔහු තම බිරිඳ සහාය නිළිය කරගෙන ‘පිස්සු නාට්‍යය’ පෙන්නුවේ.

අපේ කාලයේ තුවක්කු 4 ඉතිරි කොටස

2012 අප්‍රේල් 18

.303 සුළු යාන්ත්‍රික තුවක්කුව පිළිබඳව ඔබ ලබාගත් මූලික දැනුම සහ විවිධ ප්‍රශ්න විමසීමෙන් තහවුරු කරගත් දැනුමත් උපයෝගී කරගනිමින් අපි කොටස් වලට ගැලවූ තුවක්කුව යලි සවිකර වෙඩි තියන්නටයි දැන් සූදානම් වෙන්නේ. මේ තුවක්කුවට කියන නමෙහි කිසියම් පරිවර්තන දෝෂයකුත් තියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Light Machine Gun කියන නම සුළු යාන්ත්‍රික තුවක්කුව කියා තමයි මුල් අවධියේදී පරිවර්තනය වී තිබෙන්නේ. නිවැරදි නම විය යුත්තේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව යන්නයි. හරියට අර ‘සිඟර් singer’ මහන මැෂිමේ නම’ සිංගර්’ කියා ලිව්වා වගේ තමයි.

හොඳයි එහෙනම් දැන් තුවක්කුව ආපහු සවි කරමු නේද? මතකද අන්තිමට ගැලවූ කොටස? එතනින් තමයි පටන්ගන්නේ. මුලින්ම තුවක්කුව ගැලවීමට දනගසාගත් ආකාරයටම දන ගසා ගන්න. අපි අන්තිමට ගැලෙව්වේ පිස්ටන් එක. හොඳයි දැන් පිස්ටන් එක බොඩි ග්රූප් එක ඇතුලට යවන්න. දෙපැත්තේ පීලි දෙකක් වගේ ග්රූව්ස් දෙකක් තියනවා. ඒ දිගේ පසුපසට යවන්න. ‘චක්ස්’ හඬකින් එය සවිවෙනවා ඇහෙයි. ඊළඟට බයිපොඩ් ග්රූප් එක අරගෙන බොඩි ග්රූප් එක ඉදිරිපසින් සවිකරන්න. නියමිත ස්ථානයට ආවම එය හිරවී නවතිනවා. දැන් බයිපොඩ් එක දිගාරින්න. බයිපොඩ් එක පොළොවට තබා බොඩි ග්රූප් එක වම් අතින් අල්ලාගෙන බට් ග්රූප් එක අතට ගන්න. එහි දෙපැත්තේ පීලි වැනි ග්රූව්ස් දෙකක් තිබෙනවා. ඒ දෙක බොඩි ග්රූප් එකේ ඇති එවැනිම ග්රූව්ස් දෙක සමග සමපාතව තබා සෙමෙන් ඉදිරියට තල්ලු කරන්න. සම්පූර්ණයෙන් ඉදිරියට ගියවිට ඒ කොටස් දෙකඩ ‘චක්ස්’ ශබ්දයෙන් සවි වෙනවා. දැන්, එලියට ඇදී තිබෙන බොඩි ලොකින් පින් එක බුලට් එකකින් තද කරන්න දකුණු පැත්තට. බැරල් එක අතට ගන්න. එය බොඩි ග්රූප් එකේ ඉදිරිපස කොනට තබා පසුපසට තදකර ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට විරුද්ධ දිශාවට බැරල් නට් කැච් එක කරකවන්න. බැරල් එක හොඳින් ලොක් වනතුරු කරකවන්න. හරියට සවි වුනානම් ෆොසයිට් එකත් රියර් සයිට් එකත් එකම තලයක පිහිටනවා. දැන් තුවක්කුව පතරොම් නොදමා කොක් කර ට්‍රිගරය මිරිකා බලන්න. ප්‍රශ්නයක් නැතිව පිස්ටනය වැඩ කරන්නේනම් තුවක්කුව නිවැරදිව සවිවී ඇත. එසේ නොවුනොත් මුළු තුවක්කුවම නැවත ගලවා සවි කලයුතුයි.

  හොඳයි, දැන් අපි සූදානම් වෙන්නේ තුවක්කුවෙන් වෙඩි තැබීමටයි. මුලින්ම අපි මැගසින් එකකටවත් පතරොම් පුරවාගතයුතුයි. හිස් මැගසින් එක පෙනෙනවා නේද? එහි කට පැත්තේ මතුපිට කොටසට කියන්නේ ප්ලැට්ෆෝම් එක කියලයි. තුවක්කුව ගැලවීමට දණ ගසාගත් ආකාරයටම දණ ගසාගෙන, මැගසින් එකේ ප්ලැට්ෆෝම් එක උඩට සිටිනසේ, එහි කට පැත්ත උඩට හරවාගන්න. ඔබ මැගසින් එක අල්ලාගත යුත්තේ ඔබේ වම් අතින්. මැගසින් එකේ වක්‍රයේ කුඩා පැත්ත ඔබේ සිරුර පැත්තටත්, වක්‍රයේ විශාල පැත්ත සිරුරට විරුද්ධ පැත්තටත් සිටිනනසේ. ඔබේ වම් අතේ මහපට ඇඟිල්ල මැගසින් එකේ කුඩා වක්‍රය පැත්තෙනුත් ඉතිරි ඇඟිලි හතර විශාල පැත්තෙනුත් සිටිනසේ අල්ලාගන්න.

දැන් පතරොම් පහක් හයක් පමණ ඔබේ දකුණු අතේ මිටට ගන්න. එම පතරොම් වල බුලට් පැත්ත ඔබේ සිරුර පැත්තට සිටිනසේ අල්ලගන්න.බයවෙන්න එපා, මැගසිනයට පතරොම් පුරවද්දී, ඒවා ප්ලැට්ෆෝම් එකට තදවුනාට පුපුරන්නේ නැහැ. දැන් ඔබ දැනගසාගෙන සිටින කකුලේ කලව මත, මැගසින් එකේ කට පැත්තට විරුද්ධ පැත්ත තබා, කට පැත්තට ඉතාම ආසන්නයෙන්, වම් අතින්, පෙර කියාදුන් පරිදි මැගසින් එක අල්ලා ගන්න. දකුණු අතේ ඇති එක පතරොමක්, ප්ලැට්ෆෝම් එක මත තබා, දකුණු අතේ මහපට ඇඟිල්ලෙන්, යටට තද කරන අතර වම් අතේ මහපට ඇඟිල්ලෙන් එය ඉදිරියට තල්ලු කරන්න. මෙය හරියට ඉගෙන ගත්තාම යන්ත්‍රයක් මෙන් වේගයෙන් පතරොම් පිරවීම කල හැකියි. රාත්‍රී කාලයේදී මෙය තනියම කිරීමට දක්ෂතාවය ඇතිකිරීම සඳහා, සොල්දාදුවන්ගේ ඇස් බැඳ මෙය කරවනවා. ඔවුන් අති දක්ෂ ලෙස එය කරනවා. ටී 56 මැගසිනය පුරවන්නෙත් මේ ආකාරයටමයි.

පතරොම් පිරවූ පසු මැගසිනය පෙනෙන හැටි දැක්කනේ? දැන් අපි මැගසිනය තුවක්කුවට සවි කල යුතුයි. ඊට පෙර සේෆ්ට්ය් ලිවරය ‘එස්’ තැනට දමන්න. දැන් තුවක්කුවට පසුපසින් බිම දිගාවී පුරවාගත් මැගසිනය වම් අතට ගෙන දකුණු අතින් මැගසින් ඕපනින් කවර් එක අරින්න. එය කරන්නේ එම තහඩු කොටස බැරල් එක දෙසට තල්ලු කිරීමෙන්. දැන් මැගසිනය මැගසින් විවරයට තබා තද කලයුතුයි. එවිට ‘ක්ලික්’ හඬින් එය සවිවනවා. සොලවා බලන්න හරිද කියා.  හැබැයි මතක තියාගෙන හොඳින් බලන්න මැගසිනයේ කුඩා වක්‍ර පැත්ත බැරල් එක දෙසට සිටිනසේ තිබිය යුතුයි. නැත්නම් මැගසිනය සවි වන්නේ නැහැ.

  දැන් අපි පතරොම් පිරවූ මැගසිනය තුවක්කුවට සවිකර අවසන්. මීළඟට කලයුත්තේ වෙඩි තැබීමේ දුර සකසා ගැනීමයි. කවදාවත් ඔහේ නිකම් වෙඩි තියන්නේ නැහැ. තුවක්කුව පරීක්ෂා කිරීමට වෙඩි තැබුවත් කිසියම් ඉලක්කයක් තිබිය යුතුයි. අපි හිතමු අපි වෙඩි තියන්නේ යාර 200 ක් ඈත තිබෙන ඉලක්කයකට කියා. ඔබට පෙනෙනවා අති කොහොමද බැක් සයිට් ඩ්‍රම් එක කරකවා සකස් කරගන්නේ කියා. දුර යාර 200 නම් 2 ඉලක්කමටත් 300 නම් 3 ඉලක්කමටත් ආදී වශයෙන් යාර 1200 දක්වා සකස් කල හැකියි.

  දුර සකස් කර ගැනීමෙන් පසුව පමණයි සේෆ්ටි ලිවරයට අත තබන්නේ. ආරක්ෂාව ගැන සොල්දාදුවකු එතරම්ම සැලකිලිමත් වියයුතුයි. දැන් අපි තීරණය කල යුතුයි අපි වෙඩි තියන්නේ කුමන ක්‍රමයටද කියා. තනි උණ්ඩ ලෙස වෙඩි තබනවානම් අපි සේෆ්ටි ලිවරය ‘ආර්’ ස්ථානයට යොමු කල යුතුයි. බර්ස්ට් (burst) හෙවත් ස්වයන්ක්‍රීයව පොකුරු උණ්ඩ වෙඩි තබනවානම් ‘ඒ’ ස්ථානයට සේෆ්ටි ලිවරය යොමු කල යුතුයි. මතක තබාගන්න. ‘ඒ’ ස්ථානයට දමා වෙඩි තියනවනම් වෘෂභ රාජයකුසේ දිගටම ට්‍රිගරය තද කරගෙන නොසිටිය යුතුයි. එයින් සිදුවන්නේ මුළු මැගසිනයම තත්පර ගණනකින් අවසන්වීම පමණයි. ට්‍රිගරය මිරිකීම පාලනයක් ඇතිව කිරීමෙන් වරකට උණ්ඩ එකක්, දෙකක්, තුනක්, කීපයක්, වෙඩි තැබීමට තරම් දක්ෂයකු වීමට පුළුවන්.

දුර සැකසු වහාම කලයුතු ක්‍රියාව වන්නේ කොකින් හැන්ඩ්ල් එක, එක වරම වේගයෙන් පසුපසට ඇද ඉදිරියට තල්ලු කිරීමයි. හෙවත් තුවක්කුව ‘කොක්’ කිරීමයි.එවිට තමා මැගසිනයේ ඇති පළමුවැනි පතරොම තුවක්කුවේ චෙම්බරයට ඇතුළු වෙන්නේ.

 දැන් තුවක්කුව වෙඩි තැබීමේ ඉරියව්වට ගත යුතුයි. මා මුලින්ම ඔබට පෙන්වන්නේ බිම දිගාවී වෙඩි තැබීමේ ඉරියව්වයි. ඉන්පසු වෙනත් ඉරියව් දක්වනවා.

  ඉලක්කය ගැනීමේදී පහත දැක්වෙන කරුණු සම්පූර්ණ විය යුතුයි. තමන්ගේ ඉලක්කය දෙස බලන ඇස, බැක් සයිට් එකේ සිදුර, ෆෝසයිට් එකේ මැද තිබෙන ෆෝසයිට් බ්ලේඩ් එක, ඉලක්කය, එකම සරල රේඛාවක පිහිටිය යුතුයි.

වෙඩි තැබීමෙන් පසු කලයුතු ක්‍රියාව වන්නේ ඉලක්කයට වැදුනේද යන්න නිරීක්ෂණය කිරීමයි. ඉන්පසු තමන්ගේ ඉරියව්ව සහ තුවක්කුවේ පිහිටීම සීරු මාරු කර ගැනීමෙන් ඉලක්කයට වෙඩි තැබීම සාර්ථක කරගත හැකියි.

ඔබ දැනගත යුත්තේ තවත් එක කරුණක් පමණයි. ඒ තමයි මේ තුවක්කුවේ ක්‍රියාකාරිත්වය. මේ තුවක්කුව ගෑස් ඔපරේටඩ් Gas Operated නමැති වර්ගයටයි අයිතිවන්නේ. එහිදී සිදුවන්නේ පත්තුවෙන පතරොමෙන් තුවක්කු බැරලය තුල ඇතිකරන අධික වායු පීඩනය මගින් තුවක්කුවේ පිස්ටනය ක්‍රියා කරවා එමගින් ඊළඟ පතරොම චෙම්බරය තුලට යැවීමයි.

 

 

 

 

 

 

 

 

 

මේ රූප සටහන අධ්‍යයනය කිරීමෙන් ඔබට තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පිලිබඳ අවබෝධයක් ලැබෙනු ඇති.

ඔබට බොහොම ස්තුතියි ඉවසීමෙන් හා අවබෝධයෙන් යුතුව මේ තුවක්කුව පිලිබඳ කරුණු අධ්‍යයනය කිරීම පිළිබඳව.

තවත් තුවක්කුවකුත් රැගෙන නැවත ඔබ හමුවීමට එන්නම්.

අපේ කාලයේ තුවක්කු 4

2012 අප්‍රේල් 15

 මේ ලිපියෙන් මා ඔබට හඳුන්වා දෙන්නේ, අද ලෝකයේ කොහෙවත් භාවිත නොකරන, එහෙත් කලක් ලොව හෙල්ලූ මැෂින් තුවක්කුවක් වන, .303 සුළු යාන්ත්‍රික තුවක්කුවයි. (.303 Light Machine Gun) මේ තුවක්කුව ‘බ්‍රෙන් ගන්’ (Bren Gun) කියාත් හඳුන්වනවා. මා දන්නා තරමින් ශ්‍රී ලංකා යුද හමුදාව අවසාන වරට මෙය පාවිච්චි කලේ 1971 කැරැල්ල අවධියේදීයි. සමහරවිට එල්.ටී.ටී.ඊ. යුද්ධය ආරම්භක අවධියේ පාවිච්චි කරන්නට ඇති. දැන්නම් මෙය කෞතුක වස්තුවක් හැටියට සැලකිය හැකියි. ඔබට මතකද මීට කලින් මා ඔබට හඳුන්වා දුන් .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය. මේ මැෂින් තුවක්කුවේ කැලිබරයත් .303 ම තමයි. ඒ නිසා .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයට යොදන පතරොම් මේ මැෂින් තුවක්කුවටත් හරි යනවා. .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය වරකට එක වෙඩිල්ලක් පමණක් තැබිය හැකි අවියක්, නමුත් මෙය මැෂින් තුවක්කුවක් නිසා, නොකඩවා වෙඩි වැලක් තැබිය හැකියි. මැෂින් තුවක්කු වලින් වෙඩි තැබීමේදී කොකා හෙවත් ට්‍රිගරය මිරිකන (ගස්සන නොවේ. කොකා ගැස්සුවොත් තුවක්කුව සෙලවී ඉලක්කය වරදිනවා) විට එක වෙඩිල්ලක් හෝ නොකඩවා වෙඩි වැලක් හෝ සමහර තුවක්කු වල වෙඩි තුන බැගින් හෝ පිටවීමට සකසා තිබෙනවා. ඒ නිසා ට්‍රිගරය මිරිකාගෙන සිටියොත් මැගසිනයේ ඇති පතරොම් සියල්ල එක දිගට පත්තුවී අවසන් වෙනවා. මේ නිසා මේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පුහුණු කිරීමේදී ඉතා හොඳින් ට්‍රිගරය මිරිකීම පාලනය කිරීමෙන් වරකට වෙඩි එකක් දෙකක් පිටවන ආකාරයට වෙඩි තැබිය හැකියි.

තව දුරටත් කරුණු විස්තර කිරීමට පෙර මම කැමතියි මේ තුවක්කුවේ ප්‍රධාන තොරතුරු ඉදිරිපත් කරන්නට. එමගින් ඔබට මේ තුවක්කුව කොතරම් සේවයක් කරතිබේද යන්නත් පැහැදිලිවනු ඇති. මුලින්ම කිවයුතුයි මේ තුවක්කුවේ ‘බ්‍රෙන්’ යන නම චෙකොස්ලොවේකියාවේ Brno නමැති නගරය හඳුන්වන නමෙන් ඉංග්‍රීසි භාෂාවට බිඳී ආ නමක් බව. චෙකොස්ලොවේකියාවේ 1920 දශකයේ නිපදවන ලද ZB Vz. 26 නමැති මැෂින් තුවක්කුවේ වැඩි දියුණු කල මෝස්තරයක් තමයි බ්‍රෙන් තුවක්කුව. මේ තුවක්කුව 1930 දශකයේදී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතයි. දෙවැනි ලෝක යුද්ධය ඇතුළු යුද්ධ ගණනාවකදී මෙය පාවිච්චිකර තිබෙනවා. 1960 දශකයේ අග භාගයේදී මෙය ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වුනත් 1982 ෆෝල්ක්ලන්ත යුද්ධයේදීත්, 1991 ගල්ෆ් යුද්ධයේදීත්, බ්‍රිතාන්‍ය හමුදා මෙය පාවිච්චිකර තිබෙනවා. එයින් පෙනෙනවා මෙය ප්‍රබල අවියක් බව.

සාමාන්‍යයෙන් මෙවැනි ආයුධ පමණක් නොව ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, ආදිය සම්බන්ධයෙනුත් සලකා බලන විට, එය මුලින්ම සොයාගත් රටේ නිපදවන මෝස්‌තර වලට වඩා ජනප්‍රිය වන්නේ, ඒ අනුසාරයෙන් වෙනත් රටක නිපදවෙන මෝස්තරයි. ලෝකයේ සෑම තැනම තත්වය එයයි. හොඳම උදාහරණයක් නම්, අපි කවුරුත් දන්නා ටී 56 රයිෆලයේ මුල්ම නිපැයුම වන්නේ, 1947 දී රුසියාවේ නිපදවූ ඒ.කේ. 47 රයිෆලයයි. නමුත් චීනය එය කොපිකර 1956 දී සෑදූ ටී 56 වඩාත් ජනප්‍රිය වුනා.

මීළඟට මම බ්‍රෙන් තුවක්කුවේ සියලු තොරතුරු සම්පිණ්ඩනයක් ඔබවෙත ගෙන එනවා.

වර්ගය :   සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු (Light Machine Gun)

මුල් නිෂ්පාදන : චෙකොස්ලෝවෙකියාව, මහා බ්‍රිතාන්‍යය

භාවිතයේ තිබුණු කාලය : 1938 සිට 1966 පමණ වනතුරු

භාවිත කරන ලද වැදගත් අවස්ථා : දෙවැනි ලෝක යුද්ධය, චීන සිවිල් යුද්ධය, 1948 ඊශ්‍රායල් යුද්ධය, ඉන්දු පාකිස්තාන් යුද්ධ, ඉන්දු චීන සටන්. ෆෝල්ක්ලන්ත යුද්ධය.

නිෂ්පාදනය ඇරඹීම : 1935 දී

නිෂ්පාදනය අත්හිටවීම : 1971 දී. බ්‍රිතාන්‍යය හැර පාකිස්තානය වැනි රටවලද නිපදවා ඇත.

මෝස්තර : මෝස්‌තර අංක I, II, III, IV, සහ L4

අවියේ බර : මෝස්‌තර අංක I සහ II රාත්තල් 22.83 (කිලෝග්රෑම් 10.35) මෝස්‌තර අංක III සහ IV රාත්තල් 21.6 (කිලෝග්රෑම් 9.75)

අවියේ දිග (මෝස්‌තර අංක III සහ IV) : අඟල් 42.9 (මිලිමීටර් 1156)

තුවක්කු බටයේ (බැරල්) දිග : අඟල් 25 (මිලිමීටර් 635)

ක්‍රියාකරවීම : දෙදෙනෙක් අවශ්‍යයි. (විස්තර පහලින් ඇත)

යොදන පතරොම් වර්ග : බ්‍රිතාන්‍ය මෝස්‌තර .303 පතරොම සහ 7.62 x 51 පතරොම

ක්‍රියාකාරිත්වය : පතරොමෙන් ඇතිකරන වායු පීඩනයෙන් (විස්තර පසුව)

වෙඩි තැබීමේ වේගය : විනාඩියකට පතරොම් 500 – 520 අතර

උණ්ඩයක ප්‍රවේගය : තත්පරයකට අඩි 2440 (මීටර් 743.7)

සඵල දුර (උණ්ඩයකින් ඉලක්කයක් සහතිකවම ලබාගතහැකි දුර) : යාර 600 (මීටර් 550)

උණ්ඩයක උපරිම දුර : යාර 1850

පතරොම් යෙදීම : පතරොම් 20 මැගසින් සහ පතරොම් 30 මැගසින්

දැන් අපි තුවක්කුවේ කොටස් හඳුනාගනිමු නේද.  මේ තුවක්කුව තරමක් සංකීර්ණ කොටස් වලින් යුක්ත නිසා මම ඔබට හඳුන්වා දෙන්නේ අත්‍යවශ්‍යම කොටස් පමණයි. ඊට කලින් මේ විස්තරයත් කියවා ඉන්න. සාමාන්‍යයෙන් යුද හමුදා භට ඛණ්ඩයක = platoon (අවම වශයෙන් සෙබළුන් 25 ක්) පේලි හෙවත් ‘පෙළ’ = section තුනක් තිබෙනවා. මේ පේළියක අණදෙන්නා වන්නේ කෝප්‍රල් වරයෙක් ඔහුගේ දෙවනියා තමයි ලාන්ස් කෝප්‍රල් (කාලතුවක්කු හමුදාවේදී කෝප්‍රල් ‘බොම්බඩියර්‘ ලෙසත් ලාන්ස් කෝප්‍රල් ‘ලාන්ස් බොම්බඩියර්’ ලෙසත් හඳුන්වනවා) (හරී අර ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා නේද දැන්?) ඉතින් මේ ලාන්ස් කෝප්‍රල් සහ තවත් එක සොල්දාදුවකු තමයි මේ තුවක්කුව ක්‍රියා කරවන්නේ. එය ‘එල්.එම්.ජී.ග්රූප්’ (Light Machine Gun Group)කියා හඳුන්වනවා. 1971 දී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉතා ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායමක් සාදා තිබුනා. එහි නම ‘එල්.එම්.ජීස්’ එය මහජනතාව අතර ජනප්‍රිය වුනා. එහිම විකාශයක් තමයි දැන් තිබෙන්නේ.

  මේ පින්තූර දුටු විටම ඔබට සිතෙනවා ඇති කොහොමද මෙච්චර කෑලි ගොඩක්

 මතකයේ තියා ගන්නේ කියලා. මේ තියෙන්නේ මූලික කොටස් පමණයි

ඉතින් කීප වතාවක් හොඳින් බලලා මතකයට ගන්න.

තුවක්කුව උස්සලා බලන්නකෝ බර එහෙම.

මම ඔය ඉහලින් පෙන්නලා තියෙන්නේ.

මම මේක උස්සගෙන ගියේ වයස අවුරුදු 16 දී. පාසල් ශිෂ්‍යයකු ලෙස.

ඒ නිසා ඔබට කියන්න බැහැ බර වැඩියි කියලා.

දන්නවනේ. . . . .  හරියට වැඩේ නොකලොත් මම ‘සාජන් රෝසා’ ට කියනවා.

මේ තුවක්කුවෙන් වෙඩි තැබීමට දෙදෙනෙකු අවශ්‍ය බව

 මා කිව්වා ඔබට මතක ඇති. එයට හේතුව මෙයයි.

 එක දිගටම වෙඩි තබාගෙන යනවිට, මේ තුවක්කුවේ බටය

හෙවත් බැරල් එක තදින් රත් වෙනවා. බැරල් එක ගලවා

අලුත් බැරල් එකක් ගැසිය යුතුයි. මේ තුවක්කුවකට බැරල් දෙකක් ලැබෙනවා.

 ඉතින් අර අනෙක් සොල්දාදුවා තමයි බැරල් මාරු කිරීම කරන්නේ.

 බිම දිගාවී වෙඩි තැබීමේදී වෙඩි තබන ලාන්ස් කෝප්‍රල්

බැරලය රත්වූ වහාම ‘බැරල් චේන්ජ්’ කියා දකුණු පැත්තට පෙරළෙනවා.

 මෙතෙක් වෙඩි තැබූ බැරලයත් ගලවාගෙන.

සගයා ඔහු අතේ තියන බැරලය සවි කරගෙන වෙඩි තියනවා.

 එතෙක් අනික් බැරලය නිවෙන අතර අලුත් මැගසින් ද සූදානම් කරගන්නවා.

දෙදෙනාම මේ ක්‍රියාව මාරුවෙන් මාරුවට කරනවා. ලේසි නෑ නේද වැඩේ.

කම්මැලි වෙන්න එපා. කම්මැලි වුනොත් නාවනවා දියතලාවේ සීතල ‘හලංගොඩ වැවේ’ බස්සලා.

 ලෝකේ යුද්ද කරන්නට තුවක්කු ඕනෑවේ

ලෝකේ වෙඩිල්ල තියන්න දෙදෙනෙකු ඕනෑවේ

එම් ජී . . . . . . . එම් ජී. . . . . (Machine Gun)

මට මතක් වෙනවා එක්තරා කතාවක්. ඇත්ත කතාවක්. 1971 කැරැල්ලට සම්බන්ධ වුනා ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව ලැබූ අය සෑහෙන ගණනක්. ඔවුන් අතට මේ වර්ගයේ තුවක්කු ලැබී තිබුනා කුමන ක්‍රමයකින් හෝ. හමුදා අත් අඩංගුවට පත්වූ ඒ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා, එක බැරල් එකක් විතරක් තියාගෙන කොහොමද වෙඩි තිබ්බේ කියා. ඔවුන් ලබාදුන් පිළිතුර තමයි බැරලය නොගලවා තෙත රෙදි කෑල්ලක් බැරලයේ වෙලීම හෝ උස තැනක ඉඳලා බැරලයට චූ කිරීම තමයි විසඳුම කියා. උඩ ඉඳලා එන මුත්‍රා ධාරාව පහලට එනවිට නිවිලා එන්නේ. කොහොමද ටිකිරි මොලේ?

මේ තුවක්කුවෙන් වෙඩි තියන්න දැන්මම කලබල වෙන්න එපා. මුලින්ම අපි බලමු තුවක්කුව කොටස් වලට ගලවන්නේ සහ සවි කරන්නේ කොහොමද කියා. මේ තුවක්කුව මූලික වශයෙන් කොටස් පහකට ගලවනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ එසේ කොටස් වලට වෙන් කිරීමයි.දැන් මම විස්තර කරන දේවල් තේරුම් ගැනීමටනම් ඔබ තුවක්කුවේ කොටස් හොඳින් මතක තබාගෙන සිටිය යුතුයි. ඒ නිසා මම හිතනවා මේ ලිපිය හැකි තරම් සරල භාෂාවෙන් ලියන්නටත්, හැකි තරම් විශාල ප්‍රමාණයක් රූප සටහන් ඇතුලත් කරන්නටත්.

ඕනෑම ගිනිඅවියක් ගැලවීමට පෙර එය ආරක්ෂාකාරීව ඇති බව තහවුරු කරගත යුතුයි. ඔබට මතක ඇති පහුගිය යුද සමයේදී මහජනතාවට නිවේදන නිකුත්කලා සැක කටයුතු කිසිවක් අල්ලන්න එපා කියා. මම එක දෙයක් කියන්නට කැමතියි. අපේ මිනිස්සුන්ට දෙන අවවාදයක් ඔලුවේ තියාගන්නේ සතියයි දෙකයි. නිතරම බෝම්බ පුපුරනවානම්, මිනිස්සු මැස්සෝ මදුරුවෝ වගේ මැරෙනවානම් විතරයි අපේ මිනිස්සුන්ට ආරක්ෂාව ගැන හැඟීමක් ඇතිවෙන්නේ. මොන කරුමයක්ද මන්දා ඒක. 1998 දී මා යටතේ සිටිය නිලධාරියෙක් එල්.ටී.ටී.ඊ. බංකරයකට ප්‍රහාරයක් එල්ල කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ අවි ආයුධ දමා පලාගියා. ඒ නිලධාරියා එතන වැටී තිබුන ටී 56 රයිෆලයක් අතට ගෙන එහි මැගසින් එක ගලවනවාත් සමග එම අවිය පුපුරාගොස් නිලධාරියා එතනම මියගියා. ඒ අවි දමාගොස් තිබුනේ අපව ඒ උගුලට හසුකර ගන්නටයි. ඒ නිසා කිසි දිනක ඔබ නොදන්නා දේවල් වලට අත ගසන්නට එපා. දන්නා අයටත් වරදින අවස්ථා එමටයි.

හොඳයි. දැන් ඔක්කොම කෑලි බෑලි මතකද? මතක නැත්නම් සාජන් රෝසාගෙන් රයිෆල් සුද්ද කරන හීනි කම්බිකූරෙන් පස්ස පැත්තට පාරක් වදිනවා. හරි මමත් ඉන්නවනේ.ඕනේ . . කක් කියලා ගලවමු. මුලින්ම බලන්න ආරක්ෂක අගුල හෙවත් සේෆ්ටි ලිවරය ‘ඒ’ නමැති ස්ථානයට හෝ ‘ආර්’ නමැති ස්ථානයට දමා තිබෙනවාද කියා. එය වහාම ‘එස්’ හෙවත් ‘සේෆ්ටි’ ස්ථානයට දමන්න. දැන් බයිපොඩ් එක දිගහැර තුවක්කුව බිම තියන්න. එවිට තුවක්කුව බිම හිටින්නේ බයිපොඩ් එකෙන් සහ බට් එකෙන්. මුනින් අතට බිම දිගාවන්න තුවක්කුවට පසුපසින්. දැන් තුවක්කුවේ සේෆ්ටි ලිවරය ‘ඒ’ නමැති ස්ථානයට දමන්න. වම් අතින් තුවක්කුවේ ‘ස්මෝල් ඔෆ් ද බට්’ නමැති ස්ථානයන් අල්ලාගන්න. වම් අතේ මහපට ඇඟිල්ල යටටත් ඉතුරු ඇඟිලි හතර උඩටත් තියන විදිහට අල්ලන්න.දකුණු අතේ මහපට ඇඟිල්ලෙන්, මැගසින් එකේ වම් පැත්තත්, ඉතුරු ඇඟිලි හතරෙන් මැගසින් එකේ දකුණු පැත්තත්, අසුවන පරිදි මැගසින් එක තුවක්කුවට සවිවී තිබෙන තැනින් අල්ලාගන්න. දැන් ඔබේ අල්ල මැදට හිටලා තියනවා ‘මැගසින් කැච්’ එක. එය ඉදිරියට තද කරන්න, එවිට ‘චකස්’ සද්දයකින් මැගසින් එක ගැලවෙනවා. මැගසින් එක පැත්තකින් තියන්න. දැන් දකුණු අතින් අල්ලාගන්න ‘කොකින් හැන්ඩ්ල්’ එක. එය දිග හැරිය යුතුයි හරියට අර මෝටර් බයිසිකලයක ‘කික් පෙඩ්ල්’ එක දිගහරිනවා වගේ. දැන් කොකින් හැන්ඩ්ල් එක වේගයෙන් පසුපසට අදින්න, ඇදෙන අන්තිම සීමාවටම. ඇදලා ආපසු තල්ලු කරන්න. මෙය ‘ටක්’ ගාන වේගයෙන් කල යුතුයි. දැන් ඉදිරිපස භූමියේ කිසිවකු නැති බව තහවුරු කරගන්න. තවමත් වම් අත ස්මෝල් ඔෆ් ද බට් එකේ තියෙන්නේ. දැන් බට් එක දකුණු උරහිසට හොඳින් හේත්තු කරගන්න. සෙමින් දකුණු අතින් ට්‍රිගර් එක මිරිකන්න. දැන් චෙම්බරයේ පතරොමක් තිබුනානම් එය පත්තු වෙනවා. තිබුනේ නැත්නම් පිස්ටනය ‘චකස්’ හඬින් ඉදිරියට ගොස් නවතිනවා.

ඔන්න අපි තුවක්කුව ආරක්‍ෂිත බව තහවුරු කරගත්තා. දැන් තුවක්කුව ගලවමු. තුවක්කුව සම්පූර්ණයෙන් බිම තියන්න. තුවක්කුවට වම් පැත්තෙන් දණගසාගන්න. දකුණු දණහිස බිම වම් දණහිස එසවී තිබෙන විදිහට. ‘බැරල් නට් කැච්’ එක වම් අතින් අල්ලා ගන්න. දකුණු අතින් තුවක්කුවේ බොඩි එක අල්ලා ගන්න. ඔය මොකක්ද ඇල්ලුවේ? ඔය බැරල් නට් කැච් එකද? උස්ස ගන්නවා තුවක්කුව උඩට. දුවලා එනවා පිට්ටනිය වටේ රවුම් දෙකක්. ඔහොම බෑ. මම ඔක්කොම කෑලි ඇඳලා ලියලා කියලා දීලා තියෙන්නේ. හරි දැන් බැරල් නට් කැච් එක ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට කරකවන්න. ටිකක් හිරයි තදින් කරකවන්න. හරි අංශක 90 ක් කැරකුනාම නවතිනවා. දැන් බැරල් එක ඉස්සරහට අදින්න. හරිනේ බැරල් එක ගැලවිලා අතට අවානේ. බිමින් තියන්න. ඒයි. . . . .   නිකම්ම බිම තියන්නේ නෑ මනුස්සයෝ. කෝ ඔයාට දීලා තියන කැන්වස් රෙද්ද (ග්‍රවුන්ඩ් ශීට් එක) ඒක බිම එලලා ඒක උඩ තමයි ඔය ගලවන කෑලි තියන්නේ. එක කුණු දූවිලි පොදක් වදින්න බෑ හරිද? හරි. දැන් බොඩි ලොකින් පින් එක තද කරන්න, ඔය තුවක්කුවට දාන පතරොමක බුලට් පැත්තෙන්. බයවෙන්නේ එපා මනුස්සයෝ, බුලට් පැත්ත තද වුනාට පතරොමක් පුපුරන්නේ නැහැ. දැන් පින් එක වම්පැත්තට තල්ලුවුනාද සම්පූර්ණයෙන්? හරි දැන් බොඩි එක වම් අතින් අල්ලාගෙන බට් එක අදින්න පස්සට. හරිනේ. බට් කොටස සහ බොඩි කොටස වෙන්වුනා නේද? බට් කොටස පැත්තකින් තියන්න. ග්‍රවුන්ඩ් ශීට් එක උඩ. . . . ග්‍රවුන්ඩ් ශීට් එක උඩ. ආයේ වැරද්දුවොත්නම් දෙනවා පස්සපැත්තට අර කම්බියෙන් පාර හත අටක් හොඳද.දැන් බලන්න බොඩි එක ඇතුලේ පෙනෙනවා පිස්ටන් එක. රිදී පාටට. එය පීල්ලක වැඩ කරන්නේ. හෙමින් ඉදිරියට ඇදලා ගලවලා ගන්න. බොඩි එක පැත්තකින් තියන්න. පිස්ටන් එක කියන්නේ ඉතාම පරිස්සමෙන් අතපත ගෑයුතු කොටසක්. බිම අතාරින්න එහෙම එපා. ඇද වුනොත් තුවක්කුව අහක දානවා මිසක් පිස්ටන් එක අලුත්වැඩියා කරන්න බැහැ. බොඩි එකට සවිවී තියන බයිපොඩ් එක ඉදිරියට තල්ලු කරන්න. ගලවුනානේද? නෑ? ඔහොම බෑ උන්නැහේ . . .  පණ තියෙන්න ඕනේ මේ තුවක්කු ගලවන්න. හරි දැන් බලන්න අපි තුවක්කුව ප්‍රධාන කොටස් පහකට ගැලෙව්වා. ඒවා ග්රූප් පහක් හැටියටයි නම් කරන්නේ. මෙන්න ග්රූප් පහ. 1. පිස්ටන් ග්රූප්. 2. බැරල් ග්රූප්. 3. බට් ග්රූප්. 4. බොඩි ග්රූප්. 5. බයිපොඩ් ග්රූප්. හරිනේද?

දැන් හොඳ ළමයි වගේ, අර කෑන් එකේ තියන රයිෆල් ඔයිල් ගාලා, ඔක්කොම කුණු දූවිලි යවලා, ඔය කොටස් ටික හොඳට සුද්ද කරන්න. ඊට පස්සේ, ඒවා හොඳට අධ්‍යයනය කරන්න. ඊටත් පස්සේ, පිරිසිදු රෙදි කඩක ඔතලා තියන්න ආපහු සවි කරන හැටි කියලා දෙන තුරු. ඊළඟට තුවක්කුව හයි කරලා වෙඩි තියන්නත් තියනවා. හාපෝයි. . . . .   ඔහොම පණ නැතුවනම් බැහැ හරිද? අවුරුද්දට උයපු කැවුම් ටිකක්වත් වැඩිපුර කාලා ශරීර ශක්තිය වඩවා ගත්තොත් හොඳයි.

සංගීත සංදර්ශනයක් ඇසුවෙමි

2012 අප්‍රේල් 12

  මේ ලිපිය බැලීමට නොහැකි බව කීප දෙනෙක් දන්වා තිබුනා. ඒ නිසා නැවත පරීක්ෂා කළා. මටත් සංස්කරණ අවස්ථාවෙන් පිට සිට ඇතුළුවිය නොහැකි බව දැනුනේ එසේ පරීක්ෂා කිරීමේදීයි. මේ සංස්කරණයෙන් පසු, ඇතුළුවිය හැකිද යන්න බලනමෙන් සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලනවා.

ඊයේ පෙරේදා දවසක අපේ ගම් පළාතේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන බව දැනගත්තේ, ඒ සංදර්ශනය පැවැත්වෙන පිටිය ටකරම් වලින් වටකොට තිබෙනු දැකීමෙනි. මා එළිමහන් සංගීත සංදර්ශන බැලීම නැවත්වුයේ 1980 දශකයේ මුල් භාගයේදීයි. එයට හේතු දෙකක් තිබුණි. 1. ආරක්ෂක හමුදා නිලධාරියකු වශයෙන් තරමක් දුරට මහජනයා රැස්වන තැන් මග හැර සිටීම වඩාත් සුදුසු බව මට හැඟී ගියනිසා. 2. ඒ අවධිය වනවිට එවැනි ප්‍රසංග වල ඉදිරිපත් කෙරුණ ගායනා වලින් සමහරක් කෙසේවත් අසාසිටිය නොහැකි නිසා. ඉන්පසු කාලයේදී යුද හමුදාව විසින් සංවිධානය කල එළිමහන් ප්‍රසංග වලට රාජකාරි මට්ටමෙන් සහභාගිවීම හැර වෙනත් පොදු ප්‍රසංග කිසිවකට සහභාගිවී නැත්තෙමි. දැන් මා තරමක් විවේකී ජීවිතයක් ගත කරන නිසාත්, එදින මේ සංගීත සංදර්ශනය පැවැත්වෙන්නේ ඇසෙනතෙක් මානයේ නිසාත්, සංදර්ශනය අසා සිටීමට තීරණය කලෙමි.

රාත්‍රී 8.00 ට පමණ මා සී.එන්.එන්. ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹමින් සිටියදී, පළාත දෙදරුම් කවමින් රතිඤ්ඤා හඬක් නැගුණි. නිවසින් එලියට පැමිණ බලන විට, ඒ අර සංගීත සංදර්ශන භූමිය දෙසිනි. ඒ සමගම ගුවනට එල්ල කෙරුණ මල් වෙඩි කීපයකි. මහා සංගීත සංදර්ශනයක් වගෙයි. මට සිතුනි. මම රූපවාහිනිය නිවා ඉස්තෝප්පුවේ පුටුවකට බර වූයේ සංගීත සංදර්ශනය ඇසීමටය. එහෙත්, ශබ්ද විකාශනයෙන් එන හඬනම් එතරම් සුබදායක නොවන බව පෙනෙයි. නිවේදකයකු හෝ වෙනත් මහා බලවත් පුද්ගලයකු ගෝරනාඩුවක් කරයි. ඒ මෙසේය. කෝ . . . . . . .පැත්තේ කොල්ලන්ට කෙල්ලන්ට අප්පුඩියක් ගහන්නවත් පණ නැද්ද. . . . . කෝ. .  කෝ. . දෙන්නකෝ උඩ යන්න. . .  අයියෝ ලැජ්ජයිනේ. . . ඔහොමනම් බෑ, මොකද අද කාලා නෙවෙයිද ආවේ? කිසියම් ප්‍රභූ වරයකු හෝ මැති ඇමති වරයකු පැමිණ සිටියදී, යටත්පිරිසෙයින් අත්පොලසන් නාදයක් දීමටවත් ප්‍රේක්ෂක ජනතාව අකාරුණික වී ඇති සැටියකි. නමුත් එවැනි ප්‍රභූ වරුන් කිසිවකුගේ නම නොකියවෙයි. මේ අත්පොලසන් ඉල්ලන්නේ සන්ගීතප්ර්සන්ගය ආරම්භ කිරීම සඳහාය. ඉදින්, ආරම්භ කිරීමට පෙර මෙසේ බලහත්කාරයෙන් අත්පොලසන් ගන්නේ කුමකටද? ප්‍රසංගය සාර්ථකනම් නිතැතින් අත්පොලසන් නොලැබෙන්නේද? මටනම් ගැටලුවකි.

නිවේදකයා, දුම්මල වරම අතට ගත යකැදුරෙකු මෙන් හුස්මක් කටක් නොගෙන කියවාගෙන යයි. සෑම තත්පර දහයකට වරක්, සුවිශේෂ, වින්දනීය, ආකර්ශනීය, ලබැඳි, තාරුන්න්යයේ, යන වචන යොදයි. අන්තිමේදී ඔහු ප්‍රකාශ කලේ අහවල් ස්ටාර් එකෙන් බිහිවූ (අම්මාගෙන් නොවෙයිද?) මන බන්දනීය, හද පිනවන, යුගයේ හඬ, අහවලා  . . . . . . . .ලෙසය. මම හුස්මක්වත් නොගෙන ඒ හඬ අසනු රිසියෙන් දෙසවන් යොමු කලෙමි. අහෝ. . . එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීයක් ගයනු ඇසේ. ජෝතිපාලයන්ගේ ගීතයක් ගැයීමට ස්ටාර්ලා කුමටද? එය ස්ටාර්ගේ ස්වතන්ත්‍ර ඉදිරිපත් කිරීමක් නොවේ. අනුකරනයෙකි. ඉදින් ඔහු තරුවක් වන්නේ කෙසේද?

ඔබේ කාලය මරන්නේ නැතිව ඉතිරි කොටස කියන්නේනම් මෙසේය. ජෝතිපාලගේ ගීත තුනකට පසු ස්ටාර් යයි කියන ගායිකාවක් හඳුන්වාදෙන ලදී. ඇය කිසිදු ලැජ්ජාවකින් තොරව ලතා වල්පොල මහත්මියගේ සහ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත දෙසාබෑවාය. (එය දෙසාබෑමක් මිස ගායනයක් නොවේ)

මෙලෙස, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි, අබේවර්ධන බාලසුරිය, ප්‍රියා සූර්යසේන, ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, ආදී ගායක ගායිකාවන් රැසකගේ ගීත 20 ක් ගායනය (ගායනය?) කලපසු එක්තරා තරුවකගේ අලුත්ම සී.ඩී. එකෙන් කියා ගීතයක් ඉදිරිපත් කෙරුණි. ඒ ගීතය ගුවන්විදුලි නාලිකාවක අහම්බෙන් අසා ඇත්තෙමි.එහෙත් මෙතැනදී ගායනය අහසට පොලොව මෙන් වෙනස්ය. මේ ගයන්නේ අර ගායකයාගේ නමින් වෙන කෙනෙක්ද යන සැකය පවා මට ඇතිවුනි. මේ ගායකයාට අද සිදුවී ඇති ‘අපලය’ තේරුනේ එවිටය. ඒ ගීයේ ඇතැම් කොටස් පරිගණකය මගින් සකසා පටිගත කල ඒවාය. එවැනි කොටස් සාමාන්‍ය සංගීත කණ්ඩායමකට වේදිකාවකදී ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එසේනම් කලයුත්තේ ඒ කොටස් පසුබිමෙන් (අසන්නන්ට /නරඹන්නන්ට හොරෙන්) පරිගණකයක් ඇසුරෙන් හෝ සී.ඩී. තැටියක් මගින් වාදනය කිරීමය. මේ ‘ටිරිකිස් වැඩේ’ මට නිදර්ශනාත්මකව පෙන්වා දුන්නේ එක්තරා සංගීත කණ්ඩායමක ශිල්පියෙකි.

මෙම සංගීත සංදර්ශනයේ මා දුටු විශේෂත්වයනම්, සෑම ගායක ගායිකාවක්ම වේදිකාවට පැමිණෙන විටත්, වේදිකාවෙන් පිටව යන විටත් නිවේදකයා, පුන පුනා, නරඹන්නන්ගෙන් අත්පොලසන් ඉල්ලාසිටීමය. සල්ලිත් ගෙවා ඇනුම්පද අසමින් අත්පොලසන් දීමට කුමට යනවාදැයි මට සිතුනි. ටික වෙලාවකින් නිවේදකයා, ‘දැන් අපේ (ඒ නම මා කලින් අසා නැත) වාදක මණ්ඩලයේ කොල්ලෝ ටික. . . මේ සොමි කොල්ලොටික. . . (සොමි කියන්නේ සෞම්ය නේද? ඉතික් ඔවුන් සොමිදැයි බැලීමට ඔවුන් අතගා බැලිය යුතු නේද?) වැඩේ දෙන්නයි යන්නේ. අපේ කොල්ලට කෙල්ලන්ට හොඳ සොමියක් දෙනවා මෙතන ඉඳලා’ කිව්වේය. වාදක මණ්ඩලයේ කොල්ලෝ ටික වේදිකාව උඩ සිට පහල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ‘දෙන වැඩේ සහ සොමිය’ කුමක්දැයි මම අසා සිටියෙමි. අහෝ! වට්ටෝරු හින්දි චිත්‍රපටියක ප්රේමාලාපයක් ගයන්නේ හින්දි භාෂාවේ කෙල පැමිණියකුසේ සිතා සිටින, අර වාදක කණ්ඩායම් සාමාජිකයෙකි. පර බසක් උච්ඡාරණයේදී රැකිය යුතු රීති තිබේ. හින්දි බසෙන් එක උදාහරණයක් කියමි. ‘මුජේ’ යන වචනයේ ‘ජේ’ යන්න අල්ප ප්‍රාණ නොව මහප්‍රාණය. ඉදින් මෙලෙස, වේදිකා මත, මුදල්ද අයකර දෙසාබාන්නේ, සමහරවිට ඒ බසින් කුනුහරපද වියහැකි වචන නොවේද? එය අසාගෙන මෙලෝසිහියක් නැතුව දඟලන තරුණ කැල මම වරක් දෙකක් දැක ඇත්තෙමි. ඔවුන් අනාගතයේදී කෙබඳු රස වින්දනයකට පත්වේද?

එතැන්සිට වාදක මණ්ඩලය හින්දි, ඉංග්‍රීසි, ද්‍රවිඩ, ගීත රැසක් ගායනා කල අතර ඒ සියල්ල චිත්‍රපට පසුබිම් ගීත හෝ වෙනත් ජනප්‍රිය ගීත මිස ඔවුන්ගේ නිර්මාණ නොවීය. නැවතත් ‘ස්ටාර්ලා’ තමන්ගේ ගීත ගායනා කලමුත් ඒ පදමාලා කෙරෙහි මට ඇතිවූයේ අනුකම්පාවකි. අපේ ගමේ ගොඩේ ඇත්තෝ, කඨෝර, ග්‍රාම්‍ය, අශ්ලීල, භාෂා විලාශය අප්‍රසිද්ධියේ හැඳින්වුයේ ‘යකෝ . . කෝ  බාසාව’ යනුවෙනි. මා අසාසිටි සමහර ගීත වල පදමාලා අර ‘යකෝ . . කෝ  බාසාව’ පදනම් කරගෙන ලියන ලද ඒවාය. ඒ ගීත කොතරම් රළුද යත් එයින් හුදෙක්ම පිටවන්නේ සංවර කරගතයුතු චිත්තාවේග බව පැහැදිලිව පෙනෙයි. මට ලියන්නට හැකි වචන වලින් ලිව්වොත් හරියට මෙන්න මේ වගේය.

“මම-අද-යන-කොට-පා-රට-බල්-ලෙක්-පැන්-නා-මම-උගෙ-හොම්-බට-ඇන්-නා-උගෙ-හොම්-බත්-මගෙ-කෙල්-ලගෙ-හොම්-බව-ගේමයි”

මෙයට අර කොත්තු රොටී සංගීතය මුසුවූ විට ඇතිවන කඨෝර බව පරිසරය දෙදරවාගෙන යයි. කුමක් කරන්නද? දොර වසාගෙන ගෙතුලට ආවෙමි. මේ වර්ගයේ ගායකයෝ අහම්බෙන් රූපවාහිනියේ දැක ඇත්තෙමි. ඔවුන්ගේ විකට ස්වරූපය විකට ජවනිකා සඳහා යොදාගන්නේනම් කොපමණ හොඳද? මෙවැනි අයට මා කියන්නේ ‘රූප සින්දු කාරයෝ’ කියාය. ඔවුන්ට ඇති ගායන හැකියාවක් නැත. ඔවුන් කරන්නේ ගීතයට කිසිසේත් සබඳකමක් නැති විකාර හෝ අධි ශ්රුන්ගාරාත්මක, සමහරවිට කාමුක, රූප රැසක් තිරයේ ගලායාමට සැලැස්වීමයි. එයින් වශීවන නුණුවන දනා එයින් මත්ව, අර ගොරහැඩි ගායනය මහා ගීතයක්මැයි සිතා ඒ විප්‍රකාලයේ ඇලෙති. මේ රූප සින්දු කාරයෝ ගයන අතර තම දෑත දෙපසට දිගු කරති. අංශක 45 ක කෝණයකට දෑත තබාගෙන දෑතෙහිම දබරැඟිලිද දිගු ගරමින් හිස ඉහල පහල වනති. මට මතක්වෙන්නේ කැරපොත්තාය. ඌද උගේ ස්පර්ශක (antenna) මෙලෙසම වනයි.

මෑතකදී වෙබ් පුවත්පතක  ඉහත සඳහන් වර්ගයේ එක්තරා ගායකයකු ගැන තොරතුරක් පලවිය. (මෙබඳු ගායක ගායිකාවන්ගේ, නිවේදක නිවෙදිකාවන්ගේ, නර්තන ශිල්පිනියන්ගේ, මෝස්‌තර නිරූපිකාවන්ගේ, උපන්දින, විවාහ සංවත්සර, බල්ලාගේ පූසාගේ උපන්දින, ආදී දෑ විශාල මාධ්‍ය ප්‍රචාර සහිතව පවත්වන්නේ තම ගිලිහෙන ජනප්‍රියත්වය රැකගැනීමට විනා අන් කවර කෙන්ගෙඩියකටද?) වත්මන් පරපුරේ ගායකයකු වන ඔහුගේ දියණියද බිරිඳද සහිත ඡායාරුපයක් පළකරමින් විස්තරයක් එහි පල කර තිබුණි. ඒ ගැන විවේචනාත්මක අදහසක් දැරූ පාඨකයකුට පිළිතුරු දෙමින් තවත් පාඨකයකු කියා තිබුනේ එම ගායකයා ‘ශ්‍රී ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි’ එක ‘ඉන්ටර්නැෂනල් ෆෝරම්’ එකට ගෙන යාමට කටයුතු කල අයකු බවය. අඳෝමැයි! ඒ කියන්නේ දැන් මේ රටේ ඇත්තේ සංගීත කලාවක් නොව සංගීත කර්මාන්තයකි. හරියටම හරි. වැරදුනේ මටය. මේ ඊනියා ‘ගායකයෝ’ කරන්නේ කුමක්ද යන්න මතක්වුයේ ඉන්පසුවය. කාගේ හෝ ගීතයක තනුවේ කොටස් හෝ සම්පූර්ණ තනුවම සොරාගැනීම, නැතහොත් පැරණි ගීතයක අතුරු වාදන කොටසක් සොරා ගැනීම, ඉන්පසු  එයට තවත් සක්ක වචන කෑලි සහ ‘කොම්පියුටර් ටිරිකිස් කෑලිද’ මූට්ටු කර, අලුත්ම ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස හොර ලේබල් ගසා, රට පැටවීමය. අම්මා අප්පා විකුණාගෙන කෑම හා සාකල්‍යයෙන්ම සමානය. එක්තරා පැරණි රසාංගයක් මෙලෙස අමු අමුවේ දූෂණය කල අමනයකු, ‘මේ ට්‍රැක් එක මට හම්බ වුනේ අපේ ඩැඩීගේ ඕල්ඩ් එල්.පී. රෙකෝඩ් එකකින්’ කියා කියනු, මම ගුවන්විදුලියෙන් අසා සිටියෙමි. ඒ මුල් නිර්මාණයේ හිමිකරුවන්ට එක වචනයකින් හෝ තුති නොපිදු මේ ගුණමකුවා, අදත් එය උගේ නිර්මාණයක් ලෙස ලෝකයට පෙන්වයි.

නිදි යහනට වැටුණු මම, මනසින්, මා එදා දුටු සංගීත සදර්ශන දෙකකට ගියෙමි. එකක් 1960 දශකයේදී නැරඹු සංදර්ශනයකි. අනෙක 1970 දශකයේදීය. නගරයට සැතපුම් කීපයක් දුරින් සිටි අපි, මේවා නැරඹීමට ආවේ ගියේ පයින්ය. දුප්පත්කමද එසේ කිරීමට එක හේතුවක් විය. අනෙක ඒ ගමන රස ගුලාවකි. (මත්ද්‍රව්‍ය, මත්පැන්, සිගරට්, වනචර වැඩ වලින්තොර) ඒ ගැන වෙනම ලියමි. ඒ සංදර්ශන නොමිලේ පෙන්වූ (අදත් ඕනෑතරම් තිබේ) අතර, අපි අදමෙන් ‘ඩුප්ලිකේට් ස්ටාර්ලා’ නොව, එදා නියම ගායකයා හෝ ගායිකාව ගයනු වශීවී බලා සිටියෙමු. මට මතක හැටියට ඒ කාලයේ බොහොමක් ප්‍රසංගවල සංගීතය  සැපයුවේ පැට්‍රික් දෙනිපිටිය මහතාගේ සංගීත කණ්ඩායමය. නැතහොත් ‘සියැක්’ වාදක මණ්ඩලයය. විස්තර කථකයන් ලෙස මගේ මතකයට එන දෙතුන්දෙනෙක් ඇත, කරුණාරත්න අබේසේකර, ලලිත් එස් ෛමත්රිපාල, ගුණසේකර කේ පතිරණ, වැන්නවුන්ය. මේ සංගීත කණ්ඩායම් වල ශිල්පීහු තම රාජකාරිය වන සංගීතය සැපයීම අකුරටම කළහ. ගායනයට පැන්නේ නැත. එමෙන්ම අර නිවේදකයෝ, නරඹන්නන්ට තර්ජනය කර, අපහාස කර, ඇනුම්පද කියා අත්පොලසන් නොඉල්ලුහ. ‘ඔබේ අත්පොලසන් නාදය අපව දිරිමත් කරවන බව කාරුණිකව මතක් කරනවා’ යනුවෙන් පමණක් ඉඳහිට ප්‍රකාශ කළහ. ඒ ප්‍රසංගයක පිළිවෙලක් තිබුණි. මුලින්ම ඉඩදුන්නේ නැගීඑන ශිල්පීන්ටය. එලෙස මා දැක්කේ ලතා දිසානායක, මල්ලිකා කහවිට, රූපා ඉන්දුමතී, අයිරින් ද අල්විස්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, වැනි අයවලුන්ය. 60 දශකයේ සංදර්ශනයේදී මම මුල්වරට ධර්මදාස වල්පොල දුටු අතර ඉන්පසු කිසි දිනක නොදුටුවෙමි. මිල්ටන් පෙරේරා, එච්.ආර්.ජෝතිපාල, ලතා වල්පොල, මොහිදීන් බෙග්, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලවාරච්චි, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, හරූන් ලන්ත්‍රා, නාරද දිසාසේකර, සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි විජේබණ්ඩාර, අයිවෝ ඩෙනිස්,  තව කොපමණ දිග ලැයිස්තුවක්ද. අවසන් කොටසේදී ගායනා ඉදිරිපත් කලේ වොලී බැස්ටියන්, එම්.එස්.ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් වැනි ගායකයන්ය. 70 දශකයේදී දුටු සංදර්ශනයේදී අබේවර්දන බාලසුරිය, නිරංජලා සරෝජිනී, ක්ලැරන්ස් විජේවර්ධන, ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස්, ඇනස්ලි මාලේවන, එඩ්වඩ් ජයකොඩි, චන්ද්‍රිකා සිරිවර්ධන, චන්ද්‍රානි ගුණවර්ධන, සුනිල් එදිරිසිංහ ඇතුළු තවත් කලාකරුවන් රැසක් එක්ව සිටියහ. රාත්‍රී 8.30 ට පමණ ඇරඹෙන මේ ප්‍රසංගයක් පාන්දර 5.00 පමණ වනතුරු, බෝම්බ ගැහිලි, පිහියෙන් ඇනිලි, වැනි ‘අතුරු ආබාධ’ වලින් තොරව පැවැත්වුනි. සෑම ගායක ගායිකාවකටම අත්පොලසන් නාදයක් ලැබුණි. අපි ගියේ එකල රේඩියෝවෙන් (එෆ්.එම්. නොතිබුන නිසා රේඩියෝවේ හඬ රළුයි) ඇසුණු ගීත, වඩාත් උසස් තාක්ෂනයෙන් ශ්‍රවනය කිරීමට විනා වේදිකාවේ අඩනිරුවත් නැටුම් දැකීමට නොවේ. අපි ආදරය කල ගායකයා/ගායිකාව සජීවීව දකිමින්, ඔහුගේ/ඇයගේ හඬ සජීවීව ශ්‍රවනය කිරීමට තරම් අපි වාසනාවන්ත වූවෙමු.

අද අපි මේ විප්‍රකාර දකින්නේ ඇයි? හේතු රාශියක් තිබෙන බව පෙනෙයි. සාහිත්‍යය සහ භාෂාව පිරිහීමට පත්ව ඇත, සාහිත්‍යය පාසලෙන් එලියට ඇදදමා ඇත. ඉතිහාසය විසිකර දමා ඇත, සංදේශ කාව්‍යයක් සම්පූර්ණයෙන් කියවූ උසස් පෙළ සිංහල විෂයය හදාරන සිසුන් කීදෙනෙක් මේ රටේ ඇද්දැයි නොදනිමි. ඒ අධ්‍යාපනයේ පැත්තය. ටියුෂන් විභාග, නැවත ටියුෂන් විභාග, නමැති ක්‍රමයට කොටුවූ දරුවෝ අන්තස්සරයන් වී හමාරය. දෙමාපියෝ ජීවිත සටනේ ගැලෙමින් අපාදුක් විඳිති. අපේ කාලයේ සිටි ගුරුවරු බොහොමයක්, පොත විතරක් කියාදී ‘ඉතුරු ටික උගන්නන්න මගේ ටියුෂන් පන්තියට වරෙන්’ කිව්වේ නැත පොතේ නැති ජීවත්වීමේ උපදෙස් රැසක් නිතර දීමට ඔවුන් උත්සුක නොවුයේනම් අපේ පරපුරෙන්ම මේ රට වැනසෙන්නට ඉඩ තිබුණි. ‘පැන මඩ කඩිති වැව් තාවුල් ඒ කාලේ, පෙන්වා මග නොමග නොවැටී යන තාලේ’ කියා සුනිල් එදිරිසිංහ කිව්වේ එවැනි ගුරුවරුන් ගැනය.  අද අවවාදයක් කලත් මානව හිමිකම් නඩුවක් වැටෙන කාලයක් නිසාදෝ, ගුරුවරු, ‘යන අතක පලයන්’ න්‍යායෙන් උගන්වති.

රේඩියෝව මුලදී ගෙයින් විසිවිය. රූප පෙට්ටිය රාත්‍රී අඳුර දුරලන පහනක් මෙන් හවස හයේ සිට ඔහේ දැල්වෙයි. ළදරුවා තම ලෝකය හඳුනාගන්නේ එහි දකින සරුවපිත්තල ලෝකයෙනි. දැන් රේඩියෝව එෆ්.එම්. නාලිකා කාරයන්ගේ බූදලයකි. ඕනෑම කුණුගොඩක් ආටෝප දමා විකිණීමට ඔවුහු දක්ෂයෝය. අර ‘හොටං පයිසි පං එක දැනිලා’ කියමින් රූප පෙට්ටියේ බඩු විකුණන වර්ගයේ උන්නැහේලා බිහිකරන්නේද, වනසන්නේද, පුද්ගලික රූපවාහිනී/ ගුවන්විදුලි නාලිකා කාරයෝය. මා ඉහත දැක්වූ කිසිදු ගායකයකු, ගායිකාවක, එකල ගුවන්විදුලි වෙළඳ දැන්වීම් වලට තම කටහඬ නොදුන්හ. රූපවාහිනී වෙළඳ දැන්වීම් වල පෙනී නොසිටියහ. ඔවුන්ගෙන් බොහොමයකට එවැනි අවස්ථා ලැබුනද සහභාගී නොවුයේ, දීඝ කාලයක් සතතාභ්‍යාසයෙන් ගොඩනගාගත් තම කීර්ති කදම්බය වෙළඳ දැන්වීමකින් සොයන තුට්ටු දෙකට වඩා ඉතා වටිනා බැවිනි. අද ඉන්න අර ‘මියුසික් ඉන්ඩස්ට්‍රී කාරයෝ’ හොයන්නේ, කාගේ වැදෑමහක් හෝ, ගීත කෑල්ලක් නැටුම් කෑල්ලක් දමා, විකුණා සාක්කුවට ගත්මනාවක් දාගන්නේ කෙසේද යන්නට, කුණු මසට ඉව අල්ලන ගිජු ලිහිණියන් මෙනි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්. රත්නායක, ගීතරචක පරපුර ප්‍රේමකීර්ති ද අල්විස් පරපුර දක්වා ගලාවිත් අද සිඳී ඇත. අජන්තා රණසින්හලාගේ සමන් චන්න්ද්‍රනාත්ලාගේ පෑන් අද නිහඬය. එදා අපි ගුවන්විදුලියෙන් ඇසූ ‘මධුවන්ති’ වැනි වැඩසටහන් අද සීනෙන් ගෑ සුවඳක් මෙනි. එදා අමරදේවලා චන්ද්‍රරත්න මානවසින්හලා මාදින්නාගොඩ වෙල්යායේ සිහිල් සුළඟ විඳිමින් කලේ හෙළ ගී කෙත අස්වැද්දීම විනා, ඩැඩීලාගේ එල්.පී. රෙකෝඩ් වලින් ට්‍රැක් හොරකම් කිරීම නොවේ. මොකක්හෝ අටාලයක් අටවා, ලෝකයේ කොහේ හෝ කොනක ඇති ටකරම් සිම්පොසියම් එකකට ගොස්, උඩපැන කෑ ගසා, විකාර ඇඳුම්, හස්ත විකාර මුඛ විකාර පෙන්වා, එය අපේ රටේ හැටියයි කියා, උන්ගේ ගෝත්‍රික ගති වලට සමාන නිසා දෙන, තුට්ටු දෙකේ සම්මාන උස්සගෙනවිත් පම්පෝරි ගැසීමට නොවේ. ඒ තවත් පැත්තකි.

මේ ඊයේ පෙරේදා මා අපේ රටේ සිටින විශිෂ්ටතම ගායකයකුගෙන් විමසුවේ ‘ඇයි අලුතෙන් ගීත නොගයන්නේ’ යන ප්‍රශ්නයයි. මෙන්න පිළිතුර, ‘මහත්තයෝ, අපි කැමතියි අලුත් ගීත ගයන්න. පරණ ගීතම හැමදාම පට්ට ගහන්න අපිටත් ඕනේ නැහැ. නමුත් හැමදාමත් මිනිස්සු ආසයි කියා කියා ඉල්ලන්නේ ඒවා. ඒ කියන්නේ රසය දන්නා මිනිසුන්ගේ ලේ වල තවමත් දුවන්නේ ඒවා. අපට මාසෙකට ගීත රචනා සෑහෙන ගණනක් ලැබෙනවා. අනේ ඒවගේ වැඩි හරියක තියන පදමාලා කියෝපුවාම බෙල්ල මිරිකගන්න හිතෙනවා. ඒ තරම් බොළඳ හරසුන් පදමාලා එන්නේ. අමාරුවෙන් ඒ පදමාලාවක් වෙනස් කරන්න ඇහුවොත් ඒ කිසිම රචකයෙක් කැමති නැහැ. ඉතින් අපි අපේ පාඩුවේ ඉන්නවා’ මේ සිදුවී තිබෙන්නේ සාහිත්ත්‍යය පිරිහීමේ ප්‍රතිඵලය නොවේද?

මේ කතිකාව මෙතෙකින් හමාර කල නොහැකිය. මේ විෂම චක්‍රය වෙනස් කලයුතුය. ඒ සඳහා කලයුත්තේ සංස්කෘතික පොලීසියක් දමා පුද්ගලික ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා වැසීම නොවේ. අර ස්ටාර් වර්ගයේ ඊනියා ගායක ගායිකාවෝ හිරේ දැමීම නොවේ. බුද්ධි වර්ධනයට කටයුතු කිරීමය. කියවීම සහ ඇහුම්කන් දීම වැඩි දියුණු කිරීමය. භාෂා සහ සාහිත්‍ය ඥානය වැඩි දියුණු කිරීමය. අවබෝධය වර්ධනය කිරීමය. සංවාදයට වැඩි අවස්ථා ලබාදීමය. තිරස්චීනයන් මෙන් කාකොටා නොගෙන යතාර්ථය බුද්ධියෙන් විමසා බැලීමය. මේ සඳහා වගකිවයුත්තන්ට මෙය ඇහෙනවාද? . . . . . පෙනෙනවාද?. . . නැත්නම් මර නින්දේද?

හොඳ රවුටර් එකක්

2012 අප්‍රේල් 11

පෙරේදා මා බිරිඳද සමග නගරයට ගියේ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමටයි. බිරිඳ බඩු මිලදී ගන්න අතර මට එකවර මතක් වුනේ, ‘සුපර් ග්ලූ’ නමැති මැලියම් ටියුබයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් තිබෙන බවයි. මම ඒ අසල ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සලකට ගොඩ වැදුනේ, පොත් සාප්පු වල ඇති සුපර් ග්ලූ වලට වඩා හොඳ වර්ග, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසල්වල ඇති බැවිනි. ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලට පැමිණ සිටි මගේ අසල්වැසියෙක් මුණගැසුනේ ඒ අවස්ථාවේදීය. ‘හානේ මම අද. . . මහත්තයා හම්බවෙන්න ඒ පැත්තේ එන්නයි හිටියේ’ ඔහු මා දුටු විගසම කීය. ‘මොකුත් හදිස්සියක්ද?’ මම විමසුවෙමි. ‘නෑ නෑ හදිස්සියක්ම නෙවෙයි. ඒත් මට උපදේශයක් ඕනෑ. මට කියන්නකෝ හොඳ රවුටරයක් ගන්නේ කොහොමද කියලා’ ඔහු විමසීය. ‘රවුටර්නම් එක එකඑක ජාති තියනවා. ටෙලිෂොප් වලත් හොඳ මොඩල් තියනවා. පිට කඩවලත් තියනවා. හැබැයි පිට කඩේකින් ගන්නවානම් ඒ රවුටර් එක ටී.ආර්.සී. එකෙන් අනුමත කරපු එකක්ද කියලා දැනගන්න ඕනේ. නැත්නම් ප්‍රශ්න එනවා. අනික ඔයා අරන් තියෙන්නෙත් එස්.එල්.ටී. ඉන්ටර්නෙට් පැකේජ් එකක් නේද? ඒ නිසා ටෙලිෂොප් එකට යන එක තමයි හොඳ’. මම කිව්වෙමි. එතනින් එහා ඔහුගේ ප්‍රශ්න අනුව සිංගල් පොර්ට්, ෆෝ පොර්ට්, වයි ෆයි, ආදී විස්තර රාශියක් කතා කරන්නට සිදුවිය. ගොඩනැගිලි ද්‍රව්‍ය කඩේ මුස්ලිම් ජාතික මුදලාලි අපේ කතාව අතරට ආවේ මේ වේලාවේදීය. ‘මහත්තයා හොඳ රවුටර් තියනවා. ගෙදර වැඩට හොඳයි’ කියූ ඔහු ‘අන්ද පෙරිය රවුටර් කොන්ඩු වාංග’ කියා සේවකයකුට කීය. සේවකයාද වහාම රවුටරය ගෙන ආවේය.

                                                                                                                                                                                                මෙන්න රවුටරය.

අපි දෙදෙනාම තුෂ්නිම්භූතවී ඒ රවුටරය දෙස බලාසිට, කඩයෙන් එලියට පැන්නේ, කඩය තුලදී සිනාසීම සදාචාරවත් නොවන බව දැනුනු නිසාය.

තුවක්කුවක කට වැසීම

2012 අප්‍රේල් 7

 පතරොමක කතාව 2 ලිපියෙන් පස්සේ හරී ගෙන් ඉල්ලීමක් ආවා ට්‍රේසර් බුලට් ගැන ලියන්න කියලා. ඒ වගේම බීට්ල්ගෙන් ඉල්ලීමක් ආවා තුවක්කු වලට සවිකරන සයිලන්සර් ගැන ලියන්න කියලා. ඔන්න ඒ ඉල්ලීම් දෙකම එකවර ඉටුකරනවා.

රයිෆලයකින් හෝ පිස්තෝලයකින් හෝ රිවෝල්වරයකින් හෝ වෙඩිල්ලක් තැබීමේදී පිටවන හඬ, සහ යන්තමින් හෝ පිටවන දුම,අවම කරගත හැකිනම්, රහසිගතව යම් වෙඩි තැබීමක් කිරීමට හැකිවනවා. එවිට අවට පරිසරයේ සිටින අය දන්නේ නැහැ වෙඩි තැබීමක් සිදුවුණ බව. විශේෂයෙන් හඬ බොහෝ දුරට ඇසීම සිදුවන්නේ, රාත්‍රී කාලයේදී අප අවට පරිසරය බොහෝ දුරට නිහඬ නිසයි. ඒ නිසා සයිලන්සර් යොදා වෙඩි තැබීම බහුලව සිදුවන්නේ රාත්‍රී කාලයේදීයි. එමෙන්ම දිවා කාලයේදී වෙඩි තබන විට දුම පිටවනු පෙනුනොත් වෙඩි තැබීම හෙළි වන්නට ඉඩ තිබෙනවා. සයිලන්සරයක් තිබේනම් වෙඩි හඬ 90% ක් පමණ හා දුම සම්පූර්ණයෙන් නැති කර වෙඩි තැබිය හැකියි. සයිලන්සර් යොදාගෙන වෙඩි තැබීම් සිදු කරන්නේ ආරක්ෂක හමුදා, විශේෂ පුහුණු පොලිස් ත්‍රස්ත මර්දන කණ්ඩායම්, ආදිය විසිනුයි. නමුත් ත්‍රස්තවාදීන් අතේ මෙන්ම හොරුන් මංකොල්ල කරුවන් (ලංකාවෙනම් මේ දෙවර්ගය අතේ තිබුනා කියලා අසා නැත) අතේද හඬ අවම කිරීමේ කොටස සහිත පිස්තෝල තිබෙනවා. අපේ රටේදී රජයෙන් බලපත්‍රයක් ගෙන පිස්තෝලයක් මිලදී ගතහැකි නමුත් සයිලන්සර සඳහා අවසර දෙන්නේ නැහැ. නමුත් අප අවට පරිසරයේ ඇති යම් යම් දේවල් යොදවා ක්ෂණිකව සයිලන්සර් නිපදවා ගතහැකියි. ඒවායින් 80% කට වඩා හොඳ ප්‍රතිපල ගත හැකියි. නමුත් එය කරන ආකාරයනම් කවදාවත් මා කියන්නේ නැහැ.

ඉහත රූපයෙන් ඔබට පෙන්වා ඇත්තේ පිස්තෝලයකට සයිලන්සරයක් සවිකර ඇති ආකාරයයි. එය සිලින්ඩරාකාර වස්තුවක් බවත්, පිස්තෝලයේ බටයේ අග්ගිස්සට සවිකර ඇති බවත්, පිස්තෝලයේ බටයට වඩා ටිකක් මහත බවත් පෙනෙනවා නේද? මේ උපකරණය සාදා තිබෙන්නේ ලෝහ, පදම් කල ඝන රබර්, ප්ලාස්ටික්, යන දේවල සංකලනයකින්. ඔබ බොහෝවිට දන්නවා ඇති වාහනවල සයිලන්සරයේ ඇති කුටීර සහිත කොටස. බාස් උන්නැහේලා මේ කොටසට කියන්නේ ‘ගෙඩිය’ කියලයි. පහත දැක්වෙන්නේ ඒ වාහන සයිලන්සරයක අදාළ කොටසේ රූප සටහනක්.

  මේ රූපයේ දක්වා ඇති සයිලන්සරයේදී හඬ මෙන්ම දුම අඩු කිරීම සිදු කෙරෙනවා. ඒ සඳහා යොදාගෙන ඇති උපක්‍රමය වන්නේ, ලෝහ පයිප්ප කොටස් කීපයක්, එවැනිම ලෝහ කුටීරයක් තුල, සම්පූර්ණයෙන් මුද්රාකොට දුම ඇතුළුවීමට හා පිටවීමට පමණක් ඉඩතබා සැකසීමයි. දුම සහ හඬ මෙසේ වක්‍ර මාර්ග දිගේ ගියත්, වෙඩි උණ්ඩයකට එසේ යා නොහැකි බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ නිසා මේ න්‍යායම වෙනත් ක්‍රමවේදයකින් තුවක්කු සයිලන්සරයක් තුලදී සිදුවෙනවා. අපි මුලින්ම බලමු සාමාන්‍යයෙන් පිස්තෝල සයිලන්සරයක් පිටතින් පෙනෙන ආකාරය.

පෙනුමෙන් මෙය ඉතා සරල උපකරණයක් වුනත් එහි ඇතුලත සැකැස්ම තරමක් සංකීර්ණයි. එමෙන්ම මෙයින් සිදුවන සේවය අති විශාලයි. සාක්කුවේ දාගෙන යාහැකි ප්‍රමාණයේ සයිලන්සර් වල සිට අඩියක් පමණ දිග සහ විවිධ මහත ප්‍රමාණයන්ගෙන් යුත් සයිලන්සර්ද තිබෙනවා. එසේ විවිධ ප්‍රමාණවලින් ඇත්තේ විවිධ රයිෆල්, පිස්තෝල, රිවෝල්වර් වල බටය විවිධ මහත (කැලිබර්) ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇති නිසයි. එමෙන්ම සයිලන්සරයේ දිග වැඩිවූ තරමට, (ඇතුලත ඇති හඬ අඩු කිරීමේ කොටස් වැඩිවූ තරමට) එයින් උසස් ප්‍රතිපල ලබාගත හැකියි. නමුත් සයිලන්සරයක් සවිකළ පසු අවාසිද තිබෙනවා. බටයේ දිග වැඩි වීම නිසා විශේෂයෙන් පිස්තෝල, රිවෝල්වර, ආදිය සඟවා ගැනීමට අපහසුවීම. වෙඩි තබන ස්ථානයට ගොස් සයිලන්සරය සවිකිරීමේදී කාගේ හෝ නිරීක්ෂණයට ලක්වීමට ඉඩ තිබීම, වෙඩි තැබූ පසු නැවත සඟවා ගැනීම සඳහා සයිලන්සරය ගැලවීමට සිදුවීම, එවැනි අවාසි ලෙස දැක්විය හැකියි. සයිලන්සරයක් සවි කල පසු පිස්තෝලයක දිග වැඩිවී ඇති අයුරු මේ පින්තූරයෙන් පෙනෙනවා.

පිස්තෝල වලට මෙන්ම රයිෆල් වලටද සයිලන්සර් සවි කල හැකියි. ඒ.කේ.47 වර්ගයේ (ටී 56 අවියේ මුල්ම නිපැයුම) රයිෆලයකට සයිලන්සරයක් සවිකර වෙඩි තබන අයුරු මේ සමග දක්වනවා.

සයිලන්සරය පිලිබඳ ඉතා සංකීර්ණ විස්තර ගොඩක් තිබෙනවා. එතින් අත්‍යවශ්‍යම කරුණු පමණයි විස්තර කරන්නේ. එහෙම නොකලොත්, ඒ කියන්නේ න්‍යායාත්මක කරුණු වැඩි කලොත්, ලිපිය නීරස වෙනවා. අපි දැන් බලමු සයිලන්සරයක ඇතුලත සාදා තිබෙන්නේ කෙසේද කියා.

ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති, වෙඩි උණ්ඩයට ගමන් කිරීමට ඉඩ තබා, ලෝහ සහ රබර් මිශ්‍රිත ඝන මුදු රාශියක්, සමාන පරතරයකට අනුව සවි කර ඇති ආකාරය. එයින් කුටීර රාශියල් සැකසී තිබෙනවා. හඬ සහ දුම අඩුවන්නේ ඒවා ආධාරයෙන්. අපි දැන්, සයිලන්සරයක් ගලවා එහි ඇතුලත බලමු.

 මේ රූපයෙන් ඔබට පෙනෙනවා ඇති අර මා කලින් සඳහන් කල මුදු. මේවා නිසා තමයි වෙඩි හඬ 90% කටත් වඩා අඩු වන්නේ. එමෙන්ම දුම සම්පූර්ණයෙන් නැතිවන්නේ. මා හිතනවා මේ විස්තරය ප්‍රමාණවත් කියා ඔබට ගිනි අවි සයිලන්සරයක් පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීමට.

  හරී, ඔන්න ඔබේ ඉල්ලීම ඉටු කරමින් ට්‍රේසර් පතරොම ගැන ලියනවා. මෙය කියවන, ශ්‍රී ලංකාවේ කොළඹ, කොලොන්නාව, කටුනායක, වැනි නගර වල ජීවත්වන අයගෙන්, කීප දෙනෙක් හෝ දකින්නට ඇති, පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්, ඔවුන්ගේ ගුවන් යානා යොදවා, රාත්‍රී කාලයේදී, ඉහත සඳහන් නගර ආශ්‍රිතව එල්ල කල ප්‍රහාර වලදී, ගුවන් යානා නාශක තුවක්කු වලින් අපේ ආරක්ෂක හමුදා, බිම සිට, ප්‍රති ප්‍රහාර එල්ල කල ආකාරය. එහිදී මල් වෙඩි වගේ එලි රාශියක්, ගුවනට යොමුවනු ඔබ දකින්නට ඇති. ඒ උණ්ඩ, .50 සහ 12.7 වැනි විශාල කැලිබර් වල තුවක්කු වලින් එල්ල කල ප්‍රහාර. එම උණ්ඩ ට්‍රේසර් පමණක් නොවේ. පතරොමක කතාව 2කොටසේ සඳහන් ඒ.පී.අයි.ටී. උන්ඩද එම ප්‍රහාර වලදී එල්ල කෙරුනා. මට අවශ්‍ය වුනේ ට්‍රේසර් උණ්ඩයද එවැනි එළියක් ( ටී 56 ට්‍රේසර් පතරොමක එලිය එතරම්ම ප්‍රබල නැහැ.) සහිත බව කීමටයි.

 ට්‍රේසර් පතරොමකින් කරන්නේ, යුද භටයකු ලෙස, මම රාත්‍රී කාලයේදී දකින ඉලක්කයක්, මගේ අනෙක් සගයන්ටත්, මට වඩා ඈතින් සිටින අයටත්, පෙන්වාදීමයි. යුද බිමේදී මෙසේ කිරීමෙන්, මා සිටින තැන අනාවරණය වේදැයි ඔබ අසා තිබුනා. එයට යම් ඉඩක් තිබුනත්, ට්‍රේසර් පතරොම දකින විටම මගේ සගයන්ද, එතනටම වෙඩි තබන නිසා, මගේ අවදානම අඩු වෙනවා. අනෙක් කාරණය නම් ටී 56 ට්‍රේසර් පතරොමක පසුපස දැල්වෙන එලිය එතම් ප්‍රබල නැහැ.

ට්‍රේසර් පතාරොමේ ආලෝකය ලබාගැනීම සඳහා, එහි බුලට් කොටසේ විශේෂ වෙඩි බෙහෙත් මිශ්‍රණයක් ඇතුලත් කර තිබෙනවා. ඒ නිසා, බුලට් එක ඉලක්කයට ලඟාවනතුරු  ආලෝකය දැල්වී පවතිනවා. එය රෝස පැහැයට හුරු රතු පැහැයක එළියක්. පහත පින්තූරයෙන් ඒ සැකැස්ම පෙන්වාදී තිබෙනවා.

ලබ්බ උගේ, උගේ මගේ

2012 අප්‍රේල් 5

 මේ කතාව මට අහන්නට ලැබුනේ මා වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අවධියේදීයි. කතාව පුංචි වුනත් මෙහි තිබෙන වචන හරඹය තමයි රසවත්. නුවරකලාවියේ (‘නුවරකලාවිය’ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර වැව, කළා වැව සහ පදවිය වැව යන වැව් වලින් සීමාවූ ප්‍රදේශය) එක්තරා ඈත ගමක මනුස්සයෙක් ළඟ ලබු කැටයක් තිබුනා.

මේ ලබු කැටය  පාවිච්චි කලේ බොන වතුර තබාගන්නා භාජනයක් හැටියටයි. (අද ඉන්න සමහර අය අහලාවත් නැතුව ඇති, අතීතයේදී ලබු කැටය වතුර, පැණි, වගේ දියර වර්ග ගබඩා කර තබාගන්න පාවිච්චි කල බව. ලබු ගෙඩියේ නැට්ටට සෙන්ටිමීටර් 5 ක් පමණ පහලින් කපා වෙන්කරනවා. ඉන්පසු එහි මදය තියුණු පිහියකින් හැකි පමණ ඉවත් කරනවා. ඉතිරි මද කොටස් තිබියදීම ලබු ගෙඩිය මඩ යට වලලනවා. ටික දිනකින් මදය දිරාපත්ව ගොස් හිස් ලබු කැටය ඉතිරි වෙනවා. එය පිරිසිදු කර භාජනයක් ලෙස පාවිච්චි කරනවා.) ලබු කැටය එහා මෙහා ගෙනියන්නේ සිහින් ලනුවකින් වියපු දැලක් මෙන් පෙනෙන මල්ලක දමාගෙනයි. ඉතින් අර මනුස්සයාගේ ලබු කැටයේ ලනු දිරාගිය නිසා අලුතෙන් මල්ලක් සාදා දෙන ලෙස කියා ඊට ඈතින් පිහිටි ගමක සිටි ඒ වගේ වැඩ දන්නා මනුස්සයෙකුට ලබු කැටය බාරදුන්නා.

කාලයක් ගතවුනත් වැඩේ නොකෙරුණ නිසා නැවත නැවත කීප වරක් මතක් කලත් අර මනුස්සයා වැඩේ කරලා දුන්නේ නැහැ. බැරිම තැන ලබු කැටය අයිතිකාරයා එක දවසක් ගිහින් බලනකොට, අර මනුස්සයා ගෙදර හිටියේ නැතත්, තමන්ගේ ලබු කැටයට මල්ලක් සාදා තිබෙන බව දැක්කා. මිනිහා ලබු කැටයයි මල්ලයි අරගෙන හෙමිහිට මාරු වුනා. අර මනුස්සයා ආරච්චිරාලට පැමිණිලි කළා මේ ‘මහා අපරාධය’ ගැන. ආරච්චිරාළ පැමිණිලිකාරයාවත්, විත්තිකාරයාවත්, ගෙන්වා පැමිණිල්ල විභාග කරන්න පටන් ගත්තා.

‘මොකක්ද තමුන්ට කියන්න තිබෙන්නේ’? කියා ආරච්චිරාළ විමසුවාම, ලනු මලු වියන මිනිහා කියනවාලු ‘හාමුදුරුවනේ,ලබ්බ උගේ උගේ මගේ’ කියලා. මේක මොන හතරබීරි කතාවක්ද කියලා, නැවත නැවත ඇහුවත් කියන්නේ ඒකමලු. ‘ලබ්බ උගේ උගේ මගේ’. ආරච්චිරාලට කේන්ති ගිහින් නඩුව විසිකරන්න හදනකොටම, ලනු මලු වියන්නා අර ලබු කැටේ අතට අරන්, එහි මල්ල ගලවා, ලබු කැටය  ආපසු අයිතිකාරයාටදී මෙහෙම කියනවලු. ‘මේ උගේ මගේ ලබ්බ උගේ’ කියලා. දැන්නම් ආරච්චිරාලට හිතෙනවාලු තමන්ටම ඉස කුඩිච්චියක් දාගන්න. මේ වෙලාවේ ලනු මලු වින්නගේ අසල් වැසියෙක් ආවලු නඩුව අහන හැටි බලන්න. ආරච්චිරාළ ඒ මිනිහගෙන් ඇහුවලු ‘මොකක්ද බන් මේ මිනිහා කියන මේ කුණුහරපෙ’? කියලා. ඒ මිනිහා කිව්වලු හාමුදුරුවනේ ‘උගේ’ කියන්නේ ඔය ලනු මල්ලට කියන නම. (ලනු මල්ල හඳුන්වන නම) කියලා. මේ අවුල ඇතිවුනේ, ලනු මලු වියන්නා, ‘ලබු කැටය අරයගේ, ලනු මල්ල මගේ’ කියන අදහස, ඔහුගේ ගමට ආවේනික භාෂාවෙන් කිව්ව නිසයි. යාන්තම් නඩුව එතනින් ඉවර වුනාලු.

පතරොමක කතාව 2

2012 අප්‍රේල් 5

 පතරොමක කතාව 2 කොටසින් අද මා ඔබට හඳුන්වා දෙන්නේ රයිෆල් පතරොමයි. රයිෆල් පතරොම රයිෆලය හා සමගම 19 වැනි සියවසේ මුල් භාගයේදී නිපදවුණ අතර, වර්තමානය වනවිට ඉතා දියුණු තත්වයට පත්ව තිබෙනවා. තුවක්කු භාවිතය අද ද ලෝකය පුරා සිදුවන නිසා, තුවක්කු පතරොම්ද එලෙසම නිෂ්පාදනය වෙනවා. එහෙත් සංසන්දනාත්මකව සලකා බැලීමේදී තුවක්කු භාවිතයට වඩා රයිෆල් භාවිතය ඉතා ඉහලයි. මේ නිසා රයිෆල් පතරොම් ලෝකය පුරා නිපදවෙන්නේ කොටි ප්‍රකෝටි ගණනින්. ලෝකය පුරා රටවල ආරක්ෂක හමුදා භාවිත කරන්නේ තුවක්කු වලට වඩා රයිෆල්. එසේම දිනපතාම ලෝකයේ කොහේහෝ රටක රයිෆල් භාවිතා කරන සටන් පවතිනවා. මේ නිසා රයිෆල් පතරොම් ආහාරද්‍රව්‍යයක් මෙන් ඉක්මනින් අලෙවි වන භාණ්ඩයක්. එබැවින් ඒවා නිපදවීම ඉතා වාසි සහගත කර්මාන්තයක්. අවි ආයුධ නිෂ්පාදනයෙන් පොහොසත් වන්නේ බොහෝ බටහිර රටවල්. ලෝකයේ පළමුවැනි තැන ගන්න ආයුධ නිෂ්පාදකයා ඇමරිකා එක්සත් ජනපදයයි. පිලිවෙලින් දෙවැනි සහ තුන්වැනි තැන ලැබෙන්නේ රුසියාවට සහ ජර්මනියටයි. අනෙක් අතට මේ රටවලින් විශාල වශයෙන් අවි ආයුධ මිලදී ගන්නේ ආසියානු මහාද්වීපයට අයත් රටවල්. හොඳයි, මෙතැන්සිට අපි තාක්ෂණික කරුණු වලට යොමු වෙමු.

තුවක්කු පතරොම ඔබට හඳුන්වාදුන් අවස්ථාවේදී මා සඳහන් කලේ තුවක්කු පතරොම සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත බවයි. රයිෆල් පතරොමද සිලින්ඩරාකාර හැඩයක් ගත්තත්, එහි ඉදිරිපස දෙසට යනවිට පතරොම ක්‍රමයෙන් සිහින් වන නිසා, එහි සම්පූර්ණ සිලින්ඩරාකාර හැඩයක් නැහැ. ඉහත රූපයෙන් ඔබට ඒ බව මනාව පැහැදිලි වනු ඇති. තුවක්කු පතරොම් නිපදවීමේදී එහි බඳ සකස් කිරීමට ප්ලාස්ටික් හෝ ඝන කඩදාසි යොදාගත්තත්, රයිෆල් පතරොම සම්පූර්ණයෙන්ම ලෝහමය බඳකින්  යුත් පතරොමක් බව. එය කඩදාසි හෝ ප්ලාස්ට්ක් යොදවා නිර්මාණය කලොත් බලාපොරොත්තුවන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ. එය අසාර්ථක වනවා මෙන්ම අනතුරුද සිදුවිය හැකියි. රයිෆල් පතරොමක් වාර සිය ගණනාවක් වුවද රයිෆලයට ඇතුළු කර, ආපසු ගලවා තැබිය හැකි වියයුතු අතර, ඉතා රළු දේශගුණික තත්වයන් යටතේ වුවද, මනාව ක්‍රියා කල යුතුයි. රයිෆල් පතරොමක් ලෝහ බඳකින් යුක්තව නිපදවන්නේ ඒ නිසයි. දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ ටී 56 වර්ගයේ රයිෆලයකට යොදන සාමාන්‍ය පතරොමක්. (සාමාන්‍ය පතරොම් වලට අමතරව විවිධ අවශ්‍යතා අනුව යොදන වෙනත් පතරොම් වර්ග තිබෙනවා. පසුව සාකච්ඡා කරනවා මෙම ලිපියේදීම) බොහෝවිට රයිෆල් පතරොමක බඳ නිපදවීම සඳහා යොදාගන්නේ පිත්තල. එහි ඉදිරි කොටස නිපදවීම සඳහා යොදාගන්නේ තඹ. දැන් බලන්න රයිෆල් පතරොමක මූලික කොටස්.

පතරොමේ පසුපසින්ම පිහිටා ඇති කොටසේ ප්‍රයිමරය හෙවත් කැප් එක දක්නට ලැබෙනවා. ඊළඟට තිබෙන වැදගත් කොටස වන්නේ රීම් එකයි. රයිෆලයට පතරොම ඇතුළු කලපසු එය රයිෆල් බටයේ චෙම්බරය තුල රැඳෙන්නේ මේ රීම් එක ආධාරයෙන්. රීම් එකට ඉදිරියෙන් ඇති කානුවක් වැනි රවුම හඳුන්වන්නේ එක්ස්ට්‍රැක්ටර් ග්රූ හෙවත් ඉජෙක්ෂන් ග්රූ කියලයි. මෙයින් කෙරෙන්නේ වෙඩි තැබූ පසු ඉතිරිවෙන පතරොම් කොපුව එලියට ඇද දැමීමට රයිෆල් බෝල්ට් එකට උදවු කිරීමයි. බෝල්ට් එකේ ඇති එක්ස්ට්‍රැක්ටර් නමැති නියපොත්ත වැනි සුළු කොටසකින් තමයි පතරොම එලියට අදින්නේ.

 ටී 56 රයිෆලය අදටත් අපේ ආරක්ෂක හමුදා පාවිච්චි කරන නිසා, එය අතහැර, දැනට භාවිත නොකරන, .303 රයිෆලයේ බෝල්ට් එක සහ, එහි ඇති (පතරොම් හිස් කොපුව එලියට ඇද දමන) එක්ස්ට්‍රැක්ටර් එක මෙහි දක්වා තිබෙනවා.

තුවක්කුවකට වඩා රයිෆලයක් අතිශයින් කාර්යක්ෂමයි. ඒ වගේම තරමක් සංකීර්ණයි. රයිෆලය සම්පූර්ණයෙන්ම යුද්ධය සඳහා සැකසෙන අවියක් නිසා, එහි පතරොමද ඉතා කාර්යක්ෂම සහ නිවැරදි ක්‍රියාකාරිත්වයකින් තිබිය යුතුයි. එමෙන්ම රළු දේශගුණයට ඔරොත්තු දීම, පාවිච්චි නොකර බොහෝ කාලයක් තබාගත හැකිවීම, රයිෆල් පතරොමේ විශේෂ ලක්ෂණයි.

අපි දැන් බලමු රයිෆල් පතරොමක සැකැස්ම කෙබඳුද කියා. මෙය ඉතා සංකීර්ණ ලෙස ඔබට පෙනුනත් සංකීර්ණ බවට වඩා එහි ඇත්තේ සූක්ෂ්ම බවයි. මෙය සම්පූර්ණයෙන්ම ලෝහමය පතරොමක් නිසා (බොහෝවිට පිත්තල, නැතහොත් තඹ) නිෂ්පාදන වියදම තුවක්කු පතරොමකට වඩා සාපේක්ෂව වැඩියි.

 රූප සටහන දෙස බලනවිටම ඔබට පෙනෙනවා මෙය සම්පූර්ණයෙන් ලෝහ වලින් නිපදවා ඇති බව. පතරොමේ පසුපසින්ම ඇති ප්‍රයිමරයේ ඇතුලත ඇත්තේ ෆයරින් පින් එකෙන් ලැබෙන පීඩනය හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන විශේෂ වෙඩිබෙහෙත් මිශ්‍රණයක්. හොඳින් බලන්න, තුවක්කු පතරොමේ මෙන් නොව මෙම පතරොමේ ප්‍රයිමරය තුල කිණිහිරය (Anvil) නමින් කොටසක් තිබෙනවා. එයින් සිදුවන්නේ ෆයරින් පින් එක ආධාරයෙන් ප්‍රයිමරයේ ඇති වෙඩිබෙහෙත් ටික කුඩා කිනිහිරයක් මත තබා තැලුවාක් මෙන්, දැඩි පීඩනයක් ක්ෂණිකව ලබාදීමයි. ඒ හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන ඒ වෙඩිබෙහෙත්, එතන තිබෙන (Flash Hole) නම් සිදුර හරහා, වහාම, ඊට ඉදිරියෙන් පතරොම් බඳ තුල, කුටීරයක් වැනි කොටසේ ඇති, වහා ගිනි ඇවිලෙනසුළු වෙඩිබෙහෙත් වෙත ගිනි බලය ලබා දෙනවා. එයින් ඇතිකරන ක්ෂණික පිපිරුම කොතරම් බලවත්දැයි කිවහොත්, ඊට ඉදිරියෙන් ඇති ‘බුලට්’ කොටස පතරොමේ බඳෙන් ගලවා තත්පරයකට මීටර් දහස් ගණනක වේගයෙන් රයිෆල් බටය දිගේ ඉදිරියට තල්ලු කර දමනවා. මේ වෙඩිබෙහෙත්වල ඇති තවත් ලක්ෂණයක් තමයි ඇවිලෙන විට දුම් නොනැගීම. එසේ වෙඩිබෙහෙත් සෑදීමට හේතුව වන්නේ, යුද බිමකදී වෙඩි තබන විට, තුවක්කුවෙන් දුම් පිටවුනොත්, සතුරාට ඉතා පහසුවෙන් වෙඩි තබන්නා සිටින තැන සොයාගත හැකිවීම වැලැක්වීමයි. රාත්‍රී කාලයෙදීනම් මීට වඩා ප්‍රබල ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි තුවක්කු බටය අගින් ගින්දර පිටවීම. එයනම් වලක්වන්න බැහැ. ඒ සඳහා සමහර රයිෆල් වල බටයේ අග ‘ෆ්ලෑෂ් හයිඩර්’ යනුවෙන් හඳුන්වන කොටසක් සකසා තියනවා. එයින් ඉටු කෙරෙන සේවාවන් දෙකක් තිබෙනවා. ඔබ කවදා හෝ දැඩි අඳුරු ස්ථානයක සිට රතිඤ්ඤයක්, නිලා කූරක්, අහස් කූරක්, කුඩා මල් වෙඩිල්ලක්, පත්තුකර තිබෙනවාද? එවිට සිදුවන්නේ වෙඩිල්ල පත්තුවී අවසන් වූ පසු ඔබේ දෑස් නිලංකාර වී අවට කිසිවක් නොපෙනී යාමයි. ඝන අඳුරේ වෙඩි තැබීමේදී සොල්දාදුවන්ටද මෙය සිදුවෙනවා, එය වලක්වා ගැනීමත්, තුවක්කුවේ ගිනි එලිය ඈතට දිස්වීම අඩුකර ගැනීමත්, තමයි ෆ්ලෑෂ් හයිඩර් එකෙන් කෙරෙන්නේ. 

හොඳයි, මෙතැන්සිට අපි බලමු රයිෆල් පතරොම රයිෆලය තුල පත්තුවීමෙන් පසුව සිදුවෙන්නේ කුමක්ද කියා. දැන් ඔබ දන්නවා රයිෆලයක බටයේ ඇතුලත සර්පිලාකාර කානු පද්ධතියක් තිබෙන බව. පතරොම පත්තුවී, බුලට් හෙවත් උණ්ඩය, රයිෆල් බටය දිගේ විදුලි වේගයන් ඉදිරියට ඇදෙන විට, එම කානු හෙවත් රයිෆ්ලින්ග්ස් වලින්, විශාල බලපෑමක් උණ්ඩයට එල්ල කරනවා. එනම් එම කානු නිසා, උණ්ඩයට ප්‍රබල කරකැවීමක් ඇතිකර දෙනවා.

උණ්ඩය තම අක්ෂය වටේ කරකැවෙමිනුයි ඉලක්කය වෙත යන්නේ. රයිෆලය තුලදී ඇතිවුණු දැඩි පීඩනය නිසාඋණ්ඩය තුල ඇති ඊයම් උණුවී ද්‍රව තත්වයට පත්වෙනවා.

එවැනි උණ්ඩයක් ඉතා ප්‍රබල මාරක උණ්ඩයක්. උණ්ඩය තම අක්ෂය වටා ඉතා වේගයෙන් කරකැවෙන නිසාත්, එය තුඩක් වැනි හැඩයකින් යුක්ත නිසාත්, යම් තරමක් තද මතුපිටක් වුවත් විදගෙන යාමේ හැකියාව එයට ලැබෙනවා. උණ්ඩය යම් මතුපිටක වැදුණු වහාම එම ගැටීමේ ප්‍රතිපලයක් ලෙස උණුවී ද්‍රව තත්වයේ තිබුණු ඊයම්, තද මතුපිටක් මත වැටුණු වැසි බිදුවක ජලය විසිරෙන්නාක් මෙන් විසිරෙනවා.

එවිට සිදුවන්නේ මිනිස් හෝ සත්ව සිරුරක නම්, උණ්ඩය ඇතුළුවූ තැන හිලක් සහ විසිරෙන ඊයම් නිසා උණ්ඩය

පිටවූ පැත්තේ මහා විවරයක් ඇතිවීමයි.

මේ තත්වය පැහැදිලි කරන රූප ඕනෑතරම් තිබුනත්, නැරඹීමේදී අඩුම සංවේදීතාවක් දෙන රූපයකුයි මා තෝරා ගත්තේ.

ඔබ මේ රූපය දැකීමෙන් කිසියම් කම්පනයකට පත්වූවානම්, මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

රයිෆලයකට යොදන පතරොම් වර්ග යුදමය අවශ්‍යතා අනුව වර්ග කර තිබෙන අතර, ඒ එක් එක් වර්ගයෙන් විවිධ ප්‍රයෝජන ලැබෙනවා. එලෙස වර්ග කර ඇති පතරොම් හඳුනා ගැනීම සඳහා එම එක් එක් පතරොම් වර්ගයේ බුලට් හෙවත් නෝස් කොටස මතුපිට වර්ණ කේත ක්‍රමයකට අයත් රවුම් පටි ඇඳ තිබෙනවා. ඒ වර්ග කිරීම් මොනවාදැයි මා දැන් ඔබට හඳුන්වා දෙන්නම්.

1. Ball Cartridge = බෝල් පතරොම =  කිසිදු වර්ණයක් යොදා නැත = එදිනෙදා සාමාන්‍ය වෙඩි තැබීම් සඳහා.

2. Tracer Cartridge = ට්‍රේසර් පතරොම = රතු හෝ, මෙරූන් හෝ, තැඹිලි පාට = බුලට් එකේ පසු පස රතු ගිනි එළියක් දැල්වෙයි. රාත්‍රී කාලයේදී තමන් දුටු ඉලක්කයක් අන් අයට පෙන්වීම.

3. Armour Piercing cartridge = ආමර් පියර්සින්ග් පතරොම = කළු පාට = ඝන තහඩු විනිවිද යාම.

4. Incendiary Cartridge = ඉන්සෙන්ඩයරි  පතරොම = ලා නිල් හෝ, තද නිල් = වැදුණු ස්ථානයේ ගිනි අවුළුවන සුළු.

5. Armour Piercing Incendiary Cartridge =  API = ආමර් පියර්සින්ග් ඉන්සෙන්ඩයරි පතරොම =  ඉහත 3 සහ 4 යන දෙකෙහිම ලක්ෂණ එකට කැටිකර ඇත.

6. Armour Piercing, Incendiary, Tracer Cartridge = APIT = ආමර් පියර්සින්ග්, ඉන්සෙන්ඩයරි, ට්‍රේසර් පතරොම = රතු පාට පටියක් සහ ඇලුමිනියම් පාට පටියක් = ඉහත අංක 2,3,4, යන තුනේම ලක්ෂණ එකට කැටිකොට ඇත.

7. Drill Cartridge = ඩ්‍රිල් පතරොම = පුහුණු පතරොම = කිසිදු වර්ණයක් නැත. බඳෙහි කුඩා සිදුරු ඇත. පුහුණුවීමට පමණයි. වෙඩි තැබිය නොහැක.

8. Blank Cartridge = බ්ලෑන්ක් පතරොම = පුහු පතරොම = නෝස් හෙවත් බුලට් කොටසක් නැත. වෙඩි තැබුවිට හඬ සහ දුම පිටවේ. හානියක් නැත. හමුදා අවමංගල්‍ය වලදී වෙඩි තබන්නේ මේ පතරොම් වලිනි.

ඉහත අංක 7 සහ 8 හැර අනෙක් සියලුම පතරොම් එක හා සමාන මාරක ප්‍රතිපල දෙන බව අමතක කරන්න එපා.

මීළඟට මම අද භාවිතයේ නැති, පැරණි මැෂින් තුවක්කුවක් ඔබ වෙත ගෙන එන්නටයි සිතා සිටින්නේ.

Follow

Get every new post delivered to your Inbox.