Skip to content

පුංචි කතා එකතුවක්

2012 අගෝස්තු 3

මුලින්ම කියන්න තියෙන්නේ මේ කතා ඔක්කොම ඇත්ත කතා බවයි. මේ සියල්ල මගේ ජීවිතයේදී අත්විඳි කතා. ඒ නිසා මේවා කිසිසේත් ප්‍රබන්ධ ලෙස නොසලකන මෙන් කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා.

    මැන්ඩිස් අයියාව මම දැන හඳුනාගත්තේ 1970 ගණන්වල. ඒ කාලයේ ඔහු ජීවත් වුනේ අවිස්සාවේල්ල නගරයට නොදුරු කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් නගරයක. ඔහු ඉතා අහිංසක යාචකයෙක්. වෙනත් යාචකයන් තුල නැති ඔහුට ආවේණික සුවිශේෂ ලක්ෂණ කීපයක් තිබුනා. එයින් පළමුවැන්න තමයි ඔහුගේ පෙනුම සහ ඇඳුම. උස, මහත, කළු පැහැති සිරුරකින් යුත් මැන්ඩිස් අයියව දැක්කම පොඩි ළමයි නම් බොහෝවිට බය වෙනවා. සමහර අම්මලා තාත්තලා උදේට පාසල් යන ළමයි සමග යද්දී ඒ ළමයි මෙහෙම බය වුනාම මැන්ඩිස් අයියට බැන බැන යනවා මා දැක තිබෙනවා. එයට තවත් හේතුවක් තමයි ඔහුගේ මූණ පුරා වැඩුණු සුදු පැහැති ඝන රැවුල. ඔහු තමන්ගේ සුදු පැහැති කෙස් වලින්, දෙහි ගෙඩියක් තරම් කොණ්ඩයක් බැඳලා හිටියා. ඔහුගේ ඇඳුම හරිම අමුතුයි. ඔහු එක මත එක සරම් තුනක් පමණ සහ එලෙසම කමිස කීපයක් මෙන්ම ඒ මත පරණ කෝට් එකක්ද ඇඳ සිටියා. මේවා තරමක් ගොමස්කඩ ඇඳුම් වුනත්, එයින් මැන්ඩිස් අයියා තවත් විශාල වෙලා පෙනුනා. ඒ සමගම සමහරවිට අතේ එල්ලාගෙන, තවත් විටක කර මත හෝ හිස මත ගෙනයන විශාල රෙදි පොට්ටනියක් ඔහු සතු වුනා. අතේ ලොකු බස්තමක් තිබුනේ බල්ලන්ගෙන් බේරීමටයි. මම හොඳටම දැක තිබෙනවා නගරයේ ඉන්න බල්ලන් ඔහුව හපන්න වගේ බුරාගෙන පැන්නත් ඔහු වචනයක් වත් කියන්නේ නැහැ, බස්තම වනනවා පමණයි.

දෙවැනි කාරණේ මෙයයි. කවුරු තමන්ට බැන්නත්, හිනාවුනත්, කතා කලත් මැන්ඩිස් අයියා හිනා වුනෙත් නැහැ කවදාවත්ම කා එක්කවත්. රවලා බැලුවෙත් නැහැ. කිසිම කතාවක් කලෙත් නැහැ, කිසිම කෙනෙක් සමග, මොනම හේතුවක් නිසාවත්. මැන්ඩිස් අයියා නහයට කෙලින් බලාගෙන ඉන්නවා. බොහොම හෙමින් පාරේ යනවා. බොහෝවිට නගරයේ කඩයකින් ‘මැන්ඩිස් අයියේ’ කිව්වොත් නවතිනවා. හැබැයි ඒ කඩේ දිහාවත් කතාකරපු කෙනා දිහාවත් බලන්නේ නැහැ. කඩවල් වලින් එහෙම කතා කරන්නේ කෑමට යමක්‌ දීම සඳහා බව මැන්ඩිස් අයියා දන්නවා. ලැබුනදේ අරගෙන ඒ දෙසවත් නොබලා ඉදිරියට යනවා. බොහෝවිට මැන්ඩිස් අයියා සිල්ලර බඩු කඩවල ඉදිරිපිටට ගිහින් හිටගන්නවා පාරේ. ඒ කඩවල මුදලාලිලා ඉතා හොඳින් දන්නවා එහි තේරුම. ඔවුන් කුඩා කුප්පියකට හෝ බෝතලයකට පොල්තෙල් ටිකක් දෙනවා මැන්ඩිස් අයියට. සමහර කඩවලින් තෙල් ගෙනත් මැන්ඩිස් අයියගේ අත්ලට වක්කරනවා. ඒ ටික වහාම ඔලුවේ ගාගන්නවා මැන්ඩිස් අයියා. ඔහු රෑට ඉන්නේ පන්සලේ බණ මඩුවේ. එහෙ ඉන්න බල්ලෝ මැන්ඩිස් අයියා සමග යාලුයි. එයට හේතුව මැන්ඩිස් අයියා ඔවුන්ට කෑමට යමක්‌ දීමයි.

ඔන්න එක දවසක් අමුතු දෙයක් වුනා. මේ නගරයේ ඉන්න නගරන්කාරයෝ දෙන්නෙක් දවසක් හවස පහට හයට පමණ මිනිසුන් දෙදෙනෙකුට නගරයේදී පහරදී තිබුනා. ඒ දෙන්න පොලිස් නිලධාරීන්. ඉඳලා තිබෙන්නේ සිවිල් ඇඳුමෙන්. අර නගරන්ලා දෙන්නට පොට වැරදුනේ එතනයි. හවස හත පමණ වනවිට පොලිස් ට්‍රක් රථයක්‌ නගරයට ආවා. මමත් තව යාලුවෙකුත් නගරයේ රස්තියාදු ගසමින් හිටියේ. පොලීසිය, දකින දකින සැක කටයුතු සියළු දෙනාට හොඳහැටි අතින් පයින් සංග්‍රහ කර ට්‍රක් රථයට දාගන්න පටන්ගත්තා. මමත් යාලුවත් තත්පරයකින් සීයෙන් පංගුවක වේගයෙන් කඩයක් ඇතුලට පැන්නා. ඒ කඩේ මම හොඳට හඳුනන කඩයක්. මුදලාලි අපි දෙන්නව බිම දිගා කරලා ගෝනි වලින් වැහුවා. ඒ ගෝනිවල ‘ඉස්තරම් කරවල සුවඳක්’ තිබුනා.  පැය බාගයකට පමණ පසු කලබලය සංසිඳුනා. අපිත් කරවල සුගන්ධයෙන් අනූනව, මුදලාලිට කෘතඥ වෙමින් (හිතෙන් බනිමින්) එලියට ආවා.

නගරයේ සියළු දෙනා, අර නගරන්ලා දෙන්නට බනිමින්, (උන් දෙන්න අහුවුනේ නෑ පොලීසියට)  සිද්ධිය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය තබමින් හිටියා. එක කඩේක හිටිය මුදලාලි හාමිනේ බොහොම විස්සෝපයටත්, කෝපයටත් පත්ව ‘අනේ මේ තිරිසන්නු මේ අහිංසක මැන්ඩිස් අයියටත් ගැහුවනෙ’ කිව්වා. කවුරුත් මැන්ඩිස් අයියා ගැන බැලුවත් ඔහුට බරපතල හානියක්වී තිබුනේ නැහැ. සමහරවිට අර ඇඳුම නිසා වෙන්න ඇති. නමුත් වැදගත් කාරණේ ඒක නෙවෙයි. අර මුදලාලි හාමිනේ කිව්වා, ‘ඒකයැ වැඩේ අද මැන්ඩිස් අයියා කතා කරා නෙව’ කියලා. කවුරුත් පුදුම වෙලා ඇහුවා ‘ඉතින් ඉතින් මොකද මිනිහා පොලීසියට කිව්වේ’ කියලා. මුදලාලි හාමිනේ කිව්වා, ‘අනේ. . . දෙක වදිනකොට මැන්ඩිස් අයියා කියන්න පටන් ගත්තා නෙව, ඇති, ඇති, අදට ඇති, අදට ඇති, පස්සේ පුළුවන්, පස්සේ පුළුවන්’ කියලා. මේ කියමන කාලයක් යනතුරු අපේ කොලු කල්ලියේ කියමනක් බවට පත්වුනා. ඇති, ඇති, අදට ඇති, අදට ඇති, පස්සේ පුළුවන්, පස්සේ පුළුවන්.

  මේ කතාවනම් මම මීට පෙර කොතැනක හෝ කියා තිබෙනවා. කොතනද කියලා නාකි මොලේට එන්නේ නැත. නැවත ප්‍රචාරයක් නම් සමාවන්න. මගේ බෙල්ලේ වම් පැත්තේ කඩල ඇටයක් තරම් කුඩා ගෙඩියක් පිටතට නෙරාවිත් තිබුනා. මාගේ පියඹ මේ සඳහා ‘අතනට යමු මෙතනට යමු, පෙන්නලා බෙහෙතක් ගමු’ කිව්වත් මම එපමණ ගණන් ගත්තේ නැහැ. ලංකාවේ ඇති විශිෂ්ඨතම පහසුකම් වලින් හෙබි යුද හමුදා රෝහල තිබියදී මට මොකටද වෙන ඒවා. අනික තමන්ගේ රෝගාබාධ වලට හමුදාවට නොදන්වා රහසේ ප්‍රතිකාර ගැනීම සපුරා තහනම්.

මම වරක් නිවාඩු ලබා ගෙදර ඇවිත් සිටියදී ගෙවතු අලංකරණයේ යෙදී සිටියා. ටිකක් ලොකු මල් පෝච්චියක් ඔසවා, වෙනත් තැනකින් තබා සුළු මොහොතකින්, අර ගෙඩි පොඩිත්ත ලොවි ගෙඩියක් තරම් ලොකු වුනා. අපේ උන්දෑ සිතුවේ මා තව මොහොතකින් මියයනු ඇති කියායි. ඇය වහාම මාවත් රැගෙන රෝහලට දිව්වා. බාහිර රෝගී අංශයේදී මා පරීක්ෂා කල දොස්තර මහතා කිව්වා, ‘වාට්ටුවට ඇතුළුවන්න එහිදී බෙල්ල පමණක් හිරිවට්ටවා කෙරෙන සුළු ශල්‍යකර්මයකින් මෙය ඉවත් කල හැකියි’ කියා. ඔව්වත් වැඩද මල්ලි ඔව්වත් වැඩද කියා හිතෙන් කියමින් මා වාට්ටුවට ඇතුලත් වුනා. කරුමෙක මහත, දවල් පැමිණි විශේෂඥ ශල්‍යවයිද්ය වරයාගේ මතය වුනේ, මෙය, ශල්‍යාගාරයේදී, සිහිනැතිකර කලයුතු ශල්‍යකර්මයක් බවයි. සිහිනැති කිරීමේ ශල්‍යකර්ම දෙකකට මා ඊට පෙර මුහුණදී තිබුනා. (මගේ පිත්තාශය ඉවත්කර දැන් අවුරුදු 13 ක්‌ වෙනවා. අනවෂ්‍ය කොටසක් අනේ. වෙලාවක් ලැබුනොත් ඔබත් එහෙම කරගන්න) එයින් එක ශල්‍යකර්මයකින් පසු සිහිය එනවිට මම ටිකක් දඟලලා තිබුනා. ඒ මා පාසල් යන කාලයේ.

ඔන්න ඉතින් පිළිවෙලකට මාව ගත්තා ශල්‍යාගාරයට. ලස්සන දොස්තර නෝනා කෙනෙක් තඩි සිරින්ජයකින් ගැහුවා ඉන්ජෙක්ෂන් එකක් පිළිවෙලකට මගේ වම් අතේ උඩ බාහුවට. ‘කොහොමද දැන් වැලිඔය පැත්තේ යුද්ධය’ කියා ඇය මගෙන් ඇසුවේ, මා යුද හමුදා නිලධාරියකු බව, මගේ හමුදා රියදුරා විසින්, මුළු රෝහල පුරාම පෝස්ටර් ගසා තිබුන නිසා විය හැකියි. මමත් ඉතින් පිළිවෙලකට යුද්ධය ගැන කියන්න පටන්ගත්තා. නමුත් එවිටම ලයිට් ගියා වගේ දැනුනා.

මට සිහිය එනවිට දැනුනේ මා ඇඳට තබා බැඳ ඇති බවත් මගේ බිරින්දෑ සහ රියදුරා දෙපසින් සිට මා අල්ලාගෙන සිටින බවත්ය. මම, ‘මොකද මේ’ කියා ඇසූ ගමන් රියදුරාට තේරුනා මට සිහිය ඇවිත් බව. ඔහු වහාම පිටවී ගියා මගේ ඇඳ ලඟින්. ‘මූට මොකද බොල වෙලා තියෙන්නේ? මේ මොකද කියලා මම අහපු ගමන් මෙතනින් ගියේ. වරකෝ තොට දෙන්නම් සුද්ද සිංහලෙන්’ කියා සිතමින් මා බිරිඳගේ ඇසුවේ ‘ඇයි මාව බැඳලා තියෙන්නේ ලෙහන්න’ කියලා. ඇයට එක් වරම හැඩූනා. මට හිතුනා ‘දෙයියනේ මගේ කෑලි ගොඩක් අයින් කරලද දන්නේ නෑ’ කියා. හොඳින් බැලුවත් අත පය හතර තිබෙන බවත්, බෙල්ලේ හැර වෙනත් කොතැනක හෝ බැන්ඩේජ් දමා නැති බවත් දුටුවා. මේ වෙලාවේ එතනින් යන්නට ආ හෙදියක් මා දෙස බලා ‘අප්පේ ආමි එකේ ලොකු මහත්තුරු දන්නා දේවල්’ කියා අතින් කට වසාගෙන සිනාවුනා. මට දැන් මෙය ලොකු ප්‍රහේලිකාවක්. මම ඇඳේ ඉඳගත්තා. අපේ නෝනාට කිව්වා ‘මේ, කරුණාකරලා මට කියනවද මොන මගුලක්ද වෙලා තියෙන්නේ කියලා’.  එයා තමයි ලජ්ජාවෙන් වටපිට බලමින් විස්තරේ කිව්වේ. ‘ඔයාට සිහිය එනකොටත් මමයි . . .සේකරයි  (මගේ රියදුරා) ළඟ හිටියේ. මුලින්ම ඔයා ඇඳෙන් පනින්න තරම් දඟලන්න පටන් ගත්තා. ඔයා එක පාරටම මහා හඬින් පටන් ගත්ත කාටදෝ බනින්න. ඒ වචන අහගෙන ඉන්න බැරුව . . සේකර එලියට දිව්වා. වාට්ටුවේ නර්ස්ලත් අන්දමන්ද වුනා. මට කරගන්න දෙයක් නැතුව ඔයාගේ කට වහමින් මෙතනම හිටියා. නමුත් හොඳ හොඳ වචන ගොඩක් ඔයා කිව්වා’.

ෂඃ ෂඃ ඔක්කොම සැටිපිකෙට් ඉවරයිනේ. දැන් කොහොමද අර දොස්තර නෝනට යුද්දේ ගැන කියන්නේ. මම වහාම නිර්භීත පියවරක් ගත්තා. ’වයිද්ය උපදෙස් වලට පටහැනිව රෝහලෙන් පිටව යමි’ කියා ඇඳ ඉහ පතේ ලියා ඔක්කොම අකුලාගෙන ගෙදර ආවා. බෙල්ලේ මැහුම් කපාගත්තේ පුද්ගලික රෝහලකින්.

මට සිදුවුනේ මෙයයි. ශල්‍යකර්ම වලදී විශේෂයෙන් කෙටි කාලසීමාවක් සඳහා රෝගියකු සිහි නැති කිරීමට භාවිත කරන නිර්වින්දන එන්නතක් තිබෙනවා ‘කෙටමින්’ Ketamine  යන නමින්. මට ලබාදී තිබුනේ එයයි. (විස්තරය අසාගත්තේ හමුදා රෝහලෙන්) ඒ එන්නත ලබන අයගෙන් සෑහෙන පිරිසක් සිහිය එනවිට විකාර කියවනවාලු. (තවද, විචාරක එෆ් එම් සේවය මගින් මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු විමසීමේදී, ‘සර් දන්නේ නැහැ, එක දවසක් අපේ සෙබළියක් අපිවත් දන්නේ නැති වචන කිව්වා’ කියා රෝහල් ප්‍රකාශයකු අප සමග සඳහන් කරන ලදී. දැන් කෙටි විරාමයක්) සමහර රටවල දේශපාලන සිරකරුවන්, ත්‍රස්තවාදී සැකකරුවන් ආදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා කෙටමින් ස්වල්පයක් එන්නත් කරන බවත් මා අසා තිබෙනවා.

  මේ කතාවේ සඳහන් කරන සිද්ධිය මා දුටුවේ නුවරකලාවියේ හමුදා කඳවුරක සේවය කරමින් සිටියදී. ඒ ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත් මහජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් නොයෙක් සුබසාධන කටයුතු ක්‍රියාත්මක කෙරුනා. එහිදී ඒ ප්‍රදේශවල අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන කටයුතු, විදුලි බලය ආදී සෑම මූලික අවශ්‍යතාවක් සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමගත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමගත් එක්ව විශාල සේවයක් ඉටු කරන්නට හමුදාවට හැකිවුනා. අප ඒ ප්‍රදේශවලින් එනවිට ඒ මහජනතාව හඬා වැලපුනා. ඒ තරමටම ඔවුන් අපේ පවුල්වල අය මෙන් බැඳුනා. ඒ ප්‍රදේශයෙන් පැමිණි පසුත් මා කීප වරක් මට ලැබුණු දැනුම්දීම් නිසා මංගල/අවමංගල අවස්ථා කීපයකටම සහභාගී වුනා.

වරක් අපි රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහය ලබාගෙන (කොටින්ට පක්ෂ එකක් නොවේ. දේශීය සංවිධානයක්) ලොකු අලුත් අවුරුදු උත්සවයක් ලැස්ති කළා. ගම් හත අටක ජනතාව ආවා. අර ලෑන්ඩ් මාස්ටර් කියලා පොදුවේ කියන, ට්‍රැක්ටර් 300 කට වඩා ආවා ඒ ඒ ගම්වල ජනතාව අරගෙන. ඒ සියල්ලන්ට අපේ කඳවුරෙන් තේ පැන් සහ දවල් ආහාර දුන්නා. රූපවාහිනී යන්ත්‍ර, ගුවන්විදුලි සංගීත පද්ධති, හොඳ කුෂන් මෙට්ට, පෙට්‍රොමැක්ස් ලාම්පු, ගෑස් සිලින්ඩරය ද සහිත ගෑස් කුකර්, ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ/උපකරණ, වටිනා විදුලි පන්දම්, ලංකාවේ සුප්‍රසිද්ධ සමාගම් වල හදන පිඟන් කට්ටල, තේ පැන් කට්ටල,  වැනි ඉතා වටිනා තෑගී ලොරි ගණනක් බෙදා දුන්නා. අපි කලින්ම කතාවෙලා හිටියා, අපේ භට පිරිස්, සීමිත තරග කීපයකට වඩා සහභාගිත්වය නොදැක්විය යුතු අතර, ඒවායින්ද ජයග්‍රහණය ලබාගැනීමට ගම්වැසියන්ට ඉඩ දිය යුතුයි කියා. එහෙත් එක තීරණයක් ගත්තා කඹ ඇදීමේ තරග අපි ජයග්‍රහණය කලයුතුයි කියා. පිරිමි කඹ ඇදීම අපේ කණ්ඩායම පහසුවෙන් ජයගත්තා.

ඔන්න ඊළඟට ගැහැණු කඹ ඇදීමේ තරගය. අපේ කට්ටිය බැස්සා පිටියට, ඔය පින්තූරයේ ඉන්නවා වගේ, කැලෑ ඇඳුමේ ටී ෂර්ට් එකෙන් සහ කලිසමෙන් සැරසිලා, බූට්ස් දාලා, බෙල්ට්ස් දාලා, දැක්කම බය හිතෙනවා. අපේ හයදෙනා පිටියට බැහැලා ව්‍යායාම් කරන ආකාරය දැකලා, අර රාජ්‍යනොවන සංවිධානේ අය බය වුනා. ඔන්න ගමේ කණ්ඩායම පිටියට එනවා. මැගිලින් අක්කේ, රොසලින් නෝනෝ, ආරියවතියේ, ලොකු පුංචි අම්මේ, වැනි ආමන්ත්‍රණ වලින් ඒ ගොල්ලෝ කණ්ඩායම පිටියට කැඳෙව්වා. හොඳින්ම පෙනුනා ඔවුන් අපේ සෙබළියන්ට වඩා වයසින් වැඩි බවත්, අපේ සෙබළියන්ගේ මෙන් පුෂ්ටිමත් ශරීර ඔවුන්ට නැති බවත්. ඔවුනුත් ව්‍යායාම කොහොම වෙතත්, තමන් ඇඳ සිටි චීත්ත කැහැපොට ගසාගෙන පිටියට බැස්සා. විනිසුරුවා තරගයේ පළමුවැනි වටය සඳහා නලාව පිම්බා. ඔන්න දෙගොල්ලොම අදිනවා හිටු කියලා. තත්පර 20 ක් විතර ගිය ගමන් ගමේ කණ්ඩායම විසින් අපේ කණ්ඩායම ඇදලා ගත්තා නිකම් පාන්කඩ වගේ.

දැන් අපේ කට්ටියගේ මූණ හරි නැහැ. කඳවුරේ රෙජිමේන්තු සැරයන් මේජර් ගියා අපේ කට්ටිය ලඟට. දෙන්න පටන් ගත්තා බැනුම් වගේම ඉතා ඉහල මට්ටමේ තාක්ෂණික උපදෙස්. එතකොටම දෙවැනි වටය සඳහා නලාව නාද වුනා. අපේ කට්ටිය ‘කම් ඕ ගෝ චිකාගෝ’ කියලා බැස්සා තරගයට. තත්පර 10 ක්‌ වත් ගියේ නැහැ, ගමේ කට්ටිය ඇදලා ගත්තා අපේ කට්ටියව එයාලගේ දෙපතුල ළඟ වැටෙන්න. මොකද මෙහෙම වුනේ. මම පැවැත්වුවා පශ්චාත් මරණ පරීක්ෂණයක්. එහිදී තමයි දැනගත්තේ, මේ කාන්තාවෝ දිනපතාම තමන්ගේ මීහරක්‌ ආම්බන් කරන අය බවත්, මීහරකා කඹය කඩාගෙන යන්න අදිනවිට, ඔවුන්ව නවත්වාගන්න මේ කාන්තාවන්ට පුළුවන් බවත්. ඔන්න ඔහොමයි කඹ ඇදිල්ල.

   විල්සන් අයියා ජීවත් වුනෙත් අර මැන්ඩිස් අයියා ජීවත්වුණ නගරයේමයි. අද ඒ දෙන්නම ජීවතුන් අතර නැහැ. නමුත් මේ කතාවේ රසයට එයින් බාධාවක් නැහැ. විල්සන් අයියා තැපැල් පියන් කෙනෙක්. ඒ ප්‍රදේශයේ විතරක් නෙවෙයි අහල හත්දිග්භාගයේ කිසිම ගමක ඔහු නොදන්නා ගෙයක්, පාරක්, පාලමක්‌, බෝක්කුවක්, අඩි පාරක්, කඩයක්, තිබුනේ නැහැ. (සමහරු කිව්වා නොදන්නා පිලිකන්නකුත් තිබුනේ නැහැ කියලා)

විල්සන් අයියා දේශපාලන කටයුතු වලදී බොහොම උනන්දුවෙන් තමන්ගේ රැකියාව පරදුවට තබා කටයුතු කළා. ඒ කලෙත් අද වගේම නින්දිත දේශපාලන පලිගැනීම් තිබුනා. අපේ මුළු පවුලම (ඒ කාලේ දෙමවුපියන්ට හැර අපි කාටවත් ඡන්ද බලයවත් තිබුනේ නැහැ) අනාථ වුනා, තාත්තා බරපතල ලෙස දේශපාලන පළිගැනීමකට ලක්ව, ඉතා දියුණු නගරබද ප්‍රදේශයක සිට, මේ කතාවේ කියන ප්‍රදේශයට මාරු කිරීම නිසා. ඒ කාලයේ විල්සන් අයියා කැපුවත් නිල්/කොළ/රතු පාට. (කැමති එකක් දාගන්න) කවුරු හරි ඔහුගේ පක්ෂයට විරුද්ධව කතාකලොත් මරාගෙන මැරෙන්න සූදානම්.

ඔන්න ඉතින් රටම කළඹන මැයි දිනය ආවා. එදා මැයි දිනය අද වගේ නෙවෙයි. ඇත්තටම කවුරුත් ලොකු උනන්දුවකින් එයට සහභාගී වුනා. අපිත් බස්රථයක් කුලියට ගෙන කොළඹ පැවැත්වෙන අපේ මැයි රැලියට යන්න පිටත් වුනා. විල්සන් අයියා උදේ ඉඳලම හිටියේ පිළිවෙලකට. විල්සන් අයියට දිනපතාම පානය කරන්න අවශ්‍යමයි. එදානම් උදෙන්ම වැඩේ කරලා. දැන් බස් එක වේගයෙන් කොළඹ බලා ධාවනය වෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ඉනෙන් උඩ කොටස බස් එකේ ජනෙල් වලින් එලියට හිටින තරම් රිංගලා මහා හඬින් සටන් පාඨ කියමින් යනවා. විල්සන් අයියා වරින් වර ෆුට් බෝඩ් එකට යනවා, ඇතුලට එනවා, බස් එකේ මැද පොල්ලේ එල්ලිලා කෑගහනවා, එකම වැඩයි. අපේම තව කට්ටියක් ගන්න බස් එක අතුරු පාරකට හැරෙව්වා. ඒ පාර ටිකක් පටුයි. දෙපැත්තේ ගස්වල අතු බස් එකේ වදිනවා. ඒත් ඒවා විශාල හයිය අතු නොවන නිසා බස් එකට නොනවත්වා යා හැකියි.

විල්සන් අයියා ඒ පාරේදීත් ගියේ සුපුරුදු ලෙස වැඩකිඩ පෙන්නමින්. එක වරටම විල්සන් අයියගේ හඬ නැවතුනා. කවුරුත් බැලුවා මොකද කියලා. විල්සන් අයියා කට අරින්නෙම නැහැ. අපේ එක්කෙනෙක් ඇහුවා මොකද බන් වෙලා තියෙන්නේ කියලා. එතකොට විල්සන් අයියා මේ සමග තිබෙන පින්තූරේ ඉන්න එක්කෙනා වගේ හිනාවුනා. අර පාරේ තිබුන ගහක අත්තක් විල්සන් අයියගේ මූනේ වැදිලා විල්සන් අයියගේ බොරු දත් සෙට් එකම ගැලවිලා විසිවෙලා. ඒක සෑහෙන වෙලාවක් හෙව්වත් හම්බ වුනේ නැහැ. එකේ තිබුන සුවඳට කාක්කෝ ගෙනියන්ඩ ඇති කියලයි වැඩි දෙනෙකුගේ නිගමනය වුනේ. විල්සන් අයියා කට වසාගෙනම මැයි දිනයට සහභාගී වුනා.

   හමුදාවේ පාවිච්චි කරන යුනිකෝන් රථ සහ බෆල් රථ ගැන ඔබෙන් සමහර අය අපටත් වඩා හොඳින් දන්නවා. සන්නද්ධ භට පිරිස් ප්‍රවාහනය කරන මේ රථ වලට, සාර්ථක ලෙස බිම බෝම්බ වලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. යුද්ධයට මැදිවී සිටි ගම්මාන වල බොහෝ දෙනෙක් හමුදා නිල ලාංඡන, එක්‌ එක්‌ ඒකකයට අයත් ලාංඡන ඉතා හොඳින් දන්නවා. කෝප්‍රල් මහත්තයා, සාජන් මහත්තයා, කැප්ටන් මහත්තයා, කියා කතා කරන්නත් ඔවුන් දන්නවා. අරක සී එල් අයි, මේක ගජබා, අනික සිංහ යනුවෙන් රෙජිමේන්තු පවා හඳුනාගන්න ඔවුන් දන්නවා. ඒ ගැන කතා රාශියක් තිබුනත්, සදාචාරාත්මක නොවන නිසා පල කිරීමට නොහැකිවීම ගැන, පාඨකයෝ මා කමත්වා!

මේ කතාවට සම්බන්ධ නිලධාරියා අද කර්නල් වරයෙක් වශයෙන් මහනුවර ප්‍රදේශයේ කඳවුරක සේවය කරනවා. මේ සිද්ධියට ඔහු මුහුණ දුන්නේ 1988 – 89 කාලයේ පැවති භීෂණ සමයේදීයි. ඒ කාලයේ ඔහු සේවය කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත ගමක. ඒ කාලයේ සැහැල්ලු වාහන ලැබුනේ නැහැ කනිෂ්ඨ නිලධාරීන්ට. ඔහු ඒ කාලයේ ලුතිතන් නිලයේ හිටියේ. මුළු කඳවුරටම තිබුනේ  මේ යුනිකෝන් රථයක්. දිනක්, ඔහුගේ කණ්ඩායම් භාර නිලධාරි වරයා, ඔහුට ගුවන්විදුලි මගින් දැන්වූවා, සාකච්ඡාවක් සඳහා කණ්ඩායම් මූලස්ථානයට එන ලෙස. ඔහු ආරක්ෂක මුරයක්ද සමග යුනිකෝන් රථයෙන් පිටත් වුනා. මේ පින්තූරයේ පෙනෙන විදිහට එහි යන සියලු දෙනාම යන්නේ මේ පසුපස කොටසේ. මෙහෙම යද්දී අර නිලධාරියා වාඩිවී ගියත් සෙබළු ගියේ හිටගෙනයි. මෙහෙම යන සෙබළු වරින්වර හිනාවෙමින් එකවරම ඔලුව පාත් කරගන්නවාලු. අපේ නිලධාරියාට මේ විකාරය ඇල්ලුවේ නැහැ. මේ වෙලාවට පාසල් සිසුන් පාරේ යන වෙලාව බවත්, එකත් එකටම මේ සොල්දාදුවන් පාසල් ශිෂ්‍යාවන්ට ඉඟි බිඟි පා ඔලුව පහත් කරනවා වෙන්න ඇති බවත්, නිලධාරියා තීරණය කළා.  හොඳයි මම මුන්ව අතටම අල්ලාගෙන දෙන්නම් වැඩක්‌ කියා ඔහු ඉතාම බුද්ධිමත් වැඩක්‌ කළා. සොල්දාදුවන් ඔලුව පහත් කරනවිටම ඔහු ඔලුව උඩටම ඉස්සුවා. ටෝන්. . . යන හඬින් ඔහුගේ ඔලුව යමක වැදී ඔහු යුනිකෝන් රථය තුලම හතරගාතෙන් වැටුනා. සිදුවුනේ මෙයයි. සොල්දාදුවන් ඔලුව පාත් කලේ පාර හරහට පිහිටි ගස් අතු හිසේ වැදීම වලක්වා ගන්නටයි. අපේ නිලධාරියා එය තේරුම් ගත්තේ වැරදියටයි. ඔහුගේ වාසනාවට ඔහු ඒ වෙලාවේ යකඩ හිස්වැස්ම ඇඳලා සිටිය නිසා ඔලුව නොපැලී බේරුනා.

   මේ සිද්ධියත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ 1988 – 89 භීෂණ කාලය. මම එවකට සේවය කලේ බදුල්ල දිස්ත්‍රික්කයේ කඳවුරකයි. ඒ කාලයේ පැවති භීෂණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් සැලකිය යුතු ගණනක් ගිනි තබා විනාශ කෙරුනා. තව දුරටත් ඒ විනාශය සිදුවීම වැලැක්වීම සඳහා, සෑම තේ කම්හලකටම ආරක්ෂාව සැපයීම සඳහා, හමුදා සෙබළුන් හතරක් පහක්‌ පමණයොදවා, තේ කම්හලේ සේවකයන්ගෙන් පිරිසක්ද, විශේෂයෙන් රාත්‍රී කාලයේ ආරක්ෂාව සඳහා යෙදවීමෙන්, සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නට හැකිවුනා. ඇත්තවශයෙන්ම එසේ ක්‍රියා නොකලානම් ජාතික ආර්ථිකයට විශාල පහරක් වදින්නට ඉඩ තිබුනා.

මෙසේ ආරක්ෂාව සැපයු තේ කම්හල් ප්‍රමාණය 80 ක්‌ පමණ බවයි මගේ මතකය. එමෙන්ම බදුල්ල අති විශාල සහ ගමනාගමනය අතින් දුෂ්කර දිස්ත්‍රික්කයක්. එක තේ වත්තක සිට තවත් තේ වත්තකට යාමටත් සෑහෙන වෙලාවක් ගතවෙනවා. සියලුම කම්හල්වල ඇති මුරය පරීක්ෂා කිරීමට සතියක්වත් ගතවෙනවා. මෙහිදී සමහර ස්ථාන වල මුරය භාරව සිටියේ කෝප්‍රල් වරුන්.

ඕනෑම රැකියාවක යෙදෙන කෙනෙකුගෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ ඔහු අත්දැකීම් අතින්ද, වයසින්ද, නුවණින්ද, මුහුකුරා ගියවිටයි. එහෙත් යුද සෙබළුන් සෑම විටම බැඳී සිටිනවා තමන්ට ඉහළින් ලැබෙන නියෝග අකුරටම පිළිපැදීමට. ඒ සඳහා විශාල බුද්ධියක් අවශ්‍ය නැහැ. කියනදේ හරිහැටි තේරුම් ගැනීම ප්‍රමාණවත්. අනික කෝප්‍රල් නිලයට එනවිට අවම වශයෙන් අවුරුදු පහකවත් පළපුරුද්දක් තිබෙනවා. ඒ විශ්වාසය මත තමයි වගකීම් බාර දෙන්නේ.  මට එක් දිනක් හදිසියේම මතක්‌ වුනා, පැය දෙකක පමණ වෙලාවකින් යාමට සිදුවන, ඉතා දුරින් පිහිටි තේ වත්තක මුරය, සෑහෙන දවසකින් පරීක්ෂා කලේ නැති බව. ඉතින් මම ආරක්ෂක මුරයක්ද සහිතව උදෙන්ම පිටත්වුනා ඒ වත්තට යන්නට. උදේ 11.30 පමණ වනවිට අපි ඒ වත්තේ පිහිටි තේ කම්හලට යන මාර්ගයට අවතීර්ණ වුනා. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දර්ශනීයත්වය බලන්නනම් මේ තේ වතුවල ඇවිදින්න ඕනෙමයි. ඒ පරිසරය අපිව මත් කරණ තරම් ලස්සනයි. කම්හලට යන පාරේ ටිකක් දුර යනවිට, ස්වභාවික ජල මාර්ගයකින් ජලය ලබාගෙන, වත්තේ සේවක පවුල්වල අයට නෑම සඳහා ඉදිකළ, පීල්ලක් තිබෙනවා. එය තිබෙන්නේ පාරේ සිට මීටර් 50 ක්‌ පමණ දුරින්. මම එදා නිකමට ඒ පීල්ල දෙස බැලුවා. වෙනදටනම් විශේෂයෙන් වතු සේවිකාවන් ඒ පීල්ලේ සිත්සේ නාන දර්ශනය දැකිය හැකියි. එහෙත් එදා මා දුටුවේ කුමක්ද? මම ඇස් පිසදමා නැවතත් බැලුවා. ඒ වත්තේ මුරය බාර කෝප්‍රල් පීල්ලේ නානවා. . . . . . . . . . . . . .වතු සේවිකාවක් ඔහුගේ පිට අතුල්ලනවා . . . . . . . . . .. . . . . . . . ..ඔහුගේ T 56 රයිෆලය ඒ අසල ගලක් මත තිබෙනවා. යක්ෂ සේනාධිපතියා නොව සියලුම යකුන් මගේ හිසට ආරූඪ වුනා. ජීප් එකේ හඬත් එක්කම ඒ පැත්ත බැලූ කෝප්‍රල් දුටුවේ දොර ඇරගෙන එලියට පනින මාවයි. මීටර් 50 ක දුර තිබීමේ වාසිය අත් කරගත් ඔහු ඇසිල්ලකින් අඩි පාරක් දිගේ දුවන්නට පටන්ගත්තා.  මමත් මගේ සහායක සෙබලාත් ඔහු පසුපස පැන්නුවත් අල්ලාගන්නට නොහැකිවුනා. මම මගේ පිස්තෝලයෙන් අහසට වෙඩි තබා නැවතියන් කිව්වත් ඔහු නොපෙනී ගියා. මම හමුදාවෙන් විශ්‍රාම ගන්නාතුරු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබුනේ නැහැ. ඔහු මියගියේ නැහැ. පැනගියා පමණයි.

About these ads
ප්‍රතිචාර 116 leave one →
  1. 2012 අගෝස්තු 3 22:26

    කසකාරයා දකිද්දිම මම හිතුවා පෙරහැර මඟ කියලා .. ඒකයි බලාන හිටියෙ.. කියවලම එන්නම්..

    • 2012 අගෝස්තු 3 22:53

      මම දැක්කා පින්තූරෙ මාරුකරලා තියෙනවා.. ඉතින් හිතුවා මේ දැන් ලිපියක් වැටෙයි කියලා..

      මේ කතා සේරම බඩ පැලෙනකල් හිනාවෙන්න පුලුවන් කතා.. විචාරක මහත්මයාගෙ අති විශිෂ්ඨ රචනා ශෛලිය නිසා සිද්ධීන් ඇස් ඉදිරියේ වෙන්නාක් මෙන් දැනෙනවා..

      පළවෙනි කතාවෙ මෙන්ඩිස් අයියව අඳුරනවා වගේ හැඟීමක් ආවා.. ඒ තරම් හොඳට විස්තර කරලා තියෙනවා.. කෙටමින් කතාව රිපීට් ටෙලිකාස්ට් එකක් වුනත් කලින් කිව්වාට වඩා ගොඩක් කරුණු තිබුණා.. අවසාන කතාවෙ කෝප්‍රල් කැලෑ හමුදාවට අහුවෙන්න ඇති සමහරවිට..

      කෙටිකතාවක් එහෙම ලිව්වොත් මොකද?

      • 2012 අගෝස්තු 3 23:23

        මැන්ඩිස් අයියා නොදන්නා කෙනෙක් නැහැ ඒ නගරයේ.
        නෑ නෑ ඒ කෝප්‍රල් අදටත් කොහේ හරි ඇති යහතින්.
        කෙටි කතා ලියන්න උත්සාහ කරලා බලමු.

    • 2012 අගෝස්තු 3 23:24

      කස කාරයෙක් ගැන කතාවක් තියනවා අතිශයින්ම පොඩි අයට පමණක් නිසා බ්ලොග් එකේ දාන්න බැහැ.

  2. DDT permalink
    2012 අගෝස්තු 3 22:56

    අත්දැකීම් ලියන එකත් නරක නෑ. අනෙක් ලිපි අතරට ඉඳල හිටල ඒවත් ලියන්න. අන්තිම එක නම් ජොලි, තව ටික කාලයක් ඒ පැත්තෙ නොගිහින් හිටියනම් මිනිහ ඒ වත්තෙන් ලෙච්චමී කෙනෙක් සහේටත් ගන්ට තිබ්බා.

    • 2012 අගෝස්තු 3 23:21

      බෙදා හදාගෙන කන්න දන්නේ නැති එකෙක්නෙ මේකා :)

      • parallax permalink
        2012 අගෝස්තු 17 11:59

        ඒකනේ අංකල් කෝප්‍රල්ට නවතින්න කිව්වේ වෙන වැඩකට නේ?

      • 2012 අගෝස්තු 17 14:06

        කොහෙද ඌ තමන්ගේ නිලධාරියා සමග බෙදා හදාගෙන ජීවත් වෙන්න දන්නේ නැති අසමජ්ජාතියෙක් :)

  3. Dinesh permalink
    2012 අගෝස්තු 3 23:01

    තුවක්කුයි, උණ්ඩයි, ගිලිච්ච නැවුයි ගැන නැතුව මෙහෙම කතා ගොඩාක් රසවත්.

  4. 2012 අගෝස්තු 4 01:54

    රෑ වෙනකල් ඇහැරිලා හිටි එකට වටිනාකමක් ලැබුණා… හැම කතාවටම තරු දහයයි…

  5. Aka permalink
    2012 අගෝස්තු 4 10:00

    පසු ගිය කලෙක තිබුණු පොදු සමාව දෙන අවස්ථාවක ඇවිත් හිටියා සුදු පාට රැවුල මුණ පුරා තියන වයස අවුරුදු 60-70 විතර මනුස්සයෙක්. කෝප්‍රල් ද දන් නෑ.

  6. Samara permalink
    2012 අගෝස්තු 4 12:07

    All stories are awesome…

  7. ක්සැන්ඩර් | Xander permalink
    2012 අගෝස්තු 4 16:37

    අර මැන්ඩිස් අයියා ගැන කියද්දී මගේ මතකෙට ආවේ නාවලපිටිය ටවුන් ඒකෙ ඉන්න මහලු දෙමල මනුස්සයා. කලින් ගොඩක් සල්ලි තියන කෙනෙක් වෙච්ච ඔහුට දරුවෝ සලකන්නේ නැතුව අතහැරලා. ඉන්න තැන හොඳටම සුද්ධ කරලා පාන්දර නැගිටලා පාර අතුගාන ඔහුව මට අවසාන වතාවට හමු උනේ මේ අවුරුද්දේ ජුනි මාසේ. එයත් කිසිම කෙනෙක් එක්ක කතා බහක් නෑ. ඔය පින්තුරේ ඉන්න කෙනා වගේමයි.

    කෝප්‍රල් ගැන නම් කියන්න තියෙන්නේ අන්න මිනිස්සු.. වත්ත මුර කරලා තියෙන්නේ කිව්වටත් වඩා හොඳට.

    • 2012 අගෝස්තු 4 18:30

      තමන්ගේම වැරදි ක්‍රියා නිසා හෝ තම දරුවන්ගේ කෙලෙහි ගුණ නොදත්කම නිසා හෝ දුක් විඳින දෙමවුපියන් කොච්චර ඇද්ද?
      කෝප්‍රල් කාරයා වත්ත වටේටම මුර කරලා තියන හැඩයි. ඔහොම වුනාම යුද්දෙදි මැරුණට පස්සේ බිරින්දෑවරු 4 ක් 5 ක් එනවා කසාද සහතික උස්සගෙන. නමුත් නීතියෙන් වලංගු මුලින්ම කල විවාහය පමණයි. ඒක කිව්වම සමහර බිරින්දෑ වරු අපෙන් නඩත්තු ඉල්ලනවා. හරියට අපි කරපු දෙයක් වගේ :)

  8. anonymous permalink
    2012 අගෝස්තු 4 17:34

    චුට්ටන් ප්‍රශ්ණයක්. මේක මම හිතන්නෙ රහස් හෙලි කිරීමක් වෙන එකක් නෙවෙයි කියල හිතනවා ;) කොමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය, බුද්ධි අංශය වගේ ඒකක වලට සෙබළුන් නිළදාරීන් අනුයුක්ත කරන්නෙ අනෙක් ඒකක, රෙජිමේන්තු වලට අනුයුක්ත කරනවා වගේද? නැත්නම් කැමති සෙබළුන්ට, නිළදාරීන්ට එකතු වෙන්න පුලුවන්ද?

    • 2012 අගෝස්තු 4 18:25

      ඔබට මතකද මන්දා පහුගිය යුද සමයේදී කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකාය වෙත කෙලින්ම (ඉඳුරාම Direct Enlist) බඳවා ගැනීම සඳහා පුවත්පත් නිවේදන පවා පළවුනා. නමුත් මුල්ම කාලයේදී සිදුවුනේ වෙනත් රෙජිමේන්තුවලින් කැමති අය විශේෂ පරීක්ෂණයකට භාජනය කර බඳවා ගැනීමයි. සන්නද්ධ බුද්ධි බලකායට (සබුබ – Military Intelligence Corps – MIC)ඉඳුරාම බඳවා ගැනීම් සිදුවෙන්නේ නැහැ. බුද්ධි පාඨමාලා වලදී විශේෂ දක්ෂතා දක්වන වෙනත් රෙජිමේන්තුවල අය අනුයුක්ත (attach) කරනවා මුලින්ම. ඉන්පසු අන්තර් රෙජිමේන්තු මාරුවීමක්‌ කරනවා. සබුබ ට ඉතා විශාල භට පිරිසක් අවශ්‍ය වන්නේ නැහැ. අනේ මේවා අහන්න නිර්නාමිකව එන්න අවශ්‍ය නැහැ. මේවා රහස් නෙවෙයි.

      • anonymous permalink
        2012 අගෝස්තු 4 19:46

        ස්තූතියි! :) ඔව් මම දැකලා තියෙනවා. ඒත් දැන් එහෙම කිසිම දැන්වීමක් පලවෙන්නේ නෑනේ. තවම ඒ ක්‍රමේ ක්‍රියාත්මකද? නැත්නම් ආයේ පරන ක්‍රමේටම ඇවිත්ද? තව කොමාන්ඩෝ රෙජිමේන්තුවෙයි විශේෂ බලකායෙයි වෙනස මොකක්ද? ඒක US army rangers vs. US army Green Beret (SF) වගේද? (මොකක්ද හොඳම කියන එක නෙවෙයි) ඒ කියන්නේ රාජකරී මට්ටමෙන් දෙගොල්ලොන්ට ලැබෙන රාජකාරීන් වෙනස්ද? (මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ප්‍රභූ ආරක්ශාවට යොදවන්නේ කොමාන්ඩෝ එකෙන්)

      • 2012 අගෝස්තු 4 21:07

        දැන් එහම දැන්වීම් පල නොවන්නේ මේ කාලයේදී බඳවාගැනීම් නොකෙරෙන නිසයි. කමාන්ඩෝ රෙජිමේන්තුව (කරෙ CR) සහ විශේෂ බලකාය (විබ SF) වෙත පැවරී ඇති කාර්යභාරයේ ලොකු වෙනසක් නැහැ. නමුත් විශේෂ බලකාය අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර සෑම දෙකටම යොදවන්නේ නැහැ.

      • DDT permalink
        2012 අගෝස්තු 4 20:09

        ඒකත් ඇත්ත විචාරක මහත්තයා, නැත්නම් මට සමහර වෙලාවට අහන්න හිතිච්ච එව්වයෙ හැටියට මේකෙ ඇනෝ කමෙන්ට්ස් ගොඩගැහෙන්න තිවුන. මම ඒවා ඔන්න ඔහේ අල්ල දැම්ම, ඇහුවෙ නැතිවම. :D

      • 2012 අගෝස්තු 4 21:00

        ඕනෙම දෙයක් අහන්න. මම එය සංස්කරණය කරලා හෝ උත්තර දෙන්න බලන්නම්.

      • anonymous permalink
        2012 අගෝස්තු 5 08:23

        එතකොට ඒ දැන්වීම් වලින් CR, SF වලට බැඳුනොත් නිළදාරියෙක් වෙන්න සුදුසුකම් තියෙනව නම් නිළදාරියෙක් විදියට යන්න පුළුවන්ද, නැත්නම් සාමාන්‍ය සෙබලෙක් විදියට විතරද එලියට එන්නෙ training එකෙන් පස්සේ?

      • 2012 අගෝස්තු 5 09:13

        මට පෙනෙන්නේ ඔබට ටිකක් දීර්ඝව කරුණු පැහැදිලි කල යුතුයි කියලයි. ඔබට නිකම් ඕනේ ඕනේ වගේ බැඳෙන්න. ඊට කලින් මුට්ටිය දාලා බලන්නත් ඕනේ. බැඳෙන එක කමාන්ඩෝ හෝ එස් එෆ් වෙන්නත් ඕනේ, නිලධාරියෙක් වෙන්නත් ඕනේ. මෙන්න පිළිතුර. හමුදාවට නිලධාරීන් බඳවාගන්නේ සාමාන්‍ය සෙබළුන් හැටියට නෙවෙයි. කැඩෙට් නිලධාරීන් ලෙස සහ උපාධි පාඨමාලා සඳහා. සාමාන්‍ය සෙබළුන්ට විශේෂ දක්ෂතා දැක්වීමෙන් සහ අවශ්‍ය මූලික අධ්‍යාපන සුදුසුකම් ඇත්නම් නිලධාරියකු විය හැකියි. උදාහරණය ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්. ඔහු සාමාන්‍ය සෙබළකු ලෙස බැඳී ඔහුගේ ක්‍රීඩා දක්ෂතා සහ මූලික අධ්‍යාපන සුදුසුකම් නිසා නිලධාරියකු ලෙස අධිකාරියට පත්කරනු ලබුවා. ඔබට නිලධාරියකු ලෙස බැඳෙන්නට අවශ්‍යනම් විශ්ව විද්‍යාලයකට බැඳීමේ සුදුසුකම් ඇත්නම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බැඳෙන්නට පුළුවන්. සාමාන්‍ය නිලධාරියකු ලෙස බැඳෙන්නට අවශ්‍යනම්, කාලීනව පල කරන පුවත්පත් දැන්වීම් සහ ගැසට් නිවේදන අනුව කැඩෙට් නිලධාරියකු ලෙස බැඳිය හැකියි. නිලධාරීන් බඳවා ගැනීමේදී අහවල් රෙජිමේන්තුවට කියා බඳවා ගන්නේ නැහැ. ඔබ අති දක්ෂ කායික ශක්තියක්, වෙඩි තැබීමේ හැකියාවක්, දරා සිටීමේ හැකියාවක් පෙන්නුවොත් කමාන්ඩෝ/එස් එෆ් වැනි පුහුණුවකට තේරෙයි මූලික පුහුණුවෙන් පසු. එහිදීත් සමත් වුනොත් තමයි ඒ රෙජිමේන්තුවකට බන්දවාගන්නේ.

      • anonymous permalink
        2012 අගෝස්තු 5 11:16

        ඔව් ඔබ හරි. ඔය සම්බන්ඳව තියෙන විස්තර බොහොම අඩුයිනේ. විශේෂයෙන් ඔය අංශ වලට බැඳිම ගැන. ස්තූතියි දීර්ඝ පැහැදිලි කිරීමට! :)

      • anonymous permalink
        2012 අගෝස්තු 5 13:47

        නිලදාරියෙක් විදියට හමුදාවට එකතු වෙද්දි (SLMA හරහා) සාමන්‍යයෙන් දැන්වීමකින් අහන්නෙ නැති qualifications බලනවද? බර, BMI, පෙනීම වගේ ඒවා. ari force එකට යන්න නම් ඔය ඔක්කොම බලනවා ;)

      • 2012 අගෝස්තු 5 14:47

        මනමාලයාගේ සුදුසුකම් හරියට නැත්නම් කසාදය කෙරෙන්නේ නැත.

      • anonymous permalink
        2012 අගෝස්තු 5 19:18

        ඇත්තෙන්ම ඕවා මම ඇහැව්වේ මොනා හරි හදාගන්න තියෙනවා නම් apply කරන්න කලින් හදගන්න ඕනනේ.. :P

      • 2012 අගෝස්තු 5 21:09

        හොඳයි හොඳයි එහෙනම් ‘ඔක්කොම’ හදාගන්න.

      • parallax permalink
        2012 අගෝස්තු 17 12:07

        මමත් යන්න හිටියේ. මෙන්න බොලේ අපේ අම්ම අඩනවා. අම්මගේ වෙලාවට closing date පහු වෙලා මම බලද්දී. යුද හමුදාවට ඉන්ජිනේරුවෝ බදවා ගන්නේ SLE, SLES එකටද? නැත්නම් SF,CR,MIC වගේ එකකට යන්නත් පුලුවන්ද? ෂ

      • 2012 අගෝස්තු 17 14:04

        අම්මලා ඉතින් අම්මලාමනේ. එයාලා හිතන්නේ අද යුද්ධ හමුදාවට ගියොත් හෙට මැරෙයි කියලා. නොමැරෙන එකා වහ කාලා, වෙඩි තියාගෙන, කෝච්චියට පනින්න හැදුවොත්, එදාට වහ විරේක බේත් වෙනවා. තුවක්කුව හිර වෙනවා. කෝච්චි ස්ට්‍රයික් කරනවා.
        බඳවා ගන්නේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට Engineer Services Regiment = ESR.

  9. Aka permalink
    2012 අගෝස්තු 4 18:54

    හොඳම කතාව බෆල් කතාව හා දත් කුට්ටමේ කතාව තමා.
    ඒත් හැබැටම ඔහොම මඩ ගහන එක හොදද?

    • 2012 අගෝස්තු 4 21:12

      විල්සන් අයියට අපි ඒ කාලේ ඕක කියලා වදේ ගැහුවා අවුරුදු ගානක් යනතුරු. හරිම හිත හොඳ මිනිහෙක්. අර කර්නල් තුමා මම අණදෙන නිලධාරි කාලේ මගේ උප අණදෙන නිලධාරි. එයා තමයි බොහෝ දවස්වල මේ කතාව මතක් කරන්නේ. ඕවා ඉතිං මඩ නෙවෙයි. හුදු විනෝදය පමණයි. මඩ වලට වැටෙන කතා තියනවා. අතිශයින්ම පොඩි අයට පමණයි. කොහොමද ලියන්නේ?

      • DDT permalink
        2012 අගෝස්තු 4 21:37

        ඔන්න ඔහේ ලියල දාන්ඩ අෆ්ෆා, ඇඟේ පතේ නොගෑවි මගේ නෙවෙයි වගේ.

      • 2012 අගෝස්තු 4 22:44

        හප්පොච්චියේ. . . එකක් දුන්න ගමන් කියයි අනේ මීට පස්සේ වෙන මොකොවත් ලියන්න එපා එව්වා විතරක්ම ලියන්න කියලා.

      • parallax permalink
        2012 අගෝස්තු 17 12:05

        ඉතින් දීල බලන්නකෝ. අපි බලමු කොහොම වෙයිද කියලා! අපිත් ආසය හමුදාවේ ටිකක් hard core කථා අහන්න. කොහෙද ඔව්ව අහගන්න ඉන්න එවුන් කියලා දෙන්නේ නෑනේ.

      • 2012 අගෝස්තු 17 14:05

        මට හිතුනොත් ඔන්න මම දීගෙන දීගෙන යනවා හාඩ් කෝ වලින්ම :)

  10. 2012 අගෝස්තු 4 19:52

    මමනම් ආසම එක කඹ ඇදීම,එකට…මගෙත් යාලුවෙක් හිටිය හරක් ඉන්න..ඌත් එක්ක කඹ අදින්න බැහැ කාටවත් ඌ ඉන්න පැත්ත ගොඩක් වෙලාවට දිනනවා..හැබැයි ඌ හුලඟටත් වීසිවෙන සයිස්..කෙට්‍ටුම කෙට්‍ටුය්…!
    උඩ පින්තූරෙ ඉන්නෙ ඔබතුමාද..?

    • 2012 අගෝස්තු 4 21:02

      කොහොමද දැනගත්තේ ඒ මම කියලා? දැන් මට පාරේ යන්ඩවත් බැරුව යනවා. කොහේ අල්ලන්නද ඒ 1989 දී නේ. දැන්නම් ඉතිං . . . . . වගේ.
      කඹ ඇදපු කට්ටියගේ කතා තියනවා ටොන එකක් විතර. ඔයාලා වගේ පොඩි ළමයි නරක් වෙන නිසා ලියන්න බැහැ.

  11. 2012 අගෝස්තු 4 20:26

    හ්ම්ම්ම් කෙටමින් කතාව තිබ්බා තමයි කමෙන්ට් එකක් හැටියට, අටම්පහුටගෙ බ්ලොග් එකේද මන්දා. විචාරකගෙ අරපිරිමැස්ම නම් හොඳ නෑ. මේ කතා ඔක්කොම එකපාර දැම්මෙ අපරාදෙ. අනිත් පෝස්ට් අතරට දාන්න තිබ්බා ලස්සනට. :)

    විචාරක තමන් නාකි බව නිතර කිව්වට පොඩී අකුරෙන්නෙ මේ බ්ලොග් පෝස්ට් ලියන්නෙ. පොඩ්ඩක් අකුරු ලොකු කරමුකෝ. :D

    • 2012 අගෝස්තු 4 20:59

      මගේ වර්ඩ්ප්‍රෙස් පහසුකම් යටතේ කිසිදු වෙනස් කිරීමක් කරන්න බැහැ මුදල් ගෙවන්නේ නැතුව. මමත් කැමතියි අකුරු ලොකු කරන්න සහ හඬ පටි අප්ලෝඩ් කරන්න. නමුත් ඒ සඳහා වාර්ෂික ගාස්තුවක් මට මතක හැටියට ඇ.ඩො. 20 ක් පමණ ගෙවිය යුතුයි.
      ඔන්න ඔහේ මතක වෙච්ච වෙලාවේ ඔක්කොම ලියල දැම්ම. ආයේ ටිකක් මතක් වුනාම ලියන්නම්. මතකය අලුත් නොවෙන්නේ ඒ කාලේ අය නිතර හමු නොවන නිසයි. එහෙම හමු වෙනවානම් ඔය කතා ඇදිල එනවා.

      • 2012 අගෝස්තු 5 09:48

        Vichaaraka, Now I’m going to a class. When I return I’ll tell you how to do it.

      • 2012 අගෝස්තු 5 14:53

        OK, My e mail address is wmjgkrn@hotmail.com

      • 2012 අගෝස්තු 5 10:08

        අපි වගේ බ්ලොගර් පාවිච්චි කරන්න.

      • 2012 අගෝස්තු 5 14:52

        දැන් කොහොමද වෙනස් කරන්නේ.

      • 2012 අගෝස්තු 5 12:09

        “‘ඇඩ්වාන්ස් නෙවෙයි යකෝ පේ එක’ අහලා නැත්නම් කියන්න. නොමිලේ කියාදෙනු ලැබේ.” කෝ මේක..

      • 2012 අගෝස්තු 5 14:48

        පිළිතුරක් හැටියටද ඕනේ? පුන්චි කතාවක් හැටියටද ඕනේ?

      • 2012 අගෝස්තු 5 22:23

        හැබෑට ? එහෙම ගෙවන්ඩ ඕනද ? මම අහලා තිබුනේ වර්ඩ් ප්‍රෙස් ඕපන් සෝස් පහසුකමක් කියලනෙ.. බලාගන ගියාම හෙලයන්ගෙ එක හොඳයිනෙ..

      • 2012 අගෝස්තු 5 23:16

        අනේ නෑ සවුන්ඩ් ක්ලිප් අප්ලෝඩ් කරන්න බැහැ සල්ලි ඉල්ලනවා. තීම් වෙනස් කරන්න පුළුවන්. නමුත් අකුරු වෙනස් කරන්න බැහැ Dude ට පින්සිද්ද වෙන්න කෝඩ් වෙනස් කිරීමකින් අකුරු ලොකු කරගත්තා.

      • 2012 අගෝස්තු 6 10:25

        බ්ලොගර් තමා හොඳම.. කොහොමහරි කමක් නෑ.. ලේසි විදිහකට කතාව කියන්ට.. :)

        ප.ලි. හෙන්-රි අයියාගේ පිළිතුර හොට්මේල් එකට එව්වා..

      • 2012 අගෝස්තු 6 12:55

        දැන් තියන වර්ඩ්ප්‍රෙස් එක එහෙමම බ්ලොගර් එකට මාරු කරන ක්‍රමයක් තියනවද?

        කතා හයක් මතකයට ඇවිත් තියනවා. හයම එක පාර කියන්නද? දෙක ගානේ තුන් වතාවකින් කියන්නද?

      • 2012 අගෝස්තු 6 14:22

        ඇයි විචාරක මහත්මයෝ මම සතියකට කලින් ඒ කරන හැටිත් මේල් කළානෙ.. ලේසියි පහසුයි… එකම අඩුපාඩුව හිට් කවුන්ටරේ බිංදුවට යාම පමණයි..

      • 2012 අගෝස්තු 6 16:59

        දැන්නේ කම්පනාවට අවේ. හැබැයි කරන්න ගිහින් මොනවා හරි වුනොත් කියලත් බයයි.

      • 2012 අගෝස්තු 6 14:28

        ඒ මේලයත් නැවත එවන ලදී..

      • 2012 අගෝස්තු 6 16:50

        බලන්නම්.

      • Buratheno permalink
        2012 අගෝස්තු 6 19:33

        විචාරකතුමෝ, කිසිම බයක් සැකක් නැතිව බ්ලොගර්වලට කන්වර්ට් කරන්න.. මොකුත් අතුරු ආන්තරාවක් වෙන්නෙ නෑ.. පරණ පෝස්ට් ටික කමෙන්ට්ස් ටිකත් එක්කම අපූරුවට එනවා.. අර කිවුවත් වගේ එකම වැරැද්ද හිට්ස් කවුන්ටර් එක සීරෝ වීම විතරයි.. හිට්ස් කන්නද අප්පා.. :)

        මේ තියෙන්නෙ මෑතකදී එහෙම කන්වර්ට් කරපු බ්ලොග් එකක්, බලන්න පරණ පෝස්ට් ඔක්කොම එළකිරි වගේ තියෙන හැටි.. ඔයා බ්ලොගර්වලට එනවානං අපටත් හරි ලේසියි කමෙන්ට් කරන්න.. :)

        මට මතක හැටියට

        පලි: ඔය හෙන්රියානං බ්ලොගර් ගැන එකේක ඒවා කියයි, ඒවට අහුවෙන්න එපා.. :D

      • 2012 අගෝස්තු 6 20:48

        මමත් තවම ආධුනිකයානේ. මම දන්නවා ඔබ කවුරුවත් මාව අමාරුවේ දාන දෙයක් කියන්නේ නැති බව. විවේක වෙලාවක කරන්නම්. මේ දෙකේ වාසි අවාසි මොනවද කියලා දැනගන්ඩත් කැමතියි.
        මීට පස්සේ හෙන්රි මේ පැත්තවත් නොබලා ඉඳියිද දන්නේ නැහැ.

      • 2012 අගෝස්තු 7 00:34

        “මේ දෙකේ වාසි අවාසි මොනවද කියලා දැනගන්ඩත් කැමතියි.” කාලෙකට කලින් එහෙම මේල් එකකුත් ගියා වගේ.. :)

      • 2012 අගෝස්තු 7 11:16

        මතකයේ නැත.

      • 2012 අගෝස්තු 7 14:41

        හොයලා නැවත එවන්නම්..

      • 2012 අගෝස්තු 7 16:46

        කියන්න බැරි තරම් ලොකු උදව්වක් කලේ. බොහොම ස්තුතියි.

      • parallax permalink
        2012 අගෝස්තු 17 12:11

        for zoom(Large fonts) hold the ctrl button an hit “+”, for small fonts hit “-” button and for reset hit “0″

      • 2012 අගෝස්තු 17 13:57

        Thank you. I’ll try and let you know.

      • parallax permalink
        2012 අගෝස්තු 17 12:15

        ඒකට hit counter එකේ start count එක විදිහට දැන් තියෙන count එක දෙනවා. වැඩේ ගොඩ

  12. 2012 අගෝස්තු 5 10:38

    Ok, I’m back. Go to edit > HTML/පෙළ > then before each paragraph paste this:

    Then check on Visual/දෘශ්‍ය: You’ll see the difference.
    Before saving, you can check a preview also.

    Good luck!

    Dude

    • 2012 අගෝස්තු 5 10:41

      Oops paste this

      • 2012 අගෝස්තු 5 10:44

        vichaaraka. It’s not working like this. When I paste that code here, it accepts it as a code and it won’t be seen. How can I send it? Comment on my WordPress blog the I’ll retrieve your mail address and email it to you. Sorry for then duds.

      • 2012 අගෝස්තු 5 14:49

        I will do the needful. Please wait.

      • 2012 අගෝස්තු 5 14:50

        There’s nothing to be paste with.

      • 2012 අගෝස්තු 6 00:11

        එතකොට කමෙන්ට්ස් ?

    • 2012 අගෝස්තු 5 14:51

      There’s no code you have given.

      • 2012 අගෝස්තු 5 15:58

        Just now I emailed it. Please check mail. and follow this:
        Go to edit > HTML/පෙළ > then before each paragraph paste the code I sent.
        Then check on Visual/දෘශ්‍ය: You’ll see the difference.
        Before saving, you can check a preview also.

        Good luck!

        Dude

      • 2012 අගෝස්තු 5 18:35

        Thank you so much. I will try and let you know.

      • 2012 අගෝස්තු 5 21:20

        hey have a look now. I did it thanks to you. Thank you soooooooooooooooooo much.

      • 2012 අගෝස්තු 5 22:05

        Wow! Glad to be of help. :)

      • 2012 අගෝස්තු 5 23:18

        Thanks, Thanks, Thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanks. :)

      • 2012 අගෝස්තු 6 00:13

        එතකොට කමෙන්ට්ස් ? ( වර්ඩ් ප්‍රෙස් වල දාන කමෙන්ට්ස්, දාන කෙනාට මකන්ඩ බැරිද ? අන්න වෙන අස්සක ගිහින් කෙටුවා මේ කමෙන්ට් එක.. :-) )

      • 2012 අගෝස්තු 6 00:22

        මෙතෙක් කල් මගේ බ්ලොග් එකේ කිසිම කෙනෙක් දාපු කමෙන්ට් එකක් ඉවත් කරන්න සිදුවෙලා නැහැ. ඒ කියන්නේ මෙහි කමෙන්ට්ස් දාන ඔබ සියලු දෙනා බුද්ධිමත් හා සදාචාරවත් අයයි. එමෙන්ම කිසිම කෙනෙක් තමන් දාපු කමෙන්ට් එකක් මකලත් නැහැ.

      • 2012 අගෝස්තු 6 15:12

        කොහොමද මකන්නෙ ? ඒකයි පුරස්නෙ ? මම හිතන්නෙ මේකෙ ඒ පහසුකම නෑ..

      • 2012 අගෝස්තු 6 16:50

        ඒ ගැන මටත් තියන දැනුම මදි. පළමුව ඔබ උත්සාහ කරලා බලන නිකම් කමෙන්ට් එකක් ගහලා එය මකන්න පුලුවන්ද කියලා. මම හිතන්නේ Dude තමයි ඕවා ගැන දන්නේ.

      • 2012 අගෝස්තු 7 14:40

        සෙන්නා හරි.. මේකෙ කමෙන්ට් මකන්න බෑ.. ඒවගේම තමයි.. අපි දාපු කමෙන්ට් එකක් වෙනස් කරලා රචකයාට ඕන විදිහට දැමීමේ පහසුකමත් වර්ඩ්ප්‍රෙස්වල තියෙනවා…

      • 2012 අගෝස්තු 7 16:50

        මම බොහෝවිට බ්ලොගර් බ්ලොග් වල දැකලා තියනවා අමු කුනුහරපත් ඒ විදිහටම ස්වයන්ක්‍රීයව පල වෙනවා. අනේ මමනම් එකට කැමති නැහැ. මම කාගේවත් බ්ලොග් එකක නිර්නාමිකව අදහස් දක්වන්නෙවත්, අසභ්යදේ ලියන්නේවත් නැහැ. ඉතින් මම බ්ලොගර් එකට මාරු වුනොත් මට ඔය නිර්නාමික අසභ්‍ය කමෙන්ට් වල කරදරය විඳින්න වෙයිද?

      • Buratheno permalink
        2012 අගෝස්තු 7 17:11

        ඒකට options දෙකක් තියෙනවා.. එකක් Anonymous comments disable කරන එක.. එහෙම නැත්තං comments moderation activate කරන එක..

      • 2012 අගෝස්තු 8 11:41

        බොහොම ස්තුතියි.

      • 2012 අගෝස්තු 7 19:32

        “නිර්නාමික අසභ්‍ය කමෙන්ට් වල කරදරය විඳින්න වෙයිද?” බ්ලොගර්වලත් කමෙන්ට් රචකයාගේ කැමැත්ත මත පබ්ලිශ් කිරීමට සලස්වන්න පුලුවන්.. (මම අර ප්‍රශ්න අහපු දවස්වලට කමෙන්ට් පස්සෙ දාන්නෙ..)

        මෙහෙම උදාහරණයක් ගමුකො.. කෙනෙකුගේ කමෙන්ට් එකක මුල් කෑල්ල පළ කරන්න සුදුසුයි.. දෙවෙනි කෑල්ල නුසුදුසුයි.. ඉතින් වර්ඩ්ප්‍රෙස් නම් ඒ කමෙන්ටුවේ දෙවෙනි කොටස මකලා ඉතිරිය පල කරන්න පුලුවන්.. ඒත් බ්ලොගර් වල කළහැක්කේ මුලු කමෙන්ටුවම ඉවත් කිරීම..

        කමෙන්ට්කරුවන්ට පහසුම බ්ලොගර්..

      • 2012 අගෝස්තු 8 11:40

        මට තව ප්‍රශ්නයක් තියනවා. ඔබ දන්නවනේ මම මගේ ලිපි වල සෑහෙන්න මාධ්‍ය රූප යොදනවා. වර්ඩ්ප්‍රෙස් එකේදී මට මාධ්‍ය රූප සඳහා 3 GB දක්වා ඉඩක් දීලා තියනවා. දැනටමත් මම 1 GB පමණ පාවිච්චි කරලා තියනවා. බ්ලොගර් වල දෙන්නේ 1 GB පමණයි. නමුත් මම දන්නේ නැහැ වර්ඩ්ප්‍රෙස් එකේවත් බ්ලොගර් එකේවත් ඒ ඉඩ ප්‍රමාණය දෙන්නේ එක ලිපියකටද, එක මාසේකටද, එක අවුරුද්දකටද කියලා.

  13. 2012 අගෝස්තු 5 12:15

    අපූරු පොඩි කතා සෙට් එක..
    ස්තුතියි බෙදාගත්තට…

  14. 2012 අගෝස්තු 5 22:25

    කතා ටිකනම් එල.. හොඳට හිනා වුනා… පිත්තාශය අනවශ්‍යය කොටසක් කියලා අදමයි ඇහුවේ..

    • 2012 අගෝස්තු 5 23:14

      ඔව් අනේ, ඒක කපනකොට දොස්තර උන්නැහැලා කිව්වා තෙල් කන්න එපාය, අර, අර එව්වා බොන්න එපාය, තෙල් දිරවීමට කල් යනවාය ආදී වශයෙන්. මටත් අර සිල්වාට වගේම ඒ උපදෙස් මේ වනතුරු අමතකයි. ඉතිං ඒක නැතුව මේ මම ඉන්නේ? දන්නවද අර පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවට පස්සේ තුවාල ලබපු ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙත් ඔය කෑල්ල අයින් කළා.

  15. දූපත් වැසියා permalink
    2012 අගෝස්තු 6 12:58

    ඔය තෙල් ගෙඩියක් වෙන්න ඇති.
    හික් හික් හික්,, කෙටැමින් වල හැලුසිනේෂන් කියන පිස්සු පිකදු වෙලා පාවෙලා කුජීත වෙලා යන ආතල් එක තියනව. හික් හික්..

    • 2012 අගෝස්තු 6 13:03

      තෙල් ගෙඩිය තව පොඩ්ඩෙන් පොල් ගෙඩියක් වෙලා තමයි නවතින්නේ. මම තවත් දේවල් කිව්වනම් අපේ උන්දෑ මාව දික්කසාද කරලා තමයි නවතින්නේ. ගෙදර ඇවිත් තමයි නියම දෙහි කැපිල්ල තිබ්බේ.

  16. Aka permalink
    2012 අගෝස්තු 6 14:25

    ශල්‍යකර්ම දෙකම කලේ පිත්තාශය ඉවත් කරන්නද? වෘත්තීය ජීවිතය නිසා ශල්‍යකර්ම කරන්න, රෝහල් ගත වෙන්න උනේ නැද්ද?

    • 2012 අගෝස්තු 6 16:57

      පළමුවෙනි ශල්‍යකර්මය කලේ මා උසස් පෙළ කරන කාලයේදී. මගේ කකුල් දෙකේම මහපට ඇඟිලි වල නියපොතු, ඇඟිල්ලේ මස කාගෙන යටට වැවෙන්න පටන්ගත්තා. ඇඟිලි ඉදිමිලා පැසවලා අඩිය තියන්න බැරුව ගියා. ඒ ආබාධය සුව කරේ සිහි නැතිකර ශල්‍යකර්මයක් කරලා. 1970 දී විතර. දෙවැනි ශල්‍යකර්මය තමයි පිත්තාශය ඉවත් කිරීම. 1999 දී කොළඹ යුද හමුදා රෝහලේදී කලේ. තුන්වැනි එක තමයි බෙල්ල කැපීම 2004 දී විතර.

  17. Aka permalink
    2012 අගෝස්තු 8 10:51

    මට මේක අහන්න අමතක උනා. මොකක් ඇදන්ද අර කෝප්‍රල් නෑවේ? දුවන්න පටන් ගත්තේ t -56 යි ඇදුම් පලදුමුයි තියල වෙන්න ඇතිනේ?

    • 2012 අගෝස්තු 8 11:35

      ටොක ටලිසමක් (සමාවෙන්න, ආමි එකේ අපි කොට කලිසමට කියන නම ඒක තමයි) තුවක්කුවයි පතරොම් සහිත මැගසින් සමග පවුච් එකයි දාලා තමයි දිව්වේ.

  18. Aka permalink
    2012 අගෝස්තු 8 17:33

    ලස්සනට තියෙන්න ඇති නේද?
    මනුස්සයෙක් තෙත බේරී බේරී කොට කලිසමක් ඇඳන් අඩි පාරක් දිගේ දුවනවා.ඊට පිටිපස්සෙන් හමුදා නිලධාරීතුමෙක් පිස්තෝලෙත් අරන් අහසට වෙඩි තිය තිය ලිස්ස ලිස්ස එලවනවා. ඊට පිටිපස්සෙන් බඩියත් T -56 අරන් එලවනවා (යකඩ තොප්පි, ජැකට් ඇදන් හිටිය නම් තවත් හොඳ ෂෝ එක).
    සරා ගොය්යා පස්සේ රාළහාමි එලෙව්ව වගේ තියෙන්න ඇති.

    • 2012 අගෝස්තු 8 18:29

      සමහර ගොන්පාට් රඟපාලා ඉවර වුනාම තමයි තේරෙන්නේ ඒක ගොන්පාට් එකක් කියලා. මට කරන්න තිබුනේ යන දිහාක පල කියලා නිකම් ඉන්නනෙ. (නැත්නම් කුණු ඇතිල්ලීමේ වරදට අනික් කෙනාව අත් අඩංගුවට ගත්තනම් හරිනේ :) ) නමුත් ඉතින් ජනතාව බලාගෙන ඉන්නකොට පොඩි උණක් එනවනේ තරුණ කාලේදී.

      • Aka permalink
        2012 අගෝස්තු 8 20:24

        ඒත් ඒවා නැත්නම් ජිවිතේ හරි නීරස වෙයි නේ?

      • 2012 අගෝස්තු 8 21:54

        ඒකනම් සහතික ඇත්ත. කවද හරි ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට, කෙනෙකුට තියෙන්ඩ ඕනේ තමන් කරපු ගොන්කම් ටිකකුත් මතක් කරලා හිනාවෙන්ඩ.

  19. 2012 අගෝස්තු 10 13:56

    අන්තිම කතාව තමා මට නම් උපරිමේට හිනා ගියේ. කෝප්‍රල් නාන වෙලාවේ වෙන මොකෙක් හරි ඇවිත් තුවක්කුව ඉස්සුවා නම් තමා රඟේ :)

  20. parallax permalink
    2012 අගෝස්තු 17 11:43

    දැන් තේරෙනවා ඇතිනේ army hospital එකෙන් ඔක්කොම කරගන්න කියන්නේ ඇයි කියලා, ඔහොම කියවගෙන ගිහින් බුද්ධි තොරතුරුත් පතබාන්න ගත්තහම කාටද ආඩම්බර දොසතර නොනටද නෙහේ?

    • 2012 අගෝස්තු 17 14:07

      අපරාදේ කියන්න බැහැ අපේ කට්ටියට කවදාවත් බුද්ධි තොරතුරුනම් මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නෙම මන්ද බුද්ධික තොරතුරු :)

      • parallax permalink
        2012 අගෝස්තු 21 16:18

        ඒකටත් පුහුණුව තියෙන්න ඕනේ

  21. 2012 අගෝස්තු 22 00:32

    අර කෙටමීන් කතන්දරය කියුවේ මගේ අටම්පහුරේ

  22. Jagath permalink
    2012 සැප්තැම්බර් 17 11:52

    Did you see Col. Jayawi Fernando’s comment(about Manda buddika Malaka)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 92 other followers

%d bloggers like this: