Skip to content

ඉස්කෝලේ යන කාලේ 9

2012 ජනවාරි 28

නයි කාරයෝ සහ බේත් තෙල් කාරයෝ ගැන කියවලා, දැන් ඔබට මාව එපා වෙලා ඇති. ඒ නිසා ඉස්කෝලේ යන කාලේ වෙනත් දේවල් ගැන කියන්නම්. මෙතෙක්කල් මා ඔබට කිව්වේ නැති හොල්මන් කතාවක් කියන්නම්. අපේ නව යොවුන් වියේදී ඒ කියන්නේ 1960 දශකයේදී රූපවාහිනිය තිබුනේ නැහැ නොවැ. ඉතින් සිනමාව තමයි එකම ආස්වාදය. හැබැයි එකක් පැහැදිලිව කිව යුතුයි. රූපවාහිනියෙන් අපි නරඹන්නේ නිකම් සරුවපිත්තල රූප. ත්‍රිමාන රූපවාහිනියකින් පවා අපි නරඹන්නේ සිනමාවෙන් නරඹන රූප වලට කිසිසේත් ලං නොවියහැකි රූප. අනික් දේ තමයි අපි නැරඹු, ලෝකයේ සම්භාව්‍ය චිත්‍රපට රාශියක් අද දකින්නටවත් නොලැබීම. මේ නිසා අද යුගයේ සීනිබෝල චිත්‍රපටි සම්භාව්‍ය කෘති බවට පත්වෙලා. සම්භාව්‍ය චිත්‍රපටි පැත්තක තබා, ජනප්‍රිය මාදිලියේ චිත්‍රපටි ලෙස අපි නැරඹු ‘ජේම්ස් බොන්ඩ්’ ‘කව් බෝයි’ වැනි චිත්‍රපටි වලට ලං වියහැකි චිත්‍රපටි පවා අද සිනමාවේ ඉතා දුර්ලභයි. එය වෙනම දවසක සාකච්ඡා කිරීමට ඉඩ තබා අර හොල්මන් කතාවට යන්නම්.
ගෙදරට හොරෙන් පික්චර් එකක් බැලීම අදටත් තරුණයෙකුට කොතරම් ‘ත්‍රිල්’ එකක්ද. එය කවදත් එහෙමමයි. ඔන්න මම දවසක් හොරෙන් පැන්නා පික්චර් එකක් බලන්න. මොකක්ද පික්චර් එක? ‘ඩ්රැකියුලා’ පුහ්. . . . බලලා තියනවද ‘ඩ්රැකියුලා’? සමහරවිට ඔබ බලලා නැතුව ඇති. නමුත් මතක තබාගන්න. ‘බ්‍රැම් ස්ටෝකර්’ නමැති කතුවරයා විසින් රචිත ‘ඩ්රැකියුලා’ කතා මාලාව ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය බව. එහි ‘ඩ්රැකියුලා’ ලෙස රඟපාන ‘ක්‍රිස්ටෝපර් ලී’ නමැති නළුවා අදටත් අපේ සිතෙන් නොමැකී සිටී. ඔන්න ඉතින් මම ‘ඩ්රැකියුලා’ බලලා ගෙදර එන්න පිටත් වුනේ රෑ 9 ට විතර. අපේ ගෙදරට යන අතර මග සොහොන් පිට්ටනියක් පහු කරන්න තියනවා. ඒ කාලේ ඒ පැත්තේ විදුලි එලිය නැහැ. කට්ට කළුවරයි. මගේ අතේ කිසිම එළියක් නැහැ. තරු එළියෙන් යන්නේ. ‘නොදකින් කරගත්ත ගොන්කම’ කියලා තේරුනේ සොහොන් පිට්ටනිය ලඟට එනවිටයි. මොනවා කරන්නද. සොහොන් පිට්ටනිය ලඟට එනකොට මතක් වෙන්නේ ‘ඩ්රැකියුලා’ බෙල්ල හපලා ලේ බොන හැටි. ටිකක් වෙලා හිතලා පාර හදන්ඩ ගෙනත් දාපු ගල් ගොඩකින් ගත්තා හොඳ ගල් දෙකක් අතට. දැන් සොහොන් පිට්ටනිය දෙස නොබලා ඒ අසලින් යනවා මම. සීතල දාඩිය බින්දු නළල දෙපැත්තෙන් වැගිරෙනවා. එක පාරටම ‘සරබරාස්’ සද්දයක් ආවා සොහොන් පිටියෙන්. චූ යන්ඩ ලඟයි. මට එතනම බිම ඉන්දවුනා. මම හිතුවා හොල්මනට ගහනවා නැත්නම් මැරෙනවා කියලා. නැගිටලා ගැහුවා ගල් දෙකම හොල්මන හිටිය පැත්තට. හොල්මන කෑ ගැහුවා. ‘උම්බෑ’ කියලා. ආය කියන්ඩ ඕනේ නැහැනේ. සොහොන් පිටියේ හිටිය හරකෙකුට තමයි මම බයවෙලා තියෙන්නේ. තනියම හිනා වෙවී ගෙදර ආවා.

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න. මා දිරිමත් කරන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.