Skip to content

නිළ ඇඳුමෙන් සිටි කාලේ 5

2012 ජනවාරි 16

මේ දිනවල නුවරඑලිය ප්‍රදේශය පිළිබඳව විශේෂ කතාබහ ඇතිවී තිබෙනවා. ඒ මේ දිනවල එහි ඇති අධික ශීත දේශගුණය නිසයි. කොළඹ සිට හැටන්, තලවාකැලේ, නානුඔය හරහා සැහැල්ලු වාහනයකින් (නීති ගරුක දක්ෂ රියැදුරෙකුට) පැය 3 ක් හෝ ඊට මඳක් වැඩි වෙලාවකින් නුවරඑලියට ලඟා විය හැකිය. (කොළඹ – මහනුවර මාර්ගයේ යාම රිය පැදවීම එපා වෙන ගමනකි. ගම්පොල දක්වාම වාහන තදබදය වැඩිය. හැටන් මාර්ගයේ උපරිම තදබදය ඇත්තේ අවිස්සාවේල්ල පසු කරනතුරු පමණි. ගිනිගත්හේන පසුවූවිට ‘ඇරලා යන්න’ පුළුවන. හැබැයි කඳුකර මාර්ගවල රිය පදවා අත්දැකීම් ඇත්නම් පමණයි.) කොළඹ ගිනි රස්නය විඳිමින් සිට පැය කීපයකින් සීතල දේශගුණයකට යාහැකි අපේ රට සැබැවින්ම දෙව්ලොවක් නොවේද?

නුවරඑළියේ අපේ යුද හමුදා කඳවුර නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 1969 දී ය. අද ද නුවරඑලියට ඇති එකම යුද හමුදා කඳවුර මෙයයි. මේ කඳවුර අතීතයේදී මුළු නුවරඑලිය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි රාජකාරි කටයුතු කල අතර කොත්මලේ ජලාශය ඉදිවීමෙන් පසු ඒ ආශ්‍රිතව තවත් යුද හමුදා කඳවුරු බිහිවිය. ලක්ෂපාන විදුලිබලාගාරය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ මුල්ම විදුලිබලාගාර ආරක්ෂා කල යුද හමුදා භට පිරිස් යොදවනු ලැබුවේද නුවරඑලිය කඳවුර මගිනි. නුවරඑලිය ප්‍රදේශය දැක්වෙන, බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් සිතියමක්, මේ කඳවුරේ ඇත. එම සිතියම අනුව බැලූවිට, අද නුවරඑළියේ ග්‍රෙගරි වැව වටා, විශාල භූමි ප්‍රදේශයක්, අනවසර ඉදිකිරීම් සහ ගොඩ කිරීම් වලින් වැසීගොස් ඇති බව, ඉතා පැහැදිලිව පෙනෙයි. කඳවුර පිහිට වූ මුල් කාලයේ, මෙහි සේවය කල නිලධාරීන් හා සෙබළුන් කීප දෙනෙකු සමග කතා කිරීමට, මට අවස්ථා කීපයකදී හැකි වූ අතර ඔවුන් පවසන්නේ, මුල් කාලයේදී කඳවුර ඉදිරිපිට පාරෙන් එහාපැත්තේ තිබුන වැවෙන්, බාල්දියට වතුර ගත් බවයි. එහෙත් අද වැව තිබෙන්නේ කඳවුරට මීටර් 100 ක් පමණ දුරිනි. ග්‍රෙගරි වැව ස්වභාවික ජලාශයක් නොව කෘත්‍රිම ජලාශයක් බව අද බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මම මේ කඳවුරේ සේවය සඳහා මුලින්ම පැමිණියේ 1985 වර්ෂයේය. එය ඉතා රසවත් ගමනක් විය. මා සමග මේ කඳවුරේම රාජකාරී සඳහා මගේම නිලධාරි පුහුණු පාඨමාලා සගයකුද පත් කර තිබුණි. ඔහුට නුවරඑලිය ප්‍රදේශය ගැන හොඳ අවබෝධයක් තිබුනේ ඒ ප්‍රදේශයේ ඔහුගේ ඥාතීන්ද සිටි බැවිනි. අප දෙදෙනා කොළඹ එක්තරා කඳවුරක සිට කොටුව දුම්රිය ස්ථානයට, අපේ බර ගමන් මළුද සමග, හමුදා වාහනයකින් පැමිණියෙමු. අපව හැරදමා වාහනය ගියේය. 1983 කළු ජූලියෙන් පසු උතුරේ කලබලකාරී තත්වයක් තිබුනද, යුද සෙබළුන්ට තනිවම වුවද පොදු වාහන වල යාමට නොහැකි තත්වයක් 1985 දී නොතිබුණි. (1970 දශකයේදී යුද සෙබළුන් මෙන්ම විවිධ රාජකාරි සඳහා යාපනය, මන්නාරම, වැනි ප්‍රදේශ වලට යන හමුදා නිලධාරීන් තනිව හෝ දෙතුන් දෙනා හෝ නිල ඇඳුමෙන් සැරසී කිසිදු අවියක් රහිතව රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් කල බව ඔබ දන්නවාද?) ඉතින් දැන් අපි රාත්‍රී තැපැල් දුම්රියෙන් නානුඔය දක්වා ගොස් එතැන්සිට නුවරඑලිය හමුදා කඳවුරෙන් ලැබෙන ප්‍රවාහන පහසුකම් මගින් කඳවුර වෙත යා යුතුය. අප දෙදෙනාට දෙවැනි පන්තියේ නිදන මැදිරි පහසුකම් ලැබී තිබුණි. ‘මචං අපි කඩේකින් රෑට කන්න යමක් අරගෙන යමු’ යයි මගේ මිත්‍රයා යෝජනා කළේය. ‘අයි බං කෑම්ප් එකෙන් දුන්න කෑම පාර්සල් තියනවනේ’ මම පිළිතුරු දුනිමි. ‘එව්වා මදි බං, නානුඔයට යනකොට පාන්දර හතර විතර වෙනවා, දෙපාරක් කාලත් මදි එහෙ තියන සීතලට’. පලපුරුදුකාරයාට අවනත වූ මම ඔහු සමග කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝටලයකට ගියෙමි. ‘උඹ ඔහොම හිටපන් මම ටක් ගාලා එනවා කෝ රුපියල් 50 ක් දියන්’ කියූ ඔහු මුදල් ද සමග අතුරුදන් විය. විනාඩි 15 කින් පමණ පසු ඔහු අවේ ලොකු සාප්පු මල්ලක් ද සමගය. ‘මොනවද බං ඔච්චර’ මම ඇසුවෙමි. ‘යමන් යමන්’ කියා ඔහු මාවත් ඇදගෙන දුම්රියපොළට ඇතුළුවිය. දුම්රියේ අපට කිසිදු බාධාවකින් තොරව යාමට ඉඩකඩ තිබුණි. ‘කෑම කමුද’ කියා මා විමසූ විට ‘පොඩ්ඩක් හිටපන්කෝ’ කියා ඔහු අර මැජික් මල්ලෙන් මධු පානයකට අවශ්‍ය සියල්ල පමණක් නොව බුරියානි පාර්සල් දෙකක්ද එලියට ගත්තේය. ‘ඒයි උඹනම් මාර යකෙක්. මගෙන් රු 50 යි නේ ගත්තේ මදි මදි තව 50 ක් ඉඳා’ මම මුදල් දුනිමි. ‘නෑ නෑ මචං කෑමට විතරයි උඹෙන් සල්ලි, බීම මගෙන්, හරි පටන්ගම්මු’ කිව්වේය. කතාවෙන් බතාවෙන් පේරාදෙණිය පසුවනවිට මධුවිත අවසන් විය. කෑමද අවසන් විය. ගම්පොල දුම්රියපොලෙන් ඔහු බැස්සේ ‘සිගරට් මදිවෙයි, අරන් එන්නම්’ කියමිනි. ඒ කාලයේදී මම තදින් දුම්පානය නොකලද, සිගරට්ටුවක් ලැබුනොත් හොඳයි යන සිතුවිල්ලෙන් බලා සිටියෙමි. මේකා ආපහු ආවේ, තවත් ‘බාගයක්’ ද සහිතවය. ‘කොහෙන්ද යකෝ මේ’ මම විමසුවෙමි. ‘එව්වයින් උඹට වැඩක් නෑනේ. වැඩේ කරපංකෝ’ ඔහුගේ පිළිතුර විය. (1994 දී මම දුම්පානය සම්පූර්ණයෙන් අත් හළෙමි. ඒ වනවිට මා දිනකට දුම්වැටි 40 ක් පමණ බිව්වෙමි. දිගටම කලානම් මේ කතාව ලියන්නට ඉඩ නොලබෙන්නටද තිබුණි. අද මම මත්පැන් පාවිච්චි කරන්නේ ළඟම හිතවතකුගේ ඇරයුමකදී කලාතුරකින් සහ කිසියම් හමුදා කඳවුරක පැවැත්වෙන සාදයකදී පැරණි මිතුරන් හමු වූවොත් පමණි. කොහොම කිව්වත් මත්පැන් සහ දුම්වැටි නරකමය. අද හමුදාවේ සිටින තරුණ නිලධාරීන් බොහොමයක් මතට තිත තබා තිබීම දැඩි සතුටකි. ඒ කාලයේ අපේ පඩියෙන් බාගයක් පමණ ගියේ මතට බව ලැජ්ජාවෙන් වුවද කියමි.)

පාන්දර 3.40 ට දුම්රිය නානුඔයට ලඟාවිය. නානුඔය පිහිටා ඇත්තේ මහා සුළං කපොල්ලකය. දුම්රියෙන් බැස්ස වහාම හූ කියාගෙන ඇවිත් වැදුන සුළඟින් මා දෙකට නැවී ගියාක් මෙන් දැනුන අතර, (අද 2010/01/16 පුවත්පත්වල සහ රූපවාහිනී ප්‍රවෘත්ති වල නුවරඑළියේ සීතල ගැන කියන විට මට මතක් වූයේ මේ සිද්ධියයි) ‘මොන කරුමයක් පල දීලා මෙහාට එන්න වුනාද දන්නේ නැහැ’ යන සිතුවිල්ල ඇති විය. ‘ඔහොම ඉන්න බෑ බං වරෙන් මේ බිත්තියේ එහා පැත්තට’ කියූ මගේ සගයා මාද ඇදගෙන දුම්රියපොළේ බිත්තියක් සුළං මුවාවක් ලෙස තබාගෙන ගමන් මලු බිම තබා එහි වාඩි වූයේය. ‘වරෙන් ඉන්දගනින්, දැන් මේ පාන්දර කෑම්ප් එකේ වාහන එන්නේ නෑ අපිව ගෙනියන්න, අපි ඉතින් ගහෙන් වැටිච්ච කණාමැදිරියෝ වගේ ඉම්මු එලිය වැටෙනකල්, තව එක සිගරට් එකයි තියෙන්නේ, මෙතන කැන්ටිමත් වහලා, ඒ සිගරට් එක බෙදාගෙන ගහලා ඉම්මු’. ඔහු කීවේය. මම කිසිදු කතාවක් නැතිව ගමන් මල්ල මත වාඩිවී ඔහේ බලා සිටියෙමි. දුම්රියපොළේ ඈත කෙළවරක සිට සොල්දාදුවකු අප සිටින දෙසට එන බව මම දුටුවෙමි. ‘ඒයි අර බලපන් කොල්ලෙක් එනවා මේ පැත්තට’ මම කිව්වෙමි. (කොල්ලා යන්න අපහාසයට කියන්නක් නොවේ. අපේ සොල්දාදුවෝ, කවදත් අපේ කොල්ලෝය.) ‘ඒකා මෙතන ගාඩ් එකේ ඉන්න සෙන්ට්රි (මුර සෙබලෙක්)කෙනෙක් වෙන්න ඇති. අපි කියමු නුවර එළියේ ඇවිදින්ඩ යනවා කියලා. වස ලැජ්ජාවනෙ බං නිලධාරියෝ දෙන්නෙක් බෑග් උඩ සීතලේ ගැහි ගැහි ඉන්නවා කිව්වම’. මේ කියමන අවසන් කරන විටම සොල්දාදුවා අපවෙත පැමිණියේය. සිය රයිෆලය නිසි පිළිවෙලට සිරුරේ වම්පසට ගෙන අපට ආචාර කළේය. ‘ගුඩ් මෝනිං සර්, සර්ලව එක්ක යන්ඩ ලෙෆ්ටිනන්ට් . . . . .බණ්ඩාර සර් ඇවිල්ල ඉන්නවා. එළියේ වාහනේ තියනවා. මට කිව්වා සර්ලව එක්ක එන්ඩ කියලා’. හුස්මක් නොගෙන කියාගෙන ගියේය. දෙයියෝ මූණ බැලුවා. මට සිතුනි. අපි අතින් කටින් එල්ලගෙන වහනය වෙත ගියෙමු. ‘යකෝ අපි නිලධාරීන් නේද අපේ බඩු ගෙනියන්ඩ එකෙක් නැත්තේ මොකද? මම සිතුවෙමි. ඇත්ත දැනගත්තේ වාහනය ලඟට ගිය විටය. ලෙෆ්ටිනන්ට් බණ්ඩාර කිව්වම හමුදාවේ ලෙෆ්ටිනන්ට් බණ්ඩාරලා ‘කිලෝ 5000 ක්’ සිටින්නට පුළුවන. ආවේ කුමන බණ්ඩාර දැයි අපි දැනගත්තේ ‘අඩෝ’ කියාගෙන ඔහු වාහනයෙන් එලියට පැන්න විටය. ඔහු අපට වඩා ජ්‍යෙෂ්ඨයකු වුවද ‘මචං ලෙවල් එකේ’ ආශ්‍රය කරන්නෙකි. ‘උඹලට පොඩි රැගක් හරි දෙන්ඩ ඕනේ නිසයි මෙහෙම කරේ. නැගපල්ලා නැගපල්ලා’ කියා අපව වාහනයට ගත් වහාම වාහනය නුවරඑලිය බලා ධාවනය වන්නට විය. කඳවුරට පැමිණි වහාම ඔහු අපේ කනට මීපැණි වත්කලේය. ‘අද ඉරිදනේ සී. ඕ. (අණදෙන නිලධාරි වරයා) ටූ. අයි. සී. (දෙවැනි අණදෙන නිලධාරිවරයා) දෙන්නම ඔෆිස් එන්නේ නැහැ. අද උදේ ඉඳලා මම ‘ඩියුටි ඔෆිසර්’ (දවසේ කාර්ය භාර නිලධාරි) මම ඇජුටන්ට් ට (විධායක අධිකාරි = විනය සහ පරිපාලනය භාර නිලධාරි) කියන්නම් උඹලා අවා, හරි මහන්සියෙන් ඉන්නේ කියලා. උඹලා නානවානම් නාපල්ලා, උණුවතුර තියනවා. අද දවසම කපලා බුදියගනිල්ලා’ කිව්වේය. ‘උඹනම් දෙයියෙක්’ කියා අපි වහාම ඇඳට පැන්නෙමු. නැවත නැගිට්ටේ දවල් ආහාරය සඳහාය. තවත් කොටසක් පසුව . . . . . . . . . .

ප්‍රතිචාර 7 leave one →
  1. 2012 ජනවාරි 16 16:23

    හරිම රසවත් දිගටම ලියන්න…

  2. 2012 ජනවාරි 16 17:05

    ඔව්…දිගටම ලියන්න…පරණකතාවලට කවුද අකමැති…:D

  3. 2012 ජනවාරි 16 21:02

    මා දිරිමත් කළ ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි.

  4. 2012 ජනවාරි 16 23:20

    ලියමු ලියමු. අපි ආසාවෙන් කියවනවා

  5. 2012 පෙබරවාරි 24 19:18

    ‘ලෙෆ්ටිනන්ට් බණ්ඩාරලා ‘කිලෝ 5000 ක්’ සිටින්නට පුළුවන’ මේක තේරුනේ නෑනෙ..

    දුම්බීම නවත්තපු එකනම් ලොකු දෙයක්..

    • 2012 පෙබරවාරි 24 23:49

      ඔතන කිලෝ 5000 ක් කිව්වේ හාස්‍ය රසය සඳහා. ගොඩක් කියන අර්ථයෙන් කිලෝ කියන වචනය යෙදුවා. එච්චරයි.

      • hasithag permalink
        2012 මාර්තු 31 16:18

        හරියට පොලිසියේ ඉන්නා සාජන් “බණ්ඩා” වගේ තමා මේකත් :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.