කොප්‍රල්ගේ ‘බිවැක්’ එක
හමුදා සේවයේදී ඉහලින් එන අණ පිළිපැදීම අනිවාර්යයෙන් කලයුතුයි. නැතිනම් ගෙදර යා යුතුයි. සොල්දාදුවෙකුට තමන් ළඟම සිටින අණදෙන්නා වන්නේ තමන් අයත් භට ඛණ්ඩයේ, (Platoon) තමන් අයත් පේලියේ, (Section) (ඛණ්ඩයකට පේලි තුනක් තිබේ.) අණදෙන්නා හෙවත් පෙළ අණ දෙන්නාය. (Section Commander) පෙළ අණදෙන්නා ලෙස කටයුතු කරන්නේ කෝප්‍රල් වරයෙකි. එක්තරා බලඇණියකට අයත් ඛණ්ඩයක, තරමක් දාර්ශනික දැනුමක් ඇති පෙළ අණදෙන්නෙක් සිටියේය. ඔහු තමන් යටතේ සිටින සොල්දාදුවන්ට යම් කරුණක් පැහැදිලි කරදෙන්නේද දාර්ශනික විලාශයෙනි.
උදාහරණයක් වශයෙන් ටී 56 තුවක්කුව ගැන උගන්වනවිට ඔහු පාවිච්චිකරන්නේ මෙවැනි වදන්ය. ‘සමස්ත මානව ඉතිහාසයම වෙනස් කිරීමට තරම් හේතුවූ මේ ප්‍රබල අවිය පරිහරණයේදී, මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳවද තමාලා සිතා බැලිය යුතුයි’. ඉතින් මේ දාර්ශනික වචන නොතේරුනොත් සොල්දාදුවන්ට වෙන්නේ විවිධ දඬුවම් වලට යටත් වෙන්නටයි. මේ නිසා ඔහු සමග පරිස්සමෙන් ගනුදෙනු කිරීමට ඔහු අණදෙන පෙළෙහි සොල්දාදුවන් අධිෂ්ඨාන කරගත්තා.
මේ කාලයේදී අලුත් සොල්දාදුවෙක් ඒ පෙලට එක්වුණා. කෝප්‍රල් වරයා ඔහු තමන්ගේ දැඩි අධීක්ෂණය යටතේ තබාගත්තා. දිනක් මහ කැලයේ සතුරු භූමියට ආසන්නව කඳවුරු බඳින්නට සිදුවුනා. මෙවැනි අවස්තාවලදී ඈතට පෙනෙන ලෙස විශාල කූඩාරම් සවි කරන්නේ නැහැ. සතුරාට පෙනෙන නිසා. ඒ වෙනුවට කරන්නේ සොල්දාදුවා තම පිටේ ගෙනයන ලොකු මල්ලේ තිබෙන ඝන ඉටිරෙද්දක් වැනි පොලිතීන් රෙද්දෙන්, පොළොවේ සිට අඩි දෙකක් පමණ උසට සිටිනසේ පල දෙකක කුඩා කූඩාරමක් සකසා ගැනීමයි. (මේ සමග ඇති ඡායාරූපය බලන්න.) මෙය හඳුන්වන්නේ ‘බිවැක් = Bivak’ යන නමින්. මෙය එක සොල්දාදුවකුට පමණක් සුදුසු වුනත්, මේ සඳහා ගන්න විශේෂ රෙදි හිග වූ විට දෙන්නෙක් එක කූඩාරමේ ඉන්නවා. එයින් ආරක්ෂාවද තහවුරු වෙනවා. ඉතින් අපේ අර කෝප්‍රල් එදා බිවැක් එකේ හිටියේ තමන්ගේ අධීක්ෂණය යටතේ ඉන්න සොල්දාදුවාත් සමගයි. ‘පරිසරය නිරීක්ෂණය කරනු, තමන් නිරීක්ෂණය කරනදේ හොඳින් අවබෝධ කරගනු, අවබෝධ කරගත් දේ නිවැරදිව මට වාර්තා කරනු,’ මේ තමයි එදා අපේ කෝප්‍රල් තමන්ගේ ගෝලයාට දුන්න උපදෙස්. මහ රෑ දෙකට විතර සොල්දාදුවා තමන් අසලම නිදා සිටින කොප්‍රල්ව අවදි කළා. කෝප්‍රල්, කෝප්‍රල්, කොප්‍රල්ට මොකක් හරි අමුත්තක් දැනෙනවාද? සොල්දාදුවා ඇහුවා. ‘නිශ්ශබ්දවනු’ කෝප්‍රල් කිව්වා. මම මොහොතක් නිරීක්ෂණය කරනතෙක් සිටිනු, හ්ම්ම්ම්ම් . .. . . පරිසරය බොහෝදුරට නිහඬයි. සතුරාට අපව නිරීක්ෂණය කරන්න හොඳ අවස්තාවක්, අහස පැහැදිලියි. තරු කෝටි ගණනක් දිස්වෙනවා. අන්තරීක්ෂය දක්වා නිරීක්ෂණය වෙනවා. කෝප්‍රල් සොල්දාදුවාට කියාගෙන ගියා. කෝප්‍රල්, පොඩ්ඩක් ඉන්නකෝ සොල්දාදුවා බාධා කළා. මට කොප්‍රල්ට වාර්තා කිරීමට දෙයක් තියෙනවා. දැන් ඔය කෝප්‍රල් කියපු මොන රීක්ශයද මම දන්නෑ. එච්චර හොදට අහස පෙනෙන්නේ කෝප්‍රල්, කවුදෝ අපේ බිවැක් එක ගලවාගෙන ගිහින්.
නිල ඇඳුමෙන් සිටි කාලේ 9
පිදුරුතලාගල රූපවාහිනී සම්ප්‍රේශනාගාරය පිහිටුවීමට පෙර එය ඕනෑම කෙනෙකුට ගොස් පරිසරය රස විඳීමට හැකි තැනක්ව තිබුනා. නමුත් සම්ප්රෙෂණාගාරය පිහිටුවීමෙන් පසු එය ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වුනා. ඒ නිසයි ඔවුන් 1984 වසරේ මැද භාගයේදී එයට අසාර්ථක ප්‍රහාරයක් එල්ල කලේ. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ සුන්දරතම ස්ථානයක් මෙන්ම උසින්ම පිහිටි භූමි භාගය නැරඹීමේ දුලබ අවස්තාව මුළු ලෝකයටම තහනම්වී යාමයි. රජය මේ පිළිබඳව නැවත සලකා බැලීමක් කල යුතු කාලය දැන් එළඹ ඇතැයි මා සිතනවා. වරාය, ගුවන් තොටුපල, වැනි ස්ථාන බලන්නට යාමට ඉඩ දෙන්නේනම්, මෙයද එවැනි ස්ථානයක් ලෙස සැලකිය යුතුය යන්න මගේ හැඟීමයි. පිදුරුතලාගලට පාරක් කැපීම මා කිසිසේත් අනුමත නොකරන බව මීට පෙර මගේ ලිපියකින් ප්‍රකාශ කළා ඔබට මතක ඇති. ඒ වෙනුවට කළයුතුව තිබුනේ, ජපන් ඉංජිනේරුවන් විසින්, බඩු ගෙනයාමට පමණක් සකස් කර තිබුණු කේබල් කාර් මාර්ගය, මිනිසුන් ගෙනයාහැකි ආකාරයට වැඩි දියුණු කිරීමයි. මේ සමග ඇති ගූගල් සිතියමෙන් ඔබට දැක ගත හැකියි, මේ අඩි 20 ක් හෝ සමහ තැන්වල ඊටත් වැඩි පළලින් යුත් කොන්ක්‍රීට් මාර්ගය නිසා, නොඉඳුල් වනාන්තරයට සිදුවී ඇති, නැවත සැකසිය නොහැකි හානිය. අනෙක් අතට කලින් තිබුන අඩි පාරේ යන්නට අද ඉඩදුන්නොත් සිදුවන හානිය හිතාගන්නටවත් බැරි තරම් බරපතලයි. ඒ තරම් ‘හොඳ’ සංචාරකයන් අපේ රටේ ඉන්න නිසා. ඒ නිසා හොඳම විසඳුම තමයි අතරමග නොනවත්වන කේබල් කාර් ක්‍රමයකින් වනාන්තරයද බලාගෙන මුදුන දක්වා (විවිධ ආයතන වලට අයත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශය මග හැර කඳු වැටියේ වෙනත් තැනකට) යාමට ඉඩ සැලසීම. මෙය සංචාරක ප්‍රවර්ධන කාර්යයක් ලෙස සැලකිය යුතුයි.
පිදුරුතලාගල ආරක්ෂක මුරය හැටියට අපි සෑම විටම ගියේ කැලය මැදින් ඇති අඩි පාර දිගේ පයින්මයි. එය රසවත් බව මෙන්ම සතුරා ගැන අවධානයෙන්ද යුතුව යායුතු අභියෝගාත්මක ගමනක්. රසවත් බවේ එක උදාහරණයක් කියන්නම්. පිදුරුතලාගල රක්ෂිත වනයක් නිසා කිසිවෙකුටත් එහි ඇතුළුවීම තහනම්. නමුත් කඳු වැටිය පාමුල වටේටම ඇති වතු ජනාවාසවල සිටින කාන්තාවන් දර කඩාගැනීම සඳහා හොරෙන් රක්ෂිතයට ඇතුළු වෙනවා. දර කඩාගනීමට අමතරව කුඩා ගස් කපාගැනීම නිසා බරපතල හානියක් ඔවුන්ගෙන් සිදුවෙනවා. එක් දිනක් මම පිදුරුතලාගල මුරය භාර නිලධාරියා ලෙස රාජකාරිය භාර ගැනීම සඳහා මුරයේ සාමාජිකයන්ද සමග තරමක් පොද වැස්සේ පිටත් වුනා. මීටර් 300 ක් පමණ කැලය ඇතුලට යද්දී ඉදිරියෙන් යන විමර්ශන කණ්ඩායම හස්ත සංඥාවකින් කිව්වා, කවුරුන් හෝ කැලයේ සිටින බව ඇහෙනවා දැනෙනවා කියා. සියලු දෙනා වෙඩි තැබීමට සූදානම්ව ගස් වලින් ආවරණයක් ගෙන සිටින ලෙස සංඥා කල මම, බඩගාගෙන ඉදිරියට ගියා මගේ සහායක සෙබලාත් සමග. විනාඩි 10 ක් පමණ බඩගාගෙන යනවිට මට ඇසුනා ගැහැණු කටහඬවල් කීපයක් සහ හිනා හඬකුත්. මට එක්වරම අවබෝධවුනා මේ දර කඩන්නට හොරෙන් පැමිණි කණ්ඩායමක් බව. අදනම් හොඳ පාඩමක් උගන්වනවා කියා සිතූ මම, සෙබල කණ්ඩායම යොදවා ඒ ප්‍රදේශය වටකර, සෙබළුන් තිදෙනෙකු සමග එතනට කඩා පැන්නා. එතන තිබුනේ වැඩිහිටියන්ට පමණයි දර්ශනයක්. දර කඩන්නට එන කාන්තාවන් ඔවුන් යටි කයට ඇඳ සිටි වස්ත්‍ර උනා දමා ඉටි රෙදි ඇඳගෙනයි දර කැඩීමේ යෙදී තිබුනේ. එයට හේතුව ඔවුන්ගේ දුප්පත්කමයි. නිතර මාරුකරන්නට ඔවුන්ට ඇඳුම් නැතුව ඇති. අපි කඩා පනින වෙලාවේ ඔවුන් දර කැඩීම අවසන් කර නැවත ඇඳුම් මාරු කරමිනුයි සිටියේ. ඇඳුම් ඇඳගෙන සිටි අය විලාප දීගෙන පහලට දිව්වා. යටි කය නිරුවතින් සහ ඉටි රෙදි ඇඳුමෙන් සිටි අය බිම වාඩිවී හඬන්නට පටන් ගත්තා. මා සමග සිටි එක් සෙබළෙකුට දෙමල භාෂාව පුළුවන්. මා ඔහුට කිව්වා අපෙන් හිරිහැරයක් නොවන බවත්, අපි එතනින් ඉවත් වන බවත් එහෙත්, ඇඳුම් මාරු කරගෙන, ඔවුන්ගෙන් එක් අයෙකු පහලට ගොස්, පැන ගිය අයද රැගෙන ආපසු පැමිණිය යුතු බවත් කියනලෙස. එසේ කියා අපි ඉවත්වුණා. ටික වෙලාවකින් ඒ නඩයම එක් තැනකට ගන්නට අපි සමත් වුනා. ඉන්පසු අර සෙබලා මගින් මා ඔවුන්ට දැඩිව අවවාද කළා නැවත දුටුවොත් වෙඩි තබන බව. හැබැයි මේ සිද්ධිය කඳවුරට වාර්තා කල පසු මට ලස්සන අදහස් දැක්වීම් රාශියක් අසන්නට ලැබුනා සහෝදර නිලධාරීන්ගෙන්.
ඇස් දෙකෙන්ම දුටු මිනීමැරුම
මම මැදි විය ඉක්මවා සිටියත් මේ සිද්ධිය කිසි දිනක මගේ මතකයෙන් ඈත් වන්නේ නැති බව ස්ථිරයි. ඒ මම මගේම දෙනෙතින් අනියම් මිනීමැරුමක් දුටු එකම අවස්ථාවයි. පසු කාලයේ අපේ රටේ තිබුණු යුද්ධයේදී මරනු මැරෙනු දෙකම බොහෝ වාර ගණනක් දැක ඇතත්, කුඩා පාසල් දරුවකු ලෙස මේ සිද්ධිය මා අහම්බෙන් දුටුවේ වයස අවුරුදු 6 ක පමණ කාලයේදීයි. ඉතාම පුදුම සහගත දෙය වන්නේ මේ සිද්ධිය අකුරක් නෑර කීමට තරම් ප්‍රබලව ඒ කුඩා අවධියේදීම මගේ මතකයට කාවැදීමත්, අදටද එය එලෙසින්ම මතක තිබීමත්ය. මෙයයි ඒ සිද්ධිය.
ඒ 1960 දශකයේ මුල භාගයයි. මමත් අයියාත් (ඔහු මට වඩා අවුරුදු 8 ක් වැඩිමල් වුනත් අපි සෙල්ලම් කලේ බොහෝවිට එකටයි) වෙනදා වගේ පාර අයිනට ගොස් කරන සෙල්ලම ගැන සිතමින් හෝ අපේ කල්ලියේ කොල්ලන් ඒ දැයි සෙවිල්ලෙන් හිටියා. අපි මොකක්වත් නැති වෙලාවට කරන්නේ පාරේ උඩහ පැත්ත සහ පහල පැත්ත යනුවෙන් අපි නම් කරගෙන සිටි දෙපැත්තෙන් මීළඟට වාහනයක් එන්නේ කොයි පැත්තෙන්ද, ඒ වාහනය කාර් එකක්ද, බස් එකක්ද, ලොරියක්ද, වෑන් එකක්ද, යනුවෙන් කියා ඔට්ටු ඇල්ලීමයි. ඒ කාලයේ ඒ පාරේ වාහනයක් එන්නේ විනාඩි 15 – 20 විතර එකක් තරම්. එදා හවස මෙහෙම අයියයි මායි ඉන්නකොට තමයි අපි දෙන්නම මිනීමැරුම දැක්කේ.
මගේ දෙමවුපියන් දුප්පත් ගුරු යුවලක් වූ නිසා (ගුරුවරුන්ගෙන් බහුතරය කවදත් දුප්පත්) වියන ඉස්කෝලය නමින් හැඳින්වුණු පැරණි ගෙයක්, ගුරු නිවාසයක් ලෙස සකසා ලබාදී තිබුනා. ඒ නම ලැබුනේ ඒ ගොඩනැගිල්ලේ කලින් රෙදි වියන ස්ථානයක් තිබුන නිසයි. මේ ගෙට තබා, ඒ පැත්තේ ගෙවල් වලින් 10% කටවත් විදුලිය තිබුනේ නැහැ. මේ ගෙදර සිට පාරට බහින්න පඩි පෙළක් තිබුනා. එහි පඩි හතක අටක් පමණ තිබුනා. ඒ කාලයේ අයියගේ යාලුවෙක් හිටියා සමරදිවාකර කියලා. එයාගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. මාටින් මුදලාලි කියලා කවුරුත් කිව්වේ. ඒ කාලයේ හැටියට හොඳට ඉදිකළ නිවසකුත් ඔවුන්ට තිබුනා. සමරදිවාකරගේ අම්මා උදෙන්ම නැගිටලා කඩයප්පන් හදනවා. සමරදිවාකර තමයි ඒවා කඩමන්ඩියට ගෙනයන්නේ. උදේ පාන්දරම කඩයප්පන් අරගෙන යන ගමන් සමරදිවාකර ලස්සන වැඩක් කරනවා. ඒ කාලයේ විශාල නූල් පන්දු ඔතා එවන කේතු ආකාරයේ ඝන කාඩ්බෝඩ් කේතු තිබුනා අඟල් 6 ක් විතර දිග. සමරදිවාකර එයින් එකක් හොයාගෙන එයට ඉපියාවක් හයි කරලා පාන්දර මහා හඬින් පිඹිමින් තමයි යන්නේ කඩමන්ඩියට. මේ මහා හඬට මුළු ගමම අවදි වෙනවා. සමහරු බනිනවා. ඒත් සමරදිවාකර නෙවෙයි ඒ වැඩේ නැවැත්තුවේ.
මේ ගමේ හිටියා හුණු නිෂ්පාදනය කරන පවුල් කීපයක්. ඔවුන් හිටියේ අපේ අල්ලපු වැටේ. විශාල හුණු වලවල් ඔවුන්ගේ ගෙවල් වටා තිබුනා. බල්ලන් බළලුන් වැනි සතුන් මේ වලවල් වලට වැටී මියගිය අවස්ථා එමටයි. අපිට ඒ පැත්ත පලාතටවත් යාම දෙමවුපියන් විසින් සපුරා තහනම් කරලයි තිබුනේ. එයට වෙනත් ‘සමාජමය හේතු’ ද තිබුන බව අවබෝධ වුනේ ඊට හුඟක් කලකට පස්සෙයි. ඒ ගෙවල්වල දිනපතාම පාහේ බීමත්ව කෙරෙන සණ්ඩු සරුවල්ද නොඅඩුව තිබුනා. ඔවුන් කියන හරුප අක්කලාටත් අපටත් ඇසීම වැලක්වීමට අපේ දෙමවුපියන් යොදාගත් ඉතා කාලෝචිත උපක්‍රමය වූයේ මහා හඬින් ගෙදර රේඩියෝව ක්‍රියාත්මක කිරීමයි. (ඒ කාලයේ කැසට්, සීඩී, තිබුනේ නැත. ස්පූල් ටේප් රෙකෝඩරයක් හෝ එල් පී රෙකෝඩ් ප්ලේයරයක් තිබුනේ ලක්ෂපති ගෙදරක පමණි.) අනෙක එෆ් එම් විකාශන කියා දෙයක් ඒ කාලයේ අපි අසා තිබුනෙවත් නැති අතර මධ්‍යම තරංග (Medium Waves) සහ කෙටි තරංග (Short Waves) ඔස්සේ අප සවන්දුන් වැඩසටහන් කොතරම් ඝෝෂාකාරීද යන්න අවබෝධවූයේ 70 දශකයේ අග භාගයේදී එෆ් එම් විකාශන ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය.
හුණු නිෂ්පාදනය කරන පවුල් අතර ලොකු ගණන්කාරයෙක් හිටියේය ඔහුව හැඳින්වුණේ ‘කිරියා’ යන නමිනි. හැන්දෑවට පදමට සප්පායම්වන ඔහු ‘ මම කිරියා පුතා, මම තමයි නාරන්පිටියේ ගනන්කාරයා, මට වැඩිය එකෙක් මේකේ නෑ’ කියා කෑ ගසමින් කඩමණ්ඩිය දෙසට යනු සුලබ දසුනකි. පොලීසිය තිබුනේ කිලෝමීටර් 5 ක පමණ දුරින් පිහිටි නගරයේ වුවද දුරකතනයක් ඒ අසල කිසිදු තැනක තිබුන බවක් මට මතක නැත්තේ ඒ ප්‍රදේශයේ අවුරුදු 5 ක් පමණ සිටි නිසාය.
කිරියාගේ පුතාගේ නම ගුණපාල වගෙයි මගේ මතකය. සමරදිවාකරලාගේ ගෙදර තිබුනේ ප්‍රධාන පාර අසල ඇලකට එගොඩින් තරමක් උස්බිමකය. එහෙත් පාරේ සිට ගෙදරට අහස් දුර මීටර් 15 කට වඩා වැඩි නැත. සමරදිවාකරලාගේ නිවසට ටිකක් පහලින් ඇල අයිනට වන්නට ගෙඩි පිරුණු අඹ ගසක් විය. එක් දිනක් දවල් ගුණපාල මේ අඹ ගසට ගල් ගැසූ අතර එයින් එකක් සමරදිවාකරලාගේ ගෙදර වහලයට වැටී උළු කැටයක් බිඳුණි. එදා සවස වැස්සක් වැටුණු අතර සමරදිවාකරලාගේ ගෙදර සාලය අර උළු කැටය කැඩුණු තැනින් තෙමුනි. සමරදිවාකරලාගේ තාත්තා මාටින් මුදලාලි එදා සවස ගෙදර එනවිට සාලය තෙමිලාය. හේතුව විමසූ විට ගෙදර අයගෙන් සවිස්තර වාර්තාව ලැබුණි. මාටින් මුදලාලිත් හැන්දෑවට ‘දෙකක් දාන’ පුද්ගලයෙකි. වහලයට වුන දේ පිලිබඳ කතාව ඇසූ ඔහු කිසියම් අවශ්‍යතාවක් ඇතුව හෝ නැතුව කඩ මණ්ඩිය බලා පිටත්විය. ඒ යන අතරමග කිරියලාගේ ගේ අසල ගුණපාල සිටිනු ඔහු දුටුවේය. ‘ඇයි යකෝ අපේ ගෙදරට ගල් ගැහුවේ’ කියා ඇසූ මාටින් මුදලාලි, ගුණපාලගේ කණ හරහා එකක් දී කඩ මණ්ඩියට ගියේය. කනේ පහරින් රිදුනේ ගුණපාලගේ තාත්තා කිරියාටය. ඔහුත් හුණු වෙළඳාමේ ගොස් ගෙදරට ගොඩ වුනේ ඊට විනාඩි කීපයකට පසුවය. කිරියාගේ බිරිඳ (ඇය රණ්ඩු කෙක්කක් බව ඒ කාලයේ සමහර ගෑණු අපේ අම්මා සමග කියනු අසා ඇත්තෙමි) ලුණු ඇඹුල් ඇතිව වාර්තාව කිරියාට දුන් බව අපි දැනගත්තේ පසුවය. මාටින් මුදලාලි කඩ මන්ඩියේ සිට ආපසු සිය නිවස දෙසට ප්‍රධාන මාර්ගය දිගේ යමින් අපේ ගේ පසු කරන විට පඩි පෙළ පාමුල පාර අයිනේ සිටි අයියා සහ මා දෙස බලා ‘පුතේ මොකද ඔතන කරන්නේ’ කියා නොනැවතීම ඉදිටියට ගියේය. කිරියාගේ නිවස ඇත්තේ ඊට මීටර් 10 ක් පමණ දුරිනි. මාටින් මුදලාලි ඒ නිවස ඉදිරිපිටට ලංවන විටම කිරියාත්, ඔහුගේ අයියා පොඩි සිංඤ්ඤාත්, කිරියාගේ බිරිඳගේ මල්ලී වන රෙදි මුදලාලිත් (මොහුට ඒ නම ලැබුනේ සති පොලවල්වල රෙදි විකුණන බැවිනි) එක වරම කිරියාගේ ගෙදරින් එලියට බැස්සෝය. ‘මහත්තයා මොකද මගේ කොල්ලට ගැහුවේ’ කියා කිරියා මාටින් මුදලාලිගෙන් විමසුවේය. කේන්තිය ඉහවහ ගොස් සිටි මාටින් මුදලාලි කිරියලාගේ කුලමල කියමින් මහා හඬින් බැන්නේය.
කිරියා එක්වරම, සෑම විටම පාහේ තම ඉනේ තිබෙන දිග උල් පිහිය එලියට ඇදගත්තේය. රෙදි මුදලාලි සහ පොඩි සිංඤ්ඤා මාටින් මුදලාලිගේ අත් දෙක දෙපසට ඈත් වන පරිදි හිරකර අල්ලා ගත්තෝය. මාටින් මුදලාලිද තරමක් බීමත්ව සිටි නිසා සෙලවීමටවත් නොහැකි විය. කිරියා හැකි වැර යොදා හරියටම මාටින් මුදලාලිගේ පපුවේ වම් පැත්තට පිහිය සම්පූර්ණයෙන් බස්සවා එලියට ගත්තේය. අයියාත් මාත් බලාසිටියදී මේ සියල්ල සිදුවූ අතර මාටින් මුදලාලිගේ පපුවෙන් උණු ලේ විදින්නට විය. මට දැන් සිතෙන්නේ පිහි පහරින් මාටින් මුදලාලිගේ හදවත සිදුරු වීමෙන් එසේ ලේ ගලන්නට ඇති බවය. මාටින් මුදලාලි අඩි 6 ක් පමණ උස පුද්ගලයෙකි. කිරියා කැහැටු අඩි 5 කට මදක් වැඩි උසකින් යුත් මිනිසෙකි. නමුත් තම අයියා සහ මස්සිනාගේ උදව්වෙන් ඔහු මාටින් මුදලාලිව මැරුවේය. මාටින් මුදලාලි අඩි කීපයක් ඉදිරියට ගොස් කපා හෙලූ ගසක් මෙන් පාර මැද වැටුණි. ඒ මොහොතේම වැස්සක් ආරම්භ විය. මාටින් මුදලාලිගේ ලේ වැසි වතුර සමග පාරදිගේ ගලද්දී අසල් වැසියෝද සමරදිවාකරද මහා හඬින් කෑගසාගෙන ආවෝය. පොලීසිය ආවේ පැයකට පමණ පසුවය. ආරංචිය ලැබෙන්නට ගිය කාලය අනුව එසේ වන්නට ඇත. ඒ වනවිට අපූරු දෙයක් වී තිබුණි. කිරියාගේ බිරිඳගේ වම් කම්මුලේ අඟල් හයක පමණ කැපුමකින් ලේ ගලමින් තිබුණි. ඇය පොලීසියට කිව්වේ මාටින් මුදලාලි තමන්ට පිහියෙන් ඇන්න බවයි. නමුත් ඒ සියල්ල බොරු බව මිනීමැරුම් නඩුවේදී ඔප්පු විය. මිනීමැරුම් නඩුවේදී අයියාටද සාක්ෂි දීමට සිදුවිය. නඩුව ඇසුවේ මහනුවර මහාධිකරනයෙදීය (ඒ කාලයේ නම මහාධිකරණය නොවේ වෙනත් එකකි. මට මතක නැත) මා සාක්ෂි නොදුන් බැවින් මිනීමැරුම ඇසින් දුටු එකම සාක්ෂිකරු මගේ අයියා විය. අද සිදුවනදේ එදාද සිදුවිය. කිරියාට විරුද්ධව සාක්ෂි දුන්නොත් ඔවුන් අයියාටද කරදරයක් කරනු ඇත යන අදහස කවුරුන් විසින් හෝ අපේ දෙමවුපියන්ගේ ඔලුවට දැමීම නිසා, පිහියෙන් ඇන්නේ කවුදැයි තමන් නොදුටු බවත්, කිරියා, රෙදි මුදලාලි සහ පොඩි සිංඤ්ඤාත්, සිටිනු දුටු බව පමණක් අයියා උසාවියේදී කීවේය. මිනීමැරුම තමන් දුටු බව එදා මගේ අයියා කිව්වානම් සිදුවන්නේ කුමක්ද? අදමෙන් නොව ඒ කාලයේදී මරණ දඬුවම අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය. අදට එය ගැලපේද නොගැලපේද යන්න මමත් සිතන අවස්ථා ඇත. පසු කලකදී අයියා මට කීවේ විත්තේ කූඩුවේ සිට, කිරියා ඉතාම බැගෑපත් බැල්මෙන් අයියා දෙස බලා මිනීමැරුම නොදුටු බව කියන ලෙස ඉඟි කල බවයි. කෙසේ වෙතත් විත්තිකරුවන් තිදෙනාම බරපතල වැඩ ඇතිව දීර්ඝ සිර දඬුවමකට ලක්විය. දැනට මාස කීපයකට පෙර ඒ ප්‍රදේශය පසුකරගෙන මගේ මෝටර් රථයෙන් ගියේ මගේ බිරිඳගේ රාජකාරි අවශ්යතාවකටය. ඒ කාලය මතක්වී හදවතට දැනුනු වේදනාව අපමණය.
ඉස්කෝලේ යන කාලේ 10

නයි කාරයෝ, බේත් තෙල් කාරයෝ, සාස්තර කාරයෝ, සමග ගතවූ අපේ පාසල් ජීවිතයේ ඒ කාලයේ හැටියට ලැබූ ත්‍රාසජනක අත්දැකීම් දෙකක් මගේ මතකයට නැගෙයි. එයින් එකක් වන්නේ ‘සන්නාසි බිල්ලන්’ගේ කතාවය. දෙවැන්න ‘වාලක්කඩි’ කතාවය. කතා දෙකම කෙටියෙන් මෙසේය. ඊට පෙර මේ චූර්නිකාවත් කියවන්න. ඒ කාලේ අපේ රට මීට වඩා හුඟක් විසාලය. දැන් ඔබ සිතන්නේ මේ යකා මේවා ලියන්නේ ගංජා ගහලා කියාය. නැත. ඒ කාලේ අපේ රට මීට වඩා ලොකුයි කිව්වේ ප්‍රවාහනය සහ සන්නිවේදනය අතින් මෙතරම් දියුණුවක් එකල නොතිබූ බැවිනි. හැබැයි පේදුරු තුඩුවෙන් පිටත්වන මිනිහෙකුට කිසිදු කරදරයකින් තොරව අතරමග මාර්ග බාධකවල රස්තියාදු නොවී දෙවුන්දර තුඩුවට යාහැකි විය. දෙවුන්දර තුඩුවට තමන් පැමිණි බව කියා ඒ මිනිහා අද (දෙමලෙන් ලිපිනය ලියා) තැපැල් කරන ලියුම පහුවදා නොවැරදීම පේදුරුතුඩුවට ලැබුනේය. ඍජු දුරකථන ඇමතුම් තිබුනේ ප්‍රාදේශීයව පමණි.
පේදුරුතුඩුවේ මිනිහාට දෙවුන්දර තුඩුවේ තැපැල් හලෙන් පේදුරුතුඩුවට දුරකථන ඇමතුමක් ගන්නටනම් ‘කෝල්’ එක ‘බුක්’ කර යටත්පිරිසෙයින් පැයක්වත් (බොහෝවිට ඊට වැඩි කාලයක්) බලාසිටිය යුතුය.
නමුත් ටෙලිග්‍රෑම් නිසි වෙලාවට ලැබුණි. ඒවා යැව්වේ ‘මෝස් කේත ක්‍රමයෙන්’ යයි සිතමි. (Morse Code) අපේ නගරයේ මහ තැපැල් හලක් තිබුණි. ඒ තැපැල් හල ඉදිරිපිට ‘රාජකරුණා හෝටලය’ නම් සුප්‍රසිද්ධ හෝටලය තිබුණි. ඒ කාලයේ ඕනෑම දුරකථන අංකයක් ඉලක්කම් දෙකකට හෝ තුනකට සීමා විය. කොළඹ නගරයේනම් ඉලක්කම් හතරකි. විනාඩියක දුරකථන ඇමතුමක් සත දහයකි. ඉතින් අපේ ‘ඇට්ටර කල්ලිය’ එක් දිනක් සතේ සතේ එකතුකරගෙන සත දහයක් සාදාගෙන ජයග්‍රාහී ලීලාවෙන් තැපැල් කන්තෝරුවට ගියෙමු. රාජකරුණා හෝටලයට ඇමතුමක් ගත්තෙමු. ඇමතුම් කුටියේ සිට කතාකරන බැවින් පිටතට නොඇසෙයි. අපේ කල්ලියේ සිටි . . . . රණතුංග ගේ කටහඬ ටිකක් ගැඹුරුය. ඔහු එය තව ටිකක් ගැඹුරු කලවිට තරුණයකුගේ මෙනි. ඉතින් ඔහු හෝටලයෙන් ටී බනිස් දහයක් හා ප්ලේන් ටී දහයක් තැපැල් කන්තෝරුවට එවනමෙන් ඕඩර් කළේය. ඉන්පසු අපි තැපැල් හල ඉදිරියට වී බලා සිටියෙමු. ඕඩරය රැගත් වෙටරයකු නොපමාව තැපැල් හලට ගියේය. ගිය පයින්ම බැන බැන ආපසු ආවේය. අපි සිනාවීම ආරම්භ කලේ එතනින් සෑහෙන දුරකට ඉවත් වූ පසුවය.
ඔන්න සන්නාසි බිල්ලා ආවා. ඒ කාලයේ ගම්බිම් සිසාරා සැරිසරන ‘සන්නාසි’ (සමහරු ‘තන්නාසි’ කියා කී බව මතකය) යන නමින් හැඳින්වුණු හින්දු පූජක වේශධාරී පුද්ගලයන් නිතර දක්නට ලැබුණි. හිස මුදුනට කර ගැට ගැසූ දිගු කොණ්ඩය, නළලේ මහ විසාල පොට්ටුවක් හා තුන්නූරු සලකුණ, එක අතක දිලිසෙන පිත්තල ත්රිශූලයක්, අනික් අතේ පිත්තල කෙණ්ඩියක් හා එහි පියන කොටසේ බැතිමතුන්ගේ නළලේ ගාන අළු, සිවුරක් වැනි කහපාට ඇඳුම, ඔවුන්ගේ සාමාන්‍ය පෙනුම විය. සමහර අයටනම් එය බිය මුසු භක්තියක් ඇතිකළ දසුනක් විය. අර ත්රිශූලයේම ගැට ගැසූ මිනි ගෙඩියක්ද හඬවමින් ‘හරෝ හරා’ යයි මහ හඬින් කියමින් ඔවුහු ගම්මාන පුරා සැරිසැරූහ. එක් දිනකට එක් අයෙකුට වඩා නොපැමිණෙයි. ගෙයක් ඉදිරිපිටට පැමිණ මෙසේ හරෝ හරා යයි හඬ නැගූවිට ඒ ගෙදරින් ඔහුට පුද පඳුරු වශයෙන් යටත්පිරිසෙයින් සත දහයක්වත් ලැබෙයි. එකල විශ්වාසය වූයේ ඔවුන් හිමාලයේ සිට පැමිණෙන බවත්, මෙසේ පඬුරුඑකතුකරමින් කතරගම දෙවොල දක්වාගොස් ඒවා පූජා කර ආපසු හිමාලයට යන (වඩින?) බවත්ය. පඬුරක් දුන් කෙනාගේ නළලේ අර කෙන්ඩියේ පියනෙන් ගත් අළු ටිකක් ගා, හරෝහරා යයි ආශිර්වාද කිරීමටද අමතක නොකරයි. වෙනත් කිසිදු කතාබහක් නොකරයි. මේ කාලයේදී ලංකාවේ තැන් තැන් වලින් කුඩා පිරිමි ළමයින් (විශේෂයෙන් වයස අවුරුදු 12 – 15 පමණ) අතුරුදහන්වීම් වාර්තාවන්නට විය. මෙය දෙමවුපියන් තැතිගන්වන භයානක සිදුවීමක් විය. අවසානයේදී මෙය සිදුකරන්නේ අර සන්නාසීන් විසින් යයි මතයක් ප්‍රචාරය විය. ඔවුන් මත් බෙහෙත් දී දරුවන් පැහැරගෙන ගොස් උතුරේ කරවල වාඩි වල කම්කරු සේවයට විකුණන බවද වැඩි දුරටත් ප්‍රචාරය විය. ඉන්පසු ‘සන්නසියා’ ‘සන්නාසි බිල්ලා’ ලෙස හංවඩු ගැසුණි. පුංචි එකාට බත් කටක් කවා ගන්නටත් අම්මලා කිව්වේ ‘පුතා බත් කෑවේ නැත්නම් සන්නාසි බිල්ලා එයි ඔන්න’ කියලාය. කෙසේ වෙතත් සමහර සන්නාසීන්ට පහරදී පොලීසියට භාරදුන් අවස්ථාද වාර්තා වූ අතර ඉන්පසු කාලයේදී ඔවුන් දක්නට නොවීය. එහෙත් ඔවුන් සියලුදෙනාම එවැනි බිල්ලන් නොවන බවත් බහුතරය මෙසේ ආධාර එකතුකරමින් ජීවිකාව රැකගත් අයවලුන් වන අතර, කොටසක් බිල්ලා වැඩේද කල බව පසුව පොලිස් විමර්ශන වලින් හෙළිවිය. 1990 දශකයේදී යුද හමුදා සේවයේ යෙදී සිටි මට කල්පිටිය හා ඊට උතුරෙන් ඇති දූපත්වල තිබෙන කරවල වාඩි දැකගන්නට අවස්තාවක් ලැබුණි. එකලද ඒවා අවට ලෝකයෙන් ඈත්වූ ප්‍රදේශ විය. මට එකවරම සිහිවූයේ අපි පාසල් ගිය 1960 දශකයේදී මේ ප්‍රදේශ කොහොම තියෙන්නට ඇද්ද යන්නය. ඇත්ත වශයෙන්ම කරවල වාඩි වල සේවකයන් ලෙස යෙදවීම සඳහා ළමුන් පැහැරගැනීම එකල සිදුවිය. එවනි සිදුවීමක් ‘වාලම්පුරි’ කතාවේ ඇත. මෙසේ කුඩා දරුවන් රැගෙන යන්නේ ඔවුන්ට කෑම ටිකක් පමණක් ලබාදී බර වැඩ ගැනීමටය. මේ ඉරණමට ගොදුරුවී අද මහලු වියේ සිටින අය සමහරවිට සිටින්නට පුළුවන.
වාලක්කඩියා. මෙය ද්‍රවිඩ භාෂාවේ වචනයක් යයි මම සිතමි. වාලක්කඩියා ජලජ සර්පයෙක් බවයි මගේ අවබෝධය. වඩා හොඳින් දන්නෝ මා නිවැරැදි කරත්වා. මේ සතා කරදිය සහ කිවුල් දිය පරිසරයේ ජීවත්වන බව එකල ප්‍රචාරය විය. මාරක විෂ සහිත බවත් දෂ්ට කලවිට කිසිදු ප්‍රතිකාරයක් නැති බවත් වැඩි දුරටත් ප්‍රචාරය විය. එකල තිබුණු අවාසනාවන්තම තත්වය වූයේ නරක ආරංචි කටකතා ලෙස සීඝ්‍රයෙන් පැතිරීම සහ ඒවා පිලිබඳ යතාර්ථය දැනගැනීමට පුවත්පත් හෝ ගුවන්විදුලිය පරිහරණය කිරීමට බොහෝදෙනෙකුට වත්කමක් මෙන්ම විචාර බුද්ධියක් නොතිබීමත්ය.වාලක්කඩි කතාව මුලින්ම එලියට ආවේ ධීවර ජනාවාස ආශ්‍රිතවය. එහෙත් අපේ කටකතා නිර්මාපකයෝ වාලක්කඩියාව ගමේ ඇල දොළ පමණක් නොව නාන ලිඳ දක්වා ගෙන ආවෝය. ගම්වල අවිචාරවත් මිනිස්සු ඇලක දොලක තබා ලිඳක වත් නෑමට බියවූහ. මේ නිසා එකල පුවත්පත් සහ ගුවන්විදුලිය මගින් යතාර්ථය පැහැදිලි කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. කෙසේ වෙතත් මෙම සර්පයා දෂ්ඨ කල අවස්ථා ධීවර ජනාවාස ආශ්‍රිතව එකක් හෝ දෙකක් සිදුවූ බවද සත්‍යයකි.
ත්‍රිකුණාමලයේ සවාරියක්
අපේ පුංචි ජනාවාසයේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති සමිතියේ සාමාජික පවුල්වල අය පසුගිය නිදහස් දවසේ ජාතික නිදහස සමරමින් ත්‍රිකුණාමලයේ සංචාරයක නියැලුනා. මේ සංචාරයේදී ත්‍රිකුණාමලයේ වරාය සහ නාවික හමුදා කෞතුකාගාරය නරඹන්නටත් අපට අවස්තාව ලැබුනා. නාවික හමුදාව විසින් සංචාරකයන් සඳහා බෝට්ටු සේවයක් පවත්වාගෙන යනවා. රුපියල් 100 ක් ගෙවීමෙන් පැයකට ආසන්න කාලයක් ත්‍රිකුණාමල වරායේ සංචාරය කරන්නට ඉඩ ලැබෙන අතර බෝට්ටුවේ ඇති ශබ්ද විකාශනයෙන් සියලු විස්තර සංචාරකයන්ට කියාදෙනවා. ඇත්තවශයෙන්ම නොවරදවාම යායුතු සංචාරයක් ලෙස මේ බෝට්ටු සවාරිය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම වැදගත් ස්ථානයක් තමයි නාවික හමුදා කෞතුකාගාරය. දෙවැනි ලෝක යුද සමයේ පටන් වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ නාවික හමුදා ඉතිහාසය මෙහිදී දැකිය හැකියි. පසුගිය කාලයේ මහජනතාවට විවෘත නොවුණු මේ ස්ථානය අද නිදහසේ නරඹන්නට හැකියි. ඔබත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරතවන්නේනම් මේ ස්ථාන නරඹන්නට අමතක කරන්න එපා. මා ලබාගත් ඡායාරූප සමහරක් මේ සමග ඉදිරිපත් කරනවා.
නිළ ඇඳුමෙන් සිටි කාලේ 8
මම තවමත් ඔබ සමග සැරිසරන්නේ නුවරඑළියේ අපේ කඳවුර සහ එහි යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳවයි.
මීට කලිනුත් මම ඔබට සෙබළුන්ගේ පුහුණුවීම් කටයුතු ගැන කිව්වා මතක ඇති. අදත් පුහුණුව ගැනම වැඩිදුර තොරතුරු කියන්නම්. නුවරඑළියේ සීතල ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැනේ. පසුගිය අධික සීතල පැවති එක් දිනයක නුවරඑළියේ උෂ්ණත්වය අංශක 2.7 ක් බව වාර්තා වුනා. බොහෝදුරට එදින පිදුරුතලාගල මුදුනේ උෂ්ණත්වය අංශක 1 ක් පමණ වන්නට ඇති. මම නුවරඑලියේදී අත්විඳ ඇති අවම උෂ්ණත්වය අංශක 5.7 ක්, ඒ වගේම මම පිදුරුතලාගල මුදුනේදී අංශක 4.8 ක ‘උෂ්ණත්වයකට’ මුහුණදීලා තියනවා. හැබැයි ඒ උෂ්ණත්ව ප්‍රමාණය දැනගත්තේ ඊට පසු දිනක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයකිනුයි.
දිනපතාම පවතින අධික සීතල නිසාදෝ නුවරඑළිය ප්‍රදේශයේ මත්පැන් පරිභෝජනය ඉතා ඉහලයි. (මත්පැන් පානය කලවිට සීතල දුරුවෙනවා යන්න මිත්‍යාවකි. සිදුවන්නේ සංවේදනය නැතිවීමෙන් අපට සීතල ගැන හැඟීම නැතිවීම පමණි) සෑහෙන කාන්තා පිරිසක්ද මත්පැන් පරිභෝජනය කරනවා. දවල් කාලයේදී පවා වෙනත් ප්‍රදේශ වල දකිනවාට වඩා බීමත් පුද්ගලයන් දැකිය හැකියි.
මෙය නුවරඑළිය ප්‍රදේශයට කරන අපහාසයක් නොවන බව අවධාරණය කරමි.
මේ සීතල පරිසරය තුල යුද පුහුණුවේ යෙදීම ඉතාම කටුක අත්දැකීම් සහිතයි. පුහුණුවන ආධුනිකයන් මෙන්ම උපදේශකයන් වන අපිද පාන්දරින් අවදිවී සූදානම් වියයුතුයි.
වනය තුල කෙරෙන රාත්‍රී අභ්‍යාසයක් නම්, ඇටකටු පසාකරගෙන යන සීතලේ අපිද සිටිය යුතුයි. උෂ්ණ පලාත්වල ඉපදී, හැදී වැඩී, ඇති සමහර අයට, මේ සීතල විඳ දරාගැනීමට නොහැකිවීමෙන් අසනීප වන අවස්ථාද තිබෙනවා. පුහුණු කටයුතු වලදී සෑම විටම යුද හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයන් දෙදෙනෙකු, අවශ්‍ය ප්‍රථමාධාර දීමට සූදානමින්, ගිලන් රථයක් ලෙස පාවිච්චි කළහැකි වාහනයක් ද සමග, අභ්‍යාසය කෙරෙන ප්‍රදේශයේ ඉන්නවා. පිදුරුතලාගල කඳු මුදුනට පාරක් ඉදිකරන්නට පැමිණි, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් පිරිසක්, කූඩාරම් ඉදිකරගෙන පිදුරුතලාගල මහ වනයේ රැඳී සිටියදී, එක්වරම අසනීප වූ අතර, මහ රෑ ඔවුන් කරතබාගෙන කන්ද පහලට ගෙන එන්නට සිදුවුනා. කෙසේ වෙතත්, පුහුණු කටයුතු වලදී සෙබළුන් අධික වෙහෙසට පත් නොකිරීමටද වගබලාගන්නේ, මෙහි වායු පීඩනය මුහුදු මට්ටමේ ප්‍රදේශවලට සාපේක්ෂව අඩු නිසයි.
සෙබළුන් පුහුණුවේදී ලබන එක් අභ්‍යාසයක් වන්නේ, මාලිමා යන්ත්‍රය සහ සිතියමක් ආධාරයෙන්, භූමියේ මග සොයාගෙන ගමන් කිරීමයි. මෙය දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීද වෙන වෙනම කරන අභ්‍යාසයකි. මෙසේ භූමියේ ගමන් කරන කෙනෙක් එක අංශකයකින් වැරදි කෝණයකට ගමන් කලොත් ඉදිරියට යනවිට එම කෝණය පුළුල් වීමෙන්, යායුතු මගෙන් ඉවත්වී, සම්පූර්ණයෙන් වෙනත් දිශාවකට ගමන් කිරීමට ඉඩතිබේ. (එහෙත් දැන් මේ සඳහා Global Positioning System = GPS තාක්ෂණය තිබෙන නිසා 99% ක් නිවැරදිව ගමන් කල හැකිය.) මෙසේ මග වරද්දගන්නවුන් සමහරවිට සොයා ගන්නේ, ඔවුන් අත තිබෙන, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලට පින්සිදු වන්නටය.
බොහෝවිට මේ අභ්‍යාසය මා සැළසුම් කරන්නේ අපගේ මූලස්ථාන කඳවුර අසලින් ආරම්භ කර හග්ගල උද්භිද උද්‍යානයේ ඉහලින්ම පිහිටි භූමි භාගයෙන් අවසන්වන ආකාරයටය. (ඔබ හග්ගල උද්භිද උද්‍යානය නරඹන්නට යන්නේනම්, යන්තම් උඩින් පල්ලෙන් එහි ඇති මල් වර්ග පමණක් නරඹා ආපසු ආවොත්, ඔබේ සංචාරයේ කිසිදු වටිනාකමක් නැත. ඇත්ත වශයෙන්ම හග්ගල උද්භිද උද්‍යානය නිසි පරිදි නැරඹීමටනම්, ඔබ ආසන්න වශයෙන් එහි පැය 5 ක් වත් ගත කිරීමට සූදානම්ව යන්න. උද්‍යානය දිගේ එහි උසම භූමියේ ඇති වන රක්ෂිතය වෙත යන්න. එහිදී ඔබට ශ්‍රී ලංකාවේ වනයක ඇති ජෛව විවිධත්වය මනාව නිරීක්ෂණය කරන්නට ඉඩ ලැබේ. එමෙන්ම, සුදු අධිරාජ්‍යවාදීන් විසින්, මුල්ම කාලයේ සිටුවන ලද තේ ගස්, අද මහා තේ වෘක්ෂයන් බවට පත්ව ඇති ආකාරයද ඔබට දැකිය හැකියි.) අපගේ මූලස්ථාන කඳවුර අසලින් උදෑසන 6.00 ට පමණ ගමන ආරම්භ කරන ආධුනික සෙබළ කණ්ඩායම්, ගමන අවසන් කරන්නේ සවස 3.00 ට පමණ හග්ගල උද්‍යානයේ මුදුනෙනි. මග වරද්දාගත්තෝ එන්නේ ඊටත් පසුවය. දවල් ආහාරය ලැබෙන්නේ එහිදීය. ඒ වනවිට බොහෝ දෙනා ඉන්නේ පාන් කියාගන්නට බැරුවය. මන්ද, ගමන අතරමග ඔවුන් සීතාඑලිය වන රක්ෂිතය හරහා පැමිණ ජලදුර්ග තරණය කර නැවත හග්ගල නැගිය යුතුය. තවත් කොටසක් පසුව . . . . .
මොනවද මේ අමුතු අකුරු
මේ රූපයේ ඇති අකුරු මොනවාද? එයින් කියවෙන්නේ කුමක්ද? ලිපියේ ඉතිරි කොටස කියවන්නට පෙර ටිකක් වෙලා උත්සාහ ගෙන ඉන්පසුව කියවන්න.
සිංහල භාෂාව මහා පුදුම භාෂාවක්. අපේ භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඉතා ප්‍රබලයි. අපේ අකුරු වලින් ඕනෙම ශබ්දයක් පහසුවෙන් උච්ඡාරණය කළහැකි විදිහට ලියන්නටත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ‘ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර්’ කියන නම සමහර වෙනත් භාෂා වලින් ලියු විට, ඒ භාෂාව තම මව් භාෂාව ලෙස පාවිච්ච්චි කරන අය පවා එය උච්ඡාරණය කරන්නේ විවිධ ආකාරයට. නමුත් සිංහල භාෂාවේදී එහෙමෙ වෙන්නේ නැහැ. සිංහල හරියට උච්ඡාරණය කරන්නට දන්නා සියලුදෙනාම එය නිවැරදිව කියවනවා. සමහර භාෂා වල අපේ තියන ‘ඇ’ ‘ඤ’ ‘ඍ’ වැනි ශබ්ද නැති නිසා සමහර සිංහල වචන ඔවුන්ට තම භාෂාවෙන් ලියාගෙනවත් නිවැරදිව උච්ඡාරණය කල නොහැකියි. සමහර විදේශීය ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් අපේ ක්‍රීඩකයන්ගේ නම් උච්ඡාරණය කරනකොට අපට හිනා යන අවස්ථාත් තියනවා නේද?
හොදයි. දැන් බලමු, මේ සමග ඇති රූපයේ තියන අකුරු මොනවද කියලා. අපේ ළමා කාලය බොහෝ දුරට ගත වුනේ පරිසරයත් සමග වැඩෙන ගස්වැල් වගේ. ඒ තරමට අපි පරිසරය නිරීක්ෂණය කරන්නටත්, එයින් විශාල ආස්වාදයක් ලබන්නටත් පුරුදුව සිටියා. පරිසරයේ තිබෙන දේවල් ගැන කියන තේරවිලි, තේරුම් කවි, ආදිය අපේ වැඩිහිටියන්ගෙන් අපට ලැබුණු මිළ කළ නොහැකි දායාදයන්. මේ රූපයේ දැක්වෙන්නේ ඒ කාලයේ (1960 දශකයේ) අපි කුඩා ළමුන් ලෙස එකිනෙකාට අභියෝග කරගනිමින් ලියූ තනි අකුරේ වැකි. මේවා බැලූ බැල්මට එක අකුරක් මූලික කරගෙන එයට වෙනත් අකුරු කොටස් යාකර සකස් කල අකුරු හරඹයක් යයි කීම වඩාත් නිවැරැදියි. මම පිලිවෙලින් 1,2,3, සහ 4 යන ‘අකුරු රූප’ වලින් කියවෙන්නේ කුමක්ද කියා පහත දක්වනවා. ඔබ මුලින්ම මේවා කියවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙලෙස කියවුනාදැයි බලන්න. හොඳින් මතක තබාගන්න මෙහි ඇත්තේ තනි අකුරක් නොවේ අකුරු කොටස් අමුණා සැකසූ රූපයක්.
1. ලෑලි වලේ ලූලා.
2. වලව්වේ වේවැලේ වවුලා.
3. ක්‍රී කෑ කොකා
4. පාර පුරා පේර පඳුර
ඉස්කෝලේ යන කාලේ 9
නයි කාරයෝ සහ බේත් තෙල් කාරයෝ ගැන කියවලා, දැන් ඔබට මාව එපා වෙලා ඇති. ඒ නිසා ඉස්කෝලේ යන කාලේ වෙනත් දේවල් ගැන කියන්නම්. මෙතෙක්කල් මා ඔබට කිව්වේ නැති හොල්මන් කතාවක් කියන්නම්. අපේ නව යොවුන් වියේදී ඒ කියන්නේ 1960 දශකයේදී රූපවාහිනිය තිබුනේ නැහැ නොවැ. ඉතින් සිනමාව තමයි එකම ආස්වාදය. හැබැයි එකක් පැහැදිලිව කිව යුතුයි. රූපවාහිනියෙන් අපි නරඹන්නේ නිකම් සරුවපිත්තල රූප. ත්‍රිමාන රූපවාහිනියකින් පවා අපි නරඹන්නේ සිනමාවෙන් නරඹන රූප වලට කිසිසේත් ලං නොවියහැකි රූප. අනික් දේ තමයි අපි නැරඹු, ලෝකයේ සම්භාව්‍ය චිත්‍රපට රාශියක් අද දකින්නටවත් නොලැබීම. මේ නිසා අද යුගයේ සීනිබෝල චිත්‍රපටි සම්භාව්‍ය කෘති බවට පත්වෙලා. සම්භාව්‍ය චිත්‍රපටි පැත්තක තබා, ජනප්‍රිය මාදිලියේ චිත්‍රපටි ලෙස අපි නැරඹු ‘ජේම්ස් බොන්ඩ්’ ‘කව් බෝයි’ වැනි චිත්‍රපටි වලට ලං වියහැකි චිත්‍රපටි පවා අද සිනමාවේ ඉතා දුර්ලභයි. එය වෙනම දවසක සාකච්ඡා කිරීමට ඉඩ තබා අර හොල්මන් කතාවට යන්නම්.
ගෙදරට හොරෙන් පික්චර් එකක් බැලීම අදටත් තරුණයෙකුට කොතරම් ‘ත්‍රිල්’ එකක්ද. එය කවදත් එහෙමමයි. ඔන්න මම දවසක් හොරෙන් පැන්නා පික්චර් එකක් බලන්න. මොකක්ද පික්චර් එක? ‘ඩ්රැකියුලා’ පුහ්. . . . බලලා තියනවද ‘ඩ්රැකියුලා’? සමහරවිට ඔබ බලලා නැතුව ඇති. නමුත් මතක තබාගන්න. ‘බ්‍රැම් ස්ටෝකර්’ නමැති කතුවරයා විසින් රචිත ‘ඩ්රැකියුලා’ කතා මාලාව ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය බව. එහි ‘ඩ්රැකියුලා’ ලෙස රඟපාන ‘ක්‍රිස්ටෝපර් ලී’ නමැති නළුවා අදටත් අපේ සිතෙන් නොමැකී සිටී. ඔන්න ඉතින් මම ‘ඩ්රැකියුලා’ බලලා ගෙදර එන්න පිටත් වුනේ රෑ 9 ට විතර. අපේ ගෙදරට යන අතර මග සොහොන් පිට්ටනියක් පහු කරන්න තියනවා. ඒ කාලේ ඒ පැත්තේ විදුලි එලිය නැහැ. කට්ට කළුවරයි. මගේ අතේ කිසිම එළියක් නැහැ. තරු එළියෙන් යන්නේ. ‘නොදකින් කරගත්ත ගොන්කම’ කියලා තේරුනේ සොහොන් පිට්ටනිය ලඟට එනවිටයි. මොනවා කරන්නද. සොහොන් පිට්ටනිය ලඟට එනකොට මතක් වෙන්නේ ‘ඩ්රැකියුලා’ බෙල්ල හපලා ලේ බොන හැටි. ටිකක් වෙලා හිතලා පාර හදන්ඩ ගෙනත් දාපු ගල් ගොඩකින් ගත්තා හොඳ ගල් දෙකක් අතට. දැන් සොහොන් පිට්ටනිය දෙස නොබලා ඒ අසලින් යනවා මම. සීතල දාඩිය බින්දු නළල දෙපැත්තෙන් වැගිරෙනවා. එක පාරටම ‘සරබරාස්’ සද්දයක් ආවා සොහොන් පිටියෙන්. චූ යන්ඩ ලඟයි. මට එතනම බිම ඉන්දවුනා. මම හිතුවා හොල්මනට ගහනවා නැත්නම් මැරෙනවා කියලා. නැගිටලා ගැහුවා ගල් දෙකම හොල්මන හිටිය පැත්තට. හොල්මන කෑ ගැහුවා. ‘උම්බෑ’ කියලා. ආය කියන්ඩ ඕනේ නැහැනේ. සොහොන් පිටියේ හිටිය හරකෙකුට තමයි මම බයවෙලා තියෙන්නේ. තනියම හිනා වෙවී ගෙදර ආවා.
ඉස්කෝලේ මහත්තයාගේ ‘ජම්ප් එක’
මේ කතාව ඔබ බොහෝ දෙනෙක් අසා ඇතුවාට කිසිදු සැකයක් නැත. එහෙත් මේ කතාව කියන බොහෝ දෙනා, එහි නිර්මාතෘ කවුදැයි දන්නේ නැත. සමහර විට මෙය පෙරදිගට ගැලපෙන සේ අනුවර්තනය කල බටහිර කතාවක් විය හැකිය. මම, මේ කතාව කියනවාටත් වඩා උනන්දු වන්නේ, එය මුලින්ම තීරු ලිපියක පලකල, ඒ ශ්‍රේෂ්ඨ තීරු ලිපි රචකයා, ඉතා ගව්රවයෙන් සිහිපත් කිරීමටය. ඒ වෙන කිසිවකු නොව ‘අමිත අබේසේකර’ මහතාය. ඔහු විසින් ‘ද අයිලන්ඩ්’ පුවත්පතට ‘This is My Island’ යන මාතෘකාවෙන් ලියූ තීරු ලිපි, එකල පාඨකයන් අති විශාල ප්‍රමාණයක් විසින්, මහත් අභිරුචියකින් කියවූයේ, එහි ඇති හාස්‍යය මෙන්ම සියුම් උපහාසයද, නිතර කියවන්නට නොලැබෙන, අපූර්ව රසයකින් යුක්තවූ නිසාය. දේශපාලනය, කාලීන තොරතුරු, කලාව, ආදී නොයෙකුත් මාතෘකා පදනම් කර ගනිමින්, ඔහු ලියූ ලිපි ගණන අපමණය. මේවා එකතුවක් ලෙස පළ කර ඇද්දැයි මම නොදනිමි. දන්නෝ ඒ ගැන මා දැනුවත් කරත්වා. ඒ ශ්‍රේෂ්ඨයාට උපහාරයක් වේවායි පතමින් කතාව ඉදිරිපත් කරමි. මෙය අමිත අබේසේකර මහතා ගේ ඉංග්‍රීසි තීරු ලිපිය මා විසින් මාගේ දැනුමෙන් කල පරිවර්තනයක් බව සලකන්න. කතාව පුවත්පතේ පළ වූවේ 1989 දී පමණ බව මගේ මතකයයි.
ගම්බද, කඩවසම්, නිහතමානී, තරුණයකුට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් ලැබුනා. දේශීය සම්ප්‍රදාය ගරු කරන පවුලක අයකු වූ ඔහු, සිය දෙමවුපියන්ගෙන් සමුගෙන, නව පත්වීම ලද පාසල සොයා පිටත්වූයේ, තම ඇඳුම් බැඳුම් පොත්පත් අසුරාගත් සූට්කේසයක්ද අතැතිවයි. කොළඹ සිට මහනුවර බලායන බසයකට කෑගල්ලේදී ගොඩවූ ඔහුට, යන්තම් වාඩිවෙන්නට ඉඩක් ලැබුනා. ඔහුට ඉදිරිපස අසුනේ වාඩිවී සිටියේ සුන්දර තරුණියක් බව ඔහුට පෙනුනා. ටික දුරක් යනවිට ඔහු තරමක් අපහසුතාවයට පත්වූයේ සුළඟට ඇගේ කොණ්ඩය ඔහුගේ මුහුණ කරා පැමිණ සිප ගැනීමත් කිති කැවීමත් නිසයි. ඔහු අතින් කොණ්ඩය ඉවත් කලත් එය නැවත නැවතත් සිදුවුනා. බැරිම තැන ඔහු ‘නෝනා’ කියා අයව ඇමතුවා. ඇයට අසුනේ නැහැ. කීප වතාවක් ‘නෝනා’ කියූ පසු ඇය තේරුම්ගත්තා ඔහු අමතන්නේ ඇයට බව. ‘yes what’ ඇය පිළිතුරු දුන්නා. ‘අනේ නෝනා තරහ වෙන්න එපා. නෝනාගේ කොණ්ඩය හුළඟට මගේ මූනේ වදිනවා’ තරුණයා කීය. ‘Oh I’m sorry’ කියූ ඇය කොණ්ඩය ගෙන ඇගේ පපුව දෙසට දමාගත්තා. කෙසේ වෙතත් ඇගේ කෙස් ගස් කීපයක් ඔහුගේ මුහුණේ රැඳුණු අතර ඇයගේ කේශකලාපයේ තිබුණු විලවුන් සුවඳ ඔහුගේ සිත සොරාගත්තා.
තරුණයා මහනුවර නගරයේදී බසයෙන් බස බදුල්ල බලා යන බසයකට ගොඩවූවා. අර තරුණියද තමන් ගෙනයන ප්‍රමානයේම සූට්කේසයක්ද සහිතව එම බසයේ සිටිනු දුටු ඔහු තරමක් පුදුම වූවා. ඇය ඇඳ සිටින්නේ නිල්පැහැති ඩෙනිම් ජීන්ස් එකක් සහ කළු පැහැති කුඩා මල් වැලක් සහිත සුදු පැහැති ටී ෂර්ට් එකක් බවත් ඇය ඉතා රූමත් බවත් ඔහු පළමු වරට දැක්කේ එවිටයි. ඔහු ඇයට සිනහවකින් සංග්‍රහ කලත් අයගෙන් ප්‍රතිචාරයක් නොලද නිසා තමන්ගේ පාඩුවේ ගමන ගියා. නමුත් ඔහුට සිය දෙනෙත් අදහාගත නොහැකි වූයේ බදුල්ලේදී බසයෙන් බැස, තමන් වැඩ බාර ගැනීමට නියමිත පාසල පිහිටි ප්‍රදේශය දක්වා ධාවනය වන බසයට ගොඩවූ විට අර තරුණියද එහි සිටිනු දැකීමෙන්. තමන් බැසිය යුතු තැන ඔහු බසයේ කොන්දොස්තරගෙන් විමසුවා. ‘හරි හරි මහත්තයා, අර නෝනත් බහින්නේ එතනින්. මම කියන්නම් එතැනදී’ කියා ඔහුට පිළිතුරු ලැබුනා. අපේ තරුණයාගේ සිතෙහි විදුලියක් කෙටුවක් මෙන් සැකයක් මතුවූවා. ‘එකත් එකටම මෙයත් ගුරු පත්වීමක් ලැබිලා මම යන ඉස්කොලෙටම යන කෙනෙක් තමයි. බලපල්ලකො ඇඳුමේ හැටි. ඕවත් ඇඳගෙනද ළමයින්ට උගන්නන්න යන්නේ. හොඳට හිටී’ ඔහු තමන්ටම කියාගත්තා. කොන්දොස්තර සීනුව නාද කර බසයෙන් බැසිය යුතු තැන පෙන්වා දුන්නා. දෙදෙනාම බසයෙන් බැස්සා. එතනින් ගුරු පාරක් විහිදෙනු ඔහු දුටුවා. බසයෙන් බැස්ස ඇය පාරේ සිටම තරමක් හඬ නගා ‘මුදලාලි . . . .විද්‍යාලයට යන්නේ කොහෙන්ද? කියා එතන තිබුණු කඩයෙන් විමසුවේ, තමන් ඒ ප්‍රශ්නය අහන්නේ කාගෙන්ද කියා අපේ වීරයා සිතමින් සිටින විටයි. තරමක් පුදුමයෙන් මෙන් ඇය දෙස බැලූ මුදලාලි ‘ඔය පාරේ නොම්මරයක් විතර ගියාම ඉස්කෝලේ හම්බ වෙනවා නෝනා’ කීවේය. ‘නොම්මරයක් what is නොම්මරයක්’ කියා තමන්ටම තනියෙන් කියාගනිමින් ඇය පිටත්වනු දුටු ඔහු, ඇය පසුපසින්ම වාගේ ගමන ඇරඹුවා. පාර තරමක් පාලු ස්වභාවයක් ගත්තත් ඇය නොබියව යන අයුරු ඔහුගේ පුදුමයට හේතු වුනා. ඔහුත් තම සිතට ධයිර්යය ටිකක් ගත්තා. ‘ඔයා . . . විද්‍යාලයටද යන්නේ? ඔහු ඇසුවා. ‘ඔවු, ඇයි අහන්නේ? ඇයගෙන් දමාගසන පිළිතුරක් ලැබුනා. ‘නැහැ, මටත් ඒ ඉස්කෝලේ සිංහල සහ සමාජ අධ්‍යයනය විෂයයන් උගන්නන්න පත්වීමක් ලැබුනා. මේක මගේ මුල්ම පත්වීම’ ඔහු කිව්වා. ‘Oh I see, මට ඉන්ග්ලිෂ් ටීචින් අපොයින්ට්මන්ට් එක හම්බවුනා’ ඇය කිව්වා. දෙදෙනා ටික වෙලාවකින් පාසලට ළඟාවුනා. මැදි විය පසුවූ විදුහල්පති වරයා සිටියේ ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්. ‘ කොළඹ ඉඳලා අපට අලුත් ඉස්කෝලේ නෝනා කෙනෙකුයි කෑගල්ලේ ඉඳලා මහත්තයෙකුයි එනවා කියලා ලියුම් ලැබුනා. බොහොම සන්තෝසයි නෝනයි මහත්තයයි ආව එකට’. විදුහල්පති තුමා දෙදෙනාව පිළිගෙන, ඒ වනවිට පාසැල ඇරී තිබුන බැවින්, ඔවුන්ව කෙලින්ම විදුහල්පතිගේ නිල නිවාසයට කැටුව ගියා.
ඉතා රසවත් ගැමි ආහාර වේලකින් ඔවුන්ට සංග්‍රහ කල විදුහල්පති තුමා, ඊලඟට බැස්සේ මේ දෙදෙනාගේ නවාතැන් ප්‍රශ්නය පිලිබඳ මාතෘකාවටයි. ‘මහත්තයෝ, නවාතැන් දීමේදී නම් පොඩි කොස්සක් තියනවා’. විදුහල්පති තුමා කතාව ඇරඹීය. ‘මේ ගුරු නිවාසයේ අමතර කාමර තියෙන්නේ එකයි. අර තියන ඉස්තෝප්පු කාමරය. ගෙයි ඉතිරි කොටසේ මමයි නෝනයි ළමයි තුන්දෙනයි ඉන්නෙත් හොඳටම ගුලි වෙලා. මේ ගමේ කොහෙවත් නැහැ, නෝනටවත් මහත්තයටවත් නවතින්න සුදුසු ගෙවල්, හරී අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු ඔය යන්තම් අටවගත්ත පැල් කොට තමා තියෙන්නේ. වැසිකිලි යන්නෙත් කැලේට, (අලුත් ගුරුතුමීට ‘Oh my God’ කියවුනා) ඒ නිසා අපි කොහොමහරි පිරිමහගෙන මේ ගුරු නිවාසේම ඉම්මු. නොනමහත්තයට ඉතින් කාමරේ දෙන්න එපාය. මම මහත්තයට ඉස්තෝප්පුවේ බූරු ඇඳක් දාලා දෙන්නම්. ඔය රෑ ගත කරන එක විතරනේ. කියලා විදුහල්පතිතුමා නවාතැන් ප්‍රශ්නේ විසඳුවා. සියල්ල හොඳින් සිදුවුනා. ජීන්ස් එකක් ඇඳ වැඩ බාර ගැනීමට පැමිණි ඇය පසුදින සාරියකින් සැරසුන විටයි අපේ වීරයාට ඇගේ නියම ලස්සන පෙනුනේ. දෙදෙනාම පාසලේ වැඩ කටයුතු උනන්දුවෙන් කළා. හැබැයි වැඩි අඟෑලුම් කමක් දෙදෙනා අතර නැහැ. කතා කලේ අවශ්‍යම දේකට පමණයි. මේ වනවිට ඒ ප්‍රදේශයට මෝසම් වැස්ස ලැබෙන්නට වුනා. පැල් බැඳගෙන වහින මහා වැස්ස ආරම්භ වුනා. රෑට ඉස්තෝප්පුවේ ඉන්න අපේ වීරයා, වැස්සේ හිරිකඩ වැදී මහත් අපහසුතාවයට පත්වුනා. ඔහු තමන්ගේ බූරු ඇඳ අකුලාගෙන බිත්තියට හේත්තු වුනේ ‘දැන් ඉතින් රෑ එළිවෙනකල් හිටගෙන ඉන්න තමයි වෙන්නේ’ කියලා හිතාගෙන. ඔහු පුදුමයට පත් කරමින් හිටි හැටියේම ඉස්තෝප්පු කාමරයේ දොර අරුනා. ‘ඇය’ රාත්‍රී ඇඳුමෙන් ඔහු අසලට ආවා. ‘තෙමෙනවා නේද? තමුසෙට කැමතිනම් කාමරේට එනවා’ ඇය කිව්වා. ‘පිස්සුද? ලොකුමහත්තයා මොනවා හිතයිද? ඔහු පිළිතුරු දුන්නා. ‘මේ තමුසෙයි ලොකු මහත්තයයි හිතන ඒවා මට වැඩක් නැහැ, තමුසෙට නොතෙමී ඉන්න ඕනෙනම් එනවා’. ඇය කවදත් පුරුදු දැඩි ස්වරයෙන් කිව්වා. ඔහු සිතුවා වැස්ස අඩුවනතුරු කාමරයේ සිට එලියට එන්නට. කාමරයට ගිය ඔහු එහි තිබුණු එකම පුටුවේ වාඩි වුනා. ‘මොකද තමුසේ එළිවෙනකල් ඔහොම ඉන්ඩද කල්පනාව. මට මේ ඇඳේ ඕනේ තරම් ඉඩ තියනවා. තමුසේ ඔය පැත්තෙන් නිදා ගන්නවා’ ඇය කිව්වා. ‘ඔයාට පිස්සුද මොනවද මේ කියන්නේ? ඔහු වෙවුලන ස්වරයෙනුයි ඇහුවේ. ‘මේ ඕයි ඔය තමුසේ හිතන ජාතියේ දෙයක් නෙවෙයි මම කිව්වේ. තමුසේ කැමතිනම් ඔන්න මම මෙතනින් කොට්ටයක් තියනවා, කොට්ටෙන් මෙහා පැත්තේ මම නිදා ගන්නවා. තමුසෙට කැමතිනම් ඔය පැත්තෙන් නිදාගන්නවා’ කියූ ඇය බිත්තිය දෙසට හැරී නිදන්නටවුනා. ඔහු ටික වෙලාවක් කල්පනා කළා. රෑ එළිවෙනතුරු පුටුවේ ඉන්නවාද නැද්ද කියා සිතමින් සිට අවසානයේදී ඇඳට යන්නට තීරනය කළා. යන්තම් ඇඳේ අද්දර ඇයට පිටුපා නිදාගත්තත් නින්ද ගියේ නැහැ. එහෙත් පාන්දර ඇය විසින් අවදි කරන විටයි ඔහුට දැනුනේ තමන්ට නින්ද ගිය බව.’මේ ලොකු මහත්තය දකින්න කලින් එලියට යනවා නැත්නම් අර තමුසේ හිතපුවා එයත් හිතයි’ ඇය කීවාය. මුළු වර්ෂා සාමය පුරා මේ ‘ක්‍රමවේදය’ මෙලෙසම විය. තද වර්ෂාව වැටෙනවිටම ඔහු බූරු ඇඳ අකුලයි. ඇය දොර අරියි. ඔහු ඇතුලට යයි. ඇය දොර වසා ඇඳේ මැද කොට්ටය තබයි. ඔහු ඇඳේ නිදාගනියි. අලුයම ඇය ඔහුගේ ඇඟට තට්ටු කරයි. ඔහු නැගිට එලියට යයි. මේ ක්‍රියාදාමයේදී ඔවුන් අතර එකදු වචනයක්වත් කතා නොකෙරෙයි. මෙය ස්වයංක්‍රීයව සිදුවන දෙයක් වැනිය. ඒ පාසල් වාරය අවසානයේදී මේ විදුහලේ ළමුන් සහ ගුරුවරු අධ්‍යාපන චාරිකාවක යන්නට තීරණය කළා. බොහෝ ස්ථාන වලට ගිය ඔවුන් සීගිරිය නරබන්නටද අමතක කලේ නැහැ. සීගිරිය මුදුනට නගිද්දී ‘ඇය’ පන්කොළ තොප්පියක් පැළඳ සිටියා. හදිසියේම ආ සුළං පහරක් ඇගේ පන්කොළ තොප්පිය සීගිරිය මුදුනේ ඇති නටබුන් වූ කෙටි බිත්තියකින් එපිටට ගෙනගියා. ‘ඔහු’ වහාම බිත්තියෙන් එපිටට පැන තොප්පිය ගෙන එන්නට සූදානම් වූයේ පසුගිය වැසි කාලයේදී ඇය කල උපකාරයට ප්‍රති උපකාරයක් කරන්නයි. ඇය අවඥා සහගත සිනාවක් සමග මෙහෙම කිව්වා. ‘Don’t try to be a joker and don’t make me laugh, you couldn’t jump over pillow for the last three months. How can you jump now over a parapet wall? ‘තමුසේ නිකන් ජෝකරයෙක් වෙලා මාව හිනස්සන්න හදන්න එපා. පහුගිය මාස තුන තිස්සේ කොට්ටෙකට උඩින් පනින්න බැරිවුණු තමුසේ, දැන් කොහොමද මේ බිත්තියට උඩින් පනින්නේ?
උස හොයන හැටි
එක්තරා හමුදා කඳවුරක අණදෙන නිලධාරියා දිනක් සැරයන් වරයකුට කිව්වා කඳවුරේ ඇති කොඩි කණුවේ උස මනින ලෙස. සැරයන් එය සෙබළුන් දෙදෙනෙකුට පැවරුවා. සෙබළුන් දෙදෙනා කොඩි කනුව ගලවා බිම තබා මැනුම් පටියකින් එය මැනීමට සූදානම් වනවිටම සැරයන් ආවා. ‘ඔය මොකද කරන්නේ? කවුද උඹලට කිව්වේ කොඩි කණුවේ දිග මනින්න කියලා? වහාම කනුව ආපහු හිටවලා උස මැනපල්ලා මගෙන් කන පලාගන්නේ නැතුව’ කියා ගෝරනාඩු කළේය.





















